Saturday, May 11, 2013

කාර්මික විප්ලවයක් නොකල කොණ්ඩෙ බැඳපු චීන්නු


මෑතක් වනතුරු ලංකාවේ හා චීනයේ මිනිස්සු පෙරදිග අන් බොහෝ රටවල මිනිසුන් මෙන් කොණ්ඩය බඳින ලදහ. නමුත් අද චීනය රජ කරන්නේ කොණ්ඩය කැපූ චීනුන්ය. චීන මිනිසුන්ගේ කොණ්ඩය කපා දැමුවේ බටහිර සංස්කෘතිය විසිනි. බටහිර සංස්කෘතිය චීන මිනිසුන්ගේ කොණ්ඩය කපා දමමින් කොණ්ඩය බැඳි චීනුන්ගේ සංස්කෘතියද පරාජය කලහ. අද සමහරු කොණ්ඩය බැඳි අපේ පැරැන්නන්ට අවමන් කරන්නේ බටහිර සංස්කෘතිය තොල කට ගා ගැනීම තුලින් ඔවුන් අත් කර ගත් පුහු මානය නිසාය. නමුත් මීට වසර හය සියයකට පමණ ඉහත විසූ කොණ්ඩය බැඳි චීනුන්ට බටහිරුන්ගේ ඊනියා දියුණුව ප්‍රතික්‍ෂේප කරන්නට තරම් සංස්කෘතික ශක්තියක් තිබිනි. ඔවුන් එසේ කලේ පුහු මානයකින් නොව අවශ්‍ය නම් ඊටත් වඩා දෙයක් කරගන්නට තමන්ට හැකියාවක් තිබියදීය.


අපි පාසලේ ඉගෙන ගන්නේ වස්කෝ ද ගාමාගේ හෝ මැගලන්ගේ හෝ එසේත් නැත්නම් කොලම්බස්ගේ වීර ක්‍රියා පිළිබඳවය. නමුත් වස්කෝ ද ගාමාට අප්‍රිකාවේ දකුණු කෙලවරින් එහාට විවෘත සාගරය හරහා ඉන්දියාව දක්වා තම කුඩා නැව් මෙහෙයවා ගන්නට තරම් දැනුමක් නොතිබිනි. පහලොස් වන සියවස අග භාගය වනවිටත් යුරෝපීයන්ට එතරම් දියුණු නාවික තාක්‍ෂණයක් හෝ ශාස්ත්‍රයක් නොතිබිනි. මඟ පෙන්වමින් වස්කෝ ද ගාමා සහ පිරිස අප්‍රිකානු වෙරළබඩ සිට ඉන්දියාවට කැඳවාගෙන ආවේ අරාබි හෝ ඉන්දීය හෝ වෙලඳ නැවියන් විසින් යැයි සඳහන්වේ. එසේ පෙරදිගට පැමිණි මේ පරංගියා තම දෙවැනි ඉන්දියනු ගමනේදී කලිකත් නුවර සිට මක්කම වන්දනාවට යමින් සිටි මුස්ලිම් බැතිමතුන් හාරසියයක් රැගත් නෞකාව මුහුද මැදදී ගිනිබත් කරමින් ඔවුන් සංහාරය කලේ හුදෙක් කලිකත් නුවර අසල වෙරළබඩ ප්‍රදේශ තුල තම අණසක පතුරුවා ලන්නටය. වස්කෝ ද ගාමාගේ ඒ කුප්‍රකට ගමනින් යුරෝපීයයන්ට පෙරදිගට පාර කැපිනි. ඉන් ඉක්බිතිව එංගලන්තය ස්පාඥ්ඥය පෘතුගීසිය ලන්දේශය හා ප්‍රංශය ආසියාවේ විවිධ රටවල තම අධිරාජ්‍යයන් බිහි කර ගත්තේ වස්කෝ ද ගාමාගේ මඟ පෙන්වීමට අනුව ප්‍රචන්ඩත්වයෙනි. 


අපි පාසලේ ඉගෙන නොගන්නේ වස්කෝ ද ගාමාගේ ඉන්දියානු ගමනට වසර හත් සියයකට පමණ ඉහත අනුරාධපුර යුගයේදී සිංහලුන්ට ඊටත් වඩා දියුණු නාවික තාක්‍ෂණයක් තිබුනු වගය. චීන ශිෂ්ඨාචාරය හා විද්‍යාව පිළිබඳ හැදෑරූ ඉංගී්‍රසි ජාතික ජෝසප් නීඩ්හැම්ට අනුව පස් වන සියවසේ සිට අට වෙන සියවස දක්වා පර්සියානු අරාබි සහ සිංහල නෞකා වෙළෙඳාම සඳහා දකුණු චීනයට පැමිණ ඇති බවට චීන ඉතිහාස පොත් සාක්‍ෂි දරයි.  මේ නෞකාවක් දළ වශයෙන් ටොන් පන්සියයක් පමණ බර වූ අතර (වස්කෝ ද ගාමාගේ නැව ටොන් එකසිය අසූවක් පමණ විනි) ඉන් විශාලතම නැව් අයත්ව තිබුනේ සිංහල නැවියන්ට බවද සඳහන්වේ. කෙසේ වෙතත් පහලොස් වන සියවස ආරම්භ වන විට, එනම් වස්කෝ ද ගාමාගේ ඉන්දියානු ගමනටත් වසර සියයක් පමණ ඉහතදී මිං පෙළපත සමයේ චීනයට අති විශාල නාවික හමුදාවක් සතුවිනි. ඔවුන්ගේ විශාලම නෞකාවක් ටොන් එක් දහස් පන්සීයයක් පමණ බරවූ අතර දිගින් අඩි හාරසියයක් පමණවිනි. නැව් පෙළක් නැව් සියගණනකින් සමන්විත විය. එහි නාවිකයින් දහස් ගණනක් ගමන් කෙරෙනි. එහි භෝග ප්‍රවාහනය සඳහා වෙනම නැව්ද, අශ්වාරෝහක හමුදාවකට අවශ්‍ය අශ්වයන් ප්‍රවාහනය සඳහා වෙනම නැව්ද ආරක්‍ෂාව සඳහා වු වෙනම නැව්ද තිබුණි යැයි කියවේ. ඊට වසර සියයකට පසුත් යුරෝපීයයන් සතුව තිබුනේ සාපේක්‍ෂ වශයෙන් ඉතා කුඩා නැව්ය. උදාහරණයක් වශයෙන් කොලම්බස්ගේ නැව දිගින් අඩි අනූවක් පමණවූ අතර නැව් පෙලට අයත් වූයේ නැව් තුනක් පමණි. එහි ගමන් කලේ නැවියන් අනූ දෙනෙකි.


මිං පෙළපතේ යොංගල් පාලකයා සමයේ මේ බලවත් චීන නාවික හමුදාවට චීනයේ සිට අප්‍රිකාව දක්වා රටවල් ගණනාවකම සිය අණසක පතුරුවන්නට හැකිවිනි. මේ හමුදාවට අණ දුන්නේ ෂෙං හී නමැති පර්සියානු සම්භවයක් තිබූ සෙනවියෙකි. ඔහුගේ කාර්යය වූයේ මිං පෙළපතේ බලය තහවුරු කිරීමත් විදෙස් රටවලින් ධනය රැස් කිරීමත්ය. ඔහු වරක් ලංකාවට පැමිණ ඔහුගේ අණ නොතැකූ එවකට කෝට්ටේ රජ කල වීර අලකේෂ්වරව කුදලාගෙන චීනයට රැගෙන ගොස් වසර ගණනාවකට පසුව නැවත ගෙනත් හැරලිය බව සඳහන්වේ.  පහලොස්වන සියවසේ මුල් අවුරුදු තිහ තුලදී ෂෙං හී සෙනවියාගේ දේශාටන තුලින් චීන රජය මහත් වස්තු සම්භාරයක් උපයා ගැනින. නමුත් යොංගල්ගෙන් පසු සිහසුනට පත්වූ ඔහුගේ පුත් හොංෂි විසින් චීන රජයේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට තිත තැබිනි. යුධ නැව් තැනු නැව් තටාංගන වසා දැමින. එතැනින් නොනැවතී ෂෙං හී සෙනවියාගේ දේශාටන පිළිබඳ සටහන් රාජ්‍ය ලේඛණ තුලින් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.


චීනය අධිරාජ්‍යවාදී ගමන් මඟින් ඉවතට ගනු ලැබුවේ ඒ වනවිට කොන්ෆියුසියානු ධර්මයෙන් පෝෂණයව තිබූ චීන ජාතික චින්තනයයි සිතිය හැකිය. කොන්ෆියුසියානු උගත්තු හොංෂි රජ සමයේත් ඉන් පසුවත් බලවත්ව සිටියහ. කොන්ෆියුසියානු ධර්මය කරුණාව සහ උපේක්‍ෂාවට මුල් තැන් දුනි. තමන් අකමැති දේ අනුන්නට නොකරන ලෙස අවවාද දුනි. රට වැසියන් යහපත් වන්නේ ඔවුන්ගේ පාලකයින් යහපත්වූ තරමටැයි කියා දුනි. රාජ්‍ය අනුග්‍රහය නොතිබුනත් බුදු දහමත් ඩාඕ දහමත් ඇදහූ සාමාන්‍ය වැසියන් එවකට චීනයේ ජීවත්වූහ. ඒ නිසා චීන රජයේ ආක්‍රමණික කටයුතු ජාතිකත්වයක් තිබුණු මිං පෙළපතේ පාලකයින්ට කැප නොවූවා විය හැකිය. ඒ අනුව පහලෙස්වන සියවසේ මැද භාගයේදී චීන රජය තම අධිරාජ්‍යවදී ව්‍යාපෘතිය නැවතුවා පමණක් නොව ඒ පිළිබඳ චීන ඉතිහාස පොත්වල ඉඩ නොතැබීමට පවා ක්‍රියා කලේ ඒවැනි වැරුද්දක් අනාගතයේ පවා සිදුවීම වලකාලන්නට විය හැකිය.


එදා සිටි කොණ්ඩය බැඳි චීනුන් පැහැදිලිවම තම ජාතික චින්තනයට එකඟව තීරණයක් ගත් බව මගේ හැඟීමය. හොංෂි රාජ සභාවේ කොන්ෆියුසියානු උගත්තුන් ෂෙං හී සෙනවියාගේ නාවික ගමන් නැවතු බව ඉංගී්‍රසි ජාතික ජෝසප් නීඩ්හැම් දැන සිටියත් ඔවුන් එසේ කලේ ඇයිදැයි ඔහුට අවබෝධයක් තිබුනු බව නොපෙනේ. නීඩ්හැම් වැනි චීනය යුරෝපය තරම් දියුණු නොවුනේ ඇයි දැයි සෙවූ බටහිර උගතුන්ට අනුව එදා චීනුන් ගත් තීරණය තමන් සෙසු ලෝකයෙන් හුදකලා කර ගැනීමේ අරමුණෙන් ගත් අනුවණ තීරණයක් විය. බටහිරුන් එසේ සිතීම පුදුමයක් නොවේ. ෂෙං හී සෙනවියාගේ දේශාටණ නැවතී වසර හැටකට පමණ පසු වස්කෝ ද ගාමාගේ ඉන්දියාව “සොයා” ගැනීමත් සමඟ ඇරඹි බටහිර අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය  තම රටවල ඊනියා දියුණුවට පාදක වුනු බව ඔවුහු දනිති. දහ අට වන සියවස අග භාගයේ එංගලන්තයේ සිදුවුන කාර්මික විප්ලවයට මූල්‍ය ධනය සැපයූවේ ඔවුන්ගේ හිරු නොබහින අධිරාජ්‍යයේ සිටි අපේ මුතුන්මිත්තෝය. එකල ඊස්ට් ඉනඩියා සමාගමේ ආදායම එංගලන්ත රජයේ මුලු ආදායමෙන් තුනෙන් එකක් පමණ විනි. කාර්මික විප්ලවය අනිත් අතට ඔවුන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරමින් පවත්වාගෙන යන්නටද උදව්වක් විනි. කාර්මික විප්ලවයත් අධිරාජ්‍යවදී ව්‍යාපෘතියත් අතර තිබුනේ චක්‍රීය බවකි.


දහනමවෙනි සිය වස ආරම්භය වනවිට අධිරාජ්‍යවදී ව්‍යාපෘති ආරම්භකල අනිකුත් යුරෝපීය රටවලට වඩා එංගලන්තය වඩා වැඩි භූමි ප්‍රදේශයක් යටපත් කරගෙන සිටියහ. කාර්මික විප්ලවය ආරම්භවූයේ වෙන කිසි යුරෝපීය රටක නොව එංගලන්තයේය. අනිකුත් යුරෝපීය රටවලට ඉංග්‍රීසීන්ගේ තාක්‍ෂණය යම් කලක් යනතුරු අවශෝශණය කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොතිබිනි. මේ කරුණු වලින් තහවුරු වෙන්නේ ඉංග්‍රීසීන්ගේ කාර්මික විප්ලවයත් අධිරාජ්‍යවදී ව්‍යාපෘතියත් අතර තිබුන චක්‍රීය බවය. ඊට පදනම වූයේ නාවික හමුදා බලයය. ඒ අනුව බලන කල විශිෂ්ඨ නාවුක හමුදාවකට සහ උසස් තාක්‍ෂණයකට හිමි කම් කී පහලොස් වන සියවසේ චීනුන් බටහිරුන් මෙන් අධිරාජ්‍යවදී මඟක් ගත්තා නම් කාර්මික විප්ලවයක් සිදු කරුනු ඇත්තේ චීනුන්ය. එය එසේ වූයේ නම් බටහිරුන් අද ලබා ඇති ඊනියා දියුණුව චීනුන් විසින් අත් කරගන්නේ මීට වසර සියයකට පමණ ඉහතදීය. එසේවිණි නම් මේ වනවිට ලොව පුරා මීටත් වඩා මිනිස් සත්ව පරිසර ඝාතනයක් සිදුවන්නට ඉඩ තිබිනි. අපි සමහර විට ඉංග්‍රීසි වෙනුවට චීන බස ඉගෙන ගන්නට තිබිනි. අද අප අතර සිටින බටහිර ගැත්තන් චීන ගැත්තන් වන්නට ඉඩ තිබිනි. නමුත් පහලොස් වන සිය වසේ හුන් කොණ්ඩය බැඳි චීනුන්ට තම සදාචාරයට අනුව ජාතියේ ඉදිරි ගමන හසුරුවා ගැනීමට තරම් ශක්තියක් තිබිනි. චීනුන් තමන්ට හැකියාවක් (බටහිරුන්ගේ මිණුමෙන්) තිබියදීත් ඊනියා කාර්මික විප්ලවයක් නොකලේ එය ඔවුන්ගේ සදාචාරයට පටහැනි වුණ නිසාය. ඔවුන්ගෙත් අපෙත් අවාසනාවට විසිවන සියවස වන විට ඒ ශක්තිය ඔවුන් අතින් ගිලිහී ගියේය. සංස්කෘතියෙන් පරාජය ලබා සිටියත් සිංහලුන් අතින් ජාතිකත්වය තවම ගිලිහී නැත. එදා සිටි කොණ්ඩය බැඳි චීනුන් මෙන් අපිදු නොබියව අපේ චින්තනය මත පදනම්ව අපේ ඉදිරි ගමන පිළිබඳ තීරණ ගත යුතුවෙමු.


5 comments:

  1. Cheng Ho චීන ජාතිකයෙක්. ආගම ඉස්ලාම් විය හැකියි.

    ReplyDelete
  2. චෙන්ග් හ චීන ජාතිකයෙක් පර්සිඅන් නෙමෙයි. ආගම ඉස්ලාම් විය හැකියි.

    ReplyDelete
  3. මම හිතුවේ ඔහුගේ පියා පර්සියානු ජාතිකයෙක් කියායි. කෙහොමටත් ෂෙං හෝ චීන මුස්ලිම් තමයි

    ReplyDelete
  4. ස්තුතියි දෑනුවත් කලාට..

    ReplyDelete