Friday, August 30, 2013

අපරාධ ↔ සංවර්ධණය


 

අපට මග වැරදී ඇතිබව පිළිගත යුතුය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊනියා මානුෂික අයිතිවාසිකම් ගැන කථා කරන්නේත් නවි පිල්ලේ මෙහිවිත් සිටින්නේත් අපේ වැරදි පෙන්වා දෙන්නටවත් එසේ කර අප හරි මඟට ගන්ටවත් නම් නොවේ. ඒ ගැන සැකයක් තබා ගත යුතු නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඩියට වැඩ කරන සේවකයන්ට මෙන්ම ඔවුන්ගේ ස්වාමිවරුන්ටත් අවශ්‍ය අප හොඳ මිනිසුන් කරන්නට නොව අපව අපාගත කර හෝ බටහිරුන්ගේ අණසකට යටත් කර ගැනීමටය. ඒ නිසා අපි උගත් පාඩම් කොමිසමක් පත් කරනවාද, එහි නිර්දේශ පිළිගන්නවාද, නැත්නම් ඒවා පිළිගන්නවා යැයි පෙන්වනවාද, නවි පිල්ලේව ගනන් ගන්නවාද, ගනන් නොගෙන ගනන් ගත්තා වගේ ඉන්නවාද, ඔවුන්ගේ කමිටුවල ඡන්දය දිනන්ට කටයුතු කරනවාද නැත්නම් ඒ කමිටුවල තීරණ උදයේ හෙලූ කෙල පිඩක් මෙන් ඉවතලනවාද වැනි දේශපාලණ ක්‍රියාමාර්ගවල වැදගත් කම ඇත්තේ ඒ හරහා රටේ ස්වාධිපත්‍යය ආරක්‍ෂා කිරීම උදෙසා කල හැකි බලපෑම් මතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ක්‍රියාකාරකම් තුලත් ඊට සාපේක්‍ෂව රජය ගන්නා ක්‍රියා මාර්ග තුලත් ඉන් එහාට සමාජීය වැදගත් කමක් බලාපොරොත්තු නොවිය යුතුය. අපේ ප්‍රශ්ණවලට නවි පිල්ලේටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් පිළිතුරු නැත. අපිම අපේ ප්‍රශ්ණ අවබෝධ කරගෙන ඊට පිලිතුරු සොයා ගත යුතු වෙමු.


අපිට අද ඇති බරපතල ප්‍රශ්ණය ඊනියා මානුෂික අයිතිවාසිකම් පිළිබඳව නොව අපි සමාජයක් හැටියට සීඝ්‍රයෙන් ආධ්‍යාත්මික පිරිහීමකට ලක් වෙමින් සිටීමය. ජන මාධ්‍යය මඟින් නිරතුරුවම ඒ ගැන අප දැනුවත් කරන්නේ ඇත්තෙන්ම අපරාධ වැඩිවී ඇති නිසාද නැත්නම් මුල් පිටුවල කාලකන්නි රසයක් පෙන්වා පත්තර වැඩියෙන් අළෙවි කර ගන්නටදැයි සැකයක් ඇති වුනත් පෙර නොවූ විරු අන්දමින් රටේ අපරාධ සිදුවන බව බොහෝ දෙනා පිලිගන්නා කාරණයකි. පත්තරවල පෙන්වූයේ නැතත් මේ ආධ්‍යාත්මික පිරිහීම වැඩියෙන්ම පිළිබිඹු වෙන්නේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙරට උගත් මධ්‍යම පංතියේ යැයි මම සිතමි. මේ පංතියේ එක් කොටසක් උමතුවෙන් මෙන් එකිනෙකා පරයමින් දුරාචාරයේ ගැලෙමින් වෙලෙමින් අසංවර පරිභෝජනයට සෙට් වී සිටින අතර තව කොටසක් ඊට ප්‍රති විරුද්ධව යමින් ඉක්මනින්ම සංසාරයෙන් එගොඩවීම සඳහා බණ භාවනාවෙහි යෙදෙමින් සාමාන්‍ය ගිහි ජීවතවලින් ඈත් වෙමින් සිටිති. මේ ධ්‍රැවීකරණයට හේතුව සමස්ථ සමාජයටම දිය හැකි පොදු පිළිතුරක් මේ සම්බන්ධයෙන් අපට නොමැතිවීමය. සාමාන්‍යයෙන් තමන් උගත් යැයි සිතන මධ්‍යම පංතික නගර බද මිනිස්සු නම් සිතන්නේ අපරාධ සිදු කරන්නේ ඔවුන් නූගත් යැයි සිතන දේශපාලකයන් හා පාතාලයේ දාමරිකයින් පමණක්යැයි කියාය. ඊට ඔවුන් දෙන පිළියම නම් මේ අපරාධ කරුවන් අල්ලා දඬුවම් දීමය. ඔවුන් කරන්නේ ප්‍රශ්ණයට හේතුව හා පිළියම සමාජයේ සංඝටක වලට, නැත්නම් තනි පුද්ගලයින්ට පැවරීමය. නමුත් සමාජයක් යනු හුදෙක් තනි පුද්ගලයින්ගේ එකතුවක් නොවේ. එසේ ගැනීම අපි නොමඟ යවා ගැනීමක් පමණි. සමස්ථයක් හැටියට සමාජයේ සිදුවන අපරාධවල කොටස් කරුවෝද එහි අනිසි ඵල විඳවන්නෝද අපිමය. අපේ ආධ්‍යාත්මික පිරිහීමට හේතුවත් ඊට පිළියමුත් ඇත්තේ සමස්ථ සමාජය මත මිස තනි පුද්ගලයින් මත නොවේ. අපරාධ කරුවන්ට දඬුවම් පැමිනවිය යුතුය. නමුත් ස්ථිරසාර පිලියමක් ලබාදීමට නම් සමස්ථ සමාජය තුල ඇති ව්‍යාදිය අප විසින් අවබෝධ කර ගත යුතුය.


එය අවබෝධ කර ගැනීම එතරම් අපහසු නැත. අවශ්‍ය අපට සුපුරුදු අපේ දැනුම් පද්ධතිය මත පිහිටා සමාජය පිළිබඳ විමසීම පමණය. තන්හාව මමත්වය ඇති කරන බවත් මමත්වය තුල තන්හාව ඇති කරවන බවත් අපි දන්නෙමු. මේ දෙක අතර ඇත්තේ චක්‍රීයබවකි. ඒ චක්‍රය වේගයෙන් කැරකැවෙනවිට තන්හාවත් මමත්වයත් වැඩි වැඩියෙන් ඉස්මතු වේ යැයි සිතිය හැකිය. තනි පුද්ගලයින් තුල ඇතිවන තන්හාව පුද්ගල එකතුවක් තුල දැකිය හැක්කේ ආධ්‍යාත්මික පිරිහීමක් නැත්නම් සාපරාධී ක්‍රියා බහුලවීමක් වශයෙන් යැයි කිව හැකිය. එමෙන්ම තනි පුද්ගලයින්ගේ මමත්වය සමාජය තුල දැකිය හැක්කේ ඊනියා සංවර්ධණයක් ලෙසය. අද අපි ආර්ථිකය සංවර්ධනය වී ඇතැයි කියන්නේ පරිභෝජනය ඉහල යෑම නිසා නිශ්පාදනය වැඩි වනවිට නොවේද? පරිභෝජනය වැඩි කර ගැනීම යනු මමය, මගේය, මා විසින්ය වැනි හැඟීම් වර්ධණය කර ගැනීම සඳහා කෙරෙන ගොඩ ගැහීම් නොවේද? තනි පුද්ගලයින්ගේ තන්හාව හා මමත්වය අතර ඇති චක්‍රය සමාජයේ ආධ්‍යාත්මික පිරිහීම හා ඊනියා සංවර්ධනය අතර ඇති චක්‍රයට තුඩුදෙන බව පැහැදිලිය. ඒ චක්‍රය වේගයෙන් දිවෙන විට ඊනියා සංවර්ධනයට සාපේක්‍ෂව සමාජයේ ආධ්‍යාත්මික පිරිහීමක් ඇතිවේ.  



ඉහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දළ ජාතික නිශ්පාදනයත් (වම) එරට සිරකරුවන්ගේ ජනගහණයත් (දකුණ) පසුගිය වසර පණහ පමණ කාලය තිස්සේ වෙනස් වී ඇති ආකාරයය. දළ ජාතික නිශ්පාදනයෙන් සංවර්ධනයත් සිරකරුවන්ගේ ජනගහණයෙන් රටේ ආධ්‍යාත්මික පිරිහීමත් පිළිබිඹු වේ යැයි සිතන්නේනම් හැත්තෑ ගණන්වල එරට ආර්ථිකයේ සිදුවුනු වේගවත් ඊනියා සංවර්ධනය අසූ ගණන්වන විට වේගවත් ආධ්‍යාත්මික පිරිහීමකට තුඩුදුනැයි මේ දත්ත මඟින් උද්ගමණය කල හැකිය. මේ වකවානුවේ ඇමරිකාවේ රේගන් හා බ්‍රිතානියේ තැචර් විසින්් සිදුකල ලෝක සමාජ-ආර්ථික විප්ලවය මෙයට මුල් වන්නට ඇත. කෙසේ වෙතත් ඊනියා සංවර්ධණයත් ආධ්‍යාත්මික පිරිහීමත් අතර අන්නොන්‍ය සම්බන්ධ කමක් ඇති බව ඉන් පැහැදිලිය. එය එතරම් අරුමයක් නොවේ.

අද අප රටේද සිදුවෙමින් පවතින්නේ සංවර්ධණය නිසා සමාජය ආධ්‍යාත්මික පිරිහීමකට ලක් වීමත් ඒ ආධ්‍යාත්මික පිරිහීම මත ඊනියා සංවර්ධණයක් ඇතිවීමත් යන අපරාධ-සංවර්ධණ චක්‍රය ක්‍රියාත්මක වීමය. මේ චක්‍රය වේගයෙන් කැරකැවෙන්ට පටන් ගත්තේ අපි එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කර ටික කලකට පසුව යැයි මම සිතමි. අසූ ගණන් වල භීෂණ සමයේදීවත් පොදු සමාජය තුල මේ අන්දමේ ආධ්‍යාත්මික පිරිහීමක් දක්නට තිබුනේ නැත. හැත්තෑ ගණන්වලදී ජේ ආර් විසින් ආර්ථිකය විවෘත කලද එය මෙතරම් ආර්ථික වර්ධණයකටවත් ආධ්‍යාත්මික පිරිහීමකටවත් දායකවුනේ නැත. ඊට මූලික හේතුව අපරාධ-සංවර්ධණ චක්‍රය කර කැවීමට ශ්‍රී ලාංකිකයින් විශේෂයෙන්ම සිංහලුන් අතර ඇති තද බල අකමැත්තය. ඒ හික්මීම ඔවුන්ට ලබාදෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියය. අදද සාමාන්‍ය ගැමියන් අවබෝධයකින් යුතුව ඊට අකමැති වෙති.


ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ ඇතිවුන වෙනස නම් මේ අපරාධ-සංවර්ධණ චක්‍රය කරකැවීම රජය විසින් භාර ගැනීමය. පුද්ගලික අංශය අභිබවා යමින් ඊනියා ආර්ථික සංවර්ධණයක් සඳහා වත්මන් රජය තම උපරිම ශක්තිය යොදවන බව රහසක් නොවේ. ඒ සඳහා රජය විදේශ ණය ලබා ගනියි, නව අමාත්‍යංශ පිහිටුවා දේශපාලණ බලය ස්ථාපිත කර ගනියි, වැඩි වැඩියෙන් විදේශ ආයෝජකයින් ගෙන්වා ගනියි. මේ සියලු බර යොදා රජය කරන්නේ මෙරට සාමාන්‍ය මිනිසුන්ට මින් පෙර කල නොහැකිවූ වේගයකින් අපරාධ-සංවර්ධණ චක්‍රය කැරකවීමය. රජයේ අරමුණ රටේ අපරාධ වර්ධණය කිරීම නොවේ නමුත් මේසා විශාල සමාජ-ආර්ථික වෙනසක් දරා ගැනීමට අපට සංස්කෘතික ශක්තියක් නැත. මේ බව නොසලකමින් අසංවර පරිභෝජනයකට පොළඹවමින් ඊනියා ආර්ථික සංවර්ධණයක් කරා අධි වේගයෙන් හඹා යෑමෙන් රජය රටේ ආධ්‍යාත්මික පිරිහීමට වක්‍රව දායක වෙන බව කිව යුතුය. ඊ ලඟට මේ අපරාධ-සංවර්ධණ චක්‍රය කැරකවීමට දායක වෙන්නේ තමන් උගත් යැයි සිතන එකිනෙකා පරයමින් දුරාචාරයේ ගැලෙමින් වෙලෙමින් අසංවර පරිභෝජනයට සෙට් වී සිටින මධ්‍යම පංතියේ මිනිස්සුය. මොවුන් බොහෝවිට ඉන්නේ දේශපාලණ වශයෙන් රජයට විරුද්ධ පැත්තේය. නමුත් රජයේ ආර්ථික ප්‍රතිපත්ති උපරිම වශයෙන් භුක්ති විඳින්නේද ඔවුන්මය. ඒ අතර ඔවුහු රටේ සංස්කෘතික හෝදා පාලුවට උපරිම වශයෙන් දායකවෙති. එසේ කරමින් සමාජයක් වශයෙන් අපට ආධ්‍යාත්මික පරිහාණියට මුහුණදීමට ඇති ශක්තියද හීණ කරති. රජයත් මධ්‍යම පංතියේ මිනිස්සුත් සංවර විය යුතුය.

2 comments:

  1. අපරාධ සහ මමත්වය/ තණ්හාව අතර ඇති සම්බන්ධය මූලධර්මයක් හැටියට නිවැරදිය. නමුත් මගේ නම් අදහස ඔබ නිරීක්ෂණය කරන ලද කරුණට වඩා වලංගු සහ ආසන්න විග්‍රහයන් ලංකාවේ අපරාධ වැඩිවීම සම්බන්ධව පවතින බවයි (එම කරුණුවලත් පතුළේ ඇත්තේ ඔබ කරන ලද නිරීක්ෂණයම වීම අහම්බයක් යැයි මින් නොකියවෙයි). නිදසුනක් ලෙස ලංකාවේ අපරාධ වැඩිවීමට හේතුව කුසලාකුසල විඥානය විසින් හික්මවී තිබුණු සමාජය අපට ආගන්තුක වූ නීතියකින් හික්මවීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙස කෙරෙන කරුණු දැක්වීම දැක්විය හැක.

    අද බොහොමයක් අපරාධ කෙරෙන්නේ අපරාධ කරුවන් තමුන්ට නීතියෙන් වසන් වී සිටිය හැකි යැයි සිතන බැවිනි (කියවන්න ඊබට් ජයරත්න සුරංග ජයරත්න අතින් මැරුම් කෑම). සමාජය කුසළාකුසළ විඥානයෙන් හික්මවී තිබුණු විට එවැනි නිගමයන්ට ඉඩක් නොතිබිණි.

    - ප්‍රභංග

    ReplyDelete
    Replies
    1. ඒක හරි අපි පිං පව් නෙවෙයි වැදගත් කියලා සිතන්නේ. මට අවශ්‍යවුනේ මේ පිරිහීම මේ කියන අවදියේම වර්ධනය වෙන්නට පටන්ගත්තේ ඇයි කියලා විමසා බලන්ටයි. සංවර්ධනයට ඇති සම්බන්ධකම වැදගත් වන්නේ එවිටයි. ඒ වගේම මට අවශ්‍යවුනේ තනි පුද්ගලයින් අකුසල් කරන්නේ ඇයි දැයි බලන්ට වඩා සමාජයක් හැටියට බලන්ටයි. කොහොම උනත් සමාජ විද්‍යාඥයින්ටයි මනෝ විද්‍යාඥයින්ටයි මේ කථා හදන්නට ඉඩදී සිටියොත් ප්‍රශ්ණ කවදාවත් විසදෙන්නේ නැති වේවි

      Delete