Sunday, February 17, 2013

සමාජ ආරක්‍ෂක දැල

දිලිඳුන්, රැකියා විරහිතවූවන්, අවතැන් වූවන්, දෙමාපියන් නැති දරුවන්, විශ්‍රාමිකයන්, වියපත් රෝගාතුර වූවන් වැනි සමාජයේ අසරණ තත්වයට පත්වූවන්ට සහන සැලසීම සඳහා බටහිර සමාජය විසින් තනාගත් විවිධ ආයතන හා විධික්‍රම පොදුවේ සමාජ ආරක්‍ෂක දැලක් ලෙස හැඳින්විය හැකිය. බටහිර රටවල් මේ නොයෙකුත් ක්‍රමවේදයන් පවත්වාගෙන යාම සඳහා විශාල ධනයක් වැය කරති. බටහිරුන් කුඩා කල සිටම සමාජයෙන් ස්වාධීනව ජීවත් වන්නට පුරුදු වී සිටිති. එසේ නොවී සිටීම විකල්පයක් නොවේ. ඔවුන්ගේ පවුල් සම්බන්ධතාද කුඩාම ඒකකයට සීමා වී ඇත. තනිව ජීවත්වන බැවින් ඉතා සුළු කරුණකට පවා ඔවුහු අනුන්ගෙන් උපකාර බලාපොරොත්තු නොවෙති. ඒ නිසා අනාගතයේ තමන් විපතකට පත් වුවහොත් ඉන් ගොඩ එන්නේ කෙසේද යන්න ඔවුන්ට ජීවිත කාලය පුරාම බලපවතින ප්‍රශ්ණයකි. බොහෝ දෙනෙකුට පුද්ගලිකව තමන්ගේ අනාගතය සුරක්‍ෂිත කරගැනීමට ශක්තියක් නැත. ඒ නිසා බටහිරුන්ට ඔවුන්ගේ රජයන් මඟින් පවත්වාගෙන යන කෘතිම සමාජ ආරක්‍ෂක දැලක් හැරෙන්නට වෙන අන් සරණක් නැත. 

පුද්ගලික නිදහස අගේ කොට සැලකූ බටහිරුන් නූතන ජාතික රජ්‍යයන් ගොඩනඟා ගැනීමේදී මේ සමාජ ආරක්‍ෂක දැල් තම ආණ්ඩු ක්‍රමයට එකතු කර ගත්හ. අපට එවැනි ක්‍රමයක් නැත. සමාජ ආරක්‍ෂක දැල යන සංකල්පයම බටහිරෙන් ගත් එකකි. පාරම්පරිකව අපේ ආරක්‍ෂක දැලවූයේ දුර දිගට විහිදෙන අපේ පවුල් සම්බන්ධතා තුලින් ගොඩනැඟුනු ඔවුනොවුන් රැක බලා ගන්නා සමාජ ක්‍රමයමය. එහි පදනම යුතු අයුතු කම් වැඩිහිටියන්ට සැලකීම වැනි සාර ධර්මය. බටහිර රටවල මෙන් නොව අපේ පවුල්වල ඇති කිට්ටු සම්බන්ධතා දෙමව්පියන්ට හා දරුවන්ට පමණක් සීමා නොවේ. අපේ පවුල්වල මවගේ පාර්ශවයෙනුත් පියාගේ පාර්ශවයෙනුත් ගලා එන නෑදෑ වරුන් හතර වර්ගයක් සිටිති. මේ සියලු දෙනාම කිට්ටු ඥාතීන් ලෙස සැලකේ. මීට අමතරව දූරින් නෑදෑ වන අයද සිටිති. ඒ හැමෝම අපේ මිනිස්සු යැයි සැළකීමට තරම් අපි අතර ඇති බැඳීම් ප්‍රබලය. මේ සම්බන්ධකම් ඉතා දුරකට දිවෙන අතර සංකීර්ණද වේ. මේ සම්බන්ධතා බොහෝවිට ගැට ගසාගෙන පවත්වාගෙන යන්නේ අපේ මෑනිවරුන් විසින්ය. ඒ අතින් ගත්විට අපේ ජාතියම එකට බැඳ තබාගෙන සිටින්නේ මෑනිවරුන් යැයි කීම අතිශෝක්තියක් නොවේ.


මෙසේ පවුල් ගැට ගසා තබා ගැනීමට ලඟ අහල පහල ජීවත්වීම වැදගත්ය. නිතර යාම් ඊම් ගනුදෙනු කල හැක්කේ එවිටය. දානමාන කටයුතු මඟුල් ගෙවල් මළ ගෙවල්වලට සහභාගීවීම මේ සම්බන්ධතා පවත්වා ගන්නට අතිශයෙන් වැදගත්ය. නමුත් අප රට තුල පසුගිය අවුරුදු පනහ හැට කාලයේ සිට විශාල මිනිස් සංක්‍රමණයක් සිදුවෙමින් පවතී. සමහරු ගම් හැරදා කොළඹ වැනි ප්‍රධාන නගර අවට පදිංචියට යන අතර තවත් සමහරු පිටරටට ඇදී යති. ම
දෙවන පරම්පරාවේ සංක්‍රමණිකයෙක්මි. මගේ දෙමව්පියෝ පිටිසර ගමක පාසල් අධ්‍යාපනය ලබා අවසානයේ රැකියා සඳහා කොළඹට පැමිණ එහි පදිංචිවූ අයය. මගේ සීයලා කුඹුරු ගොවිතැනින් ජීවත්වූ අය නමුත් මගේ දෙමව්පියන්ට කොළඹ රැකියා ඊට වඩා ආකර්ෂණයක්විය. මා ඇමරිකාවට පැමිණියේ උසස් අධ්‍යාපනය සඳහාය. බටහිර අධ්‍යාපන සුදුසුකම්වලට අප සමාජයේ ඇති අතිමහත් ගෞරවය සහ පිළිගැනීම ඊට බලපෑවේය. අපේ මිනිසුන් ගම්රටවල් හැර යාමට බලපාන මූලික හේතුව බටහිර සංස්කෘතියේ බලපෑම හා ආකර්ශණයයි. කොළඹ අවට වළල්ලක් සේ පදිංචිවී සිටින බහුතරයක් මධ්‍යම පංතික සිංහලුන් මගේ දෙමව්පියන් මෙන් ගම් වලින් වරින් වර කොළඹට සංක්‍රමණය වූවන්ය. ඔවුන් සැලකිය යුතු පිරිසකගේ දූදරුවන් අද රටද අත හැර ගොස්ය. නැත්නම් රට යන්නට බලාපොරොත්තුවෙන් සිටිති. 

අද ඇමරිකාවත් ලංකාවත් අතර ඇති සමාජීය හා සංස්කෘතිමය දුර මීට වසර පණහකට පමණ ඉහතදී කොළඹත් මගේ දෙමව්පියන්ගේ මුල් ගමත් අතර තිබු ඒ දුර හා සමාන යැයි මම සිතමි. මගේ දෙමව්පියන් කොළඹ පදිංචිවීමත් සමඟ ඔවුන්ගේ ඥාතීන් සමඟ තිබූ බැඳීම් ක්‍රමයෙන් ලිහිල් වී ගියේය. ඔවුන් මේ සම්බන්ධතා පවත්වාගෙන යන්නට ඉමහත් උත්සාහයක් ගත් බව මම දනිමි. නමුත් ඥාතීන්ගෙන් භෞතිකව දුරස්වීම නිසා ඇතිවුන අඩුව ඔවුන් අපේක්‍ෂාකල තරමට ඔවුන්ට පියවිය හැකිවිනැයි මම නොසිතමි. මා රටින් පිටවීමත් සමඟ මේ බැඳීම් ඊටත් වඩා පලුදු වුන බව නොකිවමනාය. බටහිර තාක්‍ෂණයෙන් අපට දායාදකර ඇති නවීන සන්නිවේදන මෙවලම් මේ බැඳීම් පවත්වාගෙන යන්නට සමත් නොවේ. අන්තර් ජාලය හරහා කෙනෙකුට අවශ්‍යනම් දහස් ගණනක් හා සම්බන්ධවිය හැකි නමුත් මේ එකක්වත් මෙහි සඳහන් ආකාරයේ බැඳීමක් යැයි හැඳින්විය නොහැකිය. ඇත්තෙන්ම මේ සන්නිවේදන ක්‍රම මඟින් සිදුවන්නේ පුද්ගලයින් තව තවත් සමාජයෙන් වෙන්වීම පමණි. මිනිසුන් ගම් දොරවලින් ඈත් වනවිට දූරට දිවුනු මේ පවුල් සම්බන්ධතා කාලයාගේ ඇවෑමෙන් දියවී ගොස් පවුල දෙමව්පියන්ට හා දරුවන්ට පමණක් සීමාවේ. ප්‍රායෝගිකව ගත් විට අද කොළඹ නගරයේ හා පිටරටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකගේ පවුල් සම්බන්ධතා දෙමව්පියන් හා දරුවන් අතරට පමණක් සීමාවී නැත්ද?

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. එහි විපාක මේ සංක්‍රමනිකයන් පුද්ගලිකව විඳදරා ගනු ඇත. නමුත් ඉන් පොදු සමාජයටම සිදුවන අනිසි විපාකයක් ඇත. අප සමාජයේ හැම පුද්ගලයෙකුම මකුළු දැලක් මෙන් දුරට විහිදුනු අපේ සමාජ ආරක්‍ෂක දැලේ එක් පුරුකක්ව වැදගත් කාර්ය භාරයක් කරයි.  ගම්රටවල් හැර ගොස් තම ඥාතීන්ගෙන් දුරස් වනවිට මේ මේ පොදු ආරක්‍ෂක දැල සමඟ ඔහුගේ ඇති බැඳීම පලුදු වේ. ඒ පලුදු වීම් තුලින් අවසානයේ ඒ දැලේ ශක්තියද ක්‍ෂයවේ. ඊනියා නිදහස ලැබූදා සිට අපේ සමාජ ආරක්‍ෂක දැල සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතීයැයි මම සිතමි. එයට ප්‍රධාන හේතුව මිනිසුන් ගම්රටවල් හැරදා යාමය.


ආරක්‍ෂක දැලක මහිමය හොඳින් එළිදරව්වන්නේ රටක් මහා පරිමාණයේ ව්‍යසනයකට ගොදුරුවුන අවස්ථාවලදීය. සුනාමිය එයට හොඳ නිදසුනකි. ඒ අවස්ථාවේදී අසරණවූ ලක්‍ෂ ගනණකට මුලින්ම පිහිටට පැමිණියේ රජයවත් රජයේ නොවන ජාත්‍යාන්තර සංවිධානවත් නොව සාමාන්‍ය මිනිසුන්ය. එහිදී ස්වේච්ඡාවෙන්ම ක්‍රියාත්මක වුනේ අපේ පාරම්පරික සමාජ ආරක්‍ෂක දැලය. ජීවිත තිස් දහසකට අධික ගනණක් බිලිගෙන මහා දේපල විනාශයක් කල මේ විපතින් පසු ඉක්මනින් ජන ජීවිතය යලි යථා තත්වයට ගෙන ඒමට වැඩි රුකුලක් වූයේ මිනිසුන් අතර තිබූ බැඳීම මිස විදේශ ආධාර නොවේ. මේ හා සසඳන විට ඇමරිකාවේ නිව් ඔර්ලීන්ස් නගරය ගොදුරුවූ කැතරිනා නමින් හැඳින්වුන සුලි සුලඟට එරටුන් මුහුණ දුන් ආකාරය කණගාටු දායකය. ඒ අවස්ථාවේ ඔවුන්ගේ පිහිටට සිටියේ ඔවුන්ගේ ආරක්‍ෂක දැල වූ නොයෙකුත් රජයේ ආයතනය. ලොව සම්පත් වලින් පොහොසත්ම රටවුනත් එවැනි විපතක් සිදුවන බව දින කිහිපයකම සිට දැන ගෙන සිටියත් ඔවුන්ට ඒ මොහොතේ අපමෙන් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වීමට නොහැකිවිනි. මා දකින අයුරින් එයට ප්‍රධාන හේතුව ඔවුන්ගේ සංවිධාන සමාජයෙන් වෙන්ව පැවතීමය. අපේ ආරක්‍ෂක දැලේ වැදගත් ලක්‍ෂණයක් නම් එමඟින් ආරක්‍ෂාවන පුද්ගලයාද ඒ දැලේම කොටසක් වීමය. නමුත් බටහිර ආරක්‍ෂක දැල ඇත්තේ ආරක්‍ෂාවන තැනැත්තාට පිටින්ය. එය කෘතිමය. අපේ පවුල් දැල අසරණවුන් රැක බලා ගන්නා අතර බටහිරුන්ගේ ආරක්‍ෂක දැල අසරණවූ තැනැත්තාට තමාගේ කටයුතු තමන් විසින් කරගෙන යාම සඳහා ආධාර පහසුකම් සපයයි. මේ විධි දෙකේ පැහැදිලි වෙනසක් ඇත. මිනිසුන් අතර බැඳීම පදනම් කරගත් අපේ සමාජ ආරක්‍ෂක දැල අපේ උරුමයයි.

3 comments:

  1. බටහිර සමාජ ආරක්ෂක දැල ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය බදු ක්‍රමය හරහාය. එය පරිගණක ජාලයක් ඔස්සේ පුද්ගලයින් හදුනාගන්න අතර අවම හා උපරිම ලෙස පවතින සීමාවක් තුල ආදර ලබාදෙයි. ජීවත්වීම හා සෞක්‍යය පහසුකම මුල්තැනක් ගනියි. එයට හැගීම් නැත.
    නමුත් ශ්‍රී ලංකාවේ (බොහෝ පෙරදිග රටවල ) පවතින සමාජ ආරක්ෂක දල සම්ම්පුර්ණ හැගීම් මත පදනම් වන අතර බදු සහනාදාර නොලැබේ.
    අප විසින් රජයට පෙන්වා දියයුත්තේ මිනිසුන් විසින් ක්‍රියාත්මක කරන මේ හැගීම් මත පදනම් වූ සමාජ සුරකීමේ යාන්ත්‍රනය විදිමත් ලෙස ශක්තිමත් කරන ලෙසයි. ඉතාම සුළු රාජ්‍ය මැදිහත්වීමකින් මෙය ශක්තිමත් කළහැකි බව මහේ හැගීමයි,

    ReplyDelete
  2. බටහිර පුද්ගලිකත්වය යනු අප සිතා සිටින පුද්ගලිකත්වය නොවේ. එය ඊට වඩා තීව්‍ර බටහිර සමාජ ක්‍රමයේ ඇට මිදුළු දක්වා දිවෙන ප්‍රපංචයකි. අප බටහිර රටවල දේශපාලනයේ සිට වෙනත් සමාජ ක්‍රියාකාරකම් දක්වා නිරීක්ෂණය කරන බොහොමයක් දේ මෙම පුද්ගලිකත්වය හරහා තේරුම් ගත හැකි යැයි සිතමි.

    නිදසුනක් ලෙස බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වීමත් එය ලංකාව ඇතුළු පෙරදිග රටවල එලෙස ක්‍රියාත්මක නොවීමත් යන සරළ කරුණ සළකා බලමු. බටහිර සමාජය මතුපිටින් දැක බලා අතපත ගෑ බොහොමයක් අයගෙන් ඇසෙන්නේ දියුණු බටහිරයන් නොදියුණු සිංහළයින් මෙන් නොව ප්‍රතිපත්ති බලා පක්ෂ වලට ඡන්දය දෙන බවයි. මා නිරීක්ෂ්ණය කර ඇති අන්දමට මෙහි යම් සත්‍යතාවයක් නැතිව නොවේ. නමුත් එය එසේ වී ඇත්තේ බටහිරයන් 'ඇඩ්වාන්ස්' නිසා නොව බටහිරයන් තුළ ඇති අප තුළ (ඒ මට්ටමින්ම) නොමැති පුද්ගලිකත්වය නිසාවෙනි. අප ඡන්ද දෙන අපේක්ෂකයන් තීරණය කිරීමේදී අපගේ සමාජ සම්බන්ධතා තීරණාත්මක ලෙස මැදිහත් වෙයි. අප ඡන්දය දෙන්නේ අපේ නෑයාට, ගමේ එකාට, කුළේ එකාට හෝ අවම තරමින් ඉස්කෝලේ එකාටයි. එහෙත් එවන් සම්බන්ධතා වලට වටිනාකමක් නැති පුද්ගලිකත්වයෙන් මෙහෙයවෙන බටහිරයන්ට ඡන්දය දීමේදී පුද්ගලයාගේ ලස්සන, කතිකත්වය, සාර්ථකත්වය වැනි සිල්ලර කරුණු වලට අමතරව බැලීමට යමක් ඉතුරුව ඇත් නම් ඒ එක් එක් අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මොනවාද යන්නයි. මින් කියවෙන අනිත් දෙය නම් බටහිර පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක වීමට නම් සමාජ බැඳීම් නැති (හෝ අවම) පුද්ගලිකත්වයෙන් මෙහෙයවෙන තනි තනි පුද්ගලයන් වෙසෙන බටහිර ආකෘතියේ සමාජ තිබිය යුතු බවයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ සියළු ප්‍රශ්ණ විසඳනු ඇතැයි අහිංසක බලාපොරොත්තු තබාගෙන ස්ටින්නන් මේ කරුණ ගැනද අවධානය යොමු කළ යුතුව ඇතැයි සිතමි.

    - ප්‍රභංග

    ReplyDelete
  3. සම්පූර්ණයෙන් එකවෙමි. ප්‍රජාතාන්ත්‍රවාදය වැඩ කරන්නේ වෙන්වුනු පුද්ගලයින් සමූහයකින් සැදි සමාජයක පමණයි.

    ReplyDelete