Saturday, August 17, 2013

කිරි ගොවියා….?




(මෙම ලිපිය 2012 හේ ජූනි මාසයේදී කාලය වෙබ් අඩවියේ පළවිනි)

බත බුලත සවි කරන, ගොඩ මඩ ඉඩම් සරු කරන, හේනේ කමතේ දහඩිය හෙළන ගොවියන් ගැන පෙර සිටම අප දැනගෙන සිටින මුත් කිරි ගොවියන් ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ ඉතාමත් මෑතක සිටය. මෙසේ කිරි ගොවියන් ගැන අප දැනුවත් කරන්නේ අපේ ජන වහරවත්, පොත පතවත්, ගුරු දෙගුරුන්වත් නම් නොවේ. අද එය කෙරෙන්නේ විශේෂයෙන්ම ජන මාධ්‍ය ඔස්සේය. නමුත් සම්ප්‍රදායික හේනේ-කමතේ ගොවිකම කෙසේ වෙතත් මේ කියන කිරි ගොවි කමේ නම් යම් අසිංහල බවක් ඇති බව පෙනේ. මෙයින් අදහස් වෙන්නේ් ඒ ව්‍යාපාරයේ යෙදී සිටින මහත්ම මහත්මීන් අසිංහල බව නොවේ. එනයින් බලන කල මැති ඇමති වරු, විශ්ව විද්‍යාල ආචාර්ය වරු, කාර්යාල සේවකයින් ඇතුලු වැටුපකට තම ශ්‍රමය විකුනණ එසේත් නැතිනම් කුලියකට වැඩ කරන සැමදෙනාම පාහේ ඔවුන් අසිංහල නොවුනත් නිරතව සිටින්නේ අසිංහල කර්තව්‍යයන් හි යැයි කිව හැකිය. මේ දෑ අසිංහල වන්නේ් ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දී ඇති පරිදි ශ්‍රමය විකිණීම සිංහලයන්ගේ සදාචාරයට එකඟ නොවේය යන පදනම මතය.



නමුත් කිරි ගොවිකම අසිංහල වන්නේ එහි ඇති ශ්‍රම විකිනීම සහ මිලට ගැනීමේ ක්‍රියාවළියටත් වඩා පොදුවේ සත්ව පාලනයම ජීවිකාවක් ලෙස අපේ සදාචාරයට එකඟ නොවන බටහිරින් ලබාගත් සංකල්පයක් නිසාවෙනි.  තම ගෙවත්තේ එළ හරකෙක් හෝ මී හරකෙක් හදා ගන්නා අපේ ගැමියා උන්ගෙන් වැඩ ගත්තත් උන්ගේ ජීවිත පාලනය කරන්නේ ඉතාම අවම වශයෙනි. නමුත් බටහිර සංස්කෘතියේ එන සත්ව පාලනය සතුන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන අයුරින් වඩා විධිමත් ලෙස උන්ගේ ජීවිත පාලනය කරන හිංසක ක්‍රියා දාමයකි. අද අපට ජන මාධ්‍ය මඟින් හඳුන්වා දෙන කිරි ගොවිකම වඩාත් සමීප වන්නේ බටහිර සත්ව පාලනය ක්‍රමයට මිස සිංහල ගැමි පුරුද්දට නොවේ. ඒ නිසාද මේ කියන කිරි ගොවිකම අසිංහල වේ. අපට ඇති ප්‍රධානම ප්‍රශ්ණය කිරි නිපදවීමේ ක්‍රියා දාමය වුවත් ජන මාධ්‍ය මඟින් පොලඹවන ආකාරයේ කිරි බීමේ පුරුද්ද ද අසිංහල බව කිව යුතුය. බටහිර පෝෂණ විද්‍යාව වයස් සීමාවක් නොසලකා මිනිසාට අත්‍යාවශ්‍ය ප්‍රධාන පෝෂකයක් ලෙස එළකිරි නම් කරයි. ඒ අනුව යමින් බටහිර රටවල බාල මහලු සැම දෙනාම පාහේ දිනපතා එළකිරි බීමට පුරුදු වී සිටිති. එක්කෝ ධාන්‍යයෙන් තැනූ උදය ආහාර සමඟ මිශ්‍ර කර කෑමට ගනිති. කෑමට සහ බීමට එළකිරි යම් පමණකට යොදාගත්තත් බටහිරුන් මෙන් එළකිරි මත යැපෙන පුරුද්දක් සිංහලයන්ට නැත. නමුත් ජන මාධ්‍ය එසේ අසිංහල වූ එළකිරි බීමත් එළකිරි නිපදවීමත් සිංහල සමාජයේ ස්ථාපිත කරවීමට උත්සාහයක් දරයි. බටහිර අධ්‍යාපනයද බටහිර උගත්තුුද එයට උල් පන්දම් දෙති.

කිරි ගොවියා යන නාමයද ඒ ව්‍යාපාරයේ යෙදී සිටින ගැමියන් ගේ නිර්මාණයක් විය නොහැකිය. සුද්දෙකුගේ මුවින් ගිලිහුනු පදයක් වැනි එය සිංහලට නුහුරුය. බටහිර රටවල නොයෙකුත් භෝග වගා වල හෝ සත්ව පාලනයේ යෙදෙන්නන් පොදුවේ ෆාමර්ස් නමින් හඳින්වූවත් ලංකාවේ ගොවියෙකු ගැන සඳහන් කල විට සිතට නැඟෙන්නේ වී ගොවිතැන මිස වෙනකක් නොවේ. ගොවිකම, ගොවියා සහ බත් කෑම යනු සිංහල සමාජයේ අරටුය. එළකිරි ව්‍යාපාරය කිරි ගොවිකම ලෙස හැඳින්වීම එහි ඇති අසිංහල බව මකා දැමීමට ජන මාධ්‍යය මඟින් යොදා ගැනෙන කූට උපක්‍රමයක් වත්ද? ඉන් උත්සාහ කරන්නේ බටහිර කිරි සංස්කෘතියම බලෙන් සිංහල සංස්කෘතියේ අරටු තුලට එබීමටද? කෙසේ වෙතත් එහි ඇත්තේ කූට සිංහලකරණයක් යැයි මම සිතමි.  සිංහලුන්ගේ ජාතික හැඟීම් නොමඟ යවන මෙවැනි ව්‍යාපෘති තව කොතෙක් ඇත්ද? ගොඩනැඟී ඇති සිංහල ජාතිකත්වය විජාතික බලවේගවල කලමණාකරණයට හසුනොවී ආරක්ෂා කර ගැනීමට නම් ජන මාධ්‍ය මූලික වී ගෙනයන මෙවැනි කූට සිංහලකරණ ව්‍යාපෘති පිළිබඳව අප අවධියෙන් සිටිය යුතුවේ.

කෙසේ වෙතත් එළකිරි බීම මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නම් සිංහලුන් ඒ පුරුද්ද ඇති නොකර ගන්නේ මන්ද? මේ ප්‍රශ්ණයට මුලින් ඇසිය යුත්තේ ඇත්තෙන්ම එළකිරි බීම ඊනියා පොදු මිනිසෙකුට කෙසේ වෙතත් සිංහලයාට ගුණද එසේ ගුණ වුනත් අත්‍යාවශ්‍යමද යන්නය. මේ ප්‍රශ්ණය මස් කෑමට මෙන්ම පාන් කෑමටත් අදාලය. මේ සියලු දෑ යම් යම් මට්ටම් වලට අප සමාජයේ ස්ථාපිත වී ඇති අසිංහල පුරුදුය. නමුත් ඒ බව පසෙකලා මේ කෑම් බීම් මෙරට වැසියන්ගේ සෞඛ්‍යයට හිතකරද එසේ හිතකර වුවත් ඒ දෑ අත්‍යාවශ්‍යද යනා දී කරුනුද අප විසින් විමසා බැලිය යුතුවේ. සාමාන්‍ය බෞද්ධ ඇසකින් විමසන්නෙකුට නම් හිංසා කර ලබා ගන්නා කිරෙහි පවා අගුණක් මිස ගුණක් තිබිය නොහැකිය. නමුත් දේශීය වෛද්‍ය විද්‍යාවට මීට වඩා හරවත් විමසුමක් අසිංහල කෑම බීම පිළිබඳ වත් සාධාරණව ගත් කල ඊනීයා පෝශණය පිළිබඳ වත් කල හැකි විය යුතුය. මීට අමතරව බටහිර විද්‍යාවට පවා මේ කෑම බීම සාධාරණය කල හැකිද යන්න අපට වැදගත්ය මන්ද යත් අහාර පිරමිඩ තනා අධ්‍යාපණය ඔස්සේ ඊනීයා පෝශණයක් පිළිබඳ මේ දැනුම අපට කවන්නේත් ජන මාධ්‍ය ඔස්සේ මේ පුරුදු වලට අප පොලඹ වන්නේත් මේ දෑ අපිට විකුනන්නේත් බටහිර සංස්කෘතියම වන බැවිනි. බටහිර විද්‍යාත්මක පදනමක සිට මේ විමසුම කර ජනතාව දැනුවත් කිරීම විශ්ව විද්‍යාලවල ජීව කෘෂි සහ වෛද්‍ය විද්‍යා අංශවල වගකීම සහ යුතුකමද වේ.  මෙවැනි විමසුමක දී විශය විය යුත්තේ ඝර්ම කලාපීය රටක වෙසෙන ජීවන රටාවෙන් ලාංකික වන මිනිසකුගේ සුව සෙත මිස ඊනියා සාධාරණ මිනිසකුගේ සුව සෙත නොවන බව වැදගත්ය. අසිංහල කෑම් බීම් චර්යාවන් ප්‍රතික්‍ෂේප කිරීමට වැඩිම රුකුලක් ලැබෙනුයේ එය අපට නුසුදුසු බව බටහිර විද්‍යාවෙන්ම පෙන්වා දිය හැකි නම්ය.

බටහිර සංස්කෘතික ආධිපත්‍යය නිසා තව කොතෙකුත් අසිංහලවූ චර්යාවන්ට අපි යොමු වී සිටින්නෙමු. මේ සියලු දේ එකවිට අත්හල නොහැක්කේ අවාසනාවකට මේ චර්යාවන් අපේ පුද්ගලික මෙන්ම ජාතියේද පැවැත්ම හා බැඳී ඇති බැවිනි. ඉන් ගැලවිය නොහැකි නම් අප කල යුත්තේ අඩු තරමින් එය අසිංහල බව වත් හඳුනා ගැනීමය ඒ බව අපේ දරුවන්ට කියා දී මය. එවිට හෙට දවසේ ඔවුන්වත් ඉන් ගැලවීමට මඟක් සොයා ගනු ඇත.

2 comments:

  1. බෙහෙත් යැයි කියමින් බටහිරයන් රෝගීන්ට පොවන වස කන්දරාව ගැන සළකා බලන විට ඔවුන් ආහාර නාමයෙන් නිරෝගී (ඊනියා) පුරවැසියන්ට වස නොකවාවි යැයි සිතීමට ඉඩක් නැත.

    ReplyDelete
  2. මේ ලින්ක් එක බලන්න.
    http://www.youtube.com/watch?v=F5r6546Ph48

    ReplyDelete