Saturday, March 23, 2013

ලිවින් ස්ටෑන්ඩර්ඩ්


එදා සිටම නගරවල තමන් දුප්පතුන් යැයි සිතනවුන් බහුලව සිටිමුත් ගම්වල තත්වය එසේම නොවේ. මගේ දෙමව්පියන්ගේ උපන් ගමට හැත්තෑවේ දශකය මැද භාගයේත් විදුලි බලය නොතිබිනි, ගම මැදින් වූ පාරට තාර දමා නොතිබිනි, ඒ හරහා පලමු වරට බසයක් ධාවනය වුනේත් ඒ අවධියේමය. ගම් වැසි හැමෝම පාහේ ගොවිතැනින් ජීවත්වූ අතර එහි වූ බොහෝ නිවෙස් පොල් අතු සෙවිලි කල මැටියෙන් ඉදිකෙරුනු ඒවා විය. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් දුප්පතුන් යැයි කිසි විටෙකත් නොසිතූහ. ඒ ගමේ වැසි අනිත් මිනිසුන්ද එසේ නොසිතන්නට ඇතැයි සිතිය හැකිය. මෙවැනි ගම් අදද නගරයෙන් දුර බැහැරව නැතුවා නොවේ.

දුප්පත්කම සාපේක්‍ෂයැයි අමුතුවෙන් කිව යුතු නැත. එදා ගම්මුන් ගණුදෙනු කල සමාජ වපසරිය බොහෝ දුරට ගමට සීමාවිනි. ඒ තුල ආර්ථික විශමතාවන් අඩුවූ බැවින් බොහෝ දෙනෙකුට තමන් දුප්පතුන් යැයි සිතන්නට ඉඩක් නොතිබිනි යැයි සිතිය හැකිය. නමුත් අද ගම්මුන් ගණුදෙනු කරන සමාජ වපසරියට නගරයද අයිතිය. ඊට හේතුව යාන වාහන, සුපිරි මාර්ග, රූපවාහිනී මෙන්ම දුරකතන හරහාද නගරය එදාට වඩා සාමාජීය වශයෙන් ගමට කිට්ටුවී තිබීමය. ගණුදෙනු කරන සමාජ වපසරිය විශාලවත්ම එහි දකින්නට ලැබෙන ආර්ථික විශමතාවන්ද වැඩි වීම ස්වාභාවිකය. ඒ නිසා ඒ ගම් වැසියන්ගෙන් යම් ප්‍රමාණයක් තමන් ගනුදෙනු කරන සමාජයේ ඇතැම් අයට සාපේක්‍ෂව තමන් දුප්පත් යැයි සිතීමට එදාට වඩා ඉඩ කඩක් අද ඇත. ගමේ දුප්පතුන් ඇති වීමට ගමේ සමාජ හා ආර්ථික සංයුතිය වෙනස්වීමද හේතු කාරක වේ. නගරබදව නම් දුප්පතුන් කවදත් සිටියහ. එහි ඔවුන් ගණනින් වැඩි වෙනවා මිස අඩුවෙන බවක් පෙනෙන්නට නැත. අප රටේ පමණක් නොව මේ කියන සාපේක්‍ෂ දුප්පත්කම අද දියුනු යැයි සැලෙකෙන බටහිර රටවලද පසුගිය දශක කිහිපය තිස්සේම වර්ධනය වී ඇති බව විශේෂඥයෝ පවසති. නමුත් බටහිර ආර්ථික විද්‍යාඥයින් ඇති නැති පරතරය වැඩිවීම එතරම් ප්‍රශ්ණයක් ලෙස නොසලකති. මන්ද යත් බටහිර ක්‍රමයට ආර්ථිකය වර්ධනය වනවිට සියලුදෙනාගේම ජීවන මට්ටම ඉහල යයි කියා ඔවුන් උපකල්පණය කරන බැවිනි. ලිවින් ස්ටෑන්ඩර්ඩ් නොහොත් ජීවන මට්ටම ඉහල යාම ඔවුන්ට වැදගත්ය. නමුත් බටහිර ආර්ථික වර්ධනය තුලින් සමාජයේ ජීවන මට්ටම ඉහල යනවායැයි කියන මේ කථාව හුදු උපකල්පණයක් පමණි.


යමක් ඉහල යනවා යැයි කිව හැක්කේ එය මනින්නට පුලුවන්නම් පමණි. මනින්නට මිණුම් දණ්ඩක් අවශ්‍යය. ඒ මිණුම් දණ්ඩ සියලු කාලවලට එක සමාන විය යුතුය. උදාහරණයක් වශයෙන් මීටර කෝදුව ගනිමු. එය කාලයත් සමඟ වෙනස් නොවේ යැයි ගත හැකිය. ඒ අනුව එකම කෝදුව භාවිතා කර කාලයේ අවස්ථා දෙකකදී යම් ගසක උස සංසන්දනය කර එය කොපමන වැඩී ඇත්දැයි  බැලිය හැකිය. නමුත් එය කෙසේ අර්ථ දැක්වුවත් ජීවන මට්ටම මැනීමට එවැනි කාලයත් සමඟ වෙනස් නොවෙන මිණුම් දණ්ඩක් නැත. කාලය සමඟ වෙනස් වනවා නම් ඊට මිණුම් දණ්ඩක් යැයි කිව නොහැකිය. මිණුම් දණ්ඩක් නැතිව මනින්නට බැරිය. මනින්නේ නැතුව ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.


ජීවන මට්ටම කී පමණින්ම එය මනින ලද දෙයක් ලෙස හැඟේ. එය එසේ ගැනීම නිවැරදි නොවන මුත් එය අමතක කර ඊට බලපාන සාධක මොනවාදැයි කල්පනා කරමු. උදාහරණයක් හැටියට අද අපට ජංගම දුරකථන නැතිවම බැරිය. අද සමාජය හැඩ ගැසී ඇති ආකාරයට ජංගම දුරකථනයක් අයිති වීම හෝ නොවීම ජීවන මට්ටමට බලපාන සාධකයක් යැයි සැලකිය හැකිය. නමුත් මීට වසර පනහකට ඉහතදී කිසිවෙකුට ජංගම දුරකථන නොතිබිනි. නමුත් සමාජය එදා හැඩ ගැසී තිබුනේ ජංගම දුරකථන නොමැතිව ජීවත්වීමටය. ඒ නිසා අද ජංගම දුරකථනයක් නැතිවීම නිසා කෙනෙකුට ඇතිවිය හැකි අසහනය මීට වසර පනහකට කලින් සිටි සියලු දෙනාටම තිබුනියැයි කීම සාධාරණ නොවේ. ජීවන මට්ටම යන්නෙන් කුමක් අදහස් කලත් ඊට බලපාන සාධක සැම කලකම එක නොවේ. ඒ සාධක සමාජ සංස්කෘතික දේශපාලනික හේතු නිසා කලින් කලට වෙනස් වේ. නමුත් අපට නිතැතින්ම සිතෙන්නේ අද අපට ජංගම දුරකථන ඇති නිසා අපේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි කියාය. එය හුදෙක් වර්තාමානයේ ජංගම දුරකථන නැතිවුනොත් ඇතිවිය හැකි අසහනය සලකා අප එළෙඹෙන නිගමනයක් මිස ඒ නිසා අතීතයේ ජංගම දුරකථන නැතිවීම තුලින් එදා ජීවන මට්ටමට බලපෑමක් ඇති වූවායැයි සැලකිය හැකි නොවේ. ඒ අනුව පෙනී යා යුත්තේ එක් කලෙක ජීවන මට්ටම තවත් කලෙක ජීවන මට්ටම හා සාධාරනව සංසන්ධනය කල නොහැකි බවය. ඒනිසා ඊනියා සංවර්ධනයක් හෝ වෙනයම් හේතුවක් නිසා හෝ කලකදී ජීවන මට්ටම ඉහල ගියා යැයි කිව හැකිද?


කාලයේ අවස්ථා දෙකකදී ජීවන මට්ටම සැසඳිය නොහැක්කේ එහි නිර්ණායක නැත්නම් ඊට බලපාන සාධක මොනවාදැයි යන්න සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකාල්ප අනුව කලින් කලට වෙනස් වන නිසාය. වර්තමානයේ ජීවන මට්ටම අතීතය හා සැසඳිය නොහැකිවා මෙන්ම අනාගතයේ තිබිය හැකියැයි සිතන ජීවන මට්ටමක් අද ජීවන මට්ටම සමඟද සැසඳිය නොහැක. උදාහරණයක් වශයෙන් පරිසර දුෂණය නිසා අනාගතයේදී ස්වභාදහමින් ආවරණයවී රක්‍ෂිත කුටිවල ජීවත්වන්නට සිදුවුවහොත් එදා තිබිය හැකි ජීවන මට්ටම ගැන කුමක් කිව හැකිද? අද අපට එලිමහනේ සිටීමට ඇති නිදහස ගැන කල්පනාකර අනාගතයේ ජීවන මට්ටම පහල වැටේ යැයි නිගමනය කරමුද? නැත්නම්
අනාගතයේ සිටින අයෙකු අද අව්වෙන් වැස්සෙන් විදින පීඩා සලකා තමන්ගේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි නිගමනය කරයිද? මේ ප්‍රශ්ණවලට සාධාරනව පිලිතුරු දිය නොහැකිය. අපි ඒ ඒ අවධියේ පැවැත්ම ගැන සිතනනේ ඒ ඒ අවධියට බලපාන සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකල්ප අනුවය. අපට අතීතයේ තිබුනු හෝ අනාගතයේ තිබිය හැකි ජීවන මට්ටමක් ගැන අවබෝධයක් අද ගත නොහැකිය. ඒ නිසා බටහිර ආර්ථික සංවර්ධනය නිසා ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.

නමුත් බටහිර ආර්ථික විශේෂඥයෝ ඊනියා ආර්ථික ක්‍රියාකාරීකම් තුලින් ජීවන මට්ටම ඉහල යනවා යැයි සිතති. දල ජාතික නිෂ්පාදනය ඉහල යෑම එහි දර්ශකයක් ලෙස පෙන්වා දෙති. නමුත් දල ජාතික නිෂ්පාදනය ඉහලයෑමෙන් පෙන්නුම් කරන්නේ ජීවන මට්ටම ඉහල යෑමක් නොවේ. බරහිර ආර්ථික ක්‍රමය තුල නිරන්තරයෙන් සිදුවන්නේ නැති පාරිභෝගික අවශ්‍යතා මැවීමකි. උදාහරණයක් වශයෙන් නව මාදිලියේ ජංගම දුරකථන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ දැනට තිබෙන අවශ්‍යතාවක් සපුරාලීම නොව මිනිසුන් තුල ඒ පිළිබඳ කලින් නොතිබුනු අශාවක් ජනිත කෙරීමය. එවිට ඒ සඳහා වෙළඳ පොලක් නිර්මාණයවේ. එසේ නිර්මාණය වුනු වෙළඳපොලේ  ක්‍රියාකාරකම් තුලින් දල ජාතික නිෂ්පාදනය ඉහල යයි. නිශ්පාදකයින් විසින් මිනිසුන්ගේ ආශාවන් අවුලවනු ලබන අතර මිනිසුන් ඒ ආශාවන් මුදුන්පත් කර ගන්ට ඔවුන්ගේ නිශ්පාදන පරිභෝජනය කරති. මෙය චක්‍රයකි. දල ජාතික නිෂ්පාදනය දර්ශකයෙන් මූලික වශයෙන් පෙන්නුම් කරන්නේ මේ චක්‍රයේ කාර්යක්‍ෂමතාවයය. එය ඊනියා ජීවන මට්ටමට සම්බන්ධයක් නැත. නමුත් ආර්ථික විද්‍යාඥයින් අපට පෙන්වා දෙන්නේ අපේ ජීවන මට්ටම ඉහල දමා ගැනීමට දල ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගතයුතු බවය. සැබවින්ම ඉන් සිදුවෙන්නේ ආශාවන් නිර්මාණය කිරීම හා පරිභොජනය අතර ඇති චක්‍රය දිවවීමක් පමණි. මේ චක්‍රයේ කෙලවරක් නැත. දල ජාතික නිෂ්පාදනය ජීවන මට්ටම හා යම් සම්බන්ධතාවක් තිබිනි නම් ඔවුන් කියන පරිදි ජීවන මට්ටම ඉහල යද්දී දල ජාතික නිෂ්පාදනය වර්ධනවන වේගය ක්‍රමයෙන් අඩු විය යුතු නොවේද?


බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ජීවන මට්ටමට කිසි සම්බන්ධයක් නැති වුනත් ඒ හරහා සමාජ විශමතාව වර්ධනයවන බව නම් සැබෑය. එමඟින් සමාජයේ සැලකිය යුතු කොටසක් තමන් දුප්පතුන්යැයි  සිතන්නට සැලසේ. අද නගර මෙන්ම ගම්ද දුප්පත් වන්නේ ඒ නිසාය.

4 comments:

  1. "දල ජාතික නිෂ්පාදනය ඉහලයෑමෙන් පෙන්නුම් කරන්නේ ජීවන මට්ටම ඉහල යෑමක් නොවේ. බරහිර ආර්ථික ක්‍රමය තුල නිරන්තරයෙන් සිදුවන්නේ නැති පාරිභෝගික අවශ්‍යතා මැවීමකි. උදාහරණයක් වශයෙන් නව මාදිලියේ ජංගම දුරකථන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ දැනට තිබෙන අවශ්‍යතාවක් සපුරාලීම නොව මිනිසුන් තුල ඒ පිළිබඳ කලින් නොතිබුනු අශාවක් ජනිත කෙරීමය. එවිට ඒ සඳහා වෙළඳ පොලක් නිර්මාණයවේ. එසේ නිර්මාණය වුනු වෙළඳපොලේ ක්‍රියාකාරකම් තුලින් දල ජාතික නිෂ්පාදනය ඉහල යයි. නිශ්පාදකයින් විසින් මිනිසුන්ගේ ආශාවන් අවුලවනු ලබන අතර මිනිසුන් ඒ ආශාවන් මුදුන්පත් කර ගන්ට ඔවුන්ගේ නිශ්පාදන පරිභෝජනය කරති. මෙය චක්‍රයකි. දල ජාතික නිෂ්පාදනය දර්ශකයෙන් මූලික වශයෙන් පෙන්නුම් කරන්නේ මේ චක්‍රයේ කාර්යක්‍ෂමතාවයය. එය ඊනියා ජීවන මට්ටමට සම්බන්ධයක් නැත."

    ඔය විග්‍රහය මීට කළිං මම කොහෙවත් දැක නොතිබුණු ඉතා නිවැරදි විග්‍රහයක්. සහෝදරයගෙ ලිපි ටික හරවත්. ඔහොම යං.

    - ප්‍රභංග

    ReplyDelete
    Replies
    1. බටහිර ආර්ථිකය තුල ඉල්ලීමද සැපයෙන බව අචාර්ය නලින් ද සිල්වා මහතා විසින් මීට පෙර සඳහන් කර ඇත.

      Delete
  2. අගෙයි.....අපූරු ලිපි ලියන ඔබට තවත් දිරි ලැබේවා
    ඔබ කියන ප්‍රධාන හරයට මම එක හෙලාම එකග වෙමි..තර්කයක් නගමි,දැනුම උදෙසා

    උදාහරණයක් ලෙස අප ඇමරිකාව වැනි රටක් සහ ඉන්දියාව වැනි රටක් ගනිමු.
    ඇමරිකාවේ පාරට බැස්සවිට ඉතා හොද අධිවේගී පාරවල් ඇත.ඔවුන්ට යාමට සුපිරි වාහන ඇත.රක්ෂණාවරණ ,ණය පහසුකම් ආදී දෑ නිසා ජීවිතයේ සිස්ටමැටික් ගතිය වැඩිය.මුදල් හම්බු කිරීම පහසුය.නැතිනම් හම්බු කරන මුදලෙන් මිලදී ගැනීමේ හැකියාව වැඩිය.කන කෑම පවා ඉහල පෝෂ්‍යගුණයෙන් යුතු ආහාර ගැනීමේ හැකියාවක් බහුතර පිරිසට ඇත.ඒ අනුව ගත් විට ඔවුන්ගේ ලිවින්ග් ස්ටෑන්ඩඩ් ඉහල ලෙස පෙනේ..

    ඉන්දියාව ගත් විට පාරවල් තැනින් තැන කැඩී ගොසිනි.ඒවායේද මාර්ග තදබදය උපරිමය.වාහනයක් මිලදී ගැනීම ඉතා අපහසුය.පොදු ප්‍රවාහන සේවය කටුක දඬුවමකි.පාර සේරම තැන තැන අසුචිය.ජීවන වියදම සොයා ගැනීම අපහසු කාර්යයකි.රක්ෂණාවරණ හා අර තිබු සිස්ටමැටික් ගතිය කොහෙත්ම නැත.කෑම ,බීම ,ඉදුම් හිටුම් සියල්ල අඩමානෙට වෙයි...බහුතර පිරිසගේ අත්දැකීම මෙයයි.මේ අනුව ගත් කල ඔවුන්ගේ ලිවින්ග් ස්ටෑන්ඩඩ් පහල යැයි පෙනේ..
    සමකාලීන රටවල් දෙකක ලිවින්ග් ස්ටෑන්ඩඩ් සංකල්පය වලංගු වන බවක් මට නම් පෙනේ...

    ReplyDelete
    Replies
    1. උදාහරණයක් වශයෙන් ඉන්දියවේ කල්කටා නගරයට ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඇති අතැම් පහසුකම් ලැබුනොත් ඔවුන්ගේ ලිවින් ස්ටෑන්ඩර්ඩය වැඩි නොවේද?

      කල්කටාවේ ලිවින් ස්ටෑන්ඩරඩයේ නිර්ණායක ඒ සංස්කෘතියට සාපේක්‍ෂය. ඒ නිර්ණායක වෙනස් නොකරගෙන එහි ආර්ථික සංවර්ධනයක් කල හැකි නම් ඔවුන්ගේ ලිවින් ස්ටෑන්ඩරඩයේ ඉහල යෑමක් සිදුවෙන බව පිළිගත යුතුය. මන්ද නිර්ණායක වෙනස් නොවේ නම් එය මැනිය හැකි වන බැවිනි. නමුත් ඒ කරන සංවර්ධන වැඩ නිසා නිර්ණායකද වෙනස් වුවහොත් එවිට ලිවින් ස්ටෑන්ඩරඩය ගැන කිසිවක් කිව නොහැකිවනු ඇත. අපි බටහිර සංවර්ධනය අනුකරණය කරනවිට බොහෝවිට සිදුවන්නේ දෙවැන්නයි.

      Delete