Saturday, December 15, 2012

දූෂිත ආණ්ඩු

By Janaka Wansapura



ඉංග්‍රීසීන්ගෙන් ඊනියා නිදහස ලැබූදා සිට අප රට පැවැති ආණ්ඩුවල දුෂිතබව ක්‍රමයෙන් වැඩිවූ බව බොහෝ වැඩිහිටි අයගේ අත්දැකීමය. 1977 සිට ඒ දූෂිත බව වැඩිවීම තවත් සීඝ්‍රයෙන් සිදුවිනියැයිද බොහෝ අය සිතති.  ඒ ආකාරයට මෑත ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව අද පවතින ආණ්ඩුව විය හැකි අතර මේ ආණ්ඩුව පරදා ඉදිරියේ පත්වන ආණ්ඩුව ඊටත් වඩා දූෂිත වේ යැයි සිතිය හැකිය. ඒ කෙසේ වෙතත් අසූවේ දශකයේ සිට සිදුවී ඇති සමාජ පරිහානිය දකින විට ආණ්ඩුවල දූෂිත බව පොදු සමාජයේ දූෂිතබවට අනුගාමී වෙතැයි සිතීමට බොහෝ ඉඩ කඩ ඇත. මේ සියලු ආණ්ඩු පත් කෙරන්නේ අඩු ලුහුඩු කම් මැද වුවත් ප්‍රජාතාන්ත්‍රවාදී ක්‍රමයට ජනතාවගේ කැමත්තටය. ආණ්ඩු පත් කරන රටේ බහුතරය සිංහල වන අතර පත්වෙන වැඩිමනත් ජනතා නියෝජිතයෝද සිංහළුන් වෙති. අපි සුදනන් යැයි සිතන්නේ නම් ආණ්ඩු කරනවුන් එසේ නොවෙන්නේ ඇයිදැයි අපි තේරුම් ගන්නේ කෙසේද? 


මෑතකදී එක්තරා ජාත්‍යාන්තර සංවිධානයක් මඟින් නොයෙකුත් රටවල මිනිසුන් තම ආණ්ඩු කොතරම් දූෂිතයැයි සිතනවාදැයි මැන ගැනීම සඳහා සමීක්‍ෂණයක් කරන ලදී. මෙහිදී මනිනු ලැබුනේ ඒ ඒ රටවල මිනිසුන් තම තමන්ගේ ආණ්ඩුවල දූෂිතබව ඔවුන් දකින ආකාරයය (perception of corruption). විවිධ සංස්කෘති හරහා මෙවැනි සමීක්‍ෂණයක් සාධාරනව කල හැකිද යන්න ප්‍රශ්ණයකි නමුත් එය අමතක කර මේ සමීක්‍ෂණයේ ප්‍රතිඵල දෙස බැලුවොත් පැහැදිලිවම පෙනෙන්නේ බටහිර රටවල වෙසෙන මිනිසුන්ට වඩා සංස්කෘතියෙන් බටහිර නොවන රටවල වෙසෙන මිනිසුන් තමන්ගේ ආණ්ඩු දූෂිතයැයි සිතන බවය (http://www.transparency.org/cpi2012/in_detail). බටහිර නොවන සංස්කෘතිවල ආණ්ඩු වඩා දූෂිතයැයි එරටුන් හිතෙන්නේ ඇයි? අනිත් අතට බටහිරුන් ඔවුන්ගේ ආණ්ඩු එතරම් දූෂිත නොවේ යැයි සිතෙන්නේ ඇයි?


මිනිසුන් තම ආණ්ඩුවල දූෂිතබව අගයන්නේ ඔවුන්ගේ සංස්කෘතියට හා සදාචාරයට එනම් ඒ ඒ චින්තනයට සාපේක්‍ෂවය. මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. පසුගිය කාලයේ ඇමරිකානු බැංකු සහ රජයේ ආයතන මඟින් නිවාස ණය හා ආයෝජන සම්බන්ධයෙන් කෙරුනු විශාල පරිමාණයේ වංචා සහගත ක්‍රියා නිසා අද එරට ආර්ථිකය මහා ආගාදයකට ඇද වැටී ඇති බව පැවසේ. මීට මුල්වූ සමහර ආයතන ප්‍රධානින් මේ හරහා අතිවිශාල ධනවතුන් බවට පත්විය. නීති විරෝධී නොවුනත් ඔවුන් ඔවුන්ගේ ආයතන හා පුද්ගලික අභිවෘද්ධිය සඳහා ගත් ක්‍රියා මාර්ග නිසා සාමාන්‍ය මිනිසුන් මිලියන ගණනකගේ ආයෝජන හා ඉතිරි කිරීම් පරිහාණියට පත්වෙන බව ඔවුන් නොදැන සිටියා නොවන බව හෙලිවිය. මෙහි ප්‍රතිඵලය කොතරම් දරුණු වුනත් සාමාන්‍ය ඇමරිකානුවන් මේ ආයතන සමඟවත් ඒ ප්‍රධානීන් කෙරෙහිවත් එතරම් ද්වේශ සහගත වූ බවක් පෙනුනේ නැත. ලංකාවේ මෙවැනි වංචාවක් සිදුවිනි නම් මොවුන්ට පොල් ගෙඩි දෙක බැගින් ගසනු නියතය. නමුත් ඇමරිකානුවන් එතරම් සැලුනේ නැත. ඒ මන්ද යත් සාමාන්‍ය ඇමරිකානුවන්ද අර කියන ආයතන ප්‍රධානීන් සිටි තැන සිටියේ නම් ඔවුන්ද තම අභිවෘද්ධිය සඳහා වැඩ කරගැනීමට කිසිදු ලෙස මැලි නොවෙන බව ඔවුන් දන්නා බැවිනි. ඇමරිකානුවන් දකින ආකාරයට ඒ ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ සදාචාරයට පටහැනි දෙයක් කර නැත. මේ අනුව අපට පැහැදිලි විය යුත්තේ මිනිසුන් තම ආණ්ඩු දූෂිත යැයි සලකන්නේ තම තමන්ගේ සංස්කෘතියට හා සදාචාරයට සාපේක්‍ෂව මිස ඊනියා වාස්තවික අර්ථයකින් (absolute sense) නොවන බවය. 


ඒ අනුව ගත් විට ඉහත සමීක්‍ෂණයේ ප්‍රථිපල වලින් කියවෙන්නේ බටහිර රටවල ආණ්ඩු තම සදාචාරයට එකඟව ක්‍රියාකරන නිසා ඒ මිනිසුන් තම ආණ්ඩු එතරම් දූෂිත නැතැයි සිතන බවත් බටහිර නොවන රටවල ආණ්ඩු තම සදාචාරයට පටහැනිව ක්‍රියාකරන නිසා ඒ මිනිසුන් තම ආණ්ඩු වඩා දූෂිත යැයි සිතන බවත්ය. බටහිර ආණ්ඩුවලට ඔවුන්ගේ සදාචාරයට එකඟව ක්‍රියාකිරීමට හැකිත් බටහිර නොවන ආණ්ඩුවලට ඔවුන්ගේ සදාචාරයට එකඟව ක්‍රියාකිරීමට නොහැකිත් ඇයි? එයට ප්‍රධාණ හේතුව ආණ්ඩු කරවන ක්‍රමවේදය යැයි මම සිතමි.


අද සමස්ථයක් ලෙස ලොව පුරා ස්ථාපිත වී ඇත්තේ සුළු වෙනස්කම් සහිතව වුනත් බටහිර ආකෘතියේ ආණ්ඩු ක්‍රමය. මේ ක්‍රම පැහැදිලිවම එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාව වැනි බටහිර රටවල අත්හදා බැලූ ඔවුන්ගේ චින්තනයට ගැලපෙන ක්‍රමය. එය බටහිර නොවන රටවලට ඔබා ඇත්තේ සංස්කෘතික ආර්ථික හා යුදමය බලපෑම් මඟිනි. ඒ ක්‍රම බටහිර සදාචාරයට ගැලපුනත් බටහිර නොවන රටවල සංස්කෘතියට හා සදාචාරයට නොගැලපේ. ඒ නොගැලපෙන ක්‍රමය තුලින් බිහිවෙන්නේද ඒ රටවල සංස්කෘතියට හා සදාචාරයට නොහිඹිනා ලෙස කටයුතු කරන ආණ්ඩුය. අනිත් අතට බටහිර රටවල ආණ්ඩුවලට ඔවුන්ගේ සංස්කෘතියට එකඟව ක්‍රියාකල හැක්කේ ඔවුන් අනුගමණය කරන ඔවුන් විසින් නිර්මාණය කරගත් ආණ්ඩු ක්‍රමය ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන නිසාය. 


අපි බටහිර සංස්කෘතියට සියවස් ගණනක් යටවී සිටියද එය අනුකරණය කලද අපි ඒ සංස්කෘතියට තවමත් මුලු මනින්ම අවශෝෂණය වී නැත. ඒ නිසා බටහිරුන්ගේ ආණ්ඩු ක්‍රමය අපේ සදාචාරයට ගැලපෙන්නේ නැත. උදාහරණයක් ලෙස අපේ සංස්කෘතියට අනුව අපි යුක්තිය පසැඳීමට සුදුසු අයෙකු යැයි සිතන්නේ පිං පව් හඳුනන දැහැමින් කල් ගෙවන උතුමකු මිස හුදෙක් නීතිය උගත් අයෙකු නොවේ. නමුත් බටහිර ආණ්ඩුක්‍රමය අපට දෙන්නේ උසාවි සහ නඩුකාර උතුමන්ය. ඒ උතුමන් උපාසකවරුන් විය යුතුයැයි අපට තීරණය කල නොහැකිය. අපි නායකයෙක් ලෙස සලකන්නේ අපේ දුක සැප විමසන අනාගතයට මඟ පෙන්වන්විය හැකි අපේ ගෞරවයට පාත්‍ර වන්නකු මිස චන්දය ඉල්ලා අප පසුපස එන අයෙකු නොවේ. අපේ ගම් වල බිහිවෙන ස්වභාවයෙන් නායකත්වය දැරීමට සුදුසු ගුණ ගරුක සදාචාරවත් මිනිසුන් නිතැතින්ම මන්ත්‍රීවරු බවට පත් නොවන්නේ ඇයි? එසේ නොවන්නේ බටහිර ආණ්ඩුක්‍රමයට අවශ්‍ය ජනතා නියෝජිතයින් මිස නායකයින් නොවන නිසාය. ඒ ක්‍රමයට අනුව නායකත්වය ඇත්තේ කේන්ද්‍රයේය. අපේ මන්ත්‍රීතුමා හුදෙක් එහි අපේ නියෝජිතයාය. මේ නියෝජිතයින්ට හා ඔවුන්ගේ ආයතන වලට සංස්කෘතියක් වශයෙන් අපි අපේක්‍ෂා කරන දේ ලබාදිය නොහැකිය. අනිත් අතට අපේ සංස්කෘතියේ නායකයින්ට මේ ආණ්ඩු ක්‍රමය තුල තැනක් නැත. අපිට අපේ ආණ්ඩු දූෂිත වන්නේ මේ නොගැලපීම නිසාය. 


මුල් අවධියේදී අපේ සංස්කෘතික නායකින්ට ආණ්ඩු බලය ලබා ගැනීමට අවස්ථාව තිබිනි. ඔවුහු අපි අපේක්‍ෂා කල පරිදි සංස්කෘතියට හා සදාචාරයට එකඟව කටයුතු කිරීමට උත්සාහ කලහ. නමුත් ඔවුන් ආණ්ඩුව විසින් යොදා ගත්තේ නියෝජිතයින් මිස ජන නායකයින් ලෙස නොවේ ඒ අතරම ඔවුන්ට බලයේ සිටීමට ඔවුන්ට නුහුරු පක්‍ෂ දේශපාලණය කල යුතුවිනි. නායකකම් ඉල්ලා යෑම අපේ සංස්කෘතියට තරම් නොවේ. මේ නිසා කල් යාමේදී සැබෑ සංස්කෘතික නායකයින් ආණ්ඩු ක්‍රමයෙන් ඉවත්වූ අතර බටහිර ක්‍රමයට වඩා සරිලන පිරිසක් ඒ තැන ගත්හ. නමුත් ඒ අය ජනතාවගේ සංස්කෘතික හා සදාචාරාත්මක අපේක්‍ෂාවන් සැපිරීමට සමත් නොවේ. එය අද සිටින මැති ඇමති වරුන්ගේ වරද නොවේ සමස්ථයක් ලෙස ගත්විට ඔවුන්ද සදාචාරාත්මකව සිටින්නේ අප සිටින වලේමය. වරද අපේ නියම සංස්කෘතික නායකින්ට තැනක් නොදෙන බටහිර ක්‍රමයයි. නමුත් බටහිරුන්ට නම් ඔවුන්ගේ ආණ්ඩුත් ඔවුන්ගේ අපේක්‍ෂාවනුත් හොඳින් ගැලපේ. ඔවුන් තම ආණ්ඩුවලින් මූලිකව බලාපොරොත්තු වන්නේ තමන්ගේ පුද්ගලික අයිතිය ආරක්‍ෂා කරදී ආත්මාභිවර්ධණයට ඉඩ පහසුකම් සලසාදීමය. එහිදී ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ නියෝජිතයින් හා කළමනාකරුවන් මිස නායකයින් නොවේ. බරක් ඔබාමා අපේ සංස්කෘතියට අනුව අපි සිතන ආකාරයේ ජාතික නායකයෙකුට වඩා ඇමරිකානු පරිපාළන යාන්ත්‍රණය හසුරුවන එහි ඉහලම කළමනාකරුවා යැයි හැඳින්වීම සුදුසුය. අපේ වැනි නායකයින් ඇමරිකානුවන්ට අවශ්‍ය නොවේ.  බටහිර ආණ්ඩු ක්‍රමය ඔවුන්ට අවශ්‍ය නියෝජිතයින්ද හා කළමනාකරුවන්ද ලබාදේ.


අපි බටහිර රටවලට ඔබින ක්‍රමවේදයකින් අපට සදාචාරාත්මකැයි සිතනදේ ලබාගැනීමට උත්සාහ කරමින් සිටිමු. එය නොගැලපෙන රෝද දැමූ වාහනයක් පදවන්නට යනවා වැනි නිෂ්ඵල ව්‍යායාමයකි. දුෂිත නොවෙන ආණ්ඩු තනා ගැනීමට එක්කෝ අපි බටහිර සංස්කෘතියට මුලු මනින්ම අවශෝෂණය විය යුතුය නැති නම් මේ ක්‍රමය අතහැරිය යුතුය.

2 comments:

  1. ඔයිට වඩා සරල වෙන්න පුරුදු වෙන්න .පවතින
    ක්‍රමයට අනුගත වෙන්න..අපිට කල හැකි
    වෙන කෙන්ගෙඩියක් නැත....

    ReplyDelete
  2. අපි මොන දේ කලත් නොකලත් බටහිර ආර්ථික හා දේශපාලන ක්‍රමය මුලු ලොවටම අදාල වන පරිදි ඉදිරියටත් පවත්වාගෙන යන්නට නොහැකි වනු ඇත.

    ReplyDelete