Sunday, February 3, 2013

නමෝ නමෝ මාතා

By Janaka Wansapura

වරක් එක්තරා ඇමරිකානු විශ්ව විද්‍යාලයක සිසු කණ්ඩායමක් විසින් එහි බලධාරීන් ගෙන් ඉල්ලීමක් කෙරිනි. ඉන්දියාවෙන් පැමිනි උපාධිධාරීන් ගෙනුත් ඇමරිකාවේ ජීවත් වන හින්දු දෙමව්පියන්ගේ දරුවන්ගෙනුත් සමන්විත මේ සිසු පිරිස හින්දු භක්තිකයින් වූ අතර ගණනින් එම විශ්ව විද්‍යාලයේ සැළකිය යුතු ප්‍රතිශතයක් ගනු ලැබිනි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ හින්දු ආගමික උත්සවයක් පැවැත්වෙන එක්තරා දිනයක් විශ්ව විද්‍යාලයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලෙසය. ඉල්ලීම කෙරුනේ අප්‍රසිද්ධියේ වුනත් ඊට ප්‍රතිචාරය විශ්ව විද්‍යාල ප්‍රජාවටම දැනගැනීමට බලධාරීන් විසින් සලස්සවා තිබිනි. මගේ මතකයේ හැටියට කෙටියෙන් ඉන් කියවුනේ මෙවැනි දෙයකි. විවිධ ආගම් හා විවිධ ජාතීන්ට අයත් සිසුවෝ මෙහි ඉගෙන ගනිති. විශ්ව විද්‍යාලය තුල ඇති මේ බහු සංස්කෘතිය අපි අගය කරන්නෙමු. නමුත් මේ සියලු දෙනාගේම ආගම් සඳහා නිවාඩු දින නම් කිරීම ප්‍රායෝගික නොවන බව කණගාටුවෙන් දැනුම් දෙමු.  ප්‍රශ්ණය එතැනින්  කෙළවර විය. නමුත් ඒ ප්‍රකාශයේ නොකියවුනු දෙයක් තිබිනි. එනම් ක්‍රිස්තියානි සිසුන්ගේ ආගමික උත්සව පැවැත්වෙන දින පමණක් ඔවුන්ගේ ඉල්ලීමකින් තොරව වුනත් එම විශ්ව විද්‍යාලයේ ඒ වනවිටත් නිවාඩු දින බවට පත් කෙරී තිබුන බවය. ක්‍රිස්තියානි ආගමට පමණක් එසේ නිවාඩු දින ලැබුනේ කෙලෙසදැයි සාධාරණය කල යුතු බව එම බලධාරීන් කල්පනා කලේ නැත. හින්දු ආගමික සිසුන් හැරුනු කොට වෙන කිසිම ආගමකට අයත් සිසු පිරිසක් විසින් එවැනි ඉල්ලීමක් කලේ යැයි දැන ගන්නට නැත. එසේ වෙතත් බලධාරීන්ගේ නිර්ණායකය වූයේ ප්‍රායෝගික බව නම් ක්‍රිස්තියානිද ඇතුලු සියලු ආගම් වලට සාධාරණය ඉටු කල හැකි ප්‍රායෝගික විසඳුමක් ගෙන ඒමට ඔවුන් විසින් කටයතු කල යුතුව තිබිනි. එවැන්නක් එහි සිදු නොවිනි. ඒ නිසා ප්‍රායෝගී නොවන බව කීම හුදු ප්‍රයෝගයක් පමණි. පැහැදිලිවම ඔවුන්ගේ ප්‍රකාශයෙන් කියැවුනේ ක්‍රිස්තියානි ආගමට එම විශ්ව විද්‍යාලයේ ඇති තැන වෙනත් ආගමකට නොදෙන බවය. වඩාත් නිවැරදිව කිවහොත් සියලු ආගම් එකසේ සැලකීම මඟින් ක්‍රිස්තියානි ආගමට තිබිය යුතු විශේෂ තැන අවතක්සේරු නොකරන බවය. ක්‍රිස්තියානි රටක ඇති යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් එවැනි ප්‍රතිපත්තියක් දැරීම මට ප්‍රශ්ණයක් නොවේ. ප්‍රශ්ණය බටහිරුන් අනුගමනය කරන ඊනියා බහු සංස්කෘතික ප්‍රතිපත්ති වල සැබෑ ස්වරූපය අපේ උගතුන් තේරුම් නොගැනීමය. ඇමරිකාවේ පසු පෙලේ විශ්ව විද්‍යාලයක ආකල්ප මෙසේ වේ නම් රජ්‍ය මට්ටමේ ඊනියා බහු සංස්කෘතික ආකල්ප ගැන සිතා ගත හැකි විය යුතුය. මේ බව තේරුම් නොගන්නා අපේ උගතුන් අප රටේ ජාතික ගීය දෙමළ බසින්ද ගැයිය යුතුයැයි පවසති. ඉන් සිදුවන්නේ මෙරට සිංහල ජාතියට හිමි විය යුතු තැන අවතක්සේරුවීම මිස ඉන් දෙමළ ජාතියට ලැබෙන දෙයක් නැත.


ඇමරිකාවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ සියලු ආගම් වල උත්සව වලට රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලැබේ. ඒ පිළිබඳ කිසි විවාදයක් නැත. බෞද්ධයෝ එය ප්‍රශ්ණයක් කර නොගනිති. ජාතික ගීයට බටහිරුන් දී ඇති වැදගත් කමත් දෙමළ ජාතිවාදීන්ගේ කූට ක්‍රියා කලාපත් නොවන්නට ජාතික ගීය පිළිබඳව පවා සිංහලුන් මීට වඩා ලිහිල් ආකල්පයක් දරනු ඇතැයි මම සිතමි. කෙසේ නමුත් අපට ජාතික ගීයක් ලැබුනේ මෑතකදී බව නොගිනිය හැකි නොවේ. අපි තවමත් ජාතික ගීය යන සංකල්පය අපේ සංස්කෘතියට අවශෝෂණය කරගනිමින් සිටිමු. ජාතික උත්සව වලදී තවමත් එය වාදනය කෙරෙන්නේ බටහිර සංගීත ක්‍රමයටය. එමඟින් ඒ ගීයට වඩා ගාම්භීර බවක් ලැබේද? ජාතික ගීය රණ ගීයක් විය යුතුද? එසේ නම් සිංහලුන්ගේ රණ ගී කෙබඳුද? අපි ජාතික ගීයට ගරු කරන්නේ කෙසේද? භික්‍ෂූන් වහන්සේ ජාතික ගීය පිළිබඳ කුමන පිළිවෙතක් අනුගමනය කළ යුතුද? අපට මෙවැනි ප්‍රශ්ණ ඇත්තේ ජාතික ගීය යන සංකල්පයම අපට ආගන්තුක බැවිනි.


ජාතික ගීය හා ජාතික කොඩිය බටහිරුන් තම රටවල ජාතික රාජ්‍ය ගොඩනඟා ගැනීමේදී ඔවුන් විසින් නිර්මාණය කරගත් සංකේතය. බටහිර රටවලද ඒ සංකේත වලට එතරම් දුර අතීතයක් නැත. බටහිර නොවන අපේ රටවලට මේ සංකේත ලැබෙන්නේ අප ඔවුන්ගේ යටත් විජිතව පැවති නිසා හෝ නැත්නම් සංස්කෘතික බලපෑම් නිසාය. නිදහස ලැබෙද්දී අපි ජාතික ගීයක් තනාගත්තේ සුද්දන්ට එවැන්නක් තිබුන නිසා පමණි. එය හරියට කිතුණුවන් කැරොල් ගායනා කරන විට එය අනුකරණය කරමින් බෞද්ධයන් භක්ති ගී ගායනා කරනවා මෙනි. නමුත් එය බැහැර කල යුතුයැයි මම නොකියමි. ජාතික ගීය ඇසෙන විට අප බොහෝ දෙනෙකුට හිතට අභිමානයක් නෙතට කඳුලක් ගෙන දෙන බව සත්‍යයකි. ඒ නිසා අපේ ජාතික ගීය අපට වැදගත්ය. නමුත් ජාතික ගීයෙන් හා ජාතික කොඩියෙන් සංකේතවත් වන බටහිර රාජ්‍යය ඔවුන් විසින් දකින ආකාරය අප රට ජාතිය දකින ආකාරයෙන් පැහැදිලිවම වෙනස් යැයි මම සිතමි. අපි ඔවුන්ගේ සංකේත භාවිතා කරද්දී ඒ ගැන විමසිලිමත් විය යුතුය.


බටහිරුන්ට ඔවුන්ගේ රජය ඔවුන් සිටියත් නැතත් පවතින දෙයකි. එය වෙනස් නොවන අජීවී වියුක්ත සංකල්පයකි. ජාතික ගීය හා ජාතික කොඩිය ඒ වියුක්ත සංකල්පය සංකේතවත් කරයි. අපට එසේ නොවේ. අපේ රට ජාතිය අපට සාපේක්‍ෂව පවතින සජීවී සංයුක්ත දෙයකි. සිංහලුන්ට තමන්ගේ රට ජාතිය ආගම ජීවන ක්‍රමය ආදිය එකිනෙකින් වෙන කර ගත හැකි දෑ නොවේ. ඒවා එකිනෙක හා බැඳී පවතී. සාපේක්‍ෂබව යනු මේ බැඳී පැවතීමය. සිංහල ජාතිය යනු අහවල් ලක්‍ෂණ ඇති ජන කොටසකැයි වෙන් කර ගත නොහැක්කේ මේ බැඳී පැවතීම නිසාය. අනිත් අතට විවිධ ලක්‍ෂණ ඇති ජන කොටස් පොදුවේ සිංහල යැයි හැඳින්විය හැක්කේද මේ බැඳීම නිසාය. අපේ රජවරුන්ට ඔවුන්ට අවේනිකවූ කොඩි තිබුනි. රටත් රජයත් රජුත් රට වැසියනුත් අතර තිබූ සාපේක්‍ෂබව නිසා එකල රජුගේ කොඩිය රට ජාතියේ කොඩියද වූයේ යැයි සිතිය හැකිය. බටහිරුන්ගේ කොඩි මෙන් නොව රජු වෙනස්වනවිට කොඩියද ඊට සාපේක්‍ෂව රට ජාතියද සජීවී ලෙස වෙනස් වෙමින් වෙනස් කර ගනිමින් පැවතිනි. බටහිරුන්ගේ ජාතික ගී හා කොඩි වලින් සංකේතවත් වන්නේ මිනිසුන්ගෙන් වෙන්ව වෙනස් නොවී පවතින රාජ්‍යයකි. අපේ රට ජාතිය අප සමඟ වෙනස් වෙමින් පවතී. අවුරුදු දෙදහස් ගණනක් සිංහල ජාතිය රැකුණේ මේ සාපේක්‍ෂබව එනම් බැඳීම නිසාය. වෙනස් වීමට වෙනස් කර ගැනීමට ඇති හැකියාව නිසාය. අප මේ බැඳීම බටහිරුන්ගේ සංකේත අනුකරණය කරන්නට ගොස් වෙන්වීමක් කර නොගත යුතුය. අද මේ ගයන ජාතික ගීය නැතිවී බොහෝ කලකට පසුවද සිංහල ජාතිය පවතිනු ඇත.

2 comments:

  1. //සිංහලුන්ට තමන්ගේ රට ජාතිය ආගම ජීවන ක්‍රමය ආදිය එකිනෙකින් වෙන කර ගත හැකි දෑ නොවේ. ඒවා එකිනෙක හා බැඳී පවතී. සාපේක්‍ෂබව යනු මේ බැඳී පැවතීමය. සිංහල ජාතිය යනු අහවල් ලක්‍ෂණ ඇති ජන කොටසකැයි වෙන් කර ගත නොහැක්කේ මේ බැඳී පැවතීම නිසාය. අනිත් අතට විවිධ ලක්‍ෂණ ඇති ජන කොටස් පොදුවේ සිංහල යැයි හැඳින්විය හැක්කේද මේ බැඳීම නිසාය.//

    - රට ජාතිය ආගම යනු රට, ජාතිය, ආ කම වේ. ආකම් බදාගන්නේ ද්‍රෝහීන් ය. අපේකම හෙවත් සිංහලකම වෙනුවට ආකම් බදාගත් විට ද්‍රෝහීකම උරුමය. සිංහලයන් ගැන නොදැන ඉතිරිය කී බව පෙනේ. ඉංග්‍රීසින් කියන්නේ කාට ද?

    ReplyDelete
  2. බැඳ ගැනීම බදා ගැනීමක් නොවේ. බැඳීම තේරුම්ගත යුත්තේ එකිනෙකින් ස්වායත්ත නොවේ (not mutually exclusive) යන වියුක්ත අර්ථයෙන්.

    සිංහලයාගේ රටත් සිංහලයාගේ ජාතියත් සිංහලයාගේ ආගමත් යන සංකල්ප වියුක්ත සංකල්ප ලෙස ගත්විට එකිනෙකින් ස්වායත්ත නොවේ. මෙහි සිංහලයාගේ ආගම කියන්නේ බුද්ධාගම මිස වෙන ආගමක් නොවේ. නමුත් සිංහල බෞද්ධයින් මෙන්ම සිංහල කිතුනුවනුත් සිංහල ජාතියෙන් ස්වායත්ත නොවේ. අපට අවශ්‍ය දෙමලුත් මුස්ලිම්වරුත් ජාතියෙන් හෝ ආගමින් වෙනස් නොකර සිංහල ජාතියෙන් ස්වායත්ත නොවෙන ආකාරයට බැඳ ගැනීමටයි.

    ReplyDelete