Sunday, January 27, 2013

ජාතිවාදයද? ආත්මවාදයද?

By Janaka Wansapura

කලකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි එක්තරා ගමක කමිස කඩේ නමින් හැඳින්වුනු කඩයක් තිබිනි. නමුත් එහි රෙදිපිළි විකිණීමට තිබුනේ නැත. තිබුනේ සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන සිල්ලර බඩු පමණි. ඒ කඩේ මුදලාලි සිංහල නොවන බව නම් කථාවෙන් හඳුනාගන්නට අපහසු වුනේ නැත. මා දැන් හිතන පරිදි ඔහු මුස්ලිම් ජාතිකයකු විය යුතුය. කඩයට ඒ නම ලැබෙන්නට ඇත්තේ ඔහුගේ මුස්ලිම් නම සිංහලට හුරු කෙරවීමෙන් පසුව විය හැකිය. ඒ කඩය අහල පහල වෙන කඩ නොතිබිනි. එවකට ඒ ගමේ සිංහල බෞද්ධ නොවන පවුලක් සිටියා නම් ඒ මුදලාලිගේ පවුල පමණක් විය යුතු යැයි මම සිතමි. නමුත් ඔහුට එදා ඒ මිනිසුන් ගොඩේ ජීවත් වීමට සිතේ චකිතයක් තිබෙන්නට නැත. ගම්මුන්ට පවා එහි අමුත්තක් නොතිබිනි. මෙවැනි අන්‍ය ජාතික ව්‍යාපාරිකයෝ හා වෘතිකයෝ අදටත් සිංහල ගැමියන් අතර සුහදව ජීවත්වෙති. එපමණක් නොවේ උතුරේ යුද ගිනි ඇවිලෙන සමයේ පවා එහි ගොස් දෙමළ ගම් වැසියන්ගේ උදව් සත්කාර ලබමින් එහි සේවය කල තරුණ සිංහල දොස්තර මහතුන්ද සිටියහ.  මේ කොතැනකවත් ජාතිවාදය දකින්නට නැත. ඇත්තේ අහිංසක මිනිස්කම පමණි. පොදුවේ සලකන විට අප රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ගැමියන් බහුතරයක් ජාතිවාදී නොවේ යැයි කීම අතිශෝක්තියක් නොවේ.


නමුත් අප අතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිවාදීහු සිටිති. මොවුන් පෙර කී ජාතිවාදී නොවන අයගෙන් වෙනස් වෙන්නේ කෙසේද? ජාතිවාදී බව ඇතැම් අයට සහජයෙන්ම එන ගතියක්ද? නැත්නම් එය යම් ජාතියක හෝ ආගමක ආවේනික ලක්‍ෂණයක්ද? පැහැදිළිවම මේ ප්‍රශ්ණවලට පිළිතුරු විය යුත්තේ නැත යන්නය. මිනිසුන්ගේ ජාතිවාදී බව මතු පිටින් ඇති ගති ලක්‍ෂණයකි. ඇතුලතින් මේ බොහෝ දෙනෙකු අතර දැකිය හැකි පොදු ගුණයක් ඇත. ඔවුන් බොහෝ දෙනෙකු තරඟකාරී ලෙස අනුන් පාගාගෙන ඊර්ෂ්‍යව පෙරදැරි කරගෙන තමන්ගේ ආත්මාභිවෘදිය උදෙසා කටයුතු කරන අයය. පොදුවේ මොවුන් ආත්මවාදීන් යැයි හැඳින්විය හැකිය. සිංහල, දෙමළ හා මුස්ලිම්වරුන් අතර ආත්මවාදීහු සිටිති. මොවුන් වැඩි දෙනෙකු සමාජයේ ඉහලට යාමට වලිකමින් තරඟකාරී දිවි පෙවෙතක් ගෙවති. මේ ආත්මවාදීන් අතරින් සමහරෙක් ජාතිවාදී වෙන්නේ ඒ තරඟයේම ප්‍රතිඵලයක් ලෙසිනි. මේ බොහෝ දෙනෙකු නගරබදව වාසය කරති. අනුන් පරයා සමාජයේ ඉහලට යාමට තැත් කරති. මෙරට අවස්ථා කිහිපයකම ජාතිවාදී ප්‍රචන්ඩකාරී ක්‍රියා ඇති වුනේ නගර ආශ්‍රිතව බව අමතක කල නොහැකිය. ඉන් බොහොමයක් තමන් උගතුන් යැයිද සිතති. කෙසේ නමුත් ජාතිවාදීබවට ඇතුලතින් තිබෙන්නේ ආත්මවාදයය. ආත්මවාදීන් සැම දෙනෙකුම ජාතිවාදීන් නොවේ. නමුත් ජාතිවාදීන් පොදුවේ ගත්විට ආත්මවාදීන් යැයි මම සිතමි. ආත්මවාදී බව අපට ලැබෙන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය හරහාය. බටහිර අධ්‍යාපනය එහි ප්‍රධානම ඒජන්තවරයාය.


පසුගිය දිනවල මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ එන්ඩීටී සිසුන් අතර ගැටුමට මූළික හේතුව මේ සිසුන් එකිනෙකා පරයා ඊරිසියා සහගතව සමාජයේ ඉහලට යාමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා නොවේද? වසරක් පාසා ඇතිවන මේ ගැටුම් වලින් එළිදැක්වෙන්නේ උගත්යැයි සලකන මේ සිසුන්ගේ ආත්මවාදී බව නොවේද? විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම කලා අංශයේ සිසුන් නිතර විද්‍යා අංශවල සිසුන් හා ගැටුම් ඇති කර ගන්නේ මේ හේතුව නිසා නොවේ යැයි කිව හැකිද? ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් එවැනි කණ්ඩායම් විශ්ව විද්‍යාල පද්ධතිය තුල දේශපාළන බලය අල්ලාගෙන සිටින්නේ සිසුන්ගේ ආත්මවාදී බව උලුප්පවමින් නොවේද? මෙසේ තරඟවදිනවුන් අතර යම් හෙයකින් හෝ එක ජාතියක් සුවිශේෂ තැනක් ගනු පෙනෙන්නට ලැබනොත් ආත්මවාදීන් ජාතිවාදීන් බවට පෙරලෙන්නේ නිරායාසයෙනි. උදාහරණයක් වශයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුවී ඇති අයථා කටයුතුවල නීති විරෝධීබව අභිබවා මුස්ලිම් විරෝධයක් මතුවී තිබෙන්නේ ඇතමුන්ගේ ආත්මවාදය ජාතිවාදය බවට පෙරලී ඇති නිසා නොවේද? අනුන්ට නොදී තමන්ම බුක්ති විඳීම ආත්මවාදීන්ගේ ලක්‍ෂණයකි. යමක් සියලු දෙනාටම බුක්ති විඳිය හැකි වන පරිදි ඒ සඳහා ඇති තරඟය සාධාරණය කිරීමට යෑමේදී ඊට විරුද්ධ වීමද ආත්මවාදීන්ගේ ගතියකි. උදාහරණයක් වශයෙන් වෛද්‍ය වරුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පොදුවේ කැමතිවී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට පමණක් එරෙහි වන්නේ ආත්මවාදීව තමන්ගේ වෘතීමය වරප්‍රසාද රැක ගැනීමට නොවේ යැයි කිව හැකිද? දිස්ත්‍රික් පදනම යටතේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ ක්‍රමයට දෙමළ ජාති වාදීන් විරුද්ධ වුනේ එමඟින් යාපනයේ සුපිරි පාසල් වලින් පැමිණෙන සිසුන්ට අයථා ලෙස ලබා ගෙන තිබූ වරප්‍රසාද අහිමි වන බැවින් නොවේද?


බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් මෙලෙස ආත්මවාදීන් වීම අරුමයක් නොවේ. අප රටේ බටහිර අධ්‍යාපනය සැකසී ඇත්තේම සමාජයේ ඉහලට යන තරඟය ජය ගැනීමටය. නමුත් උගතුන්ට සමාජයේ ඇති ගෞරවය නිසා ඔවුන්ගේ කෙනෙහිළි කම් පහත් ලෙස සැලකීමට අප සමාජය තවම සූදානම් නැත. නමුත් ඇතැම් උගතුන්ගේ ක්‍රියා කලාප, ඔවුන් විසින් අවඥාවෙන් සලකන ඊනියා වට්ටි අම්මාවරුන්ගේ ක්‍රියා කාලාප වලට වඩා ඉතා පහත් බව කිව යුතුය. මේ උගතුන් ප්‍රසිද්ධියේ තමන් ජාතිවාදී බව නොපෙන්වන්නටද වග බලා ගනිති. ඔවුන්ට බටහිර අධ්‍යාපනය හරහා ඒ සඳහා පුහුණුවක් ලබා දේ. කෙසේ නමුත් ආත්මවාදීන් වන්නේ බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් පමණක් නොවේ. බමුණු කුලයේ අයත් ඒ කුලයට පැන ගැනීමට යත්න දරන අයත් පොදුවේ ආත්මවාදීහු වෙති. යම් යම් කරුණු මත ඉන් සමහර දෙනෙක් ජාති වාදීන් බවට පත්වෙති.


නමුත් අප රටේ සාමාන්‍ය මිනිසුන් බහුතරයක් ආත්මවාදීහු නොවෙති. සිංහල, දෙමළ හා මුස්ලිම් වන ඒ බොහෝ දෙනා ගම් බදව වාසය කරති. සාපේක්‍ෂව ගත්විට ඔවුන්ගේ ජීවිත එතරම් තරඟකාරී නොවේ. ඔවුන්ට අනුන් පගාගෙන යන්නට ඇති ඉහල තැනක් නැත. ඒ නිසා ඔවුහු ස්වභාවයෙන්ම ජාතිවාදීන්ද නොවෙති. බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර සංස්කෘතියේ අභාෂය ලබමින් බටහිර ක්‍රමයේ රස්සා කරමින් ජීවත් වන මා වැනි අයට ආත්මවාදී නොවී සිටිය හැක්කේ බුද්ධියෙන් පමණි. ඒ හැරෙන්නට කල හැකි දෙයක් නැත. නමුත් මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් සහජීවනයක් ගොඩනඟා ගත හැක්කේ අප වැන්නවුන්ට නොව ඇඟෙන්ම ආත්මවාදී නොවන අයටය. අපි ඔවුන්ට සිත්සේ ජීවත්වන්නට ඉඩ දිය යුතුය.

4 comments:

  1. I like your excellent post. I used to call this Opportunism.
    You say it is ATHMAWADAYA. It may not be the same.
    But the idea is the same as we are not racists deep down in our hearts.

    Saman

    ReplyDelete
  2. ආත්මවාදය මුල්කොටගත් ආගමික සම්ප්‍රදායන් සංස්කෘතීන් වලින් ගැලවී සිටීමට නොහැකි වීම වර්තමානයේ ඇතැම් මුස්ලිම් ජන කණ්ඩායම් ජාතියෙන් වෙන්වීමට/ සිංහල විරෝධී වීමට හේතුවක් නොවේද?

    ReplyDelete
  3. ස්වභාවයෙන්ම ඔවුන් සිංහල විරෝධී නොවුනත් ඔවුන් සිංහලයන්ට විරුද්ධව මෙහෙයවීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් උත්සාහ කරනු ඇති. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඔවුන් ජාතියට බැඳ ගැනීමට කල හැකි බලපෑම ඊට වැඩි යැයි මම කල්පනා කරමි. බහුතරයක් මුස්ලිම් ජාතිකයින්ට බලපෑමක් කල හැක්කේ අරාබි රටවල ඇති සංස්කෘතියක් නොවේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ නිසා ආණ්ඩුව මුල් වී මේ වෙන්වී සිටින දෙමළ ජනයාත් මුස්ලිම් ජනයාත් ජාතියට එක් කර ගැනීම සඳහා මත වාදීවත්, නීතිමය වශයෙනුත්, ප්‍රතිපත්ථිමය වශයෙනුත් කටයුතු කල යුතුයි.

    ReplyDelete
  4. මේක මම දැකපු හොඳම ලිපියක්...
    මම මේ ලිපිය ෆේස් බුක් එකේ බෙදා ගන්නවා...

    ReplyDelete