Monday, January 7, 2013

ක්‍රිකට් - පරාජය විඳදරා ගැනීම

By Janaka Wansapura

අපේ රටේ බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩා නරඹන්නේ ලංකාව ක්‍රීඩා කරන විට පමණි. අපි කැමති ක්‍රීඩාවට නොව අපේ රට දිනනවා දැකීමටය. අර්ජුන රණතුංගගේ කණ්ඩායම ලෝක කුසලාණය දිනුවායින් පසු අපිටත් දිනන්නට පුළුවන් යැයි හැඟීමක් අපට ඇතිවිනි. සාමාන්‍ය මිනිස්සු තවම ක්‍රිකට් ගැන උනන්දු වන්නේ ඒ ගැම්මටය. අපේ අල්ලපු රටවල්ද අපි මෙන්ම ක්‍රිකට් උන්මාදයෙන් පසුවෙන බව කියැවේ. නමුත් ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතිත් අපේ ක්‍රිකට් සංස්කෘතියත් අතර යම් වෙනස් කම් ඇත. ඉන්දියාවේ ක්‍රිකට් හරහා විසිරී සිටින විවිධ ජාතියේ ඉන්දියානුවන්ට තමන් එකම ජාතියකට අයිතිය යන හැඟීම ලබා දෙයි. ක්‍රිකට් හරහා සිංහළුන්ගේ ජාතික හැඟීම් වැඩුනත් සිංහළුන්ට ජාතිකත්වයක් ලබාදෙන්නේ ක්‍රිකට් නොව ඔවුන්ගේ ඉතිහාසයය. අද වෙන්වී සිටින දෙමළුන් ඒ ජාතියට බන්දා ගන්නට නම් ක්‍රිකට් උපකාරී වෙන්නට පුළුවන. කෙසේ වුනත් පොදුවේ ශ්‍රී ලාංකිකයින් ක්‍රිකට් දකින්නේත් ගසන්නේත් වෙනමම ක්‍රමයකට බව කාගේත් පිළිගැනීමය. ඒ වෙනස අපි දිනන විට නොව පරදින විට වඩා හොඳින් දැක ගත හැකි යැයි මම සිතමි.


ඔවුන්ගේ කණ්ඩායම පරදින විට ඉංදියාවේත් පකිස්ථානයේත් මිනිස්සු කුපිත වී ක්‍රීඩකයින් ගේ නිවාස වලට ගල් ගසන බවත්, වීදි බැස කල කෝලාහළ කරන බවත්, ක්‍රීඩකයින්ගේ රූකඩ වලට ගිනි තබන බවත් අපි අසා ඇත්තෙමු. ඔවුන්ට පරාජය දරා ගත නොහැකිසේය. අපි නම් එසේ කරන්නේ නැත. හූවක් වත් කියන්ට අපිට සිත් නොදේ. ඊට හේතුව අපේත් අපේ අල්ලපු වැසියන්ගේත් සංස්කෘතිමය වෙනසක් විය හැකිය. නමුත් එංගලන්තයේ හා ඕස්ට්රේලියාවේ මිනිස්සුත් පරාජයේදී ඉංදියානුවන් හා පකිස්ථානුවන් මෙන් ක්‍රීඩකයින් ගේ නිවාස වලට ගල් ගසන්නේ නැත. දැන් මින් කියවෙන්නේ අපි සංස්කෘතියෙන් එංගලන්තයේ හා
ස්ට්රේලියාවේ මිනිසුන් වැනියි කියාද? සමහරුන්ට එසේ සිතීමට උවමනාය. එසේ සිතන ඔවුන් ඉන්දියානුවන් හා පකිස්ථානුවන් තමන් තරම් ශිෂ්ඨ සම්පන්න නොවේ යැයි සිතති. තමන් ජාතිවාදී බව ඔවුහු නොදනිති. නමුත් සමහරක් එසේ සිතන ගමන් සිංහල ජාතිකත්වයක් ගැන කථා කරනවුන් ජාතිවාදීන් යැයි හඳුන්වති. ඒ අය තමන්ගේ කුහක බවද නොදනිති.

කෙසේ වෙතත් බටහිරුනුත් අපිත් පරාජය අත්දකින ආකාරයේ වෙනසක් ඇතැයි මම සිතමි. අපි පරාජය විඳදරා ගන්නෙමු ඔවුහු පරාජය නොවිඳ දරා ගනිති. පරාජය වේදනාවකි. අපි කරන්නේ එය දුකින් විඳ ඉවසා සිටීමය. නමුත් මා දකින අයුරින් බටහිරුන් එසේ නොවේ. ඔවුහු පරාජයේ වේදනාව සිතින් මඟ හරිති. එය ඔවුන්ගේ නොවේය. ඔවුන් පරාජය දරා ගන්නේ ඉන් දුකට පත් වී, අප මෙන් එය විඳවා නොවේ. ඔවුන් පරාජය දරා ගන්නේ පරාජයත් එහි දුකත් ඔවුන්ට අදාල නොවේ යැයි සලකාගෙනය.


දුක සත්‍යයක් ලෙස සලකන අපට වේදනාව මිනිස් ජීවිතයේ පමණක් නොව මුලු සංසාරයේම මඟ හැරිය නොහැකි ලක්‍ෂණයකි. අපි වේදනා විඳින්නට කැමති නැති වුනත් එය නොවිඳිය යුතු හෝ නොවිඳා සිටිය හැකි දෙයක් ලෙස හෝ සලකන්නේ නැත. නමුත් බටහිරුන් එසේ නොවේ. ඔවුන් පොදුවේ වේදනාව නොවිඳිය යුතු දෙයක් ලෙසත් එය නොවිඳා සිටිය හැකි බවත් විශ්වාස කරති. ඔවුහු ශාරීරික හා මානසික වේදනාවන් මැඩ පවත්වාගන්නට නොයෙකුත් ඖෂධ වර්ග පාවිච්චි කරති. බටහිර රටවල ඇති රෝහල් වල සිටින ලෙඩුන් වේදනා විඳින්නේ නැති තරම්ය. ඖෂධ වලින් මැඩ පවත්වා ගන්නට හැකිව තිබියදී එසේ නොකර සිටීම අස්වාභාවික දෙයක් ලෙස ඔවුන් සලකති. නමුත් මේ රටවල බොහෝ ආසාධ්‍ය ලෙඩුන් මෙන්ම සෞඛ්‍ය සම්පන්න අයත් වේදනා නාශක ඖෂධ වලට ඇබ්බැහි වී සිටිති. ඇමරිකාවේ ඉන් මිය යන මිනිසුන් ගණන හෙරොයින් වැනි මත් ද්‍රව්‍ය භාවිතයෙන් මිය යන ගණනට වඩා බෙහෙවින් වැඩිය. වේදනාව පිළිබඳ බටහිර ආකාල්පය පොදුවේ ආසියාතිකයින්ගේත් විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේත් ආකල්ප වලට වඩා බෙහෙවින් වෙනස් බව පැහැදිලිය. අපි ක්‍රිකට් තරඟයකින් පරාජය ලැබූ විට එය විඳ දරා ගන්නෙමු බටහිරුන් එය නොවිඳ දරා ගනිති. ඒ ක්‍රිකට් නරඹන්නන්ය. ක්‍රිකට් ක්‍රීඩකයෝ කෙසේ වෙත්ද?

2 comments:

  1. ඔය කාරණයම ඹයිට ටිකක් වෙනස් විදියට අපරාධ වලදිත් සිද්ධ වෙනවා නේද? ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යයාවක් දූෂණය කළාම මුලු රටේම ජනතාව ඒකට විරුද්ධව උද්ඝෝෂණ වගේ දේවල් කලා. නමුත් අපේ රටේ අපරාධ ජනතාව විද දරාගන්නවා. ජය...!

    ReplyDelete
  2. මේ වගේ දෙයක් අපරාධ දක්වා පුළුල් කරල ගන්න බෑ නේද? එහෙම නම් ලංකාවෙත් මිනිස්සු අපරාධ ගැන පාරට බැහැපු උදාහරණ මෑත ඉතිහාසයෙ තිබෙනවා.
    ක්‍රිකට් සම්බන්ධ උදාහරණය විශේෂ කරුණක් සහ නැවත නැවත දැකීමට හැකි කරුණක්.

    ReplyDelete