Sunday, January 13, 2013

රෑ වැටුන වලේ දවලුත් වැටෙමුද?

By Janaka Wansapura

සිංහලයන් බොහෝ විට යම් යම් දේවල් තේරුම් ගන්නේ ඒ ඒ පවතින පසුබිමට අදාලව කරුනු කාරණා පමණක් විග්‍රහ කිරීමෙනි. එවිට ඔවුන්ට ලැබෙනුයේ ඒ අවස්ථාවට ගැලපෙන සංයුක්ත කථාවකි. මෙහි වරදක් නැත. නමුත් අපි විවිධ පසුබිම් යටතේ ඇතිවන වෙනස් සිද්ධීන් ගණනාවක් විග්‍රහ කරමින් ඒ සැමටම සාධාරණ යම් එක් කථාවක් ගොතාගන්නට ජාතියක් වශයෙන් එතරම් උවමනාවක් දක්වන්නේ නැත. ඒ නිසා සමහරවිට අපි රෑ වැටුන වලේ දවලුත් වැටෙන අවස්ථා ඇත.


සාධාරණීයකරණය (generalization) බටහිර විද්‍යාවේ දකින්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයකි. කෙටියෙන් සාධාරණීයකරණය යනු වෙනස් වූ විවිධ සිද්ධීන් අලළා යම් එක පොදු කථාවක් ගොඩනැඟීමය. මෙවැනි කතන්දර ප්‍රවාද (theories) නමින් හැඳින්වේ. උදාහරණයක් වශයෙන් වස්තු පොළවට වැටීම ගැන නිව්ටන් ගේ ප්‍රවාදය ගන්න. මේ ප්‍රවාදයෙන් දැක්වෙන්නේ පොළව ආසන්නයේ චලනය වන ඕනෑම වස්තුවකට, එනම් පොල් ගෙඩි මෙන්ම අහස් යාත්‍රා සම්බන්ධයෙනුත් හරි යන එක කථාවකි. ඒ කතන්දරය ගුරුත්වාකර්ශණය යන සංකල්පය යොදා ගෙන ගෙතෙයි. මේ එක කථාව විවිධ වස්තුවල චලනය සඳහා හරියටම හරි නොවේ. නමුත් ඒ කථාව ඔවුන්ට අවශ්‍යදේ කර ගැනීමට හැකි විශිෂ්ඨ කතාවකි. බටහිර විද්‍යාවට අවශ්‍ය එවැනි සාධාරණ කථා ගෙතීමය. බටහිරුන් ප්‍රවාද නිර්මාණය කිරීමට දක්‍ෂය. නමුත් අපිට එය එතරම් හුරු නැත. අපි පොල් ගෙඩි පොල් ගෙඩි ලෙසත් අහස් යාත්‍රා අහස් යාත්‍රා ලෙසත් දකිනු මිස ඒවා ඊනියා වස්තු ලෙස වියුක්තව (abstract) සලකන්නේ නැත. ඒ නිසා මේවාගේ චලිතයට යම් පොදු ගුණයක් තිබිය හැකැයි සිතීමට උනන්දුවක් දක්වන්නේ නැත. මේ නිසා බටහිර විද්‍යාවේ දකින්නට ලැබෙන ආකාරයේ ප්‍රවාද සිංහලුන් අතර එතරම් නැත. නමුත් අපි ඉඳ හිට හෝ යම් සාමාජීය හා දේශපාලණ සිද්ධීන් අරභයාවත් සාධාරණීයවූ කතා, එනම් ප්‍රවාද ගොතා ගන්නට උනන්දු වන්නේනම් නිතර නිතර එකම වලේ වැටීම වලකා ගන්නට හැකි වනු ඇත.


උදාහරණයක් වශයෙන් අපි හැමදාමත් පවතින ආණ්ඩු වල දුෂිත බවත් සදාචාරාත්මක නොවන බවත් දකින්නෙමු එසේ කරන්නේ ඒ ඒ අවස්ථාවල බලයේ සිටින ඒ ඒ පුද්ගලයින්ගේ ක්‍රියා කාරකම් විග්‍රහ කරමිනි. අප රටේ භීශණය හා දුෂණය රජ කරන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ, මැරයන් පාර්ලිමේන්තුවට ගියේ අද පමණක් නොවේ. තරුණයන් දහස් ගණන් ටයර් මත මිය ගියේ වැඩි ඈතකදී නොවේ. මේ කරුණු දැන දැනත් අපි විවිධ අවස්ථාවල පත්ව සිටි විවිධ ආණ්ඩු සලකා බලා ඒ හැමටම පොදුවූ යම් වියුක්ත ලක්‍ෂණ හඳුනාගන්නට උත්සාහ නොකරන්නෙමු. අද මැදි විය පසුකරමින් සිටින බොහෝ දෙනුකුට අඩුතරමින් පහුගිය අවුරුදු තිහ ඇතුලත පත්වූ ආණ්ඩු වල ක්‍රියා කාරකම් ගැන මේ අයුරින් විග්‍රහ කිරීමට හැකියාවක් තිබිය යුතුයි. එසේ නොකර පවතින තත්ව යටතේ, එදිනෙදා බලයේ සිටින පුද්ගලයින් ගේ ක්‍රියා කාරකම් දෙස බලා පවතින ආණ්ඩු විග්‍රහ කරන විට අපට ලැබෙන්නේ ඒ ඒ පවතින පසුබිමට අදාල සංයුක්ත පිළිතුරක් මිස රටේ සමස්ථ පාලණ තන්ත්‍රයටම අදාල සාධාරණ කථාවක් නොවේ. සාමාන්‍ය ජනයාට සාපේක්‍ෂව දේශපාකයින් දුෂිතයැයි අපට සිතෙන්නේ ඇයි?, දුෂිත නොවූ අය දේශපාලණයේ නියැලෙන්නේ ඇයි?, අපි දකින විදිහට ආණ්ඩුවල දූෂිතබව වැඩි වන්නේ ඇයි? යන ප්‍රශ්ණ වලට සංගතව පිළිතුරු නොදී නිකන්ම ලංකාවේ සියලු දේශපාලකයින් දූෂිතයැයි කීම එතරම් වැඩකට ඇති කථාවක් නොවේ. අපේ සියලු ආණ්ඩු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටනම් අපි දේශපාලනය පිළිබඳ අපේම වූ ප්‍රවාද තනාගත යුතුය. රටේ සමස්ථ දේශපාලණයම පිළිබඳ කථා ගොතන්නේ නැතිව පවතින ආණ්ඩු විග්‍රහ කිරීමට පමණක් සීමා වුනොත් අපට කල හැක්කේ පවතින ආණ්ඩු පෙරලා තවත් එවැනිම ආණ්ඩු පිහිටුවීම පමණි. නැත්නම් රෑ වැටුන වලේ දවලුත් වැටීමට පමණි.


මෙවැනි සාධාරණ කථා නැත්නම් ප්‍රවාද ගෙතීම සහ එහි මහඟු ඵල ප්‍රයෝජන පිළිබඳ යම් අත්දැකීමක් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්නට යෑමේදී අපට ලැබිනි. මෙරට ජාතික ව්‍යාපාරය මඟින් ගෙතූනු ප්‍රවාද වල පෙර කියූ සාධාරණීය ලක්‍ෂණ දකින්නට ඇත. ඊට හොඳම උදාහරණය එහි බටහිරුන් යැයි හැඳින්වෙන දෙයය. එහි බටහිරුන් යන්න වියුක්ත සංකල්පයකි. නිව්ටෝනීය භෞතික විද්‍යාවේ පොල් ගෙඩි සහ අහස් යාත්‍රා වෙනුවට වියුක්තවූ වස්තු හමුවෙනවා මෙන් මෙහිදී එන්ජීඕ, බටහිර තානාපතීන්, ඊනියා ජාත්‍යාන්තර සංවිධාන වෙනුවට ඇත්තේ බටහිරුන් යන සංකල්පයය. එය වියුක්ත සංකල්පයකි. බටහිරුන් යැයි අසන්නට දකින්නට හැකි එක් පිරිසක් නැත. නමුත් බටහිර බව එන්ජීඕ, බටහිර තානාපතීන් හා ඊනියා ජාත්‍යාන්තර සංවිධාන ආදී මෙකී නොකී ඒජන්තයන්ට පොදු ලක්‍ෂණයකි. ඒ බටහිර කමත් සිංහල බෞද්ධ කමත් අතර ඇති දාර්ශනික වෙනස් කම් ඇත. ඒ වෙනස් කම් උඩ පිහිටා බටහිරුන් දෙමළ ප්‍රශ්ණය සම්බන්ධයෙන් අතීතයේ ක්‍රියා කල ආකාරය ඓතිහාසික සාධක සමඟ සංගත වන ආකාරයට ප්‍රවාද ගොඩ නැඟිනි. (ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා  - නලින් ද සිල්වා). ඒ අනුව බටහිරුන් වර්තමානයේ ක්‍රියා කරන ආකාරයත් ඉදිරයේ ක්‍රියා කල හැකි ආකාරයත් ගැන යම් අවබෝධයක් ඇති කර ගැනීමට සිංහලුන්ට හැකි විය. මේ අවබෝධය නොතිබුනා නම් අපි බටහිරුන් එක් එක් අවස්ථාවලදී එල්ල කල බලපෑම් වලට ප්‍රතිචාර දක්වා සෑහීමකට පත්වී සිටිනවා මිස ඉදිරියේදී ඔවුන්ගෙන් එල්ලවිය හැකි බලපෑමක් වැලකීමට ක්‍රියාකාරී නොවනු ඇත. අදත් සිංහලුන් බටහිරුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ඒ අවබෝධය සහිතවය. ඒ අවබෝධය අපට ලැබෙන්නේ දෙමළ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ගොතන ලද ප්‍රවාද හරහාය.


අපි දේශපාළනය සම්බන්ධයෙන්ද විවිධ ප්‍රවාද ගොඩනඟාගත යුතුය. එසේ නොකර අපට දුෂිත යැයි කියන ආණ්ඩු පත්කර ගන්නා කාරියෙන් මිදිය නොහැකිය. බටහිරුන්ගේ ආණ්ඩු ක්‍රමය වන ප්‍රජාතන්ත්‍රවාදය බටහිරුන් වැඩවසම් යුගයෙන් මිදෙනවිට ඔවුන් විසින් නිර්මාණය කරගත් පාලණ ක්‍රමයකි. එය ඔවුන්ගේ ඉතිහාසයටත් සංස්කෘතියටත් ගැලපේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය පවා තේරුම් ගැනුනේ සැමදාමත් එක ලෙසම නොවේ. බටහිරුන් ඔවුන්ට අවශ්‍යය පරිදි අවශ්‍ය කාලයට ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් කර ගනිති. උදාහරණයක් වශයෙන් 1928 දී එංගලන්තය එතෙක් පිරිමින්ට පමණක් සතුව තිබි ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතිය ස්ත්‍රීන්ටද ලබාදුනි. ඊට ඉහතදී එය කිරීමට ඔවුනට අවශ්‍යතාවක් නොතිබිනි. ඇමරිකාවේ කළු ජාතිකයින්ට තම ඡන්දය පාවිච්චි කිරීමට තිබූ නීතිමය බාධක ඉවත් කෙරුනේ 1965 දීය එනම් ඉතා මෑතකදීය. අද බටහිර උගතුන් ප්‍රජාතන්ත්‍රවදය හා ඕනෑම රටක ස්වෛරීයභාවය පිළිබඳ කතා ගොතමින් සිටිති. මේ අයුරින් ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකවත් සයිද්ධාන්තිකවත් කලින් කලට වෙනස් කර ගනිති. බටහිර රටවල ආර්ථිකය කඩා වැටීම හා එරට සුද්දන්ගේ ජන අනුපාතය පහත වැටීම සමඟ ප්‍රජාතන්ත්‍රවාදය යැයි හඳුන්වන සංකල්පය ඉදිරියේදීත් ඔවුන්ගේ පැවැත්ම අරභයා ඔවුන් විසින් වෙනස් කරගනු ඇත. ඒ සඳහා එරට බුද්ධිමත්තු දායක වෙති. අපි කළ යුත්තේ ඔවුන් ගසන ගසන පදයට නැටීමද?


නියෝජිතයින් හරහා ක්‍රියාත්මක වන මේ බටහිර ආණ්ඩුක්‍රමය තුල පොදුවේ ගත් විට අපේ සංස්කෘතික නායකයින්ට තැනක් නැත. ආණ්ඩු දූෂිත වීමට එක හේතුවක් එයය. අපට කල හැක්කේ මේ පවතින ක්‍රමය අපට සුදුසු ක්‍රමයක් දක්වා ක්‍රමයෙන් වෙනස් කිරීමය. එසේ නොකර නිතර නිතර එකම වලේ වැටීම වලකා ගත නොහැකිය. අද දෝශාභියෝගය හරහා සාමාන්‍ය ජනතාව අධිකරණයට කරන බලපෑම ඒ වෙනස් කිරීමේ එක් පියවරක් විය හැකිය.

5 comments:

  1. aththatama me andukramaya thula, oba kiyana sanskruthika naayakayinta thenak neththema ne. E wenuwen thamai jaathika leyisthu kramayata mantri warun path kirime kramayak pawathinne. Namuth ape abagyata dan dhesshapalana paksha karanne ugath,buddimath, aya wenuwata jaathika leyisthuwen path nokara chanda labagatha noheki pakshayata kade yana merawarain pirisak path kirima.

    ReplyDelete
  2. ඒක එහෙම වෙන්න පුලුවන්. නමුත් පොදුවේ සලකන විට මේ ක්‍රමය තුල සාමාන්‍ය ජනයාට රාජ්‍ය පාලනය සමඟ සම්බන්ධ විය හැක්කේ නියෝජිතයන් (මන්ත්‍රීවරු, නීතිඥවරු) මාර්ගයෙන් පමණයි. එය මේ ක්‍රමයේ ඇති අසමත් බවක්. සාමාන්‍ය ජනයාට රාජ්‍ය පාලනයට සෘජුව සම්බන්ධ විය හැකි නම් ඔවුන් තමන් සදාචාරාත්මක යැයි සිතන සැබෑ නායකයින් පත් කර ගන්නට බොහෝවිට ඉඩ තිබේ. අනිත් අතට එවැනි නායකයින් හරහා ඔවුන් රාජ්‍ය පාලනයට සෘජුවම සම්බන්ධ වීමටද ඉඩ ඇත. නියෝජිතයින්ගේ අවශ්‍යතාව මතුවුනේ එංගලන්තයේ වැසියන්ට වැඩවසම් යුගයෙන් එලියට පැමිණෙන විටය.අද අපි භාවිතා කරන ආණ්ඩු ක්‍රමය යල් පැන ගිය ක්‍රමයකි.

    ReplyDelete
  3. අමතර කරුණක් ලෙස දේශපාලන ආර්ථික අංශවල දැනුම ගොඩනැගීම භෞතික විද්‍යාතරමට වියුක්ත නොවීම නිසා ඊට සාමාන්‍ය ජනතාවට වුවත් සහභාගි වීමේ අවස්ථාව වැඩියි. මේ අනුව වර්තමානයේ අති ප්‍රශ්නවලට කළයුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ජනතාව අතරට යාහැකි මතවාදයන් නිර්මාණය කිරීම ජාතිකත්වය අගයන බුද්ධිමතුන්ගේ වගකීම වේ.

    දෙමළ ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් වුණා මෙන්ම අනාගතයේදී ඉන් වැඩක් වනු ඇත.

    ReplyDelete
  4. මේ කරමින් තිබෙන්නේ එය නොවේද....?

    ReplyDelete
  5. ඒ සඳහා දායකත්වය මදි බව පෙනේ. ඒ නිසා නැවත අවධාරණය කළෙමි.

    ReplyDelete