Saturday, June 1, 2013

චක්‍රීය කාලය හා වංශකථා - 2


අද උදාවී ඇත්තේ ඉතිහාසය නැවතත් ලියා ගත යුතු අවධියකි. නමුත් ඉතිහාසය නැවත ලිවීම යනුවෙන් අදහස් වෙන්න ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව කාලය යනු නොනවත්වා ගලා යන භූතාර්ථයකි. බටහිරුන් කාලයේ හීය යැයි හඳුන්වන්නේ මේ ගලා යාමය. රටකට ජාතියකට අදාල සිද්ධීන් එම රේඛීය කාලයේ පෙළ ගැස්සවූ විට බටහිරුන්ට ඉතිහාස කථාවක් ලැබේ. බටහිරුන්ට මේ සිද්ධීන්හි වාස්ථවික බවක් ඇති බවද වැදගත්ය. එනම් කවුරුන් කවදා කෙලෙස බැලුවත් ඔවුන්ගේ ඉතිහාස සිද්ධීන් දකින්නේ එකම ආකාරයටය. අඩුතරමින් බටහිරුන් එසේ උපකල්පණය කරති. වෙනත් අයුරකින් පවසන්නේ නම් බටහිර ඉතිහාස කථාවල තිබිය හැක්කේ එවැනි වාස්ථවික සිද්ධීන් පමණය. ඒ අනුව බටහිර ඉතිහාස කථා හා බටහිර විද්‍යා කථාවල යම් සමානකමක් ඇත. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව ඉතිහාසය නැවත ලිවීම යනු රේඛීය කාලයේ පෙළ ගස්සවා ඇති වාස්ථවික සිද්ධීන් වෙනස් කිරීමය.


නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියේ කාලය චක්‍රීයවේ. එයට චක්‍රීය බවක් ලැබෙන්නේ කාලය මනසේ පැනවීමක් නිසා යැයි මීට ඉහතදී සඳහන් කලෙමි. මනසේ පැනවෙන කාලය චක්‍රීය යැයි කීමෙන් අදහස් වන්නේ කාලය පැනවීමත් සමඟම අනාගතය පිළිබඳව බලාපොරොත්තුවත් අතීතය පිළිබඳව දැනීමත් එකම සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවන බවය. එක් අයුරකින් මෙය අතීතය ඇසුරින් අනාගතය නිර්මාණය කිරීමක් ලෙස දැකිය හැකි අතර අනිත් අතට අනාගතය පිළිබඳ ඇති බලාපොරොත්තු තුලින් අතීතය නිර්මාණය කිරීමක් ලෙසද දැකිය හැකිය. අතීතය හා අනාගතය අතර ඇති සාපේක්‍ෂබව නිසාම චක්‍රීය කාලයක ඇති සිද්ධීන්හි වාස්ථවික බවක් නැත. චක්‍රීය කාලයක ගෙතෙන කථාවල ඇත්තේ සාපේක්‍ෂ බවකි. රේඛීය කාලයක ලියැවුණු බටහිරුන්ගේ වාස්ථවිකවූ ඉතිහාස කථාවලින් සිංහල බෞද්ධයින්ගේ වංශකථා වෙනස්වන්නේ මේ ආකාරයටය.
කාලය කියා ඊනියා භුතාර්ථයක් නැති බැවින් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව වරින්වර පණවන්නේ එකම කාලයක් නොවේ. ඒ නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ඉතිහාසය නැවත ලිවීම යනු ඇති වංශකථා වෙනස් කිරීම නොව අළුතින් වංශකථාවක් ගෙතීමය. අද ලියැවෙන වංශකථාවේ තිබිය යුත්තේ අද අපි දකින අතීත-අනාගත සම්බන්ධයය. එය එසේවීම වරදක් නැත. ඒ කථාව සියලු කාලවලට සත්‍ය විය යුතු යැයි අපි නොකියන්නේ වාස්ථවිකවූ ඉතිහාසයක් ඇතැයි අපි නොසලකන නිසාය.


ආත්මයක් නැතැයි සැලකුවිට චතුස්කෝටික තර්කයට අනුව එක් අවස්ථාවකදී කාලය පණවන මනස ඊට මොහතකට ඉහතදී තිබුණ මනසමද එය නොවේද වෙි යැයි කිව හැකිය. ඒ නිසා මනස මඟින් ඒ ඒ අවස්ථාවල පණවන කාල ගැනද කිව හැක්කේද එයමය. ඒ අනුව අළුතින් ලියැවෙන වංශකථාව ගැන අපට කිව හැක්කේ එය ඊට පෙර තිබූ වංශකථාවමද එය නොවේද වේ යැයි කියාය. කෙටියෙන් කිවහොත් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ඉතිහාසය නැවත ලිවීම යනු ජාතියේ වංශකථාවට පුණර්බවයක් ලබා දීමය.


මහාවංශය ලියවී ඇත්තේ පස්වන සියවසේදී මෙරට බලවත්ව තිබූ සංස්කෘතික ධාරාව තුලින් ඔවුන්ගේ අතීත-අනාගත සම්බන්ධකම දුටු ආකාරයට බව පැහැදිලිය. ඔවුහු තම මුතුන් මිත්තන් භාරතයෙන් පැවත එන බවට විශ්වාස කල අතර තමන් ආර්යයන් යැයි සිතූහ. මහාවංශය දේවානම්පිය තිස්ස රජු හා අසෝක රජු අතර තිබුන සම්බන්ධයේදී අසෝක රජුට උසස් තැනක් දුනි. ඒ වනවිටත් යක්‍ෂ, නාග, දේව, රාක්‍ෂස ආදී මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ශිෂ්ඨාචාරයක් මෙරට තිබුන බවත් ඔවුන් බුදුන්ගෙන් බණ අසා බුදු දහම වැළඳගෙන සිටි බවත් මහාවංශය සැලකිල්ලට ගන්නේ නැත. මේ දේශීයයන් ඒ වනවිට එකල බලවත්ව තිබූ සංස්කෘතික ධාරාවට අවශෝෂණය වෙමින් සිටින්නට ඇති. කෙසේ වෙතත් මහාවංශය ලියැවෙන්නේ එදාට සාපේක්‍ෂව දේශියත්වයක් තිබුනැයි සැලකිය හැකි මේ මිනිසුන් විසින් නොවෙන බව පැහැදිලිය. නමුත් මහාවංශය එක් වැදගත් කාර්ය භාරයක් කරයි. එනම් දුටු ගැමුණු රජතුමා විසින් සියලු ගෝත්‍ර එක් කරමින් ඊට වසර හය සියයකට පමණ අතීතයේදී ගොඩනැඟූ සිංහල බෞද්ධ රාජ්‍යය අප ජාතියේ අනාගතය ලෙස පෙන්වීමය. එතැන් පටන් අපි සියවස් ගණනාවක් ජාතියක් ලෙස පැවත එන්නට අපට හැකිවී ඇත්තේ අපි මහාවංශය පෙන්වන අතීත-අනාගත සම්බන්ධකම ආදර්ශයට ගත් නිසාවෙනි. ඒ සම්බන්ධකමේ පදනම සිංහලයින් බෞද්ධවීමත් බෞද්ධයින් සිංහලවීමත්ය.


නමුත් අද පිරිසක් මහාවංශයෙන් සිංහලුන්ට තඩිබාති. තවත් සිංහලුන් පිරිසක් මහාවංශයට තඩිබාති. මහාවංශයෙන් සිංහලුන්ට තඩිබාන බහුතරයක් සිංහල බෞද්ධ විරෝධීන්ය. ඔවුන්ට අනුව මහාවංශය සිංහල ජාතිවාදීන්ගේ මිත්‍යා කථාවකි. තවත් සමහර සිංහල බෞද්ධ විරෝධීන්ට අනුව සිංහලයෝ බුදු දහම ආගමක් කරගෙන එමඟින් ආගාම්වාදීන් වෙති. මහාවංශයට තඩිබාන අය අතර සිංහල ජාතික වාදීහුද වෙති. ඔවුන්ට අනුව මහාවංශය ඉංග්‍රීසීන් විසින් අප මත බලෙන් පටවන ලද ඉතිහාසයකි. ඔවුන්ගේ අවනඩුව එදා ජීවත්ව සිටි දේශියත්වයක් තිබි හෙළයින්ගේ කථාව මහාවංශයේ නැතිවීමත් ඒ කථාව නැති මහාවංශය ඉංග්‍රීසීන් විසින් උසස් කොට සැලකීමත්ය. නමුත් මහාවංශය ලියන කාලයට ඉහත සිටම එදාට සාපේක්‍ෂව දේශිකත්වයක් තිබුණැයි සිතිය හැකි, විශේෂයෙන්ම යක්‍ෂ හා දේව ගෝත්‍රවල මිනිසුන් මෙරට දේශපාලනික හා සංස්කෘතික ක්‍ෂේත්‍රයේ පසු බෑමකට ලක්වී සිටින්නට ඇත. පස්වන සියවසේදීත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින් මෙරටින් පලවා හැරීමට ධාතුසේන රජතුමා සමඟ සිටියේ මේ මිනිසුන් යැයි සිතිය හැකි නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට මෙරට දේශපාලණ බලය අහිමිවූ අතර දේශපාලන බලය තිබුනු පාලක පැලැන්තියට මේ අයට නායකත්වයක් දීමට නොහැකිවිය. ක්‍රමයෙන් උග්‍රවුනු මේ වෙන්වීම අපි අවසානයේ වසර පන්සිය ගණනක් බටහිරුන්ගේ ග්‍රහණයට ලක්ව සිටීමට එක් ප්‍රධාන හේතුවක් විනැයි මම සිතමි. කෙසේ වෙතත් මහාවංශය ලියන කාලයේ දේශීයත්වයක් තිබුණැයි සිතිය හැකි මෙරටුන්ගේ කථා අප ඉතිහාසයෙන් ගිලිහී ගියේ මූලික වශයෙන්ම මෙරට සිදුවූ සංස්කෘතික විපර්යාස හේතුවෙන්ය. ඉංග්‍රීසින්ට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් නොවිනි. නමුත් අද කුමන හේතුවක් නිසාවත් මහාවංශයට තඩිබෑම සාධාරණය කල නොහැකිය මන්ද සාර්ථක වුනොත් මේ සියලු තඩිබෑම් වල අතුරු ඵලය වනු ඇත්තේ සිංහලකම හා බෞද්ධකම එකිනෙකින් ඈත්වීමය. සිංහල බෞද්ධකම වර්තමානයේ අප ජාතිය උසුලා සිටින අඩිතාලමය.


කෙසේ නමුත් මහාවංශයේ නව බවයක් නිර්මාණය කර ගැනීමට මේ සුදුසු කාලය යැයි මම සිතමි. ඊට හේතුව අද ජාතියක් වශයෙන් අපි මුහුණදෙන ප්‍රශ්ණත් අපේ අනාගත ලෞකික බලාපොරොත්තුත් එදා මහාවංශය ලියන අවධියේදී ඒ ඒ කරුණු වලට වඩා වෙනස් බැවිනි. එදා සිටි විවිධ ගෝත්‍රිකයින් එක් ජාතියකට එක් කර ගැනීම සඳහා බුදු දහම ථේරවාදී ආගමක් ලෙසින් ගොඩනංවා ගැනීමට අවශ්‍යවිනි. නමුත් අද සිංහලුන් අතර යක්‍ෂ නාග දේව යැයි හඳුන්වාගත හැකි සංස්කෘතියෙන් වෙනස් පිරිස් නැත. අද අපට ලෞකික වශයෙන් බෞද්ධ ආගමක් අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම දේශීයවූ දැනුම් පද්ධතියක් ගොඩනඟා ගැනීම උදෙසාය. එදා දකුණු ඉන්දීය යුදමය ආක්‍රමණ වලට මුහුණ දීම ප්‍රධාන ප්‍රශ්ණයක් වුනත් අද අපේ ප්‍රධාන ප්‍රශ්ණය බටහිර සංස්කෘතික ආක්‍රමණය. මහාවංශය දුටු අනාගතය ඒකීය රජ්‍යයකි. අද අපි දකින අනාගතය දේශීයවූ දැනුම් පද්ධතියක් මත ගොඩනැඟුනු ඒකීය රජ්‍යයකි. කාලයේ චක්‍රීය බවට අනුව අපි දකින අනාගතයට ගැලපෙන අතීතයකින් වංශකථාවේ මේ බවය ආරම්භ කර ගත යුතුය. එයද හෙළබොදු වංශයක්ම විය යුතුය.

3 comments:

  1. මහාවංශය එකී පාලන සමය තුළ රජවරුන්ගේ පිළිබඳව අතිශෝක්තියෙන් වර්ණා කරන ලද කෘතියක් බව මා අසා ඇත. එනම්, එය ලියූ ස්වාමින් වහන්සේ අද සමහර ස්වාමින් වහන්සේ මෙන් රාජ්‍ය සේවය පිණිස කැපවී සිටියා නොවේද?

    ReplyDelete
    Replies
    1. භික්‍ෂූන් රාජ්‍යය රැකීමටත් රජය ශාසනය රැකීමටත් කැපවී සිටිය නිසයි සිංහල ජාතිය රැකුනේ

      Delete
  2. කාලය අප විසින් තේරුම් ගන්නේ යම් යම් සිදුවීම වලට සාපේක්ශව ය. ඒ සිදුවීම් අතර චක්‍රීය බවක් (නැවත සිදුවන බවක්) ඇත්නම් රේඛීය කාලයට වඩා චක්‍රීය කාලය පිළිබඳ අදහසක් පිළිගැනීමට හැකි ගතියක් තිබේ.

    ReplyDelete