Saturday, July 20, 2013

ප්‍රජාතන්ත්‍රවාදය අසමත්ය


රටේ ස්වෛරී භාවය රැකගෙන ආසියානු කලාපයේ අනිකුත් රටවල් සමඟ ආර්ථික හා දේශපාලණ ගණුදෙනු කරන්නේ කෙසේද? ප්‍රාදේශීය දේශපාලණ ස්වාධීනත්වය රැකගෙන රටේ ඒකීය භාවය ආරක්‍ෂා කරගන්නේ කෙසේද? සුළු ජාතීන් තම අනන්‍යතාව රැකගෙන ජාතියට එක්වන්නේ කෙසේද? පුද්ගලික අයිතීන් රැකගෙන මිනිසුන් සාමූහිකව ජීවත්වන්නේ කෙසේද? තමන් මාක්ස්වාදීන් ලිබරල්වාදීන් එසේත් නැත්නම් ඊනියා යථාර්තවාදීන් යැයි කියා ගන්නා අයට මෙවැනි ප්‍රශ්ණවලට ශාස්ත්‍රීය පදනමකින් දිය හැකි පිළිතුරක් නැත. නමුත් ඔවුන් සිංහලුන්ට සාමූහිකව ජීවත්වෙන හැටි කියා දෙන්නට හදන්නේ සාමූහිකව ජීවත්වෙන ක්‍රමය ඔවුන් විසින් සොයාගත් දෙයක් ලෙස පෙන්වමිනි. අපේ රටේ මේ වැඩ බැරි විශේෂඥයින්ට තබා බටහිර රටවල වෙසෙන ඔවුන්ගේ හාම්පුතුන්ටවත් මේ ප්‍රශ්ණවලට පිළිතුරු නැත.



මේ හැමකින්ම මතු කෙරණ පොදු ප්‍රශ්ණය නම් සමස්ථයේ ස්වරූපය නිර්මාණය කරද්දී එහි සංඝටකවල විවිධ ලක්‍ෂණ නැත්නම් මනාපය සාධාරණව නිරූපණය කරන්නේ කෙසේද යන්නය. බටහිර සමාජ, ආර්ථික හා දේශපාලණ විශයන්හි සමාජ-වරණය (Social Choice) යන ක්‍ෂේත්‍රය තුල මෙවැනි ප්‍රශ්ණ සාකච්ඡාවට ගැනේ. බටහිර උගතුන් මේ ප්‍රශ්ණවලට පිළිතුරු සොයන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව ඡන්දවිමසීම උපක්‍රමයක් හැටියට භාවිතා කරමිනි. නමුත් කෙනෙත් ඇරෝ නම් යුදෙව් සම්භවයක් ඇති ඇමරිකානු විද්වතා මීට දශක ගණනකට උඩදී එය සාර්ථක ක්‍රමයක් නොවේ යැයි පෙන්වීමට ප්‍රවාදයක් ගොඩනැඟීය. ඇරෝට අනුව යම් සාධාරණ කොන්දේසි යටතේ කණ්ඩායමක මනාපය නිර්ණය කිරීම සඳහා තනි පුද්ගලයින්ගේ මනාප මොන ඡන්ද ක්‍රමය (බහුතර, සමානුපාත ආදී වශයෙන්) භාවිතාකර එකතු කලත් ලැබෙන ප්‍රතිඵලය සතුටුදායක නොවේ. මේ ප්‍රවාදය නිසා එක් දහස් නමසිය හැත්තෑ දෙකේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවූ අතර ඉන් පසු මේ ක්‍ෂේත්‍රයේ ශාස්ත්‍රීය කටයුතු කෙරෙන්නේ අර්ථවත් ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් පෙර කී කොන්දේසි කොතරම් දුරට ලිහිල් කල යුතුදැයි සලකා බැලීමටය. එනම් දැන් බටහිර විද්වතුන් උත්සාහ දරන්නේ ප්‍රශ්ණය විසඳීමට නොව කලමණාකරනය කර ගන්නටය.


ඇරෝට නම් වැඩ පුලුවන්ය. ඔහු තම ප්‍රවාදයෙන් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අසමත් බවය. සාමාජයිකව සමස්ථයත් එහි සංඝටකත් අතර යුක්ති සහගත සම්බන්ධ කමක් ගොඩනඟා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදයට නොහැකිය. නමුත් එය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ දුර්වල කමක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලක්‍ෂණයකි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පුද්ගලයා සමාජයෙන් වෙන් කර ගනී. මෙසේ වෙන් කර ගත් පුද්ගලයින්ගේ එකතුවක් සමාජයක් ලෙස සැලකේ. පුද්ගලයින් සමාජයෙන් ස්වාධීන වූවිට හා ඔවුන් වෙනස් මත දරන විට සමාජයේ පොදු මතය නිර්ණය කරගන්නට නම් ඒ විවිධ මත ඡන්දයකින් යම් කිසි ආකාරයකට එකතු කරනවා හැරෙන්නට වෙන ක්‍රමයක් නැත.  මේ තත්ව යටතේ සමාජයේ පොදු මතයට තනි පුද්ගලයින් බහුතරයක් කැමති වෙන්නේ තනි තනිව ගත්විට ඔවුන්ගේ සිතුම් පැතුම් එසේත් නැත්නම් සංස්කෘතියද එකම වුනොත් පමණි. මේ නිසයි බටහිර රටවල සංස්කෘතික විවිධත්වයක් තිබිය නොහැක්කේ. පුද්ගලයින් සමාජයෙන් වෙන්වී කටයුතු කරන්නටනම් හා ප්‍රජාතන්ත්‍රය වැඩ කරන්නටනම් ඒ සමාජයේ තිබිය හැක්කේ එක සංස්කෘතියක් පමණි. ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත්කම වසා ගැනෙන්නේ මිනිසුන් එකම සංස්කෘතියකට ගාල් කිරීමෙනි. ඒ තිබිය හැකි එකම සංස්කෘතිය බටහිර සංස්කෘතිය යැයි බටහිර උගතුන් හා එහි අනුකාරකයින් අපට බල කර සිටී.


වැඩ බැරි අපේ විශේෂඥයින්ට අනුව දෙමළ සිංහල සමඟියක් ඇතිවිය හැක්කේ සිංහලුන් තම සිංහලකමත් දෙමළුන් තම දෙමලකමත් අතහැර බටහිර සංස්කෘතියට අනුගතවීම තුලිනි. ඔවුන්ට අනුව කදිරගාමර් මහතාට සිංලුන් කැමතිවුනේ ඔහු නිර්ආගමික අසංකෘතික ස්ථාවරයක සිටිය නිසාය. මොන බොරුද? සිංහලුන්ට වැදගත්වුනේ ඔහු බටහිරුන්ට නොබියව මුහුණදුන් බවය. ඒ මහතා නළලේ අලු ගාගෙන වේට්ටියක් හැඳගෙන ඉංග්‍රීසි වෙනුවට කැඩුණු සිංහලෙන් හෝ කථා කලා නම් සාමාන්‍ය සිංහල බෞද්ධයින් තවත් ඔහුට ලං නොවී සිටියිද? පිටරට සම්මාන ලබන්නට රට හෑල්ලු කරමින් කථා කරන සිංහල බෞද්ධ ක්‍රිකට් නායකයෙකුට වඩා සිංහලුන් ඇන්ජිලෝ මැතිව්ස්ට කැමති වන්නට ඉඩක් නැද්ද? කොතරම් බහු ආගමික බහු සංස්කෘතික බයිලා කිව්වත් බටහිරුන්ට අන් සංස්කෘතීන් පිළිබඳ ඇත්තේ සැකයකි බියකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව හොඳින් දනී ඔහු පිටරට යන විට කෝට් බෑය හඳින්නේ බටහිරුන්ගේ ඒ බිය නැති කිරීමටය. 


උතුරු පළාත් සභා මහ ඇමති කමට දෙමළ සංධානයෙන් විග්නේස්වරන් මහතා ඉදිරිපත් කිරීම පිටුපස ඇත්තේද මෙවැනි අකල්පයක් බව පැහැදිලිය. විශේෂඥයින්ට අනුව ඔහු කොළඹ පාසලකින් උගෙන නාගරික පරිසරයක හැදුන වැඩුන දෙමළ භාෂාවට අමතරව තවත් භාෂා කථා කරන උගතෙකි. ඒ නිසා ඔහුට උතුරත් දකුණත් සමඟ හොඳින් ගනුදෙනු කල හැකි යැයි මෙරට අනුකාරකයින් සිතති. අද උතුරට අවශ්‍ය වන්නේ දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් මත දේශපාලණය කරන දෙමළකම හිංදුකම අත් නොහැරි පොළවේ පය ගසාගත් දේශපාලකයින්ය. විග්නේස්වරන් මහතාගේ සුදුසුකම විශේෂඥයින් උලුප්පා දක්වන දේ නම් ඔහු වරදරාජාපෙරුමාල්ටත් වඩා වාතයක් වනු ඇත.


සමාජයක මිනිසුන් එකම සංස්කෘතියකට ගාල් කිරීමට සමගාමීව ජාත්‍යාන්තරය තුල විවිධ රටවල ස්වෛරීය භාවය අහෝසි කිරීමටද බටහිරුන්ට අවශ්‍යය. එය කරන්නේ විවිධ ස්වෛරීය රාජ්‍යයන් තිබීම ලෝක සාමයට බාධාවක් යැයි ඔවුන් සිතන බැවිනි. ඒ තර්කයද ඇරෝගේ ප්‍රවාදයට අනුකූලය. නමුත් ඔවුන් තම රටවලට ස්වෛරීය භාවයක් තිබිය යුතු නැතැයි නොකියයි. ඒ නිසා බටහිර සමාජ-දේශපාලණ විද්‍යාවට අනුව අවසානයේ ලොව තිබිය හැක්කේ එක් ස්වෛරීය රාජ්‍යයක් පමණි. එය ඔවුන්ගේ රාජ්‍යයයි. බටහිර උගතුන් සහ මෙරට අනුකාරකයින් රටක ස්වෛරීය භාවය එතරම් වැදගත් නැති දෙයක් යැයි කියමින් ජාතිකත්වය සමච්චලයට ලක් කරන්නේ වෙන කිසිවකට නොව අපේ ස්වෛරීය භාවය අහෝසි කර එය බටහිර ආධිපත්‍යයට පාවා දීමටය.


ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාකස්වාදයද ලිබරල්වාදයද ඊනියා යථාර්තවාදයද දහනමවන සිය වසේ යල් පැන ගිය අදහස්ය. මේ සංකල්ප වලට මුල්වූ රේඛීය චින්තනය, විශ්ලේෂණය, ද්වි කෝටික තර්කය වැනි අදහස් අද බටහිර භෞතික විද්‍යාඥයින් විසින් ප්‍රශ්ණ කරමින් සිටී. බටහිර සමාජ විද්‍යාඥයින් ඒ බව දැන ගන්නට තව කල් ගත වනු ඇත.

1 comment:

  1. මහත්මයාගේ අදහස් දැක්වීම ගැන මම සතුටු වෙමි...දිගටම ලියන්න ..ජය ශ්‍රී....

    ReplyDelete