Friday, September 6, 2013

සිරියාවට කඳුළු නොසලන ඇමෙරිකානුවෝ


මේ ලිපිය ලියන මොහොතේ ඇමෙරිකාවේ බහුතරයක් ජනතාව සිරියාවට පහර දීමට කැමැත්තක් දක්වන්නේ නැතැයි පලවී ඇත. ඇමෙරිකානු කොන්ග්‍රසය තුල දැන් ඒ පිළිබඳ විවාදයක් පවතී. ඒ කෙසේ නමුත් රටේ බහුතරයගේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මංඩලයේද අනුමැතිය නොසලකා සිරියාවට එරෙහිව යුධ වැදීමට ඇමරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් ක්‍රියා කිරීමට ඉඩ ඇත. එය එසේ සිදුවුවහොත් ඇමෙරිකානු සාමාන්‍ය ජනතාව පසුව එය අනුමත කිරීමටද ඉඩ ඇත. නමුත් තාවකාලිකව හෝ බලාපොරොත්තු නොවූ අයුරින් ඇමරිකානුවන් සිරියාවට පහරදීමට අකමැත්තක් දැක්වීම වැදගත්ය. මේ මතුවී තිබෙන්නේ වෙනස් වෙමින් පවතින නමුත් මතුපිටින් නොපෙනෙන ඇමරිකානු ජන විඥාණයේ සියුම් පැති කඩක් යැයි මම සිතමි.


සිරියානු ගැටුම ඇමරිකානු ජනමාධ්‍ය තුල සාකච්ඡාවට බඳුන්වී වසර දෙකකට අධික කාලයක් පසුවී ඇත. මේ මුලු කාලය පුරාම කෙරුනේ අසාඩ් ඩීමනයිස් කිරීමය. ඊට විරුද්ධ මතවාදයක් නොතිබිනි. අදද නැත. මින් පෙර ඩීමනයිස් වූ සදාම් හුසේන්, ගඩාපි වැන්නන්ගේ ඉරණම දෙස බැලූවිට අසාඩ්ගේ ඉරණම දැනටමත් ලියවී ඇතැයි සිතිය හැකි වුනත් ඇමරිකානු බහුතරයක් ජනතාව මේ මොහොතවනවිට තවම ඒ පිළිබඳව සහතික කර නැත. මින් කියැවෙන්නේ ඇමරිකානුවන් සිරියාවට අත නොතබනු යැයි කියමින් පාරට බසින බව නොවේ. ඔවුහු අසාඩ්ට කැමතිද නැත. අසාඩ් තම වැසියන් වෙත විශ වායු ප්‍රහාරයක් එල්ල කලැයිද ඇමරිකානුවෝ විශ්වාස කරති. ඔවුන්ට අසාඩ් සමඟ මිතුරුවී ඊශ්‍රායලය අමනාප කර ගැනීමට උවමණාවක්ද නැත. ඔවුන් අසාඩ්ට පහර නොදෙන්ට යැයි කියන්නේ අසාඩ්ගේ ප්‍රතිවාදීන් අල් කායිඩාවන් යැයි සිතාද නොවේ. කොටින්ම ඇමරිකානුවන් සිරියාවට පහරදීමට මේ මොහොතේ අකමැතිවීම ඔවුන් විසින් යම් මතවාදයක පිහිටා ගන්නා ගැඹුරු දේශපාලණ තීරණයක් නොවේ. ඉතා සරලව ඔවුන්ට මේ ප්‍රශ්ණය වැදගත් නැත. අදාල නැත. ඔවුන් යුධයට නොයන්නේ ඒ නිසාය.

දැන් ලංකාවේ ජනතාව සිරියාවේ ගැටුම තමන්ට අදාල නැතැයි කිවහොත් එය එසේ විය හැකි යැයි පිළිගත හැකිය. නමුත් ඇමෙරිකාවේ තත්වය එසේ නොවේ. අරාබි වසන්තය ඇරඹුණු සමයේ සිටම එහි සිදුවුනු දෑ පෞද්ගලිකවම තමන්ට අදාල යැයි සිතවීමට ඇමරිකානු මාධ්‍ය මඟින් ක්‍රියා කෙරෙනි. ඇමරිකානුවෝද එසේ සිතූහ. ලිබියාවේ ඊජිප්තුවේ සිදුවීම් පිළිබඳව ඔවුන් සතුටුවූයේ ඒ පෞද්ගලිකත්වය මතය. එනම් ඒ දෑ තමන්ට පෞද්ගලිකව බලපාන්නේ යැයි ගනිමිනි. පොදුවේ බටහිරුන්ට, විශේෂයෙන් ඇමරිකානුවන්ට තමන්ගේ පෞද්ගලිකත්වය සාමූහිකත්වයට වඩා වැදගත්ය. දෙදහස් එකේ ත්‍රස්තවාදීන් නිව්යෝක් නගරයට පහර දෙද්දී ඔවුන්ට හැඟුනේ ත්‍රස්තයන් තම පෞද්ගලික නිදහස උදුරාගත් ලෙසය. ඉන්මතුව ජාතියක් වශයෙන් ත්‍රස්තවාදීන්ට පහර දීමට එක් වුනත් බින් ලාඩන් ඝාතනයෙන් ඔවුන් ලැබුවේ පෞද්ගලික සතුටකි. ත්‍රස්තවාදය පරාජය කල සිංහලුන් ලැබුවේ එවැනි සතුටක් නොවේ. නමුත් අසාඩ්ගේ කථාව පෞද්ගලික කෙරවීමට ඇමරිකානු ජන මාධ්‍ය මේ වෙනවිට අසමත් වී ඇත. සිරියාවේ ගැටුම තමන්ට අදාල යැයි ඇමරිකානුවන් නොසිතන්නේ ඒ නිසාය.


අසාඩ්ගේ කථාව පුද්ගලීකරණය කිරීමට ඇමරිකානු ජන මාධ්‍ය අපොහොසත් වුනේ ඇයිද යන්න අපට වැදගත්ය. මා සිතන ආකාරයට එය එසේ සිදුවී ඇත්තේ මේ වෙනවිට ඇමෙරිකානු සාමාන්‍ය ජනතාව ක්‍රමයෙන් සාමූහිකත්වයට නැඹුරුවෙමින් සිටින බැවිනි. ඔවුන්ට තවමත් වැඩියෙන් වැදගත් පෞද්ගලිකත්වයය. ඒ ගැන සැකයක් නැත. නමුත් ඔවුන් පෙරට වඩා සාමූහිකත්වයට නැඹුරු වී ඇත. මීට දශකයකට පෙරදී මෙන් නොව අද ඔවුන් තමන්ගේ පවුල තම සමීපතමයන් තමන් වෙසෙන සමාජය පිළිබඳව සැලකීමක් දක්වති. අද ඔවුන්ට තමන්ගේ පෞද්ගලිකත්වය ඉස්මතු කර ගන්නට එදා තරම් අවකාශයක් නැත. එදාට වඩා අද වැඩි වියට පත් ඇමරිකානු දරුවෝ තම දෙමව්පියන් සමඟ ජීවත්වීමට ප්‍රවණතාවක් දක්වති. දරුවෝ තම වියපත් දෙමව්පියන් ගෙදර තබාගෙන සැලකීමට ප්‍රවණතාවක් දක්වති. මීට ආර්ථික අමාරුකම්ද බලපා ඇතැයි සිතිය හැකිය. ඒ කෙසේ වෙතත් ඔවුන්ට තම සාමූහිකත්වය වැදගත් වනවිට සිරියාව සහ අසාඩ් සිටින්නේ නොවැදගත්වූ ඈතකිනි. ඇමෙරිකාවේ බහුතරයක් ජනතාව සිරියාවට පහර දීමට කැමැත්තක් දක්වන්නේ නැත්තේ ඒ නිසාය.

සාමූහිකත්වය පරයා පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම බටහිර ශිෂ්ඨාචාරයේ මූලික ආචාර ධර්මයකි. ධනපති ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හා කේන්ද්‍රගත පාලණයට පැවැත්මක් ඇත්තේ පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම මතය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට ලොව පුරා බලපෑම් කිරීමට හැකිවී ඇත්තේද පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම තුලින් ඔවුන් ලබා ඇති සංස්කෘතික හා දැනුමේ ආධිපත්‍යය නිසාය. යම් හෙයකින් බටහිර පෞද්ගලිකත්වය අභිබවා සාමූහිකත්වය ජය ගත හොත් අද දකින බටහිර සංස්කෘතිය, දේශපාලණය හා ආර්ථිකයට හාත්පසින් වෙනස්වූ සංස්කෘතියක්, දේශපාලණයක් හා ආර්ථිකයකින් හෙබි සමාජයක් බටහිර බිහි වනු ඇත. අද ජීවත්වන අය ඒ වනවිට ජීවතුන් අතර නොවීමට බොහෝ ඉඩ ඇත. නමුත් අද මේ ජන මතය තුලින් අපි දකින්නේ ඒ වෙනස්වූ සමාජය කරා සෙමින් ඇදෙන ඇමෙරිකානු සමාජයේ මතු පිටින් නොපෙනෙන විඥාණයය.

ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තරම් මේ සැඟවුනු ජන විඥාණය ශක්තිමත් නැත. ඒ නිසා එය සිරියාවටත් අසාඩ්ටත් වෙන කිසි වෙකුටත් අද ඵලක් නොවේ. අපට අද කල හැක්කේ සිරියාවේ ගිනි නිවී ඔවුන්ගේ දුක් දුරුවේවා යැයි පැතීම පමණි. නමුත් මා ඇමරිකානු සමාජය තුල සිදුවෙමින් පවතින වෙනස මෙහි ගෙනහැර දක්වන්නේ මෙවැනි ප්‍රශ්ණයක් මට ඇති නිසයි: ධනපති ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප බටහිරුන් ඔවුන්ගේ පැවැත්ම සඳහා යථා කාලයේදී ඔවුන් විසින්ම වෙනස් කර ගනු ඇත. එවිට අපි කුමක් කරමුද? දැනට මේ සංකල්ප ඔස්සේ බඩ ගාගෙන ගොස් ඔවුන් ඒ වෙනස් කරනවිට අපිද අපේ ගමන වෙනස් කර ගන්නවාද? එවිට අපි සැමදාම සිටින්නේ ඔවුන්ට පිටුපසින් නොවේද? අපේ මුතුන්මිත්තෝ ඉර හඳ පවතින තුරු පවතින්නට සිතූහ අපිට අවුරුදු පණහක් හැටක්වත් ඉදිරියට සිතන්නට නොහැකිද?

6 comments:

  1. ලංකාවේ අති බහුතරයක් කොටින්ට විරුද්ධව මිලිටරිමය මැදිහත් වීමකට සහාය දක්වද්දී ඒ ජනමතයට පයින් ගසා අපට සාම මාර්ගයට අවතීර්ණ වන්න යැයි බළකල මොවුන් අද තම ජනතාව සිරියාව තුළ එවන් මිලිටරි මැදිහත්වීමක් නොකරන ලෙස බලකරද්දීත් එය නොතකා යුද්ධයම කිරීමට වළිකෑම අතිශයින් සුන්දරය.

    - ප්‍රභංග

    ReplyDelete
  2. එකසත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය නොමැතිව ප්‍රහාරයක් එල්ල කලහොත් බැංකි මූන් හා නවි පිල්ලේගේ කටවල්ද ලැජ්ජාවක් ඇත්නම් තාවකාලිකව හෝ වැසෙනු ඇත.

    ReplyDelete
  3. කවුරු මොනවා කිව්වත් ඇමරිකාව සිරියාවට ගහනවා. මමනම් කැමතියි අර මිනීමරු අහංකාර අසාද් මරලා දානවනම්.

    ReplyDelete
    Replies
    1. ඔබ කොපමණ උත්සාහ කලත් ඔබට ඇමරිකන්කාරයෙක් වගේ හිතන්න බෑ

      Delete
  4. ඇමරිකාවේ වෙනත් බටහිර රටවලට වඩා ජාතිකත්ව හැගීමක් තියෙනවාද? එය හා මෙම සාමුහිකත්වය අතර සම්බන්දයක් තියෙනවාද?
    (චාමර)

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් ජාතිකත්වය තවම ඇතිවෙන්නේ පෞද්ගලිකත්වයට මුල් තැන දීම පදනම් කරගෙනයි.

      Delete