Saturday, April 13, 2013

අසංවර පරිභෝජනය


මා ඇමරිකාවට පැමිණි මුල් කාලයේ විද්‍යාගාරයේ උපකරණයක් මත ඉහිරුනු වතුර ස්වල්පයක් පිස දැමීම සඳහා කඩදාසි අත් පිස්නා ගොනුවකින් එකක් ගෙන ඉනුත් කොටසක් ඉරාගෙන පාවිච්චි කරනු දුටු මගේ දේශීය සුදු මිතුරෙකු සිනහ වෙමින් පැවසුවේ කනස්සලු නොවී ඇති තරම් කඩදාසි පාවිච්චි කරන ලෙසත් ඔවුන්ට ඉන් අඩුවක් නැති බවත්ය. ඉදින් වසර ගණනාවකට පසු අද මා ගෙදරදීත් ඉන් පිටදීත් අවශ්‍යවිට කඩදාසි අත් පිස්නා දෙක තුන පාවිච්චි කරන්නේ කිසිදු පැකිලීමක් නැතිවය. සමහර අයට මෙවැනි දේ පිළිබඳව ඇති සංවරය මට නැති බව මා පවසන්නේ සතුටින් නොවේ. ඒ ගැන දුකක් ඇතැයිද මම නොකියමි. මා එදා අර පිරිමැස්මෙන් කඩදාසි පාවිච්චි කලෙත් අද එසේ නොකරන්නේත් හිතා මතා නොව පුරුද්දෙනි. ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව සත්‍යයක් විය යුතුය. සංයමයෙන් පරිභෝජනය කිරීමට මට ලංකාවේදී ලබාදී තිබුන පුරුද්ද ඇමරිකාවේදී පවත්වාගෙන යාමට එහි සංස්කෘතියෙන් පිටුවහලක් නොලැබෙන බව නම් මම දනිමි.

අපි කුඩා කාලයේ ගෙවත්තේ හැදුනු අඹ පේර පවා කඩාගෙන කෑවේ අර පිරිමැස්මකින් යුතුව බව මට මතකය. ඒ අවධියේ රූපවාහිනියක් හෝ අන්තර් ජාලයක් හෝ නොතිබුනු බැවින් අපට සමාජයෙන් පැනවී තිබුන සංස්කෘතික සීමා වැට කඩොලු බිඳ දමන්නට ප්‍රති විරුද්ධ බලවේගයක් නොතිබිනි. පැණි දොඩම් පිරී අතු බිමට නැමී තිබුනත් එකෙකුට එක් දොඩමක් පමණක් ඇතැයි කියැවෙන දොඩම් ගසේ ගීයෙන් කියා පාන්නේ සිංහලුන්ගේ ඒ පුරුද්දය. ගුරුතුමෙකු වූ යූ පී ද සිල්වා මහතා මේ ගීයෙන් තමන්ට අවශ්‍ය තරමට පමණක් පරිභෝජනය කරන ලෙස කුඩා දරුවන්ට අවවාදයක්ද දෙනු ලබයි. එදා ගෙදරදීත් පාසලේදීත් වැඩිහිටියන් ගෙන් මෙවැනි අවවාද අපට නිතර ලැබුනි. මෙවැනි අවවාද හා ඉන් ඇති කර ගන්නා පුරුදු විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් අප සමාජයට ලැබෙන දේය. නමුත් අද ජන මාධ්‍ය හරහා අපට උදේ හවා උපදෙස් දෙන්නේ ඉඳුරන් පිනවීමට ඇති ලැජ්ජා භය නැති කර ගන්නා ලෙසටය. මනසද ඇතුලුව ඉඳුරන් සංවර කර ගැනීම බෞද්ධයින් පමණක් නොව අප රටේ ජීවත්වන වැඩිහිටි ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කොයි කවුරු වුනත් අගය කරන පුරුද්දක් යැයි කිව හොත් එය වැරදි නැත. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකිය. මීට හොඳම නිදසුන ඇමරිකාවේ වසංගතයක් වී ඇති තරබාරුකමය.


ඇමරිකාවේ ජීවත්වන්නන්ගෙන් තුනෙන් එකක් පමණ තරබාරු යැයි කියවේ. තරබාරුකම දියවැඩියාවට හෘදයාබදයට අධික රුදිර පීඩනයට මෙන්ම සමහර පිළිකා රෝග වලටද තුඩු දෙන බව බටහිර විද්‍යාඥයින්ගේ මතයයි. මේ බොහෝ රෝග මාරාන්තිකය. බටහිර විද්‍යාව මේ වසංගතයට සොයාගෙන ඇති හේතු අතර ප්‍රධාන වන්නේ ගුණයෙන් අඩු කෑම බීම වැඩියෙන් ආහාරයට ගැනීම හා ශාරීරික ව්‍යායාමය අඩුවීමය. කෙසේ වෙතත් වසර පණහක් පමණ කලක සිට වසරින් වසර උග්‍ර වෙමින් පැමිනෙණ මේ වසංගතය නවතා ගැනීමට බටහිර විද්‍යාවට හැකිවී නැත. ඉදිරියේදී තරබාරු මිනිසුන් ගණන මීටත් වඩා වැඩි වන බවට අනාවැකි පලවී ඇත. නමුත් අතීතයේ පෝලියෝ වසූරිය වැනි වසංගත රෝග මර්ධනය කර ගැනීමට බටහිර විද්‍යාව සමත්වී තිබුනත් මෙහිදී බටහිර විද්‍යාව අසමත් වන්නේ ඇයි? මේ අනිකුත් රෝගත් තරබාරුකමත් අතර මූලික වෙනසක් නම් තරබාරුකම මිනිසුන්ගේ සමාජ-ආර්ථික ක්‍රියාවලියත් සමඟ තදින් බැඳී තිබීමය. නමුත් බටහිර සංස්කෘතිය සමාජ-ආර්ථික ක්‍රියාවලියන් හසුරුවන්නේ තරබාරුකම වර්ධනය වන ආකාරයට මිස මර්ධනය වන ආකාරයට නොවේ. ඒ නිසා ඉන් පැන නඟින දියවැඩියාව හෘදයාබදය හා අධික රුදිර පීඩනය වැනි මාරාන්තික රෝග මර්ධනය කිරීමටද බටහිරුන්ට නොහැකිය. ඔවුන්ට කල හැක්කේ ඒ රෝග කළමනාකරනය කිරීම පමණය.


බටහිර සංස්කෘතියේ ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම (අළෙවි කිරීම) යන ක්‍රියාවලි දෙකටම සදාචාරාත්මක වැට කඩොළු නැත. ඔවුන්ට දොඩම් ගසේ ගීත නැත. කෑමෙන් උපරිම වින්දනයක් ලබා ගත යුතුයැයි ඔවුහු සිතති. එවැනි වින්දනයක් ගෙනදෙන කෑම නිර්මාණය කිරීමට හා ඒ ගැන පර්යේෂණ කිරීමට ඔවුන් මහන්සි වෙති. එසේ නිර්මාණය කල මිළ අධික ගෝමේ ආහාර කෑම බටහිර සංස්කෘතියේ උසස් යැයි සැලකෙන පුරුද්දකි. කොටින්ම අහාර ගැනීම හරහා කෙළවරක් නැති වින්දනයක් ලබාගත හැකි යයි ඔවුහු සිතති. අනිත් අතට බටහිර රටවල අහාර සැපයීමේ ක්‍රියාවලිය තුලද සදාචාරාත්මක බවක් නැත. නිෂ්පාදකයෝ තමන්ගේ වෙළඳපල වර්ධනය කර ගැනීමේ අටියෙන් අහාර වලට රස කාරක කවති. එහි ගුණවත් බව අඩු සීනි, මේදය හා ලුණු වැඩි කර පාරිභෝගිකයින් ඒවාට ඇබ්බැහි කර ගනිති. විකිණීමේදී කුඩා දරුවන් හා දුප්පතුන් ඉලක්ක කර ගනිති. ඒ ආහාරවලට ඇබ්බැහි වූවන් තව තවත් එහි බැඳ තබා ගැනීමටත් ඉන් ලාභ ගැනීමටත් ඒවා සුපර් සයිස් කර විකුනති. මේ අනුව පොදුවේ බටහිර රටවල අහාර පරිභෝජනයේත් සැපයීමේත් අසංවර බවක් ඇති බව පැහැදිලිය. ඒ රටවල මිනිසුන් තරබාරු වෙන්නේ ඔවුන්ගෙ මනස ඇතුළු ඉන්ද්‍රීය අසංවර බව නිසායැයි ඊනියා විශේෂඥ දැනුමක් නැති අප රටේ ඕනෑම ගැමියෙකුට පෙනෙනු ඇති. නමුත් බටහිරුන්ට ඒ බව නොපෙනේ. පෙනුනත් ඔවුන්ට එයට පිළියමක්ද නැත. බටහිරුන් මූලික වශයෙන් මේ ප්‍රශ්ණය විසඳන්ට බලන්නේ තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින්ය. ඒ සඳහා ඔවුන් නව ඖෂධ වර්ග හා සැත්කම් නිර්මාණය කරති, ඒ සඳහා පර්යේෂණ කරති. කෙසේ වෙතත් තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින් තරබාරු වසංගතය සමාජයෙන් දුරු කල නොහැකි බව පෙනී යායුතුය. එය බෝවෙන රෝගයක් නොවේ.


මේ වසංගතය සම්බන්ධයෙන් බටහිර විද්‍යාව කරන්නේ මූලික ප්‍රශ්ණය තිබියදී අහු මුලුවල ඇති ප්‍රශ්න විසඳීමය. ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් කාමරයේ සිටින තඩි ගොරිල්ලා නොදැක්කාසේ කටයුතු කිරීමය. නමුත් බටහිරුන්ට වෙන කල හැකි දෙයක් නැත. ඔවුන්ට ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම යන සමාජ-ආර්ථික ක්‍රියාවලියේ ඇති අසංවර බවත් සදාචාරාත්මක නොවන බවත් වෙනස් කල නොහැකිය. එය ඔවුන්ගේ සංස්කෘතික දායාදයි. ඒ නිසා මේ ප්‍රශ්ණයත් පරිභෝජනය සම්බන්ධයෙන් පැන නඟින මෙවැනි අනිකුත් සමාජ-ආර්ථික ප්‍රශ්ණත් ඔවුන්ට විසඳිය නොහැකිය. කල හැක්කේ කළමනාකරණය කිරීම පමණි. පරිසර විනාශ කිරීම තවත් උදාහරණයකි. බටහිර විද්‍යාවන්ට පරිසර හානිය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්ණවලට විසඳුම් නැති එක් හේතුවක් නම් ඔවුන්ගේ විසඳුම් මඟින් සංවරයක් නොමැතිව පරිභෝජනය කිරීමට ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කර ගැනීමට මාන බලන බැවිනි. මෙහි විසංවාදයක් ඇත.


සිංහල බෞද්ධ සංස්කෘතිය ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුබව පවසයි. එයට සීමා වැට කඩොළු පණවයි. අපි බටහිරුන් මෙන් කැමති අයට සංවරයෙන් පරිභෝජනය කිරීමට හෝ එසේ නොකරීමට පුද්ගලික නිදහසක් ඇතැයි නොසිතමු. අපිට සංවරවීම සමාජයටත් පරිසරයටත් අනිකුත් සතා සිවුපාවුන්ටත් අපෙන් ඉටු විය යුතු යුතුකමකි. කුඹුරේ සිට බත් පත දක්වා ඇති ක්‍රියා කාරකම් වල මේ සංයමය දැක ගත හැකිය. බොහෝ අයට සමාජයෙන් ස්වායත්තව පුද්ගලිකව මේ සංවර බව ඇති කර ගැනීමට තරම් ශක්තියක් නැතිමුත් සමාජයට අනුව හැඩ ගැහීමට බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අකමැති නැත. අපි ඉතා මෑතක් වනතුරු සමාජයක් හැටියට සංවරයෙන් සිටීමට පුරුදුවුනේ ඒ අයුරිනි. නමුත් අද මාධ්‍ය හරහාත් අධ්‍යාපනය හරහාත් ඊනියා උගතුන් හරහාත් අපට කියනු ලබන්නේ ඒ පුරුදු අත්හරින ලෙසය. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකි බව බටහිරුන් තරබාරු වසංගතයෙන් පෙන්වාදී ඇත. 


ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

6 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා!.. :)

    ReplyDelete
  2. අපේ රටටත් ඇමෙරිකාවට වුන දේ වෙන්න තව ස්වල්ප කාලයයි. අවුරුදු ගණනාවකට කළින් සිටි ශක්තිමත් ජාතිය දැන් පිරිහිලා. තුන් වේලටම සිංහල හාලේ බත කාලා, කොස් පොළොස්, පළා යහමින් කාපු හොඳ පුරුදු ඇත්තටම අපෙන් ඈත් වෙලා.සංවරය හිතේ ඇති කොට ගතත් සංවර වෙනු ඇත. ඔබේ ලිපි පෙළ අනර්ඝයි !. කාලීන අවශ්‍යතාවයක් මේ දැනුවත් කිරීම ! ස්තූතියි. ඔබ ඇතුළු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. consumerism!Even traditional socities are now being affected.

    ReplyDelete
  4. මෙතැනදි බටහිර සංස්කෘතියේ සහ සිංහල සංස්කෘතියේ ක්‍රියාකාරී ඒකකය එහෙමත් නැත්තම් ඇංජිම ගැන සැලකිලිමත් වුනොත් තවත් දේවල් අවබෝධ කරගන්ට පුලුවන්. බටහිර සංස්කෘතියේ එන්ජිම ආර්ථිකයයි. බොහෝ විට රේකීය චින්තනය පදනම් කරගත්ත බටහිය සංස්කෘතිය නිරන්තර වර්ධනය අපේක්ශා කරනවා. ආර්ථිකය වර්දනය වන්නට වන්නට බටහිර සංස්කෘතියෙ රදාපැවැත්ම තහවුරු වෙන බව තමා ඔවුන්ගේ අවබෝදය. එනිසා නිතරම ආර්තිකය (මුදල්) වර්දනය තමා ඔවුනට වැදගත්.. එනිසා ඔවුන්ගේ වරදක් නැත. නමුත් අපගේ වරදක් ඇත.. ඒ අප බටහිර සංස්කෘතියේ ක්‍රියාකාරී ඒකකය අපගේ කරගන්නට උත්සාහ කිරීමයි. මෙය අප මත බලෙන් පැටවූවකි.. (බොහෝ දෙනා එය නොදනී.. දැනගැනීමටද අවශ්යතාවය්ක් නැත ) උපතින්ම පෘතග්ජන මිනිසුන් වන සිංහලයන් "යැයි කියාගන්නා" මිනිසුන් සිටිනකම්, ඔවුන් ත්‍රිලක්ශණය ට ලොබ බැඳ ඒ පසුපස දිවීම වැලැක්වීමට විශාල ජාතික මෙහෙවරක අවශ්‍යතාවය අතිමහත්ය.

    දෙමලුන් අපට ගොඩනගා දුන් "රේඛීය ඉතිහාසය" ඔස්සේ තර්ක කරමින්, බටහිර-සංස්කෘතික ඝාතක පාසැල් අධ්‍යාපනය, රෝම ලන්දේසි නීතිය සහ වික්ටොරියානු දේශපාලන භූමිකාවක අපට අපගේ අනන්‍යතාවය ගොඩනැගීම අපහසුවේ. අපහසු නොවේද වේ..

    සුභ අලුත් අවුරුද්දක් වේවා!! ගෝතම හිමි සරණ!!

    ReplyDelete
  5. අදහස් තුනක් ප්‍රකාශකරන්නට කැමැත්තෙමි..

    මා සිංහල රටේ ඉන්නා විටදී මාගේ සමහර මිතුරන්ට අර පරෙස්සම ගැන කියාදෙන්නට ගියවිට ඔවුන් මා හට පැවසුවේ උබ පරිසර වේදියෙක් වෙන්ටද හදන්නේ කියාය!! මම ඇත්තටම කාලයකට පෙර ඊනියා පරිසර වේදියෙක් වීමි. ඒ මා බුදු දමට වඩා පරිසරයට ඇලුම්කල නිසාත් මා අසුරුකල පරිසර වේදීන් සියාල්ලෝම බටහිර අන්ධානුකරණයෙන් මුලාවී සිටි නිසාත්ය. කෙසේ හෝ පූරුවේ වාසනවට මට එයින් ම්දීමට හැකියාව ලැබුනි. මම දැන් හැමෝටම කියනේ පරිසරය රකින්ට නම් දැක්මෙන් සහ ක්‍රියාවෙන් සිංහල බෞද්ධ යෙක් වන්නට කියාය. මාගේ පරිසර වේදී මිතුරන් දැන් මට පවසන්නේ උබට පිස්සු කියාය.

    බටහිර පරිභෝජන රටාව පිලිබඳව අඩුපාඩු දැකීම වරදක් ලෙස මම සිතමි. මන්ද ඔවුන්ගේ චින්තනය මගින් පවසන පරිදි නූතන ලෝකයේ ඔවුනට ඔවුන්ගේ සංස්කෘතිය රැකගැනීමට ඇති ක්‍රමය පරිභෝජන වාදයයි. බටහිර සංස්කෘතියෙ එන්ජිම ආර්ථිකයයි. රේඛීය වර්ධන සංකල්පයක එල්බී ඇති ඔවුන්, සංස්කෘතිය රකින්නට ඔවුන් සියලු පිලිවෙත් සාදා ගෙන ඇත. ඕනෑම සංස්කෘතියකට එය රැකගැනීමට අයිතියක් ඇත.. බටහිරයන් එය බලෙන් අනෙක් සංස්කෘතිමත පටවයි.. බලෙන් පටවන් දෙ අප ලංකරගන්නේ ඇයි? එය අපේ වරදකි..

    උපතින්ම පෘත්ග්ජන මිනිසුන් වන නමට සිංහල කියාගන්නා අපි ත්‍රිලක්ශණය පිලිබඳ තැකීමක් නොකර එය පසුපසම ගමන් කරමින් සිටී. එනම් අපි ලෙයින් මසින් බටහිර නොවූවත් බටහිර සංස්කෘතියට අනුගත වීමට ආශාවක් දක්වයි. එනිසා අප සුද්දා දෙන දෙන සියලුම දේ කෑමේ කාම-පරිබෝජන වාදී සමාජයක් නිර්මාණයකරගෙන සිටිමු. එයට උල්පන්දම් දෙන වික්ටෝරියානු දේශපාලනයත්, රෝම ලංදේසි නීතියත් තියෙනකම් අපි අපිට ගැලවීමක් නැත.2013 අලුත් අවුරුදු චාරිත්‍ර අමතක කරන්නට යැයි සංඝයා වහන්සේලා පුවත්පත් ලිපි පවා පලකර තිබුණි!! දෙමලුන් විසින් නිර්මානය කර දුන් රේඛීය ඉතිහාසය අනුගමනය කරමින්, බටහිර සංස්කෘතික ඝාතක පාසැල් අධ්‍යාපනය ලබමින් මේ යන ගමනේ ආපසු හැරීම අපහසු වේ. අපහසු නොවේද වේ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා !! ගෝතම මුණි සරණයි!!

    ReplyDelete
    Replies
    1. ඔබ මෙතැන දෙමළුන් යැයි සඳහන් කරන්නේ පොදුවේ ජාතියට විණ කරනවුන් යන අර්ථයෙන් වෙන්ට ඇති

      Delete