Saturday, April 6, 2013

අපේ සංවර්ධන මඟ


බටහිරුන් ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගොඩනඟන්නේ වසර පණහක් හැටක් පමණවෙන ඉතා කෙටි කාලයක් ඉහත සිටය. ඒ කතන්දර පවා මෑත අතීතයේ යම් ආර්ථික හා සමාජික සිදුවීම් විස්තර කිරීමට ගොතා ගත් දෑ මිස ඉදිරි අනාගතය ගැන අනාවැකි පල කිරීමට සමත් ඒවා නොවේ. කෙසේ වෙතත් ජාතියක් වශයෙන් අප පැමිණි දුරත් අප යා යුතු දුරත් සලකනවිට මේ ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගෙතෙන්නේ නොගිනිය හැකි කාල සීමාවක් තුලය. අපේ ඉදිරි දැක්ම අද ජීවත්වන සමාජයට පමණක් ලඝු නොවී පරම්පරා ගණනාවක් ඉදිරියට දිව යා යුතුය. මෙතෙක් කල් අප ජාතිය නොනැසී පැවතුනේ අපේ මුතුන් මිත්තන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ රට ජාතිය රැක ගන්නා ආකාරය ගැන අවබෝධයක් තිබුන බැවිනි. අපි තවත් වසර දහස් ගණනක් රැකෙන්නට නම් බටහිරුන්ගේ සංවර්ධනය පිළිබද අත්හදා නොබැලූ සංකල්ප ඉවතලා අපේ මුතුන්මිත්න්ට තිබූ දැනුම අවබෝධ කරගෙන ඒ මත විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කල යුතු වෙමු.

බටහිර ආර්ථික කටයුතු සිදුවෙන්නේ එමඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස් කල හැකිය යන විශ්වාසය මතය. අපිට ඇති ප්‍රශ්ණය ඔවුන්ගේ ආර්ථික වර්ධනය නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් සිදුවී යැයි පෙන්විය හැකිද යන්නය. මීට අවුරුදු පණහකට හෝ සියයකට හෝ ඉහත දී මිනිසුන් අද තරම් සතුටින් සැනසීමෙන් ජීවත් වුනේ නැතැයි නිගමණය කිරීමට සාධාරන ක්‍රමයක් ඔවුන්ට නැත. යමෙකු එසේ සිතනවා නම් එසේ සිතන්නේ ඔහුට අද හිමි ලෞකික සැප සම්පත් අහිමි වුනොත් සිදුවිය හැකි සිත් තැවුල ගැන ඇති දැනීම තුලින් මිස එදා තිබුන සතුටක් සැනසීමක් ගැන අවබෝධයෙන් නොවේ. ලෞකික සැප සම්පත් මත පදනම් වුන ජීවන තත්වයක් මැනීම සඳහා අපිට භාවිතා කල හැක්කේ අදට අදාල නිර්ණායකය. නමුත් පාරිභෝගික අවශ්‍යතා තව තවත් අළුතින් නිර්මාණය කිරීම මත පදනම් වුන ආර්ථික ක්‍රමයක් තුල ආර්ථිකය වර්ධනය වනවිට ජීවන තත්වය මනින නිර්ණායකද වෙනස්වීම වැලකිය නොහැකිය. ඒ අනුව බලන විට බටහිර ආර්ථික වර්ධනය යනු පසිඳුරන් පිනවීම අරභයා සැනසීමක් නොලැබ නොනැවතිව කෙරෙන උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි විය යුතුය. ඉන් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය කවදාත් ලඟා කර ගත නොහැකි කැරට් අලයකි.


බෞද්ධයින්ටද උසස් ජීවන තත්වයක් ගැන අදහසක් ඇත. ඒ අදහස ගොඩනැඟෙන්නේ ලෝකය අනිත්‍යය අනාත්මය දුකය යැයි සැලකීම තුලිනි. මීට අවූරුදු දෙදහසකට පෙරත් ඔවුන්ගේ පදනම එය වූ අතර අදින් අවුරුදු දෙදහසකට පසුවටත් එය වෙනස් නොවනු ඇත. බෞද්ධයින් උසස් යැයි සලකන ජීවන තත්වයේ නිර්ණායක කලින් කලට වෙනස් නොවේ. ඒ නිසා එය මිරිඟුවක් හෝ කැරට් අලයක් නොව අත් කර ගෙන පවත්වාගත හැකි තත්වයකි. එවැනි උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැක්කේ ලෞකික සම්පත් හඹා යන එමඟින් දුක නිවන්නට බලන සමාජයක නොවේ. නමුත් ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට නම් බෞද්ධයින් බටහිර ආර්ථික සංවර්ධන මඟට ඉඳුරාම වෙනස් මඟක් ගත යුතුය. බෞද්ධයින්ගේ නිවන් දකින මඟත් දිවි ගෙවන මඟත් එකිනෙකට පරස්පර විය නොහැකිය. 


රටේ ලෝකේ සිදුවන දේ දනිතැයි සිතන අපේ රටේ උගතුන් සිතන්නේ ආණ්ඩුවේ දූෂණය නැති කලොත් හෝ රජයේ ආයතනවල නාස්තිය හා ගසා කෑම නැවතුවොත් හෝ  ආණ්ඩුවේ ඇමතිවරු ගණන අඩු කලොත් හෝ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කලොත් හෝ අපට මීට වඩා උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැකිය කියාය. මේ සියලු දේ කර ගත යුතු බව ඇත්තය. නමුත් ඒ කුමක් කලත් බටහිර ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයක් අනුකරණය කරනතාක් කල් බෞද්ධයින් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය ඔවුන්ට මිරිඟුවක් පමණක් වනු ඇත. දූෂණය හා නාස්තිය නතර කිරීමට දරන උත්සාහයට වඩා බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි. අද අපි දකින දූෂණය හා නාස්තිය බටහිර ආර්ථික ක්‍රමයේම ලක්‍ෂණය. ඒ පිළිබඳව සැකයක් ඇති අයෙක් මෑතදී මුලු බටහිර ලෝකයම ආර්ථික ආගාදයකට ඇද දමමින් ඒ රටවල මුල්‍ය ආයතන මඟින් සිදුකරන ලද වංචා කටයුතු ගැන අධ්‍යනයක් කර ඒ සැක දුරු කර ගත හැකිය. අපි ජාතියක් වශයෙන් බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගත්විට මේ දූෂණය හා නාස්තියද නිරාසයෙන්ම අප හැර යනු නිසැකය.


බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම යනුවෙන් අදහස් වෙන්නේ අපි තව වසර කිහිපයකින් අද මැලේසියාව හෝ වෙනත් දියුනු යැයි සැලකෙන ආසියානු රටක් සිටින තැනට පැමින ඉන් කාලයකට පසු ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් සිටින තැනට ආර්ථික වශයෙන් පැමිණීමට දරන උත්සාහය අත් හැර දැමීමය. අපේ සංවර්ධන කටයුතුවල තත් කාලීන ඉලක්ක විය යුත්තේ ප්‍රාදේශීයවත් දේශීයවත් ස්වයංපෝෂණයවීම හා සමාජ විශමතා අවම කිරීමය.  ඒ ඉලක්ක සපුරා ගත යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් සහ අර පරිස්සමෙන් පරිභෝජනය කිරීම තුලය. වෙළඳ ආර්ථිකය වෙනුවට කෘෂිකර්මය ප්‍රධාන තැන ගත යුතුය. විදේශ ආයෝජන වෙනුවට දේශීය කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රධාන තැන ගත යුතුය. අපේ මඟ බටහිර මඟට ඉඳුරාම වෙනස්ය. ඒ මං දෙකේ එකවර ගමන් කල නොහැකිය. අපිට වැරදී ඇත්තේ අපි මේ ප්‍රතිවිරුද්ධවූ මං දෙකේ එකවර යාමට තැත් කරන නිසාය. එය කල නොහැකිය.


බටහිරුන් නිසැකයෙන්ම අපේ ගමන ආපස්සට යාමක් ලෙස අර්ථ දක්වනු ඇත. ඔවුන් එසේ පවසන්නේ ඔවුන් යන ගමන ඉදිරි ගමනක් යැයි උපකල්පණය කරමිනි. ඔවුන්ට එය ඉදිරි ගමනක් වන්නේ බටහිර ආර්ථිකය මඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස්වේ යැයි ඔවුන් සිතන හෙයිනි. නමුත් එය මුසාවක් බව අපි දනිමු. එක තැන දුවනවා මිස ඔවුන් යන ගමනක් නැත.


අපේ මඟ ගැනීමම සංස්කෘතික පෙරලියකි. එය ලෙහෙසි පහසු නොවේ. එය තනි තනිව යා හැකි ගමනක්ද නොවේ. ජාතියක් වශයෙන් අත්වැල් අල්ලා ගෙන යායුතු ගමනකි. නමුත් එය කවුරුවත් තලමින් පෙලමින් යන ගමනක් නොවේ. අපත් සෙසු ලෝකයාත් සතා සිව්පාවනුත් ගහ කොළත් රැකෙන රැකගෙන යන ගමනකි. අපිට ලොවටම පහන් ටැඹක්විය හැක්කේ ඒ ගමනේ නියමුවෝ වීම තුලිනි.

6 comments:

  1. සැබවින්ම අපගේ නිෂ්පාදන ආර්ථිකය මීට වඩා දියුණු විය යුතුය ... විදේශ ණය බදු සහ දඩ මුදල් රජයේ ප්‍රධාන ආදායම් මාර්ග වූ කලෙක ඕනෑම රටක් පරාධීන තත්වයට පත් වේ ඕනෑම සංවර්ධිත රටක මතුපිටින් පෙනෙන නාගරික සේවා ආර්ථික මොඩලයට යටින් දිවෙන ශක්තිමත් කෘෂි හා කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් පවතී අපේ කබ්බන්ට මතුපිටින් නොපෙනෙන යථාර්තය එයයි. අපෙන් මොනවාද ලෝකෙට දෙන්නේ? අඩු ගැනේ අපි අපිට ඕන දේවල් ටිකවත් හදාගන්නවද මහලොකුවට ඇමරිකාවට ඉන්දියාවට ගහන්න හදනවා තමග තරම නොදැන.....

    ReplyDelete
  2. අපෙන් ලෝකෙට දිය හැකි දේ නම් ඉන්ද්‍රිය සංවරයෙන් සහ අර පරිස්සමෙන් පරිභෝජනය කිරීම තුලින් ස්වයංපෝෂණය වන්නේ කෙසේද යන දැනුමයි

    ReplyDelete
    Replies
    1. Yes indeed. But no body will accept it!! එකෙන් බටහිර සංස්කෘතිය රැකෙන්නෙ නෑ. අපේ සංස්කෘතිය යි රැකෙන්නේ..

      Delete
  3. ජනක, ඔබගේ ලිපි වලට සන්න (කමෙන්ට්) නොදැම්මද ඒවා ඉතාම උනන්දුවෙන් කියවන බව පමණක් ලියා තැබීම යුතුකමක් යැයි සිතමි.

    - ප්‍රභංග.

    ReplyDelete
    Replies
    1. ඔබේත් මේ ලිපි කියවන අන් අයගේත් දිරි ගැන්වීම් වලට පිං ප්‍රභංග

      Delete
  4. මට දුක එක කරණයක් තියෙනවා. අපේ මිනිස්සු කලින් හිටපු තැනට එන්ට සුද්ද සංකල්ප හදනවා දැන්. participatory approach, holistic, sustainability... bottom-up process, social justice, empowerment... තව එමටයි.. ඇමෙරිකාවට ආවම බටහිරය මේවා උගන්නනවා දැක්කම මට හරි ලැජ්ජයි. මේවා අපි උපතින් ගෙනාව ලක්ශණ. අපේ රටෙ මිනිස්සු හොඩ දේ අත ඇරලා සුද්දගෙ පාරට බැස්සා. දැන් සුද්දා අපේ පාරට ඇවිත්.. මේවා අපේ සංස්කෘතියෙ මුල් බැහැල තිබ්බ ලක්ෂණ. මේවා හොඳටම පැවැතුනු රට මේ සිංහල රට. ලෝකෙට ශිෂ්ඨාචාරේ අඳුන්නලා දුන්නෙ සිංහලයො කියලා අපි කියන්නෙ ඒකයි.. නමුත් කවුරුත් අපිව පිලිගන්නෙ නෑ.

    ReplyDelete