Friday, September 13, 2013

දෙමළ ජනයාගේ ආධ්‍යාත්මික නන්දිකඩාලය


ලංකාවේ දෙමළ ජනයාට ඇත්තේ එක දේශපාලන මතවාදයක් පමණි. එහි පදනම ඊනියා දෙමළ නිජ බිම් සංකල්පය හා ජන වාර්ගික ගැටුමය. ඉංග්‍රීසි යටත් විජිත සමයේ සිටම දෙමළ ජනයා මේ දේශපාලණ මත වාදයේ සිර වී සිටිති. අදද ඔවුන් එහි සිරවී සිටින්නේ ඉංග්‍රීසිනුත් විසිරුනු දෙමළ ජනයාත් වෙල්ලායෝත් අධිපතිවාදීව දෙමළුන් එහි සිර කර තබන බැවිනි. සාමාන්‍ය දෙමළ ජනතාව තුල නිජ බිම් සංකල්පය පිළිබඳ යම් විශ්වාසයක් තිබිය හැකි නමුදු දෙමළුන්ට, විශේෂයෙන්ම දෙමළ හිංදුවරුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට අවශ්‍යතාවක් නැති බව පැහැදිලිය. එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී මහ බෝධිය අසල සැදැහවතුන් ඝාතනය කලේත් දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කලේත් ඊනියා ජන වාර්ගික ගැටුමක් නිර්මාණය කිරීමටත් එවැනි ගැටුමක් මෙහි ඇති බව බටහිර ලොවට ප්‍රදර්ශණය කරන්නටත්ය. එල්ටීටීය ඉටු කලේ බටහිරුන්ගේ බලාපොරොත්තුවය. ඊනියා මධ්‍යස්ථ දෙමළ දේශපාලකයින්ට අවශ්‍යතාවක් තිබිනි නම් සාමාන්‍ය දෙමළ ජනතාව මේ කුරිරුකම් අනුමත නොකරන බවත් එහි වගකීම සම්පූර්ණයෙන් එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් දැරිය යුතු බවත් කියන්නට තිබිනි. නමුත් සාමාන්‍ය දෙමළ ජනතාව ඒ වගකීමෙන් නිදහස් කරන්නට දෙමළ ජාතිවාදී දේශපාලකයින්වත් බටහිරුන්වත් ඔවුන්ගේ සාම වෙළෙන්ඳන්වත් කිසි විටකත් උත්සාහ ගත්තේ නැත. ඔවුහු නිහඬව සිටමින් එය පොදු දෙමළ ජනතාවගේ ගිනුමට බැර කලේ දෙමළුන් හා සිංහළුන් අතර ජන වාර්ගික ගැටුමක් ඇත යන මිත්‍යා මතය ප්‍රචාරය කිරීම සඳහාය. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් නොදැනුවත්වම දෙමළ ජනතාව ඔවුන්ගේ නායකයින් විසින් වර්ගවාදී නිජ බිම් දේශපාලණ මත වාදයක් තුල තව සිර කරනු ලැබීමය. බටහිරුන්ගේ හා විසුරුනු දෙමළ ජනයාගේ ආධාරයෙන් අදද දෙමළ ජාතික සංධානය නිරත වී සිටින්නේ උතුරේ සාමාන්‍ය ජනතාව මේ මතවාදය තුල සිර කිරීමෙහිය.




උතුරේ දෙමළ ජනතාව වර්ගවාදී නිජ බිම් දේශපාලන මත වාදයක් තුල බලහත්කරයෙන් සිර කිරීමේ සෘජු ප්‍රතිඵලය ඔවුන් සිංහල ජාතියෙන් සංස්කෘතික දේශපාලණ හා සමාජයික වශයෙන් වෙන්වීමය. දෙමළ ජනයාට සිංහළුන් සමඟ සාමාජයිකව මුසු වෙන්නට ඉඩ නොදී ඊනියා නිජ බිම් තුල ඔවුන් භෞතිකව කොටු කරන්නේ මේ දේශපාලණය විසිනි. මධ්‍යයයේ රාජ්‍ය බලය සමඟ සෘජුවම ගනුදෙනු කිරීමට ඉඩ නොදී ජන වාර්ගික දේශපාලනයකට ඔවුන් කොටු කරන්නේත් මේ ජාතිවාදී දේශපාලනයය. ලංකාවේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්ණය මෙලෙස සංස්කෘතික දේශපාලන හා සමාජයික වශයෙන් කොටු වී සිටීමය. බටහිරුන් සහ දෙමළ ජාතිවාදී දේශපාලකයින් කරන්නේ ඒ කොටුවීමට සුවිශේෂිතවූ දේශපාලන හා සමාජයික ප්‍රශ්ණ (උදා: තමන් දෙවෙනි පංතියේ පුරවැසියන් යැයි හැඟීම, භාෂාව පිළිබඳ ප්‍රශ්ණ, මධ්‍යයේ දේශපාලන නියෝජනයක් අහිමි වීම) දෙමළ ජාතියට සුවිශේෂ යැයි පෙන්වීමය. ඔවුහු දෙමළ ජනයා තව තවත් සංස්කෘතික දේශපාලන හා සමාජයික වශයෙන් කොටු කර ඒ තුලින්ම මතුවන ප්‍රශ්ණ තව තවත් උග්‍ර කරති. (ප්‍රභාකරන් අහිංසක දෙමළුන් නන්දිකඩාල් කලපුවේ සිර කරමින් බලාපොරොත්තු වූයේද මේ හා සමාන්තර දෙයකි). ඊලඟට ඒ උග්‍රවූ ප්‍රශ්ණ වලට විසඳුම ලෙස උතුරේ ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටවීම යුක්ති සහගත කරති. මොවුන්ගේ අරමුණ ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටවීම දක්වා අද වර්ධනය වී ඇතත් ඔවුන්ගේ වෙන් කිරීමේ ක්‍රමවේදය අද ඊයේ නොව යටත් වජිත සමයේ සිටම පැවත එන්නකි.


දේශපාලන සිර කිරීම දෙමළ ජාතිකයින් දකුණු ඉන්දියාවේ සිට ගොවි කම්කරුවන් ලෙස ලංකාවට රැගෙන ආ දා සිටම ලන්දේසීනුත් ඉන් පසුව ඉංග්‍රීසීනුත් සිදුකල අතර අද දෙමළ ජාතික සංධාණය කරමින් සිටින්නේද එයමය. එහි සෘජු ප්‍රතිඵලය අදටත් මේ දෙමළ ජනයා සිංහල ජාතියට නොබැඳී වෙන්ව ජීවත්වීමය. සංස්කෘතියෙන් එතරම් ඈත් නොවුනු ජන වර්ග දෙකක් එකම රටක වෙන්ව ජීවත්වීම අස්වාභාවිකය. එසේ වෙන්ව සිටීම දෙමළ සංස්කෘතියේවත් ඔවුන් තම ජාතියට බඳවා නොගැනීම සිංහල සංස්කෘතියේවත් ලක්‍ෂණයක් යැයි සමාජ විද්‍යාඥයින්ට කිව හැකිද? එසේ නොවේ නම් අද දෙමළ ජනයා වෙන්ව ජීවත් වන්නේ වර්ගවාදී නිජ බිම් දේශපාලනය නිසා නොවේ යැයි කිව හැකිද?


මේ අස්වාභාවික වෙන් කිරීම බටහිරුන් සහ වෙල්ලාලයන් විසින් බලහත් කාරයෙන් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහාය. ඊට විසඳුම ඔවුන්ගේ බලය බිඳීමය. එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් එය බොහෝ දුරකට බිඳිනි. නමුත් දෙමළ ජනයාට විකල්ප දේශපාලණ මතවාදයක් තිබිය යුතුය. විකල්ප දේශපාලනයක් පිලිගන්නවාද යන්න ඔවුන්ගේ කාර්යයකි නමුත් එවැන්නක් ඉදිරිපත් කිරීම සිංහළුන්ගේ විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ගේද වගකීමය, යුතුකමය. බටහිර විශ්වවිද්‍යාලවල ඊනියා ගැටුම් නිරාකරණය පිළිබඳ අධ්‍යනාංශයන්ට සිංහලුන්ගේ ප්‍රශ්න අර්ථදක්වාගෙන විසඳුම් සෙවිය හැකි නම් සිංහළුන්ට දෙමළුන්ගේ ප්‍රශ්ණ තම ඇසින් දැක විසඳුම් ඉදිරිපත් කිරීමට අයිතියක් නැතැයි කිව නොහැකිය. මෙතෙක් කල් දෙමළ ප්‍රශ්ණය නොවිසඳී පවතින්නේද සිංහල නායකයින් ඔවුන්ගේ ඇසින් එය දැකීමට උත්සාහ නොකරන නිසාය.


දෙමළ ජනයා සඳහා විකල්ප දේශපාලන මතවාදයක් අප විසින් බිහි කරගත යුතුය. එහි පැතුම විය යුත්තේ ඒකීය රාජ්‍යයකි. ඒ තුලින් නිජ බිම සංකල්පය වෙනුවට මුලු රටම දෙමළුන්ගේය යන මතය තහවුරු කර ගත යුතුය. එහි නායකයින්ට දෙමළුන්ට පමණක් නොව සියලු ජාතීන්ට නායකත්වයක් දිය හැකි විය යුතුය. එවැනි දේශපාලන බලවේගයක් බිහිවිය හැක්කේ බමුණන් ගෙන් තොර හෙළ හිංදු සංස්කෘතිය මත පදනම් වුනු දෙමළ ජාතික ව්‍යාපාරයකිනි. හිංදු සංස්කෘතිය මත පදනම් වුනු දෙමළ ජාතික ව්‍යාපාරයක් සිංහල බෞද්ධයින්ට අරුමයක් නොවනු ඇත මන්ද ඔවුන් විසින් හිංදු සංස්කෘතියක් තම සංස්කෘතියට දැනටමත් අවශෝෂණය කරගෙන ඇති බැවිනි. නමුත් අද උතුරේ කෙරෙන වර්ගවාදී නිජ බිම් දේශපාලණය තුල දෙමළ හිංදුකම පෙනෙන්නට නැත. එය නොපෙනෙනවා නොව උවමණාවෙන්ම යට ගසා ඇත. එහි අරමුණ දෙමළුන් හිංදු සංස්කෘතිය හරහා සිංහළුන් සමඟ බැඳීමක් ඇති කර ගැනීම වැලකීමද? එසේත් නැත්නම් හිංදු සංස්කෘතිය මත පදනම් වුනු දේශපාලන බලවේගයක් උතුරේ බිහිවීම වැලකීමද? එසේනම් එය කාගේ උවමණාවද?

එදා ප්‍රභාකරන් ඔහුගේ ගැලවිල්ලට සාමාන්‍ය දෙමළ ජනයා නන්දිකඩාල් කලපුවේ සිර කලාක් මෙන් අද දෙමළ ජාතිවාදී දේශපාලකයෝ තමන්ගේ පැවැත්ම සඳහා උතුරේ දෙමළ ජනතාව වර්ගවාදී නිජ බිම් දේශපාලන මත වාදයක් තුල සිර කරති. නමුත් යම් දිනෙක දෙමළ ජනයා මේ ආධ්‍යාත්මික නන්දිකඩාල් කලපුවෙන්ද මුදවා ගත යුතුය. මෙහිදීද ඔවුනට උර දිය යුත්තේ සිංහළුන්ය. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ය. මන්ද මේ රට ජාතියේ භාර කරුවෝ සිංහල බෞද්ධයෝ වෙන බැවිනි. නමුත් අවාසනාවකට ඔවුන් අද ක්‍රියා කරන්නේ ඒ වගකීමෙන් තොරවය.

4 comments:

  1. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත් පහුතර පක්ෂත්, 1983 ට පෙර එජාපයත් කලේ, ඕකෙම අනික් පැත්ත නේද..?

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන සිංහල පක්‍ෂවලට දෙමළුන් ඈත් කරන්න උවමණාවක් නෑ නමුත් ඔවුන් අදත් එදත් කරන්නේ සුද්දා දෙමළ ප්‍රශ්ණයයැයි අපිට කියා දුන්න ප්‍රශ්ණය විසඳන්න හදනවා

      Delete
    2. එජාපය 83ට පෙර කලා යැයි කියන්නෙ දැන් ඔවුන්ගේ මතය හරි කීමට නොවේද? දැන් එජාපය දරන්නේ දෙමළ ජාතිවාදයට පක්ෂපාතී මතයකි. එයින් දෙමළ ජාතික සන්ධානයේ මතයට රුකුලක් ලැබෙන අතර සාමාන්‍ය ජනතාව අතර අවිශ්වාසය තහවුරු කිරීමට නම් හොඳ ය.

      Delete
  2. නිර්ණාමිකව මෙහි භාෂාමය දොස් පෙන්වාදුන් අයට තුති

    ReplyDelete