Saturday, April 27, 2013

කන්ට ජීවත් වෙනවාද ජීවත් වෙන්ට කනවාද?


දෙදහස් එකේදී නිව් යෝක් නගරයට එල්ලවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටේ යැයි එරටුන්ට බියක් ඇතිවිනි. එසේවීම වලකා ලන්නට ඊට පසු දින සිටම සාප්පු සවාරි යන ලෙස එවකට ජනාධිපතිවරයාව සිටි ජෝර්ජ් බුෂ් විසින් ඇමරිකානුවන්ට උපදෙස් දුන්නා යැයි කියැවේ. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් අද වැටී ඇති ඇමරිකානු ආර්ථිකය ගොඩගැනීම සඳහා පරිභෝජනය වැඩි කල යුතුයැයි අද එරට ආර්ථික විශේෂඥයෝම පවසති. මීට කලකට ඉහතදී ඇමරිකානු රජය විසින් එරට වැසියන්ට මුදල් ආධාර දී සාප්පු යන්නට දිරිමත් කලේ බටහිර ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකය ගොඩ ගන්නටය. එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්ට නැත. කෙසේමුත් ඔවුන්ගේ තර්කය මිනිසුන් වැඩි වැඩියෙන් බඩු මිලදී ගන්නාවිට නිෂ්පාදනය වැඩිවන බවත් ඉන් රැකියා නිර්මාණය වන බවත් ඒ හරහා නැවත පරිභෝජනය වැඩි වන බවත්ය. බටහිර ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ ඒ අයුරිනි. නමුත් මිනිසුන් සමහර විට බාහිර බලපෑම් නැතුවත් තම කැමැත්තෙන්ම පරිභෝජනය අඩු කර ගනිති. මිනිසුන් ස්වාභාවයෙන් එවැනි ක්‍රියා මාර්ගයක් ගන්නේ එය ඔවුන්ට නිවැරදි දෙයක් සේ පෙනෙන නිසාය. නමුත් බටහිර ආර්ථික විද්‍යාවට එය සෘනාත්මක වන්නේ ඇයි? මිනිසුන්ගේ ස්වාභාවික තීරණ මුදල් ආධාර දී වෙනස් කල යුත්තේ ඇයි? වැටෙන ආර්ථිකය කෘතිමව ගොඩදැමිය යුතු යැයි කියන්නේ නම් බටහිර ආර්ථික විද්‍යාව විස්තර කරන්නේ මිනිසුන්ගේ සැබෑ ස්වභාවයක් විය නොහැකිය.

බටහිර අර්ථික විද්‍යාව පදනම් වන්නේ මිනිසා ස්වභාවයෙන්ම සීමාවක් නැතිව කම් සැප හඹා යැයි යන උපකල්පණය මතය. නමුත් මේ කථාව අමූලික බොරුවකි. පෘතග්ජන මිනිසුන් කම් සැපෙහි ඇලෙන බව සත්‍යයකි. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට සහජයෙන් බලපාන අභ්‍යන්තර බලද ඇත. මේ අභ්‍යන්තර බල සංස්කෘතියෙන් මෙන්ම සංසාර ගමනේ අත්දැකීම තුලින්ද මිනිසුන් විසින් ලබා ගත් දැනුම්ය. ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් විය හැකි මේ අභ්‍යන්තර බල මඟින් මිනිසාගේ කම් සැප හඹා යාමට ස්වභාවයෙන්ම සීමා වැටී ඇත. මිනිසුන්ට සමාජයක් හැටියට ජීවත්විය හැක්කේ මෙවැනි සීමාවන් පවතින නිසාය. එවැනි සීමාවන් නැති මිනිස් තබා කිසිම තිරිසන් සමාජයක්වත් මිහිපිට තිබිය නොහැකිය. කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට යාම දුකක් බව නොවැටහුනත් බටහිර සමාජයේ පවා මිනිසුන්ට යම් යම් සීමා මායිම් ඇත. සීමාවක් නැතිව කම් සැප හඹා යෑම ස්වභාවික මිනිස් ගතියක් යැයි සලකන්නේ විශේෂයෙන්ම බටහිර උගත් ලිබරල් මත දරන මිනිසුන්ය. බටහිර ආර්ථික විද්‍යාවේ පදනම මේ බොරුවය. බටහිර ආර්ථික විද්‍යාවේ සැලකෙන ඊනියා මිනිසා අභ්‍යන්තර සීමා නැති වියුක්ත මිනිසෙකි. නමුත් සැබෑ මිනිසුන් එසේ නොවේ.


සැබෑ මිනිසුන් දිගින් දිගටම පරිභෝජනය නොකරන්නේ බාහිර බලපෑම් වලට අමතරව ඔවුන්ට ඒ ඒ සංස්කෘතියට අනුව ඇති අභ්‍යන්තර බලපෑම්ද ඇති නිසාය. මිනිසුන් නිරායාසයෙන්ම පරිභෝජනය අඩු කිරීමට ඒ අභ්‍යන්තර බල බලපායි. සීමාවක් නැතිව පරිභෝජනය කිරීම මත පවත්වාගෙන යන බටහිර ආර්ථික ක්‍රමය විටින් විට කඩා වැටෙන්නේ මිනිසුන්ට ඇති මේ අභ්‍යන්තර සීමාද හේතු කොට ගෙනය. බාහිර බල එනම් මුදල් ආධාර දී සාප්පු යන්නට දිරිමත් කල පසුවත් වැටුනු ඇමරිකානු ආර්ථිකය ගොඩ ගන්නට නොහැකි වී ඇත්තේ මිනිසුන්ට බලපාන අභ්‍යන්තර බලද ඇති නිසාය. නමුත් බටහිර ආර්ථික විද්‍යාවට මිනිසුන්ගේ ස්වභාවික ක්‍රියා කාරකම් තේරුම්ගත නොහැකිය. ඒ වෙන අන් හේතුවක් නිසා නොව බටහිර ආර්ථික විද්‍යාවේ පදනම වන මිනිසා ස්වභාවිකවම සීමාවක් නැතිව කම් සැප හඹා යයි යන උපකල්පණයම බොරුවක් වන බැවිනි.


කෙසේ නමුත් සිංහල බෞද්ධ විනත්නයට අනුව පරිභෝජනය දිගින් දිගටම වැඩි නොකලොත් කඩා වැටෙනවා නම් ඒ ආර්ථික ක්‍රමයේ යම් වරදක් තිබිය යුතුය. මන්ද එවැනි ආර්ථිකයක් රැක ගත හැක්කේ කන්ට ජීවත්වන සමාජයකට මිස ජීවත් වෙන්ට කන සමාජයකට නොවෙන බැවිනි. පරමාදර්ශී බෞද්ධ සමාජයක් ජීවත් වෙන්ට කන සමාජයක් විය යුතුය. සීමාවක් නැතිව පරිභෝජනය කිරීම ලෝකය අනිත්‍ය යැයි සිතන සමාජයකට නොගැලපේ. බෞද්ධ ආර්ථික ක්‍රමයක පදනම විය යුත්තේ කම් සැප හඹා යෑමට එරෙහිව අභ්‍යන්තරයෙන් සීමා පමුණුවා ගැනීම මිනිස් ස්වභාවය යන්නය. එනම් සංවරයෙන් පරිභෝජනය කිරීම මිනිස් ස්වභාවයයි යන්නය. අපට ජීවත් වෙන්ට කන සමාජයක් ගොඩනඟාගත හැක්කේ ඒ පදනම මත බිහිවුනු ආර්ථික ක්‍රමයක් තුල පමණි. ජීවත් වෙන්ට කන සමාජයක මිනිස්සු පරිභෝජනය කරන්නේ ඇති පමණටය. ඔවුහු අත මිට හිඟ වෙන විට අර පරිස්සමෙන් පරිභෝජනය කරන අතර අත මිට සරු වන විට අනාගතය සඳහා ඉතිරි කරති. ඔවුහු කිසි විටෙකත් ණයට නොකති. බෞද්ධ ආර්ථිකයක ස්වභාවික ගති ලක්‍ෂණ මේවාය. එවැනි ආර්ථිකයක් නොවැටී පවත්වා ගැනීමට ඒ ස්වභාවික ගති අනුගමණය කිරීම ප්‍රමාණවත් වනු ඇත.


සීමාවක් නැතිව කම් සැප හඹා යෑම මිනිස් ස්වභාවය යැයි අපට උගන්වන්නේ බටහිර සංස්කෘතියයි. බටහිරුන් තමන්ගේ ආර්ථික විද්‍යාව ඒ බොරුව මත පදනම් කරගන්නවා පමණක් නොවේ ආර්ථිකය නොවැටී තබා ගැනීම සඳහා ඒ බොරුව මත ජීවත්වන ලෙසද අපට අනුබල දෙයි. වෙලඳ දැන්වීම් වලින් අපව උසි ගන්වන්නේ ඒ ඊනියා ස්වභාවික ගති මතු කර ගන්නා ලෙසටය. ඒ බලපෑම් වලට යටවී අපි අපේ සංස්කෘතියෙන් ලබා ගත් අභ්‍යන්තර සීමාවන් පසෙකලා කන්ට ජීවත්වන සමාජයක් බවට පත්වෙමින් සිටින්නෙමු. බටහිර ආර්ථික විද්‍යාව පවසන්නේ ඒ තුලින් ඊනියා උසස් ජීවන තත්වයක් ලබා ගත හැකි බවය. නමුත් දිනෙන් දින පාරිභෝගික අවශ්‍යතා වෙනස් කරන බටහිර ආර්ථිකයට ඊනියා උසස් ජීවන තත්වයකට කෙදිනකවත් ලංවිය නොහැකිය. එපමණක් නොවේ ඒ මඟ ගොස් ඇති කරගන්නා සමාජ රෝග, අපරාධ සහ පරිසර විනාශයටද බටහිර දැනුමට විසඳූම් නැත. බටහිර ආර්ථික විද්‍යාව සැම අතින්ම අසමත්ය.


ජීවත් වෙන්ට කන සමාජයක් ගොඩනඟා ගැනීමට නම් අපි බටහිරුන් මිනිස් ස්වභාවය ගැන පවසන මහා බොරුව බොරුවක් බව හඳුනාගෙන අපේ පැරැන්නන් අපට දායද කර ඇති සංවර පරිභෝජනයට කෙසේ හෝ පුරුදු විය යුතුවෙමු. එය කළ හැක්කේ බටහිර සංස්කෘතික ඇබ්බැහි වීම් වලට ස්වයං වාරණ පනවා ගැනීම තුලිනි. 


විදුලි බිල වැඩිවීම නිසා වැඩියෙන්ම අපහසුවට පත්වන නගර බද උගත් සිංහල සමාජය එයට සූදානම්ද?

Saturday, April 20, 2013

ආපසු හැරී ඉදිරියට යමු!


කුඩා කාලයේ අපි සිතාගෙන සිටියේ හෘදයාබාද හැදෙන්නේ පොහොසත් උදවියට පමණක් යැයි කියාය. මන්ද එකල හෘදයාබාද රෝගීන් ගමේවත් ගමින් කොළඹට පැමිණ සිටි මගේ දෙමව්පියන් වැනි අය අතරවත් කලාතුරකින්වත් දකින්නට නොසිටි බැවිනි.  නමුත් රැකියාව සඳහා කොළඹ පදිංචියට පැමිණ වසර හතලිහකට පමණ පසුව ත්‍රස්තවාදීන්ටවත් මරා දමන්ට බැරිවූ අපේ අම්මා රෝගාතුරව හිඳ මිය ඇදුනේ  හෘදයාබාදයකිනි. කොළඹ ජීවිතය ඇගේ ගැමි සිරුරටත් ගැමි මනසටත් ඔරොත්තු නොදුනි. කෙසේමුත් ඇගේ පිහිටෙන් ඒ වනවිට අපි ඊනියා දියුණුවක් ලබා සිටියෙමු. අවසානයේ ඇගේ මාරයා වුනේ ඒ දියුණූව බව මම දැන් දනිමි. මගේ මවට ජීවත්වන්නට ලැබුනේ අවුරුදු හැට දෙකක් පමණක් මුත් උපන් ගමෙහිම වෙසෙමින් බණ භාවනා කරමින් ගොවිතැනින් දිවි ගෙවූ ඇගේ මවට, එනම් අපේ මිත්තණියට, අවුරුදු අසූ ගණනක් නිරෝගීව ආයු වළඳන්නට වාසනාව තිබිනි. මෙසේ තිබියදී අපි ඉගෙන ගන්නේ ගැමි ජීවිතය නොදියුනු යැයි සැලකීමටය. ජාතියක් වශයෙන් අපි කෙතරම් වැරදි දිසාවකට ගමන් කර ඇත්ද යන්න ඉන් පැහැදිලි විය යුතුය.

නගර අවට ජීවත්වන වැඩිහිටි කී දෙනෙක් අද දියවැඩියාව, හෘදයාබාද හා පිළිකා වැනි මාරාන්තික රෝග වලට ගොදුරුවී සිටිත්ද? ඉන් මිය ගොස් සිටිත්ද? අද රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙන්නේ මෙවැනි රෝගීන්ගෙන් නොවේද? මේ ව්‍යාදීන් අපේ සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් හා තදින් බැඳී ඇති බැවින් ඇත්තෙන්ම ඒවා හැඳින්විය යුත්තේ සමාජ රෝග ලෙස. මීට වසර තිහ හතලිහකට ඉහතදී මේ සමාජ රෝග මෙතරම් ව්‍යප්තව නොතිබිනි. එ පමණක් නොවේ එකල රටේ සිදුවුනු අපරාධද ගණනින් පමණක් නොව දාමරික බවින්ද මෙතරම් දරුණු නොවිනි. පරිසරයද අද තරමටම විනාශවී නොතිබිනි. මේ සියලු ව්‍යසනයන් සිදුවී ඇත්තේ වසර තිහක් හතලිහක් පමණවෙන ඉතා කෙටි කාලයක් තුල දීය. මේ දෑ අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරවූ සිදුවීම් නොවේ. පරිසර විනාශයද, සමාජ රෝග පැතිරීමද අපරාධ බහුලවීමද එකිනෙකින් වෙන් කල නොහැකි මිනිස්-පරිසර පද්ධතියක වෙන් කල නොහැකි සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් තුලින් බිහිවෙන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණ විසඳීමට නම් අපි අනිවාර්යයෙන්ම මේ සිද්ධීන් අතර ඇති පොදු බව හඳුනාගත යුතුය.


සමස්ථයක් ලෙස සැලකුවිට මේ සියලු ව්‍යසනයන්ට මූලික හේතුව අපි කෙළවරක් හෝ සංවරයක් හෝ නැතිව සිත කය පිනවීම අරභයා ලබන්නට තනන ඊනියා දියුණුව බව අවබෝධ කර ගැනීමට බෞද්ධයින්ට අපහසු නැත. පොළවේ පය ගසාගෙන සිටින වැඩිහිටි බොහෝ දෙනෙකු ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දනිති. නමුත් අපි මේ හොඳින් දන්නවා යැයි සිතන දේ විදග්ධ දැනුමක් ලෙස අපේ සිංහල බෞද්ධ සමාජයවත් පිළිගන්නේ නැත. එසේ නොපිළිගන්නේ ඒ බව පාසලේදීවත් විශ්ව විද්‍යාලයේදීවත් ඉගැන්වෙන්නේ නැති නිසාය.


කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට නොහැකි බව හා එසේ පිනවීමට යාමෙන් දුකක් මිස සැපක් නොලැබෙන බව බෞද්ධයින් දන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. සාමාන්‍ය සිංහල බෞද්ධයින් පවා අවබෝධ කරගෙන ඇති ඒ ගැඹුරු විදග්ධ දැනුම බටහිරුන්ට නැති බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ බව මම ඒ සමාජයේ ජීවත්වීම තුලින් දනිමි. බටහිරුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන් යමක් දැන ගන්නට ශක්තියක් නැත. යම් හෙයකින් ඔවුන් ඒ ගැන දැන ගෙන සිටියා නම් ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුයැයි අපට අද පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් ඉගැන්වෙනවාට කිසිම සැකයක් නැත. බටහිරුන් ඉන්ද්‍රීයන් පිනවීම අරභයා කෙරෙන ඊනියා සංවර්ධණයක් කරා හඹා යන්නේ ඔවුන්ට එහි නිෂ්ඵලබව නොවැටහෙන නිසාය. ඔවුන්ගේ ගමනෙහි ව්‍යාජත්වයක් නැත. නමුත් ඒ බව දැන දැනත් ඔවුන් පසු පස යන අපේ ගමනේ ව්‍යාජත්වයක් ඇත. අවාසනාවකට අපි ඉන් පැන නඟින ප්‍රශ්ණ විසඳන්නට බලන්නේත් ඔවුන් පසු පස යමිනි.


ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම වැනි ප්‍රශ්න බටහිරුන් විසින් විසඳන්නට උත්සාහ කරන්නේ ඉන්ද්‍රීය පිනවීමත් එලෙසම පවත්වාගෙන යමිනි. එනම් ඒ සඳහා ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කරමිනි. ඔවුන් දැනුම ගොඩනඟන්නේ කොටස් වලට කඩා ගෙන නිසා පරිසර විනාශය පිළිබඳ ප්‍රශ්ණ පරිසර විද්‍යාඥයෝත් සමාජ රෝග පිළිබඳ ප්‍රශ්ණ වෛද්‍ය විද්‍යාඥයෝත් ආදී වශයෙන් වෙන් කර ගෙන විසඳන්නට තැත් කරනවා විනා එහි පොදු බවක් දැකීමට ඔවුන්ට හැකියාවක් නැත.


ඒ අනුව සමාජ රෝග වලට බටහිරුන් දෙන මූලික පිළිතුර රෝග වලට ප්‍රතිකාර කිරීමය. බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට හැකිවී නැතත් යම් දුරකට පාලනය කර ගැනීමට තාක්‍ෂණයේ උපකාරයෙන් බටහිර විද්‍යාව සමත් වී ඇත. ඒ නිසා හැටේ දශකයේ මැද භාගය වනතුරු වැඩි වෙමින් පැවතුනු හාර්දික රෝග නිසා සිදුවුනු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අද වෙන විට ඇමරිකාවට හැකිවී ඇත. නමුත් හෘදයාබාද නිසා රෝහල්ගතවුනු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දශකයේ මැද භාගය වනතුරුත් වැඩි වෙමින් පැවතිනි. ඉන් පෙනී යන්නේ හෘද රෝග වැලඳීම වලක්වා ගන්නට ඔවුන්ට නොහැකි වී ඇති බවය එනම් බටහිර සමාජයට ඒ සම්බන්ධයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට නොහැකි වී ඇති බවය. ගිලන්ව නොමැරී ජීවත්වීම සාර්ථක පිළියමක් ලෙස සැලකිය නොහැකිය.


බරහිරුන් අපරාධ මර්ධනය කිරීමට තනන්නේද එවැනි ක්‍රියා කලාපයක් තුලිනි. එනම් මූලික වශයෙන් අපරාධ කරුවන් අල්ලා දඬුවම් කිරීම මඟිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ලෝකයේ වැඩිම පිරිසක් සිර බත් කන්නේ ඇමරිකානු සිර ගෙවල් වලය. ඉනුත් බහුතරයක් කළු ඇමරිකානුවෝය. ඇමරිකාවේ සිරකරුවන්ගේ ජනගහනය හැත්තෑවේ දශකයේ මැද භාගයේ සිට, එනම් තැචර්-රේගන් යුවල ලෝක ආර්ථිකය වෙනස් කල සමයේ සිට අද දක්වා සීග්‍රව වර්ධනය වෙමින් පවතී. ඉන් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ සිදුවෙන අපරාධ වැඩිවෙනවා මිස අඩුවී නැති බවය. බටහිරුන්ට ඔවුන්ගේ ඊනියා ආර්ථික සංවර්ධනයේත් අපරාධ බහුලවීමේත් ඇති සම්බන්ධතාව හඳුනා ගන්නට නොහැකිය. එපමණක් නොවේ සමාජ රෝග හා පරිසර විනාශය ඊට අදාල වන්නේ කෙසේද යන්න ගැනත් අවබෝධයක් නැත. මීට මුලික හේතුව ඔවුන්ට සමස්ථය දැකීමට ඇති නොහැකියාවය. ඔවුන් ඒ ඒ විශය සඳහා ඉදිරිපත් කරන විසඳුම් වලින් කෙරෙන්නේ ප්‍රශ්ණ යම් තරමකට කළමණාකරණය වීම පමණි.


ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම ආදියට හේතුව සංවරයක් නැතිව සිත කය පිනවීමට යාම බව සිංහල බෞද්ධයින්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමය. එයට එකම පිළියම ඉන්ද්‍රීය සංවරය පිහිටුවා ගැනීමය. මේ දැනුම බටහිරුන්ට නැත. ඔවුන් ඉන්ධන භාවිතය අඩු කල යුතු යැයි කියන්නේ එමඟින් පරිසරයට එකතුවන විශවායු, පරිසර උශ්නත්වය ඉහල යාම, හා ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ඔවුන් විසින් ගොතා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. ඔවුන් එළවළු පළතුරු වැඩියෙන් ආහාරයට ගත යුතු යැයි පවසන්නේ සමාජ රෝග, ශරීර ශක්ති සමතුලිතතාව වැනි දෑ පිළිබඳ ඔවුන් විසින් ගොඩනඟා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. මේ කිසිම බටහිර දැනුමක් බෞද්ධයින්ගේ ඉන්ද්‍රීය සංවරය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ දැනුම හා කොහෙත්ම සම්බන්ධයක් නැත. ඒ නිසා මතු පිටින් එසේ යැයි පෙනුනත් සිංහල බෞද්ධයින් ඉන්ද්‍රීය සංවරය තුලින් ලබා ගන්නා විසඳුම් වලට බටහිරුන්ට ඔවුන්ගේ දැනුම තුලින් කෙදිනකවත් ලඟාවිය නොහැකිය. යන මඟ නොදැන අයාලේ යන බටහිර දැනුම පසු පස නොගොස් අප දන්නා මඟේ අපි ඉදිරියට යා යුතු වෙමු.

Saturday, April 13, 2013

අසංවර පරිභෝජනය


මා ඇමරිකාවට පැමිණි මුල් කාලයේ විද්‍යාගාරයේ උපකරණයක් මත ඉහිරුනු වතුර ස්වල්පයක් පිස දැමීම සඳහා කඩදාසි අත් පිස්නා ගොනුවකින් එකක් ගෙන ඉනුත් කොටසක් ඉරාගෙන පාවිච්චි කරනු දුටු මගේ දේශීය සුදු මිතුරෙකු සිනහ වෙමින් පැවසුවේ කනස්සලු නොවී ඇති තරම් කඩදාසි පාවිච්චි කරන ලෙසත් ඔවුන්ට ඉන් අඩුවක් නැති බවත්ය. ඉදින් වසර ගණනාවකට පසු අද මා ගෙදරදීත් ඉන් පිටදීත් අවශ්‍යවිට කඩදාසි අත් පිස්නා දෙක තුන පාවිච්චි කරන්නේ කිසිදු පැකිලීමක් නැතිවය. සමහර අයට මෙවැනි දේ පිළිබඳව ඇති සංවරය මට නැති බව මා පවසන්නේ සතුටින් නොවේ. ඒ ගැන දුකක් ඇතැයිද මම නොකියමි. මා එදා අර පිරිමැස්මෙන් කඩදාසි පාවිච්චි කලෙත් අද එසේ නොකරන්නේත් හිතා මතා නොව පුරුද්දෙනි. ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව සත්‍යයක් විය යුතුය. සංයමයෙන් පරිභෝජනය කිරීමට මට ලංකාවේදී ලබාදී තිබුන පුරුද්ද ඇමරිකාවේදී පවත්වාගෙන යාමට එහි සංස්කෘතියෙන් පිටුවහලක් නොලැබෙන බව නම් මම දනිමි.

අපි කුඩා කාලයේ ගෙවත්තේ හැදුනු අඹ පේර පවා කඩාගෙන කෑවේ අර පිරිමැස්මකින් යුතුව බව මට මතකය. ඒ අවධියේ රූපවාහිනියක් හෝ අන්තර් ජාලයක් හෝ නොතිබුනු බැවින් අපට සමාජයෙන් පැනවී තිබුන සංස්කෘතික සීමා වැට කඩොලු බිඳ දමන්නට ප්‍රති විරුද්ධ බලවේගයක් නොතිබිනි. පැණි දොඩම් පිරී අතු බිමට නැමී තිබුනත් එකෙකුට එක් දොඩමක් පමණක් ඇතැයි කියැවෙන දොඩම් ගසේ ගීයෙන් කියා පාන්නේ සිංහලුන්ගේ ඒ පුරුද්දය. ගුරුතුමෙකු වූ යූ පී ද සිල්වා මහතා මේ ගීයෙන් තමන්ට අවශ්‍ය තරමට පමණක් පරිභෝජනය කරන ලෙස කුඩා දරුවන්ට අවවාදයක්ද දෙනු ලබයි. එදා ගෙදරදීත් පාසලේදීත් වැඩිහිටියන් ගෙන් මෙවැනි අවවාද අපට නිතර ලැබුනි. මෙවැනි අවවාද හා ඉන් ඇති කර ගන්නා පුරුදු විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් අප සමාජයට ලැබෙන දේය. නමුත් අද ජන මාධ්‍ය හරහා අපට උදේ හවා උපදෙස් දෙන්නේ ඉඳුරන් පිනවීමට ඇති ලැජ්ජා භය නැති කර ගන්නා ලෙසටය. මනසද ඇතුලුව ඉඳුරන් සංවර කර ගැනීම බෞද්ධයින් පමණක් නොව අප රටේ ජීවත්වන වැඩිහිටි ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කොයි කවුරු වුනත් අගය කරන පුරුද්දක් යැයි කිව හොත් එය වැරදි නැත. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකිය. මීට හොඳම නිදසුන ඇමරිකාවේ වසංගතයක් වී ඇති තරබාරුකමය.


ඇමරිකාවේ ජීවත්වන්නන්ගෙන් තුනෙන් එකක් පමණ තරබාරු යැයි කියවේ. තරබාරුකම දියවැඩියාවට හෘදයාබදයට අධික රුදිර පීඩනයට මෙන්ම සමහර පිළිකා රෝග වලටද තුඩු දෙන බව බටහිර විද්‍යාඥයින්ගේ මතයයි. මේ බොහෝ රෝග මාරාන්තිකය. බටහිර විද්‍යාව මේ වසංගතයට සොයාගෙන ඇති හේතු අතර ප්‍රධාන වන්නේ ගුණයෙන් අඩු කෑම බීම වැඩියෙන් ආහාරයට ගැනීම හා ශාරීරික ව්‍යායාමය අඩුවීමය. කෙසේ වෙතත් වසර පණහක් පමණ කලක සිට වසරින් වසර උග්‍ර වෙමින් පැමිනෙණ මේ වසංගතය නවතා ගැනීමට බටහිර විද්‍යාවට හැකිවී නැත. ඉදිරියේදී තරබාරු මිනිසුන් ගණන මීටත් වඩා වැඩි වන බවට අනාවැකි පලවී ඇත. නමුත් අතීතයේ පෝලියෝ වසූරිය වැනි වසංගත රෝග මර්ධනය කර ගැනීමට බටහිර විද්‍යාව සමත්වී තිබුනත් මෙහිදී බටහිර විද්‍යාව අසමත් වන්නේ ඇයි? මේ අනිකුත් රෝගත් තරබාරුකමත් අතර මූලික වෙනසක් නම් තරබාරුකම මිනිසුන්ගේ සමාජ-ආර්ථික ක්‍රියාවලියත් සමඟ තදින් බැඳී තිබීමය. නමුත් බටහිර සංස්කෘතිය සමාජ-ආර්ථික ක්‍රියාවලියන් හසුරුවන්නේ තරබාරුකම වර්ධනය වන ආකාරයට මිස මර්ධනය වන ආකාරයට නොවේ. ඒ නිසා ඉන් පැන නඟින දියවැඩියාව හෘදයාබදය හා අධික රුදිර පීඩනය වැනි මාරාන්තික රෝග මර්ධනය කිරීමටද බටහිරුන්ට නොහැකිය. ඔවුන්ට කල හැක්කේ ඒ රෝග කළමනාකරනය කිරීම පමණය.


බටහිර සංස්කෘතියේ ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම (අළෙවි කිරීම) යන ක්‍රියාවලි දෙකටම සදාචාරාත්මක වැට කඩොළු නැත. ඔවුන්ට දොඩම් ගසේ ගීත නැත. කෑමෙන් උපරිම වින්දනයක් ලබා ගත යුතුයැයි ඔවුහු සිතති. එවැනි වින්දනයක් ගෙනදෙන කෑම නිර්මාණය කිරීමට හා ඒ ගැන පර්යේෂණ කිරීමට ඔවුන් මහන්සි වෙති. එසේ නිර්මාණය කල මිළ අධික ගෝමේ ආහාර කෑම බටහිර සංස්කෘතියේ උසස් යැයි සැලකෙන පුරුද්දකි. කොටින්ම අහාර ගැනීම හරහා කෙළවරක් නැති වින්දනයක් ලබාගත හැකි යයි ඔවුහු සිතති. අනිත් අතට බටහිර රටවල අහාර සැපයීමේ ක්‍රියාවලිය තුලද සදාචාරාත්මක බවක් නැත. නිෂ්පාදකයෝ තමන්ගේ වෙළඳපල වර්ධනය කර ගැනීමේ අටියෙන් අහාර වලට රස කාරක කවති. එහි ගුණවත් බව අඩු සීනි, මේදය හා ලුණු වැඩි කර පාරිභෝගිකයින් ඒවාට ඇබ්බැහි කර ගනිති. විකිණීමේදී කුඩා දරුවන් හා දුප්පතුන් ඉලක්ක කර ගනිති. ඒ ආහාරවලට ඇබ්බැහි වූවන් තව තවත් එහි බැඳ තබා ගැනීමටත් ඉන් ලාභ ගැනීමටත් ඒවා සුපර් සයිස් කර විකුනති. මේ අනුව පොදුවේ බටහිර රටවල අහාර පරිභෝජනයේත් සැපයීමේත් අසංවර බවක් ඇති බව පැහැදිලිය. ඒ රටවල මිනිසුන් තරබාරු වෙන්නේ ඔවුන්ගෙ මනස ඇතුළු ඉන්ද්‍රීය අසංවර බව නිසායැයි ඊනියා විශේෂඥ දැනුමක් නැති අප රටේ ඕනෑම ගැමියෙකුට පෙනෙනු ඇති. නමුත් බටහිරුන්ට ඒ බව නොපෙනේ. පෙනුනත් ඔවුන්ට එයට පිළියමක්ද නැත. බටහිරුන් මූලික වශයෙන් මේ ප්‍රශ්ණය විසඳන්ට බලන්නේ තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින්ය. ඒ සඳහා ඔවුන් නව ඖෂධ වර්ග හා සැත්කම් නිර්මාණය කරති, ඒ සඳහා පර්යේෂණ කරති. කෙසේ වෙතත් තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින් තරබාරු වසංගතය සමාජයෙන් දුරු කල නොහැකි බව පෙනී යායුතුය. එය බෝවෙන රෝගයක් නොවේ.


මේ වසංගතය සම්බන්ධයෙන් බටහිර විද්‍යාව කරන්නේ මූලික ප්‍රශ්ණය තිබියදී අහු මුලුවල ඇති ප්‍රශ්න විසඳීමය. ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් කාමරයේ සිටින තඩි ගොරිල්ලා නොදැක්කාසේ කටයුතු කිරීමය. නමුත් බටහිරුන්ට වෙන කල හැකි දෙයක් නැත. ඔවුන්ට ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම යන සමාජ-ආර්ථික ක්‍රියාවලියේ ඇති අසංවර බවත් සදාචාරාත්මක නොවන බවත් වෙනස් කල නොහැකිය. එය ඔවුන්ගේ සංස්කෘතික දායාදයි. ඒ නිසා මේ ප්‍රශ්ණයත් පරිභෝජනය සම්බන්ධයෙන් පැන නඟින මෙවැනි අනිකුත් සමාජ-ආර්ථික ප්‍රශ්ණත් ඔවුන්ට විසඳිය නොහැකිය. කල හැක්කේ කළමනාකරණය කිරීම පමණි. පරිසර විනාශ කිරීම තවත් උදාහරණයකි. බටහිර විද්‍යාවන්ට පරිසර හානිය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්ණවලට විසඳුම් නැති එක් හේතුවක් නම් ඔවුන්ගේ විසඳුම් මඟින් සංවරයක් නොමැතිව පරිභෝජනය කිරීමට ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කර ගැනීමට මාන බලන බැවිනි. මෙහි විසංවාදයක් ඇත.


සිංහල බෞද්ධ සංස්කෘතිය ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුබව පවසයි. එයට සීමා වැට කඩොළු පණවයි. අපි බටහිරුන් මෙන් කැමති අයට සංවරයෙන් පරිභෝජනය කිරීමට හෝ එසේ නොකරීමට පුද්ගලික නිදහසක් ඇතැයි නොසිතමු. අපිට සංවරවීම සමාජයටත් පරිසරයටත් අනිකුත් සතා සිවුපාවුන්ටත් අපෙන් ඉටු විය යුතු යුතුකමකි. කුඹුරේ සිට බත් පත දක්වා ඇති ක්‍රියා කාරකම් වල මේ සංයමය දැක ගත හැකිය. බොහෝ අයට සමාජයෙන් ස්වායත්තව පුද්ගලිකව මේ සංවර බව ඇති කර ගැනීමට තරම් ශක්තියක් නැතිමුත් සමාජයට අනුව හැඩ ගැහීමට බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අකමැති නැත. අපි ඉතා මෑතක් වනතුරු සමාජයක් හැටියට සංවරයෙන් සිටීමට පුරුදුවුනේ ඒ අයුරිනි. නමුත් අද මාධ්‍ය හරහාත් අධ්‍යාපනය හරහාත් ඊනියා උගතුන් හරහාත් අපට කියනු ලබන්නේ ඒ පුරුදු අත්හරින ලෙසය. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකි බව බටහිරුන් තරබාරු වසංගතයෙන් පෙන්වාදී ඇත. 


ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

Saturday, April 6, 2013

අපේ සංවර්ධන මඟ


බටහිරුන් ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගොඩනඟන්නේ වසර පණහක් හැටක් පමණවෙන ඉතා කෙටි කාලයක් ඉහත සිටය. ඒ කතන්දර පවා මෑත අතීතයේ යම් ආර්ථික හා සමාජික සිදුවීම් විස්තර කිරීමට ගොතා ගත් දෑ මිස ඉදිරි අනාගතය ගැන අනාවැකි පල කිරීමට සමත් ඒවා නොවේ. කෙසේ වෙතත් ජාතියක් වශයෙන් අප පැමිණි දුරත් අප යා යුතු දුරත් සලකනවිට මේ ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගෙතෙන්නේ නොගිනිය හැකි කාල සීමාවක් තුලය. අපේ ඉදිරි දැක්ම අද ජීවත්වන සමාජයට පමණක් ලඝු නොවී පරම්පරා ගණනාවක් ඉදිරියට දිව යා යුතුය. මෙතෙක් කල් අප ජාතිය නොනැසී පැවතුනේ අපේ මුතුන් මිත්තන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ රට ජාතිය රැක ගන්නා ආකාරය ගැන අවබෝධයක් තිබුන බැවිනි. අපි තවත් වසර දහස් ගණනක් රැකෙන්නට නම් බටහිරුන්ගේ සංවර්ධනය පිළිබද අත්හදා නොබැලූ සංකල්ප ඉවතලා අපේ මුතුන්මිත්න්ට තිබූ දැනුම අවබෝධ කරගෙන ඒ මත විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කල යුතු වෙමු.

බටහිර ආර්ථික කටයුතු සිදුවෙන්නේ එමඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස් කල හැකිය යන විශ්වාසය මතය. අපිට ඇති ප්‍රශ්ණය ඔවුන්ගේ ආර්ථික වර්ධනය නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් සිදුවී යැයි පෙන්විය හැකිද යන්නය. මීට අවුරුදු පණහකට හෝ සියයකට හෝ ඉහත දී මිනිසුන් අද තරම් සතුටින් සැනසීමෙන් ජීවත් වුනේ නැතැයි නිගමණය කිරීමට සාධාරන ක්‍රමයක් ඔවුන්ට නැත. යමෙකු එසේ සිතනවා නම් එසේ සිතන්නේ ඔහුට අද හිමි ලෞකික සැප සම්පත් අහිමි වුනොත් සිදුවිය හැකි සිත් තැවුල ගැන ඇති දැනීම තුලින් මිස එදා තිබුන සතුටක් සැනසීමක් ගැන අවබෝධයෙන් නොවේ. ලෞකික සැප සම්පත් මත පදනම් වුන ජීවන තත්වයක් මැනීම සඳහා අපිට භාවිතා කල හැක්කේ අදට අදාල නිර්ණායකය. නමුත් පාරිභෝගික අවශ්‍යතා තව තවත් අළුතින් නිර්මාණය කිරීම මත පදනම් වුන ආර්ථික ක්‍රමයක් තුල ආර්ථිකය වර්ධනය වනවිට ජීවන තත්වය මනින නිර්ණායකද වෙනස්වීම වැලකිය නොහැකිය. ඒ අනුව බලන විට බටහිර ආර්ථික වර්ධනය යනු පසිඳුරන් පිනවීම අරභයා සැනසීමක් නොලැබ නොනැවතිව කෙරෙන උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි විය යුතුය. ඉන් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය කවදාත් ලඟා කර ගත නොහැකි කැරට් අලයකි.


බෞද්ධයින්ටද උසස් ජීවන තත්වයක් ගැන අදහසක් ඇත. ඒ අදහස ගොඩනැඟෙන්නේ ලෝකය අනිත්‍යය අනාත්මය දුකය යැයි සැලකීම තුලිනි. මීට අවූරුදු දෙදහසකට පෙරත් ඔවුන්ගේ පදනම එය වූ අතර අදින් අවුරුදු දෙදහසකට පසුවටත් එය වෙනස් නොවනු ඇත. බෞද්ධයින් උසස් යැයි සලකන ජීවන තත්වයේ නිර්ණායක කලින් කලට වෙනස් නොවේ. ඒ නිසා එය මිරිඟුවක් හෝ කැරට් අලයක් නොව අත් කර ගෙන පවත්වාගත හැකි තත්වයකි. එවැනි උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැක්කේ ලෞකික සම්පත් හඹා යන එමඟින් දුක නිවන්නට බලන සමාජයක නොවේ. නමුත් ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට නම් බෞද්ධයින් බටහිර ආර්ථික සංවර්ධන මඟට ඉඳුරාම වෙනස් මඟක් ගත යුතුය. බෞද්ධයින්ගේ නිවන් දකින මඟත් දිවි ගෙවන මඟත් එකිනෙකට පරස්පර විය නොහැකිය. 


රටේ ලෝකේ සිදුවන දේ දනිතැයි සිතන අපේ රටේ උගතුන් සිතන්නේ ආණ්ඩුවේ දූෂණය නැති කලොත් හෝ රජයේ ආයතනවල නාස්තිය හා ගසා කෑම නැවතුවොත් හෝ  ආණ්ඩුවේ ඇමතිවරු ගණන අඩු කලොත් හෝ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කලොත් හෝ අපට මීට වඩා උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැකිය කියාය. මේ සියලු දේ කර ගත යුතු බව ඇත්තය. නමුත් ඒ කුමක් කලත් බටහිර ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයක් අනුකරණය කරනතාක් කල් බෞද්ධයින් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය ඔවුන්ට මිරිඟුවක් පමණක් වනු ඇත. දූෂණය හා නාස්තිය නතර කිරීමට දරන උත්සාහයට වඩා බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි. අද අපි දකින දූෂණය හා නාස්තිය බටහිර ආර්ථික ක්‍රමයේම ලක්‍ෂණය. ඒ පිළිබඳව සැකයක් ඇති අයෙක් මෑතදී මුලු බටහිර ලෝකයම ආර්ථික ආගාදයකට ඇද දමමින් ඒ රටවල මුල්‍ය ආයතන මඟින් සිදුකරන ලද වංචා කටයුතු ගැන අධ්‍යනයක් කර ඒ සැක දුරු කර ගත හැකිය. අපි ජාතියක් වශයෙන් බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගත්විට මේ දූෂණය හා නාස්තියද නිරාසයෙන්ම අප හැර යනු නිසැකය.


බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම යනුවෙන් අදහස් වෙන්නේ අපි තව වසර කිහිපයකින් අද මැලේසියාව හෝ වෙනත් දියුනු යැයි සැලකෙන ආසියානු රටක් සිටින තැනට පැමින ඉන් කාලයකට පසු ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් සිටින තැනට ආර්ථික වශයෙන් පැමිණීමට දරන උත්සාහය අත් හැර දැමීමය. අපේ සංවර්ධන කටයුතුවල තත් කාලීන ඉලක්ක විය යුත්තේ ප්‍රාදේශීයවත් දේශීයවත් ස්වයංපෝෂණයවීම හා සමාජ විශමතා අවම කිරීමය.  ඒ ඉලක්ක සපුරා ගත යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් සහ අර පරිස්සමෙන් පරිභෝජනය කිරීම තුලය. වෙළඳ ආර්ථිකය වෙනුවට කෘෂිකර්මය ප්‍රධාන තැන ගත යුතුය. විදේශ ආයෝජන වෙනුවට දේශීය කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රධාන තැන ගත යුතුය. අපේ මඟ බටහිර මඟට ඉඳුරාම වෙනස්ය. ඒ මං දෙකේ එකවර ගමන් කල නොහැකිය. අපිට වැරදී ඇත්තේ අපි මේ ප්‍රතිවිරුද්ධවූ මං දෙකේ එකවර යාමට තැත් කරන නිසාය. එය කල නොහැකිය.


බටහිරුන් නිසැකයෙන්ම අපේ ගමන ආපස්සට යාමක් ලෙස අර්ථ දක්වනු ඇත. ඔවුන් එසේ පවසන්නේ ඔවුන් යන ගමන ඉදිරි ගමනක් යැයි උපකල්පණය කරමිනි. ඔවුන්ට එය ඉදිරි ගමනක් වන්නේ බටහිර ආර්ථිකය මඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස්වේ යැයි ඔවුන් සිතන හෙයිනි. නමුත් එය මුසාවක් බව අපි දනිමු. එක තැන දුවනවා මිස ඔවුන් යන ගමනක් නැත.


අපේ මඟ ගැනීමම සංස්කෘතික පෙරලියකි. එය ලෙහෙසි පහසු නොවේ. එය තනි තනිව යා හැකි ගමනක්ද නොවේ. ජාතියක් වශයෙන් අත්වැල් අල්ලා ගෙන යායුතු ගමනකි. නමුත් එය කවුරුවත් තලමින් පෙලමින් යන ගමනක් නොවේ. අපත් සෙසු ලෝකයාත් සතා සිව්පාවනුත් ගහ කොළත් රැකෙන රැකගෙන යන ගමනකි. අපිට ලොවටම පහන් ටැඹක්විය හැක්කේ ඒ ගමනේ නියමුවෝ වීම තුලිනි.