Friday, September 27, 2013

සිංහලයාගේ ගතිය, පැවැත්ම සහ එම්පර රාවණ


අද අපි සිංහලුන් ලෙස හඳුන්වාගත්තත් එදා හෙළයින් ලෙස හඳුන්වාගත්තත් හෙට අපි ශ්‍රී ලාංකිකයින් වුනත් අපි ජාතියක් වශයෙන් අවුරුදු දහස් ගණනක් නොනැසී පැවතීගෙන එන බව මම විශ්වාස කරනවා. අපේ සංස්කෘතිය කලින් කලට වෙනස් වෙන්ට ඇති. අපි හැමෝටම එකම ජාන නොතිබෙන්නට ඇති, දැනටත් එහෙම වෙන්ට ඇති. කලින් කලට අපිට විවිධ ආගම්, ඇදහිලි, විශ්වාස ජීවන ක්‍රම තියෙන්නට ඇති. නමුත් ඊට වඩා ගැඹුරින්වූ යම් ගතියකින් නැත්නම් පුරුද්දකින් අපි අපේ මුතුන් මිත්තන් සමඟ සම්බන්ධ වෙනවායැයි මම සිතනවා. අපි මෙතෙක් කල් ජාතියක් වශයෙන් නොනැසී පැවතගෙන ආවෙත් ඒ ගතිය නිසා විය යුතුයි. ඉදිරියේදී අපිට ජාතියක් වශයෙන් පැවතිය හැක්කේත් ඒ ගතිය නිසාමයි. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ සිංහලුන්ගේ එවැනි ගතියක් ගැන කතන්දරයක් ගොතන්ටයි ඒ කථාව ඔස්සේ අපේ පැවැත්ම ගැන සාකච්ඡා කරන්ටයි.




අපේ එක ගතියක් තමයි අපි පවතින්නේ ලෝකයට සාපේක්‍ෂව යැයි සිතීම. ඒ කියන්නේ මම යැයි කෙනෙක් ගත්තහම ඒ මම පවතින්නේ මම නොවෙන සෙසු ලෝකය පවතිනතාක් කල් පමණක් යැයි සිතීම. වෙනත් විදිහකින් කිව්වොත් මම නොවෙන සංස්කාර ධර්ම පවතින කොට මම නමැති සංස්කාර ධර්මය පවතිනවා ඒ වගේම මම නැතිකොට මම නොවෙන ධර්මත් නෑ. පටිච්ච සමුප්පාද ධර්මයෙන් කියැවෙන්නේ මේ සාපේක්‍ෂ පැවැත්මයි. මේ සාපේක්‍ෂව පැවතීම යන වියුක්ත සංකල්පය ප්‍රායෝගිකව පිළිබිඹු වෙන්නේ අපි අප අවට පවතින ලෝකයෙන් වෙන් නොවී ජීවත්වීම තුලින්. සාපේක්‍ෂබව නිසා අපිත් ලෝකයේම අංගයක් යැයි සිතනවා මිස සුදු කලු සේ පැහැදිලිවම මම යැයි කෙනෙක් සෙසු ලෝකයෙන් වෙන් කල හැකි යැයි අපි සිතන්නේ නෑ. එසේ වෙන්කර ගන්ට අපි උත්සාහ කරන්නේත් නෑ. ඒක අපේ ගතිය. උදාහරණයක් වශයෙන් පැරණි ගැමියන්ගෙ ගොවිතැනෙයි, ඔවුන්ගේ ඇදැහිලියි අතරෙ සම්බන්ධකමක් තිබුනා. ඒවා එකිනෙකින් පැහැදිලිව වෙන් කරන්න බෑ. නමුත් අද අපේ රස්සාව කිරීමයි ආගම් ඇදැහිල්ලයි අතර පැහැදිලි වෙන් කිරීමක් තියෙනවා. ඒ දෙක අතර කිසි සම්බන්ධයක් නෑ. වෙන් නොකිරීම නිසා තමයි අපිට අවට ලෝකයේ ඉන්න සතා සිව්පාවුන් මෙන්ම පරිසරය සමඟත් සහජීවනයෙන් ඉන්න පුලුවන් වුනේ. බටහිර මිනිස්සු මෙහෙම හිතන්නේ නෑ. ඒ අය හිතන්නේ මමත් ලෝකයේ අනිත් දෑත් එකිනෙකින් ස්වායත්තව පවතිනවා කියලයි. ඒනිසා ඒ අයට මම යැයි කෙනෙක් සුදු කලු සේ පැහැදිලිවම වෙන් කර ගන්ට හැකියි. ඒ බටහිරුන්ගේ ගතිය.


පැවැත්ම සාපේක්‍ෂ යැයි සිතන ගතියට බැඳුනු තව ගතියක් අපිට තියෙනවා. ඒක මම හඳුන්වන්නේ චතුස්කෝටික පැවැත්ම කියලයි. ඒ කියන්නේ අපිට පවතින්න පුලුවන් විධි හතරක් තියෙනවා. අපි එක්කෝ ඉන්නවා, එක්කෝ නොඉන්නවා, එක්කෝ ඉන්නවා නොඉන්නවා ගානට ඉන්නවා නැත්නම් ඉන්නෙත් නෑ නැත්තෙත් නෑ වගේ ඉන්නවා. සංසාරෙ සැරිසරන කල් අපි මේ එක විධිහකින් තවත් විධිහකට මාරු වෙමින් පවතිනවා කියා මම සිතනවා. අපිට ඒකෙන් ගැලවෙන්න පුලුවන් නිවන් දැකීමෙන් පමණයි. චතුස්කෝටික පැවැත්ම කියන වියුක්ත සංකල්පය ප්‍රායෝගිකව පිළිබිඹු වෙන්නෙ නම්‍යශීලී විදිහට ජීවත්වීම තුලින්. පැවැත්ම පහසු වෙනකොට අපිට පවතිනවා විතරක් නොවේ අවශ්‍යනම් අපිට ඉන්නවා නොඉන්නවා ගානට ඉන්න වුනත් ප්‍රශ්ණයක් නෑ. ඒ වගේම අපහසු කාලෙට ඉන්නෙත් නෑ නැත්තෙත් නෑ වගේ ඉන්නත් පුලුවන්. ලෝකය වෙනස් වෙනකොට ඒ අනුව හැඩ ගැසීමට පුලුවන් වීමයි නම්‍යශීලීවීමේ ගතියෙන් කියවෙන්නේ.


වෙන් නොකරන ගතියයි නම්‍යශීලී ගතියයි එහෙමත් නැත්නම් වෙන විදිහකට කිව්වොත් සාපේක්‍ෂ පැවැත්මයි චතුස්කෝටික පැවැත්මයි තමයි සිංහලයාගේ මූලිකම ගතිය කියල මම හඳුන්වන්නේ. ඒක ඒතරම් හිතා ගන්න අපහසු කාරණයක් නෙවේ. මේ කතන්දරයෙන් කියන විශේෂ දෙය තමයි මේ වෙන් නොකරන ගතියයි නම්‍යශීලී ගතියයි අතර සහ සම්බන්ධයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි ලෝකයෙන් වෙන් නොවී ඉන්න නිසයි අපිට නම්‍යශීලීව ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ. අනිත් අතට අපි නම්‍යශීලී නිසයි අපිට ලෝකයෙන් වෙන් නොවී සිටින්නට පුලුවන් වෙලා තියෙන්නෙ. මේ එක ගතියක් අනිත් ගතිය නැතිව ඇති කර ගන්න බෑ. ඒ නිසා මේ ගති පවත්වාගෙන යන්නට නම් සමස්ථයක් වශයෙන් දේශපාලණ ආර්ථික හා සමාජීය වශයෙන් සමාජය හැඩ ගැහිලා තියෙන්ට ඕනෙ. ඒකයි මෙහි වැදගත්කම.


දැන් මේ වෙන් නොකරන ගතියයි නම්‍යශීලී ගතියයි ජාතියේ පැවැත්මයි අතර සම්බන්ධය මොකක්ද?


ඒක සරලයි. අපි සාපේක්‍ෂ පැවැත්මක් දකින නිසා අපි ලෝකය එකිනෙකින් වෙන් කරන්න යන්නේ නෑ, චතුස්කෝටික පැවැත්මක් දකින නිසා අපි නම්‍යශීලී වෙනවා. ඒ කියන්නේ අපි ලෝකයේ පැවැත්ම දකින විධිහටයි අපේ ගති හැඩ ගැහිලා තියෙන්නෙ. එහෙනම් අපිට කියන්න වෙන්නේ මේ ගතියට අනුව ජීවත්වුනොත් අපි පවතින බව නේද? අපි පැවැත්ම දකින විධියට අපේ ගති හැඩ ගැසෙනවා ඒ ගතියට ජීවත්වන නිසා අපි පවතිනවා. ඊට වඩා වෙනස් ආකාරයක පැවැත්මක් තියෙන්න පුලුවන්ද? සිංහලයාගේ ගති සහ පැවැතුම් අතර තියෙන්නේ චක්‍රීය සම්බන්ධයක් ඒකයි මේවා අපි ගති පැවතුම් ලෙස හඳුන්වන්නේ.


නමුත් අද සිංහලයන්ට ඔවුන්ගේ පැවැත්ම ගැන සැකයක් බියක් තියෙනවා. ඒකට හේතුව අද අපි කරන්න හදන්නේ බටහිරුන්ගේ ගති අනුගමනය කරමින් බටහිරුන් දකින වාස්ථවික පැවැත්මක් අත් කර ගන්න තනන එකයි.


පසුගිය කාලය තිස්සේ සිංහලයින්ට ඔවුන්ගේ මුතුන් මිත්තනගෙන් උරුමවෙලා තිබුනු ගති ඔවුන්ගෙන් අත ඇරිලා තියෙනවා. ඇත්තෙන්ම බටහිර දැනුමේ ආධිපත්‍යය මඟින් මේ ගති අපෙන් අතහැරවලා කිව්වොත් වඩා නිවැරදියි. ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන් අද අපි ලෝකය සහ එහි ක්‍රියාකාරකම් දකින්න උත්සාහ කරන්නේ එකිනෙකින් ස්වායත්තවූ වෙන්වූ අංග හැටියටයි. අපි රස්සාව කරන තැන පරිසරය නිවසේ පරිසරයෙන් හාත්පසින් වෙනස්, එතැන අපි ජීවත් වෙන්නේ වෙනස් විධිහකට ඒ වගේ දරුවන්ගේ වැඩ, හිත මිතුරන් ආශ්‍රය කිරීම, දෙමව්පියන් නෑදෑයන් ගැන බැලීම, ආගම් කටයුතු කිරීම, දේශපාලණය ආදී නොයෙකුත් ක්‍රියා කාරකම් වලට අපේ ජීවිත කොටස්වලට වෙන් කරගෙන තමයි අපි ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නෙ. මේ කඩාගත් එක් එක් කොටස් අතර වැඩි සම්බන්ධ කමක් නෑ. එහි ගලා යාමක් නෑ. ඒ නිසා අපේ ජීවිතවල නම්‍යශීලී බවකුත් අද නෑ. ඒ අතරම ඒ කොටස් වලට ස්වාධීන වගේම වාස්ථවිකවූ පැවැත්මක් අපි දකිනවා. ඒ නිසා අපේ පැවැත්ම සඳහා අපි කරන්නේ මේ කඩා ගත් කොටස් තදින් බදා ගැනීම ඒ වගේම ඊට එල්ලවෙන බාධක මර්ධණය කිරීම. බෙදාගෙන බදා ගැනීම තුලින් අපි බලාපොරොත්තු වන්නේ වාස්ථවිකවූ පැවැත්මක් ආරක්‍ෂා කර ගන්ට.


අද අපි ජාතියේත් ආගමේත් පැවැත්ම ආරක්‍ෂා කරන්ට උත්සාහ කරන්නෙත් මේ ආකාරයටම බෙදාගෙන බදාගෙන. සිංහලයින්, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් නොයෙකුත් ආකාරයේ දේශපාලණ සංවිධාන ගොඩනඟාගෙන කරන්න හදන්නේ මේ ආකාරයට වෙන් කරගෙන බදාගැනීම තුලින් සිංහල බෞද්ධයින්ගේ පැවැත්ම ආරක්‍ෂා කරගන්ට. මේ අය මේ විධිහට ජාතිය ආගම ආරක්‍ෂා කරගන්ට හදන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ සංවිධානවල ක්‍රියාකාරී වෙන උගත් තරුණ තරුණියන් බටහිර අධ්‍යාපනයේ අභාෂය නිසා ලෝකය හා එහි ක්‍රියා කාරිත්වය දකින්නේ කොටස් වශයෙන්, තමන්ගේත් ඒ කොටස් වලත් වාස්ථවික පැවැත්මක් ඒ අය දකිනවා. දැකලා ඒ ඒ කොටස් බදාගෙන ආරක්‍ෂා කරන්ට හදනවා. මේ ගතිය වැඩියෙන්ම එන්නේ බටහිර දැනුම උගත් අයට. මේ සංවිධාන වලට වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන්නේත් නගරබද උගත් තරුණ තරුණියන් අතරේ නේද? රාවණ ඉතිහාසය සම්බන්ධයෙන් සමහරුන් විසින් ගෙනයන ක්‍රියා කාරකම් තුල මේ වෙන් කර බදාගෙන පවතින්න හදන ව්‍යායමයේ අනිටු ප්‍රතිඵල හොඳින්ම පිලිබිඹු වෙනවා.


සද් භාවයෙන් යුතුව රාවණා ඉතිහාසය සොයන, ඒ ගැන උනන්දුවෙන නොයෙකුත් කණ්ඩායම් ඉන්නවා. නමුත් පොදුවේ මේ අය අපට පෙන්වා දෙන රාවණ ප්‍රතිරූපය අපේ හෙළ රජ කෙනෙක්ගේවත් අපේ දෙවි කෙනෙක්ගේවත් කියා මට නම් හැඟෙන්නේ නෑ. මට පෙනෙන්නේ රාවණ අධිරාජ්‍යයෙක් නැත්නම් එම්පරර් කෙනෙක්. මේ උගතුන් අතේ රාවණ එම්පරර් කෙනෙක් වෙලා තියෙන එක තේරුම් ගන්න පුලුවන්. වෙන් කර බදා ගෙන වාස්ථවික වශයෙන් පවතින්නට ගියහම නොයෙකුත් බාහිර බලපෑම් මර්ධනය කරන්න සිද්ධ වෙනව, ඒක බෙහෝවිට බටහිරකරණයට ලක්වුනු මේ උගත් මධ්‍යම පංතිකයින්ගේ පුද්ගලික අත්දැකීම වෙන්නත් පුලුවන්. ඒ අනුව සිතමින් ජාතිය ආරක්‍ෂා කරන්ටත් ඔවුන් විසින් නිර්මාණය කරන්නේ බාහිර බලපෑම් මර්ධනය කරන්න පුලුවන් එම්පරර් කෙනෙක්. ඇමෙරිකන්කාරයින් පවතින්න හදන විදිහයි මේ සිංහල බෞද්ධ උගත්තු පවතින්න හදන විදිහෙයි වැඩි වෙනසක් මම දකින්නේ නෑ.


දැන් මාක්ස්වාදියොයි, ලිබරල් වාදියොයි, ඊනියා පශ්චාත් නූතනවාදියොයි ඔවුන්ගෙ අනුගාමිකයොයි කියයි අපි කියන්නෙත් ඕකම තමයි සිංහල බෞද්ධයෝ ඊනියා සිංහල බෞද්ධකමක් බදාගෙන උද්දච්ඡ ලීලාවෙන් ක්‍රියාකරනවයි කියල. නැහැ. මේ අය මෙහෙම කියන්නේ ඒ ගොල්ලන්ගේ පැවැත්ම සඳහා ඒ අය වෙන්කර බදාගෙන ඉන්න මතවාද වලට හා ඔවුන්ගේ දේශපාලණයට සිංහල බෞද්ධ චින්තනයෙන් පහර වැදෙන නිසයි. ඒ අය කියන්නේ නෑ පැවැත්ම සාපේක්‍ෂයි චතුස්කෝටිකයි කියලා. ඒ නිසා අපි ඒ අයගේ බයිලා පැත්තකට දමමු.


අපි නිවට විය යුතු නෑ. සිංහල බෞද්ධයින්ට යුද්ධය අකැප නෑ. නමුත් අපි ඉර හඳ තරු පවතින තුරු පවතින්ටනම් අපි සමාජයක් හැටියට ලෝකයෙන් වෙන් නොවී ජීවත් වෙන්ට ඕනෙ, නම්‍යශීලීව ජීවත් වෙන්ට ඕනෙ. පවතිනවා කියන්නේ මේ විධිහට ජීවත්වීම මිසක් වාස්ථවික අර්ථයෙන් පවතින පැවතීමක් නොවේ. අපි රාවණ රජ්ජුරුවෝ නිර්මාණය කර ගත යුත්තේ මේ හෙළ ගති ඇතිවයි. එම්පරර් රාවණ කෙනෙකුට සිංහල ජාතිය පවත්වාගෙන යන්ට බෑ. ලෝකයෙන් වෙන් නොවී ජීවත්වීමේ ගතියත් නම්‍යශීලීව ජීවත්වීමේ ගතියත් වෙන වෙනම ඇති කර ගන්ට බෑ. මේ ගති එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා එය කල හැක්කේ දීර්ඝ කාලීන ආර්ථික සමාජීය හා දේශපාලණ වෙනස් වීමක් තුලින්. ඊට පෙර අපි බටහිරුන් ලෝකය දකින විදිහට වාස්ථවිකවූ ලෝකයක් දකිමින් ඔවුන් කරන ආකාරයටම බෙදා ගෙන බදාගෙන සිංහල බෞද්ධකම රැක ගන්ට ගියොත් වෙන්නේ ජාතිය රකින ක්‍රියාකාරකම් තුලින්ම නොදැනුවත්වම අපි බටහිර සංස්කෘතියට අනුගත වෙලා නමට පමණක් සිංහල බෞද්ධයින් වෙන එකයි.

1 comment: