Friday, June 28, 2013

මුලු රටම සිංහලුන්ගේය


පාර්ලිමේන්තුව තුල සිටින ප්‍රා කල්ලිය කල්ලි ගැසෙන්නේ පුළුල් දේශපාලණ මතවාදයක් තුල හෝ බලය විමධ්‍යගත කිරීම පිළිබඳව ඇති සුවිශේෂ මතවාදයක් උඩ නොව හුදු සිංහල බෞද්ධ විරෝධයක් මතය. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් තිබිය යුතු නැතැයිද සිංහල බෞද්ධයින් අවිචාරවත්ව ජාතිකත්වයේ හා ආගමේ එල්ලී සිටමින් අධිපතිවාදීව ක්‍රියා කරතැයිද ප්‍රා කාරයෝ සිතති. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් මට්ටු කිරීමටය. ප්‍රා කල්ලියට පමණක් නොවේ දෙමළ සංධානයටද ලංඩන් කොටින්ටද ඉන්දියාවටද බටහිරුන්ටද අවශ්‍ය එයමය.


නමුත් සිංහල බෞද්ධයින් මට්ටු කිරීමට තරම් ඔවුන්ගේ ඇති සැරක් නැත. මෙතෙක් කල් දුක් විඳි දෙමළුන් ආර්ථික සැප සම්පත් අත්කරගෙන යහමින් ජීවත්වනවා දකින්නට සිංහලුන් කැමතිය. සමහර සිංහලුන් අවිචාරවත් ලෙස වුවද දෙමළුන්ට මොනවා හෝ දෙන්නට හදන්නේ ඔවුන්ගේ උපේක්‍ෂා සහගත බව නිසාය. දෙමළුන් මේ මුලු රටම ඔවුන්ගේ යැයි කියනවා නම් පොදුවේ සිංහලුන් කැමතිය. නමුත් සිංහලුන්ටද මේ මුලු රටම ඔවුනගේ යැයි කීමට අවශ්‍යය. ප්‍රා කල්ලියද දෙමළ සංධානයද ලංඩන් කොටිද ඉන්දියාවද බටහිරුන්ද ඉඩ නොදෙන්නේ එයටය. මන්ද දේශපාලණිකව සිංහලයින්ට මේ මුලු රටම ඔවුනගේ යැයි කීමට හැකියාවක්, එනම් දේශපාලණ විඥ්ඥාණයක් ලද විට ඔවුන් විසින් මෙරට බටහිරෙන් ස්වාධීනවූ බෞද්ධ සංස්කෘතියක් මත පදනම්වුනු ඒකීය රාජ්‍යයක් ගොඩනඟන බැවිනි. මෙරට ස්වාධීන ඒකීය රාජ්‍යයක් ඇතිවීමත් එය බෞද්ධ සංස්කෘතියක් මත පදනම්වීමත් ප්‍රා කල්ලියට මෙන්ම අනිකුත් සිංහල බෞද්ධ විරෝධීන්ටද දරා ගත නොහැකිය. මෙරට ස්වාධීන ඒකීය රාජ්‍යයක් ගොඩනැඟිය හැක්කේ දෙමළුන්ට නොව සිංලුන්ටය. ඒ ඔවුන් ජනගහණයෙන් බහුතරයක් වන නිසා පමණක් නොව අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වාධීන ඒකීය රාජ්‍යයක ජීවත්ව ඇති බැවිනි. පළාත් සභාවල සැකසුමත් අරමුණත් සිංහලුන් මට්ටු කර රජය ඒකීය නොවන දුබල රාජ්‍යයක් බවට පත් කිරීමය.


සිංහලුන්ට මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීමට ඇති අවශ්‍යතාවය යුක්ති සහගතය. රණ විරුවන් දිවි පුදා කොටි පැරදවූයේ කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම නැවත්වීමට පමණක් නොව මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය දිනා ගැනීම උදෙසාය. අද සමහර සිංහලුන් උතුරේ සවාරි යන්නේ එහි සිරි නැරඹීමට පමණක් නොවේ සවිඥ්ඥාණිකව හෝ අවිඥ්ඥාණිකව ඒ ප්‍රදේශ තමන්ටද අයිති යැයි කියා පෑමටය. ප-රාජිත ඇමතිතුමා මෙන් සිංහලුන් එරෙහිවුනේ ත්‍රස්තවාදයට පමණක් නම් සටන් නොකර ඊළම ලබාදී ත්‍රස්තවාදය නවතා ගන්නට තිබිනි. සිංහලුන් මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීම දෙමළුන්ට මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීමට ඇති අයිතිය නැති කිරීමක් නොවේ. නමුත් ජාතිකත්වයක් ඇති බහුතරය වන සිංහලුන් මුලු රටම තමන්ගේ ලෙස දේශපාලණිකව නොදකිනවිට ඒකීය රාජ්‍යයකට අඩිතාලමක් වැටෙන්නේ නැත. එවැනි දේශපාලණ අඩිතාලමක් නැතිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් ඒකීය රාජ්‍යයක් බිහි කල නොහැකිය.


සාමාන්‍ය මිනිසුන් දේශපාලණ විඥ්ඥාණයක් ඇති කර ගන්නේ දේශපාලයින්ගේ ක්‍රියාකාරිත්වය මත මිස ව්‍යවස්ථාව හදාරා නොවේ. සිංහලුන් තුල මුලු රටම තමන්ගේ යැයි විඥ්ඥාණයක් ඇතිවීමට නම් නැගෙනහිර සහ උතුරේ කෙරෙන දේශපාලණයෙන් එය පිළිබිඹු විය යුතුය. නමුත් එහි කෙරෙන දේශපාලණය තුල සිංහලුන්ටද එම ප්‍රදේශ අයිතිබව පිළිනොගැනේ. අද මේ පළාත් වල කෙරෙන්නේ සිංහලුන්ගේ දේශපාලණ විඥ්ඥාණයට ඉඩ නොදෙන බහිෂ්කරණවාදී නිජ බිම් දේශපාලණයකි. එතැනිනුත් නොනැවතී රාජ්‍ය විරෝධී දේශපාලණයකි. එවැනි දේශපාලණ වාතාවරණයක් තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් ඒකීය රාජ්‍යයක් තැනීම ඉතිහාසයේ කලා මෙන් සිංහලුන් නැවත වතාවක් රැවටවීමට ගන්නා උත්සාහයකි.


අද උතුරේ කෙරෙන දේශපාලණය ඒකීය රාජ්‍යයක් සඳහා පෙනී සිටිතැයි කිව හැකිද? සම්පන්දන්, සුමන්දිරන් වැනි මන්ත්‍රීවරුන් රටේ ඒකීය භාවය සුරැකීම සඳහා කරන්නේ කුමක්ද? ප්‍රා කල්ලියේ මැති ඇමතිවරුන් රටේ ඒකීය භාවය රැකිය යුතුය යන පදනම මත උතුරේ දේශපාලණය කරන්නේද? අඩුම ගණනේ රජයට හිතවත් හිටපු එල්ටීටී කාඩරයන්වත් එසේ කරන්නේද? අද නැඟෙනහිර සහ උතුරු පළාත්වල ඒකීය රාජ්‍යය පදනම් කරගෙන දේශපාලණය කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා පමණි. එහි කෙරෙන සංවර්ධන කටයුතු තුලින් රජය ඒ මහතාගේ දේශපාලණය තහවුරු කරයි. නමුත් දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලණ සංවිධාන එම ප්‍රදේශවල දේශපාලණය කරන්නේ ඒකීය රාජ්‍යය පදනම් කරගෙන නොවේ. කවුරුන් මොන සංහිදියාවක් ගැන කථා කලත් ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් පසුත් එහි කෙරෙන දේශපාලණය වෙනස්වී නැත. ප්‍රාදේශීය ඒකක වලට බලය විමධ්‍යගත කල යුත්තේ ඒකීය රාජ්‍යයක් තුලය. ඒ පිළිබඳ විවාදයක් තිබිය නොහැකිය. ප්‍රාදේශීය ඒකක වල කෙරෙන දේශපාලණය ඒකීය රාජ්‍යය නොපිලිගන්නාවිට ව්‍යවස්ථාවෙන් පමණක් ඒකීය රාජ්‍යය තහවුරු කල නොහැකිය.


දෙමළුන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල තම භාෂාවෙන් රජයේ යම් වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කර ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතුය. නමුත් එය සිංහලුන්ට තිබිය යුතු හැකියාවෙන් වෙනස් විය නොහැක. බලය විමධ්‍යගත කිරීමේ නිර්ණායකය ඒ සමමිතිකත්වයයි. නමුත් සිංහල බෞද්ධ විරෝධීන්, විශේෂයෙන්ම දෙමළ ජාතික සංධානය ඉල්ලන්නේ අනිකුත් පළාත් නොඉල්ලන පොලිස් හා ඉඩම් බලතල හා පළාත් ඒකාබද්ධ කිරීමේ හැකියාව වැනි සුවිශේෂ රාජ්‍ය බලය (මේ බලතල තබා පළාත් සභාවත් සිංහලුන් ඉල්ලා නැත). ඔවුන් ඒ සුවිශේෂ බලයන් ඉල්ලන්නේ නිජ බිම් දේශපාලණය කරමිනි. එනම් තමන්ගේ නිජ බිම් වීම හේතුවෙන් නැගෙනහිර සහ උතුරු පළාත්වලට සිංහලුන්ට නැති අයිතියක් තමන්ට ඇතැයි සලකමිනි. එනම් සිංහලුන්ට මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය ප්‍රතික්‍ෂේප කරමිනි. එසේනම් ඔවුන් මේ බලය ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවල රජයේ කටයුතු තමන්ට කර ගැනීමට ඇති අවශ්‍යතාවට ඔබ්බෙන් ගොස් සිංහලුන්ට එම ප්‍රදේශවලට ඇති අයිතිය ප්‍රතික්‍ෂේප කිරීමට බව පැහැදිලි විය යුතුය. එයට ඉඩ තැබිය යුතුද?


රණ විරුවන් දිවි දී දිනා ගත්තේ සිංහලුන්ට මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය. සිංහල බෞද්ධ විරෝධීන් නිජ බිම් දේශපාලණය කරන්නේ සිංහලුන්ගේ ඒ අයිතිය උදුරා ගන්නටය. සිංහලුන්ට ඒ අයිතිය නැති කර බලය බෙදුවොත් නැඟෙනහිර සහ උතුරු පළාත් වල දේශපාලකයින්ට අනිත් පළාත් නියෝජනය කරන දේශපාලකයින්ට නැති සුවිශේෂවූ වැදගත්කමක් හිමිවනු ඇත. ඉන් ඇතිවන අසමමිතික දේශපාලණ ක්‍ෂේත්‍රය රටේ ඒකීය භාවය නැති කරනු ඇත.


දෙමළුන්ටද මුලු රටම අයිතිය. නමුත් සිංහල බෞද්ධ විරෝධී දේශපාලකයින් විසින් කරන නිජ බිම් දේශපාලණයෙන් සිදුවන්නේ දෙමළුන්ගේ දේශපාලණ විඥ්ඥාණය තම ජාතියටත් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවලටත් කොටු වීමය. නිජ බිම් දේශපාලණය දෙමළුන්ටද මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය අහිමි කරයි. බටහිරුන්ට එදාත් අදත් අවශ්‍යවී ඇත්තේ මෙලස දෙමළුන් සිංහලුන්ගෙන් වෙන්කර තබා, එනම් බෙදා අප රට පාලණය කිරීමටය. දෙමළුන් තම ජාතියටත් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවලටත් කොටුවී දේශපාලණය කරනතාක් කල් ඔවුන්ට ජාතික නායකයින් විය නොහැකිය. දෙමළෙකුට කවදා හෝ රටේ ජනාධිපතිවීමට ඇති හැකියාව වලකන්නේ නිජ බිම් දේශපාලණයට සහයෝගය දෙන ප්‍රා කල්ලිය දෙමළ සංධානය ලංඩන් කොටි ඉන්දියාව හා බටහිරුන් මිස සාමාන්‍ය සිංහලුන් නොවේ. මොවුන් මොනවා කීවත් සිංහලුන් හා දෙමළුන් අතර සංහිදියාවක් ඇති කිරීමට ඔවුන්ට උවමණාවක් නැත. ජාතීන් අතර සහජීවණයක් ඇති වන්නේ විවිධ ජාතීන් එකට ජීවත් වීමෙනි. නමුත් මොවුන් කරන්නේ දෙමළුන් සිංහලුන්ගෙන් හැකි තරම් භෞතික වශයෙන් ඈත් කර තැබීමය. නිජ බිම් දේශපාලණය ජාතීන් අතර සහජීවණයට එරෙහි වන මූලිකම සාධකයයි.


ඉංග්‍රීසින් විසින් දහනව වන සියවසේ වෙන් කරන ලද නැඟෙනහිර සහ උතුරු පළාත් දෙමළුන්ගේ නිජ බිම් යැයි කීමට ඓතිහාසික සාධක නැතැයි වියුතුන් විසින් පෙන්වාදී ඇත. අද කල යුත්තේ නිජ බිම් දේශපාලණයට විකල්ප දේශපාලණයක් නිර්මාණය කර නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීමය. එනම් කිසිම ජාතියකට හෝ ආගමකට හෝ අයත් ජන කොටසකට රටේ තෝරාගත් ප්‍රදේශයක් තම නිජ බිම ලෙස සලකා ඒ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන ඇති කරගැනීම හා එහි සාමාජිකත්වය ලබාදීම හා ලබා ගැනීම තහනම් කිරීමය. අද පළාත් සභාවලට එරෙහිව ගෙනයන ව්‍යාපාරය සිංහලුන්ටත් දෙමළුන්ටත් මුස්ලිම් වරුන්ටත් මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීමට හැකිවන තෙක් නොනැවතී ඉදිරියට ගෙන යා යුතුය.

No comments:

Post a Comment