Sunday, February 24, 2013

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සවිමත් කල යුතුය

යටත්විජිත වාදීන් විසින් ස්වදේශිකයින් තම ආගමට හරවා ගන්නට උත්සාහ කලේ ඔවුන් ඊනියා ශිෂ්ඨ සම්පන්න ජාතියක් කිරීමේ අදහසින් හෝ පවින් මුදවාගැනීමේ අරමුණින්යැයි කියනු ලැබේ. යටත්විජිත වාදීන් සමඟ ආ මිශනාරීන්ට මෙවැනි ආකල්ප තිබෙන්නට ඇතැයි සිතිය හැකි නමුත් ස්වදේශිකයින් තම ආගමට හරවා ගැනීම තුලින් යටත්විජිත පාලකයෝ ඊට වඩා දෙයක් බලාපොරොත්තුවූවා යැයි මම සිතමි. එය නම් යටත්විජිත වැසියන් ස්වේච්ඡාවෙන්ම තමන්ට අවනත කර ගැනීමය. එකල යටත්විජිත හමුදා ප්‍රමාණයෙන් ඉතා කුඩාවිය. ඔවුන්ට විශාල භූමි ප්‍රමාණයක විසිරී සිටින විශාල ස්වදේශීය ජනගහණයක් බලය යොදා පාලනය කර ගැනීම පහසු වූයේ නැත. ඒ නිසා මිශනාරීන් යොදවා ස්වදේශිකයින් තම ආගමට හරවාගත්තේ ඒ හරහා ඔවුන් ස්වේච්ඡාවෙන්ම තමන්ට අවනත කරගන්නට යැයි සිතිය හැකිය. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ක්‍රිස්තියානි ආගම වැලඳගත් එදා සිටි ස්වදේශිකයෝ බොහෝ විට යටත්විජිත පාලකයින්ට එරෙහි නොවූහ. යටත්විජිත සමයේ ක්‍රිස්තියානි ආගම ප්‍රවර්ධණය කිරීම පිටු පස තිබූ දේශපාලණය එයයි. පරංගිත් ලන්දේසීනුත් මේ ක්‍රියාමාරගය අනුගමණය කල අතර ඉංග්‍රීසීන් සිංහලුන් අවනත කර ගත්තේ බුද්ධාගම ආරක්‍ෂා කරතැයි බොරු පොරොන්දුවක් දෙමිනි. බුද්ධාගමත් දන්ත ධාතූන් වහන්සේත් ආරක්‍ෂා කරන පාලකයාට සිංහලුන් අවනත වන බව දැනගත් ඉංග්‍රීසීහු ඒ මත ක්‍රියා කරමින් තම මිශනාරී කටයුතු සඟවාගත්හ. සිංහලුන් ස්වේච්ඡාවෙන්ම තමන් කෙරෙහි නම්මාවා ගන්නේ කෙසේද යන්න ඔවුන් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට වඩා ඉංග්‍රීසීන්ට වැදගත්වුන බව ඉන් පෙනේ. බටහිරුන් ආගම් හරහා කරන දේශපාලනයේ ස්වභාවය එයයි. පසුගිය යුද සමයේ ඉවැන්ජලික ක්‍රිස්තියානි කල්ලි අප රටේ අස්සක් මුල්ලක් නෑර ගොස් බෞද්ධයින් ඒ ආගමට හරවාගන්ට තැත් කලේත් මෙවැනි දේශපාලන අරමුනකින් යැයි මම සිතමි. ඔවුහු තම ආගම ප්‍රවර්ධනය කරන අතර බුද්ධාගමටද පහර ගැසූහ නමුත් ඔවුන්ගේ මූලික අරමුණ වූයේ සිංහලුන් තමන්වෙත නම්මවාගෙන ඔවුන් ලවා දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන ගිය සටන අඩපණ කෙරවීම යැයි සිතිය හැකිය. මේ බව තහවුරු වන්නේ ත්‍රස්තවාදීන්ගේ පරාජයත් සමඟ මේ කල්ලිද පසුබැස ඇති බැවිනි. මොවුන්ගේ මූලික අරමූණ කිතුදහම පැතිරවීම නම් ඔවුන් අදද අප අතර සිටිය යුතු නොවේද? සමහර විට ඒ ආගමික දේශපාලනය හරහා ගැමි තරුණයින් හමුදාවට බැඳීම වලක්වන්නට හෝ හමුදාවේ මානුෂික මෙහයවීමට බලපෑම් කරවීමට ඔවුන්ට හැකිවූයේ නම් අද තත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිනි.

පැහැදිලිවම ආගමික දේශපාලනයෙන් කෙරෙන්නේ ජනතාවගේ සිතුම් පැතුම් සූක්‍ෂම ලෙස රටේ අපේක්‍ෂාවන් වලට එරෙහිව වෙනස් කිරීමට උත්සාහ කිරීමය. රටේ ස්වාධිපත්‍යයට එරෙහිව වැඩ කරන දේශපාලන බලවේග වලට ජනතාව නම්මවා ගැනීමට ඉඩ නොදිය යුතුය. නමුත් අද මේ තර්ජනය පරාජය කිරීම එදා තරම් සරල නොවේ. එදා පරංගි සතුරන් ලෙස හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කිරීම අපට ගැටළුවක් නොවිනි. නමුත් අද අන්‍ය ආගමක් පදනම් කරගෙන රටේ ස්වාධිපත්‍යයට එල්ල කරන දේශපාලන තර්ජනවලට කෙලින්ම පහර දිය නොහැක්කේ ශ්‍රී ලාංකිකයින් අතරද ඒ ආගම් භක්තිකයින් සිටින නිසාය. රටේ ස්වාධිපත්‍යයට තර්ජනය කරන දේශපාලන බලවේග වලට ප්‍රජාතාන්ත්‍රී අයිතියක් නොතිබිය යුතු මුත් රටේ විවිධ ආගම් අදහන පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රී අයිතීන් සුරැකිය යුතුය. මෙය තෝරා බේරා ගන්නේ කෙලෙසද?


අද වනවිට බටහිර රාජ්‍ය තම රටවල දේශපාලන ආධිපත්‍ය තහවුරු කරගෙන සිටිති. ඔවුන්ගේ දේශපාලන චින්තනයට බාහිරින් බලපෑම් කල නොහැකිය. ඒ රාජ්‍ය කඩාවැටෙනවා නම් එසේ වන්නේ අභ්‍යන්තර බලපෑම් මඟින් පමණි. නමුත් ඒ රටවල එම තත්වය හැමදාමත් එසේ නොතිබිනි. පනස් ගණන් වල සමාජවාදී සංකල්ප හරහා ඇමෙරිකාවේ දේශපාලන චින්තනයට යම් තර්ජනයක් තිබිනි. එය මැඩලීම සඳහා එවකට බලයේ සිටි ඇමරිකානු රජය නව නීති පැනවීය. ජෝසප් මැකාති නම් සෙනෙට් සභිකයාගේ ප්‍රධානත්වයෙන් කෙරුන මේ මර්ධන වැඩපිළිවෙල යටතේ සමාජවාදීන් යැයි සැක කෙරුනු ඇමෙරිකානු පුරවැසියන් සිය ගණනක් සිර කරනු ලැබූ අතර තව දහස් ගණනකගේ රැකියා අහිමි කරන ලදී. අද සමාජවාදී සංකල්ප තුලින් ඇමෙරිකාවේ දේශපාලන චින්තනයට බලපෑමක් නැත. ඒ නිසා අවශ්‍යය නම් හා හැකිනම් ඕනෑම සමාජවාදියෙකුට ඇමරිකාව තුල සමාජවාදී දේශපාලනයක් කිරීමට අද ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇත. වඩාත් නිවැරදිව කියනවා නම් ඕනෑම සමාජවාදියෙකුට ඇමරිකාව තුල සමාජවාදී දේශපාලනයක් කිරීමට ඉඩක් ඇත්තේ ඉන් ඇමරිකානු දේශපාලන චින්තනයට බලපෑමක් කල නොහැකි බැවිනි. ඇමරිකානු දේශපාලන චින්තනය පුද්ගලික නිදහස හා ධනවාදය මත පදනම්වේ. එරට ස්වාධිපත්‍ය රැකෙන්නේ ජනතාව ඒ දේශපාලන චින්තනයට අනුගතව සිටින තාක් කල්ය. පනස් ගණන් වලදී එරට ජනතාව වෙනතකට නම්මවා ගන්නට පිටින් පැමිණි බලපෑම් වලට ඒ රජය ඉඩ නොදිනි. ඉදිරියේද එසේ වනු ඇත. රජයට අමතරව ඇමරිකානුවන් එරට දේශපාලන චින්තනයට අනුගත කර තබා ගැනීම සඳහා එරට විශ්ව විද්‍යාලත් ක්‍රිස්තියානි පල්ලියත් ජන මාධ්‍යත් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. මේ ආයතන එරට සමාජය වටා පවුරක්සේ සිටිමින් පිටින් එන දේශපාලන බලවේග වලට තම ජනතාව නම්මවා ගන්නට ඉඩ නොදෙයි. අද ඇමරිකාවේ පිහිටුවා ගන්නා බෞද්ධ පන්සල් වලින් එරට ජනතාවගේ දේශපාලන චින්තනයට බලපෑමක් නැත. එසේ පන්සල් පිහිටුවාගන්නා අපේ හාමුදුරුවරුන්ටද ඇමරිකානු දේශපාලන චින්තනයට අනුගතවීම හැර කරන්නට වෙන දෙයක් නැත. අපි ඒ ගැන කම්පා නොවෙමු. නමුත් අපේ රටේ ස්වාධිපත්‍යයට තර්ජනය කරන ආගමික දේශපාලන බලවේග පරාජය කිරීමට අපට නිසි ක්‍රම වේදයක් නැතිවීම ප්‍රශ්ණයකි.  


බටහිර ක්‍රිස්තියානි පල්ලියටත් මැද පෙරදිග මුස්ලිම් පල්ලියටත් ඔවුන්ගේ සැදැහවතුන් තමන් කෙරෙහි නම්මවා ගැනීමට ඇති හැකියාව අති මහත්ය. සංස්කෘතියෙන් මේ රටවල ජනතාව කේන්ද්‍රීය බල මූලස්ථාන වලට කැමත්තක් දක්වති. ඒ කැමැත්ත ඒ ආගම්වල ඒක දේව විශ්වාසයට අනුකූල විය හැකිය. කෙසේ වෙතත් මේ පල්ලි සංවිධානය වී ඇත්තේද කේන්ද්‍රගතවය. ඒ නිසා මේ පල්ලි හරහා ලොව පුරා විසිර සිටින ඔවුන්ගේ සැදැහැවතුන්ට අති විශාල දේශපාලන බලපෑමක් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබේ. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මෑතක සිට පෙළ ගැසෙන්නේ මේ ගෝලීය බලපෑම් උඩය. මෙවැනි ආගමික දේශපාලන බලවේග හරහා අප රටේ ජනතාව සිංහල බෞද්ධ දේශපාලන චින්තනයට විරුද්ධව මෙහෙයවීම වැලැක්විය හැක්කේ රජයට පමණි. නමුත් පනස් ගණන් වලදී ඇමරිකානු රජය සමාජවාද බලවේග වලට එරෙහිව ක්‍රියාකළ ආකාරයට අපට විරුද්ධව ක්‍රියා කරන දේශපාලන බලවේග වලට එරෙහිව ක්‍රියාත්මක වීමට විශේෂයෙන් බටහිර රටවල් අපට ඉඩ නොදෙනු ඇත. එය ජය ගැනීමට නම් රජය ශක්තිමත් විය යුතුය. අද එය කළ හැක්කේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සවිමත් කිරීම තුලිනි.


සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් හැත්තා දෙකේ නිර්මාණය කල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීමටත් බුදු සසුන රැක ගැනීමටත් රජය බැඳී සිටින බව කියැවිනි. මේ ව්‍යවස්ථාව නිර්මාණය කෙරුනේ කොල්වින් ආර් ඩි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙබි පාර්ලිමේන්තු කමිටුවක් මඟිනි. වත්මන් ජනාධිපතිතුමාද එකල එම කමිටුවේ සාමාජිකයෙකු විය. බුද්ධාගම පිළිබඳ වගන්තිය එම ව්‍යවස්ථාවට එකතු වී ඇත්තේ සියවස් ගණනාවක නිදහස් සටන් වල ප්‍රතිඵලයක් ලෙසිනි. නමුත් එම වගන්තිය ව්‍යවස්ථාවට එකතු වී තිබීම අපේ භාග්‍යයක් කොට සැලකිය යුත්තේ අද එවැනි දෙයක් කරන්නට ගියා නම් බටහිරුන්ගෙන් ප්‍රබල විරෝධයක් එල්ලවන බැවිනි. රනිල් හෝ චන්ද්‍රිකා ආණ්ඩු සමයේ ව්‍යවස්ථාව නිර්මාණය වූයේ නම් එම වගන්තිය ව්‍යවස්ථාවට එකතු නොවීමට බොහෝ ඉඩ තිබුනි.


නමුත් සිංහල බෞද්ධයින්ට වැදගත්වන සියලු දේශපාලන සංකල්ප එම වගන්තියේ ගැබ්වී තිබේද? බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හා බුදු සසුන රැක ගැනීමට පටු අර්ථකණයක් දීම ඉන් වැලැක්විය හැකිද? අනාගතයේ එල්ලවිය හැකි ආගමික දේශපාලන බලවේගවලට මුහුණ දීමට මේ වගන්තිය පමණක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබීම ප්‍රමාණවත්ද? මගේ අදහස නැත යන්නය.

1 comment:

  1. ව්‍යවස්තාව කෙසේ වෙතත් දෑත්නම් තවමත් ශක්තිමත් කරන බව පෙනෙනවා.

    ReplyDelete