Friday, October 18, 2013

ආගම

බුදුසරණ
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කියන්නේනම් ලංකාවේ රූපවාහිනී නාලිකා හාමුදුරුවරුන් බයිට් කරන්නේ ගේමක් නැතිවය. මීට වසර පනස් හතරකට උඩදී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා ඝාතනය කිරීමට සැලසුම් කල බුද්ධරක්ඛිත හිමියන්ටවත් මෙතරම් නින්දිත ලෙස සලකන්ට එදා මිනිසුන් අසංවර වුනාදැයි මම නොදනිමි. නමුත් අද ජන මාධ්‍ය පමණක් නොවේ ගිහි බෞද්ධයෝ මෙන්ම සමහර හාමුදුරුවරු පවා ඔවුන් වැරදි යැයි සලකන සංඝයාවහන්සේලාට චීවරදාරියා හොරා බේබද්දා කියා ප්‍රසිද්ධියේ පරිභව කරන්නේ කිසිම පැකිලීමක් නැතිවය. මේ සිංහල බෞද්ධාගම මුහුණපා ඇති අර්බුදයේ එක් පැති කඩක් පමණි. තමන් හේතුවාදීන් යැයි සිතන සමහර බෞද්ධ උගත්තු සිංහල බෞද්ධාගමේ ඊනියා සංස්කෘතික ලක්‍ෂණ ලොප් කරන්ට තනති. තවත් සමහර උගත්තු බුදු දහම විද්‍යාත්මකයැයි පෙන්වීමට උත්සාහ ගනිති. සාමාන්‍ය බෞද්ධයෝද බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව විවිධාකාර ප්‍රතික්‍රියා දක්වති. සමහර උගත් මධ්‍යම පංතික තරුණ බෞද්ධයෝ සාම්ප්‍රදායික පංසල් ඇසුරින් ඈත්වී තනි තනියෙන් විමුක්තිය සොයා නොයෙකුත් ගිහි පැවදි භවතුන් සරණ යති. මේ අතර සමහර පංසල් හුදෙක් ගිහියන්ට සංස්කෘතික සේවා සපයන ආයතන බවට පත්වී ඇත. ලක්‍ෂ ගණන් සැදැහවතුන් පුදබිම් වල පූජා පවත්වති බණ අසති සිල් ගනිති. රූපවාහිනීවල පැය විසි හතරේම බණ කියැවේ. සමහරු ශුද්ධවූ බුදු දහමක් වෙන්කර හඳුනාගෙන එය ආරක්‍ෂා කර ගන්ට උත්සාහ කරති. තවත් සමහරු සිංහල බෞද්ධයින්ගේ ආරක්‍ෂාව පතා බෞද්ධ සංවිධාන පිහිටුවා ගනිති. මේ සියලු සංසිද්ධි වලින් පෙන්නුම් කෙරන්නේ සිංහල බෞද්ධාගම බටහිර සංස්කෘතිය සමඟ ගැටෙමින් එහි ගිලෙමින් කරන අරගලයය.


නමුත් මෙරට බුදු දහම සංස්කෘතික අරගලයක නියැලෙන පළමු වතාව මෙය නොවේ. දුටු ගැමුණු රජ සමයේදීද මෙරට වැසියෝ බුදු දහම රැකිය යුත්තේ කෙලෙසද යන්න ගැන අරගල කලහ. දුටු ගැමුණු රජතුමා එළාර යුධයට සේනාව රැස් කිරීම සඳහා බුදු දහම බේරා ගනිව් වැනි සටන් පාඨයක් යොදා ගත්තැයි සඳහන් වෙන්නේ නැත. නමුත් තමන් ගේ වෑයම බුදු දහමේ චිරස්ථිතිය සඳහා යැයි පහදා දෙන්නට එතුමා කල්පනා කලේය. බුදු දහම බේරා ගැනීම සඳහා අමුතු පණ ගැනවීමක් මෙරට වැසියන්ට අවශ්‍යය වුනු බව ඉන් පෙනෙන්නේ නැත. නමුත් බුදු දහම රැකීමට නම් එක් සේසත්වූ රාජ්‍යයක අනුග්‍රහය ඊට ලැබිය යුතුයැයි දුටු ගැමුණු රජතුමා කල්පනා කලා විය හැකිය. නමුත්් එදා දේශීය සංස්කෘතියක් තුල බුදු දහම පවත්වාගෙන ආ මෙරටුන්ට ඒ ගැන එතරම් විශ්වාසයක් නොතිබෙන්නට ඇති. විශේෂයෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයින් අනුරාධපුරයේ කේන්ද්‍රගතව සිටි බමුණු සංස්කෘතියට ගැතිවූ දේශපාලන බලවේගයට බුදු දහම ආරක්‍ෂා කර ගැනීමට උවමණාවක් හෝ හැකියාවක් තිබිනිදැයි සැක කරන්නට ඇතැයි සිතිය හැකිය. දුටු ගැමුණු රජ සමයේදීද ඊට පසුද යක්‍ෂ ගෝත්‍රිකයින් හා මෙරට දේශපාලණ බලය අතර තිබුනු අරගලය හුදෙක් සංස්කෘතික ගැටුමක් නොව බුදු දහම රැකීම කේන්ද්‍ර කරගෙන තිබුනු ආරවුලක් යැයි සිතිය හැකිය. අවසානයේ එය සමථයකට පත්වූයේ බුදු දහම රාජ්‍ය අනුග්‍රහය ලැබුනු ථෙරවාදී ආගමක් ලෙස මෙරට ස්ථාපිත වීමත් යක්‍ෂ ගෝත්‍රිකයෝ සිංහල ජාතියට එක් වීමත් මඟිනි. මෙසේ එක් වූ සිංහලයින් අත අවුරුදු දහස් ගණනක් මෙරට බුදු දහම රැකුනු බව අද අපි දනිමු.


බෞද්ධ සාහිත්‍යයට අනුව නම් අඩු තරමේ කකුසඳ බුදුන් දවසේ සිටවත් මෙරට වැසියෝ බුදු දහමින් පෝශණය වෙමින් ආහ. කලින් කලට ඔවුහු විවිධ සංස්කෘති වල සිටින්නට ඇත. ඒ ඒ කාල වල පෘතග්ජන මිනිසුන් බුදුබණ වටහා ගන්නට ඇත්තේ ඒ ඒ කාලවල ඔවුන් සතුවූ දැනුම් පද්ධතියට සාපේක්‍ෂවය (ප්‍රත්‍යක්‍ෂවූ දෙයක් හැරෙන්නට). උදාහරණයක් වශයෙන් මම කියා කෙනෙක් ඇතැයි ගැනීම මායාවක්ය යන දැනුමත් ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමත් එකම නොවේ. එසේ වුනානම් මම යන්න මායාවක් බව තර්කානුකූලව දන්නා අපි සැවොටම සසරින් එතෙරවීමට හැකිවිය යුතුය. භාෂාව හා තර්කය ඇසුරින් සංස්කෘතියකට සාපේක්‍ෂව ගොඩනැඟෙන දැනුමෙන් යමක් ප්‍රත්‍යක්‍ෂ කරගත නොහැකිය. භාෂාව හා තර්කය ඇසුරින් ගොඩනැඟෙන දැනුම පරම සත්‍යයක්වත් යථාර්තයක්වත් නොවේ. නමුත් භාෂාව හා තර්කය ඇසුරින් ගොඩනැඟෙන දැනුමක් පෘතග්ජන අපිට අවශ්‍යය. එසේ අවශ්‍ය වන්නේ අපිට සමාජයක් වශයෙන් නිවන් මඟට යොමුවී සිටින්නටය. එසේ සිටීමට ඇති බාධක ඉවත් කර ගැනීමටය. එසේ සිටිමින් අවසානයේ මෙරට බුදු දහම රැක ගන්නටය. මෙය ඉටු කර ගැනීමටනම් බුදු දහම පිළිබඳ ගෙඩනඟන දැනුම තත්කාලීන සංස්කෘතිය තුල බිහිවී ඇති පොදු දැනුම් පද්ධතිය සමඟ සංගත විය යුතුය. කකුසඳ කෝණාගම කස්සප වැනි බුදු වරුන් බණ දෙසන්නට ඇත්තේ ඒ ඒ කාලවල සිටි හෙළයන්ට තේරුම් යන පරිදි බව තේරුම් ගැනීමට අපහසු නොවේ. ගෝතම බුදුන්ගේ බණ ඊටත් වෙනස්වන්නට ඇති. මම යන්න මායාවක් ලෙස අද අපි තේරුම් ගත්තත් විවිධ කාල වල මෙරටුන් විවිධ කථා ඔස්සේ ඒ බව තේරුම් ගන්නට ඇති. මේ සියලු කථා එකම නොවේ. ඒ හැම කථාවක්ම අද අපිට තේරුම් ගතද නොහැකිය මන්ද ඒ ඒ කථා ගෙතෙන්නට ඇත්තේ එදා පැවති දැනුම් පද්ධතියට සංගත වෙන අයුරෙන් බැවිනි. මේ අයුරින් සැලකූවිට ථෙරවාදයද බුදු දහම පිළිබඳ භාෂාව හා තර්කය ඇසුරින් ගොඩනැඟෙන එක් දැනුම් පද්ධතියක් ලෙස සැලකිය හැකිය. ත්‍රිපිටකයේ හෝ අභිධර්මයේ හෝ බුදු වදන් එලෙසම අඩංගුවීම ථෙරවාදය හුදෙක් දැනුම් පද්ධතියක් නොවීමට සාධක නොවේ. වැදගත් වනුයේ ථෙරවාදී දැනුම අනුරාධපුර යුගයේ මෙරට සිටි වැසියන්ගේ සංස්කෘතියට සාපේක්‍ෂවූ බවය. එය ඔවුන්ගේ දැනුම් පද්ධතිය සමඟ සංගතවූ බවය. 


විවිධ කාලවල හෙළයින් ඔවුන් තමන් දැනගත් බුදු දහම තමන්ගේ සංස්කෘතියට මුසු කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නට ඇති. උදාහරණයක් වශයෙන් අද අපි බුදු රුවට වන්දනා කලත් පෙර සිටි හෙළයින්ට වැදගත් වුනේ සිරි පතුල බව සඳහන්වේ. බාහිර හෝ අභ්‍යන්තර බලපෑම් නිසා සංස්කෘතික දේශපාලනික හා දැනුම් පද්ධතියේ වෙනස්වීම් ඇතිවූ අවස්ථාවලදී අද මෙන්ම අර්බුද ඇතිවන්නට ඇති. නමුත් ඒ ගැටුම් ඇතිවුනු සෑම අවස්ථාවකදීම නිවන පිළිබඳ යම් දැනුමක් ඊට අනුකූලවූ ගති පැවැතුම් සමූහයක් සමඟ මුසු කරගෙන රැක ගන්නට මෙරට වැසියන් සමත් වුනහ. ගෝතම බුදුන් දෙසූ බණ හෙළයන්ට එතරම් නුහුරු නොවූයේ මේ ආකාරයට පවත්වාගෙන ආ ගති පැවතුමක් ඔවුන්ට තිබූ නිසා විය යුතුය. අද අපි කල යුත්තේ අපේ මුතුන් මිත්තන් බුදු දහම මෙරට රැක ගත් ආකාරය අවබෝධ කර ගැනීමය. එසේ අවබෝධ කරගෙන සමාජයක් වශයෙන් නිවන් මඟට යොමුවීමය.


යමෙකු නිවන් මඟේ යා යුත්තේ තමන්ගේ වෑයමෙන් වුනත් පොදු සමාජයේ ඒ සඳහා නැඹුරුවක් නැතිව තනි පුද්ගලයෙකුට එය කල නොහැකිය. එමෙන්ම පුද්ගලයින් තනි තනියෙන් නිවන් මඟට ගැනීමට ගන්නා උත්සාහයක් හරහා පමණක් සමාජයක් නිවන් මඟට යොමු කල නොහැකිය.  මේ කථාව බොහෝ බටහිර උගතුන් නොපිලිගනු ඇත. ඔවුන් දකින සමාජය වෙන් කර ගත් තනි පුද්ගලයින්ගේ එකතුවක් බැවින් ඔවුන්ට වැදගත් වන්නේ පුද්ගලයින් පමණි. නමුත් සිංහලුන්ට පුද්ගලයා හා සමාජය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව නොගිනිය හැරිය නොහැක. ඒ නිසා සමස්ථයක් හැටියට මුලු සමාජයත් එහි සංඝටකවූ තනි පුද්ගලයිනුත් යන දෙවර්ගයේම ක්‍රියා කාරිත්වය සිංහලුන්ට වැදගත්ය. මෙරට බුදු දහම රුකුනේත් අපි සමාජයක් වශයෙන් නිවන් මඟේ ගමන් ගත්තේත් අපේ මුතුන් මිත්තන් මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සැලකීමට ගත් බැවිනි. සිංහලුන් මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව රැක ගත්තේ විශේෂයෙන්ම ඔවුන් බුදු දහම පිළිබඳව ගොතාගත් දැනුම පුද්ගලයාත් පවුලත් සමාජයත් පරිසරයත් අනිකුත් සතා සිව්පාවත් එකට බැඳ තැබූ බැවිනි. ඒ සමඟම රට එක් සේසත්වීම, බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය තිබීම, බෞද්ධ අධ්‍යාපනය, කෘෂි ආර්ථිකය, සංවර පරිභෝජනය, මිනිසුන්ගේ ගති පැවැත්ම, ආදී සියලු කරුණුද ප්‍රායෝගිකව ඒ සම්බන්ධතාව පවත්වාගෙන යන්නට උදව් කෙරිනි.


නමුත් බටහිර සංස්කෘතික හා දැනුමේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙන්නේම පුද්ගලයා හා සමාජය අතර ඇති මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව බිඳ දැමීම අරමුණු කරගෙනය. අපි පරාජය කල යුත්තේද ඒ වෑයමය. අද සමහර සිංහල බෞද්ධයින් හාමුදුරු නමක් වෙන් කරගෙන ඒ නමගේ වැරදි මත උන්වහන්සේට පමණක් පහර ගැසිය හැකි යැයිද සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එසේ කල යුතු යැයිද සිතති. මෙහිදී කෙරෙන්නේ සමස්ථ සංඝ සමාජයෙන් ඊනියා ස්වාධීන පුද්ගලයෙකු වෙන් කිරීමය. එය යුක්ති යුක්ත කරන්නේ බටහිර දැනුමය. නමුත් සිංහල සංස්කෘතිය තුල හාමුදුරුනමකට ගසන පහරවල් මුලු සමාජයටම දැනෙනබව ඒ සංස්කෘතියේ ජීවත්වන මිනිසුන් දනිති.


ඇතැමුන් සිංහල බෞද්ධාගමේ ඊනියා සංස්කෘතික ලක්‍ෂණ ලොප් කරන්ට තනන්නේද බටහිර සංස්කෘතික අභාෂයෙන් හිස උදුම්මා ගෙනය. ඇරිස්ටෝටල්ගේ තර්කයට තබා චතුස්කෝටික තර්කයටවත් හසු නොවෙන බුදු දහම හේතුවාදයක් කිරීමට ගන්නා උත්සාහය මඟින් ඔවුන් ඇත්තටම කරන්නේ සිංහල බෞද්ධාගම අසංකෘතික කිරීම නොව එය බටහිර සංස්කෘතියේ ගිල්ලවීමය. බුදු දහම පිළිබඳ භාෂාව හා තර්කය පදනම් කරගෙන ගොඩනැඟෙන දැනුම කිසියම් සංස්කෘතියකට සාපේක්‍ෂව ගොඩනැඟිය යුතු බව අපි පිලිගනිමු. අවශ්‍යනම් සුද්දන්ටද එය කල හැකිය. එහි ගැටලුවක් නැත. නමුත් මෙරට තුල පිළිගැනීමක් තිබිය යුත්තේ සිංහල නැත්නම් හෙළ සංස්කෘතියක් තුල ගොඩනැඟුනු බුදු දහම පිළිබඳ දැනුමකට මිස බුදු දහම පිළිබඳ බටහිර සංස්කෘතියේ ගෙතුනු දැනුමකට නොවේ. සුද්දෙකුට බුදු දහම පිළිබඳ බටහිර සංස්කෘතියේ ගෙතුනු දැනුමක් අල්ලාගෙන ඔහු වෙසෙන බටහිර සමාජයෙන් වෙන්වී තනියෙන් නිවන් මඟට යොමුවිය හැකි වුනත් අපිට අවශ්‍යවන්නේ එය නොවේ. බටහිර බුදු දැනුමක් අපේ සංස්කෘතියේ දැනුම සමඟ සංගත වන්නේ නැත. අපිට පුද්ගලයා මෙන්ම මුලු සමාජයද නිවන් මඟට යොමු කල යුතුය. ඒ සමඟම බුදු දහම අපේ මතු පරම්පරා සඳහා රැක ගත යුතුය. එය කල හැක්කේ හෙළ සංස්කෘතියේ දැනුම් පද්ධතියට සංගතවුනු බුදු දහම පිළිබඳ දැනුමකට පමණි.


තවත් සමහර බෞද්ධයෝ ශුද්ධවූ බුදු දහමක් හඳුනාගෙන රැක ගැනීමට උත්සාහ කරති. එසේ කරමින් ශුද්ධවූ බුදු දහමක් වෙන් කිරීමට එලෙසම දඟලන අනිකුත් අය සමඟ වාද බේද ඇති කර ගනිති. බොහෝවිට මේ අය ශුද්ධවූ බුදු දහමක් සොයන්නේ බටහිර සංස්කෘතියේ ආධිපත්‍යයෙන් මිදීමටය. ඒ ගැන අප සංවේදී විය යුතුය. නමුත් ශුද්ධවූ බුදු දහමක් යනු කුමක්ද? බුදු වදනද? පාළි භාෂාවෙන් ලියැවුනු බුදු වදන ත්‍රිපිටකය වශයෙන් හෝ අවශ්‍යනම් ත්‍රිපිටකය හා අභිධර්මය වශයෙන් අද අප සතුව ඇත. එය නැතිවීමේ තර්ජනයක් අද නැත. පැහැදිලිවම පෘතගජනයින් වශයෙන් මේ බෞද්ධයින් රැක ගන්නට තනන්නේ ත්‍රිපිටකය හෝ අභිධර්මය නොව එය කියවා ඔවුන් තේරුම් ගන්නා දැනුමය. ඔවුන් ප්‍රත්‍යක්‍ෂ කරගන්නා දැනුම නොව භාෂාව හා තර්කය පදනම් කරගෙන බුදු දහම පිළිබඳ ඔවුන් තේරුම් ගන්නා දැනුමය. ප්‍රශ්ණය ඔවුන් එසේ තේරුම් ගැනීම නොව තර්කයෙන් ඔවුන් තේරුම් ගත් දැනුමක් ශුද්ධ යැයි සැලකීමය. එසේ සලකමින් අන් අය සමඟ බේද ඇති කර ගැනීමය. බුදුන් වහන්සේ පිරිණිවන් පා ටික කලකට පසුවම බුදු වදන පිළිබඳ වාද බේද ඇතිවුනු බව අපි දනිමු. ත්‍රිපිටකයට අටුවා ලියැවුනේ ඒ නිසාය. ඒ නිසා එකම සංස්කෘතිය තුල වුවද බුදු දහම පිළිබඳ විවිධ දැනුම් තිබිය හැකි බව අපි පිලිගත යුතුවෙමු. අපි කල යුත්තේ ඉන් වඩාත් සංගත වන දැනුම් පද්ධතිය සංවාද තුලින් විචාරාත්මකව හඳුනාගැනීමය.


ශුද්ධවූ බුදු දහමක් වෙන් කර ගන්නට හදන බෞද්ධයින් නොදැනුවත්වම කරන්නේ ඒ දැනුමට වාස්ථවික බවක් ලබාදීමය. එසේ කර එය නොවෙනස්ව රැක ගැනිමින් ඉදිරියට ගෙනයාමට උත්සාහ කිරීමය. නමුත් බෞද්ධයින්ට වෙනස් නොවෙන යථාර්තයක් ලෙස තිබිය හැක්කේ නිවන පමණි. එය ප්‍රත්‍යක්‍ෂයක් මිස ගොඩනඟාගත් දැනුමක් නොවේ. ඒ නිසා ශුද්ධවූ බුදු දහමක් වෙන් කර ගෙන ඒ දැනුමට වාස්ථවික බවක් ලබාදීම බෞද්ධයින්ට සුදුසු නොවේ. බටහිර ආධිපත්‍යය හමුවේ එසේ කිරීමට දරන උත්සාහ කෙලවර විය හැක්කේ එක්කෝ ඒ දැනුම විනාශවීමෙනි එසේත් නැත්නම් එය පිලිගෙන ඒ අනුව ජීවත්වීම පුද්ගල නිදහසක් බවට ලඝුවීමෙනි. මේ දෙකම සිංහල බෞද්ධයින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොවේ. 


අද අපි කල යුත්තේ අපේ මුතුන් මිත්තන් කලාක් මෙන් බුදු දහම පිළිබඳ දැනුම් පද්ධතියක් ඒ හා සංගතවූ ගති පැවැතුම් සමූහයක් සමඟ මුසු කරගෙන රැක ගැනීමට උත්සාහ කිරීමය. අපිට පුද්ගලයා මෙන්ම මුලු සමාජයද නිවන් මඟට යොමු කිරීම වැදගත්ය. බටහිර උගතුන්ට එය අවබෝධ නොවෙනු ඇත. ඔවුන්ට තේරෙන ආකාරයට අපිට මෙසේ කිව හැකිය. බටහිර සංස්කෘතිය තුල ඕනෑම අයෙකුට යෙහෝවා දෙවියන් වහන්සේ පෙන්වූ මඟේ ගමන් කිරීමට සංස්කෘතික ආර්ථික දේශපාලනික හා සමාජීය බාධාවක් නැත. අඩු තරමින් බටහිර සංස්කෘතිය තුල ඕනෑම අයෙකුට තරබාරු නොවී සිටීමට ඇති නිදහසට වඩා යෙහෝවා දෙවියන් වහන්සේ පෙන්වූ මඟේ ගමන් කිරීමට නිදහසක් ඇත. එසේ වී ඇත්තේ බටහිර ආර්ථිකය දේශපාලණය හා සංස්කෘතිය ඊට අනුගාමීව සකස්වී ඇති බැවිනි. ඒ ආකාරයටම මෙරට තුලද අවශ්‍ය ඕනෑම වැසියෙකුට නිවන් මඟේ යෑමට කිසිම සංස්කෘතික ආර්ථික දේශපාලනික හෝ සමාජීය බාධාවක් තිබිය යුතු නොවේ.

4 comments:

  1. මට තේරේන විදිහට බුදුදහම ඉතිහාසයේ කවරදාකවත් එක සංස්කෘතියක් හෝ ජාතියක් තුල සිරවී ඉදලා නෑ..ඒය විවිධ සංස්කෘතීන්, ජාතීන් හා මුසු වෙමින් නව මුහුණුවරයන් ගනිමින් විකාශනය වී තිබෙනවා...සමහර නව අර්ථ දැක්වීම් හා වෙනස කිරීම් නිසා බුදු දහම පෝශණය වී ඇතිවාක් මෙන්ම මූලික ප්‍රශ්ණයෙන් අපගමනය වීම් ද දක්නට ලැබෙන්වා...ඇතැම් විට මේ අපගමනයන් නිසා බුදුදහම එම සංස්කෲතින් වලින් අතුගැවී ගියා මෙන්ම තවත් සංස්කෘතීන් වලිදී මුල් බැස ගෙන තියෙන්වා......බුදුදහම නිදහස් චින්තනයට රුකුල් දෙන්නක්..ඒය විවිධ රාමු තුල ක්‍ටු කර ගැනීමට යත්න දැරීම තුලින් බුදුදහමේ අපේක්ශාවන් ඉ‍ටුවෙන්නේ නෑ....තම තම නැන පමනට ග්‍රහනය කර ගත් යුත්තක්.....

    වැදගත් වන්නේ සිංහලයාට ඕනේ විදිඅහ්ට බුදුදහම් හැසිරවීම නොව බුදුදාහමේ සංකල්ප සිංහල සමාජයේ අර‍ටු බවට පත් කර ගැනීමයි....ලංකාවේ පත්තර බැලුවම බලා ගන්න පුලුවන් උදේ හවස බණ අහන රටට වෙලා තියෙන දේ...


    මහායානෙද?..ථේරවාදේද......නැත්නම් මොකුත්ම නැද්ද?

    'මහායානයද? ථේරවාදයද?...........දෙවෙනි ලිපිය

    යෝනිය සම්භන්ධයෙන් බුදුන් ඇන ගත්තාද?: Whither Buddhism on Feminism

    ReplyDelete
    Replies
    1. බුදු දහම නිදහස් චින්තනයට රුකුල් දෙන්නක් කියලා හිතන එකම යම් රාමුවකට කොටුවීමක්. මොකද නිදහස් චින්තනය කියන්නේ මොකක්ද කියලා කියැවෙන්නේ යම් රාමුවක් ඇතුලෙ. අද අපි එහෙම හිතන්නෙ නැත්තේ බටහිර සංස්කෘතියෙ නිදහස් චින්තනයක් තියෙනවා කියලා අපිව අන්දලා තියෙන නිසා.

      ඒ නිසා මම කියන්නේ බුදු දහම ඕනෑම සමාජයක් තේරුම් ගන්නේ ඔවඑන්ගේ සංස්කෘතියට සාපේක්‍ෂවයි. එහෙම තේරුම් නොගත් බුදු දහමක් කොහෙවත් නෑ.

      Delete
  2. (දැනගැනිම පිනිසය) 'නිවන වෙනස් නොවන යතාර්තයක්' ලෙස ගන්නෙ කොහොමද...?

    ReplyDelete
    Replies
    1. නිවන යථාර්තයක් ලෙස ගැනෙන්නේ එය මනසට සාපේක්‍ෂ නැත යන විශ්වාසය උඩයි.

      Delete