Friday, November 1, 2013

නිදහස නැතිවීම

ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ පුද්ගලික නිදහස අඩුයැයි කීවොත් බොහෝ දෙනෙක් පිළිගන්නේ නැතිවේවි. නමුත් ඇමෙරිකාවේ කාලයක් තිස්සේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙක් වරක් මා සමඟ පැවසූවේ “ලංකාවේ මිනිස්සු සැපසේ දුක් විඳිනවා අපි මෙහේ දුකසේ සැප විඳිනවා” කියලයි. (එක අතකින් මේ කථාවෙන් කියවෙන්නේ සැපෙන් දුක කැන්සල් වෙන්නේ නැහැ කියලයි. බටහිර භෞතික විද්‍යාවේ ප්‍රතිවිරුද්ධ බල කැනසල් වුනාට යුදෙව් ක්‍රිස්තියානි නොවෙන සංස්කෘතිවලට අනුව ප්‍රති විරුද්ධ බල කැන්සල් නොවී තියෙන්නත් පුලුවන් බව වැදගත් කාරණයක්). ඒ කොහොම වුනත් මූලික වශයෙන් ලංකාවේ අය ඇමෙරිකාවේදී දුකෙන් සැප විඳින්නේ සැප විඳීම අරභයා ඔවුන් තමන්ගේ පුද්ගලික නිදහස පවාදෙන නිසා කියල මම හිතනවා.සැප තිබුනත් ඔවුන්ට දුකක් දැනෙන්නේ ලංකාවේ තිබුනු පුද්ගලික නිදහස සීමාවීම නිසයි.


සැප විඳිනවා කියන්නේ දළ වශයෙන් සැලකුවහම මමත්වය වර්ධණය කර ගන්නවා කියන එක. මමත්වය වර්ධනය කර ගන්නවා කියන්නේ මමය මගේය කියා වෙන් කර ගෙන බදා ගැනීමයි. බටහිර සංස්කෘතිය තුල මමත්වය වර්ධණය කර ගැනීමට සදාචාරාත්මකව වැට කඩොලු නෑ. ඒ සඳහා උපරිම නිදහස ඔවුන්ට තියෙනවා. ඇත්තටම බටහිර රටවල ඇත්තේ මමත්වය වැඩි කර ගැනීමට නිදහසක්. එය තමයි අපි වරදවා පුද්ගලික නිදහසක් ලෙස තේරුම් ගන්නේ. නමුත් සමාජයක් වශයෙන් ජීවත් වෙනවිට කෙනෙකුගේ අතිවිශාල මමත්වය තව කෙනෙකුගේ මමත්වයට බාධාවක් වෙන්න පුලුවන්. බාධා අවම කරගන්ට නම් හැමෝම යම් සම්මත විදිහකට සමාජයේ හැසිරෙන්න ඕනෙ. මෙසේ හැසිරීම පාලණය කරන්ට පුද්ගලික නිදහසට සීමා පැනවෙනවා. ඇත්තටම බටහිර සංස්කෘතිය අනුකරණය කරන ලංකාවේ නාගරික සමාජයතුල ගැටුම් ඇතිවෙන්නේ පුද්ගලික නිදහස සීමා කරගන්නේ නැතිව මමත්වය වර්ධනය කර ගන්ට යන නිසයි. ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකානු සමාජය තුල හැසිරීමට ඇති සීමා අතිශයෙන් බලවත්. එහි කෙනෙක් පාරේ ගමන් කල යුතු විදිහේ ඉඳන් තමන්ගේ දියුණුව සලසාගත යුතු විදිහ දක්වා පිලි පැදිය යුතු සම්මත විදි සැකසිලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඇමෙරිකානුවන්ට නිතර සොරි කියන්ට සිදුවෙන්නේ තමන්ගේ හැසිරීම අන් අයට කරදරයක් වෙන නිසයි. නමුත් ලංකාවේ ඉඳලා ඇමෙරිකාවට සංක්‍රමණය වෙන අය ඉතා ඉක්මනින් මේ හැසිරීම් රටාවට අනුගත වෙනවා මන්ද එසේ නොවී ඔවුන්ට එහි පවතින්ට බැරි නිසා. නමුත් ඉන් සිදු වෙන්නේ පුද්ගලික නිදහස සීමා කර ගැනීමක් කියා බොහෝ අයට අවබෝධ වෙන්නේ නෑ.

බටහිර සංස්කෘතිය තුල මේ ආකාරයට පුද්ගලික නිදහස සීමා වීම තුලින් තව දෙයක් සිදුවෙනවා. හැමෝම එකම විදියට ජීවත්වෙන්ට බල කෙරෙන නිසා මිනිසුන් අතර විවිධත්වයත් අඩු වෙනවා. ඒ කියන්නේ සමාජය සංස්කෘතික වශයෙන් සමජාතීය වෙනවා. බරහිර සමාජයේ සංස්කෘතික විවිධත්වයක් නෑ. අනිත් අතට ගත්තොත් මිනිසුන් පුද්ගලික නිදහස උපරිම වශයෙන් භුක්ති විඳිනවිට ඔවුන් විවිධ හැසිරීම් රටා විදහා පානවා. ඒ හරහා සමාජය සංස්කෘතික වශයෙන් විවිධත්වයක් ගැනීමට ඉඩ සැලසෙනවා.


සමාජයක්තුල මමත්වයත් පුද්ගලික නිදහසත් අතර ඇත්තේ  සෘණ සහ-සම්බන්ධයක්. මිනිස්සු තමන්ගේ මමත්වය වර්ධනය කර ගන්නකොට ඔවුන්ගේ පුද්ගලික නිදහස සීමා වෙන්ට ඕනෙ. මමත්වය පාලණය කරගන්න කොට පුද්ගලික නිදහස වර්ධනය කර ගන්ට පුලුවන්. බෞද්ධයෙන් වශයෙන් අපි අවසානයේ සංසාරයෙන් එතෙර වෙන්ට නම් මමත්වය නැති කර ගන්ට ඕනෙ. ඒ නිසා සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් පුද්ගලික නිදහස කියා දකින්නේ මමත්වය පාලණය කරගැනීම තුලින් අත් කරගන්නා නිදහසකට කියා මම හිතනවා. 


මමත්වය වර්ධනය වෙන්නේ මම යැයි කෙනෙක් සමාජයෙන් වෙන් කර ගැනීම තුලින්. ඒ නිසා මමත්වය පාලණය කර ගන්නකොට අපි සමාජයෙන් වෙන් වෙන්නේ නෑ. මමත් සමාජයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ඇති කර ගන්නවා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධකම පවත්වා ගැනීම ජාතියේ පැවැත්ම බව මම මීට කලින් සඳහන් කලා. ඒ නිසා අපි ජාතියක් වශයෙන් පවතින්නත් මමත්වය පාලණය කරගැනීම තුලින් අත් කරගන්නා පුද්ගලික නිදහසක් අත්‍යාවශ්‍යයි කියා මම හිතනවා. 


නමුත් බටහිර ආධිපත්‍යය යටතේ අපට හිමිවෙලා තියෙන්නේ මමත්වය වර්ධනයකර ගැනීමට නිදහසක්. නැත්නම් නිදහස නැති කර ගැනීමට නිදහසක් යැයි කීවොත් වඩා නිවැරදියි. මමත්වය පාලණය කරගෙන සමාජයෙන් වෙන් නොවී ජීවත්වීමට හැකියාවක් අද අපට නැත. අපිට නොයෙකුත් පාරිභෝගික භාණ්ඩ ගොඩගසාගන්නේ නැතිව සමාජයත් සමඟ එකට ජීවත් වෙන්ට පුලුවන්ද? අපිට පවුල්වලින් නෑදෑ මිතුරන්ගෙන් ජීවත්වෙන පලාතෙන් ඈත් නොවී රස්සා කරන්ට පුලුවන්ද? ඉහලට ඉහලට විභාග පාස් නොකර සමාජයෙන් කොන් නොවී තෘප්තිමත් ජීවිතයක් ගෙන යන්ට පුලුවන්ද? බාධක මධ්‍යයේ මේ දෑ අත් කරගන්නා පුද්ගලයින් නොඉන්නවා නොවේ. නමුත් අවශ්‍ය ඕනෑම කෙනෙකුට ගොඩගසා ගන්නේ නැතිව එහෙමත් නැත්නම් මමත්වය පාලණය කරගෙන නමුත් සමාජයෙන්ද කොන් නොවී ජීවත්වීමට හැකියාවක් තිබිය යුතුය. එවැනි හැකියාවක් අද අපට නැත. අපේ නිදහස් සටන විය යුත්තේ මමත්වය පාලණය කරගැනීම තුලින් නිදහසක් අත් කර ගැනීම උදෙසාය.

2 comments:

  1. එහේ කියද්දී freedom ඒකෙන් අදහස් වෙන්නේ freedom 'of' desires කියන එක (මං හිතන්නේ එක්සත් ජනපද ව්‍යාවස්ථාවේ pursuit of happiness කියලා එකක් දක්වලාම තියෙනවා). බෞද්ධයෝ නිදහස කියන්නේ සසරෙන් නිදහස් වෙන එකට (freedom 'from' desires)

    ReplyDelete
    Replies
    1. you are right and we should not think that freedom 'of' desire is a more natural phenomenon of man than freedom 'from' desire. A society should at least have equal right to be free from desire

      Delete