Monday, November 26, 2012

අධ්‍යාපන විශමතාව

 By Janaka Wansapura

මෙරටුන් බටහිර අධ්‍යාපනය ලබන්නට පටන් ගත්දා සිටම අධ්‍යාපනයට සැලකුවේ බටහිර සංස්කෘතිය විසින් මෙරට නිර්මාණය කරන ලද සමාජ ධූරාවලියේ ඉහලට යා හැකි හිනි මඟක් ලෙසින් යැයි කිව හොත් එය අතිශෝක්තියක් නොවේ. සුළුතරයකට හිමිව තිබූ මේ හිනි මඟ නිදහස් අධ්‍යාපනය විසින් පොදු ජනතාවට අයිති කර දිනි. එමඟින් බටහිරුන් විසින් මෙරට බිහි කරන ලද සමාජ විශමතාව යම් දුරකට සමනය වුනු බව සත්‍යය. කොටින්ම බටහිර සමාජ ක්‍රමය විසින් නැති බැරි යැයි හැඳින්වුනු අයට එම ක්‍රමය තුලම ඇති හැකි අය බවට පත් වීමට බටහිර අධ්‍යාපනය හරහා හැකියාවක් ලැබිනි. අඩු තරමින් බටහිර අධ්‍යාපනය හරහා එසේ වන බව විශ්වාසයක් පොදු ජනයා අතර ගොඩ නැගී තිබිනි. නමුත් අද මේ ක්‍රියාවළිය ක්‍රමයෙන් උඩු යටි කුරු වෙමින් පවතී. අද බටහිර අධ්‍යාපනයෙන් ඇති හැකි අයට වඩාත් ඇති හැකි අය බවට පත්විය හැකි නමුත් නැති බැරි අයට අධ්‍යාපනය ලැබීමෙන් පමණක් ඔවුන් හා ඇති හැකි අය අතර ඇති පරතරය අඩු කර ගැනීමට ඇති ඉඩ කඩ සීමිතය. වර්තමාන බටහිර අධ්‍යාපනය තුලින්ම සමාජ විශමතාවක් ඇති කරවයි. ඒ නිසා අධ්‍යාපනය තුලින් පොදු ජනතාව අපේක්‍ෂා කරණ සාධරණය ඉටු නොවේ.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශමතාවන්ට දෙමව්පියන් ප්‍රථමයෙන් මුහුණ දෙන්නේ තම දරුවන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදීය. එහි දී ඇති හැකි අයට වැඩි වටිනාකමක් ඇති අධ්‍යාපනයක් සැපයේ යැයි පිළිගැනෙන පාසල් වලට තම දරුවන් ඇතුලත් කර ගත හැකි වන අතර නැති බැරි උදවියට හිමි වන්නේ ඊට වඩා අඩු වටිනා කමක් ඇතැයි පිළිගැනෙන පාසල්ය. මේ විවිධ වූ පාසල් වලින් දරුවන් ලබා ගන්නේත් එකම වටිනාකමකින් යුත් දැනුමක් නොවේ. සමහරු දේශීය විභාග වලට මුහුණ දෙන අතර තවත් සමහරු විදේශීය විභාග වලට මුහුණ දෙති. මේවායේද සමාජගත වටිනා කම් වෙනස්ය. මේ විභාග සඳහා වන උපකාරක පංතිද විවිධ මිල ගණන් වලට ඇති අතර ඒ පුහුණුව දරුවන්ට ලැබෙන්නේද දෙමව්පියන්ට ඇති හැටියෙනි. පාසල් අධ්‍යාපනය නිම කරන දරුවෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් විවිධ පාඨමාලා වලට යොමු වෙති. මේ පාඨමාලා වලටද ඇත්තේ විවිධ වටිනාකම්ය. දරුවන් මේ පාඨමාලා තෝරා ගන්නේ තම දෙමව්පියන්ට ඇති හැටියෙනි. මේ අතර සුලු කොටසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබති. මෙතැනදී ද ඇති හැකි දෙමව්පියන් සුලු පිරිසක් තම දරුවන් විදේශ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා අතර සෙස්සන්ට හිමි වන්නේ අඩු වටිනාකමක් ඇතැයි සැලකෙන රජයේ විශ්ව විද්‍යාලය. රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන තරුණයන්ද තම ඇති හැටියෙන් අමතර පාඨමාලා වලට කාලය සහ මුදල් වැය කරන්නේ උපාධියේ වටිනාකම වැඩි කර ගැනීමටය. මේ කිසි දෙයක් කර ගැනීමට නොහැකි වත්කමක් නැති අති විශාල බහුතරයක් තම ප්‍රාර්ථනා කඩ කරගනිමින් සමාජයේ මුල්ලකට තල්ලු වෙති. පොදු සමාජය තුල ඇති විශමතාව එලෙසම අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුලද බල පවත්වන්නේ මේ අයුරිනි.

නමුත් මේ ඊනියා වටිනා කම් අතර ඇති වෙනසෙහි අතිමහත් බව හුදු මවා පෑමක් පමණි. විවිධ මිළ ගනන් වලට විකුනුනත් උසස් හෝ පහත් යැයි සැලැකන ආයතන වලින් ලබා ගත්තත් මේ ලැබෙන විවිධ අධ්‍යාපනයන්හි ගුණාත්මක බවෙහි එතරම් වෙනසක් නැත. නමුත් වටිනාකම් අතර වෙනසක් පමණක් අප රට තුල මවාගෙන ඇත. උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර පාසල් වලට ඊනියා වටිනාකමක් ලැබෙන්නේ එහි ඉංග්‍රීසියෙන් ඉගැන්වෙන නිසාත් ඊට සමාන්තරව ඉන් බටහිර සංස්කෘතික අභාෂයක් ලැබෙන නිසාත්ය. සමහර ජාත්‍යන්තර පාසල් තම වටිනාකම වැඩි කරගෙන ඇත්තේ හුදෙක්ම වැඩි ගාස්තුවක් අය කර ගනිමිනි.  තවත් සමහර පාසල් තම උසස් බව කියා පෑමට සුදු ජාතික ගුරවරු යොදා ගනිති (නමුත් මෑතකදී එංගලන්තයේ හොඳම භෞතික විද්‍යා ගුරුවරයා ලෙස පිදුම් ලද්දේ ශ්‍රී ලාංකික උපාධිධාරයෙකි) අඩු තරමින් සුදු ජාතිකයකු පාසලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙසවත් ගෙන්වා ගනිති. තවත් පාසල් බටහිර සංස්කෘතියේ උසස් යැයි සැලකෙන නම් වලින් හඳුනා ගනිති, අඩුම තරමින් පාසල් නිල ඇඳුමින් හෝ රජයේ පාසල්වලින් වෙනස් වීමට බලති.

නමුත් මේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමෙහි ඇත්තේ පුහු වටිනාකමකි. නිදසුනක් ලෙස රජයේ පාසලින් සිංහලෙන් ඉගෙනගෙන රජයේ සිංහල උසස් පෙළ විභාගය සමත් වී රජයේ විශ්ව විද්‍යාලයේ සිංහලෙන් උපාධිය හදාරා බටහිර රටවලට ගොස් ඊනියා වැඩි වටිනාකම් ඇතැයි සැලැකෙන රැකියා කරන අය එමට සිටිති. මොවුන්ට ලංකාවේදී ඉංග්‍රීසියෙන් ඉගෙන නොගැනීම වත් ජාත්‍යන්තර පාසල් වල ඇති බටහිර සංස්කෘතික ආභාශය නොලැබීම වත් ප්‍රශ්ණයක් වී නැත. මෙයින් පෙනෙන්නේ මේ ජාත්‍යන්තර පාසල් වල වැඩි වටිනාකමක් ලබා දෙන අධ්‍යාපනයට ජාත්‍යන්තරව එතරම් වටිනාකමක් නැති බව නොවේද? මොවුන්ට බටහිර රටක තම උපාධියට සරිලන රැකියාවක නිරත විය හැකි නම් කොළඹ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක එවැනිම රැකියාවක් ලබාගත නොහැකි වීමට හේතුවක් තිබිය හැකිද? පෞද්ගලික ව්‍යාපාරික ආයතන වල රජයේ උපාධියට අද අඩු වටිනාකමක් දෙන්නේ ඒ උපාධිධාරීන්ගේ උගත් කමේ අඩුවක් නිසා නොව ඔවුන්ට එවැනි බොහෝ ආයතනවල පවත්වාගෙන යන බටහිර සංස්කෘතික පරිසරයට අනුගත විය නොහැකිය යන පදනම මත බව රහසක් නොවේ. ඇතමෙක් රජයේ විශ්ව විද්‍යාලවල තත්වය උසස් කරන්නට යොජනා කරන්නේද අවසානයේ ගත් කල බටහිර සංස්කෘතික පරිසරයට අනුගත විය හැකි පුහුණුවක් උපාධි අපේක්‍ෂකයන්ට ලබා දීම මඟිනි. මෙවැනි පුහුණුවකින් උපාධි අධ්‍යාපනයේ වටිනාකම වැඩිවේ යැයි අප පිළිගත යුතුද?

මේ මවා පෑම නිසා වැඩියෙන්ම පීඩාවට ලක් වන්නේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යපනය ලබන දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ය. මේ මවා ගත් වෙනස නැති කල හැක්කේ රටේ ආකල්ප වෙනස් කිරීමෙන් පමණි. නිර්දිශ්ටවම ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමේත් ඊට සමාන්තරව බටහිර සංස්කෘතික අනුකරණයේත් අධ්‍යාපනික වටිනාකමක් නැති බව සමාජයට ඒත්තු ගැන්විය යුතුය. රජයට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් ඇත. එනම් දැනටමත් යෝජනා වී ඇති පරිදි ජාත්‍යාන්තර පාසල් සමඟ තරඟ කල හැකි ප්‍රාථමික හා ද්විතීයික පාසල් රට පුරා පිහිටුවීමය.

තවම අප රටේ පාසල් අධ්‍යාපනය අප සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත. කැම්පස් සංස්කෘතියේ මෙන් නොව එහි ගුරුවරු දරුවන් යහ මඟ යැවීම තම වගකීම ලෙස සලකති. දරුවෝද ගුරුවරුන්ට ගෞරව පූර්වක වෙති. පාසලේ පරිසරය පංසලේ පරිසරයෙන් වඩා ඈත් නොවේ. මේ නිසා බොහෝ ප්‍රාථමික හා ද්විතීයික පාසල් තවමත් ඇත්තේ රටේ හදවතට කිට්ටුවෙන්ය. නව පාසල් ඇති කල යුත්තේද මේ පාසල් සංස්කෘතිය එලෙසම හෝ ඊටත් වඩා හොඳින් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගත වෙන ආකාරයටය. ඒ පාසල් ජාත්‍යාන්තර පාසල් සමඟ තරඟ කල යුත්තේ ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් වත් බටහිර සංස්කෘතික ආභාශයක් ලබාදීමෙන්වත් නොවේ. නමුත් ඒවාට ජාත්‍යාන්තර පාසල් වලට වඩා රටේ පිළිගැනීමක් ලබා දිය යුතුය. මෙවැනි සුපිරි පාසල් කිහිපයක් දැනටමත් ප්‍රධාන නගරවල ඇත. කල යුත්තේ එවැනි පාසල් ගණනින් වැඩි කිරීමය. සුපිරි වීමේ බලාපොරොත්තුවෙන් එහි ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට වත් ආයාසයෙන් බටහිර සංස්කෘතික ආභාශයක් ලබාදීමට වත් නොයා යුතුය. කල යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික පරිසරයක හිඳිමින් වැඩි වටිනාකමක් ඇතැයි සමාජයේ පිළිගැනෙන අධ්‍යාපනයක් දීම පමණි.


No comments:

Post a Comment