Friday, June 28, 2013

මුලු රටම සිංහලුන්ගේය


පාර්ලිමේන්තුව තුල සිටින ප්‍රා කල්ලිය කල්ලි ගැසෙන්නේ පුළුල් දේශපාලණ මතවාදයක් තුල හෝ බලය විමධ්‍යගත කිරීම පිළිබඳව ඇති සුවිශේෂ මතවාදයක් උඩ නොව හුදු සිංහල බෞද්ධ විරෝධයක් මතය. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් තිබිය යුතු නැතැයිද සිංහල බෞද්ධයින් අවිචාරවත්ව ජාතිකත්වයේ හා ආගමේ එල්ලී සිටමින් අධිපතිවාදීව ක්‍රියා කරතැයිද ප්‍රා කාරයෝ සිතති. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් මට්ටු කිරීමටය. ප්‍රා කල්ලියට පමණක් නොවේ දෙමළ සංධානයටද ලංඩන් කොටින්ටද ඉන්දියාවටද බටහිරුන්ටද අවශ්‍ය එයමය.


නමුත් සිංහල බෞද්ධයින් මට්ටු කිරීමට තරම් ඔවුන්ගේ ඇති සැරක් නැත. මෙතෙක් කල් දුක් විඳි දෙමළුන් ආර්ථික සැප සම්පත් අත්කරගෙන යහමින් ජීවත්වනවා දකින්නට සිංහලුන් කැමතිය. සමහර සිංහලුන් අවිචාරවත් ලෙස වුවද දෙමළුන්ට මොනවා හෝ දෙන්නට හදන්නේ ඔවුන්ගේ උපේක්‍ෂා සහගත බව නිසාය. දෙමළුන් මේ මුලු රටම ඔවුන්ගේ යැයි කියනවා නම් පොදුවේ සිංහලුන් කැමතිය. නමුත් සිංහලුන්ටද මේ මුලු රටම ඔවුනගේ යැයි කීමට අවශ්‍යය. ප්‍රා කල්ලියද දෙමළ සංධානයද ලංඩන් කොටිද ඉන්දියාවද බටහිරුන්ද ඉඩ නොදෙන්නේ එයටය. මන්ද දේශපාලණිකව සිංහලයින්ට මේ මුලු රටම ඔවුනගේ යැයි කීමට හැකියාවක්, එනම් දේශපාලණ විඥ්ඥාණයක් ලද විට ඔවුන් විසින් මෙරට බටහිරෙන් ස්වාධීනවූ බෞද්ධ සංස්කෘතියක් මත පදනම්වුනු ඒකීය රාජ්‍යයක් ගොඩනඟන බැවිනි. මෙරට ස්වාධීන ඒකීය රාජ්‍යයක් ඇතිවීමත් එය බෞද්ධ සංස්කෘතියක් මත පදනම්වීමත් ප්‍රා කල්ලියට මෙන්ම අනිකුත් සිංහල බෞද්ධ විරෝධීන්ටද දරා ගත නොහැකිය. මෙරට ස්වාධීන ඒකීය රාජ්‍යයක් ගොඩනැඟිය හැක්කේ දෙමළුන්ට නොව සිංලුන්ටය. ඒ ඔවුන් ජනගහණයෙන් බහුතරයක් වන නිසා පමණක් නොව අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වාධීන ඒකීය රාජ්‍යයක ජීවත්ව ඇති බැවිනි. පළාත් සභාවල සැකසුමත් අරමුණත් සිංහලුන් මට්ටු කර රජය ඒකීය නොවන දුබල රාජ්‍යයක් බවට පත් කිරීමය.


සිංහලුන්ට මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීමට ඇති අවශ්‍යතාවය යුක්ති සහගතය. රණ විරුවන් දිවි පුදා කොටි පැරදවූයේ කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම නැවත්වීමට පමණක් නොව මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය දිනා ගැනීම උදෙසාය. අද සමහර සිංහලුන් උතුරේ සවාරි යන්නේ එහි සිරි නැරඹීමට පමණක් නොවේ සවිඥ්ඥාණිකව හෝ අවිඥ්ඥාණිකව ඒ ප්‍රදේශ තමන්ටද අයිති යැයි කියා පෑමටය. ප-රාජිත ඇමතිතුමා මෙන් සිංහලුන් එරෙහිවුනේ ත්‍රස්තවාදයට පමණක් නම් සටන් නොකර ඊළම ලබාදී ත්‍රස්තවාදය නවතා ගන්නට තිබිනි. සිංහලුන් මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීම දෙමළුන්ට මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීමට ඇති අයිතිය නැති කිරීමක් නොවේ. නමුත් ජාතිකත්වයක් ඇති බහුතරය වන සිංහලුන් මුලු රටම තමන්ගේ ලෙස දේශපාලණිකව නොදකිනවිට ඒකීය රාජ්‍යයකට අඩිතාලමක් වැටෙන්නේ නැත. එවැනි දේශපාලණ අඩිතාලමක් නැතිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් ඒකීය රාජ්‍යයක් බිහි කල නොහැකිය.


සාමාන්‍ය මිනිසුන් දේශපාලණ විඥ්ඥාණයක් ඇති කර ගන්නේ දේශපාලයින්ගේ ක්‍රියාකාරිත්වය මත මිස ව්‍යවස්ථාව හදාරා නොවේ. සිංහලුන් තුල මුලු රටම තමන්ගේ යැයි විඥ්ඥාණයක් ඇතිවීමට නම් නැගෙනහිර සහ උතුරේ කෙරෙන දේශපාලණයෙන් එය පිළිබිඹු විය යුතුය. නමුත් එහි කෙරෙන දේශපාලණය තුල සිංහලුන්ටද එම ප්‍රදේශ අයිතිබව පිළිනොගැනේ. අද මේ පළාත් වල කෙරෙන්නේ සිංහලුන්ගේ දේශපාලණ විඥ්ඥාණයට ඉඩ නොදෙන බහිෂ්කරණවාදී නිජ බිම් දේශපාලණයකි. එතැනිනුත් නොනැවතී රාජ්‍ය විරෝධී දේශපාලණයකි. එවැනි දේශපාලණ වාතාවරණයක් තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් ඒකීය රාජ්‍යයක් තැනීම ඉතිහාසයේ කලා මෙන් සිංහලුන් නැවත වතාවක් රැවටවීමට ගන්නා උත්සාහයකි.


අද උතුරේ කෙරෙන දේශපාලණය ඒකීය රාජ්‍යයක් සඳහා පෙනී සිටිතැයි කිව හැකිද? සම්පන්දන්, සුමන්දිරන් වැනි මන්ත්‍රීවරුන් රටේ ඒකීය භාවය සුරැකීම සඳහා කරන්නේ කුමක්ද? ප්‍රා කල්ලියේ මැති ඇමතිවරුන් රටේ ඒකීය භාවය රැකිය යුතුය යන පදනම මත උතුරේ දේශපාලණය කරන්නේද? අඩුම ගණනේ රජයට හිතවත් හිටපු එල්ටීටී කාඩරයන්වත් එසේ කරන්නේද? අද නැඟෙනහිර සහ උතුරු පළාත්වල ඒකීය රාජ්‍යය පදනම් කරගෙන දේශපාලණය කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා පමණි. එහි කෙරෙන සංවර්ධන කටයුතු තුලින් රජය ඒ මහතාගේ දේශපාලණය තහවුරු කරයි. නමුත් දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලණ සංවිධාන එම ප්‍රදේශවල දේශපාලණය කරන්නේ ඒකීය රාජ්‍යය පදනම් කරගෙන නොවේ. කවුරුන් මොන සංහිදියාවක් ගැන කථා කලත් ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් පසුත් එහි කෙරෙන දේශපාලණය වෙනස්වී නැත. ප්‍රාදේශීය ඒකක වලට බලය විමධ්‍යගත කල යුත්තේ ඒකීය රාජ්‍යයක් තුලය. ඒ පිළිබඳ විවාදයක් තිබිය නොහැකිය. ප්‍රාදේශීය ඒකක වල කෙරෙන දේශපාලණය ඒකීය රාජ්‍යය නොපිලිගන්නාවිට ව්‍යවස්ථාවෙන් පමණක් ඒකීය රාජ්‍යය තහවුරු කල නොහැකිය.


දෙමළුන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල තම භාෂාවෙන් රජයේ යම් වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කර ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතුය. නමුත් එය සිංහලුන්ට තිබිය යුතු හැකියාවෙන් වෙනස් විය නොහැක. බලය විමධ්‍යගත කිරීමේ නිර්ණායකය ඒ සමමිතිකත්වයයි. නමුත් සිංහල බෞද්ධ විරෝධීන්, විශේෂයෙන්ම දෙමළ ජාතික සංධානය ඉල්ලන්නේ අනිකුත් පළාත් නොඉල්ලන පොලිස් හා ඉඩම් බලතල හා පළාත් ඒකාබද්ධ කිරීමේ හැකියාව වැනි සුවිශේෂ රාජ්‍ය බලය (මේ බලතල තබා පළාත් සභාවත් සිංහලුන් ඉල්ලා නැත). ඔවුන් ඒ සුවිශේෂ බලයන් ඉල්ලන්නේ නිජ බිම් දේශපාලණය කරමිනි. එනම් තමන්ගේ නිජ බිම් වීම හේතුවෙන් නැගෙනහිර සහ උතුරු පළාත්වලට සිංහලුන්ට නැති අයිතියක් තමන්ට ඇතැයි සලකමිනි. එනම් සිංහලුන්ට මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය ප්‍රතික්‍ෂේප කරමිනි. එසේනම් ඔවුන් මේ බලය ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවල රජයේ කටයුතු තමන්ට කර ගැනීමට ඇති අවශ්‍යතාවට ඔබ්බෙන් ගොස් සිංහලුන්ට එම ප්‍රදේශවලට ඇති අයිතිය ප්‍රතික්‍ෂේප කිරීමට බව පැහැදිලි විය යුතුය. එයට ඉඩ තැබිය යුතුද?


රණ විරුවන් දිවි දී දිනා ගත්තේ සිංහලුන්ට මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය. සිංහල බෞද්ධ විරෝධීන් නිජ බිම් දේශපාලණය කරන්නේ සිංහලුන්ගේ ඒ අයිතිය උදුරා ගන්නටය. සිංහලුන්ට ඒ අයිතිය නැති කර බලය බෙදුවොත් නැඟෙනහිර සහ උතුරු පළාත් වල දේශපාලකයින්ට අනිත් පළාත් නියෝජනය කරන දේශපාලකයින්ට නැති සුවිශේෂවූ වැදගත්කමක් හිමිවනු ඇත. ඉන් ඇතිවන අසමමිතික දේශපාලණ ක්‍ෂේත්‍රය රටේ ඒකීය භාවය නැති කරනු ඇත.


දෙමළුන්ටද මුලු රටම අයිතිය. නමුත් සිංහල බෞද්ධ විරෝධී දේශපාලකයින් විසින් කරන නිජ බිම් දේශපාලණයෙන් සිදුවන්නේ දෙමළුන්ගේ දේශපාලණ විඥ්ඥාණය තම ජාතියටත් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවලටත් කොටු වීමය. නිජ බිම් දේශපාලණය දෙමළුන්ටද මුලු රටම තමන්ගේ යැයි කීමට ඇති අයිතිය අහිමි කරයි. බටහිරුන්ට එදාත් අදත් අවශ්‍යවී ඇත්තේ මෙලස දෙමළුන් සිංහලුන්ගෙන් වෙන්කර තබා, එනම් බෙදා අප රට පාලණය කිරීමටය. දෙමළුන් තම ජාතියටත් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවලටත් කොටුවී දේශපාලණය කරනතාක් කල් ඔවුන්ට ජාතික නායකයින් විය නොහැකිය. දෙමළෙකුට කවදා හෝ රටේ ජනාධිපතිවීමට ඇති හැකියාව වලකන්නේ නිජ බිම් දේශපාලණයට සහයෝගය දෙන ප්‍රා කල්ලිය දෙමළ සංධානය ලංඩන් කොටි ඉන්දියාව හා බටහිරුන් මිස සාමාන්‍ය සිංහලුන් නොවේ. මොවුන් මොනවා කීවත් සිංහලුන් හා දෙමළුන් අතර සංහිදියාවක් ඇති කිරීමට ඔවුන්ට උවමණාවක් නැත. ජාතීන් අතර සහජීවණයක් ඇති වන්නේ විවිධ ජාතීන් එකට ජීවත් වීමෙනි. නමුත් මොවුන් කරන්නේ දෙමළුන් සිංහලුන්ගෙන් හැකි තරම් භෞතික වශයෙන් ඈත් කර තැබීමය. නිජ බිම් දේශපාලණය ජාතීන් අතර සහජීවණයට එරෙහි වන මූලිකම සාධකයයි.


ඉංග්‍රීසින් විසින් දහනව වන සියවසේ වෙන් කරන ලද නැඟෙනහිර සහ උතුරු පළාත් දෙමළුන්ගේ නිජ බිම් යැයි කීමට ඓතිහාසික සාධක නැතැයි වියුතුන් විසින් පෙන්වාදී ඇත. අද කල යුත්තේ නිජ බිම් දේශපාලණයට විකල්ප දේශපාලණයක් නිර්මාණය කර නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීමය. එනම් කිසිම ජාතියකට හෝ ආගමකට හෝ අයත් ජන කොටසකට රටේ තෝරාගත් ප්‍රදේශයක් තම නිජ බිම ලෙස සලකා ඒ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන ඇති කරගැනීම හා එහි සාමාජිකත්වය ලබාදීම හා ලබා ගැනීම තහනම් කිරීමය. අද පළාත් සභාවලට එරෙහිව ගෙනයන ව්‍යාපාරය සිංහලුන්ටත් දෙමළුන්ටත් මුස්ලිම් වරුන්ටත් මුලු රටම ඔවුන්ගේ ලෙස දැකීමට හැකිවන තෙක් නොනැවතී ඉදිරියට ගෙන යා යුතුය.

Saturday, June 22, 2013

නිජ බිම් දේශපාලණය නීති විරෝධී කල යුතුය


දෙමළ ජාතිවාදීහු නැගෙනහිර සහ උතුරු පළාතේ වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කර ගැනීම සඳහා දේශපාලණ බලයක් ඉල්ලා සිටිති. ඉන්දියාව සහ බටහිර රටවල් මේ ඉල්ලීම අනුමත කරන අතර රටතුල ක්‍රියාත්මක වන විදේශීය බලවේග මෙන්ම ආණ්ඩුවේ සමහරක් මැති ඇමතිවරුද එය අනුමත කරති. නමුත් දෙමළ ජාතිවාදීන් ගේ ඉල්ලීමත් අනිත් පළාත්වල සිංහලුන් තමන්ගේ පළාතට දේශපාලණ බලයක් ඉල්ලීමකුත් ප්‍රතිපත්තිමයව එක සමාන නොවේ. දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමේ පදනම ඒ පළාත් තමන්ගේ නිජ බිමවේය යන්නය. ඒ නිසා ඔවුන්ට එම පළාත් තමන්ට අවශ්‍ය ආකාරයට පාලණය කර ගැනීමට සුවිශේෂ අයිතියක් ඇතැයි ඔවුහු උපකල්පණය කරති. නමුත් සිංහලයන් තමන් ජීවත්වන ප්‍රදේශයට දේශපාලණ බලයක් අවශ්‍යයැයි ඉල්ලන්නේ නම් ඒ ඉල්ලන්නේ රටේ ඒකීය භාවය පිළිගනිමිනි. එකම පරිපාලණ ව්‍යුහය තුල වුවද මෙවැනි ප්‍රතිපත්තිමය වෙනසක් තිබීම රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ අසමමිතික බවක් ඇති කරයි. එය රටේ ඒකීය භාවයට තර්ජනයකි.


සිංහලයෝ තමන් ජීවත්වෙන ප්‍රදේශ පමණක් තම නිජ බිම ලෙස නොසලකති. ඔවුන්ට මුලු ශ්‍රී ලංකාවම තම නිජ බිමය. එමෙන්ම තමන් වෙසෙන ප්‍රදේශය ඉන් පිටත ජීවත්වන රටවැසියන්ටද අයිති ලෙස සැලකිය හැකි බව ඔවුහු පිළිගනිති. උදාහරණයක් වශයෙන් වයඹේ ජීවත්වන මිනිසුන් උතුරත් දකුනත් තමන්ට අයිතියැයි සලකන අතරම ඒ පළාත්වල මිනිසුන්ටද වයඹට අයිතියක් ඇතැයි වයඹේ මිනිස්සු පිළිගනිති. නමුත් දෙමළ ජාතිවාදීහු නැඟෙනහිර හා උතුරු පළාත් පිළිබඳ දරන ආකල්පය මෙය නොවේ. ඔවුන්ට අනුව ඔවුන්ගේ නිජ බිම් වලට ඔවුන්ට සුවිශේෂවූ අයිතියක් ඇත. ඔවුන්ට තම පළාත්වලට ඇති අයිතිය රටේ අනිකුත් පළාත්වල වෙසෙන සිංහල ජනතාවට නැතැයි සිතති. පැහැදිලිවම නැඟෙනහිර හා උතුරු පළාත් තම නිජ බිම් යැයි සැලකීම තුලින් දෙමළ ජාතිවාදීහු ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂ්ප කර සිටිති.


ඉන්දියාව බටහිර සහ ඔවුන්ගේ ගැත්තන් පළාත් සභා හරහා දේශපාලණ බලය පිරිනමන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂේප කර ඇති දේශපාලණ බලවේගයකටය. එවැනි බලවේගයක ක්‍රියාකාරිත්වය ව්‍යවස්ථාවෙන් ආවරණය කල හැකිද?


මෙහිදී මතු කෙරෙන ප්‍රශ්ණය දහතුන්වෙනි සංශෝධනය මඟින් රටේ ඒකීය භාවය නැතිවේද නැද්ද යන්න පමණක් නොවේ. අවශ්‍යනම් අපට පළාත් සභා සම්බන්ධ නීති රීති රටේ ඒකීය භාවය සුරැකෙන පරිදි වෙනස් කර ගත හැකියැයි සිතිය හැකිය. නමුත් දේශපාලණයේ යෙදෙන්නේ ප්‍රාණී දේශපාලකයින් මිස අප්‍රාණී ව්‍යවස්ථාව නොවේ. දෙමළ ජාතිවාදී දේශපාලකයින් රටේ ඒකීය භාවය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්‍ෂේප කර ඇතිවිට ඔවුන්ගෙන් රටේ ඒකීය භාවයට ඇතිවිය හැකි තර්ජනය ව්‍යවස්ථාවෙන් පමණක් වලකා ලිය හැකිද? උදාහරණයක් වශයෙන් දේශපාලණ බලයක් ලත්විට උතුරු පළාත තමන්ගේ නිජ බිම යැයි සලකන දේශපාලකයින් සිංහලයින්ට තම පළාතේ පදිංචිවීමට, රැකියා කිරීමට, වෙළඳාම් කිරීමට, පංසල් තැනීමට, රාජ්‍ය ද්‍රෝහීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට, පුරාවිද්‍යා ගවේශණයට, පාසල් වල සිංහලෙන්ද ඉගැන්වීමට, රටේ ඉතිහාසය ඉගැන්වීමට, රටට විරුද්ධ විදේශීය බලවලට එරෙහිව එම ප්‍රදේශතුල ක්‍රියාත්මක වීමට ආදී නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ඉඩ දෙයිද? ව්‍යවස්ථාවෙන් පමණක් මේ ඉඩ ලබා දී තිබීම ප්‍රමාණවත් නොවේ. නිජ බිම සංකල්පය මත බලය ඉල්ලීම තුලින් දෙමළ ජාතිවාදීන්  ප්‍රකාශ කර සිටින්නේ ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි ඉඩක් සිංහලුන්ට නොදෙන බවය. එකම නීතිමය හා පරිපාළන ව්‍යුහය තුල වුවද නිජ බිම පදනම් කරගත් දේශපාලණයක් හා එවැනි පදනමක් නැති දේශපාලණයක් අතර බල අසමමිතිකමක් ඇතිවීම රටේ ඒකීය භාවයට තර්ජනයකි.


බලය විමධ්‍යගත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය භාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයද ආරක්‍ෂාකල යුතුය. පළාත් සභා සම්බන්ධ නීති රීති වෙනස් කිරීමෙන් පමණක් එය ඉටු කර ගත නොහැකිය. කල යුත්තේ නිජ බිම් දේශපාලණයද නීති විරෝධී කිරීමය. එනම් කිසිම ජාතියකට හෝ ආගමකට හෝ අයත් ජන කොටසකට රටේ තෝරාගත් ප්‍රදේශයක් තම නිජ බිම ලෙස සලකා දේශපාලණය කිරීම, ඒ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පක්‍ෂ සංවිධාන කරගැනීම හා එහි සාමාජිකත්වය ලබාදීම හා ලබා ගැනීම නීති විරෝධී කල යුතුය. රටේ ඒකීය භාවය පිළිගන්නේනම් මේ පිළිබඳව කිසිවකුටත් ප්‍රශ්ණයක් තිබිය නොහැකිය. නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම යනු යම් ජන කොටසක අනන්‍යතාව හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ ඔවුන්ගේ ඉතිහාසය හෝ ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් හෝ ප්‍රතික්‍ෂේප කිරීම නොව මුළු රටම ඔවුන්ගේ නිජ බිම යැයි පිළිගැනීමය. එහි වරදක් ඇත්ද?


නිජ බිම් දේශපාලණය නීති විරෝධී කල යුතුව තිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟමය. ඇමරිකාව ඔවුන්ගේ සිවිල් යුද්ධයෙන් පසුව ක්‍රියා කල ආකාරය එයට හොඳ ආදර්ශයකි. සිවිල් යුද්ධයට පෙර ඇමරිකාවේ දකුනු ප්‍රාන්තවල ආර්ථිකය රැඳුනේ අප්‍රිකාවේ සිට බලහත්කාරයෙන් එහි ගෙනා වහලුන්ගේ ශ්‍රමයෙනි. උතුරු ප්‍රාන්ත වහලුන් තබා ගැනීමට විරුද්ධවූ නිසා දකුණු ප්‍රාන්ත වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීම සඳහා උතුර සමඟ යුධ වැදිනි. ඒ යුද්ධයෙන් උතුර දිනූ අතර ඉන් පසු ඔවුහු මුලු රටේම වහලභාවය නීති විරෝධී කලහ. යුධයෙන් දිනූ උතුරු ඇමරිකානුවන්ට තමන්ගේ දේශපාලණ දැක්ම මුලු රටටම බලපාන ලෙස නීති ගත කිරීමට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නොවිනි. එල්ටීටී ත්‍රස්තවාදයට පදනමවූයේ ඊනියා නිජ බිම් දේශපාලණයය. එල්ටීටීයේ පරාජයත් සමඟ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම අපට ගැටළුවක් නොවිය යුතුය. අවාසනාවකට අද අපට නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීමට තබා පළාත් සභා අහෝසි කිරීමටවත් ශක්තියක් නැත.


නිජ බිම් දේශපාලණය නීතියෙන් අහෝසි කර ඊට විකල්පයක් දෙමළ ජනතාවට ලබාදිය යුතුය. එය ව්‍යවස්ථාවෙන් කල නොහැකිය. එය සාමාන්‍ය දෙමළ ජනතාව තුලින් බිහි විය යුතුය. වඩාත් නිවැරදිව කියන්නේ නම් විකල්ප දේශපාලණයක් ඔවුන් විසින් බිහි කර ගත යුතුය. අද රජය සමඟ සමහර දෙමළ දේශපාලකයින් යම් සුහදතාවක් පැවැත්වුවද ඔවුන් කරන විකල්ප දේශපාලණයක් නැත. නමුත් එය ගොඩනඟාගත නොහැකි දෙයක් නොවේ. එය දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් මත පදනම්වුනු සාමාන්‍ය දෙමළ ජනතාවගෙන් පැණනැගුනු ජාතික ව්‍යාපාරයකට කල හැකිය. රටේ ඒකීය බව රැකෙන පරදි බලය බෙදීමක් බලාපොරොත්තුවිය හැක්කේ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කරන රටේ ඒකීය බව සුරකින ව්‍යවස්ථාවක් තුල දෙමළ ජනතාව විකල්ප දේශපාලණයකින් නියෝජනය වෙන අවස්ථාවකදීය. එවැනි වාතාවරණයක් තුල පළාත් සභා වලටත් එහා යන අර්ථවත් ස්වාධීනවූ දේශපාලණ බලයක් ප්‍රාදේශීය ඒකකට වලට ලබාදිය හැකි වනු ඇත.

Saturday, June 15, 2013

දහතුන සහ බෙදා පාලණය කිරීම


එංගලන්තය ඔවුන්ගේ හිරු නොබසින අධිරාජ්‍යය ගොඩනැඟුවේ බෙදා පාලණය කරන ක්‍රමයටය. බෙදුවේ බෙදන ලද කොටස්වල ස්වදේශිකයින් එකට එක්වී ඉංගී්‍රසීන්ට විරුද්ධව නැඟී සිටීම වැලකීමටය. ඒ සඳහා ඔවුහු බෙදූ කොටස්වල ජනතාව අතර අසමඟියක් ඇති කලහ. ඔවුන්ගේ නායකයින් අතර අවිශ්වාසය වර්ධනය කර එකිනෙකා කෙටවූහ. එය එතරම් අපහසු නොවූයේ ඉංගී්‍රසින් විසින් නායකත්වයට උස්සා තබන ලද්දේද දේශීයත්වයක් නැති තම අභිවෘද්දිය ගැන පමනක් තැකූ අනුකාරකයින් වීමය. මේ බෙදීම සඳහා ඇතැම්විට ඔවුහු ඉතිහාසයද තමන්ට අවශ්‍ය පරිදි ලියා ගත්හ. ඇතමුන්ට අනුව ඉංග්‍රීසීන් විසින් ඉන්දියාවේ ඉතිහාසය හිංදුන්ට වාසි සහගතවන අයූරින් ලියා ඇත්තේද එවකට ඉංදියාවේ බලවත්ව සිටි මුස්ලිම් වරුන් හා හින්දුවරුන් අතර අසමඟියක් ගොඩනැඟීමටය. මේ අතර බෙදූ කොටස් වෙන වෙනම තමන්ට පක්‍ෂපාතී කර ගැනීමට ඔවුහු වග බලාගත්හ. ඉතා දක්‍ෂ ලෙස ක්‍රියාවට නැංවුවත් බෙදා පාලණය කිරීම ඉංගී්‍රසින්ගේම නිර්මාණයක් නොව රෝමයේ සීසර් පවා දැනසිටි බටහිර සංස්කෘතියේ නිර්මාණිත ක්‍රමවේදයකි. ආසියාවේත් අප්‍රිකාවේත් යටත්විජිත තැනූ බටහිර රටවල් පොදුවේ පිලිපැදියේ මේ බෙදා පාලණය කරන ක්‍රමයමය. උදාහරණයක් වශයෙන් ජාත්‍යාන්තර තලයේ අද වැඩි සැලකිල්ලක් නොදක්වන බෙල්ජියම රුවන්ඩාව යටත් කරගෙන සිටි සමයේ එහි වැසියන් හුටු සහ ටුට්සි යැයි ජාතීන් දෙකකට බෙදුවේ හුදෙක් නාසයේ හැඩය සහ තමන්ට අයිති ගවයන් ගණන දහයකට අඩු හෝ වැඩි වීම මතය. නමුත් හුටු සහ ටුට්සි යනු රුවන්ඩාවේ වෙසූ වෙනම ජාතීන් දෙකක් නොව හුදෙක් බල කල්ලි දෙකක් පමණක් වූ අතර හුටු කල්ලියේ මිනිසුන්ට එවකට බලවත්ව සිටි ටුට්සි කල්ලියට එක්වීමට ඔවුන්ගේ සංස්කෘතිය තුල හැකියාවක් තිබිනි. බෙදා පාලණය කිරීමේ ක්‍රමය අනුගමණය කරමින් බෙල්ජියානු පාලකයෝ හුටු සහ ටුට්සි යනුවෙන් කෘතිම අනන්‍යතාවක් නිර්මාණය කර ඒ අනුව රුවන්ඩුවෝ ජාතීන් දෙකකට බෙදූහ. ඒ තම බලය රැක ගැනීම සඳහාය. එක් දහස් නමසිය තිස් ගණන්වල රුවන්ඩුවෝ නිදහස ලැබූ අතර අනූ හතරේදී හුටු සහ ටුට්සින් අතරවූ ගැටුමින් මිනිසුන් දස ලක්‍ෂයකට ආසන්න ගණනක් මිය ගියහ.


අද යටත්විජිත නැතැයි සැලකේ. නමින් නැති වුනත් බටහිරුන්ට තම දේශපාලණ හා සංස්කෘතික බලය ලොව පුරා පතුරවාගෙන සිටීමට අවශ්‍යතාවක් ඇත. නමුත් අද ඒ බලය පවත්වාගෙන යන්නේ එදා මෙන් සෘජුව නොව අන් රටවල් තම දැනුමින් මුසපත් කරමිනි නැතිනම් ඇන්දීමෙනි. ඒ ඇන්දීමේ එක් ප්‍රතිඵලයක් නම් තමන්ට ස්වෛරීය බවක් නැතිබව යටත්වූ රටවලට, නිවැරදිව කිවහොත් එහි උගතුන්ට නොදැනීමය. උදාහරණයක් වශයෙන් පොදු රාජ්‍ය මංඩලයේ රාජ්‍ය නායකයින්ගේ සම්මේලනයේ සභාපති ධූරය ශ්‍රී ලංකාවටද ලබාදෙනමුත් ඉන් එංගලන්තයට බලපෑමක් කිරීමට අපට හැකියාවක් නැත. එය ඇන්දීමක් පමණි. අද ඔවුන්ට මෙසේ අන් රටවල් ඇන්දීමට හැකිවී ඇත්තේ බටහිර දැනුම යම්තම් කට ගාගත් උගතුන්ට බටහිර නොවන රටවල පිලිගැනීමක් ඇති නිසාය. කෙසේ වෙතත් බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරයේ එක ක්‍රමවේදයක් තවම නොවෙනස්ව පවතී. එනම් බෙදා පාලණය කිරීමය. බොස්නියාව හා සුඩානය දෙකඩ කිරීම බෙදා පාලණය කිරීමේ නූතන නිදසුන්ය. අදත් බටහිරුන් අනුගමනය කරන්නේ එදා අනුගමනයට කල බෙදා පාලණය කරන ක්‍රමයමය. සුළු වෙනසකට ඇත්තේ බෙදීම අද අප ලවාම කරවීමය. 


ලංකාවේ පලාත් සභා ක්‍රියාත්මක කරවීම බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරය මඟින් ලංකාව පාලණය කිරීමට දරන උත්සාහයක් ලෙසද දැකීම සාධාරණය. එදා දහතුන්වෙනි සංශෝධණය රජීව් ගාන්ධි විසින් අප මත පැටවූයේ ඒ අරමුණින් නොවිය හැකි නමුත් අවශ්‍යනම් අද එය එලෙස යොදා ගැනීමට බටහිරුන් පසුබට නොවෙනු ඇත. එදා ජේ ආර් රජය බටහිර ගැතිවූ බැවින් බටහිරුන්ට එවැනි අචශ්‍යතාවක් පැන නොනැගිනි. නමුත් ජාතිකත්වයක් ඇති වත්මන් රජය පිළිබඳ ටබහිරුන්ට ඇත්තේ සුභවාදී ආකල්පයක් නොවේ. එය මේ රජයටත් ඉදිරියේ පත්විය හැකි ජාතිකත්වයක් ඇති කුමණ රජයකට වුවත් පොදුය. ඒ නිසා ඉඩක් ලැබුනොත් උතුර හෝ නැඟෙනහිර පමණක් නොව රටේ අනිකුත් පලාත් සභා සමඟ පවා ගිවිසුම් කොන්ත්‍රාත්තු ඇති කර ගැනීමට බටහිර තානාපති කාර්යාල මාන බලනු ඇත. ඒ හරහා ඒ පලාත් සභා තුල බටහිරුන්ට පක්‍ෂපාතී බවක් ගොඩනඟාගෙන රාජ්‍ය බලය අඩපණ කිරීමටත් රජය පෙරලීමටත් උත්සාහ කරුනු ඇත. මේ කිසිවක් අතිශෝක්තීන් ලෙස සැලකිය නොහැක්කේ දෙමළ ජාතීවාදී ප්‍රශ්ණය හමුවේ බටහිරුන් ක්‍රියාකල ආකාරය මතක ඇති බැවිනි. පලාත් සභා ක්‍රියාත්මක කර රටේ පාලණ බලය කොටස්කිරීම බටහිරුන්ට රට බෙදා වෙන්කර පාලණය කිරීමට ඉඩ සලසාදීමකි.


රාජ්‍ය බලය විමධ්‍යගත කිරීම අවශ්‍යය. එක් සේසත් රාජ්‍යයක් තුල රටේ ඒකීය භාවය රැක ගනිමින් ප්‍රාදේශීය ඒකක වලට උපරිම දේශපාලණ ස්වාධීනත්වයක් ලබා දිය හැකිය. නමුත් අද අපි සිටින්නේ එයට සුදුසු අවස්ථාවක නොවේ. බලය විමධ්‍යගත කිරීමක් ගැන සාකච්ඡාවිය යුත්තේ දෙමළ හා මුස්ලිම් ජාතිකයින් සිංහල ජාතිය සමඟ බැඳීමක් ඇතිකර ගැනීම ගැන කථා කරන අතරතුරේය. නමුත් මෙරට දෙමළ දේශපාලණ නායකයෝ එවැනි බැඳීමක් ඇතිකර ගැනීමට කිසිවිටකත් උත්සාහ කර නැත. බටහිරුන් කවදාත් වැඩ කලේ එය නොකෙරෙන තැනටය. බටහිර දැනුමලත් මෙරට උගතුන්ද වැඩ කරන්නේ එය නොකෙරෙන තැනටය. නමුත් අද ජාතියෙන් වෙන්වී සිටින සාමාන්‍ය දෙමළ වැසියන් ජාතියට බඳවා ගත හැකිය. එය දෙමළුන් සිංහල කිරීමක් නොවේ. ඉන්දියාව නොව ලංකාව ඔවුන්ගේ මව් රට යැයි හැඟීමක් ඔවුන්ට ලබාදීමය. රටේ කොටසක් නොව මුලු රටම ඔවුන්ගේ යැයි හැඟීමක් ඔවුන්ට ලබාදීමය. එහි ඉතිහාසයද අනාගතයද ඔවුන්ගේ යැයි හැඟීමක් ඔවුන්ට ලබාදීමය. පලාත් සභා උතුරට දීමෙන් එය කල නොහැකිය. එය කල හැක්කේ බිම් මට්ටමේ සිට ගොඩනැඟුනු දෙමළ ශ්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයක් තුලිනි. අවශ්‍යනම් ඔවුන්ට එය හෙළ හින්දුතාවක් මත පදනම් කරගත හැකිය. එවැනි ව්‍යාපාරයකට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු අතර සිංහලුන්ගේ ආශිර්වාදයද හිමි විය යුතුය. අර්ථවත් බලය විමධ්‍යගත කිරීමක් ගැන සාකච්ඡා කල හැක්කේ මෙවැනි දෙමළ ශ්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයක් හරහා සාමාන්‍ය දෙමළ වැසියන් ජාතියට එක්වීමට උත්සාහයක් දරන අවස්ථාවකදීය. නැතිනම් ඉන් සිදුවනු ඇත්තේ බටහිරුන්ගේ බෙදා පාලණයට අවස්ථාවක් සලසාදීම පමණි.

Saturday, June 8, 2013

බලය විමධ්‍යගත කිරීම


අපි කෙතරම් බලය විමධ්‍යගත කිරීමට තැත් කලත් අද පවතින බටහිරකරණයවූ සමාජ ක්‍රමය තුල පැවතිය හැක්කේ කේන්ද්‍රගත ආණ්ඩු පමණි. ලංකාවේ පලාත් සභාත් ඇමරිකාවේ ඊනියා ෆෙඩරල් ආණ්ඩුවත් වචනයේ පරිසමාප්තවූ අර්ථයෙන් විමධ්‍යගත ආණ්ඩු නොවේ. අද පවතින සමාජ ක්‍රමය තුල ප්‍රාදේශීය එකකයට යම් දේශපාලණ බලයක් පැවරුනත් ඒ හුදෙක් නාමිකව පමණි. උදාහරණයක් වශයෙන් අවශ්‍යනම් එක් ප්‍රාදේශීය බල ප්‍රදේශයකට අයිති පාසල්වලට රටේ අනිත් පාසල්වලින් ස්වාධීනව තමන්ට කැමති විශය මාලාවක් සහ විභාග පද්ධතියක් උපයෝගී කර ගැනීමට ඉඩක් ඇත්ද? මේ සමාජ ක්‍රමය තුල එවැනි ස්වාධීනත්වයක් ඇතිකර ගැනීම බුද්ධි ගෝචර නොවේ මන්ද ප්‍රාදේශීය මට්ටමින් විවිධ අධ්‍යාපන සහතික තිබීම පාසල් අවසානයේ රැකියා සොයා ගැනීමේදීත් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේදී ප්‍රශ්ණයක් වන බැවිනි. ජීවන රටාව මුලු මනින්ම ඉන්ධන හා විදුලිය මත යැපෙනවිට බළශක්ති නිපැදවීම බෙදාහැරීම වැනි කටයුතු ප්‍රාදේශීයව පාලනය කල හැකිද? මෙපමණක් නොවේ පරිසරය, සෞඛ්‍යය, වෙළඳාම, කෘෂිකර්මය, වැනි විශයන් රාශියකදී ඒ ඒ ප්‍රාදේශීය ඒකකයට අවශ්‍ය පරිදි ස්වාධීනව ප්‍රතිපත්ති හා නීති නිර්මාණය කිරීමට අද පවතින සමාජ ආර්ථික ක්‍රමය තුල ඉඩක් නැත. ඊට ප්‍රධාන හේතුව මේ ප්‍රාදේශීය ඒකකවලට යම් තරමකටවත් ස්වයංපෝශණය වීමට හැකියාවක් නැති වීමය. අද එක් ප්‍රාදේශීය ඒකකයක ජීවන පැවැත්ම මුලු මනින්ම පාහේ රඳා පවතින්නේ රටේම එසේත් නැත්නම් විදේශයක ආර්ථික ක්‍රියාකාරිත්වය මතය. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ ජීවත්වන අයට ආහාර සැපයිය යුත්තේ එම ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවල සිටය. රජරට ගොවීන්ට අවශ්‍යය විදුලිය නිපැදවිය යුත්තේ වෙන ප්‍රදේශයකය. බියගම නිදහස් වෙළඳ කලාපයේ හා ඒ අවට වෙසෙන බහුතරයකගේ පැවැත්ම රඳා පවතින්නේ රටෙනුත් පිට යුරෝපයේ හෝ ඇමරිකාවේ වැසියන්ගේ පරිභෝජන රටා මතය. අප රටේ විශාල ජනගහණයක් ගොවිතැනෙහි නිරතවී සිටියටත් ඔවුන්ගේ ජීවිකාව ගොවිතැනයැයි හැඳින්වීම නිවැරදි නොවේ මන්ද ඔවුන් බොහොමයකගේ දෛනික අවශ්‍යතාවන් සැපිරෙන්නේ තම ගොවි නිශ්පාදන විකුණා ලබන ආදායමෙන් බැවිනි. ඒ නිසා අද අපේ ගම් ස්වයංපෝශිත යැයි කිව නොහැකි අතර ගොවියන් සෘජුව හෝ වක්‍රව වෙළෙන්ඳන් වීමද අනිවාර්යවේ. ඔවුන්ගේ පාරිභෝගිකයෝ රට පුරාද රටින් පිටද වෙති. ඒ නිසා ගොවියන්ගේ ජීවන පැවැත්ම ඔවුන් වාසය කරන ප්‍රාදේශීය ඒකකයේ දේශපාලණ බලයෙන් පමණක් සකසාගත නොහැකිය. ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීම අනිවාර්යය.  මේ ආකාරයට අද පවතින සමාජ ආර්ථික රටාවට අනුව මූල ධර්ම වශයෙන් පැවතිය හැක්කේ කේන්ද්‍රගත ආණ්ඩු පමණක් බව පැහැදිලිය.

නමුත් බලය බෙදනවා යැයි යමක් කෙරයි. ඉන් සිදුවෙන්නේ සත්‍ය වශයෙන් රාජ්‍ය බලය විමධ්‍යගතවීම නොව රාජ්‍ය පරිපාලනයේ පහසුව තකා රජයේ වැඩ රජයේ අණුශාකාවලට පවරාදීමය. උදාහරණයක් වශයෙන් වාහන බලපත්‍ර ලබාදීම රජයේ අණුශාකාවක් හරහා ප්‍රාදේශීයව ඉටු කල හැකිය. නමුත් ඒ හරහා ප්‍රාදේශීය ඒකකයට වැදගත් දේශපාලණ බලයක් හිමි නොවේ. ප්‍රදේශයේ ජීවත්වන අයට උපරිම වශයෙන් කල හැක්කේ මධ්‍යම රජයේ මේ අණුශාකාවල නායකත්වයට තමන්ගේ නියෝජිතයින් පත් කර ගැනීම පමණි. නමුත් ඉන්ද සතුටුදායක ප්‍රතිඵලයක් ලබා ගත නොහැකිය. මන්ද රටේ රාජ්‍ය බලය කේන්ද්‍රගතව ඇති විට අණුශාකාවල දේශපාලණය මධ්‍යම ආණ්ඩුවේ දේශපාලනයේම අණුරුවක් වීම වලකා ලිය නොහැකි බැවිනි.  ප්‍රාදේශීය ඒකකවල සමාජ-ආර්ථිකය ස්වාධීන නොවනවිට එහි කෙරෙන දේශපාලණය මධ්‍යයේ කෙරෙන දේශපාලනයට යටවීම වැලැක්විය නොහැකිය. ඒ නිසා මේ ඊනියා විමධ්‍යගත කිරීමෙන් සිදුවෙන්නේ අණුශාකාවල රාජකාරිද දේශපාලණකරනය වීමය. එනම් ගම්වල පක්‍ෂ දේශපාලකයින් බෝවීමය. අද පලාත් සභා ප්‍රදේශීය සභා ආදියෙන් සිදුවී ඇත්තේ මෙය බව කිව යුතු නැත.


මූල ධර්ම වශයෙන් ගත්කල පලාත් සභා කේන්ද්‍රගත ආණ්ඩු ක්‍රමයේ අවයව පමණි. ඉන් බෙදෙන දේශපාලන බලයක් නැත. පලාත් සභා නීතියානුකූලව ක්‍රියාත්මක කිරීම තුලින් තමන්ට ඊළමක් නොලැබෙන බව ඒ ගැන සිහින මවන දෙමළ ජාතිවාදීහුද දනිති. ඔවුන්ට කල හැක්කේ එක්කෝ පලාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කර ඊටවඩා යමක් ඉල්ලීමය නැත්නම් දැනට පලාත් සභා බලය ලබාගෙන පසුව නීති විරෝධීව ඊළමක් දිනා ගැනීමට මාන බැලීමය. ඔවුන් මේ දෙකම කරන බව පෙනේ. බටහිරකරණයවූ සමාජ ක්‍රමය තුල බලය විමධ්‍යගත කිරීම හුදු මායාවක් පමණි. අද අපට කල හැක්කේ පලාත් සභා ක්‍රමය අහෝසිකර දේශපාලන බලය මධ්‍යයේ තබාගෙන මහජනයාගේ පහසුව හා රාජ්‍ය පරිපාලනයේ කාර්යක්‍ෂමතාව සඳහා පමණක් රජයේ වැඩ කටයුතු හැකිතාක් තරම ප්‍රාදේශීය ඒකකවලට පැවරීමය. අද පවතින සමාජ ක්‍රමය යටතේ මේ ප්‍රාදේශීය ඒකකවල තිබිය යුත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනයකට වඩා ජනතාවට සෘජුවම ගනුදෙනු කල හැකි ජන හිතවාදී පරිපාලණයකි. ප්‍රදේශය හඳුනන එහිම වෙසෙන සේවකයින්ගෙන් සැදි රජයේ ආයතනය. පලාත් සභා ක්‍රමය අහෝසිකිරීම තුලින් අඩුම තරමින් ප්‍රාදේශීය මට්ටමේ රජ්‍ය කටයුතු වලින් පක්‍ෂ දේශපාලණය ඈත්වනු ඇත.


ප්‍රජාතන්ත්‍රවාදයත් අසංවර පරිභෝජනයත් කේන්ද්‍රීය ආණ්ඩු ක්‍රමයත් එකිනෙක මත රඳා පවතින ධර්මතාය. අපේ සමාජ ආර්ථික ක්‍රමය මේ ධර්මතා මත පදනම් වන තාක් කල් සැබෑ විමධ්‍යගත ආණ්ඩු ක්‍රමයක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් අපිට විමධ්‍යගතව පාලණයවෙන එක් සේසත් ආණ්ඩු ක්‍රමයක් ගැන සිහින මැවිය හැකිය. එවැනි ආණ්ඩු ක්‍රමයක් බිහිවීමට නම් රටක ප්‍රාදේශීය ඒකක හැකිතාක් දුරට ස්වයංපෝශණය විය යුතුය. ස්වයංපෝශණවීම යනු තම අවශ්‍යතාවන් තම ප්‍රදේශය තුලින්ම සපුරා ගැනීම මෙන්ම තම ප්‍රදේශයට සරිලන ආකාරයට අවශ්‍යතා පාලනය කර ගැනීමද වේ. එය අත් කර ගත හැක්කේ ගත සිත සංවර කරගත් සමාජයකය. ස්වයංපෝශණයවීම හුදෙකලාවීමක් ලෙස වරදවා තේරුම්ගත නොයුතුය. ස්වයංපෝශණය තුලින් ප්‍රාදේශීය ඒකකවල සමාජ ආර්ථිකයට යම් පමණකට ස්වාධීනත්වයක් ලබා ගත හැකිය. අර්ථවත්වූ දේශපාලණ ස්වාධීනත්වයක් තිබිය හැක්කේ එවැනි ස්වයංපෝශණයවූ ප්‍රාදේශීය ඒකක තුල පමණය.


රටේ ඒකීය භාවය සුරැකීම සඳහා මේ ප්‍රාදේශීය ඒකක දේශපාලණිකව ස්වාධීනව කටයුතු කරන අතරම මධ්‍යම ආණ්ඩුවේ ආධිපත්‍යයටද යටත්විය යුතුය. එවැනි රාජ්‍ය ක්‍රමයක් එකවර විමධ්‍යගතද කේන්ද්‍රගතද වේ යැයි කිව හැකිය. එවැනි රාජ්‍යයක ප්‍රාදේශීය ඒකකවලට උපරිම ස්වාධීනත්වයක් ලැබෙන අතර රටේ ඒකීය භාවයද ආරක්‍ෂාවේ. මේ ආකාරයට එකවර විමධ්‍යගතද කේන්ද්‍රගතද වීම එක්සේසත් රාජ්‍යයක ලක්‍ෂණයකැයි මම සිතමි. නමුත් එක්සේසත් රාජ්‍යයක් ව්‍යවස්ථාවක් මඟින් සම්පූර්ණයෙන් අර්ථදැක්විය නොහැකියැයි මම සිතමි. මන්ද එහි පැවැත්ම ද්වි කෝටික තර්කයට හසු නොවන බැවිනි. මෙවැනි ක්‍රමයක් පැවතිය හැක්කේ ප්‍රාදේශීය මට්ටමේ සිට දේශීය මට්ටමට දක්වා ඇති සියලු දේශපාලණ ස්ථර අතර අන්නෝන්‍ය අවබෝධයක් පැවතුනොත් පමණි. එවැනි අවබෝධයක් නිර්මාණය කර ගත හැක්කේ සජීවී මිනිසුන්ට හා ගැහැනුන්ට මිස අජීවී ව්‍යවස්ථාවකට නොවේ. එක්සේසත් රාජ්‍යයක මූලික පදනම නීති නොව මිනිස් සම්බන්ධතාය. ඒ නිසා අපි බලය විමධ්‍යගත කිරීම ගැන කථා කරන්නට ප්‍රථමයෙන් වෙන්වී සිටින දෙමළ හා මුස්ලිම් ජනයා සිංහල ජාතියට බැඳ ගැනීමට උත්සාහ කල යුතුය.

Saturday, June 1, 2013

චක්‍රීය කාලය හා වංශකථා - 2


අද උදාවී ඇත්තේ ඉතිහාසය නැවතත් ලියා ගත යුතු අවධියකි. නමුත් ඉතිහාසය නැවත ලිවීම යනුවෙන් අදහස් වෙන්න ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව කාලය යනු නොනවත්වා ගලා යන භූතාර්ථයකි. බටහිරුන් කාලයේ හීය යැයි හඳුන්වන්නේ මේ ගලා යාමය. රටකට ජාතියකට අදාල සිද්ධීන් එම රේඛීය කාලයේ පෙළ ගැස්සවූ විට බටහිරුන්ට ඉතිහාස කථාවක් ලැබේ. බටහිරුන්ට මේ සිද්ධීන්හි වාස්ථවික බවක් ඇති බවද වැදගත්ය. එනම් කවුරුන් කවදා කෙලෙස බැලුවත් ඔවුන්ගේ ඉතිහාස සිද්ධීන් දකින්නේ එකම ආකාරයටය. අඩුතරමින් බටහිරුන් එසේ උපකල්පණය කරති. වෙනත් අයුරකින් පවසන්නේ නම් බටහිර ඉතිහාස කථාවල තිබිය හැක්කේ එවැනි වාස්ථවික සිද්ධීන් පමණය. ඒ අනුව බටහිර ඉතිහාස කථා හා බටහිර විද්‍යා කථාවල යම් සමානකමක් ඇත. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව ඉතිහාසය නැවත ලිවීම යනු රේඛීය කාලයේ පෙළ ගස්සවා ඇති වාස්ථවික සිද්ධීන් වෙනස් කිරීමය.


නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියේ කාලය චක්‍රීයවේ. එයට චක්‍රීය බවක් ලැබෙන්නේ කාලය මනසේ පැනවීමක් නිසා යැයි මීට ඉහතදී සඳහන් කලෙමි. මනසේ පැනවෙන කාලය චක්‍රීය යැයි කීමෙන් අදහස් වන්නේ කාලය පැනවීමත් සමඟම අනාගතය පිළිබඳව බලාපොරොත්තුවත් අතීතය පිළිබඳව දැනීමත් එකම සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවන බවය. එක් අයුරකින් මෙය අතීතය ඇසුරින් අනාගතය නිර්මාණය කිරීමක් ලෙස දැකිය හැකි අතර අනිත් අතට අනාගතය පිළිබඳ ඇති බලාපොරොත්තු තුලින් අතීතය නිර්මාණය කිරීමක් ලෙසද දැකිය හැකිය. අතීතය හා අනාගතය අතර ඇති සාපේක්‍ෂබව නිසාම චක්‍රීය කාලයක ඇති සිද්ධීන්හි වාස්ථවික බවක් නැත. චක්‍රීය කාලයක ගෙතෙන කථාවල ඇත්තේ සාපේක්‍ෂ බවකි. රේඛීය කාලයක ලියැවුණු බටහිරුන්ගේ වාස්ථවිකවූ ඉතිහාස කථාවලින් සිංහල බෞද්ධයින්ගේ වංශකථා වෙනස්වන්නේ මේ ආකාරයටය.
කාලය කියා ඊනියා භුතාර්ථයක් නැති බැවින් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව වරින්වර පණවන්නේ එකම කාලයක් නොවේ. ඒ නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ඉතිහාසය නැවත ලිවීම යනු ඇති වංශකථා වෙනස් කිරීම නොව අළුතින් වංශකථාවක් ගෙතීමය. අද ලියැවෙන වංශකථාවේ තිබිය යුත්තේ අද අපි දකින අතීත-අනාගත සම්බන්ධයය. එය එසේවීම වරදක් නැත. ඒ කථාව සියලු කාලවලට සත්‍ය විය යුතු යැයි අපි නොකියන්නේ වාස්ථවිකවූ ඉතිහාසයක් ඇතැයි අපි නොසලකන නිසාය.


ආත්මයක් නැතැයි සැලකුවිට චතුස්කෝටික තර්කයට අනුව එක් අවස්ථාවකදී කාලය පණවන මනස ඊට මොහතකට ඉහතදී තිබුණ මනසමද එය නොවේද වෙි යැයි කිව හැකිය. ඒ නිසා මනස මඟින් ඒ ඒ අවස්ථාවල පණවන කාල ගැනද කිව හැක්කේද එයමය. ඒ අනුව අළුතින් ලියැවෙන වංශකථාව ගැන අපට කිව හැක්කේ එය ඊට පෙර තිබූ වංශකථාවමද එය නොවේද වේ යැයි කියාය. කෙටියෙන් කිවහොත් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ඉතිහාසය නැවත ලිවීම යනු ජාතියේ වංශකථාවට පුණර්බවයක් ලබා දීමය.


මහාවංශය ලියවී ඇත්තේ පස්වන සියවසේදී මෙරට බලවත්ව තිබූ සංස්කෘතික ධාරාව තුලින් ඔවුන්ගේ අතීත-අනාගත සම්බන්ධකම දුටු ආකාරයට බව පැහැදිලිය. ඔවුහු තම මුතුන් මිත්තන් භාරතයෙන් පැවත එන බවට විශ්වාස කල අතර තමන් ආර්යයන් යැයි සිතූහ. මහාවංශය දේවානම්පිය තිස්ස රජු හා අසෝක රජු අතර තිබුන සම්බන්ධයේදී අසෝක රජුට උසස් තැනක් දුනි. ඒ වනවිටත් යක්‍ෂ, නාග, දේව, රාක්‍ෂස ආදී මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ශිෂ්ඨාචාරයක් මෙරට තිබුන බවත් ඔවුන් බුදුන්ගෙන් බණ අසා බුදු දහම වැළඳගෙන සිටි බවත් මහාවංශය සැලකිල්ලට ගන්නේ නැත. මේ දේශීයයන් ඒ වනවිට එකල බලවත්ව තිබූ සංස්කෘතික ධාරාවට අවශෝෂණය වෙමින් සිටින්නට ඇති. කෙසේ වෙතත් මහාවංශය ලියැවෙන්නේ එදාට සාපේක්‍ෂව දේශියත්වයක් තිබුනැයි සැලකිය හැකි මේ මිනිසුන් විසින් නොවෙන බව පැහැදිලිය. නමුත් මහාවංශය එක් වැදගත් කාර්ය භාරයක් කරයි. එනම් දුටු ගැමුණු රජතුමා විසින් සියලු ගෝත්‍ර එක් කරමින් ඊට වසර හය සියයකට පමණ අතීතයේදී ගොඩනැඟූ සිංහල බෞද්ධ රාජ්‍යය අප ජාතියේ අනාගතය ලෙස පෙන්වීමය. එතැන් පටන් අපි සියවස් ගණනාවක් ජාතියක් ලෙස පැවත එන්නට අපට හැකිවී ඇත්තේ අපි මහාවංශය පෙන්වන අතීත-අනාගත සම්බන්ධකම ආදර්ශයට ගත් නිසාවෙනි. ඒ සම්බන්ධකමේ පදනම සිංහලයින් බෞද්ධවීමත් බෞද්ධයින් සිංහලවීමත්ය.


නමුත් අද පිරිසක් මහාවංශයෙන් සිංහලුන්ට තඩිබාති. තවත් සිංහලුන් පිරිසක් මහාවංශයට තඩිබාති. මහාවංශයෙන් සිංහලුන්ට තඩිබාන බහුතරයක් සිංහල බෞද්ධ විරෝධීන්ය. ඔවුන්ට අනුව මහාවංශය සිංහල ජාතිවාදීන්ගේ මිත්‍යා කථාවකි. තවත් සමහර සිංහල බෞද්ධ විරෝධීන්ට අනුව සිංහලයෝ බුදු දහම ආගමක් කරගෙන එමඟින් ආගාම්වාදීන් වෙති. මහාවංශයට තඩිබාන අය අතර සිංහල ජාතික වාදීහුද වෙති. ඔවුන්ට අනුව මහාවංශය ඉංග්‍රීසීන් විසින් අප මත බලෙන් පටවන ලද ඉතිහාසයකි. ඔවුන්ගේ අවනඩුව එදා ජීවත්ව සිටි දේශියත්වයක් තිබි හෙළයින්ගේ කථාව මහාවංශයේ නැතිවීමත් ඒ කථාව නැති මහාවංශය ඉංග්‍රීසීන් විසින් උසස් කොට සැලකීමත්ය. නමුත් මහාවංශය ලියන කාලයට ඉහත සිටම එදාට සාපේක්‍ෂව දේශිකත්වයක් තිබුණැයි සිතිය හැකි, විශේෂයෙන්ම යක්‍ෂ හා දේව ගෝත්‍රවල මිනිසුන් මෙරට දේශපාලනික හා සංස්කෘතික ක්‍ෂේත්‍රයේ පසු බෑමකට ලක්වී සිටින්නට ඇත. පස්වන සියවසේදීත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින් මෙරටින් පලවා හැරීමට ධාතුසේන රජතුමා සමඟ සිටියේ මේ මිනිසුන් යැයි සිතිය හැකි නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට මෙරට දේශපාලණ බලය අහිමිවූ අතර දේශපාලන බලය තිබුනු පාලක පැලැන්තියට මේ අයට නායකත්වයක් දීමට නොහැකිවිය. ක්‍රමයෙන් උග්‍රවුනු මේ වෙන්වීම අපි අවසානයේ වසර පන්සිය ගණනක් බටහිරුන්ගේ ග්‍රහණයට ලක්ව සිටීමට එක් ප්‍රධාන හේතුවක් විනැයි මම සිතමි. කෙසේ වෙතත් මහාවංශය ලියන කාලයේ දේශීයත්වයක් තිබුණැයි සිතිය හැකි මෙරටුන්ගේ කථා අප ඉතිහාසයෙන් ගිලිහී ගියේ මූලික වශයෙන්ම මෙරට සිදුවූ සංස්කෘතික විපර්යාස හේතුවෙන්ය. ඉංග්‍රීසින්ට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් නොවිනි. නමුත් අද කුමන හේතුවක් නිසාවත් මහාවංශයට තඩිබෑම සාධාරණය කල නොහැකිය මන්ද සාර්ථක වුනොත් මේ සියලු තඩිබෑම් වල අතුරු ඵලය වනු ඇත්තේ සිංහලකම හා බෞද්ධකම එකිනෙකින් ඈත්වීමය. සිංහල බෞද්ධකම වර්තමානයේ අප ජාතිය උසුලා සිටින අඩිතාලමය.


කෙසේ නමුත් මහාවංශයේ නව බවයක් නිර්මාණය කර ගැනීමට මේ සුදුසු කාලය යැයි මම සිතමි. ඊට හේතුව අද ජාතියක් වශයෙන් අපි මුහුණදෙන ප්‍රශ්ණත් අපේ අනාගත ලෞකික බලාපොරොත්තුත් එදා මහාවංශය ලියන අවධියේදී ඒ ඒ කරුණු වලට වඩා වෙනස් බැවිනි. එදා සිටි විවිධ ගෝත්‍රිකයින් එක් ජාතියකට එක් කර ගැනීම සඳහා බුදු දහම ථේරවාදී ආගමක් ලෙසින් ගොඩනංවා ගැනීමට අවශ්‍යවිනි. නමුත් අද සිංහලුන් අතර යක්‍ෂ නාග දේව යැයි හඳුන්වාගත හැකි සංස්කෘතියෙන් වෙනස් පිරිස් නැත. අද අපට ලෞකික වශයෙන් බෞද්ධ ආගමක් අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම දේශීයවූ දැනුම් පද්ධතියක් ගොඩනඟා ගැනීම උදෙසාය. එදා දකුණු ඉන්දීය යුදමය ආක්‍රමණ වලට මුහුණ දීම ප්‍රධාන ප්‍රශ්ණයක් වුනත් අද අපේ ප්‍රධාන ප්‍රශ්ණය බටහිර සංස්කෘතික ආක්‍රමණය. මහාවංශය දුටු අනාගතය ඒකීය රජ්‍යයකි. අද අපි දකින අනාගතය දේශීයවූ දැනුම් පද්ධතියක් මත ගොඩනැඟුනු ඒකීය රජ්‍යයකි. කාලයේ චක්‍රීය බවට අනුව අපි දකින අනාගතයට ගැලපෙන අතීතයකින් වංශකථාවේ මේ බවය ආරම්භ කර ගත යුතුය. එයද හෙළබොදු වංශයක්ම විය යුතුය.