Thursday, November 14, 2013

මුතුන් මිත්තෝ


මුතුන් මිත්තෝ යනු වියුක්ත සංකල්පයකි. ඉතිහාස කථාවලින් කෙරෙන්නේ ඈත අතීතයක විසූ අපි විසින් හඳුනාගන්නා සංයුක්ත පුද්ගලයින් (උදා: දුටු ගැමුණු රජු) ඇසුරින් මුතුන් මිත්තන්ට යම් සංයුක්ත බවක් ලබාදීමය. මේ වියුක්ත මුතුන් මිත්තන් හා වර්තමානයේ වෙසෙන අප අතර ඇත්තේ ආධ්‍යාත්මික සම්බන්ධකමක් මිස ලේ නෑකමක් නොවේ. දුටු ගැමුණු රජතුමාට ලේ නෑකම් ඇති අය අද ජීවතුන් අතර සිටිය හැකි වුනත් එසේ නොවන සිංහලුන්ද දුටු ගැමුණු රජු තමන්ගේ මුතුන් මිත්තෙකු ලෙස සලකති. ඒ නිසා ලේ නෑකමක් නැති වර්තමානයේ වෙසෙන ජන සමූහයකටද එකම මුතුන් මිත්තන් සමඟ ආධ්‍යාත්මික සම්බන්ධයක් ඇති කර ගැනීමට බාධාවක් තිබිය යුතු නැත. ජාතියක් ගොඩනැඟීමේදී කෙරෙන්නේ විවිධ ජන කොටස් එකම මුතුන් මිත්තන් රැලක් සමඟ ආධ්‍යාත්මිකව බැඳීමය. ඒ හරහා  වර්තමානයේ වෙසෙන ඔවුනොවුන්  අතරද ආධ්‍යාත්මික බැඳීමක් ඇති කර ගනිති. ජාතියේ පැවැත්ම තහවුරු කරන එක සාධකයක් නම් මුතුන් මිත්තන්ට මෙන්ම එකිනෙකා අතරත් ඇති කර ගන්නා බැඳීමයි.

මීට ශත වර්ශ ගණනක් උඩදී කේරළෙයෙන් ලංකාවට සංක්‍රමණය වුනැයි සිතිය හැකි මිනිසුන් කොටසක් ගනිමු. මේ අය පරම්පරා ගණනකින් පසු තමන්ගේ මුතුන්මිත්තන් යැයි හඳුන්වන්ට ඇත්තේ කේරළයේ හිටපු ඔවුන්ගේ ලේ නෑයන් නොව අපි අද  මුතුන් මිත්තන්යැයි සලකන බලි තරු රාවණ ගැමුණු රජ වරුන් කාලේ සිටම පැවැත එතැයි සැලකෙන වියුක්ත මුතුන්මිත්තන් සමූහයකටය. මෙතැනදී කේරලයෙන් ආ කථාව වැදගත් නොවෙන අතර ඒ කථාව කාලයත් සමඟ මඟහැරී යයි. 

ඒ වගේම අද මෙරට ජීවත්වෙන දෙමළ ජනයා ලංදේසින්/ඉංග්‍රීසීන් විසින් ගොවි-කම්කරුවන් ලෙස මෙහි ගෙන්වාගත් අය යන කථාව අනාගතයේ එක්වුනු ශ්‍රී ලාංකික ජාතියක ඉතිහාස කථාවේ වැදගත් තැනක් ගත යුතු නොවේ. (අද ඒ කථාව වැදගත් වෙන්නේ නිජ බිම් කථාව බොරු කරන්නට පමණය). මේ කියන්නේ අද ඉන්න දෙමළ ජනයා පැවතෙන්නේ ඒ කම්කරුවන්ගෙන් නොවේ කියා නොවේ. නමුත් අර කේරලයෙන් ආ මිනිසුන් ඔවුන්ගේ ලේ නෑකම් අමතක කර (අවැදගත් ලෙස සලකා) මෙරට ඉතිහාසයට උරුම කම් කියනවාසේම අද ඉන්න දෙමළ ජනයාත් කාලයාගේ ඇවෑමෙන් එක්වුනු ජාතියක පොදු ඉතිහාසයකට උරුමකම් කියනු ඇතැයි බලාපෙරොත්තු විය හැකිය. ඒ ඉතිහාස කථාවයි අද අපි නිර්මාණය කර ගත යුත්තේ. හිංදුවරුන් අතේ කෝවිල් බවට පත්වුනු (උදා: නල්ලූර්හි මුරුගන් කෝවිල) දේවාලවල වැඩ ඉන්න සිංහලුන්ගේ දෙවිවරු හරහා මේ පොදු ඉතිහාස කථාව නිර්මාණය කරන්නට හැකිය. වාල්මිකීගේ රවණා නොව බුදු දහම දැනසිටි හෙළ රාවණ රජෙකු හරහා එය කල හැකිය. මේ නිර්මාණය කරන ඉතිහාස කථාව හරහා අනාගත දෙමළ ශ්‍රී ලාංකිකයින් උරුම කම් කියනු ඇත්තේ තමන් කම්කරුවන් ලෙස දකුණු ඉංදියාවෙන් මෙහි ආ බව කියන කථාවට නොවේ ඊට අවුරුදු දහස් ගණනක පැරණි ඉතිහාසයකටය. එය සිංහලුන්ට ප්‍රශ්ණයක් විය යුතු නොවේ මන්ද ඒ ලංකා ඉතිහාස කථාව සිංහල ජාතියේ ඉතිහාස කථාවම වන බැවිනි. මෙහිදී අපි වටහා ගත යුත්තේ ලේ නෑදෑකමයි අපි මුතුන් මිත්තන් යැයි සලකන වියුක්ත සංකල්පයයි එකක්ම විය යුතු නැති බවයි.

6 comments:

  1. මෙවැනි සංවේදී දැනුමක් මේ විදිහට හරි නිර්මාණය කිරීමට යම් මුළපිරීමක් දැරීම සම්බන්ධව ජනකට පිං සිද්ද වෙන්න ඕනෙ (නලීන් ද සිල්ව මහත්මයත් ඔය බක පණ්ඩිතයො එක්ක ඇමිණෙන එක නවත්තල මෙහෙම බැ‍රැරුම් මාතෘකා වලට අතගහනව නම් හොඳයි කියලයි ප්‍රභංගගෙ නම් අදහස).

    කොහොම නමුත් ජනක මෙතන කියවෙන්න ඕනෙ අවශ්‍යම කතාවක් කියා නැති බවක් තමයි ප්‍රභංගට නම් බැලූ බැල්මට පෙනෙන්න තියෙන්නෙ. ඒ හේතුවෙන්ම ජනකගෙ ලිපිය කියවන කෙනෙක් ඔහු කියන දෙය වැරදියට තේරුම් ගනීමේ අනතුරකුත් තියෙන්න පුළුවන්.

    නිදසුනක් ලෙස ජනක කියන කේරළයෙන් පැමිණි ජනසමූහයක් සිංහළ මුතුන් මිත්තන් තම මුතුන් මිත්තන් ලෙස සැළකීම ගමු (දේවාධිත්‍යලත් කේරළ මූළයන් සහිත වීම මෙතන අහම්බයක් වෙන්න ඕනෙ). ජනක කියල තියෙන සීමිත කතාව හේතුවෙන් මේක කියවන කෙනෙක් හිතන්න පුළුවන් ජනක යෝජනා කරන්නෙ මෙරට සිටින දෙමළුත් තම අනන්‍යතාවය නැති කරගෙන සිංහළ අනන්‍යතාවයට අනුගත විය යුතු බව කියල.

    නමුත් ඇත්තටම කේරළයින් සම්බන්ධයෙන් සිදු වුණේ ඔය දෙය *පමණක්* නොවේ. ඔවුන් සිංහළ සංස්කෘතියට අනුගත වුණේ එය වෙනස් කරමින්. සිංහළ සංස්කෘතියේ තියෙන කේරළ සලකුණ ඇත්තටම අපි හිතනව වඩා බලවත්. සිංහළ සංස්කෘතියට ඔවුන් කළ වෙනස නිසා තමයි එතෙක් සිංහළයින් විසින් පමණක් පිදුම් ලැබූ මුතුන් මිත්තන් තමන්ගෙත් මුතුන් මිත්තන් ලෙස සැළකීම අළුතින් පැමිණි කේරළයින්ට ගැටළුවක් නොවුණෙ.

    ප්‍රභංගට හිතෙන ලෙස අද මෙරට වෙසෙන දෙමළ ජන වර්ගය අනාගතයේ යම් දිනෙක සිංහළ අනන්‍යතාවයට අවශෝෂණය වනු ඇත්තේ අප අද අත්විඳින සිංහළ සංස්කෘතියට සැළකිය යුතු වෙනසක් ඇති කිරීමෙන් පසුවයි. අතීතයේදී මෙරට පැමිණි දෙමළද ඇතුළු දකුණු ඉන්දීය ජන වර්ග සිංහළ අනන්‍යතාවයට එක් වුණේ එවන් වෙනස් කම් කරමින්.

    - ප්‍රභංග

    ReplyDelete
    Replies
    1. ඔබ හරි දෙමළ ජනයා සිංහල වෙන්ට ඕනෙ නෑ. ප්‍රභංග ඒක මතක් කර දීපු එක හොඳයි. මීට කලින් දෙමළ ප්‍රශ්ණය කියලා ලියපු ලිපියක මම ඒ බව සඳහන් කලා. කේරළ කථාව මම ගත්තේ නිදසුනක් හැටියටයි මම දැන ගෙන හිටියෙ නෑ ඔබ පෙන්වන සම්බන්ධය. කේරළ සංස්කෘතික අභාෂය ගැන වැඩි විස්තර පෙන්වා දෙන්ට පුලුවන් නම් හොඳයි.

      Delete
    2. ඇත්ත වශයෙන්ම විය යුතු වන්නේ දෙමළු සිංහළ වෙන එක නම් එය එසේ බව කියන එකේ වරදක් ප්‍රභංගට නම් පෙනෙන්නෙ නැහැ. නමුත් ප්‍රභංග අනුමාන කරන විදිහට එය එසේ වන්නේ නම් දෙමළු අනුගත වනු ඇත්තේ මේ අද අප අත්විඳින සිංහළ සංස්කෘතියට නොව ඔවුන් විසින් වෙනස් කරනු ලැබූ සිංහළ සංස්කෘතියකටයි.

      අතීතයේදීත් සිංහළ ජාතිකත්වයට වෙනත් ජන වර්ග අවශෝෂණය වී ඇත්තේ එසේ බවට අනුමාන කළ හැකි සාධක සොයා ගැනීම අපහසු දෙයක් නොවේ. ප්‍රභංගගෙ නම් අදහස මෙය ස්වාභාවික ක්‍රියාවළියක් ලෙස වෙන තාක් සිංහළයින් ඒ ගැන කලබල විය යුතු නැති බවයි. මහාචාර්ය ඇල්ෆ්‍රඩ් ජෙයරත්නම් විල්සන්ම (චෙල්වනායගම්ගෙ බෑණ) කියූ ලෙස චෙල්වනායගම්ට තිබුණු බයත් දෙමළ ජනතාව එසේ සිංහළ ජනවර්ගය තුළට අවශෝෂණය විය හැකිය යන සහේතුක සැකයයි. මෙය නවත්වාගැනීමට ඔහු යොදා ගත් එක් උපක්‍රමයක් යැයි පෙනී යන්නේ ඔවුන් එසේ අවශෝෂණය වනු ඇත්තේ සිංහළ කුල දූරාවලියේ පහත් කුළයක් ලෙස බවට අනියත බියක් දෙමළ මානසිකත්වයට ඇතුළු කිරීමයි.

      සිංහළයේ කේරළ සලකුණ ගැන කියන්න තරම් ප්‍රභංග ප්‍රාමාණික උගතෙක් නම් නෙමේ. නමුත් සරළ උදාහරණයක් දෙනව නම් අද අපි අපේ කියල හිතාගෙන අඳින සරම මලබාරයෙන් (කේරළයෙන්) ලැබුණක් කියලයි කියවෙන්නෙ (අවශ්‍ය නම් අපිට අපේ නොවන අපේම සරමක් තිබුණ කියල කියමුකො).

      - ප්‍රභංග

      Delete
    3. ජාතීන් එකතුවී නව සංස්කෘතියක් බිහිවෙන බව ඔබ කියන දේ හරි. මම මේ ක්‍රියාවලිය දකින්නේ ජාතිය නව භවයක් අත් කර ගැනීමක් ලෙස. යලි ඉපෙදන ජාතිය කලින් තිබූ ජාතියත් නොවේ එසේ නොවන්නෙත් නොවේ.

      Delete
    4. චෙල්වනායගම්ට තිබූ බය ඔහු ඇසුරුකල සිංහල ප්‍රභූන් නිසා ඇතිවුන එකක් විය යුතුයි. සාමාන්‍ය දෙමළ ජනයාට සාමාන්‍ය සිංහල ජනයාගෙන් මේ බිය ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි නේද?

      Delete
  2. ඇත්තටම අද ලංකාවේ ඉන්නේ මිශ්‍ර ජාතියක්ද කියලා වෙලාවකට හිතෙනවා. ඒක ඉතිහාස කතාවලින්ම පේනවා. ඒකාලේ රජ පවුල්වල අය විතරක් නෙවේ ඊට පහල අයත් කසාද බඳින්ට ගෑණු ගෙනල්ලා තියෙන්නේ මලබාර් දේශයෙන්.. අර දේශයෙන් ..මේ දේශයෙන්ලුනෙ. .ඒ ඇරුනාම මුහුදු බඩ පලාත්වල වගේම රට ඇතුලෙත් මිශ්‍ර විවාහ කොයිතරම් නම් වෙලා ඇත්?ද.

    ReplyDelete