Saturday, May 25, 2013

චක්‍රීය කාලය හා වංශකථා


මා පාසල් යන අවධියේදී මහාවංශය පාසල්වල උගැන්වුනේ නැත. ලංකා ඉතිහාසය විශයමලාවෙන් ඉවත් කිරීමට එවකට බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුවේ සිටි කොමියුනිස්ට් කාරයින්ට උවමණාවක් තිබුනාදැයි සැක සිතෙන්නේ අද මේ ආණ්ඩුවේ සිටින එවැන්නන් වැඩ කරන ආකාරය දකිද්දීය. ඉතිහාසය පාසලේ නොඉගැන්වීම ගැන විරෝධයක් එකල සමාජයේ තිබුණාදැයිවත් මම නොදනිමි. ඒ කාලයේ විශ්ව විද්‍යාල අචාර්යවරු අදමෙන් අධ්‍යාපනය රැක ගැනීම සඳහා පෙළපාලි ගියේ නැත. කෙසේ වෙතත් එවකට සිටි අධ්‍යාපණ ඇමතිතුමා පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයකට පැමිණෙද්දී ඔහු පිළිගැනීම සඳහා පාසලේ සිසුන් දෙදහස් ගණනක් පමණවූ අප සියලු දෙනාම එක්ව පිළිගැනීමේ ගීතය ගයන්නට මාස ගණනක් පුහුණුවන විට නම් යම් දීන බවක් දැනුන බව මට මතකය. 


මම අද වැඩිහිටියෙකුව ලංකා ඉතිහාසය හදාරමි. බටහිර සංස්කෘතිය තුල ඉතිහාසය ලියන ආකාරයත් මහාවංශය ලියා ඇති ආකාරයත් අතර වෙනසක් ඇති බව පැහැදිලිය. මූලික වශයෙන් බටහිරුන්ට ඉතිහාසය හුදෙක් වාර්තාවකි. ඔවුන්ට වැදගත් වන්නේ යම් රටකට ජාතියකට අදාල සිදුවීම් කාලයේ පෙල ගැස්සවීමය. ඒ අතින් බලන කල අපේ වංශකථා ඉතිහාස කථා නොවේ. අපේ වංශ කථාවල අරමුණු දෙකක් ඇතැයි මම සිතමි. එකක් නම් ජාතියක් වශයෙන් අපි පැවත එන්නේ කාගෙන්ද යැයි කියා දීමය. අනික අතීතයේදී ඔවුන් විසින් අත් කරගත් උසස් තත්වයක් පෙන්වාදී අද ජීවත් වන උන්ට අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරවීමය. මේ කරුණු දෙක එකිනෙකින් ස්වායත්ත නොවෙන බව පැහැදිලිය. බටහිරුන්ගේ ඉතිහාස වාර්තා වලින් මේ කාරණා උකහා ගන්නට හැකි වුනත් වංශකථා එසේ නොවේ. වංශකථා ලියැවෙන්නේ මේ කරුණු ඉගැන්වීමටමය. 


අපේ වංශකථාවල අතීතයත් අනාගතයත් ගැලපීම වැදගත් යැයි මම සිතමි. එහි චක්‍රීය බවක් ඇත. අචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දෙන ආකාරයට අපේ ඉතිහාසය ජීවමාන වන්නේ මේ අතීත-අනාගත සම්බන්ධය නිසායැයි මම සිතමි. මේ චක්‍රීය බව පැන නඟින්නේ සිංහල බෞද්ධයින්ගේ කාලය පිළිබඳ සංකල්පයෙන් යැයි මම සිතමි.


යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල කාලය යන සංකල්පය තේරුම් ගන්නා ආකාරයට එය නොනවත්වා ගලා යයි. ඔවුන්ට කාලය කියා ඊනියා භූතාර්ථයක් ඇත. ථේරවාදී බුදුදහමට අනුව කාලය කියා දෙයක් නැත එය මනසේ පැනවීමක් පමණි. මනසේ පණවා ගන්නා කාලය අපි ඔරලෝසුවෙන් මනින සම්මතයක් ලෙස ගන්නා කාලය නොවේ. එකිනෙකින් වෙනස් අවස්ථා දෙකක් සහ ඒ පිළිබඳව ඇති මතකයක් ඇසුරින් කාලය යැයි යමක් මිනිස් මනසේ පනවාගනී. ඒ අනුව මනසට පණවා ගත හැකි කුඩාම කාලය ක්‍ෂණයක් වන අතර එයටද හේතු වන්නේ අවස්ථා දෙකකි. මේ අවස්ථා දෙක පිළිබඳව අපට කුමක් කිව හැකිද? ඉන් එකක් ඇති වන්නේ අනිකට පසුවද? මේ අවස්ථා දෙක කාලයේ පෙළ ගැස්වීමට නම් කාලය රේඛීයව ගලා යන ඊනියා භූතාර්ථයක් යැයි මුලින් අර්ථ දක්වා ගත යුතුය. ථේරවාදී බුදුදහම තුල එවැනි අර්ථ දැක්වීමක් නොකෙරෙන නිසා එක් අවස්ථාවක් ඇතිවන්නේ අනිත් අවස්ථාවට පෙරද පසුවද යන්න තේරුමක් නැති ප්‍රශ්ණයකි. නමුත් ඒ බව නොසලකා මේ අවස්ථා දෙකින් එක් අවස්ථාවක් වර්තමානය ලෙස හඳුන්වාගත හොත් අනිත් අවස්ථාව අතීතය හෝ අනාගතය හෝ යැයි කිව හැකිද? මෙහිදී අපට කිව හැක්කේ අනිත් අවස්ථාව අතීතයද වර්තමානයද විය හැකි බවය. ආකෘතියකින් දක්වනවා නම් අපිට මේ අවස්ථා දෙක වෘත්තයක විශ්කම්භයේ ඇති ලක්‍ෂ දෙකකින් පෙන්නුම් කල හැකිය.  උදාහරණයක් වශයෙන් අපි එක් අවස්ථාවක් ඔරලෝසුවේ අංක දොලහ ඇති තැනත් අනිත් අවස්ථාව අංක හය ඇති තැනත් තැබිය හැකිය. අංක දොලහ ඇති තැන වර්තමානය යැයි හඳුන්වා එහිසිට ඔරලෝසු කටුව යන අතට බැලූ විට අංක හය ඇති තැන අනාගතය ලෙස හැඳින්විය හැකි අතර ඊට විරුද්ධ අතට බැලූ විට අංක හය ඇති තැන අතීතය ලෙස හැඳින්විය හැකිය. එනම් එක් අවස්ථාවක් වර්තමානයැයි ගත් විට අනිත් අවස්ථාව අතීතය මෙන්ම අනාගතයද වේ. මෙහි චක්‍රීය බවක් ඇත. මේ ආකාරයට අවශ්‍යනම් අපිට මනසේ පැනවෙන කාලයට චක්‍රීය බවක් ලබා දිය හැකිය. 


මනසේ පැනවෙන කාලයෙහි ඇති චක්‍රීය බවින් කියැවෙන්නේ ඉතිහාසයේ සිදුවූදේ නැවත නැවතත් සිදුවන බව නොවේ. සමහරවිට ඉතිහාසයේ සිද්ධීන් දෙකක් අතර යම් සමානකමක් හඳුනාගැනීමට අපට හැකිය. උදාහරණයක් වශයෙන් කැලණිතිස්ස රජ සමයේ සිදුවිනැයි සැලකෙන මුහුදු ගොඩ ගැලීමත් දෙදහස් හතරේ පැමිණි සුනාමියත් අතර සමානකමක් තිබිය හැකිය. නමුත් ඒවා එකමයැයි පැවසීමට නොහැකිය. එසේ පැවසීමට නම් ඊට අදාල දැනගත හැකි සියලු කාරණා එක සමාන විය යුතු අතර නිරීක්‍ෂකයා ඒ සිද්ධීන් දෙක අතර නොවෙනස්ව හිඳිය යුතුය. ඉතිහාසයේ සිදුවූදේ නැවත නැවතත් සිදුවේ යැයි කථා ගෙතෙන්නේ කාලය නොනවත්වා ගලා යන වාස්ථවික භූතාර්ථයක්ය යන පදනමෙනි. ඒ කථා අපට අදාල නැත. මනසේ පැනවෙන කාලයේ චක්‍රීය යැයි කීමෙන් අදහස් වන්නේ කාලය පැනවීිමත් සමඟම අනාගතය පිළිබඳව බලාපොරොත්තුවත් අතීතය පිළිබඳව දැනීමත් එකම සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවන බවය. මේ අතීතය-අනාගතය මනසින් පනවන කාලයෙන් කාලයට වෙනස්විය හැකිය.


මිනිසුන්ට මෙන්ම ජාතියකටද මනසක් ඇතැයි සිතිය හැකිය. ජාතියේ මනසේද කාලය පැනවේ. ජාතියක් තම මුතුන් මිත්තන් ගැන සිතන්නේ එවැනි අවධියකය. ඒ සමඟම ඔවුන් තම අනාගතය ගැනද අතීතය තුලින් බලාපොරොත්තු ඇති කර ගනිති. වංශකථාවල ඇත්තේ අපේ මුතුන් මිත්තන්ගේ කෙරුම් සහ අපේ අනාගත බලාපොරොත්තුය. එහිද චක්‍රීය බවක් ඇත.


අද අපි එළඹ සිටින්නේ නැවතත් වංශකථා ගොතන අවධියක විය යුතුය. එය බටහිරුන්ගේ ඉතිහාස වාර්තාවක් කර නොගැනීමට බිය විය යුතු නැත. මනසේ පැනවීම්වල මෙන්ම වංශකථා වලද අතීත-අනාගත සම්බන්ධ කම් වෙනස් විය හැකිය. නමුත් අපි මෙතෙක් නැගගෙන ආ හිනිමඟට පහර නොගැසීමට පමණක් වග බලා ගත යුතුය.

3 comments:

  1. හොද පිවීසීමක්. නැවත එන්නම් අපි සාකච්චා කරමු.

    ReplyDelete
  2. බරපතළ යමක් කියන්න හදන බව නම් තේරෙනව, හැබැයි කියන දේ නම් මට හරියටම පැහැදිළි නැහැ. වැඩි දුරටත් ලියනව නම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. මීලඟ ලිපියේ තව දුරටත් පැහැදිලි කරන්ට උත්සාහ කරන්නම්

      Delete