Saturday, June 15, 2013

දහතුන සහ බෙදා පාලණය කිරීම


එංගලන්තය ඔවුන්ගේ හිරු නොබසින අධිරාජ්‍යය ගොඩනැඟුවේ බෙදා පාලණය කරන ක්‍රමයටය. බෙදුවේ බෙදන ලද කොටස්වල ස්වදේශිකයින් එකට එක්වී ඉංගී්‍රසීන්ට විරුද්ධව නැඟී සිටීම වැලකීමටය. ඒ සඳහා ඔවුහු බෙදූ කොටස්වල ජනතාව අතර අසමඟියක් ඇති කලහ. ඔවුන්ගේ නායකයින් අතර අවිශ්වාසය වර්ධනය කර එකිනෙකා කෙටවූහ. එය එතරම් අපහසු නොවූයේ ඉංගී්‍රසින් විසින් නායකත්වයට උස්සා තබන ලද්දේද දේශීයත්වයක් නැති තම අභිවෘද්දිය ගැන පමනක් තැකූ අනුකාරකයින් වීමය. මේ බෙදීම සඳහා ඇතැම්විට ඔවුහු ඉතිහාසයද තමන්ට අවශ්‍ය පරිදි ලියා ගත්හ. ඇතමුන්ට අනුව ඉංග්‍රීසීන් විසින් ඉන්දියාවේ ඉතිහාසය හිංදුන්ට වාසි සහගතවන අයූරින් ලියා ඇත්තේද එවකට ඉංදියාවේ බලවත්ව සිටි මුස්ලිම් වරුන් හා හින්දුවරුන් අතර අසමඟියක් ගොඩනැඟීමටය. මේ අතර බෙදූ කොටස් වෙන වෙනම තමන්ට පක්‍ෂපාතී කර ගැනීමට ඔවුහු වග බලාගත්හ. ඉතා දක්‍ෂ ලෙස ක්‍රියාවට නැංවුවත් බෙදා පාලණය කිරීම ඉංගී්‍රසින්ගේම නිර්මාණයක් නොව රෝමයේ සීසර් පවා දැනසිටි බටහිර සංස්කෘතියේ නිර්මාණිත ක්‍රමවේදයකි. ආසියාවේත් අප්‍රිකාවේත් යටත්විජිත තැනූ බටහිර රටවල් පොදුවේ පිලිපැදියේ මේ බෙදා පාලණය කරන ක්‍රමයමය. උදාහරණයක් වශයෙන් ජාත්‍යාන්තර තලයේ අද වැඩි සැලකිල්ලක් නොදක්වන බෙල්ජියම රුවන්ඩාව යටත් කරගෙන සිටි සමයේ එහි වැසියන් හුටු සහ ටුට්සි යැයි ජාතීන් දෙකකට බෙදුවේ හුදෙක් නාසයේ හැඩය සහ තමන්ට අයිති ගවයන් ගණන දහයකට අඩු හෝ වැඩි වීම මතය. නමුත් හුටු සහ ටුට්සි යනු රුවන්ඩාවේ වෙසූ වෙනම ජාතීන් දෙකක් නොව හුදෙක් බල කල්ලි දෙකක් පමණක් වූ අතර හුටු කල්ලියේ මිනිසුන්ට එවකට බලවත්ව සිටි ටුට්සි කල්ලියට එක්වීමට ඔවුන්ගේ සංස්කෘතිය තුල හැකියාවක් තිබිනි. බෙදා පාලණය කිරීමේ ක්‍රමය අනුගමණය කරමින් බෙල්ජියානු පාලකයෝ හුටු සහ ටුට්සි යනුවෙන් කෘතිම අනන්‍යතාවක් නිර්මාණය කර ඒ අනුව රුවන්ඩුවෝ ජාතීන් දෙකකට බෙදූහ. ඒ තම බලය රැක ගැනීම සඳහාය. එක් දහස් නමසිය තිස් ගණන්වල රුවන්ඩුවෝ නිදහස ලැබූ අතර අනූ හතරේදී හුටු සහ ටුට්සින් අතරවූ ගැටුමින් මිනිසුන් දස ලක්‍ෂයකට ආසන්න ගණනක් මිය ගියහ.


අද යටත්විජිත නැතැයි සැලකේ. නමින් නැති වුනත් බටහිරුන්ට තම දේශපාලණ හා සංස්කෘතික බලය ලොව පුරා පතුරවාගෙන සිටීමට අවශ්‍යතාවක් ඇත. නමුත් අද ඒ බලය පවත්වාගෙන යන්නේ එදා මෙන් සෘජුව නොව අන් රටවල් තම දැනුමින් මුසපත් කරමිනි නැතිනම් ඇන්දීමෙනි. ඒ ඇන්දීමේ එක් ප්‍රතිඵලයක් නම් තමන්ට ස්වෛරීය බවක් නැතිබව යටත්වූ රටවලට, නිවැරදිව කිවහොත් එහි උගතුන්ට නොදැනීමය. උදාහරණයක් වශයෙන් පොදු රාජ්‍ය මංඩලයේ රාජ්‍ය නායකයින්ගේ සම්මේලනයේ සභාපති ධූරය ශ්‍රී ලංකාවටද ලබාදෙනමුත් ඉන් එංගලන්තයට බලපෑමක් කිරීමට අපට හැකියාවක් නැත. එය ඇන්දීමක් පමණි. අද ඔවුන්ට මෙසේ අන් රටවල් ඇන්දීමට හැකිවී ඇත්තේ බටහිර දැනුම යම්තම් කට ගාගත් උගතුන්ට බටහිර නොවන රටවල පිලිගැනීමක් ඇති නිසාය. කෙසේ වෙතත් බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරයේ එක ක්‍රමවේදයක් තවම නොවෙනස්ව පවතී. එනම් බෙදා පාලණය කිරීමය. බොස්නියාව හා සුඩානය දෙකඩ කිරීම බෙදා පාලණය කිරීමේ නූතන නිදසුන්ය. අදත් බටහිරුන් අනුගමනය කරන්නේ එදා අනුගමනයට කල බෙදා පාලණය කරන ක්‍රමයමය. සුළු වෙනසකට ඇත්තේ බෙදීම අද අප ලවාම කරවීමය. 


ලංකාවේ පලාත් සභා ක්‍රියාත්මක කරවීම බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරය මඟින් ලංකාව පාලණය කිරීමට දරන උත්සාහයක් ලෙසද දැකීම සාධාරණය. එදා දහතුන්වෙනි සංශෝධණය රජීව් ගාන්ධි විසින් අප මත පැටවූයේ ඒ අරමුණින් නොවිය හැකි නමුත් අවශ්‍යනම් අද එය එලෙස යොදා ගැනීමට බටහිරුන් පසුබට නොවෙනු ඇත. එදා ජේ ආර් රජය බටහිර ගැතිවූ බැවින් බටහිරුන්ට එවැනි අචශ්‍යතාවක් පැන නොනැගිනි. නමුත් ජාතිකත්වයක් ඇති වත්මන් රජය පිළිබඳ ටබහිරුන්ට ඇත්තේ සුභවාදී ආකල්පයක් නොවේ. එය මේ රජයටත් ඉදිරියේ පත්විය හැකි ජාතිකත්වයක් ඇති කුමණ රජයකට වුවත් පොදුය. ඒ නිසා ඉඩක් ලැබුනොත් උතුර හෝ නැඟෙනහිර පමණක් නොව රටේ අනිකුත් පලාත් සභා සමඟ පවා ගිවිසුම් කොන්ත්‍රාත්තු ඇති කර ගැනීමට බටහිර තානාපති කාර්යාල මාන බලනු ඇත. ඒ හරහා ඒ පලාත් සභා තුල බටහිරුන්ට පක්‍ෂපාතී බවක් ගොඩනඟාගෙන රාජ්‍ය බලය අඩපණ කිරීමටත් රජය පෙරලීමටත් උත්සාහ කරුනු ඇත. මේ කිසිවක් අතිශෝක්තීන් ලෙස සැලකිය නොහැක්කේ දෙමළ ජාතීවාදී ප්‍රශ්ණය හමුවේ බටහිරුන් ක්‍රියාකල ආකාරය මතක ඇති බැවිනි. පලාත් සභා ක්‍රියාත්මක කර රටේ පාලණ බලය කොටස්කිරීම බටහිරුන්ට රට බෙදා වෙන්කර පාලණය කිරීමට ඉඩ සලසාදීමකි.


රාජ්‍ය බලය විමධ්‍යගත කිරීම අවශ්‍යය. එක් සේසත් රාජ්‍යයක් තුල රටේ ඒකීය භාවය රැක ගනිමින් ප්‍රාදේශීය ඒකක වලට උපරිම දේශපාලණ ස්වාධීනත්වයක් ලබා දිය හැකිය. නමුත් අද අපි සිටින්නේ එයට සුදුසු අවස්ථාවක නොවේ. බලය විමධ්‍යගත කිරීමක් ගැන සාකච්ඡාවිය යුත්තේ දෙමළ හා මුස්ලිම් ජාතිකයින් සිංහල ජාතිය සමඟ බැඳීමක් ඇතිකර ගැනීම ගැන කථා කරන අතරතුරේය. නමුත් මෙරට දෙමළ දේශපාලණ නායකයෝ එවැනි බැඳීමක් ඇතිකර ගැනීමට කිසිවිටකත් උත්සාහ කර නැත. බටහිරුන් කවදාත් වැඩ කලේ එය නොකෙරෙන තැනටය. බටහිර දැනුමලත් මෙරට උගතුන්ද වැඩ කරන්නේ එය නොකෙරෙන තැනටය. නමුත් අද ජාතියෙන් වෙන්වී සිටින සාමාන්‍ය දෙමළ වැසියන් ජාතියට බඳවා ගත හැකිය. එය දෙමළුන් සිංහල කිරීමක් නොවේ. ඉන්දියාව නොව ලංකාව ඔවුන්ගේ මව් රට යැයි හැඟීමක් ඔවුන්ට ලබාදීමය. රටේ කොටසක් නොව මුලු රටම ඔවුන්ගේ යැයි හැඟීමක් ඔවුන්ට ලබාදීමය. එහි ඉතිහාසයද අනාගතයද ඔවුන්ගේ යැයි හැඟීමක් ඔවුන්ට ලබාදීමය. පලාත් සභා උතුරට දීමෙන් එය කල නොහැකිය. එය කල හැක්කේ බිම් මට්ටමේ සිට ගොඩනැඟුනු දෙමළ ශ්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයක් තුලිනි. අවශ්‍යනම් ඔවුන්ට එය හෙළ හින්දුතාවක් මත පදනම් කරගත හැකිය. එවැනි ව්‍යාපාරයකට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු අතර සිංහලුන්ගේ ආශිර්වාදයද හිමි විය යුතුය. අර්ථවත් බලය විමධ්‍යගත කිරීමක් ගැන සාකච්ඡා කල හැක්කේ මෙවැනි දෙමළ ශ්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයක් හරහා සාමාන්‍ය දෙමළ වැසියන් ජාතියට එක්වීමට උත්සාහයක් දරන අවස්ථාවකදීය. නැතිනම් ඉන් සිදුවනු ඇත්තේ බටහිරුන්ගේ බෙදා පාලණයට අවස්ථාවක් සලසාදීම පමණි.

6 comments:

  1. 13 හරහා වූ ප්‍රධානතම ගැටලුව ඉඩම් හා පොලිස් බලතල ලැබීමය. අනෙක් පළාත් සභා වලට එවා ලැබේ නම් උතුරට ලැබීමේ වරද කුමක්ද?, ඒකීය පාලනයක් යටතේ මධ්‍යම අණ්ඩුව පලාත සභා පාලනය කරයි නම් එකී බලතල වල ඇති හානිකර බව කුමක්ද? වැනි තර්ක බොහේ උගතුන් විසින් ගෙනහැර දක්වනු ලබයි.
    නමුත් මෙහිලා ප්‍රශ්ණයේ හරය අප විසින් වටහා ගත යුතුය.
    අවසර 30ක් පුරා ප්‍රභාකරන් යුධවදින අතර ඔවුන්ට කොටි පොලීසි තිබුනේය, ඒ හරහා උතුර පාලනය කලේය. එනම් නිළ නොලත ලෙස, එහෙත් ගැටලුවකින් තොරව බලහත්කාරයෙන් පොලිස් බලතල ඔවුන් නතු කර ගත්තේය.එමෙන්ම සියලු ඉඩම් පාලනය කලේද කොටින්ය.නොනිල ලෙස ඉඩම් බලතල පවරාගත්තේය.එනම් ඊලම දිනීම වෙනුවෙන් සටන් කලේ මෙය නීතියෙන් ලබාගන්නටය.කොටින්ම මේ බලත 2ම දෙමළ ත්‍රස්තවාදයේ වුවමනා යටත්ට වැටුනි.
    අද පලාත් සභා හරහාද දෙමළ ජාතිවාදය ඉල්ලනේද මේ බලතලමය.
    දැන් අපට මේ තත්ව සංසංදනය 2 එකිනෙක සසදා බැලිය හැක.
    කොටින්ම මෙය එකම කාසියේ දෙපැත්තකි. නෝනා ඉල්ලුවද, පොල්ල ඉල්ලුවද දෙමළ ජාතිවාද්යට හා ත්‍රස්තවාද්යට අවශ්‍යය වන්නේ, කාසියේ වාසිය දිනාගැනීමය.ජී. ජී. පොන්නම්බලම්, චෙල්වනායගම් ද කැසකැවුවේ මෙයටමය.
    මෙය තීරණාත්මක අවස්ථාවකි, කිසිසේත්ම අනවශ්‍යය බලතල දීමට මෙය කිසිලෙසකින්වත් වෙලාව නොවන්නේය. එමගින් යුධ ජයග්‍රහන ආපසු හැරවීමට ඉඩනොදිය යුතුය.

    ReplyDelete
    Replies
    1. සී ඒ චන්ද්‍රප්‍රේමට අනුව 13නින් ලැබුන පොලිස් බලතල 18න් ඉවත්කර ඇත.

      http://www.divaina.com/2013/06/17/feature01.html

      Delete
    2. හොඳ නීතිමය කාරණාවක්, එත් අවිනිශ්චිතයි තත්වය.

      Delete
  2. ව්‍යවස්තා සංශෝධන නැවත නැවත කරලියට ගෙන ඒ. මට දැනෙනා පරිදි 13 ව්‍යවස්ථාව යනු දැනට පාලන පක්ෂය රඟ දක්වන නාඩගමක් පමණී. එහි මුඛ්‍ය පරමාර්ථය වෙනස්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද එහෙනම් පරමාර්ථය?

      Delete
  3. පාලක පක්ෂය නාඩගම් නැටුවා හෝ නැතා හෝ 13ට කළයුතු දෙය කිරීමට ජාතික බලවේග ක්‍රියා කළ යුතුයි. පාලක නැට්ටුවා නාඩගම් නටා හෝ යකා එලවනවා නම් ජාතික බලවේග ඊට සහය දෙනු යුතුයි. විපක්ෂය කොයිකටත් තෛලය ලෙස "ආණ්ඩුවේ නාඩගම්" මතය එලි දැක්වීම නිසාම 13 වැදගත්කම නැති නොවේ. විපක්ෂය සමස්තයක් වශයෙන් 13ට පක්ෂ තැනක නොසිටීද?

    ReplyDelete