Friday, July 5, 2013

ප්‍රජාතන්ත්‍රවාදයේ පළාත් සභා කියවීම


පළාත් සභා අහෝසි කල යුතුද නැද්ද යන්න පිළිබඳව ජන මත විචාරයක් පැවතුවහොත් රටේ වැඩි ඡන්ද ලැබෙනුයේ පළාත් සභා අහෝසි කල යුතුය යන මතයට බව සැකයක් නැත. එය එසේ වන්නේ සිංහලුන් ඒ මතය දරන බැවිනි. රටේ බහුතරය සිංහලුන්වන බැවින් සිංහලුන් දරන මතය දිණනු ඇත. නමුත් සිංහල බෞද්ධ විරෝධීහු ඒ තීරණය පිළිගන්නට සූදානම් නැත. ඒ නිසා ඔවුහු පළාත් සභා පිළිබඳ ජන මත විචාරයක් පැවැත්වීමට විරුද්ධ වෙති. ඒ අතරම ජන මත විචාරයක් පැවැත්වුවහොත් ඉන් අනිවාර්යයෙන් ලැබෙන ප්‍රතිඵලය අවතක්සේරු කිරීම සඳහා කල් තියාම කථා හදති. ඔවුන් හදන කථාවලින් තේරුම් යන එක කරුණක් නම් ඔවුන් රටේ බහුතරයකගේ කැමැත්තට ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදී යැයි සලකන්නේ නැති බවය. අනික පළාත් සභා සම්බන්ධයෙන් නැගෙනහිර සහ උතුරු පළාත් වල වෙසෙන වැසියන් කුමන මතයක් දැරවත් ඒ මතය පළාත් සභා සම්බන්ධයෙන් අනිකුත් පළාත්වල වැසියන් දරන මතයට වඩා වැදගත් යැයි සැලකීමය. පලමුවැන්නෙන් ඉස්මතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත් කමය දෙවැන්නෙන් ඉස්මතු වන්නේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ ජාතිවාදී බවය.


නැගෙනහිර සහ උතුරේ වෙසෙන බහුතරයක් ජනතාව පළාත් සභා අහෝසි නොකල යුතුය යන මතයේ සිටිතැයි සිතිය හැකිය. එය එසේ වන්නේ දෙමළුන් ඒ මතය දරන බැවිනි. සිංහල බෞද්ධ විරෝධීහු නැගෙනහිර සහ උතුරු පළාත් වල බහුතරයගේ කැමැත්ත පිළිගැනීම ප්‍රජාතන්ත්‍රවාදී යැයි සලකති. නමුත් මෙහිදී ඔවුන් ඒ පළාත්වල වසන සුළුතරයගේ මතය නොසලකා හරිති. විශේෂයෙන්ම ජණගහනයෙන් තුනෙන් එකක් පමණවූ නැගෙනහිර සිංහල ජනතාවගේ පළාත් සභාවලට ඇති විරෝධය ඔවුහු ගණන් නොගනිති. නමුත් මුලු රටෙන්ම මේ පිළිබඳව විමසුවොත් බහුතරයක් සිංහලුන් පක්‍ෂ ආගම් භේද පසෙකලා පළාත් සභා අහෝසි කල යුතුයැයි පවසනු නිසැකය. නමුත් මෙතැනදී බහුතරයගේ කැමත්තට අනුව තීරණ ගැනීමට සිංහල බෞද්ධ විරෝධීහු ඉඩ නොදෙති.


නැගෙනහිර සහ උතුරේ සුළුතරය නොසලකා එහි දෙමළ බහුතරයේ කැමැත්තට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සලකන සිංහල බෞද්ධ විරෝධීහු මුලු රටේම බහුතරයකගේ කැමැත්තට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදී යැයි නොසලකති. ඔවුහු බුද්ධියෙන් කුහකය. ඔවුන් නමඳින ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත් කම ඊටත් වඩා ඉහලය. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත මිස වෙනෙකක් නොවේ. එහි සුළුතරයට තැනක් නැත. එහි පොදු එකඟතාවක් ගැන කථා වුනත් එවැනි තීරණ ගන්නා විධි ක්‍රමයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ විධි ක්‍රමය ඡන්දය විමසීමය. විශේෂයෙන්ම නියෝජිතයින් හරහා කේන්ද්‍රීයගතව රාජ්‍ය පාලණය කෙරෙන විට ඡන්දය  විමසීම හැරෙන්නට කල හැකි වෙන දෙයක් නැත. එහිදී සුළුතර ඡන්දය බහුතරයේ ඡන්දයට යටවීම වැලකිය නොහැකිය. සුළුතරයේ මතය සලකා බැලීමට නොහැකිවීම මඟින් දිස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි අසමත් බවය. ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත් බව නොපිළි ගන්නා බටහිරුන් සහ ඔවුන්ගේ අනුකාරකයින් ජන මත විචාරයකදී සිංහලුන්ගේ මතය දිනීම නොඉවසති. නමුත් කල හැකි දෙයක් නැත. ජන මත විචාරයකදී රටේ බහුතරයක් පළාත් සභා අහෝසි කල යුතුයැයි ඡන්දය දුනහොත් එලෙස තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ යැයි කීමට කිසිම පදනමක් නැත. ජන මත විචාරයකදී දෙමළුන් සහ සිංහලුන් විරුද්ධ මත දරන බව ලෝකයාට එලිදරව්වේ යැයිද  ඉන් ඊළාම් සිතියම තහවුරු වේ යැයිද
(ඇයි මීට කලින් දැකල නැද්ද?) සිංහල බෞද්ධ විරෝධීහු අනතුරු අඟවති. මෙය බිය වැද්දීමක් පමණි. සිංහලුන්ගේ කැමැත්තට අනුව තීරණ ගැනීම වැලකීමට උත්සාහ කිරීමකි. දෙමළුන් රටේ බහුතරයකගේ මතයට විරුද්ධවීම ප්‍රශ්ණයක් කරගත යුත්තේ සිංහලුන් පමණක්ද? එය දෙමළුන්ට ප්‍රශ්ණයක් නොවන්නේ මක් නිසාද? ජන මත විචාරයකදී බහුතරයේ මතය යට ගසා එහි ජනවාර්ගික පදනමට වඩා වැදගත්කමක් දීම ප්‍රජාතන්ත්‍රවාදීද? එහිදී පළාත් සභා අහෝසි කල යුතුයැයි රටේ බහුතරයක් තීරණය කලහොත් සිදුවිය යුත්තේ රටේ ඒකීය භාවයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරතැයි කියන ඊනියා ජාත්‍යාන්තරය පළාත් සභා පිළිබඳ තම ස්ථාවරය වෙනස් කර ගැනීම නොවේද?

රට දෙකඩ කිරීමට පමණක් දෙවෙනිවූ පළාත් සභා අප මත පැටවූයේ සිංහල බෞද්ධ විරෝධීන්ට පලමුවෙන් අවශ්‍යවූ දේ ඉටු කරගත නොහැකිවූ නිසාය. ඔවුන්ගේ අවාසනාවට රට දෙකඩ නොකර දෙමළ ජාතිවදීන්ට රාජ්‍ය බලයක් ලබා දීමට නම් ඒ ක්‍රමය මුලු රටේම සමමිතික ලෙස ස්ථාපිත කලයුතුවිනි. සියලු පළාත් සභා වල බල එක සමානය. ඒ නිසා පළාත් සභා පිළිබඳව තීරණ ගැනීමට සියලු පළාත් වල වැසියන්ට එක සමාන අයිතිවාසිකමක් ඇත. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නම් පළාත් සභා පිළිබඳ තීරණය කල යුත්තේ මුලු රටේම ජනතාව මිස එක පළාතක හෝ දෙකක වෙසෙන ජනතාව නොවේ. ඒ නිසා නැගෙනහිර සහ උතුරු පළාත් වල වෙසෙන දෙමළුන් පළාත් සභා පිළිබදව දරන මතවාද ඒ පිළිබඳව අනිකුත් පළාත්වල වැසියන්ගේ මතවාද වලට ඉහලින් තැබීමට කිසිම පදනමක් නැත. නමුත් සිංහල බෞද්ධ විරෝධීහු නැගෙනහිර සහ උතුරු පළාත් නියෝජණය කරන සම්පන්දන්-සුමන්දිරන්ලාගේ මතය වඩා වැදගත් ලෙස සලකති. වරින් වර ඉන්දියාවේ සිට පැමිණෙන දූතයින් පළාත් සභා පිළිබඳ අදහස් විමසන්නේද ඔවුන්ගෙන් පමණි. ඉන් පැහැදිලි වෙන්නේ එකම දෙයකි. එනම් පළාත් සභාවල අරමුණම සම්පන්දන්-සුමන්දිරන්ලාට රටතුල අසමමිතික බලයක් හිමි කර දීම බවය. මොන ව්‍යවස්ථාවෙන් වැලකීමට තැනුවත් නිජ බිම සංකල්පය මත පිහිටා සම්පන්දන්-සුමන්දිරන්ලා කරන ජාතිවාදී දේශපාලණය තුලින් සිදුවන්නේ පළාත් සභා හරහා ඔවුන්ට අසමමිතික බලයක් හිමි වීමය. සිංහල බෞද්ධ විරෝධීහු නැගෙනහිර සහ උතුරු පළාත් වල වෙසෙන දෙමළුන් පළාත් සභා පිළිබදව දරන මතවාද වලට වැඩි වැදගත් කමක් ලබා දෙන්නේ සම්පන්දන්-සුමන්දිරන්ලාට රටතුල අසමමිතික බලයක් හිමි කර දීමටය. ඔවුහු රාජපක්‍ෂ ආණ්ඩුව මට්ටු කල හැකි හොඳම විධිය ලෙස දකින්නේ දෙමළ ජාති වාදීන්ට හා ඊනියා ජාත්‍යාන්තරයට රාජ්‍ය බලය පාවා දීමය. නමුත් ඔවුහු අධිපතිවාදීව ක්‍රියා කල ප්‍රේමදාස ආණ්ඩුව ඒ ආකාරයට මට්ටු කල යුතු යැයි නොසිතූහ. ප්‍රේමදාස ආණ්ඩුවට සිංහල බෞද්ධ පදනමක් නොතිබීම ඊට හේතුවය.

No comments:

Post a Comment