Saturday, March 16, 2013

සංවර්ධනයේ මුලාව

මත්තල ගුවන් තොටුපල ගැන වර්ණනා කරමින් අදාල ඇමතිතුමා පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව කියවනවිට ඒ ව්‍යාපෘතිය පිළිබඳත් ආණ්ඩුව පිළිබඳත් ඇති වන්නේ කළකිරීමකි. එපමණක් නොවේ පසුගිය කාලයේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කල මහා පාරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති තොගයක් ගැනම සාමාන්‍ය මිනිසුන්ගේ පැහැදීමක් නැතිබව පෙනේ. ඔවුන් අසන්නේ මේ ව්‍යාපෘති වලින් ලාභ තිබේද හෝ ඒ සඳහා ගත් ණය ගෙවන්නේ කෙසේද හෝ ඉන් සිදුවේ යැයි කියනු ලබන ආර්ථික සංවර්ධනය ඇති වේද වැනි ඊනියා ආර්ථික විශේෂඥයින් අසන ප්‍රශ්ණ නොවේ. සාමාන්‍ය මිනිසුන්ට දැනගන්නට අවශ්‍ය මෙවැනි මහා ඉදිකිරීම් කුමටද යන්නය. අද වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ උගතුන් අසන ප්‍රශ්ණවලටය.  නමුත් ආණ්ඩුව නූගතුන් අසන ප්‍රශ්ණයද අවබෝධ කර ගත යුතුය.

මේ ව්‍යාපෘතිවලට පිඹුරුපත් සකස් කරන ආණ්ඩුවේ දේශපාලකයිනුත් ආණ්ඩුව විවේචනය කරන ඊනියා ආර්ථික විශේෂඥයිනුත් රටේ ඉදිරි දැක්ම ගැන දරන්නේ එකම ආකල්ප බව පෙනේ. නමුත් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දැක්ම ඊට වෙනස්ය. අධික වියදම් දරමින් කඩිනමින් ඉදි කෙරෙන මේ ගුවන් තොටුපලවල් වරායවල් ක්‍රීඩාගාර පමණක් නොවේ රාත්‍රී රේස් ධාවන හා ජාත්‍යාන්තර උත්සවද ඔවුන් දකින්නේ පමණ ඉක්මවා යෑම් ලෙසය. නැත්නම් කම් සැපෙහි ගැලීම් ලෙසය. කොටින්ම අපට අනවශ්‍ය දෑ ලෙසය. බහුතරයක්වූ සාමාන්‍ය මිනිසුන්ට ආණ්ඩුවේ මහා ව්‍යාපෘති පිළිබද ඇති කණස්සල්ල මෙයයි. ඔවුන්ගේ ප්‍රශ්ණය අර උගතුන්ගේ ප්‍රශ්ණයට වඩා මුලින් ඇති එකකි.


අපි විවෘත වෙළඳ ආර්ථිකයකට යොමුවුනේ දැනට වසර හතලිහකට පමණ ඉහතදීය. එකල ඉන්දියාවත් චීනයත් මධ්‍යස්ත ආර්ථික ප්‍රතිපත්ති අනුගමණය කරමින් සිටියහ. නමුත් ඔවුන් විසින් මෑතකදී අත් කරගෙන ඇති බටහිර ආරේ ආර්ථික සංවර්ධනයට සමාන්තර සංවර්ධනයක් අපට වසර හතලිහක් ගෙවාගෙනවත් ලඟාවීමට හැකි වී නැත. එපමණක් නොවේ ආසියාවේ අනිත් රටවල් හා සසඳන විට අප ඊනියා නිදහස ලැබෙනවිට ඔවුන් හා කරට කර සිට අද පසුබා සිටින බව බොහෝ විශේෂඥයින්ගේ මතයය. මේ කාලය තුල විටින් විට රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොතිබුන බව ඇත්ත නමුත් අපේ අසල්වැසි සමහර රටවල් තරමට බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් අපට ඇති කර ගත හැකි නොවුනේ ඒ නිසාම නොවේ. අපේ නොහැකියාවක් ඇත. විශේෂයෙන්ම එය රටේ බහුතරයක් වන සිංහල බෞද්ධයින්ගේ නොහැකියාවකි. ඒ නොහැකියාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයකි.


අධි පාරිභෝගිකත්වය, පුද්ගල නිදහස වැනි ලක්‍ෂණ සහිත ධනවාදී ආර්ථික ක්‍රමයකින් ලඟා කරගන්නා සංවර්ධනය බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ලෙස හැඳින්විය හැකිය. අද බටහිර ආධිපත්‍ය හමුවේ ලොවපුරා බොහෝ රටවල් උත්සාහ කරන්නේ එවැනි සංවර්ධනයක් අත් කර ගැනීමටය. රජය මඟින් ඉඩ පහසුකම් සලසා දුන්නත් බටහිර ආර්ථිකය දුවවන්නේ පෞද්ගලික අංශය මිස රජය නොවේ. පෞද්ගලික අංශයද අවසානයේ ගත්කල තනි පුද්ගලයින්ගේ ක්‍රියා කාරකම්ය. නව පාරිභෝගික භාන්ඩ හෝ සේවා නිර්මාණය කර ඒ තුලින් එතෙක් කල් නොතිබුනු පාරිභෝගික අවශ්‍යතාවක් නිර්මාණය කර ඒ මත පදනම්ව ව්‍යාපාර ඇරඹෙන්නේත් ඒවා මහා වෙලඳ ව්‍යාපාර බවට දියුනු වන්නේත් බොහෝවිට එම විශයෙහි දක්‍ෂ තනි පුද්ගලයින් අතින්ය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයින් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අතර දුලබය. ඔවුන්හට පොදුවේ බටහිර චින්තනය තුල නව දැනුම නිර්මාණය කිරීමේ ඇති නොහැකියාව මීට හේතුව විය හැකිය. බටහිර ආර්ථිකය දිව වීමට පාරිභෝගිකයින්ගේ දායකත්වයද අවශ්‍යය. නමුත් සිංහල බෞද්ධ සමාජය අධි පරිභෝජනය හෙලා දකියි. මේ කරුණු නිසා අප රටේ බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් ඇති කර ගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පිටුවහලක් ලැබෙන්නේ නැත. අප රට දියුණු නොවන්නේ බුද්ධාගම නිසා යැයි හිටපු පාප්තුමෙකු පැවසූ බව සඳහන්වේ. එතුමා මොන අරමුණින් ඒ අදහස් දැක්වූවත් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය නිර්මාණ කරුවනුත් පාරිභෝගිකයිනුත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බිහි කරන්නේ නැති බව පැහැදිලිය.


නමුත් බටහිර ආර්ථික සංවර්ධණය පසුපස අප නොයායුත්තේ ඒ නිසා පමණක් නොවේ. බටහිර ආර්ථික විද්‍යාවටද බටහිරුන් අපේක්‍ෂාකරන සංවර්ධනය අත් කර දීමට නොහැකිය. අද දියුණු යැයි සලකන බටහිර රටවල පවා දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති. ඒ පරතරය අඩු කිරීම ආර්ථික සංවර්ධනයේ එක් මූලික අපේක්‍ෂාවකි. නමුත් ධනවාදී සංවර්ධනයට විභවයක් වන්නේද ඒ පරතරයමය. එනම් ආර්ථිකය සංවර්ධනය වන්නේ තමන් දුප්පතුන් යැයි සිතන පිරිසක් පරිභෝජනය හරහා සමාජයේ ඉහලට යන්නට තැත් කරන බැවිනි. දුප්පත් පොහොසත් පරතරය එම පරතරය නිසාම දිවෙන ආර්ථික ක්‍රමයකින් පියවිය හැකිනොවේ. එහි පරස්පර විරෝධීතාවක් ඇත. අද බටහිර ආරේ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරමින් සංවර්ධනය වන බොහෝ රටවල සාපේක්‍ෂ දුප්පත්කම වැඩිවෙමින් පවතින්නේ ඒ නිසා නොවේද?


බටහිර ආරේ ආර්ථික සංවර්ධනය මුලාවක් පමණි. අපි ඒ පසු පස බඩගාමින් යා යුතු නොවේ. අපි අපට අවේනිකවූ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගත යුතුය. ඊට අවශ්‍ය උපාංග දැනටමත් අපේ ආර්ථිකයේ ගිලී සැඟවී පවතී. එහි පදනම විය යුත්තේ ගොවිතැන මිස වෙලඳාම නොවේ. එහි හදවත විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාත ගොවියන් සහ සුළු හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් මිස අතලොස්සක්වූ මහා පරිමාණ සමාගම් නොවේ. එහි ආර්ථික මධ්‍යස්ථාන විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාතවූ ගම් මිස අතලොස්සක්වූ නගර නොවේ. සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සමාජ විශමතා අවම කරගනිමින් ස්වයංපෝෂණය වීම මිස ඊනියා උසස් ජීවන තත්වයක් ඇති කර ගැනීම නොවේ. බටහිරුන් ආර්ථික සංවර්ධනය හරහා අපේක්‍ෂා කරන ඊනියා උසස් ජීවන තත්වය ඔවුනට කෙදිනකවත් අත්පත් කරගත නොහැකිය.


අපට උරුම ආර්ථික ක්‍රමයකට ඇවැසි හැකියාවන් ආකල්ප හා සංකල්ප අදටත් අප ආර්ථිකයේ මුල් බැස තිබේ යැයි මම සිතමි. අපිට බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට නොහැකි මේ නිසාය. එසේ නමුත් අපි ආර්ථිකව නොවැටෙන්නේද ඒ නිසාය. සිදුවිය යුත්තේ බටහිර සංකල්ප යටපත් කර අපේ ආර්ථික ලක්‍ෂණ ඉස්මතු කර ගැනීමය. අවාසනාවකට මෙරට සාමාන්‍ය ජනයාට රට නොයායුතු ගමන් මඟ පිළිබඳ යම් වැටහීමක් තිබුනත් ඔවුන් බටහිර සංවර්ධන මායාවෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත. ආණ්ඩුවද ජනතාවත් ජාතික ව්‍යාපාරයත් හැර ගොස් මං මුලාවී සිටින බව පෙනේ. මත්තල ගුවන් තොටුපොලෙන් පිළිබිඹු වෙන්නේ එයයි.


2 comments:

  1. බටහිර ආර්ථික මොඩලයේ සහ සංවර්ධනයේ පැවැත්මට දුප්පත් පොහොසත් පරතරයක් තිබීම අවශ්‍ය බවත් අදාළ රටවල එම පරතරය වැඩිවෙමින් පවතින්නේ ඒ හේතුවෙන්ය යන්නත් පිළිගත නොහැක (ඇතැම් බටහිර රටවල දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙමින් පැවතියත් එය සිදුව ඇත්තේ බටහිර සංවර්ධන මොඩලයේ අවශ්‍යතාවයක් නිසා යැයි ගත නොහැක).

    මා තේරුම් ගෙන ඇති ආකාරයට බටහිර ආර්ථික සහ සංවර්ධන මොඩලය අසාර්ථක වන්නේ (සහ එය අපට නොගැළපෙන්නේ) එය සූරාකෑම මත යැපෙන ආකෘතියක් බැවිනි. එම තේරුමින් බටහිර ආර්ථික මොඩලය දුප්පත් පොහොසත් පරතරය මත යැපෙන්නේ ජාතික මට්ටම් වලින් නොව ජාත්‍යන්තර මට්ටමිනි. එකතරා අවධියකදී මෙම සූරාකෑම ජාතික මට්ටමින් වී ඇතැයි සිතිය හැකි වුවත් අද එය පැහැදිළිවම වන්නේ ජාත්‍යන්තර මට්ටමිනි (මෙහිදී මිනිසුන්ට අමතරව පරිසරයද හරිහරියට සූරාකෑමට ලක්වෙන බව අමුතුව කිවයුතුව නැතැයි සිතමි). ජාතික මට්ටමින් කෙරුණු සූරාකෑම ඇතැම්විට නවතන්නට ඇත්තේ ඉන් මතුවන සමාජ අරගල පියවා ගැනීමට යැයි සිතිය හැක (අදද බොහොමයක් බටහිර රටවල ධනේෂ්වර මූලධර්ම වලට තනිකරම පි‍ටුපාමින් දුප්පතුන් ඉලක්ක කොටගත් සමාජ සුබසාධන වැඩසටහන් (ඩෝල් දීම වැනි) ක්‍රියාත්මක වන්නේ මෙවන් සමාජ අරගල ඇතිවීම වළක්වා ගැනීමට විය යුතුය. මෙවැනි වැඩසටහන් වලටද බහුවිධ අරමුණු ඇත. මෑතකදී ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වුණු එවැනි වැඩසටහනකදී සාමාජයේ අති බහුතරයකට (සුපිරි පොහොසතුන් නොවන) ආණ්ඩුවේ මුදල් නිකරුණේ දීමක් සිදු විය. ආර්ථික අවපාතයක් ඇතිවීම වළක්වා ගැනීම ඉලක්ක කර කෙරුණු මෙම මුදල් ප්‍රදානයේ දී ආණ්ඩුවෙන් අවධාරණය කෙරුණේ එම මුදල් දෙන්නේ ඉතිරි කරන්නට නොව වියදම් කරන්නට බවයි (හෙවත් නැවත ව්‍යාපාර ඔස්සේ සංසරණය කිරීමට බවයි. පසුව කෙරුණු අධ්‍යනයකදී හෙළි වූයේ මෙම මුදල් වලින් සැළකිය යුතු ප්‍රමාණයක් නැවත ගොස් තිබුණේ එරට ක්‍රියාත්මක කැසිනෝ ප්‍රමුඛ සූදු ව්‍යාපාර වෙත බවයි!!!!).

    මා දකින ආකාරයට සූරාකෑම මත යැපෙන මෙම ආර්ථික මොඩලය දෙ ආකාරයකින් අසාර්ථක වෙයි. එක් අතකින් සම්පත් අසීමිත ලෙස සූරාකෑම නිසා වන පරිසර හානිය නිසා මෙම මොඩලය අර්බුධයට යයි (සූරාකෑම ගෝලීයකරණය හරහා සමාජ අරගල සාර්ථකව 'අවුට්සෝස්' කිරීමට මෙම මොඩලයට හැකිව ඇතත් පරිසර හානියද එලෙසටම අනුන්ට පවරා අත සෝදා ගැනීමට එයට නොහැකිව ඇත). අනෙක් අතට මෙම මොඩලයේ පැවැත්මට නව වෙළඳ පළවල් විවෘත කරගැනීමේ අවශ්‍යතාවය ඊට ඇතත් එම නව වෙළඳ පළවල් වලින් පවතින සීමිත සම්පත් වෙත ඇතිවන ඉල්ලුම සමනය කර ගැනීමට මෙම මොඩලයට හැකියාවක් නැති බැවින් එය නැවත අර්බුධයට යයි (තේරෙන නිදසුනකින් කියන්නේ නම් අද ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ සිරියාවද ධනේෂ්වර ආර්ථික මොඩලයට ගෙන එහිද නව වෙළඳ පළක් විවෘත කොට ගැනීමයි (මේ නග්න ආක්‍රමණයේ සංස්කෘතික උවමනාවක් නැතැයි මින් නොකියවෙයි). නමුත් ඉන් පසුව සිරියාවේ තෙල් සඳහා වන ඉල්ලුම ඉහළයනවිට කෙටි කාලිනව ඇමරිකානු තෙල් සමාගම් ඉන් ලාභ ලබනු ඇති වුවත් දීර්ඝකාලීනව ඇමරිකානුවන්ට පාවිච්චි කිරීම්ට ඇති තෙල් සිරියානුවන් විසින් යම් ප්‍රමාණයකින් හෝ පාවිච්චි කිරීම නිසා ඇතිවන අර්බුධය සමනය කරගැනීමට නොහැකිව මෙම ක්‍රමය නැවත අර්බුධයට පත්වෙයි).

    උක්ත කරුණ සම්බන්ධයෙන් හැර මෙම ලිපියේ ඇති වෙනත් කරුණු වලට මම මූලිකවම එකඟ වෙමි.

    -ප්‍රභංග

    ReplyDelete
  2. ඔබ කියන්නේ බටහිර සංවර්ධනය කෙරෙන්නේ සූරාකෑම මඟින් කියාය. නැත්නම් බටහිර සංවර්ධනය නිසා සූරා කෑමක් ඇති වේය කියාය. එය පිලිගත හැක. මම පවසන්නේ බටහිර සංවර්ධනයට පැවතිය හැක්කේ ඇති නැති පරතරයක් ඇති තැන පමණි කියාය. අඩුම තරමේ පරතරයක් නිර්මාණය කිරීමට ඉඩක් තිබෙන තැන පමණි කියාය. බටහිර සංවර්ධනයට ඇති නැති පරතරය (දේශීයව හෝ ජාත්‍යාන්තරව) විදුලි පථයක විදුලිය දුවවන බැටරියක් බඳුය.

    ReplyDelete