Saturday, May 25, 2013

චක්‍රීය කාලය හා වංශකථා


මා පාසල් යන අවධියේදී මහාවංශය පාසල්වල උගැන්වුනේ නැත. ලංකා ඉතිහාසය විශයමලාවෙන් ඉවත් කිරීමට එවකට බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුවේ සිටි කොමියුනිස්ට් කාරයින්ට උවමණාවක් තිබුනාදැයි සැක සිතෙන්නේ අද මේ ආණ්ඩුවේ සිටින එවැන්නන් වැඩ කරන ආකාරය දකිද්දීය. ඉතිහාසය පාසලේ නොඉගැන්වීම ගැන විරෝධයක් එකල සමාජයේ තිබුණාදැයිවත් මම නොදනිමි. ඒ කාලයේ විශ්ව විද්‍යාල අචාර්යවරු අදමෙන් අධ්‍යාපනය රැක ගැනීම සඳහා පෙළපාලි ගියේ නැත. කෙසේ වෙතත් එවකට සිටි අධ්‍යාපණ ඇමතිතුමා පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයකට පැමිණෙද්දී ඔහු පිළිගැනීම සඳහා පාසලේ සිසුන් දෙදහස් ගණනක් පමණවූ අප සියලු දෙනාම එක්ව පිළිගැනීමේ ගීතය ගයන්නට මාස ගණනක් පුහුණුවන විට නම් යම් දීන බවක් දැනුන බව මට මතකය. 


මම අද වැඩිහිටියෙකුව ලංකා ඉතිහාසය හදාරමි. බටහිර සංස්කෘතිය තුල ඉතිහාසය ලියන ආකාරයත් මහාවංශය ලියා ඇති ආකාරයත් අතර වෙනසක් ඇති බව පැහැදිලිය. මූලික වශයෙන් බටහිරුන්ට ඉතිහාසය හුදෙක් වාර්තාවකි. ඔවුන්ට වැදගත් වන්නේ යම් රටකට ජාතියකට අදාල සිදුවීම් කාලයේ පෙල ගැස්සවීමය. ඒ අතින් බලන කල අපේ වංශකථා ඉතිහාස කථා නොවේ. අපේ වංශ කථාවල අරමුණු දෙකක් ඇතැයි මම සිතමි. එකක් නම් ජාතියක් වශයෙන් අපි පැවත එන්නේ කාගෙන්ද යැයි කියා දීමය. අනික අතීතයේදී ඔවුන් විසින් අත් කරගත් උසස් තත්වයක් පෙන්වාදී අද ජීවත් වන උන්ට අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරවීමය. මේ කරුණු දෙක එකිනෙකින් ස්වායත්ත නොවෙන බව පැහැදිලිය. බටහිරුන්ගේ ඉතිහාස වාර්තා වලින් මේ කාරණා උකහා ගන්නට හැකි වුනත් වංශකථා එසේ නොවේ. වංශකථා ලියැවෙන්නේ මේ කරුණු ඉගැන්වීමටමය. 


අපේ වංශකථාවල අතීතයත් අනාගතයත් ගැලපීම වැදගත් යැයි මම සිතමි. එහි චක්‍රීය බවක් ඇත. අචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දෙන ආකාරයට අපේ ඉතිහාසය ජීවමාන වන්නේ මේ අතීත-අනාගත සම්බන්ධය නිසායැයි මම සිතමි. මේ චක්‍රීය බව පැන නඟින්නේ සිංහල බෞද්ධයින්ගේ කාලය පිළිබඳ සංකල්පයෙන් යැයි මම සිතමි.


යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල කාලය යන සංකල්පය තේරුම් ගන්නා ආකාරයට එය නොනවත්වා ගලා යයි. ඔවුන්ට කාලය කියා ඊනියා භූතාර්ථයක් ඇත. ථේරවාදී බුදුදහමට අනුව කාලය කියා දෙයක් නැත එය මනසේ පැනවීමක් පමණි. මනසේ පණවා ගන්නා කාලය අපි ඔරලෝසුවෙන් මනින සම්මතයක් ලෙස ගන්නා කාලය නොවේ. එකිනෙකින් වෙනස් අවස්ථා දෙකක් සහ ඒ පිළිබඳව ඇති මතකයක් ඇසුරින් කාලය යැයි යමක් මිනිස් මනසේ පනවාගනී. ඒ අනුව මනසට පණවා ගත හැකි කුඩාම කාලය ක්‍ෂණයක් වන අතර එයටද හේතු වන්නේ අවස්ථා දෙකකි. මේ අවස්ථා දෙක පිළිබඳව අපට කුමක් කිව හැකිද? ඉන් එකක් ඇති වන්නේ අනිකට පසුවද? මේ අවස්ථා දෙක කාලයේ පෙළ ගැස්වීමට නම් කාලය රේඛීයව ගලා යන ඊනියා භූතාර්ථයක් යැයි මුලින් අර්ථ දක්වා ගත යුතුය. ථේරවාදී බුදුදහම තුල එවැනි අර්ථ දැක්වීමක් නොකෙරෙන නිසා එක් අවස්ථාවක් ඇතිවන්නේ අනිත් අවස්ථාවට පෙරද පසුවද යන්න තේරුමක් නැති ප්‍රශ්ණයකි. නමුත් ඒ බව නොසලකා මේ අවස්ථා දෙකින් එක් අවස්ථාවක් වර්තමානය ලෙස හඳුන්වාගත හොත් අනිත් අවස්ථාව අතීතය හෝ අනාගතය හෝ යැයි කිව හැකිද? මෙහිදී අපට කිව හැක්කේ අනිත් අවස්ථාව අතීතයද වර්තමානයද විය හැකි බවය. ආකෘතියකින් දක්වනවා නම් අපිට මේ අවස්ථා දෙක වෘත්තයක විශ්කම්භයේ ඇති ලක්‍ෂ දෙකකින් පෙන්නුම් කල හැකිය.  උදාහරණයක් වශයෙන් අපි එක් අවස්ථාවක් ඔරලෝසුවේ අංක දොලහ ඇති තැනත් අනිත් අවස්ථාව අංක හය ඇති තැනත් තැබිය හැකිය. අංක දොලහ ඇති තැන වර්තමානය යැයි හඳුන්වා එහිසිට ඔරලෝසු කටුව යන අතට බැලූ විට අංක හය ඇති තැන අනාගතය ලෙස හැඳින්විය හැකි අතර ඊට විරුද්ධ අතට බැලූ විට අංක හය ඇති තැන අතීතය ලෙස හැඳින්විය හැකිය. එනම් එක් අවස්ථාවක් වර්තමානයැයි ගත් විට අනිත් අවස්ථාව අතීතය මෙන්ම අනාගතයද වේ. මෙහි චක්‍රීය බවක් ඇත. මේ ආකාරයට අවශ්‍යනම් අපිට මනසේ පැනවෙන කාලයට චක්‍රීය බවක් ලබා දිය හැකිය. 


මනසේ පැනවෙන කාලයෙහි ඇති චක්‍රීය බවින් කියැවෙන්නේ ඉතිහාසයේ සිදුවූදේ නැවත නැවතත් සිදුවන බව නොවේ. සමහරවිට ඉතිහාසයේ සිද්ධීන් දෙකක් අතර යම් සමානකමක් හඳුනාගැනීමට අපට හැකිය. උදාහරණයක් වශයෙන් කැලණිතිස්ස රජ සමයේ සිදුවිනැයි සැලකෙන මුහුදු ගොඩ ගැලීමත් දෙදහස් හතරේ පැමිණි සුනාමියත් අතර සමානකමක් තිබිය හැකිය. නමුත් ඒවා එකමයැයි පැවසීමට නොහැකිය. එසේ පැවසීමට නම් ඊට අදාල දැනගත හැකි සියලු කාරණා එක සමාන විය යුතු අතර නිරීක්‍ෂකයා ඒ සිද්ධීන් දෙක අතර නොවෙනස්ව හිඳිය යුතුය. ඉතිහාසයේ සිදුවූදේ නැවත නැවතත් සිදුවේ යැයි කථා ගෙතෙන්නේ කාලය නොනවත්වා ගලා යන වාස්ථවික භූතාර්ථයක්ය යන පදනමෙනි. ඒ කථා අපට අදාල නැත. මනසේ පැනවෙන කාලයේ චක්‍රීය යැයි කීමෙන් අදහස් වන්නේ කාලය පැනවීිමත් සමඟම අනාගතය පිළිබඳව බලාපොරොත්තුවත් අතීතය පිළිබඳව දැනීමත් එකම සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවන බවය. මේ අතීතය-අනාගතය මනසින් පනවන කාලයෙන් කාලයට වෙනස්විය හැකිය.


මිනිසුන්ට මෙන්ම ජාතියකටද මනසක් ඇතැයි සිතිය හැකිය. ජාතියේ මනසේද කාලය පැනවේ. ජාතියක් තම මුතුන් මිත්තන් ගැන සිතන්නේ එවැනි අවධියකය. ඒ සමඟම ඔවුන් තම අනාගතය ගැනද අතීතය තුලින් බලාපොරොත්තු ඇති කර ගනිති. වංශකථාවල ඇත්තේ අපේ මුතුන් මිත්තන්ගේ කෙරුම් සහ අපේ අනාගත බලාපොරොත්තුය. එහිද චක්‍රීය බවක් ඇත.


අද අපි එළඹ සිටින්නේ නැවතත් වංශකථා ගොතන අවධියක විය යුතුය. එය බටහිරුන්ගේ ඉතිහාස වාර්තාවක් කර නොගැනීමට බිය විය යුතු නැත. මනසේ පැනවීම්වල මෙන්ම වංශකථා වලද අතීත-අනාගත සම්බන්ධ කම් වෙනස් විය හැකිය. නමුත් අපි මෙතෙක් නැගගෙන ආ හිනිමඟට පහර නොගැසීමට පමණක් වග බලා ගත යුතුය.

Monday, May 20, 2013

බුදුන් වහන්සේ වැඩ හිටියේ ලංකාවේද?


මිතුරෙකු විසින් පෙන්වාදෙනු ලදුව මීවනපලානේ සිරි දම්මාලංකාර හිමියන්ගේ අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි යන පොත මම කලකට ඉහතදී කියෙව්වෙමි. එහි එන සමහරක් කරුණු උන්වහන්සේ දැන ගත්තේ කෙසේද යන්න ඉන් හෙළි නොවුනත් බුදු උපත පිළිබඳ දැනට ඉන්දියාව අළලා ගෙතී ඇති කථාව ප්‍රශ්ණ කිරීමට තරම් ඒ කරුණු ප්‍රමාණවත් යැයි මම සිතමි. ඊට අමතරව අන්තර් ජාලයේද නොයෙකුත් කන්ඩායම් මඟින් මීට අදාල ඉතිහාස තොරතුරු පළ කර ඇත. ගෞතම බුදුන් උපන්නේ ලංකාවේ නම් ඊට වඩා වැදගත් දෙයක් සිංහල බෞද්ධයින්ගේ ඉතිහාසයේ තිබිය නොහැකියි. එය සත්‍යයක් නම් අපි අපේ ඉතිහාසය විජයගේ ලංකා ගමණින් නොව බුදු උපතින් ආරම්භවන ලෙස නැවත ලියා ගත යුතුයි. නමුත් අද බහුතරයක් බෞද්ධයින් මේ කථාව පිළිගන්ට සූදානම් නැත. ඊට සාධාරණ හේතු කිහිපයක් ඇත. ඉන් ප්‍රධාණ හේතුව ලෙස මම දකින්නේ දැනට දන්නා සියලු කරුණු ගොනු කර එක් සංගත කථාවක් ගොතා ගැනීමට මේ පිළිබඳ උනන්දුවන අයට නොහැකි වීමය. ඒ කථාවේ මුලින්ම පිළිතුරු දිය යුතු ප්‍රශ්ණය නම් බුදුන් වහන්සේ ජීවත්වුනේ ලංකාවේ නම් ඒ පිළිබඳව ස්වභාවයෙන්ම සිංහලුන්ට තිබිය යුතුවුන දැනුම ඔවුන් අතින් ගිලිහුනේ කෙසේද යන්නය (බුදු උපත ඉන්දියාවට ආදේශවුනේ කෙලෙසද යන්න එහි අතුරු ප්‍රශ්ණයකි). මේ ප්‍රශ්ණයම නොයෙක් ආකාරයෙන් ඇසිය හැකි බැවින් ඒ සියලු ප්‍රශ්ණවලට එකම කථාවක් පදනම් කරගෙන පිළිතුරු දිය හැකි විය යුතුය. නමුත් එවැනි කථාවක් මා දන්නා තරමින් තවම ගෙතී නැත.

අද බටහිර සමාජයේ පිටසක්වල ජීවීන් හා පියාඹන පීරිසි ගැන නොයෙකුත් කථා අසන්නට ලැබේ. නමුත් මේ කිසි කථාවක් ඒ රටවල සාමාන්‍ය පිලිගත් දැනුමක් බවට පත්වී නැත. ඊට හේතුව ඒ පිළිබඳ සියලු අත්දැකීම් පහදා දිය හැකි යම් පොදු කථාවක් ඔවුන් අතර නොවීමය. ඕනෑම සංසිද්ධියක් තේරුම්ගත හැකි ආකාර එකකට වඩා ඇත. බටහිර විද්‍යාවෙන් කරනු ලබන්නේ එක්කෝ දැනට ගෙතී ඇති කථාවලට ඒ සංසිද්ධිය සංගත කරගැනීමය නැත්නම් අළුත් සංසිද්ධියත් කලින් දැනගෙන සිටි සංසිද්ධිත් අළලා නව කථාවක් ගෙතීමය. කෙසේ නමුත් බටහිර විද්‍යාවෙන් කරන්නේ සංසිද්ධි උපරිම ගණනක් පහදා ගැනීම සඳහා එක් කථාවක් ගොතා ගැනීමය. බටහිරුන් සිතන්නේ ඔවුන් කරන්නේ යථාර්තය පැහැදිලි කර ගැනීමක් බවය. නමුත් ඔවුන් ඇත්තටම කරන්නේ බොහෝ සංසිද්ධි තේරුම් කරදිය හැකි එක් කථාවක් ගෙතීමය. මිනිසුන් සාමාන්‍යයෙන් එවැනි සාධාරණ කථා පිළිගැනීමට කැමතිය. බටහිර විද්‍යා කථා වියුක්තය. ඉතිහාස කථා සංයුක්තය. සංයුක්ත හෝ වියුක්ත වේවා අපිද පිළිගැනීමට කැමති එවැනි සාධාරණ කථාය. ඉතිහාස කථාවක්ද බහුතරයකගේ පිළිගැනීමට ලක්වෙන්නේ ඒ මඟින් සංසිද්ධි ගණනාවක් පහදා ගත හැකි නම් පමණි.බොහෝ ඉතිහාස කරුණුද තේරුම් ගත හැකි විධි එකකට වඩා තිබිය හැකිය. යම් කරුණුක් අවශ්‍ය එක් ආකාරයකට පහදා දීමට නම් කල යුත්තේ ඒ කරුණ අදාල සියලු කරුණු මත සංගත වන ආකාරයේ පොදු කථාවකට ඈඳා ගැනීමය. ඒ ඒ කරුණු සඳහා වෙන වෙනම කථා තිබීම ඒ කිසිම කථාවක් සමාජයේ පැළ පදියම් නොවීමට හේතුවිය හැකිය. 

පියාඹන පීරිසි ගැන ඇති කථාවලට වඩා බුදු උපත පිළිබඳ කථාව වැදගත් බව කිව යුතු නොවේ. නමුත් පියාඹන පීරිසි ගැන කථාවලට වඩා බුදු උපත පිළිබඳ පිළිගැනීමක් අප සමාජයේ ඇති වීමට නම් ඊට අදාල සියලු තොරතුරු සංගතවන වෙන එක් ඉතිහාස කථාවක් තිබිය යුතුය. 

 පසුවදනක්:

බුදුන් වහන්සේ ලංකාවේ වැඩ සිටියා නම් ඒ දැනුම අද අපෙන් ගිලිහෙන්නට බටහිරුන් විසින් අපේ ඉතිහාසය ලිවීම හේතුවක් විය හැකියි. නමුත් එය එකම හේතුව නොවේ යැයි මම හිතමි. දහ නව වන සියවස මුලදීත් ෆිලේතියස් නම් ඉංග්‍රීසි ජාතිකයෙක් ලියූ පොතක බුදුන් ලංකාවේ වැඩ විසූ බවට ජනප්‍රවාද තිබූ බව සඳහන්වේ. මේ කනින්හැම්ගේ කැනීම් වලට ඉහතදීය. මගේ කල්පනාව නම් මේ කථා යම් ප්‍රමාණයකට ජනතාව අතර මෑතක් වනතුරු තිබුනත් බටහිර ආක්‍රමණ වලට බොහෝ ඉහතදීම එනම් බුද්ධ පරිනිර්වානයෙන් සුලු කලකට පසුව දේව හෙලය සංස්කෘතිකව හා දේශපාලණිකව යක්‍ෂ හා නාග හෙලයන්ට පසුබා සිටින්නට ඇත කියාය.  දුටු ගැමුණු රජ සමයේ මේ ගෝත්‍ර එක් කර සිංහල බෞද්ධ රාජ්‍යයක් ගෙඩනැඟීමේදී යක්‍ෂ හා නාග සංස්කෘති මුල් තැනක් ගන්නට ඇති. සමහරවිට තම ආරක්‍ෂාව සඳහාම දේව සංස්කෘතිය ක්‍රමයෙන් ඊට අවශෝෂණය වන්නට ඇති. එතැන් පටන්ම බුදු උපත පිළිබඳවත් බුදු දහම පිළිබඳවත් දේව හෙලයන්ට තිබුනු දැනුම ක්‍රමයෙන් දියාරුවී යන්නට ඇති.
 

Saturday, May 18, 2013

Tamil Sri Lankans, Sri Lankan Tamils and Eelam Tamils



What is happening between Buddhists and Muslims in Myanmar and how it is portrayed by the western media have all the signs of yet another wannabe Arab spring in the making. It is to the credit of the ordinary Sri Lankan Muslims and Sinhalas that they did not fall into the trap. The government should also be applauded for not letting the aggravations escalate. Springs may come and go but problems with regard to minorities need addressed and permanent solutions found. The key to solving them however depends on understanding the problems. 

We know that some Tamils of Sri Lankan origin, living in Sri Lanka and abroad, dream of an Eelam in the northern and eastern provinces of Sri Lanka. There are other Tamils who do not want to secede but want special privileges given to Eastern and Northern provinces through some sort of mechanism such as provincial councils or federalization.  What is common about these aspirations is that they are based on the claim that Eastern and the Northern provinces, as mapped out by the English colonial rulers in the late 19th century, is the homeland of the Tamils of Sri Lankan origin.  Based on their political aspirations alone these Tamils can be called Eelam Tamils. Then there are other Tamils who want to join force with Tamil Nadu to carve out an Eelam from parts of India and Sri Lanka. Because they envision being belonged to a greater Tamil nation with Tamil Nadu at the center, Based on their political aspirations one could identify them as Sri Lankan Tamils. For Sri Lankan Tamils being a Tamil take precedence over being a Sri Lankan. By definition, Sri Lankan Tamils are a subset of Eelam Tamils. It is probable that a large number, if not a majority of Tamils of Sri Lankan origins are Eelam Tamils. 

However, one would hope that there exist at least a minority of “other” Tamils who do not subscribe to the Eelam theory. In mathematical terms these “other” Tamils belong to the complement of the set defined as Eelam Tamils.  It can be assumed that “other” Tamils identify whole of Sri Lanka and not just some parts of it as their homeland and equally importantly they do not identify any part of India as their homeland. Since this is normally true for most Sri Lankans, based on their political aspirations alone these “other” Tamils can be called Tamil Sri Lankans.  One cannot be both an Eelam Tamil and a Tamil Sri Lankan as it would be contradictory. Ideologically Eelam belong exclusively to the Eelam Tamils and Sri Lanka belongs to Sinhalas, Tamils and other minorities. 

It is natural that individual Tamil Sri Lankans want what individual Sinhalas want but can Tamil Sri Lankans as an ethnic group aspire for a unique socio-political status in the Sri Lankan culture beyond what is rightly theirs as individual citizens?

If we look into so called multi-cultural western societies for inspiration the answer to this question is a resounding no. Minority cultures in the west do not enjoy the same status as the majority Christian culture in western countries. In fact, as Dr. Nalin de Silva points out there is no country in this world that practices multiculturalism in the strong sense where all cultures are given the same status. The so called multiculturalism in the west is nothing but a manifestation of personal freedoms. In the west, personal freedom allows one to practice his or her own life style whether it is being a Tamil Hindu or being a body piercer on the condition that fulfilling these personal aspirations does not impact the way of life of the society and its institutions of education, commerce, government, etc. as dictated by the Christian culture.  Therefore if we go by the western standard of multiculturalism, Tamil Sri Lankans must contend with personal freedom to exercise their culture as a life style (or simply as an identity) and must assimilate to the way of life of the dominant Culture in which they live. 

This recipe does not work in Sri Lanka for two reasons. First, in Sri Lankan culture, whether one is a Sinhala or a Tamil, personal freedoms are not considered to be that much important; at least to the extent they are practiced in the western culture. Therefore, freedom to practice one’s culture simply as a life style is not something that Tamil Sri Lankans would be satisfied with. Second, the Sinhala Buddhist culture, though it is the prominent culture in Sri Lanka, is not dominant enough to force people to assimilate to it. One does not see Tamil Hindus being converted to Buddhism en masse in Sri Lanka. We had Veddhas in our country that chose not to assimilate into the Sinhala Buddhist culture for over two thousand years and both were able to live in harmony until recently when the western culture disrupted the way of life of the both. So the reality is that unlike their immigrant cousins of the west, Tamil Sri Lankans will neither be satisfied with a token personal freedom to practice a life style nor they will necessarily assimilate to the prominent culture of the country. The western recipe of multiculturalism will simply not work in Sri Lanka. Therefore if unique aspirations of Tamil Sri Lankans, beyond their civil rights are to be met, they must look for a homegrown solution.

Tamil Sri Lankans’ aspirations can be realized through a nationalist movement based on the Tamil Sri Lankan identity. It can even be suggested that the identity of Tamil Sri Lankans be rooted on a concept of Sri Lankan Hinduism. Sri Lankan Hinduism can be culturally different to Hinduism practiced in any part of India just as Sinhala Buddhism is different to Buddhism in Myanmar, Thailand or Tibet. Through such a nationalist movement Tamil Sri Lankans can aspire for a socio-political status in Sri Lankan culture beyond what their immigrant cousins can hope to achieve in the west. Clearly this is not an encouragement to assimilate to the Sinhala Buddhist culture and those who habitually complain of such motives must ask themselves where else in the world that a nationalist movement of a minority had been tolerated by a majority. 

The Eelam project will not succeed and the Eelam Tamils do not have a choice but to become Tamil Sri Lankans if they are to co-exist with the Sinhalas. It was a project of the Tamil elites to grab power and nationalistic elements, if at all, were only added in recent times. As they say in the west,a pig is a pig even with lipstick on. However the Sri Lankan Tamil nationalist movement must succeed in the interest of the Sri Lankan state. Economic development in the East and North will have a positive impact on the national integration. However cultural projects that merely try to bring Tamils and Sinhalas together socially are only child’s play and will not have the desired effect. These are conducted under the belief that there exist an ethnic strife between Sinhalas and Tamils. This is what the western educated experts want us to believe and we know that this is not the case except may be among the western educated experts themselves. What is needed to accompany the economic development is a grass root nationalist movement of the ordinary Tamil Sri Lankans. The government and the Sinhala Buddhist nationalists must put their weight behind them.

Saturday, May 11, 2013

කාර්මික විප්ලවයක් නොකල කොණ්ඩෙ බැඳපු චීන්නු


මෑතක් වනතුරු ලංකාවේ හා චීනයේ මිනිස්සු පෙරදිග අන් බොහෝ රටවල මිනිසුන් මෙන් කොණ්ඩය බඳින ලදහ. නමුත් අද චීනය රජ කරන්නේ කොණ්ඩය කැපූ චීනුන්ය. චීන මිනිසුන්ගේ කොණ්ඩය කපා දැමුවේ බටහිර සංස්කෘතිය විසිනි. බටහිර සංස්කෘතිය චීන මිනිසුන්ගේ කොණ්ඩය කපා දමමින් කොණ්ඩය බැඳි චීනුන්ගේ සංස්කෘතියද පරාජය කලහ. අද සමහරු කොණ්ඩය බැඳි අපේ පැරැන්නන්ට අවමන් කරන්නේ බටහිර සංස්කෘතිය තොල කට ගා ගැනීම තුලින් ඔවුන් අත් කර ගත් පුහු මානය නිසාය. නමුත් මීට වසර හය සියයකට පමණ ඉහත විසූ කොණ්ඩය බැඳි චීනුන්ට බටහිරුන්ගේ ඊනියා දියුණුව ප්‍රතික්‍ෂේප කරන්නට තරම් සංස්කෘතික ශක්තියක් තිබිනි. ඔවුන් එසේ කලේ පුහු මානයකින් නොව අවශ්‍ය නම් ඊටත් වඩා දෙයක් කරගන්නට තමන්ට හැකියාවක් තිබියදීය.


අපි පාසලේ ඉගෙන ගන්නේ වස්කෝ ද ගාමාගේ හෝ මැගලන්ගේ හෝ එසේත් නැත්නම් කොලම්බස්ගේ වීර ක්‍රියා පිළිබඳවය. නමුත් වස්කෝ ද ගාමාට අප්‍රිකාවේ දකුණු කෙලවරින් එහාට විවෘත සාගරය හරහා ඉන්දියාව දක්වා තම කුඩා නැව් මෙහෙයවා ගන්නට තරම් දැනුමක් නොතිබිනි. පහලොස් වන සියවස අග භාගය වනවිටත් යුරෝපීයන්ට එතරම් දියුණු නාවික තාක්‍ෂණයක් හෝ ශාස්ත්‍රයක් නොතිබිනි. මඟ පෙන්වමින් වස්කෝ ද ගාමා සහ පිරිස අප්‍රිකානු වෙරළබඩ සිට ඉන්දියාවට කැඳවාගෙන ආවේ අරාබි හෝ ඉන්දීය හෝ වෙලඳ නැවියන් විසින් යැයි සඳහන්වේ. එසේ පෙරදිගට පැමිණි මේ පරංගියා තම දෙවැනි ඉන්දියනු ගමනේදී කලිකත් නුවර සිට මක්කම වන්දනාවට යමින් සිටි මුස්ලිම් බැතිමතුන් හාරසියයක් රැගත් නෞකාව මුහුද මැදදී ගිනිබත් කරමින් ඔවුන් සංහාරය කලේ හුදෙක් කලිකත් නුවර අසල වෙරළබඩ ප්‍රදේශ තුල තම අණසක පතුරුවා ලන්නටය. වස්කෝ ද ගාමාගේ ඒ කුප්‍රකට ගමනින් යුරෝපීයයන්ට පෙරදිගට පාර කැපිනි. ඉන් ඉක්බිතිව එංගලන්තය ස්පාඥ්ඥය පෘතුගීසිය ලන්දේශය හා ප්‍රංශය ආසියාවේ විවිධ රටවල තම අධිරාජ්‍යයන් බිහි කර ගත්තේ වස්කෝ ද ගාමාගේ මඟ පෙන්වීමට අනුව ප්‍රචන්ඩත්වයෙනි. 


අපි පාසලේ ඉගෙන නොගන්නේ වස්කෝ ද ගාමාගේ ඉන්දියානු ගමනට වසර හත් සියයකට පමණ ඉහත අනුරාධපුර යුගයේදී සිංහලුන්ට ඊටත් වඩා දියුණු නාවික තාක්‍ෂණයක් තිබුනු වගය. චීන ශිෂ්ඨාචාරය හා විද්‍යාව පිළිබඳ හැදෑරූ ඉංගී්‍රසි ජාතික ජෝසප් නීඩ්හැම්ට අනුව පස් වන සියවසේ සිට අට වෙන සියවස දක්වා පර්සියානු අරාබි සහ සිංහල නෞකා වෙළෙඳාම සඳහා දකුණු චීනයට පැමිණ ඇති බවට චීන ඉතිහාස පොත් සාක්‍ෂි දරයි.  මේ නෞකාවක් දළ වශයෙන් ටොන් පන්සියයක් පමණ බර වූ අතර (වස්කෝ ද ගාමාගේ නැව ටොන් එකසිය අසූවක් පමණ විනි) ඉන් විශාලතම නැව් අයත්ව තිබුනේ සිංහල නැවියන්ට බවද සඳහන්වේ. කෙසේ වෙතත් පහලොස් වන සියවස ආරම්භ වන විට, එනම් වස්කෝ ද ගාමාගේ ඉන්දියානු ගමනටත් වසර සියයක් පමණ ඉහතදී මිං පෙළපත සමයේ චීනයට අති විශාල නාවික හමුදාවක් සතුවිනි. ඔවුන්ගේ විශාලම නෞකාවක් ටොන් එක් දහස් පන්සීයයක් පමණ බරවූ අතර දිගින් අඩි හාරසියයක් පමණවිනි. නැව් පෙළක් නැව් සියගණනකින් සමන්විත විය. එහි නාවිකයින් දහස් ගණනක් ගමන් කෙරෙනි. එහි භෝග ප්‍රවාහනය සඳහා වෙනම නැව්ද, අශ්වාරෝහක හමුදාවකට අවශ්‍ය අශ්වයන් ප්‍රවාහනය සඳහා වෙනම නැව්ද ආරක්‍ෂාව සඳහා වු වෙනම නැව්ද තිබුණි යැයි කියවේ. ඊට වසර සියයකට පසුත් යුරෝපීයයන් සතුව තිබුනේ සාපේක්‍ෂ වශයෙන් ඉතා කුඩා නැව්ය. උදාහරණයක් වශයෙන් කොලම්බස්ගේ නැව දිගින් අඩි අනූවක් පමණවූ අතර නැව් පෙලට අයත් වූයේ නැව් තුනක් පමණි. එහි ගමන් කලේ නැවියන් අනූ දෙනෙකි.


මිං පෙළපතේ යොංගල් පාලකයා සමයේ මේ බලවත් චීන නාවික හමුදාවට චීනයේ සිට අප්‍රිකාව දක්වා රටවල් ගණනාවකම සිය අණසක පතුරුවන්නට හැකිවිනි. මේ හමුදාවට අණ දුන්නේ ෂෙං හී නමැති පර්සියානු සම්භවයක් තිබූ සෙනවියෙකි. ඔහුගේ කාර්යය වූයේ මිං පෙළපතේ බලය තහවුරු කිරීමත් විදෙස් රටවලින් ධනය රැස් කිරීමත්ය. ඔහු වරක් ලංකාවට පැමිණ ඔහුගේ අණ නොතැකූ එවකට කෝට්ටේ රජ කල වීර අලකේෂ්වරව කුදලාගෙන චීනයට රැගෙන ගොස් වසර ගණනාවකට පසුව නැවත ගෙනත් හැරලිය බව සඳහන්වේ.  පහලොස්වන සියවසේ මුල් අවුරුදු තිහ තුලදී ෂෙං හී සෙනවියාගේ දේශාටන තුලින් චීන රජය මහත් වස්තු සම්භාරයක් උපයා ගැනින. නමුත් යොංගල්ගෙන් පසු සිහසුනට පත්වූ ඔහුගේ පුත් හොංෂි විසින් චීන රජයේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට තිත තැබිනි. යුධ නැව් තැනු නැව් තටාංගන වසා දැමින. එතැනින් නොනැවතී ෂෙං හී සෙනවියාගේ දේශාටන පිළිබඳ සටහන් රාජ්‍ය ලේඛණ තුලින් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.


චීනය අධිරාජ්‍යවාදී ගමන් මඟින් ඉවතට ගනු ලැබුවේ ඒ වනවිට කොන්ෆියුසියානු ධර්මයෙන් පෝෂණයව තිබූ චීන ජාතික චින්තනයයි සිතිය හැකිය. කොන්ෆියුසියානු උගත්තු හොංෂි රජ සමයේත් ඉන් පසුවත් බලවත්ව සිටියහ. කොන්ෆියුසියානු ධර්මය කරුණාව සහ උපේක්‍ෂාවට මුල් තැන් දුනි. තමන් අකමැති දේ අනුන්නට නොකරන ලෙස අවවාද දුනි. රට වැසියන් යහපත් වන්නේ ඔවුන්ගේ පාලකයින් යහපත්වූ තරමටැයි කියා දුනි. රාජ්‍ය අනුග්‍රහය නොතිබුනත් බුදු දහමත් ඩාඕ දහමත් ඇදහූ සාමාන්‍ය වැසියන් එවකට චීනයේ ජීවත්වූහ. ඒ නිසා චීන රජයේ ආක්‍රමණික කටයුතු ජාතිකත්වයක් තිබුණු මිං පෙළපතේ පාලකයින්ට කැප නොවූවා විය හැකිය. ඒ අනුව පහලෙස්වන සියවසේ මැද භාගයේදී චීන රජය තම අධිරාජ්‍යවදී ව්‍යාපෘතිය නැවතුවා පමණක් නොව ඒ පිළිබඳ චීන ඉතිහාස පොත්වල ඉඩ නොතැබීමට පවා ක්‍රියා කලේ ඒවැනි වැරුද්දක් අනාගතයේ පවා සිදුවීම වලකාලන්නට විය හැකිය.


එදා සිටි කොණ්ඩය බැඳි චීනුන් පැහැදිලිවම තම ජාතික චින්තනයට එකඟව තීරණයක් ගත් බව මගේ හැඟීමය. හොංෂි රාජ සභාවේ කොන්ෆියුසියානු උගත්තුන් ෂෙං හී සෙනවියාගේ නාවික ගමන් නැවතු බව ඉංගී්‍රසි ජාතික ජෝසප් නීඩ්හැම් දැන සිටියත් ඔවුන් එසේ කලේ ඇයිදැයි ඔහුට අවබෝධයක් තිබුනු බව නොපෙනේ. නීඩ්හැම් වැනි චීනය යුරෝපය තරම් දියුණු නොවුනේ ඇයි දැයි සෙවූ බටහිර උගතුන්ට අනුව එදා චීනුන් ගත් තීරණය තමන් සෙසු ලෝකයෙන් හුදකලා කර ගැනීමේ අරමුණෙන් ගත් අනුවණ තීරණයක් විය. බටහිරුන් එසේ සිතීම පුදුමයක් නොවේ. ෂෙං හී සෙනවියාගේ දේශාටණ නැවතී වසර හැටකට පමණ පසු වස්කෝ ද ගාමාගේ ඉන්දියාව “සොයා” ගැනීමත් සමඟ ඇරඹි බටහිර අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය  තම රටවල ඊනියා දියුණුවට පාදක වුනු බව ඔවුහු දනිති. දහ අට වන සියවස අග භාගයේ එංගලන්තයේ සිදුවුන කාර්මික විප්ලවයට මූල්‍ය ධනය සැපයූවේ ඔවුන්ගේ හිරු නොබහින අධිරාජ්‍යයේ සිටි අපේ මුතුන්මිත්තෝය. එකල ඊස්ට් ඉනඩියා සමාගමේ ආදායම එංගලන්ත රජයේ මුලු ආදායමෙන් තුනෙන් එකක් පමණ විනි. කාර්මික විප්ලවය අනිත් අතට ඔවුන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරමින් පවත්වාගෙන යන්නටද උදව්වක් විනි. කාර්මික විප්ලවයත් අධිරාජ්‍යවදී ව්‍යාපෘතියත් අතර තිබුනේ චක්‍රීය බවකි.


දහනමවෙනි සිය වස ආරම්භය වනවිට අධිරාජ්‍යවදී ව්‍යාපෘති ආරම්භකල අනිකුත් යුරෝපීය රටවලට වඩා එංගලන්තය වඩා වැඩි භූමි ප්‍රදේශයක් යටපත් කරගෙන සිටියහ. කාර්මික විප්ලවය ආරම්භවූයේ වෙන කිසි යුරෝපීය රටක නොව එංගලන්තයේය. අනිකුත් යුරෝපීය රටවලට ඉංග්‍රීසීන්ගේ තාක්‍ෂණය යම් කලක් යනතුරු අවශෝශණය කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොතිබිනි. මේ කරුණු වලින් තහවුරු වෙන්නේ ඉංග්‍රීසීන්ගේ කාර්මික විප්ලවයත් අධිරාජ්‍යවදී ව්‍යාපෘතියත් අතර තිබුන චක්‍රීය බවය. ඊට පදනම වූයේ නාවික හමුදා බලයය. ඒ අනුව බලන කල විශිෂ්ඨ නාවුක හමුදාවකට සහ උසස් තාක්‍ෂණයකට හිමි කම් කී පහලොස් වන සියවසේ චීනුන් බටහිරුන් මෙන් අධිරාජ්‍යවදී මඟක් ගත්තා නම් කාර්මික විප්ලවයක් සිදු කරුනු ඇත්තේ චීනුන්ය. එය එසේ වූයේ නම් බටහිරුන් අද ලබා ඇති ඊනියා දියුණුව චීනුන් විසින් අත් කරගන්නේ මීට වසර සියයකට පමණ ඉහතදීය. එසේවිණි නම් මේ වනවිට ලොව පුරා මීටත් වඩා මිනිස් සත්ව පරිසර ඝාතනයක් සිදුවන්නට ඉඩ තිබිනි. අපි සමහර විට ඉංග්‍රීසි වෙනුවට චීන බස ඉගෙන ගන්නට තිබිනි. අද අප අතර සිටින බටහිර ගැත්තන් චීන ගැත්තන් වන්නට ඉඩ තිබිනි. නමුත් පහලොස් වන සිය වසේ හුන් කොණ්ඩය බැඳි චීනුන්ට තම සදාචාරයට අනුව ජාතියේ ඉදිරි ගමන හසුරුවා ගැනීමට තරම් ශක්තියක් තිබිනි. චීනුන් තමන්ට හැකියාවක් (බටහිරුන්ගේ මිණුමෙන්) තිබියදීත් ඊනියා කාර්මික විප්ලවයක් නොකලේ එය ඔවුන්ගේ සදාචාරයට පටහැනි වුණ නිසාය. ඔවුන්ගෙත් අපෙත් අවාසනාවට විසිවන සියවස වන විට ඒ ශක්තිය ඔවුන් අතින් ගිලිහී ගියේය. සංස්කෘතියෙන් පරාජය ලබා සිටියත් සිංහලුන් අතින් ජාතිකත්වය තවම ගිලිහී නැත. එදා සිටි කොණ්ඩය බැඳි චීනුන් මෙන් අපිදු නොබියව අපේ චින්තනය මත පදනම්ව අපේ ඉදිරි ගමන පිළිබඳ තීරණ ගත යුතුවෙමු.


Saturday, May 4, 2013

ජාතික ව්‍යාපාරයට වැඩක්


පරිසර දුෂණයත් දේශපාලණයේ ඇති දුෂණයත් අපි දකින ආකාරයට හුදෙක් අකුසල් ක්‍රියාය. බරහිරුන් කරන්නේ මේ අකුසල් හැකි තරම් මිනිසුන්ට නොපෙනෙනෙසේ හැංඟීමය. නමුත් කෙතරම් හැංඟුවත් පව් පලදෙනවාමය. ඒ නිසා පව් නැති කිරීමට මිස පව් හැංඟීමට යාම ඵලක් නැත. පසුගියදා බංගලාදේශයේ ඇඟළුම් කම්හලක් කඩා වැටී මිනිසුන් සිය ගණනක් මිය ඇදිනි. එහි ඇඳුම් මැසුනේ ඇමරිකාවේ පරිභෝජනය සඳහාය. නමුත් බොහෝවිට ඇමරිකාව මේ මිය ගිය ඇත්තන්ගේ පවුල්වලට සහණාදාරයක් නොදෙනු ඇත. ඒ බැරි නිසා නොව එය පුරුද්දක් කර නොගත යුතුයැයි ඔවුන් සිතන නිසාය. මෙසේ ඇමරිකාවේ වෙලඳපලට එන ඇඳුම් සියල්ලක්ම එහි විකිනෙන්නේ නැත. මන්ද විලාසිතා නිතර වෙනස් වෙන බැවිනි. විකුණාගත නොහැකි ඇඳුම් ඉවත් කිරීම ඇමරිකාවේ වියදම් අධික පරිසර දූෂණය වැඩි ක්‍රියාවලියකි. ඒ නිසා ඔවුන් කරන්නේ ඒවා පොට්ටනි ගසා බරට අනුව අප්‍රිකාවට යැවීමය. අවසානයේ මේ නිමි ඇඳුම් නවතින්නේ අප්‍රිකාවේ කසල ගොඩ වලය. එහි සිදුවන පරිසර දුෂණය පවකි. බංගලාදේශයේ කම්කරුවන්ට අඩු පඩි ගෙවීම පවකි. රටින් පිට සිදුවෙන නිසා ඇමරිකානුවන් බොහෝ දෙනෙකු තමන් පව් සිදු කර ගන්නා බවවත් නොදනිති. ඒ හැරත් මේ සියලු පව් බටහිර දැනුම පාවිච්චි කර අපෙන් වසං කර ඇත. බරහිරුන් අපට උගන්වා ඇත්තේ මේ අකුසල් ක්‍රියා ආර්ථිකයේ ස්වභාවික සිදුවීම් ලෙස සැලකීමටය. නමුත් එය එසේ අර්ථ දැක්වීම පව් හැංඟීමක් පමණි.

බටහිර සිදුවන විවිධාකාර දුෂණ අප නොදකින්නේ ඔවුන් මේ ආකාරයට සූක්‍ෂම ලෙස තම පාප ක්‍රියාවන් හංඟන බැවිනි. අපි ඔවුන් පසු පස වසරක පණහක් පමණ පිටුපසින් සිටින නිසා අපි තවමත් ඔවුන්ගේ පව් හංඟන කලාව හරි හැටි ඉගෙන ගෙන නැත. උගත් පාඩම් කොමිසමක් ඇමරිකානුවන් කලානම් එය තමන්ට අවාසි සහගත විදිහට පවත්වා ගන්නේ නැත. නමුත් අපි ඔවුන්ගේ ඊනියා කලාව නොදන්නා නිසා ඔවුන්ට ඔවුන්ගේ මහා පරිමාණ දුෂණ හංඟාගෙන අපේ කුඩා පරිමාණ දුෂණවලට ඇඟිලි දික් කරන්නට හැකිවී ඇත. එපමණක් නොවේ අපේ කුඩා පරිමාණ දුෂණ මහා දුෂණ ලෙස දකින්නටද අපට උගන්වා ඇත. අද අප රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ සිදුවන ක්‍රියාවන් මහා දුෂණලෙස දකින එක් හේතුවක් එයය. දේශපාලණ ක්‍ෂේත්‍රයේ දුෂණ ඇත. අපි ඒ නැති කල යුතුය. නමුත් ඒවා හැංඟිය යුතු නොවේ.


ආණ්ඩුවට කැමති වුවත් අකමැති වුවත් බහුතරයක් සිංහල බෞද්ධයින්ගේ දේශපාළන චින්තනයෙන් ජාතිකත්වය තවමත් ගිලිහී නැත. ඒ නිසා මේ ආණ්ඩුව නෙරපා විදේශ බල වලට අවශ්‍ය ජාතික විරෝධී ආණ්ඩුවක් පිහිටුවොත් ඒ අණ්ඩුව මීටත් වඩා දූෂිත ආකාරයට පවත්වාගෙන යාමට සිදුවනු ඇත. මන්ද එවැනි ආණ්ඩුවක පැවැත්ම සඳහා ජාතික ව්‍යාපාරය මැඩ පවත්වා ගන්නට සිදුවන නිසාය. නමුත් විජාතික ආණ්ඩුවක් මීට වඩා කාර්යක්‍ෂම ලෙස තම දුෂණය වසං කරනු ඇත නමුත් ඒ අපේ විසඳුම නොවේ. අපට අවශ්‍ය මේ ආණ්ඩුවේ දුෂණය නවතා දමන්නේ කෙසේද යන්නය. මේ අණ්ඩුව බලයට ගෙන ආ ජාතික ව්‍යාපාරයට ඒ ගැන කල හැක්කේ කුමක්ද?


ජාතික ව්‍යාපාරය දේශපාලණ සංවිධානයක් තබා සංවිධාණයක්වත් නොවේ. එහි විවිධ මත නිර්මාණය කරන්නෝ වෙති. විවිධ නියමුවෝ වෙති. විවිධ මත දරන අනුගාමිකයෝ වෙති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයට අනුව අවසානයේ ගත් කල මේ සැම දෙනාම ඡන්ද දායකයෝය. ඒ ක්‍රමය තුල ජාතික ව්‍යාපාරය යනු ජාතිකත්වය මත පිහිටා තම ඡන්දය පාවිච්චි කරන මිනිසුන් සමූහයක් පමණි. ආණ්ඩුවේ දූෂිත බවට එරෙහිව ඒ මිනිසුන්ට කල හැක්කේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමය. එය කළ හැක්කේ මැතිවරණයකදීය. ඒ නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල රජයේ දුෂණය නතර කර ගන්නා ලෙස ඊට දැනෙන බලපෑමක් කිරීමට අද රජයට පක්‍ෂ ඡන්ද දායකයින්ටවත් විපක්‍ෂ ඡන්ද දායකයින්ටවත් අවකාශයක් නැත. ආණ්ඩුවේ ඇතුලතින්ද එය කෙරෙන බවක් නොපෙනේ. ඒ ගැන පුදුම විය යුතු නැත්තේ රජයට සම්බන්ධ මැති ඇමති වරුන් සහ නිළධාරීන් බොහොමයකට ජාතිකත්වයක් නැති බැවිනි. මේ නිසා පක්‍ෂ විපක්‍ෂ සියලු ඡන්ද දායකයින්ට තම අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ඊලඟ ඡන්ද විමසුම එන තෙක් බලා සිටිනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැත. එසේ නම් ඊලඟ ඡන්ද විමසුමේදී ජාතික ව්‍යාපාරයේ කාර්ය භාරය කුමක් විය යුතුද?


මී ලඟට එන ඡන්ද විමසුමේදී පමණක් නොව තව ඡන්ද විමසුම් ගණනාවක් යන තෙක් රටේ දේශපාලණ බෙදීම සිදුවනු ඇත්තේ දූෂණය සම්බන්ධයෙන් නොව ජාතිකත්වය මතය. මෙරට රාජ්‍ය බලය විදේශ බලවේග වලට මුහුණදීමට හැකි තරම් ශක්තිමත් වනතාක් කල් එය එසේ විය යුතුය. මේ වනවිට බටහිරුන් තම රටවල ශක්තිමත් රාජ්‍යයන් ගොඩනඟාගෙන ඇත. ඒ රාජ්‍යයන්ට විදේශ බලවේග වලට බලපෑම් කල නොහැක. බටහිර රටවල බෝම්බ පිපිර වීම මඟින් ත්‍රස්තවාදීන්ට කළ හැක්කේ බටහිරුන් කෙරෙහි ඔවුන්ගේ ඇති වෛරය ප්‍රකාශ කිරීමට පමණි. ඒ හරහා ඒ රටවල කෙරෙන විජාතික දේශපාලණයක් නැත. බටහිරුන්ට ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා ඇත්තේ ජීවිත හා දේපළ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්ණයකි. ඒ හැරෙන්නට ඔවුන්ට තම ස්වෛරීය බව පිළිබඳ ප්‍රශ්ණයක් පැන නැගෙන්නේ නැත. ඒ නිසා බටහිර රටවල ත්‍රස්තවාදී ප්‍රශණයත් අපට තිබූ ත්‍රස්තවාදී ප්‍රශ්ණයත් එකම නොවේ. අපි ඒ දෙකම එක යැයි කියන්නට යෑමෙන් කරන්නේ බටහිරුන්ට කොලේ වසා ගැසීමට ඉඩක් ලබා දීම පමණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් පසුත් අදත් ජාතික ව්‍යාපාරයට එරෙහිව ක්‍රියා කෙරෙන විජාතික බලවේග ඇත. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ සිට මෙරට ක්‍රියාත්මක වුනු එන්ජීඕ කණ්ඩායම්, මෙරටට විටින් විට පැමිණ බලය පෙන්වා ගිය විදේශ ඇමතිවරු එදා උත්සාහ කලේත් අද ඇමරිකාව හා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සම්මේලණය හරහා උත්සාහ කරන්නේත් මෙරට ජාතික ව්‍යාපාරය ආම්බන් කිරීමට කිරීමය. බටහිරුන් එසේ කරන්නේ ජාතික ව්‍යාපාරය විරුද්ධව සිටින්නේ ඔවුන්ට මිස මෙරට සුලු ජාතීන්ට නොවන බව දන්නා නිසාය. මේ බලවේග සැමදා නොවපතිනු ඇත. නමුත් ඒ පවතිනතාක් කල් ඉදිරි මැතිවරණ හා ජනාධිපතිවරණ වලදී රටේ දේශපාලණ බෙදීම සිදුවිය යුත්තේ ජාතික හා විජාතික ව්‍යාපාර අතරය. ජාතික ව්‍යාපාරයේ වගකීම එය එසේ වන බවට වග බලා ගැනීමය.


රටේ බහුතරයක් සිංහලුන්ගේ දේශපාලණය තවමත් ජාතිකත්වය මත පදනම්ව පවතී. ඒ නිසා ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී දේශප්‍රේමී ජනතාව තමන්වෙත නම්මවා ගැනීමට විජාතික බලවේග උත්සාහ කරනු ඇත. ඒ එසේ නොකර ඡන්දයක් දිනිය නොහැකි නිසාය. සමහරක් විජාතික බලවේග වඩාත්ම ජාතිකත්වයක් ඇත්තේ තමන්ට යැයි කියනු ඇත. තව කොටසක් රාජ්‍යයට එරෙහිව පවත්නා විදේශ බලවේග නැතැයි කියමින් විවාදය වෙනතකට යොමු කරනු ඇත. මේ සියලු කතන්දර වල පොදුබවක් ඇත. ඒ සියල්ලක්ම ගෙතී ඇත්තේ ජාතික පිලේ සිටින ඡන්ද දායකයින් තම පිලට ඇද ගැනීම සඳහාය. ඔවුන් එසේ කරනු ඇත්තේ තමන්ට ජාතිකත්වයක් ඇති බව පෙන්වමිනි. ජාතික ව්‍යාපාරය මෙසේ ජාතික වෙස් මුහුණු දමා ගෙන පැමිණෙන විජාතික බලවේග වල වෙස් මුහුණු ගැලවිය යුතුය. ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී ජාතික ව්‍යාපාරයේ මූලික වගකීම විය යුත්තේ ජාතිකත්වයක් ඇති රජයක් බිහි කර ගැනීමය. ඒ සඳහා ජාතික ව්‍යාපාරය සෘජුවම මැදිවී තමන් වෙත ඡන්දය ඉල්ලමින් පැමිණෙන දේශපාලකයින්ට ජාතිකත්වය මත පදනම්ව චරිත සහතිකදී ඔවුන් පාර්ලිමේන්තු යවනවාද නොයවනවාද යැයි තීරණය කල යුතුය. අවසානයේ ජාතික ව්‍යාපරයෙන් හොඳ චරිත සහතිකයක් නොමැතිව රටේ දේශපාලණ බලයක් ලබා ගත නොහැකි තත්වයක් රටේ දේශපාලණ ක්‍ෂේත්‍රය තුල ඇති කර ගත යුතුය.


මෙතෙක් කල් ජාතික ව්‍යාපාරය සටන් කලේ මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමටය. නමුත් අද පාර්ළිමේන්තුවේ සිටින මැති ඇමති වරුන්ගෙන් ජාතිකත්වයක් ඇති අය සිටිනවානම් ඒ අතලොස්සක් පමණි. ඒ නිසා ඉදිරියේදී ජාතික ව්‍යාපාරයේ සටන හුදෙක් ආණ්ඩු බලය ලබා ගැනීමට පමණක් නොව ජාතිකත්වයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීම දක්වා වර්ධණය කර ගත යුතුය. හැකි නම් ජාතිකත්වයක් ඇති පළමු පෙලේ නිළධාරී මණ්ඩළයක් ඇති කර ගැනීම දක්වාම සටන දිගු කර ගත යුතුය. එවැනි පුද්ගලයින්ගෙන් සමන්විත ආණ්ඩුවක දුෂණය අවම වෙතැයි අපේක්‍ෂා කල හැකිය. ඉන් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ බලයද වැඩි වනු ඇත. ආණ්ඩු මූලික වශයෙන් දුෂිත වෙන්නේ බලය රැක ගැනීම අරභයා කටයුතු කිරීම නිසා වක්‍රාකාරයෙන්ද ඒ හරහා ආණ්ඩුවේ දුෂණය අවම කර ගත හැකිය. වඩා වැදගත් ලෙස ඒ හරහා ජාතික ව්‍යාපාරයත් රාජ්‍ය බලයත් අතර අන්නෝන්‍ය සම්බන්ධකමක් ගොඩ නැඟෙනු ඇත. අද මූලික ප්‍රශණය වී ඇත්තේ රජයත් ජාතික ව්‍යාපාරයත් අතර තිබිය යුතු මේ අන්නෝන්‍ය සම්බන්ධකම ගිලිහී තිබීමය.