Friday, August 30, 2013

අපරාධ ↔ සංවර්ධණය


 

අපට මග වැරදී ඇතිබව පිළිගත යුතුය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊනියා මානුෂික අයිතිවාසිකම් ගැන කථා කරන්නේත් නවි පිල්ලේ මෙහිවිත් සිටින්නේත් අපේ වැරදි පෙන්වා දෙන්නටවත් එසේ කර අප හරි මඟට ගන්ටවත් නම් නොවේ. ඒ ගැන සැකයක් තබා ගත යුතු නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඩියට වැඩ කරන සේවකයන්ට මෙන්ම ඔවුන්ගේ ස්වාමිවරුන්ටත් අවශ්‍ය අප හොඳ මිනිසුන් කරන්නට නොව අපව අපාගත කර හෝ බටහිරුන්ගේ අණසකට යටත් කර ගැනීමටය. ඒ නිසා අපි උගත් පාඩම් කොමිසමක් පත් කරනවාද, එහි නිර්දේශ පිළිගන්නවාද, නැත්නම් ඒවා පිළිගන්නවා යැයි පෙන්වනවාද, නවි පිල්ලේව ගනන් ගන්නවාද, ගනන් නොගෙන ගනන් ගත්තා වගේ ඉන්නවාද, ඔවුන්ගේ කමිටුවල ඡන්දය දිනන්ට කටයුතු කරනවාද නැත්නම් ඒ කමිටුවල තීරණ උදයේ හෙලූ කෙල පිඩක් මෙන් ඉවතලනවාද වැනි දේශපාලණ ක්‍රියාමාර්ගවල වැදගත් කම ඇත්තේ ඒ හරහා රටේ ස්වාධිපත්‍යය ආරක්‍ෂා කිරීම උදෙසා කල හැකි බලපෑම් මතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ක්‍රියාකාරකම් තුලත් ඊට සාපේක්‍ෂව රජය ගන්නා ක්‍රියා මාර්ග තුලත් ඉන් එහාට සමාජීය වැදගත් කමක් බලාපොරොත්තු නොවිය යුතුය. අපේ ප්‍රශ්ණවලට නවි පිල්ලේටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් පිළිතුරු නැත. අපිම අපේ ප්‍රශ්ණ අවබෝධ කරගෙන ඊට පිලිතුරු සොයා ගත යුතු වෙමු.

Thursday, August 22, 2013

සිංහල බෞද්ධයින්ගේ දුක් ගැනවිල්ල


පංසලකට යාබද ඉඩමක අන්‍යාගමික පල්ලියක් ඉදි කරන්නට යෑම ආක්‍රමණශීලී නොවේ යැයි කිව හැකිද? උප්පරවැටි යොදා අහිංසක ගැමි බෞද්ධයින් අන්‍යාගම් වලට හරවා ගැනීමට තැත් කිරීම ආක්‍රමණශීලී නොවේ යැයි කිව හැකිද? සංවිධානාත්මකව රටේ යම් ප්‍රදේශ තම ආගම අදහන්නන් සඳහා වෙන් කර ගැනීමට තැත් කිරීම ආක්‍රමණශීලී නොවේ යැයි කිව හැකිද? මේ දෑ රටේ නීතියට විරුද්ධ නොවන්නට පුළුවන නමුත් එහි ඇති ආක්‍රමණශීලී බව පණ නැති නීතියට නොදැනුනත් පණ ඇති බෞද්ධයින්ට දැනේ. නමුත් බෞද්ධයින්ට ඒ ගැන කල හැක්කක් නොමැත. ඉවසුම් නැති සමහර බෞද්ධයින් ප්‍රචන්ඩකාරී වන්නේ ඒ නිසා විය හැකිය. ප්‍රචන්ඩත්වය මැඩලිය යුතුය. ඒ සඳහා රටේ නීති ඇත. නමුත් ආගම්වාදීන් මෙන්ම සමාජය පුරා නොයෙකුත් විශමාචාරයන් පතුරවන සංවිධාන සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කරන ආක්‍රමණ වලට විරුද්ධව ගත හැකි ක්‍රියා මාර්ගයක් බෞද්ධයින්ට නොමැත. එය බරපතල ප්‍රශ්ණයකි. එයට විසඳුම් තිබිය යුතුය.

Saturday, August 17, 2013

කිරි ගොවියා….?




(මෙම ලිපිය 2012 හේ ජූනි මාසයේදී කාලය වෙබ් අඩවියේ පළවිනි)

බත බුලත සවි කරන, ගොඩ මඩ ඉඩම් සරු කරන, හේනේ කමතේ දහඩිය හෙළන ගොවියන් ගැන පෙර සිටම අප දැනගෙන සිටින මුත් කිරි ගොවියන් ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ ඉතාමත් මෑතක සිටය. මෙසේ කිරි ගොවියන් ගැන අප දැනුවත් කරන්නේ අපේ ජන වහරවත්, පොත පතවත්, ගුරු දෙගුරුන්වත් නම් නොවේ. අද එය කෙරෙන්නේ විශේෂයෙන්ම ජන මාධ්‍ය ඔස්සේය. නමුත් සම්ප්‍රදායික හේනේ-කමතේ ගොවිකම කෙසේ වෙතත් මේ කියන කිරි ගොවි කමේ නම් යම් අසිංහල බවක් ඇති බව පෙනේ. මෙයින් අදහස් වෙන්නේ් ඒ ව්‍යාපාරයේ යෙදී සිටින මහත්ම මහත්මීන් අසිංහල බව නොවේ. එනයින් බලන කල මැති ඇමති වරු, විශ්ව විද්‍යාල ආචාර්ය වරු, කාර්යාල සේවකයින් ඇතුලු වැටුපකට තම ශ්‍රමය විකුනණ එසේත් නැතිනම් කුලියකට වැඩ කරන සැමදෙනාම පාහේ ඔවුන් අසිංහල නොවුනත් නිරතව සිටින්නේ අසිංහල කර්තව්‍යයන් හි යැයි කිව හැකිය. මේ දෑ අසිංහල වන්නේ් ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දී ඇති පරිදි ශ්‍රමය විකිණීම සිංහලයන්ගේ සදාචාරයට එකඟ නොවේය යන පදනම මතය.