Saturday, March 2, 2013

පන්සල ආණ්ඩුව සහ ජනතාව


ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන, පුද්ගලික නිදහස ඉහලින්ම අගයන, ධනවාදී රටක ආණ්ඩුව හා ජනතාව අතර සම්බන්ධය කෙබඳු විය හැකිද? මෙවැනි රටක ජනතාවක් රජයෙන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ පුද්ගලික නිදහස රැක දීමටය. ඊට අමතරව ධනවාදී ජීවන රටාවට ඉඩ ප්‍රස්ථාව ලබා දීමටය. ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වුනොත් පත්වෙන ආණ්ඩුව ක්‍රියා කල යුත්තේ ජනතාවගේ නියෝජිතයා මෙන්ම සේවකයාද ලෙසය. මෙවැනි රටක ජනතාව බදු ගෙවන්නේ තමන්ට ඒ ආණ්ඩුවේ සේවය ලබා ගැනීමට පමණි. ආණ්ඩුව ඒ මුදල් හොඳින් කළමණාකරනය කරගනිමින් ඔවුන් බලාපොරොත්තුවන සේවය (උදාඃ නීතිය හා සාමය රුකීම) ජනතාවට ලබා දිය යුතුය. ඒ හැරෙන්නට ආණ්ඩුවට පුද්ගලික ජන ජීවිතයට බලපෑම් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මේ ආකාරයටම ක්‍රියාත්මක වන රටක් මේ ලෝකයේම නැති නමුත් ඇමරිකාව මීට ආසන්නතම රට ලෙස හැඳින්විය හැකිය.


ඇමරිකාවේ ආණ්ඩු ක්‍රමය තුල සිදුවන්නේ ජනතාව විසින් ආණ්ඩුව මෙහෙයවීමය. වෙන ආකාරයකට කිවහොත් ආණ්ඩුව හා ජනතාව අතර ඇත්තේ ජනයා සිට ආණ්ඩුව කරා ගලා එන රේඛීය සම්බන්ධයකි. මේ ක්‍රමය තුල ජනමාධ්‍ය අධ්‍යාපනය ආදියෙන් ජනතාව එක දේශපාලන චින්තනයක ගොනුකර තබා ගන්නා බව සත්‍යය නමුත් ආණ්ඩුවෙන් ජනතාව මෙහෙයවීමක් සිදුනොවේ. ආණ්ඩුවේ කාර්යය එය නොවේ. එනම් ආණ්ඩුවේ සිට ජනතාව කරා ගලා එන රේඛීය සම්බන්ධයක් නැත. අද බිඳ වැටෙමින් පවතින ඇමෙරිකානු ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිට බහුතර ජනතාවකගේ කැමැත්ත මෙහෙයවා ගැනීමට නොහැකිවී ඇත්තේ මේ සම්බන්ධකම නැති නිසාය. සමාජ ආර්ථික විශමතා සහිත මේ ලොකයේ ඕනෑම රටක රජයකට සිය පැවැත්ම උදෙසා එහි ජනතාව මෙහෙයවීමේ හැකියාවක් තිබිය යුතුය. එනම් බහුතර ජනතාවකගේ කැමත්ත වෙනස් කර ගැනීමට රජයට දේශපාලන බලයක් තිබිය යුතුය. දේශපාලන නායකත්වය යනු එයයි. නමුත් මේ වනවිට පොදුවේ බටහිර රටවල් තම රට තුල ප්‍රජාතන්ත්‍රවාදයට සහ පුද්ගලික නිදහසට ඉහල තැනක් දීම තුලින් රජයට ජනතාව මෙහෙයවීමට ඇති හැකියාව මොට කරගෙන සිටිති. බටහිර රජයන්ගෙන් වැඩිපුර  සිදුවන්නේ කලමණාකරණයකි. (බටහිර රටවල් අන් රටවල ප්‍රජාතාන්ත්‍රික අයිතීන් නොරැක අධිපතිවාදීව ක්‍රියා කිරීම වෙනම ක්‍රියාවලියකි).


පරමාදර්ශීව ගත්කල රජ්‍ය බලය හා ජනතාව අතර තිබිය යුත්තේ චක්‍රීය සම්බන්ධයකි. නැත්නම් ගනුදෙනුවකි. ජනතාවට රජය මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතු අතර රජයට අවශ්‍ය විටදී ජනතාව මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන පුද්ගලික නිදහස ඉහලින්ම අගයන ධනවාදී රටක මෙවැනි සම්බන්ධයක් ඇති කර ගැනීමට නොහැකි වුනත් සිංහල බෞද්ධ සංස්කෘතියක එය කල හැකි විය යුතුය. ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දෙන පරිදි අතීතයේ අප රටේ දේශපාලන ප්‍රභවයන් ත්‍රිත්වයක් තිබිනි. එනම් ජනතාව රජය සහ භික්‍ෂූන් වහන්සේය. මේ ත්‍රිත්වය අතර තිබුනේ චක්‍රීය දේශපාලන සම්බන්ධතාවක් යැයි අනුමාන කල හැකිය. එය බටහිර පවතින රේඛීය සම්බන්ධයෙන් වෙනස්වේ. චක්‍රීය සම්බන්ධයට අනුව අවශ්‍ය නම් ඕනෑම එක ප්‍රභවයක් මඟින් අනිත් ප්‍ර
වයන් දෙකටම දේශපාලනික බලපෑම් කිරීමට හැකිය. උදාහරණයක් වශයෙන් ජනතාව හා භික්‍ෂූන් වහන්සේ මඟින් රජයට බලපෑම් කල හැකිවූ අතර අනිත් අතට රජයට ඒ දෙපලටම බලපෑම් කිරීමේ හැකියාව තිබිනි. මේ ත්‍රිත්වය අතර වූ විවිධ දේශපාලන බල එක සමාන නොවූ අතර කාලයෙන් කාලයට වෙනස් වන්නටද ඇත. නමුත් වඩා වැදගත්වූයේ එවැනි චක්‍රීය සම්බන්ධකමක් පැවැතීමය.

අද මේ ත්‍රිත්වය අතර චක්‍රීය දේශපාලන සම්බන්ධතාවක් නැත. එපමණක් නොවේ භික්‍ෂූන් වහන්සේට එදා සමාජයේ තිබූ සැලකිල්ලද අද නැත. යටත් විජිත වාදීහු මේ බවට වග බලාගත්හ. ඔවුන් මෙරට ස්ථාපිත කල පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල මෙවැනි චක්‍රීය සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නට ඉඩක් නැත. එහි ඇත්තේ රේඛීය සම්බන්ධකම් පමණි. අපි නැවතත් භික්‍ෂූන් වහන්සේත් රජයත් ජනතාවත් අතර චක්‍රීය සම්බන්ධයක් ගොඩනඟාගත යුතුය. නමුත් එයට බාධක රැසකි. බටහිර සංස්කෘතියෙන් පුද්ගලයා සමාජයෙන් වෙන් කර තැබීම එක බාධාවකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැතැයි බලකර සිටීම තව එකකි. ධනවාදී ආර්ථික ක්‍රමය තවත් එකකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට, පුද්ගලික නිදහසට ඉහල තැනක් තිබීමට හා ධනවාදී ආර්ථික ක්‍රමයට එකිනෙක නැතිව පැවැත්මක් නැත. ඒ සියලු දේ ඇති තැන ඇත්තේ බටහිර ආණ්ඩු ක්‍රමයය. නමුත් පන්සලත් ජනතාවත් රජයත් අතර චක්‍රීය සම්බන්ධයක් පදනම් කරගෙන ගොඩනැඟුනු ආණ්ඩු ක්‍රමයක මේ කිසිවක් තිබිය නොහැකිය. එතැන තිබිය හැක්කේ මහා සම්මත වාදයකි. පුද්ගල හා සමාජ අයිතීන් එක ලෙස වැදගත් වීමකි. අවශ්‍ය තරමට පමණක් පරිභෝජනය කෙරෙන ආර්ථිකයකි. නමුත් මේ සියලු අවශ්‍යතා එකවර සපුරා ගත හැකි නොවේ. වාහන රෝදයක ඇණ අතින් තද කරන විට එක ඇණයක් සම්පූර්ණයෙන්ම තද කර ඊලඟ ඇණයට නොයයි. කෙරන්නේ සියලු ඇණ චක්‍රාකාරව ක්‍රමයෙන් තද කිරීමය. අපිද වෙනස් කම් කල යුත්තේ මේ ආකාරයටය. ඊට කල් ගත වනු ඇත. නමුත් ඒ සඳහා අද කල යුතු දෑ ඇත.


අද දවසේ සිංහලුන්ගේ සැක සහ බියට මූලික හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ උවමණා එපාකම් වලට අනුව ජීවත්වීමට ඇති හැකියාව ඔවුනතින් ගිලිහී තිබීමය. එය රැක ගැනීමට ඔවුන්ට අයිතියක් තිබිය යුතුය. ඒ අයිතිය තහවුරු කල යුත්තේ රජයය. අපට උරුම දේශපාලන චින්තනයක් අර්ථදක්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊට අනුගත කිරීම තුලින් එය කර ගැනීමට හැකිය. එවිට යම් ආණ්ඩුවක් රටේ දේශපාලන චින්තනයට විරුද්ධව ක්‍රියා කරයිද රජයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ජනතාවට අවස්ථාවක් සැලසෙනු ඇත. එමෙන්ම යම් බාහිර බලවේගයක් රටේ දේශපාලන චින්තනය වෙනස් කිරීමට උත්සාහ කරයිද ඊට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද ආණ්ඩුවට හැකිවනු ඇත. ඒ අනුව ජනතාව රජය අනුමත කරනතාක් කල් සහ රජය බාහිර බලවලට සාර්ථකව මුහුණ දෙනතාක් කල් ජනතාවට ඔවුන්ගේ උවමණා එපාකම් වලට අනුව ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇත. ව්‍යවස්ථාව සවිමත් කිරීමෙන් සිදුවෙන්නේ එයයි.


ඒ කාර්යයේ මූලිකත්වය ගත යුත්තේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ පනස් හයේ දරුවන්ය. හැකිනම් එම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ වගකීම පැවරිය යුත්තේද උන්වහන්සේටය. ඒ තුලින් භික්‍ෂූන් වහන්සේත් රජයත් අතර චක්‍රීය සම්බන්ධයක් යලි ගොඩනඟා ගැනීමටද මඟ පෑදෙනු ඇත.

4 comments:

  1. //ඒ අනුව ජනතාව රජය අනුමත කරනතාක් කල් සහ රජය බාහිර බලවලට සාර්ථකව මුහුණ දෙනතාක් කල් ජනතාවට ඔවුන්ගේ උවමණා එපාකම් වලට අනුව ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇත//
    එය ඊයෙත්, අදත් එලෙසම වනු අතර, හෙටත් එසේ වීමට අපි ඉඩ නොදිය යුතුය.
    නමුත්,
    //භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ පනස් හයේ දරුවන්ය// නැහැ, එලෙස සීමා කළ නොහැකිය. සියලුම පුරවැසියන්ගේ වගකීමකි.

    ReplyDelete
  2. රාජ්‍ය බලය මෙහෙයවීමේදී බෞද්ධයින්ගේ දේශපාලන චින්තනයට ප්‍රමුඛස්ථානයක් හිමිවිය යුතු යැයි ඔබ නොසිතන්නේද?

    ReplyDelete
  3. මේ තුන්-ඈඳුනු දේශපාලන ක්‍රමවේදයක් මෙරට නැවත ගොඩනැගීමේදී මුලින්ම සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ප්‍රධාන සංස්කෘතිය ලෙස පිළිගැනීමට සිදුවේ. නො එසේව භික්ෂූන්වහන්සේ අතට දේශපාලන බලයක් හිමිවීම ඊනියා වැඩවසම් ලක්ෂණයක් ලෙස පණ්ඩිතයන් විසින් අර්ථදැක්වෙනු ඇත. අනාගමික රාජ්‍ය ගැන වැල්බයිලා වැයුම් ආදිය මීටත් වඩා ඇසෙනු බලාපොරොත්තු විය හැකිය.

    මෙවැනි කාර්යයකට සියලු ජනවර්ග දායක කර ගැනීමට පෙර සිංහල බෞද්ධයන් අතර යම් සංස්කෘතික පිබිදීමක් ඇති කරගැනීමෙන් දේශපාලන බලපෑමක් රජයට කළහැකි තත්වයක් ඇතිකළ යුතු නොවේද?

    ත්‍රස්තවාදී ගැටලුව සම්බන්ධයෙන් වුවද රජය බිහිකිරීම සහ බලපෑම් ඇතිකිරීම ජාතික බලවේග වල කාර්යය විය. ඉදිරියටද ජනමතයක් නිපදවීමේ වගකීම ජාතික බලවේග වලට තිබේ.

    හලාල් ප්‍රශ්නය වැනි ඇස්දෙකටම ඇනෙන ප්‍රශ්න වලට පොදුවේ සිංහල බෞද්ධයන්ගේ දේශපාලනය සීමාවී ඇත. මගේ මතය නම් සිංහල බෞද්ධයන්ගේ ඇඟට දැනෙන මට්ටමට ප්‍රශ්නය සංයුක්ත කරගැනීමට අපට සිදුවන බවය. මෙය කරන්නේ කෙසේද යන්න මටද අවබෝධයක් නැත. එහෙත් එවැන්නක් අවශ්‍ය යැයි හැඟෙයි.


    ReplyDelete
  4. සංයුක්ත ප්‍රශ්ණයක් මුල් කර ගෙන සංස්කෘතික පිබිදීමක් ඇති කර ගැනීමට පිවිසුමක් ලැබේදැයි මට සැකයි. මන්ද අද සංස්කෘතික ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ විසිරුනු බල පද්ධතියක් හරහායි (අධ්‍යාපනය, ආර්ථිකය ආදී). ව්‍යවස්ථාව ජාතික දේශපාලන චින්තනයකට අනුකූලව වෙනස් කිරීම ප්‍රායෝගිකව අද කල හැකි දෙයක්. මෙය වගන්ති කීපයක් ඇතුලත් කිරීමෙන් කරන්නට පලුවන් වේවි. ඔබ කියන ආකාරයට ඊට විරෝධතා පැන නැඟෙන්න පුළුවන් නමුත් එය ඉටු කරගත හැකි නම් ඒ හරහා පෙර නොතිබුනු නව නිදහස් මඟක් හෙලිවෙතැයි මම විශ්වාස කරමි.

    ReplyDelete