Wednesday, November 28, 2012

විද්‍යාත්මක ක්‍රමයට විජ්ජා පෙන්වීම

By Janaka Wansapura

එක් චින්තනයක බිහිවුනු දැනුම් පද්ධතියකින් ඊට වෙනස් චින්තනයක සංකල්ප ඒ අයුරින්ම තේරුම් ගැනීම හෝ එහි හරි වැරදි උරගා බැලීම එතරම් පහසු කරුණක් නොවේ. එසේ කිරීමට හැකිවෙන්නට නම් සැපිරිය යුතු අවශ්‍යතා මොනවාදැයි ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ. නමුත් බටහිරුන් මෙය ප්‍රශ්ණයක් ලෙස නොසලකන්නේ ඔවුන්ට අනුව තිබිය හැක්කේ ඊනියා යථාර්ථයක් පිළිබඳ ගෙතුනු එකම දැනුම් පද්ධතියක් පමණක් බැවිනි. මේ තිබිය හැකි එකම දැනුම් පද්ධතියට වඩාත්ම කිට්ටු පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය යැයි ඔවුන් පත්කර ගන්නේ බටහිර විද්‍යාවේ ඇති යම් විදග්ධ බවක් නිසා නොවේ. ඒ සඳහා ඔවුහු දේශපාලන ආර්ථික මෙන්ම යුධමය බලද යොදා ගනිති. ඒ අතර මන බැන්දුම් ද වේ. දැනුමේ ආධිපත්‍යය තුලින් ඔවුන් තනන්නේ බටහිර නොවන අනිකුත් ජාතීන් මනසින් තම යටතේ තබාගැනීමටය. නමුත් අප පෙළන සමහර බටහිර සංකල්ප ඔවුන්ගේ දැනුම් පද්ධතිය තුල පවා සංගත නොවේ. කතරගම ගිනි පෑගීම  ගැන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ පරීක්‍ෂණය මවිසින් සාකච්ඡාවට ගැනෙන්නේ මේ සන්දර්භය තුලය. පසුගිය දශක හතරක කාලයක් තිස්සේ විටින් විට විවිධ පුද්ගලයින් විසින් මතු කර දැක්වුනත් එතුමාගේ පරීක්‍ෂණය නිසා එදා මෙදා තුර කතරගම ගිනි පෑගීම නතරවී නැති බව කිව යුතුය. එපමණක් නොව පොදුවේ ලාංකිකයන් තුලවූ දෙවිවරුන් පිළිබඳ විශ්වාසයන්ට එම පරීක්‍ෂණය මඟින් බලපෑමක් නොවිනි යැයි සිතිය හැක්කේ අදාල පුද පූජා එදා මෙන් අදත් ජයටම කෙරීගන යන බැවිනි.

කතරගම බැතිමතුන් විශ්වාස කරන්නේ කතරගම ගිනි පාගන විට නොපිලිස්සී සිටීමට කතරගම දෙවියන්ගෙන් ඔවුන්ට යම් ආරක්‍ෂාවක් ලැබෙන බවය. නමුත් බැතිමතුන්ද ගිනි ගොඩ මත දුවති. එසේ නොදුවා එක තැන සිටගෙන කතරගම දෙවිඳුන්ගේ අනුහසින් පමණක් නොපිලිස්සී සිටීමට හැකි යයි ඔවුහු නොකියති. මේ පිළිබඳ මත භේදයක් නැත. එසේනම් කතරගම දෙවිඳුන් බැතිමතුන්ගේ පාද වලට ලබාදෙන ආරක්‍ෂාව ඔවුන් තම දිවීමෙන් ලබාගන්නා ආරක්‍ෂාවට අමතරව ලැබෙන ආරක්‍ෂාවක් විය යුතුය. ඒ නිසා බටහිර විද්‍යාඥයන් පරීක්‍ෂා කල යුත්තේ මෙසේ යම් අමතරව ආරක්‍ෂාවක් බැතිමතුන් හට ලැබේද යන්නයි.

බටහිර විද්‍යාවට අනුව මහාචාර්ය ෆොන්සේකා පෙන්වාදී ඇති පරිදි ගින්දර නිසා යමෙකුගේ පාදය පිලිස්සේද නැද්ද යන්න පාදයේ භෞතික ලක්‍ෂණත්, ගිනි ගොඩෙහි භෞතික ලක්‍ෂණත්, ස්පර්ශ කාලයත් මත රඳා පවතී. මේ අනුව පාදයේ මෙන්ම ගිනි ගොඩේත් යම් යම් භෞතික අගයන් වලදී පිලිස්සීම සඳහා ගිනි ගොඩ මත පය රැඳවිය යුතු අවම කාලය ගනණය කල හැකිය. මෙය අවම ස්පර්ශ කාලය යැයි හඳුන්වමු. අවම ස්පර්ශ කාලය ගිනි ගොඩටත් ඒ මත දුවන්නාටත් ආවේනිකය. යමෙකු ගිනි ගොඩ හරහා වේගයෙන් දිව යද්දී ඔහුගේ පාදය ගින්දර සමඟ ස්පර්ශව පවතින කාලය ඔහුගේ අවම ස්පර්ශ කාලයට වඩා අඩු නම් පාදය නොපිලිස්සෙනු ඇත. එම කාලය ඔහුගේ අවම ස්පර්ශ කාලයට සමාන නම් හෝ ඊට වඩා වැඩි නම් පාදය පිලිස්සෙනු ඇත.  ඒ අනුව විද්‍යාඥයන්ට උපකල්පණය කල හැක්කේ කතරගම දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාවක් නැති අයෙක් ඔහුගේ අවම ස්පර්ශ කාලයට අදාල වේගයෙන් දිව ගිය හොත් ඔහු පිලිස්සෙනු බවත්  කතරගම දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාවක් ඇති අයෙක් ඔහුගේ අවම ස්පර්ශ කාලයට අදාල වේගයෙන් දිව ගියත් ඔහු නොපිලිස්සෙනු බවත්ය. පරීක්‍ෂණය සැලසුම් කල යුතුව තිබුනේ මේ උපකල්පණයේ සත්‍ය අසත්‍ය බව විමසීමටය.

මහාචාර්ය ෆොන්සේකා කලේ් කතරගම දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාවක් නැතැයි සැලකිය හැකි පිරිමි පස් දෙනෙකු කතරගම ගිනි මැළයට සමාන ගිනි මැලයක් හරහා දිවවීමය. ඔවුන්ගේ පාද පිලිස්සුනේ නැත. මේ පිරිමි පස් දෙනාගේ පාද නොපිලිස්සුනේ ඇයි? මහාචාර්යතුමා එතෙක් දැනගෙන සිටි කරුනු වලට අනුව ඔහු අනුමාණ කල යුතුව තිබුනේ එසේ නොපිලිස්සුනේ මේ පිරිමි පස් දෙනා ඔවුන්ගේ අවම ස්පර්ශ කාල නොඉක්මවූ නිසා බවය. ඒ බව නොකියා මහාචාර්යතුමා පවසන්නේ නොපිලිස්සී ගිනි පෑගීම සඳහා මස් මාංශ වැලඳීමෙන්, මත්පැන් පානයෙන් සහ ලිංගික කටයුතු වලින් වැලකී සිටීම අනවශ්‍ය බවය. එසේත් නැත්නම් නොපිලිස්සී ගිනි පෑගීම සඳහා කතරගම දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාවක් අනවශ්‍ය බවය. මේ නිගමණය නිවැරදි නොවේ. මොවුන් ගිනි ගොඩ මත අවම ස්පර්ශ කාලය ඉක්මවා ගත කලේ නම් ඔවුන් පිලිස්සෙන්නේ නැද්ද? නමුත් එසේ ගොස් ඔවුන් පිලිස්සුනත් කතරගම දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාව ගැන මේ පරීක්‍ෂණයෙන් යමක් කිව නොහැක්කේ එයට කතරගම දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාවක් ඇති අය සහභාගී කරවා නැති බැවිනි. එය පරීක්‍ෂණයේ අසමත් බවකි. මහාචාර්යතුමාට උවමනා වුනේ දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාව පිළිබඳ සාධරණ පරීක්‍ෂණයක් කරන්නද එසේත් නැත්නම් බැතිමතුන්ගේ විශ්වාසය බොරු යැයි ප්‍රදර්ශණය කිරීමටද?

බටහිර විද්‍යාඥයන් පරීක්‍ෂා කල යුත්තේ කතරගම දෙවිඳුන් විසින් තම බැතිමතුන්ට ඔවුන් තම දිවීමෙන් ලබාගන්නා ආරක්‍ෂාවට අමතරව යම් ආරක්‍ෂාවක් ලබා දෙන්නේද යන්නය. ඒ සඳහා ෙසෙද්ධාන්තික ආකෘතියක් මුලින්ම නිර්මාණය කර පරීක්‍ෂණයට සහභාගි වන්නන් ගේ අවම ස්පර්ශ කාලය ගනණය කර ගත යුතුය. නමුත් මහාචාර්ය ෆොන්සේකා ගිනි පෑගීමට අදාල ෙසෙද්ධාන්තික ආකෘතියක් නිර්මාණය  කර නැත. කෙසේ වෙතත් බැතිමතුන්ට කතරගම දෙවිඳුන්ගෙන් ආරක්‍ෂාවක් ලැබේදැයි නිශ්චිතව දැන ගැනීමට නම් ඔවුන්ට අනුව උන් වහන්සේගේ ආරක්‍ෂාව ඇතැයි සැලකෙන මිනිසුන් කන්ඩායමක් යොදවා ගත යුතුය. එසේ නොයෙදවා බටහිර විද්‍යාත්මක ක්‍රමයට ඉහත උපකල්පණය පිලිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය නොහැක.

කෙසේ වෙතත් මේ පරීක්‍ෂණය පිළිබඳව බටහිර විද්‍යාවට නැති ප්‍රශ්ණ සිංහල බෞද්ධ විද්‍යාවට තිබේ.  පිලිස්සීම සඳහා ගිනි ගොඩ මත පය රැඳවිය යුතු අවම කාලය (අවම ස්පර්ශ කාලය) ගනණය කිරීමේදී බටහිර විද්‍යාව පයට දැනෙන වේදනාව නොසලකා හරියි. ඒ අනුව කෙනෙකුගේ අවම ස්පර්ශ කාලය මැනිය යුත්තේ ඔහු නිර්වින්දනය කරය. නිර්වින්දනය කර මැනගත් අවම ස්පර්ශ කාලය ඔහුට වේදනාව දැනෙනවිට ක්‍රියාත්මක වෙන අවම ස්පර්ශ කාලයට සමානයැයි එයට සාධක නැතත් ඔවුහු උපකල්පණය කරති. එනම් බටහිර විද්‍යාවට අනුව වේදනාවෙන් පිලිස්සීමේ ප්‍රමාණාත්මක අගයට බලපෑමක් නැත. එනම් එක් එක් අයට දැනෙන වේදනාව අඩු වැඩි විය හැකිමුත්  එක සමාන පාද යම් උශ්ණත්වයක ඇති වස්තුවක්් මත යම් කාලයක් තැබීමෙන් ඇතිවිය හැකි පිලිස්සීම් එක සමානවේ.  බටහිර විද්‍යාවට පිලිස්සීම වාස්ථවික වන්නේ උශ්ණත්වය වාස්ථවිකව මැනගත හැකියැයි සිතන නිසාය. බටහිර විද්‍යාවට අනුව වස්තු වලට උශ්ණත්ව මාපක යොදා මැන ගත හැකි වාස්ථවික උශ්ණත්ව ඇත. උදාහරණයක් වශයෙන් රසදිය මාපකයක රසදිය කඳේ දිග අඩු වැඩි වීම අනුව එය තබා ඇති වස්තුවේ උශ්ණත්වය වාස්ථවිකව දැන ගත හැකියැයි කියවේ. නමුත් රසදිය කඳට උනුසුම දැනේ යැයි බටහිර විද්‍යාව නොකියයි. එසේනම් එහි දිග අඩු වැඩි වන්නේ ඇයි? බටහිර විද්‍යාවට අනුව රසදිය කඳේ දිග වෙනස් වීම පහදා දිය හැක්කේ උශ්ණත්වය සහ වස්තු වල ප්‍රසාරණය පිළිබඳ බටහිර තාප භෞතික විද්‍යාවේ ගෙතෙන කථාවක් උපයෝගී කරගෙනය.  ඒ අනුව පෙනෙනනේ උශ්ණත්වය මනින උපකරණයටවත් සංකල්පයකින් තොරව උශ්ණත්වයක් දැන ගත නොහැකි බවය. එසේ නම් එම උපකරණයෙන් මනින වස්තුවට ඒ කථාවෙන් තොරව උශ්ණත්වයක් තිබිය හැකිද? නොහැකිය. කොටින්ම එම කථාව නැතුව උශ්ණත්වය යන බටහිර සංකල්පයම නැත. එසේ නම් උශ්ණත්වය පිළිබඳ බටහිර සංකල්පය ඊනියා වාස්ථවිකවූ යථාර්ථයක් නොවේ. වාස්ථවික නොවන්නේ එය ඒ පිළිබඳ කථාවට සාපේක්‍ෂ බැවිනි.  යථාර්ථයක් නොවන්නේ ඒ පිළිබඳ කථාව නැතිව උශ්ණත්වය පිළිබඳ බටහිර සංකල්පයට පැවැත්මක් නැති නිසාය.

උශ්ණත්වය වාස්ථවිකවූ යථාර්ථයක් නොවේ නම් ඒ සංකල්පය මත ගොඩ නැඟුනු පිලිස්සීමද වාස්ථවිකවූ යථාර්ථයක් නොවේ. නමුත් උශ්ණත්වය හා පිලිස්සීම පිළිබඳ සංගත කථාවක් බටහිර විද්‍යාවේ ඇත. අවම ස්පර්ශ කාලය එහි අංගයකි. ඒ කථාව අළලා කෙරෙන මිනුම් සුලු අඩු පාඩු තිබුනත් බොහෝ මිනිසුන්ට සාධාරණ විය හැකිය. ඒ පොදුවේ මිනිසුන් අතර ඇති භෞතික වෙනස්කම් අඩු නිසා විය යුතුය. නමුත් බටහිර විද්‍යාඥයන් පවසන්නේ මේ කථාව සියලු මිනිසුන්ට සත්‍ය බවය. නමුත් උශ්ණත්වය හා පිලිස්සීම වාස්ථවිකවූ යථාර්ථ නොවේ නම් එය සියලු මිනිසුන්ට සත්‍යයැයි කීමට පදනමක් නැත.

සිංහල බෞද්ධ විද්‍යාවට අනුව පයට දැනෙන වේදනාවත් ඇතුලු මේ සියලු සංකල්ප මනසේ නිර්මාණවේ. මේ සංකල්ප වාස්ථවිකවූ යථාර්ථ නොවේ නම් ඒවා මනසේ නිර්මාණ විය යුතුය. එනම් වේදනාව, උශ්ණත්වය හා පිලිස්සීම යන සංකල්ප නිර්මාණය වෙන්නේත් ඒවාට ප්‍රමාණාත්මක අගයන් ලැබෙන්නේත් ඒ ඒ අයගේ මනසට සාපේක්‍ෂවය. මනස් දියුනු කල අයටත් දෙවියන්ගේ අනුහස් ඇති අයටත් ඒ ඒ අයගේ මනසට සාපේක්‍ෂව මේ සංකල්ප නිර්මාණය කර හසුරුවා ගත හැකි නම් එය උශ්ණත්වය හා පිලිස්සීම පිළිබඳ බොහෝ මිනිසුන්ට පොදු සම්මත කථාවකින් වෙනස් වනු ඇත. එසේ නිර්මාණය කෙරෙන උශ්ණත්වය හා පිලිස්සීම පිළිබඳ කථාව බටහිර කථාව මෙන් වියුක්ත එකක් නොව එය ඔහුටත් දෙවියන්ගේ අනුහස ඇත්නම් දෙවියන්ටත් අදාල වූ සංයුක්ත කථාවක් වනු ඇත. එහි වියුක්ත බවක් නොමැති නිසා යමෙකුට එහි සත්‍ය අසත්‍යය පරීක්‍ෂා කිරීමට නම් ඔහු ඒ මනස් දියුනු කල හෝ දෙවියන්ගේ අනුහස් ඇති අය හෝ ගිය මඟ අනුගමනය කිරීම හැර වෙන කල හැකි දෙයක් නැත.

No comments:

Post a Comment