Sunday, December 9, 2012

සුදු බැනියං-කලු කෝට් ආණ්ඩු ක්‍රමය

 By Janaka Wansapura

පාර්ලිමේන්තුවත් උසාවියත් මේ රටේ රාජ්‍ය බලය ක්‍රියා කරවන ප්‍රධාන ආයතන දෙක ලෙස හැඳින්වේ. මේ ආයතන අපට ලබා දුන්නේ ඉංග්‍රීසීන් බව අපි කවුරුත් දනිමු. 1815 දී ඔවුන් විසින් පැහැර ගන්නා තෙක් අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමට මෙවැනි ආයතනවල අවශ්‍යතාවක් නොතිබිනි. නමුත් 1948 දී ඔවුන් රට භාර දුන්නේ මේ ආයතන දෙක නොමැතිව ක්‍රියාත්මක කල නොහැකි රාජ්‍යයකි. අද හිටපු ජනාධිපතිනිය ඇතුළු බොහෝ බටහිර උගත්තු අපට උපදෙස් දෙන්නේ මේ බටහිර රාජ්‍ය ක්‍රමය ආරක්‍ෂා කරන ලෙසය. ඔවුන්ට රාජ්‍ය ක්‍රමය ආරක්‍ෂා කිරීමට මිස රජය ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් නැත.  අපි ඒ ක්‍රමය ආරක්‍ෂා කල යුත්තේ එය මිනිසා විසින් චිරාත් කාලයක් තිස්සේ අත්හදා බලා සොයා ගත් මානුෂිකම ආණ්ඩු ක්‍රමය නිසා යැයි ඔවුහු අපට කියා දෙති. නමුත් මේ ඊනියා අත්හදා බැලීම කෙරී ඇත්තේ යුරෝපයේ මිස වෙන කොහේවත් නොවන බව අපි කවුරුත් දනිමු. ඒ කෙසේ වෙතත් අපට නම් මේ ක්‍රමයේ බැලූ බැල්මට පෙනෙන දුර්වල බවක් ඇත. එනම් සාමාන්‍ය මිනිසුන්ට මේ බලවත් ආයතන සමඟ සෘජුව ගනුදෙනු කිරීමට නොහැකි වීමය. ඔවුන්ට එය කල හැක්කේ ඔවුන්ගේ නියෝජිතයින් වන මන්ත්‍රීවරු හා නීතිඥවරු හරහාය. නියෝජිතවරුන් නොමැතිව ක්‍රියාත්මක කල නොහැකි ආණ්ඩු ක්‍රමයක් කෙතරම් මානුෂික විය හැකිද යන්න ප්‍රශ්ණයකි.

බොහෝවිට අපි වැරදි වැඩ නොකර සිටින්නේ පිං පව් හෝ යුතු අයුතු කම් ගැන සංස්කෘතියෙන් අපට කියා දී ඇති දැනුම නිසා මිස නීතිය හදාරා ඇති නිසා නෙවේ. නමුත් උසාවියේ තීරණ ගන්නා ආකාරය අපි පිං පව් හෝ යුතු අයුතු කම් අළලා තීරණ ගන්නා ආකාරයට වඩා සංකීර්ණය. ඒ සංකීර්ණ බවට එක හේතුවක් නම් එහි ගුරු කොට සකලන නීති ගෙතී ඇත්තේ ඊනියා වියුක්ත මිනිසකුගේ වියුක්ත ගැටළුවක් කේන්ද්‍ර කරගෙන මිස යම් අයෙකුගේ දන්නා ප්‍රශ්ණයට අදාලව නොවන නිසාය. මේ සංකීර්ණ බව හසුරුවා ගැනීමට අපට නීති විශේෂඥයින්ගේ සහය පැතීමට සිදුවේ. ඒ අනුව යුක්තිය ඉටුකර ගැනීමට යාමේදී අපේ අවශ්‍යයතාව සපුරාලන්නේ නීතිඥවරයාය. අධිකරණයය ඉදිරියේදී එතුමා අපේ නියෝජිතයාය. ඒ අතර මන්තී්‍රතුමා පාර්ලිමේන්තුවේ අපේ නියෝජිතයාය. මෙතුමා සුදු රෙද්දක් සහ බැනියමක් අඳින අතර අනිත් උතුමා කලු කබායක් අඳියි. ඔවුහු අප වෙනුවෙන්ද  අප රට වෙනුවෙන්ද විවිධ තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව හා අධිකරණය ඉදිරියේ අපව නියෝජනය කරති. මේ නියෝජන ක්‍රමය සාමාන්‍ය වැසියන් රජයෙන් ඈත් කර තබන බව පැහැදිලිය. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය උදෙසා යැයි කෙරෙන දෝශාභියෝග ගැටුමේදී සාමාන්‍ය ජනතාවට වඩා කළු කෝට් සහ සුදු බැනියං ඇඳගත් අය වැදගත් තැනක් ගත්තේ මේ ආණ්ඩු ක්‍රමයේ ඇති දුර්වල බව නිසාය. එතනිනත් එහාට ගොස් විදේශ විශේෂඥවරුන් ඒ නඩු ඇසිය යුතු යැයි සමහරු යෝජනා කරන්නේ ඔවුන්ගේත් මේ බටහිර ක්‍රමයේත් බංකොලොත්බව තව තවත් විදහාපාමිනි.

නියෝජිතයින්ගේ මැදිහත් වීමකින් තොරව එකම ආයතනයක් හරහා රජය සමඟ පුද්ගලිකව ගනුදෙනු කිරීමට හැකි ක්‍රමයක් වේ නම් එය මීට වඩා මානු’ෂික නොවේද?

සාමාන්‍ය දෛනික කටයුතු වලදී වැදගත්වන තීන්දු තීරණ පරිපාලණ හෝ අධිකරණ යැයි වෙන්කර ගැනීමට ඊට ආවේනිකවූ හේතු නැත. එසේ වෙන් කර අර්ථදක්වා ගත්තත් යම් නියත ප්‍රශ්ණයකදී පරිපාලණ හා අධිකරණ කටයුතු එකිනෙකින් සම්පූර්ණයෙන්ම ස්වායත්ත නොවේ. ඒ නිසා ඒ කටයුතු එකම ආයතනයකින් හෝ එක බලධාරියකු හරහා ඉටු කර ගැනීමට නොහැකි හේතුවක් තිබිය නොහැකිය. අවශ්‍ය වන්නේ ඔහුට හෝ එම ආයතනයට ඒ සඳහා බලයක් තිබීම පමණි. නමුත් අද පවතින ආණ්ඩු ක්‍රමයට අනුව එය කළ නොහැකිය. එයට ප්‍රධාන හේතුව මේ බටහිර ආණ්ඩු ක්‍රමය තුල රජ්‍ය බලය කේන්ද්‍රගත වී තිබීමය. රට පුරා විසිර සිටින සියලු වැසියන් සම්බන්ධයෙන් රජ්‍ය බලය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා එහිදී පාර්ලිමේන්තුව  උසාවිය වැනි ආයතන අතර රාජකාරි බෙදී ඇත. තවද කේන්ද්‍රගතවූ පරිපාලන ආයතන සමඟ පුද්ගලිකව ගනුදෙනු කිරීම ප්‍රායෝගික නොවන නිසා මහජන නියෝජිතයන් පත්කෙරී ඇත.  මේ ආකරයට ප්‍රශ්ණය කළමනාකරණය කරගෙන ඇතත්. පවතින ක්‍රමය මානුශික යැයි කිව නොහැකිය. මීට විකල්පයක් ඇත. ඒ රාජ්‍ය බලය විමධ්‍යගත කිරීමය.

රජ්‍ය බලය ගම් මට්ටමට විමධ්‍යගත කල විට එය ක්‍රියාත්මක කිරීම සඳහා උසාවියත් පාර්ලිමේන්තුවත් වෙනුවට ගමේ පිහිටි ගම්මුන් විසින් මෙහෙයවන තනි ආයතනයක් හෝ පුද්ගලයෙකු යොදා ගැනීමට අපහසුවක් නැත. එවිට ගමේ වැසියන්ට මහජන නියෝජිතයකුගෙන් තොරව ඒ ආයතනය සමඟ සෘජුවම ගනුදෙනු කිරීමට බාධාවක්ද ඇති නොවෙනු ඇත. ඒ නිසා ප’ක්‍ෂ දේශපාලනයද ගමෙන් තුරන් වනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහි වියුක්තබව අඩුවී සංයුක්ත ස්වභාවයක් ගනු ඇත. එමඟින් නීති ක්‍රියාදාමය සරලවී සාමාන්‍ය වැසියෙකුට නීති විශේෂඥයෙකුගේ සහය නොමැතිව එම ආයතනය සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත. වැදගත් වන්නේ ඒ ගමේ රාජ්‍ය බලය ඇති ආයතනය හෝ පුද්ගලයා සධාරණව සදාචාරාත්මකව කටයුතු කරන්නේද යන්නය. එකල නම් ගමේ පංසලේ හාමුදුරුවන් විසින් ඒ බවට වග බලාගන්නට ඇතැයි සිතිය හැකිය.

කේන්ද්‍ර ගතව සුදු බැනියං හා කලු කෝට් හරහා ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයට වඩා විමධ්‍යගතව ගම් මට්ටමින් සාමාන්‍ය මිනිසුන් සමඟ සෘජුව ගනුදෙනු කෙරෙන ආණ්ඩු ක්‍රමය සරලය, කාර්යක්‍ෂමය මානුෂිකය. 1815 දක්වා මෙරටේ ක්‍රියාත්මක වන්නට ඇත්තේ මීට සමාන ක්‍රමයක් යැයි සිතිය හැකිය. අද බලය විමධ්‍යගත කරනවා යැයි කියා කරන්නේ පවතින ක්‍රමය සතු පාර්ලිමේන්තු උසාවි වැනි ආයතන එසේම තබාගෙන ඒවා කුඩා ඒකක වලට කැඩීමය. නමුත් කෙතරම් කුඩා ඒකක වලට කැඩුවත් ඉන් සැබෑවටම බලය විමධ්‍යගත වීමක් සිදු නොවේ. කේන්ද්‍රීයකරණය බටහිර විදි ක්‍රමයයි. එය අපට සුදුසු නැත. අසාර්ථක වී ඇති ප්‍රාදේශීය සභා සහ පලාත් සභා එයට සාක්‍ෂි දරයි. නමුත් අප තවම සිටින්නේ පාර්ලිමේන්තු සහ උසාවි නැති කල හැකි තැනක නොවේ. අද අපට කළ හැක්කේ බටහිරුන් විසින් අප මත පටවා ඇති ආණ්ඩු ක්‍රමය අපි දකින මානුෂිකම ආණ්ඩු ක්‍රමය නොවන බවත් ඒනිසා එය ආරක්‍ෂා කිරීමට අප බැඳී නැති බවත් දැන ගැනීමය.

5 comments:

  1. ජානක, ඔබගේ බලය විමධ්‍යගත කිරීම පිලිබඳ අදහස් සමග මට එකඟ විය හැක. එම ක්‍රියාවලිය පවතින පැනයට පිළිතුරක් මිස තවත් ප්‍රශ්න වැලක ඇරඹුමක් නොවිය යුතුය යන්න මගේ විශ්වාසයයි. මා සිතන අයුරට අද පවතින ප්‍රශ්නය වන්නේ මෙම ආයතන (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය) නිසිලෙස ක්‍රියාත්මක නොවීමයි. නිදසුනක් ලෙස, පාර්ලිමේන්තුවේ සිටින්නේ ජනතා නියෝජිතයන්‍යයි අප පොදුවේ විශ්වාශ කලද ඔවුන් තෝරාපත්කරාගැනීමේ වත්මන් ක්‍රමවේදය අතිශය දුෂිතය. මෙලෙස බලනකල චිරාත් කලක සිට ලංකාවේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දඩමීමා කරගෙන දුෂිත ලෙස සොරුන්, මං පහරන්නන්, ස්ත්‍රී දුෂකයන්, මිනීමරුවන් මෙම ආයතන වලට පත්වීමයි. අධිකරණයේ තත්වයද මෙයට දෙවැනි නොවේ. කිසිදු පිළිගත් අධ්‍යාපන සුදුසු කම් නොමැති, වල්කම තම ආගම කොටගත්, සොරකම තම ජීවන දර්ශනය කරගත් සොරමුලකට රටේ පාලන බලය ලබාදී අප රටට අත්ව ඇති ඉරණම ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කෙසේ වතුදු අප වැනි විදේශගතව වෙසෙන ලාංකිකයන්ට නම් රහසක් නොවේ. විදේශිකයන් විසින් සකස්කරන ලද පාලන ක්‍රමයන් අප රටට යෝග්‍ය නොවන බව මමද විශ්වාශ කරමි. එහෙත් මෙපමණ කාලයක් අපට ගැලපෙන පාලන ක්‍රමයක් සාදා ගැනීමට නොහැකිවීම අපේ ප්‍රශ්නයක් ලෙස වටහා ගනු විනා, සැමවිටම බටහිරට එහි වරද පැටවීමට මා සුදානම් නැත. එය අපරටේ පාලකයන්ගේ සහ පාලිතයන්ගේ වරද මිස, අන් කවරෙකුගේ වත් වරද නොවේ. නිදහසින් පසු පත්වූ එකඳු පාලකයෙකුටවත් අවංකව අපරට දියුණු කිරීමට ඇවසිකමක් නොතිබුන බව මගේ විශ්වාසයයි. ඔවුන් සියලුදෙනාම කලේ ජනතාව රවටා බලයට පැමිණ අනතුරුව ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටුකර ගැනීමයි. ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ලෙස අනෙකුත් ආසියාතික රටවල් වේගයෙන් දියුණුව කරා එළබෙන විට, අපරට ක්‍රමයෙන් පසුපසට ගමන් කිරීමෙන්ම පෙනේ. අවම වශයෙන් මානව සම්පත කළමනාකරණය කරගැනීමට ඔවුනට හැකිවීනම් අපරටට මෙම කල නොයනු ඇත. අසවනාවකට මෙන් මෙවන් මානව සම්පතක් පාලනය කිරීම පිණිස අපවිසින් තෝරාපත්කරගනු ලබන්නේ කරත්තයක බැදීමටවත් නොසුදුසු ගොනුන්, මීගවයන් සහ කුම්භාණ්ඩයන් පිරිසකි. එය පවතින ක්‍රමයේ වැරැද්දද නොඑසේනම් රටවැසි ජනතාවගේ වැරැද්දද යන පැනයට කාලය විසින් පිළිතුරු සපයනු ඇත. තිස් වසරක් පුරා අපරට අගාදයට ඇදගෙන ගිය යුද්ධය නිමාකල පසු අපදැන් කලයුත්තේ සුළු ජාතිය යම් සන්හින්දියාවකට පැමිණීම විනා, ජාතිවාදයේ බිජුවට නැවත වැපිරීම නොවේ. ඒ සඳහා කිසිවෙකුට හෝ උවමනාවක් ඇතිබව නොපෙනේ. ඔවුන් අපරටේ වෙසෙන තවත් මිනිසුන් කොටසක් යයි හැගෙන යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන තුරු ද්‍රවිඩ ජනයා රට ගොඩනැගීමේ ක්‍රියාවට සහභාගී නොවනු ඇත. මෙලෙස නොවිසදුනු, ඔද්දල්වී කුනුවිගිය ප්‍රශ්න රැසක් අපරටේ පවතී. සියලු දෙයට හේතුව ලෙස බටහිර කුමන්ත්‍රණ ලෙස සැලකීම සිදුකරනු ලබන්නේ බංකොලොත්, අවස්ථාවාදී දේශපාලුවන් මිස අන්කවරෙකුවත් නොවේ. මේ සදහා බටහිර රාමුවෙන් මිදුණු යම් පාලන ක්‍රමයක ඇවැසිකම මමද පිළිගන්නෙමි. ඒ සඳහා ඇවැසි බුද්ධිය, කැපවීම සහ දිරිය අපරටේ පාලකයන්ට හෝ පාලිතයන්ට තිබේද යන්න තවත් පැනයකි.

    ReplyDelete
  2. ප්‍රතිපත්තිමය වශයෙන් හොඳවුනත් අදට යොදාගත හැකි අපට ආවේනිකවූ විමධ්‍යගත ආණ්ඩු ක්‍රමයක් ගැන දැනුමක් අද අප සතුව නැති බවද කිව යුතුය. අපි එවැනි ක්‍රමයක් අනාගතයේදී නිර්මාණය කර ගත යුතුයි. අපට හෙට දිනයේ අතීතයට යා නොහැකි නිසා අතීතයේ තිබූ ක්‍රමයම යොදාගත නොහැකියි.

    ReplyDelete

  3. kadphises :December 12, 2012 12:39 PM

    I tend to agree with Aruna. To say we had a superior system of government in the days prior to 1818 is not accurate. Nor is it relavant. To compare the two we need to also compare today's society with the society that existed 200 years ago. 200 years ago, Sri Lanka had a population of less than 1 million and plenty of land to go around. People hardly left their villages and were in turn unaffected by changes in the rest of the country. It was therefore a utopia of tiny self sufficient villages in a sea of unspoilt wilderness. Not much could go wrong.

    However if you were to use today's social indicators there were lots of shortcommings.

    1. The virulent Caste system.
    2. Zero social mobility. If you were low caste your children would always be low caste and have to kow tow to the higer castes.
    3. The underclass always were at the mercy of rough justice meted out to them by the ruling class. Just read Robert Knox and see all the methods by which people were put to death by despot kings like Rajasinha II and later Sri Vikrama Rajasinghe who the people were thoroughly sick of before they handed over the country to the colonials. Perhaps you forget what happened to Ehelepola's family and can imagine what might have happened to Sarath Fonseka's family under the same system of justice.
    4. Life expectancy too was low. Most children and mothers died in childbirth. There were no indegenous cures for Malaria and small pox.

    When the colonials arrived they changed many things. The caste system was abolished. They also found the Rajakariya system abhorrent and believed that people should be paid for their labour. They introduced education and eased restrictions on people improving themselves materially. Contrary to what many people think people were not universally well fed and well off prior to colonialism. If you read some of the early accounts of the British you will note the degree of malnutrition in the remote jungle villages. The efficient British solved a lot of these problems. They created some problems as well. Sometimes unwittingly. The sharp rise in population is a testamant to the improved quality of life and life expectancy. But this in turn created other problems, like many of today's problems of inequity and overpopulation. Some people became very wealthy while others were unable to improve their living conditions by much. But the biggest and most irrevocable loss I think is the loss that our environment suffered. We can never bring back the forests that we lost to plantations.

    I think if we continued the parliamentary democracy as we received it from the British we would still be in a better place today. But every successive government has corrupted that democracy further and further to the detriment of the people until what we have today which is more akin to the system we had in the pre-colonial days. A de-facto heriditary monarchy that operates on a system of patronage with no independent judiciary or police force. A system of Naduth Hamuduruwange, Baduth Hamuduruwange. In other words we have regressed to a system of government that the collective intelligence and morality of our people deserves.

    Colonialism on the whole I believe was bad. Morally bad because of its inherent racism, the rusultant loss of global cultural diversity and also the irreparable damage to the environment. It had bad consequences but I dont think the motives were universally bad. They thought they were materially improving people's lives and that that was all that mattered. There were positive aspects of the changes and also negative aspects of the changes they made. In Sri Lanka, by and large I think the Colonials did stuff that they believed were good for the people by the morals of their times. But they were not capable of seeing the long term repercussions of some of their actions.

    ReplyDelete
  4. බටහිරුන් අප මත බලෙන් පටවා තිබෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ වැරදි ඇත. මෙහි වැරදියැයි මා අදහස් කරන්නේ එහි මූල ධර්ම වශයෙන්ම ඇති වැරදිය. මේ ලිපියේ දක්වා ඇති පරිදි මිනිසුන්ට පුද්ගලිකව රජ්‍ය බලය සමඟ ගනුදෙනු කලනොහැකි වීමත් එය කිරීමට නියොජිතයින්/ විශේෂඥයින් අවශ්‍යවීමත් ඒ ක්‍රමයේ ඇති එක් වැරැද්දක් පමණි. අද සාමාන්‍ය මිනිසුන්ගේ සියලු දෛනික කටයුතු පක්‍ෂ දේශපාලණයට නතුවීමට එක හේතුවක් මෙයය. බලය විමධ්‍යගත කිරීම මෙයට පිළියමකි. එදාට වඩා අද රටේ ජනගහණය අධිකවීම බලය විමධ්‍යගත කිරීමට සුදුසු කමක් මිස කේන්ද්‍රීයගත කිරීමට කොහෙත්ම සුදුසු කමක් නොවේ. විමධ්‍යගත නව ආණ්ඩු ක්‍රමයක් අපි නිර්මාණය කර ගත යුතුය. ඒ සඳහා අපට ආදර්ශයට ගත හැක්කේ 1818 ට පෙර තිබූ ක්‍රමය මිස 1948 දී අපමත පැටවුනු කේන්ද්‍රීයගත දැනට තිබෙන ආණ්ඩු ක්‍රමය නොවේ.

    kadphises: කරුණාකර මාතෘකාවට අදාල අදහස් පමණක් කෙටියෙන් ගොනුකරන්න

    ReplyDelete
  5. කාලයට එකතු කරන ලදී.

    http://www1.kalaya.org/2012/12/blog-post_8497.html

    ReplyDelete