Sunday, January 27, 2013

ජාතිවාදයද? ආත්මවාදයද?

By Janaka Wansapura

කලකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි එක්තරා ගමක කමිස කඩේ නමින් හැඳින්වුනු කඩයක් තිබිනි. නමුත් එහි රෙදිපිළි විකිණීමට තිබුනේ නැත. තිබුනේ සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන සිල්ලර බඩු පමණි. ඒ කඩේ මුදලාලි සිංහල නොවන බව නම් කථාවෙන් හඳුනාගන්නට අපහසු වුනේ නැත. මා දැන් හිතන පරිදි ඔහු මුස්ලිම් ජාතිකයකු විය යුතුය. කඩයට ඒ නම ලැබෙන්නට ඇත්තේ ඔහුගේ මුස්ලිම් නම සිංහලට හුරු කෙරවීමෙන් පසුව විය හැකිය. ඒ කඩය අහල පහල වෙන කඩ නොතිබිනි. එවකට ඒ ගමේ සිංහල බෞද්ධ නොවන පවුලක් සිටියා නම් ඒ මුදලාලිගේ පවුල පමණක් විය යුතු යැයි මම සිතමි. නමුත් ඔහුට එදා ඒ මිනිසුන් ගොඩේ ජීවත් වීමට සිතේ චකිතයක් තිබෙන්නට නැත. ගම්මුන්ට පවා එහි අමුත්තක් නොතිබිනි. මෙවැනි අන්‍ය ජාතික ව්‍යාපාරිකයෝ හා වෘතිකයෝ අදටත් සිංහල ගැමියන් අතර සුහදව ජීවත්වෙති. එපමණක් නොවේ උතුරේ යුද ගිනි ඇවිලෙන සමයේ පවා එහි ගොස් දෙමළ ගම් වැසියන්ගේ උදව් සත්කාර ලබමින් එහි සේවය කල තරුණ සිංහල දොස්තර මහතුන්ද සිටියහ.  මේ කොතැනකවත් ජාතිවාදය දකින්නට නැත. ඇත්තේ අහිංසක මිනිස්කම පමණි. පොදුවේ සලකන විට අප රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ගැමියන් බහුතරයක් ජාතිවාදී නොවේ යැයි කීම අතිශෝක්තියක් නොවේ.


නමුත් අප අතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිවාදීහු සිටිති. මොවුන් පෙර කී ජාතිවාදී නොවන අයගෙන් වෙනස් වෙන්නේ කෙසේද? ජාතිවාදී බව ඇතැම් අයට සහජයෙන්ම එන ගතියක්ද? නැත්නම් එය යම් ජාතියක හෝ ආගමක ආවේනික ලක්‍ෂණයක්ද? පැහැදිළිවම මේ ප්‍රශ්ණවලට පිළිතුරු විය යුත්තේ නැත යන්නය. මිනිසුන්ගේ ජාතිවාදී බව මතු පිටින් ඇති ගති ලක්‍ෂණයකි. ඇතුලතින් මේ බොහෝ දෙනෙකු අතර දැකිය හැකි පොදු ගුණයක් ඇත. ඔවුන් බොහෝ දෙනෙකු තරඟකාරී ලෙස අනුන් පාගාගෙන ඊර්ෂ්‍යව පෙරදැරි කරගෙන තමන්ගේ ආත්මාභිවෘදිය උදෙසා කටයුතු කරන අයය. පොදුවේ මොවුන් ආත්මවාදීන් යැයි හැඳින්විය හැකිය. සිංහල, දෙමළ හා මුස්ලිම්වරුන් අතර ආත්මවාදීහු සිටිති. මොවුන් වැඩි දෙනෙකු සමාජයේ ඉහලට යාමට වලිකමින් තරඟකාරී දිවි පෙවෙතක් ගෙවති. මේ ආත්මවාදීන් අතරින් සමහරෙක් ජාතිවාදී වෙන්නේ ඒ තරඟයේම ප්‍රතිඵලයක් ලෙසිනි. මේ බොහෝ දෙනෙකු නගරබදව වාසය කරති. අනුන් පරයා සමාජයේ ඉහලට යාමට තැත් කරති. මෙරට අවස්ථා කිහිපයකම ජාතිවාදී ප්‍රචන්ඩකාරී ක්‍රියා ඇති වුනේ නගර ආශ්‍රිතව බව අමතක කල නොහැකිය. ඉන් බොහොමයක් තමන් උගතුන් යැයිද සිතති. කෙසේ නමුත් ජාතිවාදීබවට ඇතුලතින් තිබෙන්නේ ආත්මවාදයය. ආත්මවාදීන් සැම දෙනෙකුම ජාතිවාදීන් නොවේ. නමුත් ජාතිවාදීන් පොදුවේ ගත්විට ආත්මවාදීන් යැයි මම සිතමි. ආත්මවාදී බව අපට ලැබෙන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය හරහාය. බටහිර අධ්‍යාපනය එහි ප්‍රධානම ඒජන්තවරයාය.


පසුගිය දිනවල මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ එන්ඩීටී සිසුන් අතර ගැටුමට මූළික හේතුව මේ සිසුන් එකිනෙකා පරයා ඊරිසියා සහගතව සමාජයේ ඉහලට යාමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා නොවේද? වසරක් පාසා ඇතිවන මේ ගැටුම් වලින් එළිදැක්වෙන්නේ උගත්යැයි සලකන මේ සිසුන්ගේ ආත්මවාදී බව නොවේද? විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම කලා අංශයේ සිසුන් නිතර විද්‍යා අංශවල සිසුන් හා ගැටුම් ඇති කර ගන්නේ මේ හේතුව නිසා නොවේ යැයි කිව හැකිද? ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් එවැනි කණ්ඩායම් විශ්ව විද්‍යාල පද්ධතිය තුල දේශපාළන බලය අල්ලාගෙන සිටින්නේ සිසුන්ගේ ආත්මවාදී බව උලුප්පවමින් නොවේද? මෙසේ තරඟවදිනවුන් අතර යම් හෙයකින් හෝ එක ජාතියක් සුවිශේෂ තැනක් ගනු පෙනෙන්නට ලැබනොත් ආත්මවාදීන් ජාතිවාදීන් බවට පෙරලෙන්නේ නිරායාසයෙනි. උදාහරණයක් වශයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුවී ඇති අයථා කටයුතුවල නීති විරෝධීබව අභිබවා මුස්ලිම් විරෝධයක් මතුවී තිබෙන්නේ ඇතමුන්ගේ ආත්මවාදය ජාතිවාදය බවට පෙරලී ඇති නිසා නොවේද? අනුන්ට නොදී තමන්ම බුක්ති විඳීම ආත්මවාදීන්ගේ ලක්‍ෂණයකි. යමක් සියලු දෙනාටම බුක්ති විඳිය හැකි වන පරිදි ඒ සඳහා ඇති තරඟය සාධාරණය කිරීමට යෑමේදී ඊට විරුද්ධ වීමද ආත්මවාදීන්ගේ ගතියකි. උදාහරණයක් වශයෙන් වෛද්‍ය වරුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පොදුවේ කැමතිවී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට පමණක් එරෙහි වන්නේ ආත්මවාදීව තමන්ගේ වෘතීමය වරප්‍රසාද රැක ගැනීමට නොවේ යැයි කිව හැකිද? දිස්ත්‍රික් පදනම යටතේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ ක්‍රමයට දෙමළ ජාති වාදීන් විරුද්ධ වුනේ එමඟින් යාපනයේ සුපිරි පාසල් වලින් පැමිණෙන සිසුන්ට අයථා ලෙස ලබා ගෙන තිබූ වරප්‍රසාද අහිමි වන බැවින් නොවේද?


බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් මෙලෙස ආත්මවාදීන් වීම අරුමයක් නොවේ. අප රටේ බටහිර අධ්‍යාපනය සැකසී ඇත්තේම සමාජයේ ඉහලට යන තරඟය ජය ගැනීමටය. නමුත් උගතුන්ට සමාජයේ ඇති ගෞරවය නිසා ඔවුන්ගේ කෙනෙහිළි කම් පහත් ලෙස සැලකීමට අප සමාජය තවම සූදානම් නැත. නමුත් ඇතැම් උගතුන්ගේ ක්‍රියා කලාප, ඔවුන් විසින් අවඥාවෙන් සලකන ඊනියා වට්ටි අම්මාවරුන්ගේ ක්‍රියා කාලාප වලට වඩා ඉතා පහත් බව කිව යුතුය. මේ උගතුන් ප්‍රසිද්ධියේ තමන් ජාතිවාදී බව නොපෙන්වන්නටද වග බලා ගනිති. ඔවුන්ට බටහිර අධ්‍යාපනය හරහා ඒ සඳහා පුහුණුවක් ලබා දේ. කෙසේ නමුත් ආත්මවාදීන් වන්නේ බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් පමණක් නොවේ. බමුණු කුලයේ අයත් ඒ කුලයට පැන ගැනීමට යත්න දරන අයත් පොදුවේ ආත්මවාදීහු වෙති. යම් යම් කරුණු මත ඉන් සමහර දෙනෙක් ජාති වාදීන් බවට පත්වෙති.


නමුත් අප රටේ සාමාන්‍ය මිනිසුන් බහුතරයක් ආත්මවාදීහු නොවෙති. සිංහල, දෙමළ හා මුස්ලිම් වන ඒ බොහෝ දෙනා ගම් බදව වාසය කරති. සාපේක්‍ෂව ගත්විට ඔවුන්ගේ ජීවිත එතරම් තරඟකාරී නොවේ. ඔවුන්ට අනුන් පගාගෙන යන්නට ඇති ඉහල තැනක් නැත. ඒ නිසා ඔවුහු ස්වභාවයෙන්ම ජාතිවාදීන්ද නොවෙති. බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර සංස්කෘතියේ අභාෂය ලබමින් බටහිර ක්‍රමයේ රස්සා කරමින් ජීවත් වන මා වැනි අයට ආත්මවාදී නොවී සිටිය හැක්කේ බුද්ධියෙන් පමණි. ඒ හැරෙන්නට කල හැකි දෙයක් නැත. නමුත් මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් සහජීවනයක් ගොඩනඟා ගත හැක්කේ අප වැන්නවුන්ට නොව ඇඟෙන්ම ආත්මවාදී නොවන අයටය. අපි ඔවුන්ට සිත්සේ ජීවත්වන්නට ඉඩ දිය යුතුය.

Monday, January 21, 2013

Culture Wars



By Janaka Wansapura

Unlike in the past, today, Sinhalas are not shy to talk about their history, identity and political aspirations. Young and old Sinahala Buddhists are drawn to practices of Buddhism in large numbers. Some even envision a pure Buddhist state; whatever that may mean. Looking at the world at large, the same pattern can be seen everywhere. Muslims around the world are overtly engaged in promoting their culture. Even in Sri Lanka it is quite apparent in the way the Muslims are conducting their affairs compared to how they did so just a couple of decades ago. Caucasians in Europe, US and Australia are reacting to the ever growing culturally non-western populations in their countries by converging into their own Christian cultures. At times these reactions have been violent. But overall I think this is a worldwide phenomenon of ethnic polarization rather than acts of racism although it could lead to that.

In principle, cultural diversity is a good thing. I don’t think we all need to belong to one such “world culture” in order to live in harmony. This is a myth that is being propagated by the western modernity. To me, as a Buddhist, ethnic tolerance is not to say that we all belong to the same group, nor it is to say that you can be different as long as it does not affect me. Ethnic tolerance is to accept that others are different and trying to endure it even when it adversely affects you. So I do not see people pledging allegiance to their ethnicities and religions as a bad thing. But at an extreme, ethnic polarization can strain the integrity of a nation and we need to make sure it does not happen in Sri Lanka. 

When two cultures are in social, economic or political contact, an ethnic polarization force can be both felt and exerted by each culture in a mutually dependent manner. The cold war between Islamic and Judeo-Christian cultures can be viewed as a result of a mutually dependent ethnic polarization force. When one culture “feels” the force from the other it converges into a narrow ethnic identity. Consequently it “exerts” a force on the opposite culture, which causes that culture to converge into a narrow ethnic identity and exert a force back on the first one. This goes on cyclically until the two cultures are polarized. In this sense each culture can be considered to be feeling both superior and inferior at the same time with respect to the opposite culture.  

Historically, the prominent culture in Sri Lanka has been Sinhala Buddhist. The strongest polarization force it experiences is from the Judeo-Christian culture. This is probably because the core values of Sinhala Buddhist culture, such as the idea of anathma are directly in opposition to the values of the Judeo-Christian culture. Although Sinhala Buddhists have been culturally oppressed from the colonial times, what irked us in recent times was the liberalization of the economy and the west’s support to the separatist war. But it wasn’t until the nineties that Sinhalas realized that it was taking a toll on their way of life and began damage controlling.  Predictably, rallied by national leaders, Sinhala’s reaction was to converge on to their cultural identity. In this respect, the role of Kadirgamar in the nationalist movement is interesting since he was not a Sinhala Buddhist. Some pundits opined that it was the fact that Mr. Kardirgamar did not have any regard to his ethnic and religious identity that made it easier for Sinhalas to embrace him. According to these pundits he represented a new Sri Lankan identity in a secular Sri Lanka. They were obviously wrong in their assessment. Sinhalas considered Mr. Kadirgamar a hero because he stood against the west when it came to fighting the LTTE. Whether he was a Tamil or a Sinhala was irrelevant. In the end, though it was the LTTE who lost the battle, in the minds of Sinhalas their win was also against the west. Sinhala’s much criticized yearlong victory celebrations that followed signified as much. It certainly was not a case of rubbing salt on the wounds of Tamils; as it was never an ethnic war against the Tamils as far as Sinhalas were concerned. Most pundits either miss this point about Sinhala psyche or dishonestly misinterpret it.   

Although we have experienced some upward movement with the defeat of  terrorism, Sinhalas are yet to gain cultural prominence in Sri Lanka. Yes it is true that we are the majority and as such have the political power at the center. But for Sinhalas nationhood is as important as the statehood. Culturally we have been defeated by the western culture since the colonial times. For generations we have been told; and we believed; that we were not good enough. Our folklore is abundant with stories that speak degradingly about Sinhalas. These are often enjoyed by the so called educated Sinhalas and by their elitist cousins from other ethnic minorities as well as social climbers who want to distance themselves from the ordinary folks. These stories must have been invented by our colonial oppressors and their servants at one time though they have become folklore and with these stories Sinhala Buddhists have come to accept defeat over the years.  It is not surprising then that in the late seventies we were not even taught our history at school. Imagine that we let this subject to be removed from the national curriculum without even an iota of opposition at a time when a so called nationalist government was in power. No country would have allowed such a thing; not least one that has a two thousand year old story to tell. Fortunately things are slightly different now although it is an on going struggle to the top for the ordinary Sinhalas in general and particularly the Sinhala Buddhists. The struggle is both an internal as well as an external one. But what is important to realize is that this struggle is not against the ethnic and religious minorities in Sri Lanka, a point often missed in heated discussions on this topic. 

However as ordinary Sinhala Buddhists struggle against the western modernity it exerts a polarizing force on the other ethno-religious groups particularly on the Tamils and the Muslims in Sri Lanka. The ethnic polarization can heighten as minorities react to this force by converging to their own identities in a cyclic manner. While this is a natural phenomenon that should achieve a balance, it could be manipulated by interested parties who want to create a rift between Sinhalas and the minorities thereby paving the way to an instable state. Communal leaders should be mindful of this while the government should ensure that the interests of the Sinhala Buddhists are served legislatively in such matters as unethical conversions and unlawful construction of religious buildings and so on so that no communal group can take over the proceedings. Although lately lot of media attention has been given to various Buddhist groups led by activist monks it is unlikely that they have the support of the majority of Sinhala Buddhists. Traditionally Sinhala Buddhists have not wholeheartedly supported communally based parties. It is in the interest of the country that they remain so.

Sunday, January 13, 2013

රෑ වැටුන වලේ දවලුත් වැටෙමුද?

By Janaka Wansapura

සිංහලයන් බොහෝ විට යම් යම් දේවල් තේරුම් ගන්නේ ඒ ඒ පවතින පසුබිමට අදාලව කරුනු කාරණා පමණක් විග්‍රහ කිරීමෙනි. එවිට ඔවුන්ට ලැබෙනුයේ ඒ අවස්ථාවට ගැලපෙන සංයුක්ත කථාවකි. මෙහි වරදක් නැත. නමුත් අපි විවිධ පසුබිම් යටතේ ඇතිවන වෙනස් සිද්ධීන් ගණනාවක් විග්‍රහ කරමින් ඒ සැමටම සාධාරණ යම් එක් කථාවක් ගොතාගන්නට ජාතියක් වශයෙන් එතරම් උවමනාවක් දක්වන්නේ නැත. ඒ නිසා සමහරවිට අපි රෑ වැටුන වලේ දවලුත් වැටෙන අවස්ථා ඇත.


සාධාරණීයකරණය (generalization) බටහිර විද්‍යාවේ දකින්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයකි. කෙටියෙන් සාධාරණීයකරණය යනු වෙනස් වූ විවිධ සිද්ධීන් අලළා යම් එක පොදු කථාවක් ගොඩනැඟීමය. මෙවැනි කතන්දර ප්‍රවාද (theories) නමින් හැඳින්වේ. උදාහරණයක් වශයෙන් වස්තු පොළවට වැටීම ගැන නිව්ටන් ගේ ප්‍රවාදය ගන්න. මේ ප්‍රවාදයෙන් දැක්වෙන්නේ පොළව ආසන්නයේ චලනය වන ඕනෑම වස්තුවකට, එනම් පොල් ගෙඩි මෙන්ම අහස් යාත්‍රා සම්බන්ධයෙනුත් හරි යන එක කථාවකි. ඒ කතන්දරය ගුරුත්වාකර්ශණය යන සංකල්පය යොදා ගෙන ගෙතෙයි. මේ එක කථාව විවිධ වස්තුවල චලනය සඳහා හරියටම හරි නොවේ. නමුත් ඒ කථාව ඔවුන්ට අවශ්‍යදේ කර ගැනීමට හැකි විශිෂ්ඨ කතාවකි. බටහිර විද්‍යාවට අවශ්‍ය එවැනි සාධාරණ කථා ගෙතීමය. බටහිරුන් ප්‍රවාද නිර්මාණය කිරීමට දක්‍ෂය. නමුත් අපිට එය එතරම් හුරු නැත. අපි පොල් ගෙඩි පොල් ගෙඩි ලෙසත් අහස් යාත්‍රා අහස් යාත්‍රා ලෙසත් දකිනු මිස ඒවා ඊනියා වස්තු ලෙස වියුක්තව (abstract) සලකන්නේ නැත. ඒ නිසා මේවාගේ චලිතයට යම් පොදු ගුණයක් තිබිය හැකැයි සිතීමට උනන්දුවක් දක්වන්නේ නැත. මේ නිසා බටහිර විද්‍යාවේ දකින්නට ලැබෙන ආකාරයේ ප්‍රවාද සිංහලුන් අතර එතරම් නැත. නමුත් අපි ඉඳ හිට හෝ යම් සාමාජීය හා දේශපාලණ සිද්ධීන් අරභයාවත් සාධාරණීයවූ කතා, එනම් ප්‍රවාද ගොතා ගන්නට උනන්දු වන්නේනම් නිතර නිතර එකම වලේ වැටීම වලකා ගන්නට හැකි වනු ඇත.


උදාහරණයක් වශයෙන් අපි හැමදාමත් පවතින ආණ්ඩු වල දුෂිත බවත් සදාචාරාත්මක නොවන බවත් දකින්නෙමු එසේ කරන්නේ ඒ ඒ අවස්ථාවල බලයේ සිටින ඒ ඒ පුද්ගලයින්ගේ ක්‍රියා කාරකම් විග්‍රහ කරමිනි. අප රටේ භීශණය හා දුෂණය රජ කරන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ, මැරයන් පාර්ලිමේන්තුවට ගියේ අද පමණක් නොවේ. තරුණයන් දහස් ගණන් ටයර් මත මිය ගියේ වැඩි ඈතකදී නොවේ. මේ කරුණු දැන දැනත් අපි විවිධ අවස්ථාවල පත්ව සිටි විවිධ ආණ්ඩු සලකා බලා ඒ හැමටම පොදුවූ යම් වියුක්ත ලක්‍ෂණ හඳුනාගන්නට උත්සාහ නොකරන්නෙමු. අද මැදි විය පසුකරමින් සිටින බොහෝ දෙනුකුට අඩුතරමින් පහුගිය අවුරුදු තිහ ඇතුලත පත්වූ ආණ්ඩු වල ක්‍රියා කාරකම් ගැන මේ අයුරින් විග්‍රහ කිරීමට හැකියාවක් තිබිය යුතුයි. එසේ නොකර පවතින තත්ව යටතේ, එදිනෙදා බලයේ සිටින පුද්ගලයින් ගේ ක්‍රියා කාරකම් දෙස බලා පවතින ආණ්ඩු විග්‍රහ කරන විට අපට ලැබෙන්නේ ඒ ඒ පවතින පසුබිමට අදාල සංයුක්ත පිළිතුරක් මිස රටේ සමස්ථ පාලණ තන්ත්‍රයටම අදාල සාධාරණ කථාවක් නොවේ. සාමාන්‍ය ජනයාට සාපේක්‍ෂව දේශපාකයින් දුෂිතයැයි අපට සිතෙන්නේ ඇයි?, දුෂිත නොවූ අය දේශපාලණයේ නියැලෙන්නේ ඇයි?, අපි දකින විදිහට ආණ්ඩුවල දූෂිතබව වැඩි වන්නේ ඇයි? යන ප්‍රශ්ණ වලට සංගතව පිළිතුරු නොදී නිකන්ම ලංකාවේ සියලු දේශපාලකයින් දූෂිතයැයි කීම එතරම් වැඩකට ඇති කථාවක් නොවේ. අපේ සියලු ආණ්ඩු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටනම් අපි දේශපාලනය පිළිබඳ අපේම වූ ප්‍රවාද තනාගත යුතුය. රටේ සමස්ථ දේශපාලණයම පිළිබඳ කථා ගොතන්නේ නැතිව පවතින ආණ්ඩු විග්‍රහ කිරීමට පමණක් සීමා වුනොත් අපට කල හැක්කේ පවතින ආණ්ඩු පෙරලා තවත් එවැනිම ආණ්ඩු පිහිටුවීම පමණි. නැත්නම් රෑ වැටුන වලේ දවලුත් වැටීමට පමණි.


මෙවැනි සාධාරණ කථා නැත්නම් ප්‍රවාද ගෙතීම සහ එහි මහඟු ඵල ප්‍රයෝජන පිළිබඳ යම් අත්දැකීමක් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්නට යෑමේදී අපට ලැබිනි. මෙරට ජාතික ව්‍යාපාරය මඟින් ගෙතූනු ප්‍රවාද වල පෙර කියූ සාධාරණීය ලක්‍ෂණ දකින්නට ඇත. ඊට හොඳම උදාහරණය එහි බටහිරුන් යැයි හැඳින්වෙන දෙයය. එහි බටහිරුන් යන්න වියුක්ත සංකල්පයකි. නිව්ටෝනීය භෞතික විද්‍යාවේ පොල් ගෙඩි සහ අහස් යාත්‍රා වෙනුවට වියුක්තවූ වස්තු හමුවෙනවා මෙන් මෙහිදී එන්ජීඕ, බටහිර තානාපතීන්, ඊනියා ජාත්‍යාන්තර සංවිධාන වෙනුවට ඇත්තේ බටහිරුන් යන සංකල්පයය. එය වියුක්ත සංකල්පයකි. බටහිරුන් යැයි අසන්නට දකින්නට හැකි එක් පිරිසක් නැත. නමුත් බටහිර බව එන්ජීඕ, බටහිර තානාපතීන් හා ඊනියා ජාත්‍යාන්තර සංවිධාන ආදී මෙකී නොකී ඒජන්තයන්ට පොදු ලක්‍ෂණයකි. ඒ බටහිර කමත් සිංහල බෞද්ධ කමත් අතර ඇති දාර්ශනික වෙනස් කම් ඇත. ඒ වෙනස් කම් උඩ පිහිටා බටහිරුන් දෙමළ ප්‍රශ්ණය සම්බන්ධයෙන් අතීතයේ ක්‍රියා කල ආකාරය ඓතිහාසික සාධක සමඟ සංගත වන ආකාරයට ප්‍රවාද ගොඩ නැඟිනි. (ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා  - නලින් ද සිල්වා). ඒ අනුව බටහිරුන් වර්තමානයේ ක්‍රියා කරන ආකාරයත් ඉදිරයේ ක්‍රියා කල හැකි ආකාරයත් ගැන යම් අවබෝධයක් ඇති කර ගැනීමට සිංහලුන්ට හැකි විය. මේ අවබෝධය නොතිබුනා නම් අපි බටහිරුන් එක් එක් අවස්ථාවලදී එල්ල කල බලපෑම් වලට ප්‍රතිචාර දක්වා සෑහීමකට පත්වී සිටිනවා මිස ඉදිරියේදී ඔවුන්ගෙන් එල්ලවිය හැකි බලපෑමක් වැලකීමට ක්‍රියාකාරී නොවනු ඇත. අදත් සිංහලුන් බටහිරුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ඒ අවබෝධය සහිතවය. ඒ අවබෝධය අපට ලැබෙන්නේ දෙමළ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ගොතන ලද ප්‍රවාද හරහාය.


අපි දේශපාළනය සම්බන්ධයෙන්ද විවිධ ප්‍රවාද ගොඩනඟාගත යුතුය. එසේ නොකර අපට දුෂිත යැයි කියන ආණ්ඩු පත්කර ගන්නා කාරියෙන් මිදිය නොහැකිය. බටහිරුන්ගේ ආණ්ඩු ක්‍රමය වන ප්‍රජාතන්ත්‍රවාදය බටහිරුන් වැඩවසම් යුගයෙන් මිදෙනවිට ඔවුන් විසින් නිර්මාණය කරගත් පාලණ ක්‍රමයකි. එය ඔවුන්ගේ ඉතිහාසයටත් සංස්කෘතියටත් ගැලපේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය පවා තේරුම් ගැනුනේ සැමදාමත් එක ලෙසම නොවේ. බටහිරුන් ඔවුන්ට අවශ්‍යය පරිදි අවශ්‍ය කාලයට ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් කර ගනිති. උදාහරණයක් වශයෙන් 1928 දී එංගලන්තය එතෙක් පිරිමින්ට පමණක් සතුව තිබි ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතිය ස්ත්‍රීන්ටද ලබාදුනි. ඊට ඉහතදී එය කිරීමට ඔවුනට අවශ්‍යතාවක් නොතිබිනි. ඇමරිකාවේ කළු ජාතිකයින්ට තම ඡන්දය පාවිච්චි කිරීමට තිබූ නීතිමය බාධක ඉවත් කෙරුනේ 1965 දීය එනම් ඉතා මෑතකදීය. අද බටහිර උගතුන් ප්‍රජාතන්ත්‍රවදය හා ඕනෑම රටක ස්වෛරීයභාවය පිළිබඳ කතා ගොතමින් සිටිති. මේ අයුරින් ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකවත් සයිද්ධාන්තිකවත් කලින් කලට වෙනස් කර ගනිති. බටහිර රටවල ආර්ථිකය කඩා වැටීම හා එරට සුද්දන්ගේ ජන අනුපාතය පහත වැටීම සමඟ ප්‍රජාතන්ත්‍රවාදය යැයි හඳුන්වන සංකල්පය ඉදිරියේදීත් ඔවුන්ගේ පැවැත්ම අරභයා ඔවුන් විසින් වෙනස් කරගනු ඇත. ඒ සඳහා එරට බුද්ධිමත්තු දායක වෙති. අපි කළ යුත්තේ ඔවුන් ගසන ගසන පදයට නැටීමද?


නියෝජිතයින් හරහා ක්‍රියාත්මක වන මේ බටහිර ආණ්ඩුක්‍රමය තුල පොදුවේ ගත් විට අපේ සංස්කෘතික නායකයින්ට තැනක් නැත. ආණ්ඩු දූෂිත වීමට එක හේතුවක් එයය. අපට කල හැක්කේ මේ පවතින ක්‍රමය අපට සුදුසු ක්‍රමයක් දක්වා ක්‍රමයෙන් වෙනස් කිරීමය. එසේ නොකර නිතර නිතර එකම වලේ වැටීම වලකා ගත නොහැකිය. අද දෝශාභියෝගය හරහා සාමාන්‍ය ජනතාව අධිකරණයට කරන බලපෑම ඒ වෙනස් කිරීමේ එක් පියවරක් විය හැකිය.

Monday, January 7, 2013

ක්‍රිකට් - පරාජය විඳදරා ගැනීම

By Janaka Wansapura

අපේ රටේ බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩා නරඹන්නේ ලංකාව ක්‍රීඩා කරන විට පමණි. අපි කැමති ක්‍රීඩාවට නොව අපේ රට දිනනවා දැකීමටය. අර්ජුන රණතුංගගේ කණ්ඩායම ලෝක කුසලාණය දිනුවායින් පසු අපිටත් දිනන්නට පුළුවන් යැයි හැඟීමක් අපට ඇතිවිනි. සාමාන්‍ය මිනිස්සු තවම ක්‍රිකට් ගැන උනන්දු වන්නේ ඒ ගැම්මටය. අපේ අල්ලපු රටවල්ද අපි මෙන්ම ක්‍රිකට් උන්මාදයෙන් පසුවෙන බව කියැවේ. නමුත් ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතිත් අපේ ක්‍රිකට් සංස්කෘතියත් අතර යම් වෙනස් කම් ඇත. ඉන්දියාවේ ක්‍රිකට් හරහා විසිරී සිටින විවිධ ජාතියේ ඉන්දියානුවන්ට තමන් එකම ජාතියකට අයිතිය යන හැඟීම ලබා දෙයි. ක්‍රිකට් හරහා සිංහළුන්ගේ ජාතික හැඟීම් වැඩුනත් සිංහළුන්ට ජාතිකත්වයක් ලබාදෙන්නේ ක්‍රිකට් නොව ඔවුන්ගේ ඉතිහාසයය. අද වෙන්වී සිටින දෙමළුන් ඒ ජාතියට බන්දා ගන්නට නම් ක්‍රිකට් උපකාරී වෙන්නට පුළුවන. කෙසේ වුනත් පොදුවේ ශ්‍රී ලාංකිකයින් ක්‍රිකට් දකින්නේත් ගසන්නේත් වෙනමම ක්‍රමයකට බව කාගේත් පිළිගැනීමය. ඒ වෙනස අපි දිනන විට නොව පරදින විට වඩා හොඳින් දැක ගත හැකි යැයි මම සිතමි.


ඔවුන්ගේ කණ්ඩායම පරදින විට ඉංදියාවේත් පකිස්ථානයේත් මිනිස්සු කුපිත වී ක්‍රීඩකයින් ගේ නිවාස වලට ගල් ගසන බවත්, වීදි බැස කල කෝලාහළ කරන බවත්, ක්‍රීඩකයින්ගේ රූකඩ වලට ගිනි තබන බවත් අපි අසා ඇත්තෙමු. ඔවුන්ට පරාජය දරා ගත නොහැකිසේය. අපි නම් එසේ කරන්නේ නැත. හූවක් වත් කියන්ට අපිට සිත් නොදේ. ඊට හේතුව අපේත් අපේ අල්ලපු වැසියන්ගේත් සංස්කෘතිමය වෙනසක් විය හැකිය. නමුත් එංගලන්තයේ හා ඕස්ට්රේලියාවේ මිනිස්සුත් පරාජයේදී ඉංදියානුවන් හා පකිස්ථානුවන් මෙන් ක්‍රීඩකයින් ගේ නිවාස වලට ගල් ගසන්නේ නැත. දැන් මින් කියවෙන්නේ අපි සංස්කෘතියෙන් එංගලන්තයේ හා
ස්ට්රේලියාවේ මිනිසුන් වැනියි කියාද? සමහරුන්ට එසේ සිතීමට උවමනාය. එසේ සිතන ඔවුන් ඉන්දියානුවන් හා පකිස්ථානුවන් තමන් තරම් ශිෂ්ඨ සම්පන්න නොවේ යැයි සිතති. තමන් ජාතිවාදී බව ඔවුහු නොදනිති. නමුත් සමහරක් එසේ සිතන ගමන් සිංහල ජාතිකත්වයක් ගැන කථා කරනවුන් ජාතිවාදීන් යැයි හඳුන්වති. ඒ අය තමන්ගේ කුහක බවද නොදනිති.

කෙසේ වෙතත් බටහිරුනුත් අපිත් පරාජය අත්දකින ආකාරයේ වෙනසක් ඇතැයි මම සිතමි. අපි පරාජය විඳදරා ගන්නෙමු ඔවුහු පරාජය නොවිඳ දරා ගනිති. පරාජය වේදනාවකි. අපි කරන්නේ එය දුකින් විඳ ඉවසා සිටීමය. නමුත් මා දකින අයුරින් බටහිරුන් එසේ නොවේ. ඔවුහු පරාජයේ වේදනාව සිතින් මඟ හරිති. එය ඔවුන්ගේ නොවේය. ඔවුන් පරාජය දරා ගන්නේ ඉන් දුකට පත් වී, අප මෙන් එය විඳවා නොවේ. ඔවුන් පරාජය දරා ගන්නේ පරාජයත් එහි දුකත් ඔවුන්ට අදාල නොවේ යැයි සලකාගෙනය.


දුක සත්‍යයක් ලෙස සලකන අපට වේදනාව මිනිස් ජීවිතයේ පමණක් නොව මුලු සංසාරයේම මඟ හැරිය නොහැකි ලක්‍ෂණයකි. අපි වේදනා විඳින්නට කැමති නැති වුනත් එය නොවිඳිය යුතු හෝ නොවිඳා සිටිය හැකි දෙයක් ලෙස හෝ සලකන්නේ නැත. නමුත් බටහිරුන් එසේ නොවේ. ඔවුන් පොදුවේ වේදනාව නොවිඳිය යුතු දෙයක් ලෙසත් එය නොවිඳා සිටිය හැකි බවත් විශ්වාස කරති. ඔවුහු ශාරීරික හා මානසික වේදනාවන් මැඩ පවත්වාගන්නට නොයෙකුත් ඖෂධ වර්ග පාවිච්චි කරති. බටහිර රටවල ඇති රෝහල් වල සිටින ලෙඩුන් වේදනා විඳින්නේ නැති තරම්ය. ඖෂධ වලින් මැඩ පවත්වා ගන්නට හැකිව තිබියදී එසේ නොකර සිටීම අස්වාභාවික දෙයක් ලෙස ඔවුන් සලකති. නමුත් මේ රටවල බොහෝ ආසාධ්‍ය ලෙඩුන් මෙන්ම සෞඛ්‍ය සම්පන්න අයත් වේදනා නාශක ඖෂධ වලට ඇබ්බැහි වී සිටිති. ඇමරිකාවේ ඉන් මිය යන මිනිසුන් ගණන හෙරොයින් වැනි මත් ද්‍රව්‍ය භාවිතයෙන් මිය යන ගණනට වඩා බෙහෙවින් වැඩිය. වේදනාව පිළිබඳ බටහිර ආකාල්පය පොදුවේ ආසියාතිකයින්ගේත් විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේත් ආකල්ප වලට වඩා බෙහෙවින් වෙනස් බව පැහැදිලිය. අපි ක්‍රිකට් තරඟයකින් පරාජය ලැබූ විට එය විඳ දරා ගන්නෙමු බටහිරුන් එය නොවිඳ දරා ගනිති. ඒ ක්‍රිකට් නරඹන්නන්ය. ක්‍රිකට් ක්‍රීඩකයෝ කෙසේ වෙත්ද?

Thursday, January 3, 2013

අයි නෝ ද ලෝ පුතා!

මීට දසක දෙකකට පමණ ඉහත විකාශණය වුන එක්තරා රූපවාහිනී නාට්‍යයක සිටි විකට චරිතයක් නිතරම මේ වදන් කියනු අසන්නට ලැබිනි. එම චරිතය වෘත්තියෙන් නීතිඥයෙකු දැයි මට මතක නැත නමුත් ඔහුට අනුව එහි සිටි අනිත් අය නීතිය නොදන්නා අය වෙති. සැබෑ සමාජයේද බොහෝ දෙනා නීති විශේෂඥයෝ නොවෙති. නමුත් අපි හොරාගේ අම්මාගෙන් පේන නොඇසිය යුතු බව නම් දනිමු. ගමේ ගොඩේ කවුරුත් දන්නා මේ දේ අද ලංකාවේ බලපැවැත්වෙන නීති විශයෙහි ලොප් වී ඇති බව පෙනේ. එසේ වී ඇත්තේ නීතියෙහි ඇති සාමාන්‍ය අපි නොදන්නා යම් ගැඹුරු ගාම්භීර කමක් නිසාද නැත්නම් එය විනිසුරුවන්ගේ බොරු කොන්ඩා මෙන්ම හුදු මවාපෑමක්ද?

පාර්ලිමේන්තුව තේරීම් කමිටුවක් හරහා අග විනිසුරුතුමියට දෝශාභියෝගයක් කල බව අපි දුටුවෙමු. දෝශාභියෝගයට ලක් වූ එතුමිය, ඊළඟට කලේ ඒ කමිටුවට එරෙහිව එතුමිය යටතේ සිටින විනිසුරු මඩුල්ලකට පෙත්සමක් ඉදිරිපත් කිරීමය. නීතිය නොදන්නා අපට නම් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. ඊලඟට ඒ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවකට අග විනිසුරුවරයෙක් දෝශාභියෝගයට ලක් කිරීමට නීතිමය අයිතියක් නැතැයි කියාය. ඔවුන් මෙසේ කියන්නේ මෙවැනිම තේරීම් කමිටු හරහා මීට කලින්ද අගවිනිසුරුවරුන් දෝශාභියෝග වලට ලක් කර තිබියදීය. ඒ බව මීට කලින් තීරණය කලා නම් කමක් නැත නමුත් ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ ප්‍රධානියා වරදට හසුවුනාට පසුවය. කුඩා ළමුන් පවා සෙල්ලම් කරද්දී අතරමඟ නීති වෙනස් නොකල යුතු බව දනිති. නමුත් කුඩා ළමුන් මෙන්ම සාමාන්‍ය ජනයාත් නීති විශේඥයෝ නොවෙති. 


අද මේ එළි දැක්වෙන පඹගාලේ පැටලී සිටින්නේ නීති විශේෂඥයෝ පමණි. එය රටේ අවුලක් බවට පෙන්වන්නට කරන උත්සාහය බොරු කොන්ඩා වැනි මවාපෑමක් පමණි.

Tuesday, January 1, 2013

අළුතක් නැති අළුත් අවුරුද්ද

By Janaka Wansapura

දැන් දැන් සමහර බෞද්ධයෝද නත්තල සමරති. නත්තල් ගස් සැරසීම තෑගි දීම වැනි නත්තලට අදාල සංකේතාත්මක පිළිවෙත් විශේෂයෙන් කුඩා දරුවන් සිටින නාගරික බෞද්ධ දෙමව්පියන් විසින් පිළිපදිනු දකින්නට ලැබේ. මේ පැවතුම් විදේශගතව සිටින සිංහල බෞද්ධයන් මෙන්ම හින්දුවරුන් අතර ඊටත් වඩා සුලබය. මින් කියැවෙන්නේ ඔවුන් ක්‍රිස්තියානි ආගමට තල්ලුවී ඇති බව නොවේ. ඉන් ඊනියා බෞද්ධ-අබෞද්ධ සහජීවනයක් පිලිබිඹු වන්නේද නැත. ඉන් පිලිබිඹු වන්නේ අප සමාජයක් වශයෙන් බටහිර නූතනත්වයට ගොදුරුවී ඇති බව පමණි. බටහිරුන්ද නත්තලට එතරම් ආගමික වැදගත් කමක් දෙන බවක් නොපෙනේ. කලකට ඉහතදී ශ්‍රී ලාංකික කිතුණුවෝ අද සිටින බටහිරුන්ට වඩා ආගමික භක්තියකින් යුතුව නත්තල සැමරුවා යැයි මට සිතේ. අද වනවිට බටහිර සංස්කෘතික නත්තල විසින් කිතුනු ආගමික නත්තල ගිල ගෙන ඇත. නත්තල සහ ඒ සමඟ එලඹෙන අළුත් අවුරුදු උත්සවයේ වැදගත් තැනක් ලැබී ඇත්තේ හුදු පරිභෝජනයට මිස ආගමික වතාවත් වලට නොවේ. ඒ නිසා එය බටහිර සංස්කෘතිය අනුකරණය කරන විවිධ ආගම් අදහන්නන්ට පිළිගන්නට අපහසුවක් නොවේ. බටහිරුන් විසින් හඳුන්වාදෙන ලද වසර අවසානයේ පවත්වන මේ අළුත් අවුරුදු උත්සවය මුලු ලොවෙහිම පිළිගැනීමට ලක්වී තිබෙන්නේ එහි මතු පිටින් ඇති අනාගමික ලක්‍ෂණය නිසා විය හැකිය. නමුත් ඒ ඒ රටවල ඔවුන්නොවුන්ගේ සංස්කෘති වලට අනුකූල වාර්ශික උත්සව නැතුවා නොවේ. එසේ තිබුනද වසර අවසානයේ පැවැත්වෙන මේ උත්සවය ඒ සියල්ල අභිබවා යයි. එසේ වී ඇත්තේ බටහිර නූතනත්වය විසින් සෙසු සියලු සංස්කෘතීන් යටපත් කෙරී ඇති බැවිනි. 


නමුත් දෙසැම්බර තිස් එක් වෙනිදා රාත්‍රියේ එක අවුරුද්දක සිට අනිත් අවුරුද්දට මාරුවීමේදී සමාජයික වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ මිනිස් ජීවිතවල අළුත්වීමක් සිදුවන්නේ නැත. දෙසැම්බර අවසානය රැකියා කරන බොහෝ දෙනෙකු නිවාඩු සුව විඳින බව ඇත්ත. නමුත් එය බසයක දිගු ගමනක යන අතරේ හමුවන එක් නැවතුම් පලක් වැනිය. ඒ අනුව නැවතුම් පලට පෙරත් පසුවත් ගමන් කරන්නේ එකම බසයේය. බසයත් යන ගමනත් අළුත් වී නැත. දෙසැම්බර මාසයේ යම් දිනකුත් ජනවාරි මාසයේ දිනකත් අතර අපේ ජීවන රටාවේ වෙනසක් දැකිය හැකිද? බටහිර ජිවන රටාවට අනුව ජීවත්වන අප ගෙවන්නේ ඒකාකාරී ජීවිත මිස කලින් කලට වෙනස් වන එසේත් නැත්නම් අළුත් වන ජීවිත නොවේ. බටහිර නූතනත්වය තුල කලින් කලට දේශගුණය වෙනස් වන යුරෝපයේ හා ඇමරිකාවේ සිටින වැසියන්ගේ ජීවිත පවා වසර පුරා එතරම් දුරට වෙනස් වන්නේ නැත. ඒ ඔවුන් ගෙන් අති විශාල බහුතරයක් ගොවියන් නොවන නිසා විය හැකිය. නමුත් සමස්ථයක් ලෙස ඔවුන්ගේ රැකියාවනුත් කන බොනදෑත් සිත සමය හෝ ග්‍රීෂ්ම සමය කියා වෙනස් වන්නේ නම් ඒ ඉතා නොගිනිය හැකි අයුරිනි. බටහිර නූතනත්වයට ඇත්තේ කෙලවරක් නැති රේඛීය ගමනකි. අවුරුද්ද වෙනස් වීමවත් දේශගුණය වෙනස් වීමවත් ඒ ගමනට බලපෑමක් නොකරයි.


නමුත් සතා සිවුපාවුන්ට මෙන්ම ගහ කොලටත් සිය පැවැත්ම උදෙසා කලින් කලට තම ජීවන රටාවේ අළුත් වීමක් අත්‍යාවශ්‍යවේ යැයි මම සිතමි. ඒ වෙනස් කම් බොහෝ දුරට පරිසරයේ වෙනස්වීම් වලට සමගාමීය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වන සතුන්ගේ ජීවන රටා මෙයට එක නිදසුනකි. ඒ වෙනස්වීම චක්‍රීයය. එක චක්‍රයක් ගෙවී නව චක්‍රයක් ඇරඹීමේදී යම් අළුත්වීමක් සිදුවේ. ජීව විද්‍යාඥයින්ට මේ ගැන හොඳ දැනුමක් ඇතැයි මම සිතමි. මම මේ අළුත් වීම දකින්නේ අර සමහර විද්‍යුත් උපකරණවල හෝ පරිගණක මෘදුකාංග වල ඇති රීසෙට් (RESET) බොත්තම එබූ විට එම උපකරණයට සිදුවන දෙයට හා සමගාමී දෙයක් 
ලෙසය. මිනිස් වරගයාටත් කලින් කලට සිය පැවැත්ම උදෙසා සාමාජයිකව ආර්ථිකව හා දේශපාළනිකව එවැනි රීසෙට් වීමක් අවශ්‍යයැයි මට සිතේ. අතීතයේ විවිධ සංස්කෘතිවල මෙවැනි චක්‍රීය වූ අළුත්වීම් තිබෙන්නට ඇත. පැරණි සිංහලයන්ට සිංහල අවුරුද්ද එවැනි එක් අවස්ථාවක් වෙන්නට ඇතැයි සිතිය හැක. ඔවුහු ගොවිතැනින් ජීවත්වූහ. පරිසරයේ වෙනස් වීම් මෙන්ම ඉර හඳ තාරකා වල ගමන්ද ඔවුන්ගේ ජීවිත වලට බලපෑමක් ඇති කෙරිනි. ඒ නිසා සිංහල අවුරුද්ද ඔවුන් හා පරිසරය අතර තිබූ බැඳීමත් ඔවුනොවුන් අතර තිබි බැඳීමත් ඔවුන්ගේ ජීවන ක්‍රියාත් රීසෙට්-කරණයට ලක් කරන්නට ඇතැයි සිතිය හැක. ලිප ගිනි මෙළවීම, ගනු දෙනු ඇල්ලීම, නෑදෑ ගමන් යාම වැනි ක්‍රියා වලින් සංකේතවත් වන්නේ මෙවැනි අළුත් වීමක් නොවේද?

නමුත් අද සිංහල අවුරුද්ද සිංහලයන්ගේ ජීවිතවල මෙවැනි අළුත් කිරීමක් එසේත් නැත්නම් රීසෙට් කිරීමක් කිරීමට සමත් නොවේ. ඒ අපි බටහිර ජීවන ක්‍රමයට අනුගත වී සිටින නිසාය. පසුගිය 31 වෙනිදා සැමරූ බටහිර නූතනත්වයේ අවුරුද්දත් එවැනි අළුත් කිරීමක් නොකරයි. ඒ බටහිර සංස්කෘතියේ ඇති රේඛීය බවේ හැටිය. ඊට අනුව අපි කෙළවරක් නැති ගමනක් යමින් සිටින්නෙමු. 


ලැබූ වසර ඔබට සුභ වසරක්ම වේවා!