Saturday, May 4, 2013

ජාතික ව්‍යාපාරයට වැඩක්


පරිසර දුෂණයත් දේශපාලණයේ ඇති දුෂණයත් අපි දකින ආකාරයට හුදෙක් අකුසල් ක්‍රියාය. බරහිරුන් කරන්නේ මේ අකුසල් හැකි තරම් මිනිසුන්ට නොපෙනෙනෙසේ හැංඟීමය. නමුත් කෙතරම් හැංඟුවත් පව් පලදෙනවාමය. ඒ නිසා පව් නැති කිරීමට මිස පව් හැංඟීමට යාම ඵලක් නැත. පසුගියදා බංගලාදේශයේ ඇඟළුම් කම්හලක් කඩා වැටී මිනිසුන් සිය ගණනක් මිය ඇදිනි. එහි ඇඳුම් මැසුනේ ඇමරිකාවේ පරිභෝජනය සඳහාය. නමුත් බොහෝවිට ඇමරිකාව මේ මිය ගිය ඇත්තන්ගේ පවුල්වලට සහණාදාරයක් නොදෙනු ඇත. ඒ බැරි නිසා නොව එය පුරුද්දක් කර නොගත යුතුයැයි ඔවුන් සිතන නිසාය. මෙසේ ඇමරිකාවේ වෙලඳපලට එන ඇඳුම් සියල්ලක්ම එහි විකිනෙන්නේ නැත. මන්ද විලාසිතා නිතර වෙනස් වෙන බැවිනි. විකුණාගත නොහැකි ඇඳුම් ඉවත් කිරීම ඇමරිකාවේ වියදම් අධික පරිසර දූෂණය වැඩි ක්‍රියාවලියකි. ඒ නිසා ඔවුන් කරන්නේ ඒවා පොට්ටනි ගසා බරට අනුව අප්‍රිකාවට යැවීමය. අවසානයේ මේ නිමි ඇඳුම් නවතින්නේ අප්‍රිකාවේ කසල ගොඩ වලය. එහි සිදුවන පරිසර දුෂණය පවකි. බංගලාදේශයේ කම්කරුවන්ට අඩු පඩි ගෙවීම පවකි. රටින් පිට සිදුවෙන නිසා ඇමරිකානුවන් බොහෝ දෙනෙකු තමන් පව් සිදු කර ගන්නා බවවත් නොදනිති. ඒ හැරත් මේ සියලු පව් බටහිර දැනුම පාවිච්චි කර අපෙන් වසං කර ඇත. බරහිරුන් අපට උගන්වා ඇත්තේ මේ අකුසල් ක්‍රියා ආර්ථිකයේ ස්වභාවික සිදුවීම් ලෙස සැලකීමටය. නමුත් එය එසේ අර්ථ දැක්වීම පව් හැංඟීමක් පමණි.

බටහිර සිදුවන විවිධාකාර දුෂණ අප නොදකින්නේ ඔවුන් මේ ආකාරයට සූක්‍ෂම ලෙස තම පාප ක්‍රියාවන් හංඟන බැවිනි. අපි ඔවුන් පසු පස වසරක පණහක් පමණ පිටුපසින් සිටින නිසා අපි තවමත් ඔවුන්ගේ පව් හංඟන කලාව හරි හැටි ඉගෙන ගෙන නැත. උගත් පාඩම් කොමිසමක් ඇමරිකානුවන් කලානම් එය තමන්ට අවාසි සහගත විදිහට පවත්වා ගන්නේ නැත. නමුත් අපි ඔවුන්ගේ ඊනියා කලාව නොදන්නා නිසා ඔවුන්ට ඔවුන්ගේ මහා පරිමාණ දුෂණ හංඟාගෙන අපේ කුඩා පරිමාණ දුෂණවලට ඇඟිලි දික් කරන්නට හැකිවී ඇත. එපමණක් නොවේ අපේ කුඩා පරිමාණ දුෂණ මහා දුෂණ ලෙස දකින්නටද අපට උගන්වා ඇත. අද අප රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ සිදුවන ක්‍රියාවන් මහා දුෂණලෙස දකින එක් හේතුවක් එයය. දේශපාලණ ක්‍ෂේත්‍රයේ දුෂණ ඇත. අපි ඒ නැති කල යුතුය. නමුත් ඒවා හැංඟිය යුතු නොවේ.


ආණ්ඩුවට කැමති වුවත් අකමැති වුවත් බහුතරයක් සිංහල බෞද්ධයින්ගේ දේශපාළන චින්තනයෙන් ජාතිකත්වය තවමත් ගිලිහී නැත. ඒ නිසා මේ ආණ්ඩුව නෙරපා විදේශ බල වලට අවශ්‍ය ජාතික විරෝධී ආණ්ඩුවක් පිහිටුවොත් ඒ අණ්ඩුව මීටත් වඩා දූෂිත ආකාරයට පවත්වාගෙන යාමට සිදුවනු ඇත. මන්ද එවැනි ආණ්ඩුවක පැවැත්ම සඳහා ජාතික ව්‍යාපාරය මැඩ පවත්වා ගන්නට සිදුවන නිසාය. නමුත් විජාතික ආණ්ඩුවක් මීට වඩා කාර්යක්‍ෂම ලෙස තම දුෂණය වසං කරනු ඇත නමුත් ඒ අපේ විසඳුම නොවේ. අපට අවශ්‍ය මේ ආණ්ඩුවේ දුෂණය නවතා දමන්නේ කෙසේද යන්නය. මේ අණ්ඩුව බලයට ගෙන ආ ජාතික ව්‍යාපාරයට ඒ ගැන කල හැක්කේ කුමක්ද?


ජාතික ව්‍යාපාරය දේශපාලණ සංවිධානයක් තබා සංවිධාණයක්වත් නොවේ. එහි විවිධ මත නිර්මාණය කරන්නෝ වෙති. විවිධ නියමුවෝ වෙති. විවිධ මත දරන අනුගාමිකයෝ වෙති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයට අනුව අවසානයේ ගත් කල මේ සැම දෙනාම ඡන්ද දායකයෝය. ඒ ක්‍රමය තුල ජාතික ව්‍යාපාරය යනු ජාතිකත්වය මත පිහිටා තම ඡන්දය පාවිච්චි කරන මිනිසුන් සමූහයක් පමණි. ආණ්ඩුවේ දූෂිත බවට එරෙහිව ඒ මිනිසුන්ට කල හැක්කේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමය. එය කළ හැක්කේ මැතිවරණයකදීය. ඒ නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල රජයේ දුෂණය නතර කර ගන්නා ලෙස ඊට දැනෙන බලපෑමක් කිරීමට අද රජයට පක්‍ෂ ඡන්ද දායකයින්ටවත් විපක්‍ෂ ඡන්ද දායකයින්ටවත් අවකාශයක් නැත. ආණ්ඩුවේ ඇතුලතින්ද එය කෙරෙන බවක් නොපෙනේ. ඒ ගැන පුදුම විය යුතු නැත්තේ රජයට සම්බන්ධ මැති ඇමති වරුන් සහ නිළධාරීන් බොහොමයකට ජාතිකත්වයක් නැති බැවිනි. මේ නිසා පක්‍ෂ විපක්‍ෂ සියලු ඡන්ද දායකයින්ට තම අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ඊලඟ ඡන්ද විමසුම එන තෙක් බලා සිටිනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැත. එසේ නම් ඊලඟ ඡන්ද විමසුමේදී ජාතික ව්‍යාපාරයේ කාර්ය භාරය කුමක් විය යුතුද?


මී ලඟට එන ඡන්ද විමසුමේදී පමණක් නොව තව ඡන්ද විමසුම් ගණනාවක් යන තෙක් රටේ දේශපාලණ බෙදීම සිදුවනු ඇත්තේ දූෂණය සම්බන්ධයෙන් නොව ජාතිකත්වය මතය. මෙරට රාජ්‍ය බලය විදේශ බලවේග වලට මුහුණදීමට හැකි තරම් ශක්තිමත් වනතාක් කල් එය එසේ විය යුතුය. මේ වනවිට බටහිරුන් තම රටවල ශක්තිමත් රාජ්‍යයන් ගොඩනඟාගෙන ඇත. ඒ රාජ්‍යයන්ට විදේශ බලවේග වලට බලපෑම් කල නොහැක. බටහිර රටවල බෝම්බ පිපිර වීම මඟින් ත්‍රස්තවාදීන්ට කළ හැක්කේ බටහිරුන් කෙරෙහි ඔවුන්ගේ ඇති වෛරය ප්‍රකාශ කිරීමට පමණි. ඒ හරහා ඒ රටවල කෙරෙන විජාතික දේශපාලණයක් නැත. බටහිරුන්ට ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා ඇත්තේ ජීවිත හා දේපළ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්ණයකි. ඒ හැරෙන්නට ඔවුන්ට තම ස්වෛරීය බව පිළිබඳ ප්‍රශ්ණයක් පැන නැගෙන්නේ නැත. ඒ නිසා බටහිර රටවල ත්‍රස්තවාදී ප්‍රශණයත් අපට තිබූ ත්‍රස්තවාදී ප්‍රශ්ණයත් එකම නොවේ. අපි ඒ දෙකම එක යැයි කියන්නට යෑමෙන් කරන්නේ බටහිරුන්ට කොලේ වසා ගැසීමට ඉඩක් ලබා දීම පමණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් පසුත් අදත් ජාතික ව්‍යාපාරයට එරෙහිව ක්‍රියා කෙරෙන විජාතික බලවේග ඇත. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ සිට මෙරට ක්‍රියාත්මක වුනු එන්ජීඕ කණ්ඩායම්, මෙරටට විටින් විට පැමිණ බලය පෙන්වා ගිය විදේශ ඇමතිවරු එදා උත්සාහ කලේත් අද ඇමරිකාව හා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සම්මේලණය හරහා උත්සාහ කරන්නේත් මෙරට ජාතික ව්‍යාපාරය ආම්බන් කිරීමට කිරීමය. බටහිරුන් එසේ කරන්නේ ජාතික ව්‍යාපාරය විරුද්ධව සිටින්නේ ඔවුන්ට මිස මෙරට සුලු ජාතීන්ට නොවන බව දන්නා නිසාය. මේ බලවේග සැමදා නොවපතිනු ඇත. නමුත් ඒ පවතිනතාක් කල් ඉදිරි මැතිවරණ හා ජනාධිපතිවරණ වලදී රටේ දේශපාලණ බෙදීම සිදුවිය යුත්තේ ජාතික හා විජාතික ව්‍යාපාර අතරය. ජාතික ව්‍යාපාරයේ වගකීම එය එසේ වන බවට වග බලා ගැනීමය.


රටේ බහුතරයක් සිංහලුන්ගේ දේශපාලණය තවමත් ජාතිකත්වය මත පදනම්ව පවතී. ඒ නිසා ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී දේශප්‍රේමී ජනතාව තමන්වෙත නම්මවා ගැනීමට විජාතික බලවේග උත්සාහ කරනු ඇත. ඒ එසේ නොකර ඡන්දයක් දිනිය නොහැකි නිසාය. සමහරක් විජාතික බලවේග වඩාත්ම ජාතිකත්වයක් ඇත්තේ තමන්ට යැයි කියනු ඇත. තව කොටසක් රාජ්‍යයට එරෙහිව පවත්නා විදේශ බලවේග නැතැයි කියමින් විවාදය වෙනතකට යොමු කරනු ඇත. මේ සියලු කතන්දර වල පොදුබවක් ඇත. ඒ සියල්ලක්ම ගෙතී ඇත්තේ ජාතික පිලේ සිටින ඡන්ද දායකයින් තම පිලට ඇද ගැනීම සඳහාය. ඔවුන් එසේ කරනු ඇත්තේ තමන්ට ජාතිකත්වයක් ඇති බව පෙන්වමිනි. ජාතික ව්‍යාපාරය මෙසේ ජාතික වෙස් මුහුණු දමා ගෙන පැමිණෙන විජාතික බලවේග වල වෙස් මුහුණු ගැලවිය යුතුය. ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී ජාතික ව්‍යාපාරයේ මූලික වගකීම විය යුත්තේ ජාතිකත්වයක් ඇති රජයක් බිහි කර ගැනීමය. ඒ සඳහා ජාතික ව්‍යාපාරය සෘජුවම මැදිවී තමන් වෙත ඡන්දය ඉල්ලමින් පැමිණෙන දේශපාලකයින්ට ජාතිකත්වය මත පදනම්ව චරිත සහතිකදී ඔවුන් පාර්ලිමේන්තු යවනවාද නොයවනවාද යැයි තීරණය කල යුතුය. අවසානයේ ජාතික ව්‍යාපරයෙන් හොඳ චරිත සහතිකයක් නොමැතිව රටේ දේශපාලණ බලයක් ලබා ගත නොහැකි තත්වයක් රටේ දේශපාලණ ක්‍ෂේත්‍රය තුල ඇති කර ගත යුතුය.


මෙතෙක් කල් ජාතික ව්‍යාපාරය සටන් කලේ මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමටය. නමුත් අද පාර්ළිමේන්තුවේ සිටින මැති ඇමති වරුන්ගෙන් ජාතිකත්වයක් ඇති අය සිටිනවානම් ඒ අතලොස්සක් පමණි. ඒ නිසා ඉදිරියේදී ජාතික ව්‍යාපාරයේ සටන හුදෙක් ආණ්ඩු බලය ලබා ගැනීමට පමණක් නොව ජාතිකත්වයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීම දක්වා වර්ධණය කර ගත යුතුය. හැකි නම් ජාතිකත්වයක් ඇති පළමු පෙලේ නිළධාරී මණ්ඩළයක් ඇති කර ගැනීම දක්වාම සටන දිගු කර ගත යුතුය. එවැනි පුද්ගලයින්ගෙන් සමන්විත ආණ්ඩුවක දුෂණය අවම වෙතැයි අපේක්‍ෂා කල හැකිය. ඉන් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ බලයද වැඩි වනු ඇත. ආණ්ඩු මූලික වශයෙන් දුෂිත වෙන්නේ බලය රැක ගැනීම අරභයා කටයුතු කිරීම නිසා වක්‍රාකාරයෙන්ද ඒ හරහා ආණ්ඩුවේ දුෂණය අවම කර ගත හැකිය. වඩා වැදගත් ලෙස ඒ හරහා ජාතික ව්‍යාපාරයත් රාජ්‍ය බලයත් අතර අන්නෝන්‍ය සම්බන්ධකමක් ගොඩ නැඟෙනු ඇත. අද මූලික ප්‍රශණය වී ඇත්තේ රජයත් ජාතික ව්‍යාපාරයත් අතර තිබිය යුතු මේ අන්නෝන්‍ය සම්බන්ධකම ගිලිහී තිබීමය.

1 comment:

  1. සහෝදරය මේක ලියන අධිකාරීවාදී ස්වරූපය (වචනෙ හරිද දන්නෙ නැහැ, අදහස් කළේ authoritative කියන එක) ඇත්තටම අගය කළ යුතුයි. වැරදිලාවත් මේ තියෙන සමහර අනාවැකි වැරදුනොත් තමුන්ගෙ පටි රෝල් කියන එක නොසළකා තමුන් විශ්වාෂ කරන දේ කෙළිං ලියන එක තමයි නියම ඍජුපටිපන්න ගුණය.

    (පසුගිය ජනාධිපතිවරණෙදි මහින්දව පන්න ගන්න තමුන්ට තිබුණ සැබෑ උවමනාවත් පසෙකලා ෆොනෙසේකට ඡන්දෙ දෙන්න කියන්න ගිහිං තමුන්ගෙ පටි රෝල් වෙයි කියන බයට අන්තිම මොහොතෙදි වික්‍රමබාහුට ඡන්දෙ දෙන්න කියපු බ්ලොග් ඔස්තාර් මේක කොහෙ හරි ඉඳං කියවන නම් තමයි හොඳ.)

    - ප්‍රභංග.

    ReplyDelete