Saturday, March 30, 2013

රට ගිය ඇත්තන්ගේ ජීවන තත්වය


සමහරු ජීවය පරදුවට තබා බෝට්ටුවල නැගී ගොස් සරණාගතයින්සේ විදේශගත වන්නේ කෙසේ හෝ තම ජීවන තත්වය ඉහල දමා ගැනීමේ අරමුණින්ය. අද අප රටේ බොහෝ තරුණයින් මේ ආකාරයට හෝ වෙනයම් ආකාරයකට හෝ බටහිර රටකට පැන ගැනීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත් විදේශගතවීමෙන් පසු මේ බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහල යන බව කිව යුතුය. අඩුම ගණනේ බොහෝ දෙනෙක් එසේ තම ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි සිතති. නමුත් විදේශගත වන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයටම නොවේ. බටහිරුන්ට තම ජීවන තත්වය උසස් වීමට භෞතික සැප පහසුකම් වලට අමතරව පුද්ගලික නිදහස, දේශපාලන නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි දෑද වැදගත්ය. අපිටද මේ සමහර දෑ වැදගත් වුනත් අපි ඒ පිළිබඳ දරන අදහස් බටහිරුන් ඒ ගැන දරන අදහස් හා සමාන නොවේ. කෙසේ වෙතත් ජීවන තත්වය යනු වාස්ථවිකවූ මැනගත හැකි දෙයක් නොවේ. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. එසේ නම් විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහල යන්නේ කෙසේද?

බටහිර රටවලට පැනගත් මා වැනි පළමු පරම්පරාවේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ එරට සංස්කෘතියට මුලු මනින් අවශෝෂණය නොවෙති. උත්සාහ කලත් ඔවුන් බහුතරයකට එසේ වෙනස්වීමටද නොහැකිය. ඔවුන් බහුතරයක් ඇසුරු කරන්නේ තමන් මෙන් එරටට පැනගත් ශ්‍රී ලාංකියන්මය. බොහෝ දෙනෙකු සුද්දන් ඇසුරු කරන්නේ අතේ දුරින්ය. ඔවුන් එකිනෙකා හමුවුන විට වැඩිපුර කථා බස් කරන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා තොරතුරු මිස තමන් වසන රටේ සිදුවන දෑ නොවේ. එක් ව කල් ගත කරන්නට ඇති බලවත් කැමැත්ත නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ නිතර තම නිවෙස්වල ශ්‍රී ලාංකික මිතුරන් කැඳවා සාද පවත්වති. ඒ සාදවල අසන්නේත් ගැයෙන්නේත් පරණ සිංහල සිංදුමය. මේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරයද බත්මය. බටහිර රටවල මේ පුරුද්ද එතරම් පහසු නොවුනත් ඔවුහු ලංකාවේ කෑම බීම ඒ විදිහටම උයා පිහාගෙන කන්නට වෙර දරති. හැකියාවක් ඇති බෞද්ධයෝ
මන් වාසය කරන ප්‍රදේශවල පංසල් තනා ගනිති. බටහිර රටවලට පැන ගැනගත් ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල වාසය කරන්නේ සුද්දන් මෙන් නොවන බව රට නොගිය ශ්‍රී ලාංකිකයින් නොදන්නවා විය හැකිය. නමුත් ඇත්ත තත්වය එයය.

බටහිර රටක වාසය කලත් මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් සංස්කෘතියෙන් මුලු මනින් බටහිර වී නැති බව පැහැදිලිය. ඔවුන්ගේ ජීවන තත්වය උසස්වීමට බලපාන ප්‍රධාන කරුණ බටහිර ඇති ලෞකික සැප සම්පත්ය. ඊට බලපාන අනිත් වැදගත් කරුණ නම් ආශ්‍රයෙන් හෝ කෑමෙන් බීමෙන් හෝ වෙන කිසියම් අයුරකින් හෝ ඔවුන්ට තම සංස්කෘතික අංග යම් පමණකට හෝ එම රටවල පවත්වාගෙන යාමට ඇති හැකියාවය. ඇතැමුන්ට අනුව එය දුකින් සැප විඳීමකි.  ඒ කෙසේ වෙතත් මෙලෙස තම සංස්කෘතියේ යන්තම් හෝ පය ගසා ගෙන සිටින නිසා පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයට නොව තම මවු රටේ වැසියන් සිතන ආකාරයටමය. ඔවුහු තම සංස්කෘතියේ එල්බ ගෙන සිටමින් ලෞකික සැප සම්පත් ලඟා කරගෙන තමන්ගේ ජීවන තත්වය උසස් කර ගනිති. ඔවුන්ට රට යෑම නිසා තමන්ගේ ජීවන තත්වය උසස් වී ඇතැයි හැඟෙන්නේ ඔවුන් රට යෑමට පෙරත් පසුත් ජීවත්වන්නේ අඩු ළුහුඩු කම් මත වුනත් එකම සංස්කෘතියක තුල බැවිනි. ඒ නිසා රට යෑම ඔවුන්ගේ ජීවන තත්වයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට හේතු වී නැත. ඒ නිසා ඔවුන් බටහිර රටේදී අත්පත් කරගන්නා ආර්ථික වෙනස ඔවුන්ට මැන ගත හැකිය. ඒ වෙනස ඔවුන්ගේ ඇඟට දැනේ. නමුත් ඔවුන්ගෙන් පැවත එන දෙවන හා තෙවන පරම්පරා වලට තමන්ගේ ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි කිව හැකිද?


පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් සැප සම්පත් ඇති බටහිර රටක හදා වඩා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙති. ඔවුන්ට බටහිර රටක අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ගැන සතුටු වෙති. මේ දෙමව්පියන්ට එසේ සතුටුවිය හැක්කේ ඔවුන් ලංකාවේ සිටියා නම් ඔවුන්ට අත්විය හැකි ජීවන තත්වයක් ගැන කල්පනා කරමිනි. මේ දෙමව්පියන් තවම ශ්‍රී ලාංකික සංස්කෘතියේ යන්තම් පය ගසා ගෙන සිටින නිසා ඔවුන්ට මෙවැනි සංසන්දනයක් කල හැකිය. ඔවුන්ට ඒ ජීවන තත්වය ගැන අවබෝධයක් ඇත. නමුත් ඔවුන්ගේ දු දරුවන් ජීවත්වන්නේ බටහිර සංස්කෘතියේය. ඒ දරුවන් තම ජීවන තත්වය අර්ථ දක්වන්නේ බටහිර සංස්කෘතියට අනුවය. ඔවුන්ගේ අර්ථ දැක්වීම පළමු පරම්පරාවේ අර්ථ දැක්වීමට වඩා වෙනස්ය. ඒ නිසා තම දෙමව්පියන්ගේ සංක්‍රමණය නිසා ඇතිවූයේ යැයි කියන ජීවන තත්වය උසස්වීම ගැන දරුවන්ට අවබෝධයක් නැත. ඔවුන්ට ඒ සැසඳීම වැදගත්ද නැත. මන්ද දරුවන් තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට නම් ඔවුන් ජීවත්වන බටහිර සංස්කෘතියේ අර්ථ දැක්වීම් අනුව ක්‍රියා කල යුතු බැවිනි. දෙමව්පියන් කෙසේ සිතුවත් ඔවුන්ගේ සංක්‍රමණය නිසා දරුවන්ට ඔවුන් ජීවත්වන බටහිර සමාජයේ (ජාතියෙන් සුදු නොවීම නිසා අවාසියක් වුනොත් මිස) වාසියක් අත්වී නැත. මේ දරුවන් බටහිර රටේ තම ජීවන සටන අරඹන්නේ මුල සිටමය. මේ බව බහුතරයක් පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන්ට පිළිගැනීමට අපහසු ඔවුන් තවම තම මවු රටේ සංස්කෘතික ආකල්ප තුලින් ජීවන තත්වය දිහා බලන බැවිනි.


රට ගිය ඇත්තන්ගේ මේ අත්දැකීම තුලින් බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ගැන පාඩමක් ඉගෙනගත හැකිය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කිව හැක්කේ, නැත්නම් එය ඇඟට දැනෙන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් නොවුනොත් පමණි. ජීවන තත්වයේ උසස්වීම පළමු පරම්පරාවේ සංක්‍රමණික දෙමව්පියන්ගේ ඇඟට දැනෙන්නේ ඒ නිසාය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් වුවහොත් වෙනස් කිරීමේ ක්‍රියා වලියට පෙරත් ඊට පසුත් ජීවන තත්ව සංසන්දනය කිරීමට නොහැකිය. ඔවුන්ගේ දරුවන්ට ඒ වෙනස නොතේරෙන්නේ ඒ නිසාය.


බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය. ඒනිසා බටහිර ආරේ ආර්ථික සංවර්ධනය තුල ඊනියා ජීවන තත්වය යන්නෙහි අර්ථ දැක්වීම නිරන්තරයෙන් වෙනස් කෙරේ. අර්ථ දැක්වීම වෙනස් නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් මැන ගැනීමට නොහැකි විය යුතුය. එය අතාර්කිකය. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ඊනියා ජීවන තත්වය උසස් වේ යැයි කියා බටහිර ආර්ථික විද්‍යාව අපව මුලා කරයි. ඒ නිසා ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක අද ජීවත්වන හෝ අතීතයේ ජීවත්වූ මිනිසුන් සමූහයක ජීවන තත්වයට අගයක් දීමට හැකියැයි බටහිර ආර්ථික විද්‍යාඥයෝ කල්පනා කරති. ඔවුන් සංවර්ධනය වී සිටින්නේත් අපි තවම සංවර්ධනය වන්නේත් ඒ පදනම උඩය. මේ කථාව ඔවුන් කියන කථාවක් පමණක් නොවේ. අපිද බටහිර සංස්කෘතික ආධිපත්‍ය හමුවේ මේ කථාව පිළිගෙන සිටින්නෙමු. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පණයක් පමණි.

Saturday, March 23, 2013

ලිවින් ස්ටෑන්ඩර්ඩ්


එදා සිටම නගරවල තමන් දුප්පතුන් යැයි සිතනවුන් බහුලව සිටිමුත් ගම්වල තත්වය එසේම නොවේ. මගේ දෙමව්පියන්ගේ උපන් ගමට හැත්තෑවේ දශකය මැද භාගයේත් විදුලි බලය නොතිබිනි, ගම මැදින් වූ පාරට තාර දමා නොතිබිනි, ඒ හරහා පලමු වරට බසයක් ධාවනය වුනේත් ඒ අවධියේමය. ගම් වැසි හැමෝම පාහේ ගොවිතැනින් ජීවත්වූ අතර එහි වූ බොහෝ නිවෙස් පොල් අතු සෙවිලි කල මැටියෙන් ඉදිකෙරුනු ඒවා විය. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් දුප්පතුන් යැයි කිසි විටෙකත් නොසිතූහ. ඒ ගමේ වැසි අනිත් මිනිසුන්ද එසේ නොසිතන්නට ඇතැයි සිතිය හැකිය. මෙවැනි ගම් අදද නගරයෙන් දුර බැහැරව නැතුවා නොවේ.

දුප්පත්කම සාපේක්‍ෂයැයි අමුතුවෙන් කිව යුතු නැත. එදා ගම්මුන් ගණුදෙනු කල සමාජ වපසරිය බොහෝ දුරට ගමට සීමාවිනි. ඒ තුල ආර්ථික විශමතාවන් අඩුවූ බැවින් බොහෝ දෙනෙකුට තමන් දුප්පතුන් යැයි සිතන්නට ඉඩක් නොතිබිනි යැයි සිතිය හැකිය. නමුත් අද ගම්මුන් ගණුදෙනු කරන සමාජ වපසරියට නගරයද අයිතිය. ඊට හේතුව යාන වාහන, සුපිරි මාර්ග, රූපවාහිනී මෙන්ම දුරකතන හරහාද නගරය එදාට වඩා සාමාජීය වශයෙන් ගමට කිට්ටුවී තිබීමය. ගණුදෙනු කරන සමාජ වපසරිය විශාලවත්ම එහි දකින්නට ලැබෙන ආර්ථික විශමතාවන්ද වැඩි වීම ස්වාභාවිකය. ඒ නිසා ඒ ගම් වැසියන්ගෙන් යම් ප්‍රමාණයක් තමන් ගනුදෙනු කරන සමාජයේ ඇතැම් අයට සාපේක්‍ෂව තමන් දුප්පත් යැයි සිතීමට එදාට වඩා ඉඩ කඩක් අද ඇත. ගමේ දුප්පතුන් ඇති වීමට ගමේ සමාජ හා ආර්ථික සංයුතිය වෙනස්වීමද හේතු කාරක වේ. නගරබදව නම් දුප්පතුන් කවදත් සිටියහ. එහි ඔවුන් ගණනින් වැඩි වෙනවා මිස අඩුවෙන බවක් පෙනෙන්නට නැත. අප රටේ පමණක් නොව මේ කියන සාපේක්‍ෂ දුප්පත්කම අද දියුනු යැයි සැලෙකෙන බටහිර රටවලද පසුගිය දශක කිහිපය තිස්සේම වර්ධනය වී ඇති බව විශේෂඥයෝ පවසති. නමුත් බටහිර ආර්ථික විද්‍යාඥයින් ඇති නැති පරතරය වැඩිවීම එතරම් ප්‍රශ්ණයක් ලෙස නොසලකති. මන්ද යත් බටහිර ක්‍රමයට ආර්ථිකය වර්ධනය වනවිට සියලුදෙනාගේම ජීවන මට්ටම ඉහල යයි කියා ඔවුන් උපකල්පණය කරන බැවිනි. ලිවින් ස්ටෑන්ඩර්ඩ් නොහොත් ජීවන මට්ටම ඉහල යාම ඔවුන්ට වැදගත්ය. නමුත් බටහිර ආර්ථික වර්ධනය තුලින් සමාජයේ ජීවන මට්ටම ඉහල යනවායැයි කියන මේ කථාව හුදු උපකල්පණයක් පමණි.


යමක් ඉහල යනවා යැයි කිව හැක්කේ එය මනින්නට පුලුවන්නම් පමණි. මනින්නට මිණුම් දණ්ඩක් අවශ්‍යය. ඒ මිණුම් දණ්ඩ සියලු කාලවලට එක සමාන විය යුතුය. උදාහරණයක් වශයෙන් මීටර කෝදුව ගනිමු. එය කාලයත් සමඟ වෙනස් නොවේ යැයි ගත හැකිය. ඒ අනුව එකම කෝදුව භාවිතා කර කාලයේ අවස්ථා දෙකකදී යම් ගසක උස සංසන්දනය කර එය කොපමන වැඩී ඇත්දැයි  බැලිය හැකිය. නමුත් එය කෙසේ අර්ථ දැක්වුවත් ජීවන මට්ටම මැනීමට එවැනි කාලයත් සමඟ වෙනස් නොවෙන මිණුම් දණ්ඩක් නැත. කාලය සමඟ වෙනස් වනවා නම් ඊට මිණුම් දණ්ඩක් යැයි කිව නොහැකිය. මිණුම් දණ්ඩක් නැතිව මනින්නට බැරිය. මනින්නේ නැතුව ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.


ජීවන මට්ටම කී පමණින්ම එය මනින ලද දෙයක් ලෙස හැඟේ. එය එසේ ගැනීම නිවැරදි නොවන මුත් එය අමතක කර ඊට බලපාන සාධක මොනවාදැයි කල්පනා කරමු. උදාහරණයක් හැටියට අද අපට ජංගම දුරකථන නැතිවම බැරිය. අද සමාජය හැඩ ගැසී ඇති ආකාරයට ජංගම දුරකථනයක් අයිති වීම හෝ නොවීම ජීවන මට්ටමට බලපාන සාධකයක් යැයි සැලකිය හැකිය. නමුත් මීට වසර පනහකට ඉහතදී කිසිවෙකුට ජංගම දුරකථන නොතිබිනි. නමුත් සමාජය එදා හැඩ ගැසී තිබුනේ ජංගම දුරකථන නොමැතිව ජීවත්වීමටය. ඒ නිසා අද ජංගම දුරකථනයක් නැතිවීම නිසා කෙනෙකුට ඇතිවිය හැකි අසහනය මීට වසර පනහකට කලින් සිටි සියලු දෙනාටම තිබුනියැයි කීම සාධාරණ නොවේ. ජීවන මට්ටම යන්නෙන් කුමක් අදහස් කලත් ඊට බලපාන සාධක සැම කලකම එක නොවේ. ඒ සාධක සමාජ සංස්කෘතික දේශපාලනික හේතු නිසා කලින් කලට වෙනස් වේ. නමුත් අපට නිතැතින්ම සිතෙන්නේ අද අපට ජංගම දුරකථන ඇති නිසා අපේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි කියාය. එය හුදෙක් වර්තාමානයේ ජංගම දුරකථන නැතිවුනොත් ඇතිවිය හැකි අසහනය සලකා අප එළෙඹෙන නිගමනයක් මිස ඒ නිසා අතීතයේ ජංගම දුරකථන නැතිවීම තුලින් එදා ජීවන මට්ටමට බලපෑමක් ඇති වූවායැයි සැලකිය හැකි නොවේ. ඒ අනුව පෙනී යා යුත්තේ එක් කලෙක ජීවන මට්ටම තවත් කලෙක ජීවන මට්ටම හා සාධාරනව සංසන්ධනය කල නොහැකි බවය. ඒනිසා ඊනියා සංවර්ධනයක් හෝ වෙනයම් හේතුවක් නිසා හෝ කලකදී ජීවන මට්ටම ඉහල ගියා යැයි කිව හැකිද?


කාලයේ අවස්ථා දෙකකදී ජීවන මට්ටම සැසඳිය නොහැක්කේ එහි නිර්ණායක නැත්නම් ඊට බලපාන සාධක මොනවාදැයි යන්න සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකාල්ප අනුව කලින් කලට වෙනස් වන නිසාය. වර්තමානයේ ජීවන මට්ටම අතීතය හා සැසඳිය නොහැකිවා මෙන්ම අනාගතයේ තිබිය හැකියැයි සිතන ජීවන මට්ටමක් අද ජීවන මට්ටම සමඟද සැසඳිය නොහැක. උදාහරණයක් වශයෙන් පරිසර දුෂණය නිසා අනාගතයේදී ස්වභාදහමින් ආවරණයවී රක්‍ෂිත කුටිවල ජීවත්වන්නට සිදුවුවහොත් එදා තිබිය හැකි ජීවන මට්ටම ගැන කුමක් කිව හැකිද? අද අපට එලිමහනේ සිටීමට ඇති නිදහස ගැන කල්පනාකර අනාගතයේ ජීවන මට්ටම පහල වැටේ යැයි නිගමනය කරමුද? නැත්නම්
අනාගතයේ සිටින අයෙකු අද අව්වෙන් වැස්සෙන් විදින පීඩා සලකා තමන්ගේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි නිගමනය කරයිද? මේ ප්‍රශ්ණවලට සාධාරනව පිලිතුරු දිය නොහැකිය. අපි ඒ ඒ අවධියේ පැවැත්ම ගැන සිතනනේ ඒ ඒ අවධියට බලපාන සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකල්ප අනුවය. අපට අතීතයේ තිබුනු හෝ අනාගතයේ තිබිය හැකි ජීවන මට්ටමක් ගැන අවබෝධයක් අද ගත නොහැකිය. ඒ නිසා බටහිර ආර්ථික සංවර්ධනය නිසා ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.

නමුත් බටහිර ආර්ථික විශේෂඥයෝ ඊනියා ආර්ථික ක්‍රියාකාරීකම් තුලින් ජීවන මට්ටම ඉහල යනවා යැයි සිතති. දල ජාතික නිෂ්පාදනය ඉහල යෑම එහි දර්ශකයක් ලෙස පෙන්වා දෙති. නමුත් දල ජාතික නිෂ්පාදනය ඉහලයෑමෙන් පෙන්නුම් කරන්නේ ජීවන මට්ටම ඉහල යෑමක් නොවේ. බරහිර ආර්ථික ක්‍රමය තුල නිරන්තරයෙන් සිදුවන්නේ නැති පාරිභෝගික අවශ්‍යතා මැවීමකි. උදාහරණයක් වශයෙන් නව මාදිලියේ ජංගම දුරකථන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ දැනට තිබෙන අවශ්‍යතාවක් සපුරාලීම නොව මිනිසුන් තුල ඒ පිළිබඳ කලින් නොතිබුනු අශාවක් ජනිත කෙරීමය. එවිට ඒ සඳහා වෙළඳ පොලක් නිර්මාණයවේ. එසේ නිර්මාණය වුනු වෙළඳපොලේ  ක්‍රියාකාරකම් තුලින් දල ජාතික නිෂ්පාදනය ඉහල යයි. නිශ්පාදකයින් විසින් මිනිසුන්ගේ ආශාවන් අවුලවනු ලබන අතර මිනිසුන් ඒ ආශාවන් මුදුන්පත් කර ගන්ට ඔවුන්ගේ නිශ්පාදන පරිභෝජනය කරති. මෙය චක්‍රයකි. දල ජාතික නිෂ්පාදනය දර්ශකයෙන් මූලික වශයෙන් පෙන්නුම් කරන්නේ මේ චක්‍රයේ කාර්යක්‍ෂමතාවයය. එය ඊනියා ජීවන මට්ටමට සම්බන්ධයක් නැත. නමුත් ආර්ථික විද්‍යාඥයින් අපට පෙන්වා දෙන්නේ අපේ ජීවන මට්ටම ඉහල දමා ගැනීමට දල ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගතයුතු බවය. සැබවින්ම ඉන් සිදුවෙන්නේ ආශාවන් නිර්මාණය කිරීම හා පරිභොජනය අතර ඇති චක්‍රය දිවවීමක් පමණි. මේ චක්‍රයේ කෙලවරක් නැත. දල ජාතික නිෂ්පාදනය ජීවන මට්ටම හා යම් සම්බන්ධතාවක් තිබිනි නම් ඔවුන් කියන පරිදි ජීවන මට්ටම ඉහල යද්දී දල ජාතික නිෂ්පාදනය වර්ධනවන වේගය ක්‍රමයෙන් අඩු විය යුතු නොවේද?


බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ජීවන මට්ටමට කිසි සම්බන්ධයක් නැති වුනත් ඒ හරහා සමාජ විශමතාව වර්ධනයවන බව නම් සැබෑය. එමඟින් සමාජයේ සැලකිය යුතු කොටසක් තමන් දුප්පතුන්යැයි  සිතන්නට සැලසේ. අද නගර මෙන්ම ගම්ද දුප්පත් වන්නේ ඒ නිසාය.

Saturday, March 16, 2013

සංවර්ධනයේ මුලාව

මත්තල ගුවන් තොටුපල ගැන වර්ණනා කරමින් අදාල ඇමතිතුමා පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව කියවනවිට ඒ ව්‍යාපෘතිය පිළිබඳත් ආණ්ඩුව පිළිබඳත් ඇති වන්නේ කළකිරීමකි. එපමණක් නොවේ පසුගිය කාලයේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කල මහා පාරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති තොගයක් ගැනම සාමාන්‍ය මිනිසුන්ගේ පැහැදීමක් නැතිබව පෙනේ. ඔවුන් අසන්නේ මේ ව්‍යාපෘති වලින් ලාභ තිබේද හෝ ඒ සඳහා ගත් ණය ගෙවන්නේ කෙසේද හෝ ඉන් සිදුවේ යැයි කියනු ලබන ආර්ථික සංවර්ධනය ඇති වේද වැනි ඊනියා ආර්ථික විශේෂඥයින් අසන ප්‍රශ්ණ නොවේ. සාමාන්‍ය මිනිසුන්ට දැනගන්නට අවශ්‍ය මෙවැනි මහා ඉදිකිරීම් කුමටද යන්නය. අද වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ උගතුන් අසන ප්‍රශ්ණවලටය.  නමුත් ආණ්ඩුව නූගතුන් අසන ප්‍රශ්ණයද අවබෝධ කර ගත යුතුය.

මේ ව්‍යාපෘතිවලට පිඹුරුපත් සකස් කරන ආණ්ඩුවේ දේශපාලකයිනුත් ආණ්ඩුව විවේචනය කරන ඊනියා ආර්ථික විශේෂඥයිනුත් රටේ ඉදිරි දැක්ම ගැන දරන්නේ එකම ආකල්ප බව පෙනේ. නමුත් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දැක්ම ඊට වෙනස්ය. අධික වියදම් දරමින් කඩිනමින් ඉදි කෙරෙන මේ ගුවන් තොටුපලවල් වරායවල් ක්‍රීඩාගාර පමණක් නොවේ රාත්‍රී රේස් ධාවන හා ජාත්‍යාන්තර උත්සවද ඔවුන් දකින්නේ පමණ ඉක්මවා යෑම් ලෙසය. නැත්නම් කම් සැපෙහි ගැලීම් ලෙසය. කොටින්ම අපට අනවශ්‍ය දෑ ලෙසය. බහුතරයක්වූ සාමාන්‍ය මිනිසුන්ට ආණ්ඩුවේ මහා ව්‍යාපෘති පිළිබද ඇති කණස්සල්ල මෙයයි. ඔවුන්ගේ ප්‍රශ්ණය අර උගතුන්ගේ ප්‍රශ්ණයට වඩා මුලින් ඇති එකකි.


අපි විවෘත වෙළඳ ආර්ථිකයකට යොමුවුනේ දැනට වසර හතලිහකට පමණ ඉහතදීය. එකල ඉන්දියාවත් චීනයත් මධ්‍යස්ත ආර්ථික ප්‍රතිපත්ති අනුගමණය කරමින් සිටියහ. නමුත් ඔවුන් විසින් මෑතකදී අත් කරගෙන ඇති බටහිර ආරේ ආර්ථික සංවර්ධනයට සමාන්තර සංවර්ධනයක් අපට වසර හතලිහක් ගෙවාගෙනවත් ලඟාවීමට හැකි වී නැත. එපමණක් නොවේ ආසියාවේ අනිත් රටවල් හා සසඳන විට අප ඊනියා නිදහස ලැබෙනවිට ඔවුන් හා කරට කර සිට අද පසුබා සිටින බව බොහෝ විශේෂඥයින්ගේ මතයය. මේ කාලය තුල විටින් විට රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොතිබුන බව ඇත්ත නමුත් අපේ අසල්වැසි සමහර රටවල් තරමට බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් අපට ඇති කර ගත හැකි නොවුනේ ඒ නිසාම නොවේ. අපේ නොහැකියාවක් ඇත. විශේෂයෙන්ම එය රටේ බහුතරයක් වන සිංහල බෞද්ධයින්ගේ නොහැකියාවකි. ඒ නොහැකියාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයකි.


අධි පාරිභෝගිකත්වය, පුද්ගල නිදහස වැනි ලක්‍ෂණ සහිත ධනවාදී ආර්ථික ක්‍රමයකින් ලඟා කරගන්නා සංවර්ධනය බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ලෙස හැඳින්විය හැකිය. අද බටහිර ආධිපත්‍ය හමුවේ ලොවපුරා බොහෝ රටවල් උත්සාහ කරන්නේ එවැනි සංවර්ධනයක් අත් කර ගැනීමටය. රජය මඟින් ඉඩ පහසුකම් සලසා දුන්නත් බටහිර ආර්ථිකය දුවවන්නේ පෞද්ගලික අංශය මිස රජය නොවේ. පෞද්ගලික අංශයද අවසානයේ ගත්කල තනි පුද්ගලයින්ගේ ක්‍රියා කාරකම්ය. නව පාරිභෝගික භාන්ඩ හෝ සේවා නිර්මාණය කර ඒ තුලින් එතෙක් කල් නොතිබුනු පාරිභෝගික අවශ්‍යතාවක් නිර්මාණය කර ඒ මත පදනම්ව ව්‍යාපාර ඇරඹෙන්නේත් ඒවා මහා වෙලඳ ව්‍යාපාර බවට දියුනු වන්නේත් බොහෝවිට එම විශයෙහි දක්‍ෂ තනි පුද්ගලයින් අතින්ය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයින් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අතර දුලබය. ඔවුන්හට පොදුවේ බටහිර චින්තනය තුල නව දැනුම නිර්මාණය කිරීමේ ඇති නොහැකියාව මීට හේතුව විය හැකිය. බටහිර ආර්ථිකය දිව වීමට පාරිභෝගිකයින්ගේ දායකත්වයද අවශ්‍යය. නමුත් සිංහල බෞද්ධ සමාජය අධි පරිභෝජනය හෙලා දකියි. මේ කරුණු නිසා අප රටේ බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් ඇති කර ගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පිටුවහලක් ලැබෙන්නේ නැත. අප රට දියුණු නොවන්නේ බුද්ධාගම නිසා යැයි හිටපු පාප්තුමෙකු පැවසූ බව සඳහන්වේ. එතුමා මොන අරමුණින් ඒ අදහස් දැක්වූවත් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය නිර්මාණ කරුවනුත් පාරිභෝගිකයිනුත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බිහි කරන්නේ නැති බව පැහැදිලිය.


නමුත් බටහිර ආර්ථික සංවර්ධණය පසුපස අප නොයායුත්තේ ඒ නිසා පමණක් නොවේ. බටහිර ආර්ථික විද්‍යාවටද බටහිරුන් අපේක්‍ෂාකරන සංවර්ධනය අත් කර දීමට නොහැකිය. අද දියුණු යැයි සලකන බටහිර රටවල පවා දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති. ඒ පරතරය අඩු කිරීම ආර්ථික සංවර්ධනයේ එක් මූලික අපේක්‍ෂාවකි. නමුත් ධනවාදී සංවර්ධනයට විභවයක් වන්නේද ඒ පරතරයමය. එනම් ආර්ථිකය සංවර්ධනය වන්නේ තමන් දුප්පතුන් යැයි සිතන පිරිසක් පරිභෝජනය හරහා සමාජයේ ඉහලට යන්නට තැත් කරන බැවිනි. දුප්පත් පොහොසත් පරතරය එම පරතරය නිසාම දිවෙන ආර්ථික ක්‍රමයකින් පියවිය හැකිනොවේ. එහි පරස්පර විරෝධීතාවක් ඇත. අද බටහිර ආරේ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරමින් සංවර්ධනය වන බොහෝ රටවල සාපේක්‍ෂ දුප්පත්කම වැඩිවෙමින් පවතින්නේ ඒ නිසා නොවේද?


බටහිර ආරේ ආර්ථික සංවර්ධනය මුලාවක් පමණි. අපි ඒ පසු පස බඩගාමින් යා යුතු නොවේ. අපි අපට අවේනිකවූ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගත යුතුය. ඊට අවශ්‍ය උපාංග දැනටමත් අපේ ආර්ථිකයේ ගිලී සැඟවී පවතී. එහි පදනම විය යුත්තේ ගොවිතැන මිස වෙලඳාම නොවේ. එහි හදවත විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාත ගොවියන් සහ සුළු හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් මිස අතලොස්සක්වූ මහා පරිමාණ සමාගම් නොවේ. එහි ආර්ථික මධ්‍යස්ථාන විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාතවූ ගම් මිස අතලොස්සක්වූ නගර නොවේ. සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සමාජ විශමතා අවම කරගනිමින් ස්වයංපෝෂණය වීම මිස ඊනියා උසස් ජීවන තත්වයක් ඇති කර ගැනීම නොවේ. බටහිරුන් ආර්ථික සංවර්ධනය හරහා අපේක්‍ෂා කරන ඊනියා උසස් ජීවන තත්වය ඔවුනට කෙදිනකවත් අත්පත් කරගත නොහැකිය.


අපට උරුම ආර්ථික ක්‍රමයකට ඇවැසි හැකියාවන් ආකල්ප හා සංකල්ප අදටත් අප ආර්ථිකයේ මුල් බැස තිබේ යැයි මම සිතමි. අපිට බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට නොහැකි මේ නිසාය. එසේ නමුත් අපි ආර්ථිකව නොවැටෙන්නේද ඒ නිසාය. සිදුවිය යුත්තේ බටහිර සංකල්ප යටපත් කර අපේ ආර්ථික ලක්‍ෂණ ඉස්මතු කර ගැනීමය. අවාසනාවකට මෙරට සාමාන්‍ය ජනයාට රට නොයායුතු ගමන් මඟ පිළිබඳ යම් වැටහීමක් තිබුනත් ඔවුන් බටහිර සංවර්ධන මායාවෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත. ආණ්ඩුවද ජනතාවත් ජාතික ව්‍යාපාරයත් හැර ගොස් මං මුලාවී සිටින බව පෙනේ. මත්තල ගුවන් තොටුපොලෙන් පිළිබිඹු වෙන්නේ එයයි.


Saturday, March 9, 2013

හලාල් නොවන රජරට වකුගඩු ප්‍රශ්ණය


හලාල් කෑම කෑවයි කියා හෝ නොකෑවයි කියා කෙනෙකු මිය ඇදෙන්නේ නැත. නමුත් රජරට වකුගඩු රෝගයෙන් දිනපතා මිනිස්සු මිය යති. එහෙත් රටේ අභාග්‍යයට හලාල් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයින්ට තිබූ දේශපාලන ජවය වකුගඩු රෝගය සම්බන්ධයෙන් පෙනෙන්නට නැත. මට හිතෙන අයූරින් ඊට ප්‍රධාන හේතුව බටහිර කෘෂිකර්මය ජාතියේ ස්වාධිපත්‍යයට අභියෝග කරන බව බහුතරයක් සිංහල බෞද්ධයින් අවබෝධ කර නොගැනීමය. නමුත් හලාල්, ජාතියේ ස්වාධිපත්‍යයට අභියෝග කරන බව ඔවුහු තේරුම් ගනිති.

ගැඹුරේ මට්ටමින් සැලකූවිට සිංහලුන්ගේ නිදහස් සටන් දෙආකාරයකින් සිදුවේ. එක් ආකාරයක සටන් බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරයි. අනිත් ආකාරයේ සටන් බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සිදු කෙරෙයි. සිංහල බෞද්ධයින්ගේ ජනප්‍රිය දේශපාලන අරගල බොහොමයක් මේ දෙවෙනි ඝනයට වැටේ. හලාල් ප්‍රශ්ණය පටු මුස්ලිම් විරෝධයක් වන්නට ගියේ එය අයිතිවාසිකම් සටනක් බවට සුලු කරගත් නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවි පිල්ලේට විරෝධය පෑමද බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීමට කෙරෙන සටනකි.  අපි අපේ අයිතිවාසිකම් සඳහා සටන් කල යුතුවෙමු. නමුත් අපට නිදහසේ උසස් ඵල නෙලා ගත හැකි වනුයේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරන සටන් වලින් පමණි. රජරට වකුගඩු රෝගයෙන් සුවපත්වී ඉන් මතුද නිරෝගී ජාතියක්ව සිටින්නට නම් බටහිර කෘෂිකර්මය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවද ප්‍රතික්‍ෂේප කල යුතුව තිබේ (මින් කියැවෙන්නේ ඉස්පිරිතාල වසා වෛද්‍යවරුන් ගෙදර යැවීමක් ගැන නොවේ). නමුත් අවාසනාවකට අද ජනප්‍රිය දේශපාලනයේ නියුතුවන බෞද්ධ සංවිධාන, එහි නායකයින් සහ ඒ පසු පස සිටින මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ට බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කිරීමට තරම් සංස්කෘතික හා ආධ්‍යාත්මික ශක්තියක් නැත. 


නගර අවට වාසය කරන මධ්‍යම පංතියේ උගත් සිංහල බෞද්ධයින්ට සාමාන්‍ය නූගත් බෞද්ධයින්ට නැති සමාජයේ ඉහලට යාම සඳහා කෙරෙන තරඟයක් ඇත. තරඟය ඇතිවී තිබෙන්නේ ඔවුන් බටහිර ජීවන ක්‍රමයක් අනුගමනය කරන නිසාය. නමුත් ඔවුන්ට ප්‍රශ්ණයක් වී ඇත්තේ ඒ තරඟයෙන් ජය ගෙන සමාජයේ ඉහලට යන්නට සිංහල බෞද්ධකමින් ඈත් වන්නට සිදුවීමය. එසේ කිරීමට බහුතරයක් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින් තවම සූදානම් නැත. ඒ නිසා ඔවුහු දෙලොවක් අතර ජීවත් වෙමින් අසහනයට පත්ව සිටිති. ඔවුහු ජාතිකවාදීන්ද වෙති. නමුත් ඔවුන් ජාතියේ ස්වාධිපත්‍ය යනු කුමක්දැයි තේරුම් ගන්නේ තමන්ට කරන්නට සිදුවී තිබෙන පෞද්ගලික සටන හරහාය. එහි වරදක් කිව නොහැකිය. නමුත් ඔවුන්ගේ දේශපාලන චින්තනය බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප නොකරයි. මේ අඩුව මාතලේ කැරැල්ලෙන් පසු සිංහලුන් දියත් කල සියලු නිදහස් සටන් වල පෙනෙන්නට ඇත. එදා සිට අද දක්වා ඔවුන් කල සටන් තුල ඒ අඩුව නොතිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කල සටනෙහි පමණි.


උදාහරණයක් වශයෙන් මීට වසර එකසිය හතලිහකට පෙර පානදුරාවාදයත් සමඟ ඇරඹි බෞද්ධ පුනර්ජීවනය ගත හැකිය. එහි පෙරමුන ගත්තේත් අද මෙන්ම කොළඹ නගරය අවට වාසය කල උගත් සිංහල බෞද්ධයින් පිරිසකි. ව්‍යාපාරිකයින් හා දේපළ හිමියන්වූ ඔවුන්ගේ සාමාජයික පසුබිම අද ජීවත්වන මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ගේ සාමාජයික පසුබිමට සමාන්තර වන්නට ඇත.  එකල නගරබද සිංහල බෞද්ධ දෙමව්පියන්ට තිබි ප්‍රශ්ණයක් නම් තම දරුවන්ගේ උත්පත්ති ලියාපදිංචි කිරීම සඳහා ක්‍රිස්තියානි හෝ කතෝලික පල්ලියට යාමට හැර වෙන ක්‍රමයක් නොතිබීමය. නම් ලියා පදිංචි කිරීමේදී පූජකවරු සිංහල බෞද්ධ දරුවන්ට බයිබල් නාම බලෙන් ආදේශ කරන ලදහ. සිංහල බෞද්ධයෝ මේ නීතිය වෙනස් කරන ලෙස ඉංග්‍රීසීන්ට බල කර සිටියහ. ඊට අමතරව වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් කරන ලෙසද ඉල්ලා සිටියහ. මේ වනවිට මාතලේ කැරැල්ල නිමවී වසර දසක දෙක තුනකට වඩා නැති බැවින් මොවුන්ට ඉංග්‍රීසින්ගේ දැඩි මර්ධනයක් එල්ල වෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් අද මෙන් එදාත් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින් බටහිර ආධිපත්‍යය හඳුනා ගත්තේ තමන් පෞද්ගලිකව විඳි ගැහැට තුලිනි. නගරයෙන් පිට ජීවත්වූ අති මහත් සිංහල බහුතරයකට බයිබල් නම් දීම ප්‍රශ්ණයක්වී යැයි සිතිය නොහැකිය. ඉංග්‍රීසි අධ්‍යාපනය නොලද ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු නොවූ ඔවුන්හට තම දරුවන්ගේ උත්පත්ති ඉංග්‍රීසි රජයේ ලියා පදිංචි කිරීමට අවශ්‍යතාවක් තිබෙන්නට නැත. ධර්මපාලතුමා සාන්ත තෝමස් විදුහලේ සිසුවෙකුව සිටි අවධියේ වෙසක් පොහෝ දින සැමරීම සඳහා නේවාසිකාගාර පාලකයාගේ අණ නොතකා ගෙදර පැන ගිය බව කියවේ. නමුත් ගොවිතැනින් ජීවත්වූ පන්සලේ උගෙනගත් බහුතරයක් සිංහල බෞද්ධයින්ට වෙසක් පොහෝ දින සැමරීමට බාධාවක් තිබුනා යැයි සිතිය නොහැකිය. ඉංග්‍රීසීහු එදා ගම්මුන්ගේ ඉඩම් කොල්ල කමින් ඒ ඉඩම් වල විදේශිකයින් පදිංචි කරමින් ඔවුන්ට නුහුරු භෝග වගා කරමින් ඔවුන්ගේ ජන ජීවිතය උඩු යටිකුරු කරමින් සිටියහ. නූගත් ගැමි සිංහලුන්ට ප්‍රශ්ණයක් වන්නට ඇත්තේ ඉංග්‍රීසීන් මේ රටේ සිටීමමය. නමුත් එකල උගත් සිංහල බෞද්ධයිනුත් අද මෙන්ම ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යය පිළිගෙන ඒ තුල සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පමණක් සටන් කලහ. එපමණකින්ම බටහිර ආධිපත්‍යය පරාජය නොවිනි.


රාජ්‍ය බලය අන්තිමටම පිරිහී තිබුන අවදියේ පවා බටහිර සංස්කෘතිකමය බලපෑම් වලට නිහඬව නමුත් ආත්ම විශ්වාසයකින් යුක්තව ප්‍රතිරෝධයක් දැක්වීමට සිංහලුන්ට ශක්තියක් තිබුනු නමුත් අද ජාතියක් වශයෙන් අපේ සංස්කෘතික ශක්තිය හොඳටම පිරිහී ගොස්ය. අද අපි ඉංග්‍රීසින්ගෙන් තාන්න මාන්න ගැනීම සඳහා එරටටම ගොස් ඔවුන්ගේ බස එලෙසම උච්චාරනය කර ඔවුන්ගේ ප්‍රභූවරුන් අමතමින් රට හෑල්ලු කර කථා කිරීමට පවා කිසිම පැකිලීමක් නොදක්වමු. එහි ප්‍රතිපලයක් වශයෙන් විශේෂයෙන් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයෝ බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පමණක් සටන් කිරීමට සැදී පැහැදී සිටිති. නමුත් අද අප සමාජයේ දැවෙන සමාජයික හා ආර්ථික ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙනුයේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පමණි. ඊට හොඳම උදාහරණය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමය. මෙහිදී සිංහලයිනුත් රජයත් මතවාදීව බටහිර ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන ඒමට ජාතික ව්‍යාපාරයට හැකිවිය. විශේෂයෙන් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ගේ පරාජිත මානසිකත්වය වෙනස් කරලීමට එයට හැකිවිනි. එසේ නොවුනේනම් සමහර විට අපි තවමත් කොටින් සමඟ සාකාච්ඡා කරමින් සිටින්නට බොහෝ ඉඩ තිබිනි. ඉදිරියේද අපිට නිදහසේ උසස් ඵල නෙලා ගන්නට ලැබෙන්නේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කර අපේ නිදහස ආරක්‍ෂා කර ගතහොත් පමණි. ඒ සඳහා ජාතියේ නිදහස සහ එහි ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ජනතාව හා රජය තුල තිබිය යුතුය.


රට ජාතියේ නිදහස ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ රජයටය. අද ඇමරිකානු රජය එරට වැසියන් විසින් අරථ දක්වන නිදහස ආරක්‍ෂා කිරීම සඳහා කැපවී සිටී. ඇමරිකානු රජය ඉරාකය හා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කලේත් අද සිරියානු කැරලි කරුවන්ට ආධාර කරන්නේත් සෘජුව හෝ වක්‍රව ඇමරිකානු වැසියන්ගේ නිදහස ආරක්‍ෂා කිරීමටය. එරට කුමන පක්‍ෂයක් බලයේ සිටියද ජාතියේ නිදහස සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය එතරම් වෙනස් නොවේ. ඒ පිළිබඳ විවාදයක් එරට දේශපාලන ක්‍ෂේත්‍රයේ ඇති නොවන තරම්ය. ඇමරිකාවේ රජයත් එහි වැසියනුත් අතර ජාතියේ නිදහස සහ එහි ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහ විශ්වාසයක් ඇත. අද රාජපක්‍ෂ ආණ්ඩුව ජාතියේ නිදහස සම්බන්ධයෙන් කැපවෙනු ඇතැයි විශ්වාසයක් සිංහලුන්ට තිබුනද ඉදිරියේ පත්විය හැකි ඕනෑම ආණ්ඩුවක් ගැන එවැනි විශ්වාසයක් ඇති කර ගත නොහැකිය. ජනතාව තම නිදහස පිළිබඳ අවබෝධය සහ විශ්වාසය ගොඩනඟා ගත යුත්තේ එක් එක් ආණ්ඩු හෝ දේශපාලන පක්‍ෂ හෝ පුද්ගලයින් සමඟ නොව රාජ්‍ය බලය සමඟය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධයින්ගේ නිදහස පිලිඹිබුවෙන ආකාරයට වෙනස් කර ගැනීම රජයත් ජනතාවත් අතර ඒ අවබෝධය සහ විශ්වාසය ගොඩනඟා ගතහැකි එක් මඟකි.


-------------------------------------------------------------------------------------------------------------

Ceylon
The Geelong Advertiser (Victoria, Australia: 1847 - 1851)
Thursday 14 December 1848
"……I heard one of the best friends of that country, who has been resident in it for the last fourteen years, and who "means to live and die there," give it as his candid opinion, that the island of Ceylon must inevitably sink down into a mere military station. The natives are not altogether fools, and know exactly what the country is capable of producing. They plant cocoa nut trees, fence round the young trees to keep out the elephants, and there is an end. They sit down comfort ably, chew betel nut, smoke their Jaffna cheroots, and are happy. In the low-lying swamp they cultivate paddy and other grains, and subsist after their own fashion, quite contented. I am sorry to say, that the attempts hitherto made to enlighten or Christianize  the Chingalese, have not been attended with any marked success, but great efforts are being made by the American missionaries at Jaffna among the Tamils in the north part of the island, with a better result-at least, as far as educating a great number of boys and girls to read and write both English and Tamil ; and as they combine the elements of religious truth in the scheme of education, there is much good seed sown, and we may confidently look for a rich harvest at not very distant day…"

Saturday, March 2, 2013

පන්සල ආණ්ඩුව සහ ජනතාව


ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන, පුද්ගලික නිදහස ඉහලින්ම අගයන, ධනවාදී රටක ආණ්ඩුව හා ජනතාව අතර සම්බන්ධය කෙබඳු විය හැකිද? මෙවැනි රටක ජනතාවක් රජයෙන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ පුද්ගලික නිදහස රැක දීමටය. ඊට අමතරව ධනවාදී ජීවන රටාවට ඉඩ ප්‍රස්ථාව ලබා දීමටය. ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වුනොත් පත්වෙන ආණ්ඩුව ක්‍රියා කල යුත්තේ ජනතාවගේ නියෝජිතයා මෙන්ම සේවකයාද ලෙසය. මෙවැනි රටක ජනතාව බදු ගෙවන්නේ තමන්ට ඒ ආණ්ඩුවේ සේවය ලබා ගැනීමට පමණි. ආණ්ඩුව ඒ මුදල් හොඳින් කළමණාකරනය කරගනිමින් ඔවුන් බලාපොරොත්තුවන සේවය (උදාඃ නීතිය හා සාමය රුකීම) ජනතාවට ලබා දිය යුතුය. ඒ හැරෙන්නට ආණ්ඩුවට පුද්ගලික ජන ජීවිතයට බලපෑම් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මේ ආකාරයටම ක්‍රියාත්මක වන රටක් මේ ලෝකයේම නැති නමුත් ඇමරිකාව මීට ආසන්නතම රට ලෙස හැඳින්විය හැකිය.


ඇමරිකාවේ ආණ්ඩු ක්‍රමය තුල සිදුවන්නේ ජනතාව විසින් ආණ්ඩුව මෙහෙයවීමය. වෙන ආකාරයකට කිවහොත් ආණ්ඩුව හා ජනතාව අතර ඇත්තේ ජනයා සිට ආණ්ඩුව කරා ගලා එන රේඛීය සම්බන්ධයකි. මේ ක්‍රමය තුල ජනමාධ්‍ය අධ්‍යාපනය ආදියෙන් ජනතාව එක දේශපාලන චින්තනයක ගොනුකර තබා ගන්නා බව සත්‍යය නමුත් ආණ්ඩුවෙන් ජනතාව මෙහෙයවීමක් සිදුනොවේ. ආණ්ඩුවේ කාර්යය එය නොවේ. එනම් ආණ්ඩුවේ සිට ජනතාව කරා ගලා එන රේඛීය සම්බන්ධයක් නැත. අද බිඳ වැටෙමින් පවතින ඇමෙරිකානු ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිට බහුතර ජනතාවකගේ කැමැත්ත මෙහෙයවා ගැනීමට නොහැකිවී ඇත්තේ මේ සම්බන්ධකම නැති නිසාය. සමාජ ආර්ථික විශමතා සහිත මේ ලොකයේ ඕනෑම රටක රජයකට සිය පැවැත්ම උදෙසා එහි ජනතාව මෙහෙයවීමේ හැකියාවක් තිබිය යුතුය. එනම් බහුතර ජනතාවකගේ කැමත්ත වෙනස් කර ගැනීමට රජයට දේශපාලන බලයක් තිබිය යුතුය. දේශපාලන නායකත්වය යනු එයයි. නමුත් මේ වනවිට පොදුවේ බටහිර රටවල් තම රට තුල ප්‍රජාතන්ත්‍රවාදයට සහ පුද්ගලික නිදහසට ඉහල තැනක් දීම තුලින් රජයට ජනතාව මෙහෙයවීමට ඇති හැකියාව මොට කරගෙන සිටිති. බටහිර රජයන්ගෙන් වැඩිපුර  සිදුවන්නේ කලමණාකරණයකි. (බටහිර රටවල් අන් රටවල ප්‍රජාතාන්ත්‍රික අයිතීන් නොරැක අධිපතිවාදීව ක්‍රියා කිරීම වෙනම ක්‍රියාවලියකි).


පරමාදර්ශීව ගත්කල රජ්‍ය බලය හා ජනතාව අතර තිබිය යුත්තේ චක්‍රීය සම්බන්ධයකි. නැත්නම් ගනුදෙනුවකි. ජනතාවට රජය මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතු අතර රජයට අවශ්‍ය විටදී ජනතාව මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන පුද්ගලික නිදහස ඉහලින්ම අගයන ධනවාදී රටක මෙවැනි සම්බන්ධයක් ඇති කර ගැනීමට නොහැකි වුනත් සිංහල බෞද්ධ සංස්කෘතියක එය කල හැකි විය යුතුය. ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දෙන පරිදි අතීතයේ අප රටේ දේශපාලන ප්‍රභවයන් ත්‍රිත්වයක් තිබිනි. එනම් ජනතාව රජය සහ භික්‍ෂූන් වහන්සේය. මේ ත්‍රිත්වය අතර තිබුනේ චක්‍රීය දේශපාලන සම්බන්ධතාවක් යැයි අනුමාන කල හැකිය. එය බටහිර පවතින රේඛීය සම්බන්ධයෙන් වෙනස්වේ. චක්‍රීය සම්බන්ධයට අනුව අවශ්‍ය නම් ඕනෑම එක ප්‍රභවයක් මඟින් අනිත් ප්‍ර
වයන් දෙකටම දේශපාලනික බලපෑම් කිරීමට හැකිය. උදාහරණයක් වශයෙන් ජනතාව හා භික්‍ෂූන් වහන්සේ මඟින් රජයට බලපෑම් කල හැකිවූ අතර අනිත් අතට රජයට ඒ දෙපලටම බලපෑම් කිරීමේ හැකියාව තිබිනි. මේ ත්‍රිත්වය අතර වූ විවිධ දේශපාලන බල එක සමාන නොවූ අතර කාලයෙන් කාලයට වෙනස් වන්නටද ඇත. නමුත් වඩා වැදගත්වූයේ එවැනි චක්‍රීය සම්බන්ධකමක් පැවැතීමය.

අද මේ ත්‍රිත්වය අතර චක්‍රීය දේශපාලන සම්බන්ධතාවක් නැත. එපමණක් නොවේ භික්‍ෂූන් වහන්සේට එදා සමාජයේ තිබූ සැලකිල්ලද අද නැත. යටත් විජිත වාදීහු මේ බවට වග බලාගත්හ. ඔවුන් මෙරට ස්ථාපිත කල පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල මෙවැනි චක්‍රීය සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නට ඉඩක් නැත. එහි ඇත්තේ රේඛීය සම්බන්ධකම් පමණි. අපි නැවතත් භික්‍ෂූන් වහන්සේත් රජයත් ජනතාවත් අතර චක්‍රීය සම්බන්ධයක් ගොඩනඟාගත යුතුය. නමුත් එයට බාධක රැසකි. බටහිර සංස්කෘතියෙන් පුද්ගලයා සමාජයෙන් වෙන් කර තැබීම එක බාධාවකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැතැයි බලකර සිටීම තව එකකි. ධනවාදී ආර්ථික ක්‍රමය තවත් එකකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට, පුද්ගලික නිදහසට ඉහල තැනක් තිබීමට හා ධනවාදී ආර්ථික ක්‍රමයට එකිනෙක නැතිව පැවැත්මක් නැත. ඒ සියලු දේ ඇති තැන ඇත්තේ බටහිර ආණ්ඩු ක්‍රමයය. නමුත් පන්සලත් ජනතාවත් රජයත් අතර චක්‍රීය සම්බන්ධයක් පදනම් කරගෙන ගොඩනැඟුනු ආණ්ඩු ක්‍රමයක මේ කිසිවක් තිබිය නොහැකිය. එතැන තිබිය හැක්කේ මහා සම්මත වාදයකි. පුද්ගල හා සමාජ අයිතීන් එක ලෙස වැදගත් වීමකි. අවශ්‍ය තරමට පමණක් පරිභෝජනය කෙරෙන ආර්ථිකයකි. නමුත් මේ සියලු අවශ්‍යතා එකවර සපුරා ගත හැකි නොවේ. වාහන රෝදයක ඇණ අතින් තද කරන විට එක ඇණයක් සම්පූර්ණයෙන්ම තද කර ඊලඟ ඇණයට නොයයි. කෙරන්නේ සියලු ඇණ චක්‍රාකාරව ක්‍රමයෙන් තද කිරීමය. අපිද වෙනස් කම් කල යුත්තේ මේ ආකාරයටය. ඊට කල් ගත වනු ඇත. නමුත් ඒ සඳහා අද කල යුතු දෑ ඇත.


අද දවසේ සිංහලුන්ගේ සැක සහ බියට මූලික හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ උවමණා එපාකම් වලට අනුව ජීවත්වීමට ඇති හැකියාව ඔවුනතින් ගිලිහී තිබීමය. එය රැක ගැනීමට ඔවුන්ට අයිතියක් තිබිය යුතුය. ඒ අයිතිය තහවුරු කල යුත්තේ රජයය. අපට උරුම දේශපාලන චින්තනයක් අර්ථදක්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊට අනුගත කිරීම තුලින් එය කර ගැනීමට හැකිය. එවිට යම් ආණ්ඩුවක් රටේ දේශපාලන චින්තනයට විරුද්ධව ක්‍රියා කරයිද රජයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ජනතාවට අවස්ථාවක් සැලසෙනු ඇත. එමෙන්ම යම් බාහිර බලවේගයක් රටේ දේශපාලන චින්තනය වෙනස් කිරීමට උත්සාහ කරයිද ඊට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද ආණ්ඩුවට හැකිවනු ඇත. ඒ අනුව ජනතාව රජය අනුමත කරනතාක් කල් සහ රජය බාහිර බලවලට සාර්ථකව මුහුණ දෙනතාක් කල් ජනතාවට ඔවුන්ගේ උවමණා එපාකම් වලට අනුව ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇත. ව්‍යවස්ථාව සවිමත් කිරීමෙන් සිදුවෙන්නේ එයයි.


ඒ කාර්යයේ මූලිකත්වය ගත යුත්තේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ පනස් හයේ දරුවන්ය. හැකිනම් එම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ වගකීම පැවරිය යුත්තේද උන්වහන්සේටය. ඒ තුලින් භික්‍ෂූන් වහන්සේත් රජයත් අතර චක්‍රීය සම්බන්ධයක් යලි ගොඩනඟා ගැනීමටද මඟ පෑදෙනු ඇත.