Saturday, June 8, 2013

බලය විමධ්‍යගත කිරීම


අපි කෙතරම් බලය විමධ්‍යගත කිරීමට තැත් කලත් අද පවතින බටහිරකරණයවූ සමාජ ක්‍රමය තුල පැවතිය හැක්කේ කේන්ද්‍රගත ආණ්ඩු පමණි. ලංකාවේ පලාත් සභාත් ඇමරිකාවේ ඊනියා ෆෙඩරල් ආණ්ඩුවත් වචනයේ පරිසමාප්තවූ අර්ථයෙන් විමධ්‍යගත ආණ්ඩු නොවේ. අද පවතින සමාජ ක්‍රමය තුල ප්‍රාදේශීය එකකයට යම් දේශපාලණ බලයක් පැවරුනත් ඒ හුදෙක් නාමිකව පමණි. උදාහරණයක් වශයෙන් අවශ්‍යනම් එක් ප්‍රාදේශීය බල ප්‍රදේශයකට අයිති පාසල්වලට රටේ අනිත් පාසල්වලින් ස්වාධීනව තමන්ට කැමති විශය මාලාවක් සහ විභාග පද්ධතියක් උපයෝගී කර ගැනීමට ඉඩක් ඇත්ද? මේ සමාජ ක්‍රමය තුල එවැනි ස්වාධීනත්වයක් ඇතිකර ගැනීම බුද්ධි ගෝචර නොවේ මන්ද ප්‍රාදේශීය මට්ටමින් විවිධ අධ්‍යාපන සහතික තිබීම පාසල් අවසානයේ රැකියා සොයා ගැනීමේදීත් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේදී ප්‍රශ්ණයක් වන බැවිනි. ජීවන රටාව මුලු මනින්ම ඉන්ධන හා විදුලිය මත යැපෙනවිට බළශක්ති නිපැදවීම බෙදාහැරීම වැනි කටයුතු ප්‍රාදේශීයව පාලනය කල හැකිද? මෙපමණක් නොවේ පරිසරය, සෞඛ්‍යය, වෙළඳාම, කෘෂිකර්මය, වැනි විශයන් රාශියකදී ඒ ඒ ප්‍රාදේශීය ඒකකයට අවශ්‍ය පරිදි ස්වාධීනව ප්‍රතිපත්ති හා නීති නිර්මාණය කිරීමට අද පවතින සමාජ ආර්ථික ක්‍රමය තුල ඉඩක් නැත. ඊට ප්‍රධාන හේතුව මේ ප්‍රාදේශීය ඒකකවලට යම් තරමකටවත් ස්වයංපෝශණය වීමට හැකියාවක් නැති වීමය. අද එක් ප්‍රාදේශීය ඒකකයක ජීවන පැවැත්ම මුලු මනින්ම පාහේ රඳා පවතින්නේ රටේම එසේත් නැත්නම් විදේශයක ආර්ථික ක්‍රියාකාරිත්වය මතය. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ ජීවත්වන අයට ආහාර සැපයිය යුත්තේ එම ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවල සිටය. රජරට ගොවීන්ට අවශ්‍යය විදුලිය නිපැදවිය යුත්තේ වෙන ප්‍රදේශයකය. බියගම නිදහස් වෙළඳ කලාපයේ හා ඒ අවට වෙසෙන බහුතරයකගේ පැවැත්ම රඳා පවතින්නේ රටෙනුත් පිට යුරෝපයේ හෝ ඇමරිකාවේ වැසියන්ගේ පරිභෝජන රටා මතය. අප රටේ විශාල ජනගහණයක් ගොවිතැනෙහි නිරතවී සිටියටත් ඔවුන්ගේ ජීවිකාව ගොවිතැනයැයි හැඳින්වීම නිවැරදි නොවේ මන්ද ඔවුන් බොහොමයකගේ දෛනික අවශ්‍යතාවන් සැපිරෙන්නේ තම ගොවි නිශ්පාදන විකුණා ලබන ආදායමෙන් බැවිනි. ඒ නිසා අද අපේ ගම් ස්වයංපෝශිත යැයි කිව නොහැකි අතර ගොවියන් සෘජුව හෝ වක්‍රව වෙළෙන්ඳන් වීමද අනිවාර්යවේ. ඔවුන්ගේ පාරිභෝගිකයෝ රට පුරාද රටින් පිටද වෙති. ඒ නිසා ගොවියන්ගේ ජීවන පැවැත්ම ඔවුන් වාසය කරන ප්‍රාදේශීය ඒකකයේ දේශපාලණ බලයෙන් පමණක් සකසාගත නොහැකිය. ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීම අනිවාර්යය.  මේ ආකාරයට අද පවතින සමාජ ආර්ථික රටාවට අනුව මූල ධර්ම වශයෙන් පැවතිය හැක්කේ කේන්ද්‍රගත ආණ්ඩු පමණක් බව පැහැදිලිය.

නමුත් බලය බෙදනවා යැයි යමක් කෙරයි. ඉන් සිදුවෙන්නේ සත්‍ය වශයෙන් රාජ්‍ය බලය විමධ්‍යගතවීම නොව රාජ්‍ය පරිපාලනයේ පහසුව තකා රජයේ වැඩ රජයේ අණුශාකාවලට පවරාදීමය. උදාහරණයක් වශයෙන් වාහන බලපත්‍ර ලබාදීම රජයේ අණුශාකාවක් හරහා ප්‍රාදේශීයව ඉටු කල හැකිය. නමුත් ඒ හරහා ප්‍රාදේශීය ඒකකයට වැදගත් දේශපාලණ බලයක් හිමි නොවේ. ප්‍රදේශයේ ජීවත්වන අයට උපරිම වශයෙන් කල හැක්කේ මධ්‍යම රජයේ මේ අණුශාකාවල නායකත්වයට තමන්ගේ නියෝජිතයින් පත් කර ගැනීම පමණි. නමුත් ඉන්ද සතුටුදායක ප්‍රතිඵලයක් ලබා ගත නොහැකිය. මන්ද රටේ රාජ්‍ය බලය කේන්ද්‍රගතව ඇති විට අණුශාකාවල දේශපාලණය මධ්‍යම ආණ්ඩුවේ දේශපාලනයේම අණුරුවක් වීම වලකා ලිය නොහැකි බැවිනි.  ප්‍රාදේශීය ඒකකවල සමාජ-ආර්ථිකය ස්වාධීන නොවනවිට එහි කෙරෙන දේශපාලණය මධ්‍යයේ කෙරෙන දේශපාලනයට යටවීම වැලැක්විය නොහැකිය. ඒ නිසා මේ ඊනියා විමධ්‍යගත කිරීමෙන් සිදුවෙන්නේ අණුශාකාවල රාජකාරිද දේශපාලණකරනය වීමය. එනම් ගම්වල පක්‍ෂ දේශපාලකයින් බෝවීමය. අද පලාත් සභා ප්‍රදේශීය සභා ආදියෙන් සිදුවී ඇත්තේ මෙය බව කිව යුතු නැත.


මූල ධර්ම වශයෙන් ගත්කල පලාත් සභා කේන්ද්‍රගත ආණ්ඩු ක්‍රමයේ අවයව පමණි. ඉන් බෙදෙන දේශපාලන බලයක් නැත. පලාත් සභා නීතියානුකූලව ක්‍රියාත්මක කිරීම තුලින් තමන්ට ඊළමක් නොලැබෙන බව ඒ ගැන සිහින මවන දෙමළ ජාතිවාදීහුද දනිති. ඔවුන්ට කල හැක්කේ එක්කෝ පලාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කර ඊටවඩා යමක් ඉල්ලීමය නැත්නම් දැනට පලාත් සභා බලය ලබාගෙන පසුව නීති විරෝධීව ඊළමක් දිනා ගැනීමට මාන බැලීමය. ඔවුන් මේ දෙකම කරන බව පෙනේ. බටහිරකරණයවූ සමාජ ක්‍රමය තුල බලය විමධ්‍යගත කිරීම හුදු මායාවක් පමණි. අද අපට කල හැක්කේ පලාත් සභා ක්‍රමය අහෝසිකර දේශපාලන බලය මධ්‍යයේ තබාගෙන මහජනයාගේ පහසුව හා රාජ්‍ය පරිපාලනයේ කාර්යක්‍ෂමතාව සඳහා පමණක් රජයේ වැඩ කටයුතු හැකිතාක් තරම ප්‍රාදේශීය ඒකකවලට පැවරීමය. අද පවතින සමාජ ක්‍රමය යටතේ මේ ප්‍රාදේශීය ඒකකවල තිබිය යුත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනයකට වඩා ජනතාවට සෘජුවම ගනුදෙනු කල හැකි ජන හිතවාදී පරිපාලණයකි. ප්‍රදේශය හඳුනන එහිම වෙසෙන සේවකයින්ගෙන් සැදි රජයේ ආයතනය. පලාත් සභා ක්‍රමය අහෝසිකිරීම තුලින් අඩුම තරමින් ප්‍රාදේශීය මට්ටමේ රජ්‍ය කටයුතු වලින් පක්‍ෂ දේශපාලණය ඈත්වනු ඇත.


ප්‍රජාතන්ත්‍රවාදයත් අසංවර පරිභෝජනයත් කේන්ද්‍රීය ආණ්ඩු ක්‍රමයත් එකිනෙක මත රඳා පවතින ධර්මතාය. අපේ සමාජ ආර්ථික ක්‍රමය මේ ධර්මතා මත පදනම් වන තාක් කල් සැබෑ විමධ්‍යගත ආණ්ඩු ක්‍රමයක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් අපිට විමධ්‍යගතව පාලණයවෙන එක් සේසත් ආණ්ඩු ක්‍රමයක් ගැන සිහින මැවිය හැකිය. එවැනි ආණ්ඩු ක්‍රමයක් බිහිවීමට නම් රටක ප්‍රාදේශීය ඒකක හැකිතාක් දුරට ස්වයංපෝශණය විය යුතුය. ස්වයංපෝශණවීම යනු තම අවශ්‍යතාවන් තම ප්‍රදේශය තුලින්ම සපුරා ගැනීම මෙන්ම තම ප්‍රදේශයට සරිලන ආකාරයට අවශ්‍යතා පාලනය කර ගැනීමද වේ. එය අත් කර ගත හැක්කේ ගත සිත සංවර කරගත් සමාජයකය. ස්වයංපෝශණයවීම හුදෙකලාවීමක් ලෙස වරදවා තේරුම්ගත නොයුතුය. ස්වයංපෝශණය තුලින් ප්‍රාදේශීය ඒකකවල සමාජ ආර්ථිකයට යම් පමණකට ස්වාධීනත්වයක් ලබා ගත හැකිය. අර්ථවත්වූ දේශපාලණ ස්වාධීනත්වයක් තිබිය හැක්කේ එවැනි ස්වයංපෝශණයවූ ප්‍රාදේශීය ඒකක තුල පමණය.


රටේ ඒකීය භාවය සුරැකීම සඳහා මේ ප්‍රාදේශීය ඒකක දේශපාලණිකව ස්වාධීනව කටයුතු කරන අතරම මධ්‍යම ආණ්ඩුවේ ආධිපත්‍යයටද යටත්විය යුතුය. එවැනි රාජ්‍ය ක්‍රමයක් එකවර විමධ්‍යගතද කේන්ද්‍රගතද වේ යැයි කිව හැකිය. එවැනි රාජ්‍යයක ප්‍රාදේශීය ඒකකවලට උපරිම ස්වාධීනත්වයක් ලැබෙන අතර රටේ ඒකීය භාවයද ආරක්‍ෂාවේ. මේ ආකාරයට එකවර විමධ්‍යගතද කේන්ද්‍රගතද වීම එක්සේසත් රාජ්‍යයක ලක්‍ෂණයකැයි මම සිතමි. නමුත් එක්සේසත් රාජ්‍යයක් ව්‍යවස්ථාවක් මඟින් සම්පූර්ණයෙන් අර්ථදැක්විය නොහැකියැයි මම සිතමි. මන්ද එහි පැවැත්ම ද්වි කෝටික තර්කයට හසු නොවන බැවිනි. මෙවැනි ක්‍රමයක් පැවතිය හැක්කේ ප්‍රාදේශීය මට්ටමේ සිට දේශීය මට්ටමට දක්වා ඇති සියලු දේශපාලණ ස්ථර අතර අන්නෝන්‍ය අවබෝධයක් පැවතුනොත් පමණි. එවැනි අවබෝධයක් නිර්මාණය කර ගත හැක්කේ සජීවී මිනිසුන්ට හා ගැහැනුන්ට මිස අජීවී ව්‍යවස්ථාවකට නොවේ. එක්සේසත් රාජ්‍යයක මූලික පදනම නීති නොව මිනිස් සම්බන්ධතාය. ඒ නිසා අපි බලය විමධ්‍යගත කිරීම ගැන කථා කරන්නට ප්‍රථමයෙන් වෙන්වී සිටින දෙමළ හා මුස්ලිම් ජනයා සිංහල ජාතියට බැඳ ගැනීමට උත්සාහ කල යුතුය.

No comments:

Post a Comment