Monday, September 23, 2013

උතුරේ ඡන්ද ප්‍රතිඵලය රට බෙදීමට වරමක් නොවේ


විග්නේෂ්වරන් වෙනුවට තල් පිත්තක් තැබුවත් උතුරේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් නොවන බව කවුරුත් පිළිගනු ඇතැයි මම සිතමි. යාපනයේ මිනිසුන් ඡන්දය දී ඇත්තේ ඔවුන්ට හුරු පුරුදු වෙල්ලාල දේශපාලන බලවේගයටය. තුවක්කු බලය හැරුනුවිට ඔවුන් හඳුනන එකම දේශපාලන බලයද එයයි. අද යාපනයේ ජීවත්වන දෙමළ ජනයා පමණක් නොව ඔවුන්ගේ සීයලා මුත්තලා දැන සිටියේද ඒ දේශපාලන බලය පමණි. මිනිසුන්ට වැදගත්වී ඇත්තේ ඔවුන්ට සුපුරුදු වෙල්ලාල නායකත්වය මිස ඔවුන් වැඩිය දැක නැති විග්නේෂ්වරන් නොවේ. 




දෙමළ ජාතික සංධානය යාපනයේ කලේ ජාතිවාදී දේශපාලනයක් බව රහසක් නොවේ. නමුත් යුධයකින් පැරදී විඩාපත්ව සිටින මිනිසුන් කොටසක් ඒ පැරදුන යුධයට ඔවුන් ගෙන ගිය ජාතිවාදී දේශපාලනයටම නැවතත් ඡන්ද දුන්නේ යැයි සිතිය හැකිද? ප්‍රභාකරන්ට කරන්ට බැරි වුනු යුද්ධයක් විග්නේෂ්වරන්ටවත් සුමන්දිරන්ටවත් කරන්ට පුළුවන් යැයි යාපනයේ දෙමළ මිනිසුන් සිතනවා විය නොහැකිය. විග්නේෂ්වරන්ට ඡන්දය දුන්නේ යුධයෙන් දිනාගත නොහැකිවූ දේ ඔහුට සාකච්ඡා මර්ගයෙන් දිනා ගතහැකි යැයි දෙමළ ජනයා සිතු නිසාද? නමුත් එවැනි සාකච්ඡා මර්ගයක් ගැන ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය තුල කියැවුනේ නැත. දෙමළ ජාතික සංධානය ආණ්ඩුව සමඟ බලය බෙදීම ගැන සාකච්ඡා කරමින් සිටියේ නැතුවා මෙන්ම ආණ්ඩුවෙන් එවැන්නකට කැමති බවක ඉඟියක්වත් ලැබුනේ නැත. ඡන්දයට කලින් සිංහලයිනුත් ආණ්ඩුවත් කියා සිටියේ පලාත් සභා වලට ඉඩම් හා පොළිස් බලතල නොදෙන බවය. එසේ නම් විග්නේෂ්වරන් සාකච්ඡා මාර්ගයෙන් ඔවුන්ට යමක් ලබාදේ යැයි සිතා දෙමළ ජනයා ඔහුට ඡන්දය දුන්නා යැයි කිව නොහැකිය. එසේ නම් දෙමළ ජනයා නැවතත් ජාතිවාදී දේශපාලනයට ඡන්දය දුන්නේ ඇයිදැයි අපි තේරුම් ගන්නේ කෙසේද?


දෙමළ ජනයා ඡන්දය දී ඇත්තේ ජාතිවාදී දේශපාලනයට නොවේ. අපි තේරුම් ගත යුත්තේ එයයි. ඔවුන් ඡන්දය දී ඇත්තේ ඔවුන්ට සුපුරුදු වෙල්ලාල නායකත්වයටය. වෙල්ලාලයන්ද යාපනයේ ජාතිවාදී දේශපාලනයක් කලේ ඔවුන්ට ඡන්දය දුන් යාපනයේ දෙමළ ජනයා අරමුණු කරගෙන නොවේ. වෙල්ලාලයින්ට අරමුණු දෙකක් තිබිනි. එකක් ඔවුන්ට මූල ධනය සපයන බටහිර විසුරුනු දෙමළ ජනයාගේ ලේ පිපාසය සංසිඳවීමය. අනික යාපනයේ දෙමළ ජනයා තුල තවමත් ජාතිවාදයට පදනමක් ඇතැයි බටහිර රටවලට පෙන්වා දීමටය නැත්නම් එසේ කීම සඳහා බටහිර රටවලට අවස්ථාවක් දීමටය. ඡන්දය දිනීමෙන් ඔවුන්ට මේ අරමුණු දෙකම ඉෂ්ඨ වී ඇත. බලාපොරොත්තු වූ ආකාරයටම චන්ද ප්‍රතිඵල පදනම් කරගෙන බටහිරුන් හා ඉන්දියාවේ ආධාරයෙන් උතුරු පළාතේ අසමමිතික රාජ්‍ය බලයක් ගොඩනැඟීමට වෙල්ලාලයන් ක්‍රියා කරනු ඇත.


විග්නේෂ්වරන් ඡන්දය ඉල්ලුවත් නොඉල්ලුවත් ජාතිවාදී දේශපාලනයක් කලත් නොකලත් උතුරේ දෙමළ ජනතාව ඔවුන්ගේ සීයලා මුත්තලා කළාක් මෙන් වෙල්ලාල නායකත්වයට ගරු කරමින් ඔවුන්ට ඡන්දය දෙනු ඇත. ප්‍රශ්ණය එය නොවේ. මේ නායකයින්ම ජාතිවාදය පිටු දකිමින් අපි සිංහලුන් සමඟ සමඟියෙන් එක රටක් හැටියට ජීවත්විය යුතුයි, අපිට සුවිශේෂ බල එපා කියමින් තම ඡන්ද ව්‍යාපාරය ගෙනගියා නම් ඒත් යාපනයේ දෙමළ ජනයා ඔවුන්ට ඡන්දය දෙනු ඇත. ප්‍රශ්ණය ඔවුන් එසේ නොකල එකය. වෙල්ලාලයින්ට දෙමළ ජනයාගේ දේශපාලන මතය ඔවුන්ට කැමති පරිදි හැසිරවීමට හැකියාවක් ඇත. නමුත් වෙල්ලාලයින් කෙදිනකවත් දෙමළ සිංහල සංහිඳියාවක් පදනම් කරගෙන දෙමළ ජනයා මෙහෙයවන්නේ නැත. මන්ද එපමණින්ම ඔවුන් සතු දේශපාලන හා සමාජීය බලය ඔවුන්ට නැතිවන බැවිනි. ඉංදියාවද බටහිරුන්ද ඔවුන්ට එය කිරීමට ඉඩ නොදෙනු ඇත. මන්ද ඔවුන්ටද එවිට සිංහලුන්ට බලපෑමක් කිරීමට හැකියාවක් නැතිවන බැවිනි. මේ ඡන්දයෙන් පෙනෙන්නේ යාපනයේ දෙමළ ජනයා විකල්පයක් නැතිව දේශපාලන නන්දිකඩාලයක සිරවී සිටින බවය. ප්‍රභාකරන් වෙනුවට අද එහි සිටින්නේ වෙල්ලාලයෝය. දෛවයේ සරදම නම් ප්‍රභාකරන් සිටියා නම් මේ සිටින වෙල්ලාලයෝ අද ජීවතුන් අතර නැති වෙන්නට ඉඩ තිබීමය.


වෙල්ලාලයින් ජාතිවාදී දේශපාලනයක් කලේ ඡන්දය දිනීමෙන් පසු ජාතිවාදය යාපනයේ දෙමළුන්ගේ ගිනුමට බැර කිරීමට බලා ගෙනය. ඔවුන් එය යථා කාලයේදීම කරනු ඇත. වෙල්ලාලයින්ගේ කතන්දර පිළිගැනීමට සැදී පැහැදී සිටින්නන් විගනේෂ්වරන්ගෙන් ඇසිය යුත්තේ ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවන ආකාරයෙන් දේශපාලන ව්‍යාපාරයක් නොකර ජාතිවාදය පදනම් කර ගත්තේ මන්ද කියාය. බටහිරුන් විග්නේශ්වරන්ගෙන් එසේ නොඅසයි නම් එසේ නොඅසන්නේ ඇයිදැයි අපි බටහිරුන්ගෙන් ඇසිය යුතුය. යාපනයේ දෙමළුන්ට රට බෙදීමට අවශ්‍යයැයි කිව හැක්කේ වෙල්ලාලයින් විසින් ඒකීය රාජ්‍යයකට කැමතිව ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවන ආකාරයේ දේශපාලනයක් කර පරාජය ලැබුවා නම්ය. ඔවුන් සංහිඳියාත්මක ඡන්ද ව්‍යාපාරයක් කලේ නම් මිනිසුන් ඔවුන්ට ඡන්දය නොදේ යැයි මේ ප්‍රතිඵලවලින් කිව හැකිද?

3 comments:

  1. එතකොට ලොක්කා කලේ ජාතිවාදී දේශපාලනයක් නොවෙයිද....? ඒ ලැබුන ඡන්ද ගැන ඔබේ මතය කුමක්ද..? මේ හැම මනුස්සයම ඡන්දේ දුන්නේ පොදු පෙරමුනට නෙමෙයි... රට ජාතිය බේර ගත්ත නායකයට.. ඡන්දය නොදුන් ප්‍රතිශතය විශාලයි.. ඔවුන් ඉන්නෙත් ජනාධිපති සමගයි. දෙපැත්තම එකයි..

    ReplyDelete
    Replies
    1. පොදුවේ එජාපෙටත් ශ්‍රීලනිපෙටත් දෙමළ ඡන්දය අවශ්‍යයයි. ඒ නිසා ඔවුන්ට පක්‍ෂයක් වශයෙන් ජාතිවාදී වෙන්ට බෑ. ඒ පක්‍ෂවල සමහර දේශපාලකයින් එසේ වුනත් පක්‍ෂ වශයෙන් ජාතිවාදී කියා කියන්ට බෑ. නමුත් දෙමළ ජාතික සංධානයට සිංහල ඡන්ද අවශ්‍ය නෑ. වෙනස එයයි. ඊට අමතරව සිංහලුන් බහුතරයක් යුධය දිනවූ නිසා මහින්ද රාජපක්‍ෂට ඡන්දය දුන්නේ සිංහලුන් ජාතිවාදී නිසා කියල ඔබ කියනවා නම් මම එය පිලිගන්නේ නෑ.

      Delete
  2. ඊයෙ මව්බිම පත්තරේ කියල තිබ්බෙ උතුර විග්නේෂ්වරන්ට කියලා හෙඩ් ලියින් එක. ඒක දැකපු එකෙක් ඇහුව ඇයි යකෝ මූට ලියල දීලද කියල. ඒ හෙඩි ලයින් එක දාපු කතෘගෙ දෙමාපියො සිහි කර බැන්නෙ උතුරේ ජයග්‍රහයන විග්නේෂ්වරන් කියල දැම්ම නම් හොදයි කියල. නැතුව මෙහෙම දාන එක වැරදි කියල..

    මොනව වුනත් ලංකාවෙ සුළු ජාතික පක්ෂ කරන්නෙ ආන්ඩුවට ප්ලග් වෙලා තම ජනතාවගේ හිත සුව පිනිස කටයුතු කරන එක මිසක් රට ගැන හිතන එක නෙවෙ කියල හැමෝම පිළිගනී !

    ඒත් යුද්ධයක් අවසන් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් එහෙවත් (දකුනෙ නැති) ඇති වෙයි කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete