Friday, October 25, 2013

ලිං මැඩියන්ට මොන ස්වාධිපත්‍යයක්ද?

සමහර බටහිර උගතුන්ට අනුව ස්වෛරීය රාජ්‍ය කියා රාජ්‍ය මේ ලෝකේ නැත එසේත් නැත්නම් රටක ස්වෛරීය භාවය යනු එතරම් පැහැදිලි සංකල්පයක් නොවේ. සම්බන්දන් මහතා ඒකීය රාජ්‍යය එතරම් තේරුමක් නැති සංකල්පයක් ලෙස හඳුන්වන්නේ බටහිර උගතුන්ගේ මේ කියමන් වලට අනුවය. ඔවුන්ට අනුව රටේ ස්වෛරීය භාවයක් බදාගෙන නහින්ට තනන ජාතිකවාදීන් ලෝකය ගැන හරිහැටි නොදන්නා නූගත් ලිං මැඩියෝය. නමුත් ස්වෛරීය භාවය අවැදගත් සංකල්පයක් ලෙස අපට උගන්වන බටහිරුන් අපි බලාපොරොත්තු විය යුතු ආකාරයටම ඔවුන්ගේ ස්වෛරීය භාවය කිසි සේත් පාවා නොදෙති.


බටහිර දාර්ශනිකයින් රටක ස්වෛරීය භාවය එතරම් වැදගත් නොවේයැයි පවසන්නේ පුද්ගල අයිතිවාසිකම් වඩා වැදගත්ය යන පදනමේ සිට ගෙනය. හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් පසුව ඔවුහු ස්වෛරීය බල අධිකාරි මඟින් මිනිසුන්ගේ පුද්ගල නිදහස නැති කරතැයි හෝ එසේ නැති කිරීමට ඉඩ ඇතැයි සිතන්නට පටන් ගත්හ. ඊනියා මානුශික හිමිකම් කඩ කරන රටක ස්වෛරීය භාවයට එරෙහිව ජාත්‍යාන්තර සංවිධාන වලට කටයුතු කල හැකි යැයි ඔවුන් සිතන්නේ ඒ පදනමේ සිට ගෙනය. ප්‍රායෝගික වශයෙන් මේ කථාව වලංගු නොවෙන්නේ එසේ මැදිහත් වීමට එක සමාන දේශපාලන බලයක් ලෝකයේ සියලුම රටවලට නැති බැවිනි. උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේ කළු ජාතිකයින්ට සිදුවෙන අසාධාරණකම් ගැන ඇමෙරිකාවට බලපෑමක් කිරීමට ලොව කිසිම රටකට නොහැකිය. දාර්ශනික වශයෙන් වුවද මේ කථාව වලංගු වන්නේ පුද්ගල අයිතිවාසිකම් වඩා වැදගත්යැයි සැලකෙන සමාජ අතර පමණය. උදාහරණයක් වශයෙන් පුද්ගල අයිතිවාසිකම් සමාජීය අයිතිවාසිකම් තරමටම වැදගත් යැයි සැලකෙන සමාජයක සමාජීය අයිතිවාසිකම් නොසලකා පුද්ගල අයිතිවාසිකම් සඳහා බාහිර බලයක් මැදිහත්වීම යුක්ති සහගත කල නොහැකිය. 

බටහිර උගතුන් අපට මොන කතන්දර කීවත් ඔවුන්ගේ ස්වෛරීය භාවය ඔවුන්ට වැදගත්ය. අද ලොව පුරා බටහිර රටවල හමුදාවන් යුද්ධ කරන්නේ ලෝකයෙන් ත්‍රස්තවාදයක් තුරන් කර ලෝකයාට ඊනියා සාමය අත්කර දීමේ අටියෙන් නොව ඔවුන්ගේ ස්වෛරීය භාවය ආරක්‍ෂා කර ගැනීමටය. යුරෝපා සංගමය මඟින් සිදුවන්නේ එහි සාමාජික රටවල ස්වෛරීය භාවය වැදගත් වන පොදු කරුණු ඒක රාශී කිරීම මඟින් ඒ සාමාජික රටවල ස්වෛරීය භාවය තවදුරටත් තහවුරු කිරීමය. වෙලඳාම අරභයා රටවල්වල ස්වෛරීය භාවය නොවැදගත් සේ සැලකේ නම් පරිභෝජනය සඳහාද ලෝකයේ දුප්පතුන්ට බටහිර රටවල දොරටු විවෘත විය යුතුය. නමුත් එය එසේ වන්නේ නැත. පැහැදිලිවම ඊනියා ලෝක වෙළඳ ආර්ථිකය නිසා කෙලෙසෙන්නේ බටහිර නොවන රටවල ස්වෛරීය භාවය පමණි. ලෝක වෙළඳ සංවිධානය හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැනි ඊනියා ජාත්‍යාන්තර සංවිධාන ඒ බවට වග බලාගනිතිි. එමෙන්ම අන්තර් ජාලය හරහා විවිධ ජාතීන්ට එක් විය හැකි නිසා රටවල්වල ස්වෛරීය භාවය වැදගත් නැතැයි කිව හැකිද? අද අන්තර් ජාලය හරහා සංස්කෘතික බලපෑමක් කෙරෙන්නේ බටහිර නොවන සංස්කෘති වලට නොවේද? ඒ හරහා දේශපාලණ බලපෑමක් (උදා: අරාබි වසන්තය) කෙරෙන්නේද බටහිර නොවන රටවලට නොවේද?

උගතුන් අපව මුලා කරන්ට තැනුවත් බටහිර රාජ්‍ය ඔවුන්ගේ ස්වෛරීය භාවය රැක ගනිති. අපිටද ස්වෛරීය රාජ්‍යයක් තිබිය යුතුය. අපි ස්වෛරීය භාවයක් ගැන කථා හදන්නේ ජාතිය යන සංකල්පය මුල් කර ගෙනය. ජාතිය යන සංකල්පයට පදනම පැවැත්මය. අපිට පැවැත්ම සාපේක්‍ෂය. අපිද ලෝකයද පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සමඟ බැඳී යයි අපි සිතන්නෙමු. එකක් නිසා අනික පවතී. ඒ නිසා අපේ පැවැත්ම රඳා පවතින්නේ මේ සාපේක්‍ෂ බව රැක ගැනීම තුලය. එය රැක ගැනීම පුද්ගලික මෙන්ම සාමාජීයද අයිතිවාසිකමකි. එවැනි සාපේක්‍ෂබවක් රැක ගැනීම සඳහා අපට ස්වෛරීය භාවයක් තිබිය යුතුය.


සාපේක්‍ෂ පැවතීම යනු ප්‍රායෝගිකත්වයක් නැති හුදෙක් වියුක්ත සංකල්පයක් නොවේ. සාපේක්‍ෂ පැවතීම අපේ ගතියය. අපිත් ලෝකයත් එකිනෙක මත යැපෙමින් පවතීයැයි සිතමින් අපි ලෝකයෙන් භෞතිකවත් ක්‍රියා කාරකම් තුලිනුත් වෙන් නොවී  ජීවිතය ගෙන යාමට උත්සාහ දැරීම සාපේක්‍ෂ පැවතීමය. අපි පරිසරයට සතා සිව්පාවුන්ට අනිසි බලපෑමක් නොකර ජීවත් වෙන්නට උත්සාහ කරන්නේ මේ සාපේක්‍ෂබව ආරක්‍ෂා කර ගන්ටය. අපි සංවරව පරිභෝජනය කරන්නේ ලෝකයත් අපත් අතර ඇති මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව ආරක්‍ෂා කර ගන්ටය. එකිනෙකාගෙන් දුරස් නොවී ව්‍යාප්ත පවුල් පවත්වාගෙන යන්නට උත්සාහ දරන්නේත් ඒ නිසාය. අපිට ස්වෛරීය භාවයක් අවශ්‍යය මේ ගති රැක ගැනීමටය. මේ ගති ආරක්‍ෂා නොකර අපිට ජාතියක් වශයෙන් පැවතිය නොහැකිය.


අද ජාතිකවාදීන් විසින් රටේ සූදු කෙලීම නැවැත්වීමට ගන්නා උත්සාහය ගැන සතුටුවිය හැක්කේ ඒ හරහා රජයේ ආර්ථික ප්‍රතිපත්ති දේශීය මඟකට යොමුකර රටට ස්වෛරීය භාවයක් අත් කරදිය හැකිවේය යන බලාපොරොත්තුව මතය. මූලික වශයෙන් අද අපේ ස්වෛරීය භාවයට තර්ජනයක් එල්ල වෙන්නේ බටහිර ආර්ථික ක්‍රමය හා ඔවුන් දරන දැනුමේ ආධිපත්‍යය විසිනි. පුද්ගලයා ලෝකයෙන් වෙන් කර ඔහුට ඉන්ද්‍රීය පිනවීම සඳහා පුද්ගලික නිදහසක් ලබාදීම එහි ක්‍රමවේදයයි. එහිදී අපට සාමාන්‍යයෙන් කියා දෙන්නේ මිනිසා ස්වභාවයෙන්ම නිමක් නැතිව කම් සැප හඹා යන බවත් ඒ ආශාවන් තෘප්තිමත් කර ගැනීමට ඔහුට පුද්ගලික නිදහසක් තිබිය යුතු බවත්ය. මේ කථාව බොරුවකි. මෙවැනි මිනිසෙකු නැත. ඇත්තේ ඉන්ද්‍රීය පිනවීම සඳහා විවිධ මට්ටමින් රුකුල්දෙන හා විවිධ මට්ටමින් සීමා පනවන සංස්කෘති සහ ඒ අනුව ජීවත්වන මිනිසුන්ය. එසේ නැතිව නිමක් නැතිව කම් සැප හඹා යන ස්වභාවයක් (අඩුතරමින් එවැනි ලක්‍ෂණ දෙන මිනිස් ජානවත් තිබේද?) ඇතැයි සැලකිය හැකි අසංකෘතික මිනිස්සු නැත. මේ ලිපිය කියවන ඔබට එවැනි ස්වභාවයක් ඇතැයි ඔබ පිලිගන්නවාද? එය මිනිස් ස්වභාවයක් නම් අපි සැවොම එවැනි ස්වභාවයක් ගැන ආඩම්බර නොවෙන්නේ ඇයි? ආඩම්බර නොවේ නම් එසේ ආඩම්බර නොවීම ස්වභාවය ලෙස නොසලකන්නේ ඇයි? ලංකාවේ බහුතරයක් කම් සැප හඹා යෑමට කෙරෙන බලවත් බලපෑම් හමුවේ මට මෙහෙම හොඳා යැයි සිතමින් ජීවත්වෙන්නන් නොවේද? බොහෝ අය තරුණ අවධියේ කෙසේ වෙතත් අඩු තරමින් මහලු වියේදීවත් ඉන් තෘප්තියක් නොලැබෙන බව අවබෝධ කර ගනිති. සමහරු එය අවබෝධ කර ගන්නේ පෙර කර්ම ශක්තියකින් විය හැකිය.


ඒ කෙසේ වෙතත් නිමක් නැතිව කම් සැප හඹා යෑම සියලු මිනිසුන්ගේ ස්වභාවයක් ලෙස ගැනීම බටහිරුන්ගේ හුදු උපකල්පණයක් පමණි. ඒ බොරුව මත පදනම් වෙමින් බටහිරුන් අවශ්‍යය ඕනෑම පුද්ගලයෙකුට ඉන්ද්‍රීය පිනවීම සඳහා උපරිම පුද්ගලික නිදහසක් ලබාදෙයි. නමුත් අපේ රටේ ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍යය නම් ඉන්ද්‍රිය සංවර කරගෙන ජීවත් වෙන්නට ආර්ථික දේශපාලනික හා සාමාජීය වශයෙන් නිදහසක් නැත. අඩුම තරමින් කම් සැපෙහි ගිලීමට ඇති නිදහස තරම් නිදහසක්වත් ඉන් ඈත්වී ජීවත්වීමට පුද්ගලිකවත් සමාජයක් වශයෙනුත් අපට නැත. එසේ නිදහසක් නොතිබීම සාධාරණය කල හැක්කේ මොන පදනමකින්ද?


අපට පරිසරයට සතා සිව්පාවුන්ට අනිසි බලපෑමක් නොකර ජීවත් වෙන්නට නිදහසක් තිබිය යුතුය. සංවරව පරිභෝජනය කරන්නට නිදහසක් තිබිය යුතුය. එකිනෙකාගෙන් දුරස් නොවී ව්‍යාප්ත පවුල් පවත්වාගෙන යන්නට නිදහසක් තිබිය යුතුය. කොටින්ම ලෝකය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී ජීවත්වීමට අපට නිදහසක තිබිය යුතුය. ලෝකය සමඟ සාපේක්‍ෂව පැවතීම අපේ පුද්ගලික මෙන්ම සාමාජීය අයිතිවාසිකමය. ජාතියේ පණ රැකෙන්නේ එසේ ජීවත් වන මිනිසුන් අතරය. ඒ මිනිසුන්ට ඕනෑ හැටියට ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කර ගැනීම සඳහා ස්වාධිපත්‍යයක් අපට තිබිය යුතුය. 



No comments:

Post a Comment