Saturday, July 27, 2013

උතුරට විකල්ප දේශපාලණයක්


බලය බෙදා ගැනීමත් බලය විමධ්‍යගත කිරීමත් යනු දෙකකි. දෙමළ ජාතික සංවිධානය කතා කරන්නේ ජාතීන් අතර බලය බෙදා ගැනීමක් ගැන (power sharing among the ethnic groups) මිස රාජ්‍ය බලය විමධ්‍යගත (devolution) කිරීමක් ගැන නොවේ. ඔවුන් කියන බලය බෙදා ගැනීම 1833 ඉංග්‍රීසීන්ගේ ව්‍යවස්ථාදායක මංඩලයට සිංහලයන් හා දෙමළ ජනයා වෙනුවෙන් එක් මන්ත්‍රී වරයකු බැගින් පත් කිරීම හා සමානය.  ඔවුන්ටත් ඉන්දියාවටත් බටහිරුන්ටත් එදත් අදත් අවශ්‍ය අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇති රටේ බහුතරයක් වන සිංහලුන්ගේ අයිතිවාසිකම් ලඝු කොට ඒ තුලින් ශ්‍රී ලංකාව මත තම ආධිපත්‍ය පිහිටුවා ගැනීමටය. සිංහල බෞද්ධ විරෝධීන් කරන්නේ කතන්දර හදමින් ඔවුන්ට ඒ සඳහා අධාර කිරීමය.



පළාත් සභාවලට රටේ බහුතරයක් අකමැතිය. අවශ්‍යනම් ජනමත විමසීමකින් ඒ ගැන දැන ගත හැකිය. එසේ තිබියදී උතුරේ දැන් පවත්වන්නට හදන පළාත් සභා ඡන්දයෙන් කෙරෙන්නේ දකුණේ ජනතාව භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදයක් උතුරට ලබාදීම යැයි කීම කෙතරම් කුහක අසංගත කථාවක්ද? සිංහලුන් මත බලෙන් පැටවූ දෙයක් ඔවුන් භුක්ති විඳිනවා යැයි කියන්නේ මොන අරුතින්ද? වැඩිම වශයෙන් ඉන් සිදුවෙන්නේ සිංහලුන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් අහෝසි වීම නොවේද?


පළාත් සභා අහෝසිකල යුතු අතර දෙමළ ජාතික සංවිධානයේ දේශ ද්‍රෝහී නිජ බිම් දේශපාලණයද නීති විරෝධී කල යුතුය. නමුත් ඒ සඳහා දෙමළුන් මෙන්ම සිංහලයිනුත් උතුරේ විකල්ප දේශපාලණයක් කල යුතුය. උතුරේ පැවැත්වෙන ඡන්දය ඊට අවස්ථාවක් කර ගත යුතුය. දේශ ද්‍රෝහී නිජ බිම් දේශපාලණය පරාජය කිරීම වසරකින් දෙකකින් කල හැකි දෙයක් නොවුනත් ඊට විරුද්ධ බලවේගයක් උතුරේ ඇති කර ගැනීමට මේ රජය දරන වෑයම අගය කල යුතුය.


දේශ ද්‍රෝහී නිජ බිම් දේශපාලණය පරාජය කල හැක්කේ අද එය ඔසවාගෙන සිටින්නේ ඉන්දියාව සහ බටහිරුන් මිස සාමාන්‍ය දෙමළ ජනතාව නොවන බැවිනි. විග්නේශ්වරන් මහතා දේශ ද්‍රෝහී නිජ බිම් දේශපාලණයේ නවතම රූකඩයය. ඔහු සාමාන්‍ය දෙමළ ජනතාව අතරින් බිහිවුණ දේශපාලකයෙක් නොව උඩින් ගෙනැත් තැබූවෙකි, නැත්නම් පැරචුට්ටෙකි. බටහිර සංස්කෘතිය අනුකරණය කරන ඊනියා උගතෙකි. නමුත් ඉංග්‍රීසි සමයේත් ඊට පසුවත් මේ වනතාක් කල් මෙවැන්නන්ට දෙමළ ජනතාව විශේෂයෙන් යාපනයේ ජනතාව තමන්ට අවනත කර ගැනීමට හැකිවිනි. ඔවුන් එය කර ගත්තේ කුලය, ඉංග්‍රීසි උගත්කම, සාමාන්‍ය මිනිසුන්ගේ දුප්පත්කම, හා සාමාන්‍ය දෙමළ ජනතාව සාමාජයිකව සිංහලුන්ගෙන් වෙන් කර තැබීම යන කරුනු තමන්ගේ වාසියට හරවා ගැනීම තුලිනි. ඔවුහු තමන්ට නැතිවෙන්නට යන තත්වයක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නැති වීමක් යැයි පෙන්වමින් සාමාන්‍ය දෙමළ ජනතාව රැවටූහ. ඔවුන්ට මේ තාක් කල් එය කල හැකි වුනද විකල්ප දේශපාලණ බලවේගයක් හමුවේ ඉදිරියේදී එය කල නොහැකිවනු ඇත. එදාට ඉන්දියාවත් බටහිරුනුත් මේ පුස්සන් අත හරිනු ඇත්තේ නොර්වේ රජය කුමාර් රූපසිංහ මහතා ලොප් කල ආකාරයටත් වඩා නින්දිත විදිහටය.


සිංහලුන් මෙරට අනුකාරක බටහිර උගතුන්ට වැඩ බැරි බව ඉගෙනගත්තේ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජනාධිපති වූවාට පසුවය. ඇයට කිසිදු ජාතික ප්‍රශ්ණයක් විසඳිය නොහැකි වුනු අතර විසඳන ආකාරයක්ද දැන සිටියේ නැත. ඇයගෙන් පසුව ජාතිකත්වයක් නැති ඊනියා උගතුන්ට මෙරට දේශපාලණ ක්‍ෂේත්‍රයේ ඉඩක් සිංහලුන් විසින් ලබා නොදෙනු ඇත. ඒ මොකුත් නිසා නොව ඔවුන්ට වැඩ බැරි බව දන්නා නිසාය. අවාසනාවකට රටේ අනිකුත් ක්‍ෂේත්‍රවල තවමත් බලය උසුලන්නේ මේ වැඩ බැරි ඊනියා උගතුන්ය. ඔවුන්ට තැනක් ඇත්තේ ඊනියා උගත්කමෙන් ඔවුන්ට පහලින් සිටින නමුත් තමන් උගතුන් යැයි කියා පාන්නට කැමති නාගරික මධ්‍යම පංතිකයින් ඔවුන් ඔසවා තබන බැවිනි. මෙලෙස බටහිර දැනුම උසස්ය යන විශ්වාසය මත පිරමිඩයක් ආකාරයට බලයක් ගොඩනඟා ගැනීමට අනුකාරක උගතුන්ට හැකිවී ඇත. දහ අටේ කැරැල්ලෙන් පසු මෙරට ස්වාධීන රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට නොහැකි වුනේ මේ ඊනියා උගතුන්ට සිංහලුන් අතර කිසියම් පිලිගැනීමක් තිබුන නිසාය. අද වෙනවිට සිංහලුන් එය වැරදීමක් බව ක්‍රමයෙන් අවබෝධ කර ගනිමින් සිටිති. යාපනයේ ජනතාවද නොබෝ දිනකින් ඒ බව අවබෝධ කර ගනු ඇත. එහි කෙරෙන විකල්ප දේශපාලණය කැප විය යුත්තේ ඒ අවබෝධය ඔවුන්ට ලබා දීමටය.


සිංහලුනුත් දෙමළුනුත් අතර සංහිදියාවක් ඇති කිරීමට මේ අනුකාරක උගතුන්ට නොහැකිය. ඔවුන් ජාතික සමඟිය ඇති කරන්නට උත්සාහ කරන්නේ සාමූහිකත්වය පහතට දමා පුද්ගලිකත්වය ඉස්මතු කිරීම තුලිනි. එනම් සාමාජයික අයිතිවාසිකම් වලට ඉහලින් පුද්ගලික අයිතිවාසිකම් රැක ගැනීමට කටයුතු කිරීමෙනි. නමුත් පුද්ගලික අයිතිවාසිකම් වර්ධනය කර ගත හැක්කේ එය අනිකාගේ එම අයිතිවාසිකමට හරස් නොවෙනතාක් කල් පමණි. ඒ නිසා විවිධ ජාතීන්ට ආගම් වලට අයත් මිනිසුන් සිටින සමාජයක පුද්ගලික අයිතිවාසිකම් උපරිම වශයෙන් වර්ධනය කර ගත හැක්කේ ජාතික හා ආගමික අනන්‍යතාවන් හැකි තාක් දුරට දියාරු කර එකම සංස්කෘතියකට අනුගත වීම තුලිනි. ඒ නිසා බටහිර උගතුන්ට අවශ්‍ය තමන් මෙන් සිංහලයිනුත් දෙමළුත් සිය අනන්‍යතාවෙන් මුදවාගෙන බටහිර සංස්කෘතියට අනුගත කිරීමටය. ඔවුන්ට ජාතීන් අතර සමඟියක් දැකිය හැකි එකම විදිය ජාතිකත්වය නැති කිරීම තුලිනි. නමුත් සියලු ජාතීන්ට තමන්ගේ අනන්‍යතාවන් රැකගෙන සමගියෙන් සිටිය හැකිය. එය කල හැක්කේ පුද්ගලිකත්වයට මුල් තැන දෙන සමාජයක නොව පුද්ගලිකත්වය මෙන්ම සාමූහිකත්වයත් අගයන සමාජයකය. බටහිර සංස්කෘතියට බැරි වුනද ආසියාතික රටවල මිනිසුන්ට එය කල හැකිය.


අසූතුනේ ජූලි කලබලයේදී අහිංසක දෙමළ මිනිසුන්ට රැකවරණය දුන්නේ සාමාන්‍ය මිනිසුන් මිස පොලීසිය නොවේ. නමුත් එදා පොලිස්පතිව සිටියේ උගත් යැයි සැලකුණ දෙමළ ජාතික රුද්‍රා රාජසිංහම් මහතාය. පසු කලෙක තිම්පු සාකච්ඡාවල රජය නියෝජනය කල කණ්ඩායමේ මුලසුන දැරුවේද ඔහුය. නමුත් ඔහු කල දෙයක් නැත. ඔහු පමණක් නොවේ ජේ ආර් ජයවර්ධන, චෙල්වනායගම්, චන්ද්‍රිකා කුමාරතුංග, තිරුචෙල්වම් ඇතුලු ඉංග්‍රීසි උගත් ජාතියෙන් දෙමළ හෝ සිංහලවූ බටහිර අනුකාරක පැලැන්තියකට රටට ජාතියට වැඩක් කිරීමට අසමත්වී ඇත. අසමත්කම ඔවුන් ලද දැනුමේත් ඔවුන් අනුකරණය කල සංස්කෘතියේත්ය. වැඩ බැරි නිසා මේ අයට ඇති පිලිගැනීම ක්‍රමයෙන් සිංහල සමාජය තුළ නැති වෙමින් පවතී. විග්නේෂ්වරන් මහතා යල් පැනපු අදහස් දැරූ ඒ උගතුන්ගේ අවසන් පුරුකය. 

3 comments:

  1. බටහිර උගතුන් ගැන ඔබේ මතය චන්ද්‍රිකා ෆේල් වීම මත පිලිගන්න අමාරුයි. 56 සෙට් එකත් ඔවුන්ගේ දරුවන්ට ලබ දෙන්නේ බටහිර අධ්‍යාපනයම නේද..? එතකොට රට ආයෙත් අගාදයට යයිද? කෙසේ වෙතත්, මමත් සමාන්‍ය පන්තියේ පුද්ගලයකු වුවත්. මේ රට දේශපාළණ, සංස්කෘතික, ආගමික පිරිහීමට ලක්වන්න ප්‍රධානම හේතුව ලෙස දකින්නේ 56 දී ගත් අනුවන තීරණ හා එම පන්තිය බලයට පත්වීම බවයි. මේ පන්තියට බලය දෙන්න එපා කියලා කියා තියෙන්නේ අද ඊයෙක නෙමෙයි, නිස්සංකමල්ල රජ සමයෙයි. ඒ කතාව අද සම්පූර්ණ සත්‍යයක් වී අවසානයි. හොඳම උදාහරණය නූරී වත්තේ ඛේදවාචකයයි. සොයාගෙන කියවන්න.

    ReplyDelete
  2. පනස් හයේදී සාමාන්‍ය සීංහල බෞද්ධයින්ට අවශ්‍ය යම් ආකාරයකට රාජ්‍ය බලය හසුරුවාගන්නට හැකි වුනත් රාජ තන්ත්‍රිකයින්වුනේ බමුණු කුලයේ අයමයි. අද සමහර ප්‍රාදේශීය දේශපාලකයින් දාමරිකයින් අපරාදකාරයින් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ සිංහල බෞද්ධයින් සමාජයක් හැටියට සංස්කෘතියෙන් බටහිර සංස්කෘතියට අන්ත ලෙස පරාද වී ඇති බවයි.

    ReplyDelete
  3. මුල් කොමෙන්ටුවේ දේශපාලනය සහ පාතාලය සම්බන්ධ ප්‍රශ්නය 56ට පවරාදැමීම පැහැදිලිවම කරුණු විකෘති කිරීමක්. චන්ද්‍රිකා යුගය 56 පසුබෑමක් බව පැහැදිලියි. ඉහත සඳහන් සිදුවීම පිටුපස සිටින්නේ යැයි කියන දේසපාලකයා මැරයෙකු ලෙස ප්‍රසිද්ධවන්නේ ඒ පාලන කාලයේදී යි. ඒකට පලි 77 කීවා නම් ඊට වඩා හොඳ නැත්ද? ජානක මහත්මයා මේ ගැන අදහස් දැක්වීමක් ඉදිරියේදි කිරීමට සුදුසු ය.

    ReplyDelete