Tuesday, January 1, 2013

අළුතක් නැති අළුත් අවුරුද්ද

By Janaka Wansapura

දැන් දැන් සමහර බෞද්ධයෝද නත්තල සමරති. නත්තල් ගස් සැරසීම තෑගි දීම වැනි නත්තලට අදාල සංකේතාත්මක පිළිවෙත් විශේෂයෙන් කුඩා දරුවන් සිටින නාගරික බෞද්ධ දෙමව්පියන් විසින් පිළිපදිනු දකින්නට ලැබේ. මේ පැවතුම් විදේශගතව සිටින සිංහල බෞද්ධයන් මෙන්ම හින්දුවරුන් අතර ඊටත් වඩා සුලබය. මින් කියැවෙන්නේ ඔවුන් ක්‍රිස්තියානි ආගමට තල්ලුවී ඇති බව නොවේ. ඉන් ඊනියා බෞද්ධ-අබෞද්ධ සහජීවනයක් පිලිබිඹු වන්නේද නැත. ඉන් පිලිබිඹු වන්නේ අප සමාජයක් වශයෙන් බටහිර නූතනත්වයට ගොදුරුවී ඇති බව පමණි. බටහිරුන්ද නත්තලට එතරම් ආගමික වැදගත් කමක් දෙන බවක් නොපෙනේ. කලකට ඉහතදී ශ්‍රී ලාංකික කිතුණුවෝ අද සිටින බටහිරුන්ට වඩා ආගමික භක්තියකින් යුතුව නත්තල සැමරුවා යැයි මට සිතේ. අද වනවිට බටහිර සංස්කෘතික නත්තල විසින් කිතුනු ආගමික නත්තල ගිල ගෙන ඇත. නත්තල සහ ඒ සමඟ එලඹෙන අළුත් අවුරුදු උත්සවයේ වැදගත් තැනක් ලැබී ඇත්තේ හුදු පරිභෝජනයට මිස ආගමික වතාවත් වලට නොවේ. ඒ නිසා එය බටහිර සංස්කෘතිය අනුකරණය කරන විවිධ ආගම් අදහන්නන්ට පිළිගන්නට අපහසුවක් නොවේ. බටහිරුන් විසින් හඳුන්වාදෙන ලද වසර අවසානයේ පවත්වන මේ අළුත් අවුරුදු උත්සවය මුලු ලොවෙහිම පිළිගැනීමට ලක්වී තිබෙන්නේ එහි මතු පිටින් ඇති අනාගමික ලක්‍ෂණය නිසා විය හැකිය. නමුත් ඒ ඒ රටවල ඔවුන්නොවුන්ගේ සංස්කෘති වලට අනුකූල වාර්ශික උත්සව නැතුවා නොවේ. එසේ තිබුනද වසර අවසානයේ පැවැත්වෙන මේ උත්සවය ඒ සියල්ල අභිබවා යයි. එසේ වී ඇත්තේ බටහිර නූතනත්වය විසින් සෙසු සියලු සංස්කෘතීන් යටපත් කෙරී ඇති බැවිනි. 


නමුත් දෙසැම්බර තිස් එක් වෙනිදා රාත්‍රියේ එක අවුරුද්දක සිට අනිත් අවුරුද්දට මාරුවීමේදී සමාජයික වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ මිනිස් ජීවිතවල අළුත්වීමක් සිදුවන්නේ නැත. දෙසැම්බර අවසානය රැකියා කරන බොහෝ දෙනෙකු නිවාඩු සුව විඳින බව ඇත්ත. නමුත් එය බසයක දිගු ගමනක යන අතරේ හමුවන එක් නැවතුම් පලක් වැනිය. ඒ අනුව නැවතුම් පලට පෙරත් පසුවත් ගමන් කරන්නේ එකම බසයේය. බසයත් යන ගමනත් අළුත් වී නැත. දෙසැම්බර මාසයේ යම් දිනකුත් ජනවාරි මාසයේ දිනකත් අතර අපේ ජීවන රටාවේ වෙනසක් දැකිය හැකිද? බටහිර ජිවන රටාවට අනුව ජීවත්වන අප ගෙවන්නේ ඒකාකාරී ජීවිත මිස කලින් කලට වෙනස් වන එසේත් නැත්නම් අළුත් වන ජීවිත නොවේ. බටහිර නූතනත්වය තුල කලින් කලට දේශගුණය වෙනස් වන යුරෝපයේ හා ඇමරිකාවේ සිටින වැසියන්ගේ ජීවිත පවා වසර පුරා එතරම් දුරට වෙනස් වන්නේ නැත. ඒ ඔවුන් ගෙන් අති විශාල බහුතරයක් ගොවියන් නොවන නිසා විය හැකිය. නමුත් සමස්ථයක් ලෙස ඔවුන්ගේ රැකියාවනුත් කන බොනදෑත් සිත සමය හෝ ග්‍රීෂ්ම සමය කියා වෙනස් වන්නේ නම් ඒ ඉතා නොගිනිය හැකි අයුරිනි. බටහිර නූතනත්වයට ඇත්තේ කෙලවරක් නැති රේඛීය ගමනකි. අවුරුද්ද වෙනස් වීමවත් දේශගුණය වෙනස් වීමවත් ඒ ගමනට බලපෑමක් නොකරයි.


නමුත් සතා සිවුපාවුන්ට මෙන්ම ගහ කොලටත් සිය පැවැත්ම උදෙසා කලින් කලට තම ජීවන රටාවේ අළුත් වීමක් අත්‍යාවශ්‍යවේ යැයි මම සිතමි. ඒ වෙනස් කම් බොහෝ දුරට පරිසරයේ වෙනස්වීම් වලට සමගාමීය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වන සතුන්ගේ ජීවන රටා මෙයට එක නිදසුනකි. ඒ වෙනස්වීම චක්‍රීයය. එක චක්‍රයක් ගෙවී නව චක්‍රයක් ඇරඹීමේදී යම් අළුත්වීමක් සිදුවේ. ජීව විද්‍යාඥයින්ට මේ ගැන හොඳ දැනුමක් ඇතැයි මම සිතමි. මම මේ අළුත් වීම දකින්නේ අර සමහර විද්‍යුත් උපකරණවල හෝ පරිගණක මෘදුකාංග වල ඇති රීසෙට් (RESET) බොත්තම එබූ විට එම උපකරණයට සිදුවන දෙයට හා සමගාමී දෙයක් 
ලෙසය. මිනිස් වරගයාටත් කලින් කලට සිය පැවැත්ම උදෙසා සාමාජයිකව ආර්ථිකව හා දේශපාළනිකව එවැනි රීසෙට් වීමක් අවශ්‍යයැයි මට සිතේ. අතීතයේ විවිධ සංස්කෘතිවල මෙවැනි චක්‍රීය වූ අළුත්වීම් තිබෙන්නට ඇත. පැරණි සිංහලයන්ට සිංහල අවුරුද්ද එවැනි එක් අවස්ථාවක් වෙන්නට ඇතැයි සිතිය හැක. ඔවුහු ගොවිතැනින් ජීවත්වූහ. පරිසරයේ වෙනස් වීම් මෙන්ම ඉර හඳ තාරකා වල ගමන්ද ඔවුන්ගේ ජීවිත වලට බලපෑමක් ඇති කෙරිනි. ඒ නිසා සිංහල අවුරුද්ද ඔවුන් හා පරිසරය අතර තිබූ බැඳීමත් ඔවුනොවුන් අතර තිබි බැඳීමත් ඔවුන්ගේ ජීවන ක්‍රියාත් රීසෙට්-කරණයට ලක් කරන්නට ඇතැයි සිතිය හැක. ලිප ගිනි මෙළවීම, ගනු දෙනු ඇල්ලීම, නෑදෑ ගමන් යාම වැනි ක්‍රියා වලින් සංකේතවත් වන්නේ මෙවැනි අළුත් වීමක් නොවේද?

නමුත් අද සිංහල අවුරුද්ද සිංහලයන්ගේ ජීවිතවල මෙවැනි අළුත් කිරීමක් එසේත් නැත්නම් රීසෙට් කිරීමක් කිරීමට සමත් නොවේ. ඒ අපි බටහිර ජීවන ක්‍රමයට අනුගත වී සිටින නිසාය. පසුගිය 31 වෙනිදා සැමරූ බටහිර නූතනත්වයේ අවුරුද්දත් එවැනි අළුත් කිරීමක් නොකරයි. ඒ බටහිර සංස්කෘතියේ ඇති රේඛීය බවේ හැටිය. ඊට අනුව අපි කෙළවරක් නැති ගමනක් යමින් සිටින්නෙමු. 


ලැබූ වසර ඔබට සුභ වසරක්ම වේවා!

5 comments:

  1. බටහිර නැති බටහිර උන්ට අයිති හුගාක් දේවල් කලානුරුපිව වෙනස් නොවී අප රටේ තිබේ. ඒවා තමන්ගේ පරිභෝජන වාසි උදෙසා සිදුවූ ආගමික බැදීම් වලට වඩා බටහිර සංස්කෘතිය ආවඩන්නන්ගේ සංකේත බවට පත්වී ඇත. හුදු ස්විකිය ඒකාකාරී පොදු සංස්කෘතිය තුල වෙනස් බව ඉල්ලිපිමට දරන හීන මාන ලක්ෂණ යක් දැයි සැකයක් ඇති වේ.

    ReplyDelete
  2. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  3. කසුන් කපුවත්තDecember 31, 2013 at 11:21 AM

    මගෙ අවුරුද්ද කොවුලන් හඬදෙන දාය
    මගෙ අවුරුද්ද පුහුලන් බරවෙන දාය
    මගෙ අවුරුද්ද අටුකොටු පිරෙනා දාය
    මගෙ අවුරුද්ද සිංහල අවුරුදු දාය
    __රවී__
    ( උපුටා ගැනීම රවී ගුණවර්ධන සොයුරාගෙන් )

    ReplyDelete
  4. සතිය යන සන්කල්පය බටහිරයන් විසින් ජොතිශයට එකතු කරන ලද්දක්ද ...? https://­ m.facebook.com/groups/140663976075969? view=permalink&id=3277036­ 34038668&p=0&refid=18

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete