Friday, November 30, 2012

ආත්මාභිවර්ධණය

By Janaka Wansapura

කිසි හිරියක් සංයමයක් නැතිව තම අභිවෘද්ධිය තකාම වැඩ කටයුතු කිරීම ශීලාචාර නොවෙන බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ හැඟීමය. එසේ සිතන්නේ කිසිවෙක් තම අභිවෘද්ධිය උදෙසා කටයුතු නොකර ඉඳිනා නිසා නොවේ. නමුත් එලෙස කටයුතු කිරීමේදී යම් සංවර බවක් නිහතමානී බවක් හා යම් සීමාවක් තිබිය යුතුය යන්න ඔවුන්ගේ අදහසය.  සිංහල බෞද්ධ සංස්කෘතිය තුල එලෙස නිහතමානී වීම හුදෙක් කෙනෙකුගේ සද් ගුණයක් පමණක් නොවේ එය ඔවුන්ට සදාචාරාත්මක රීතියකි.  ඒ නිසා යමෙකු කිසි හිරියක් සංයමයක් නැතිව තමන් වෙනුවෙන් වැඩ කටයුතු කරනු දැකීම සිංහල බෞද්ධයන්ට රුස්සන්නේ නැත. නමුත් බටහිර සංස්කෘතිය මේ ශීලාචාර බව පිළි නොගනී. බටහිර සංස්කෘතිය තුල අයෙකුට තම අභිවෘද්ධිය උදෙසා සිත් සේ කටයතු කිරීමට සදාචාරාත්මක වැට කඩොලු නැත. අනුන්ගේ ඒ අයිතියට බාධාවක් නොවන තාකකල් (ඔවුන් සිතන පරිදි) තම අභිවෘද්ධිය උදෙසා තමුන්ට රිසි පරිදි වැඩ කර ගැනීමට අයිතියක් ඇතැයි ඔවුහු සලකති. අද බටහිර සංස්කෘතිය ඔවුන්ගේ මේ අශීලාචාර බව ශීලාචාර බවක් ලෙස සලකන්නට අපට බල කර සිටී. එමඟින් ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට තැත් කරති. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්‍ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති.

පෘතග්ජන වූ අපි මේ භවය පුරා මිල මුදල් යාන වාහන ඉඩ කඩම් නෑදෑ හිත මිතුරන් දූ දරුවන් බල පුලුවන්කාරකම් ගරු නම්බුකාරකම් එක් රැස් කරමින් සිටින්නෙමු. මේ සියලු දේ එකතු කිරීමෙන් කෙරන්නේ මම යන සංකල්ප අප තුල තවදුරටත් තහවුරු වීමය. ඒ නිසා ඒ දෑ කෙරෙන්නේ ආත්ම අභිවෘද්ධිය සඳහායැයි සැලකිය හැකිය. නමුත් ආත්ම අභිවෘද්ධිය අරභයා කරන කටයුතු වලින් අවසානයේ දුකක් ගෙනදෙන බව අවබෝධ නොවුනත් අඩු තරමින් එය එසේ වේ යැයි දැඩි විශ්වාසයක් අප තුල ඇත. ඒ බුදුන් වහන්සේ විසින් සියලු දෑ අනාත්මයැයි වදාරා ඇති බැවිනි. බුදු බණ අනුව යමින් අපි මතු භවයකදී හෝ අනාත්ම බව අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තු වෙන් සිටින්නෙමු. ඒ නිසා මේ භවයේ දීත් සිංහල බෞද්ධයන් ආත්ම අභිවෘද්ධිය අරයා වැඩ කරන්නේ ලැජ්ජා භය ඇතුවය. සංයමයකින්ය.

ආත්මාභිවර්ධණය හරහා පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමක්ද සිදුවේ. සිංහල බෞද්ධ දැනුමට අනුව ලෝකයෙන් ස්වායත්තවූ මම යැයි කෙනෙකුගේ පැවැත්මක් අප විසින් වෙන් කර ගන්නේ අවිද්‍යාව නිසාය. ලෞකික වශයෙන්ද සිංහල බෞද්ධ සමාජය තුල අයෙකුට කැපී පෙනීමට එතරම් බධාවක් නැති වුවත් වෙන් වී සිටීමට එතරම් ඉඩක් නොදෙන්නේ මේ දැනුම පදනම් කරගෙන විය යුතුය. වෙන්වීමට ඉඩ නොදීමේ ලක්‍ෂණය අප සංස්කෘතියේ පුද්ගල නාම භාවිතා වෙන ආකාරයෙන්ම පිළබිඹු වෙයි. සිංහලයන් ගේ නම් යෙදෙන්නේ එක්කෝ අහවලා ගේ අහවලා නැත්නම් අහවල් ගමේ අහවලා යන ආකාරයටය. එහි පුද්ගලයාට ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මකි. ඔහු සමාජයෙන් ස්වායත්තව පවතින අයෙකු නොවේ. ඒ අනුව යමින් ශ්‍රී ලාංකිකයෝ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ සමාජයෙන් ස්වායත්තව කටයුතු කිරීමට ලැජ්ජාවක් සහ බයක් දක්වති.
අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ බුදු දහමින් ලද ආභාශය නිසා ආත්ම අභිවර්ධණය කෙරෙහි වූ මේ ලැජ්ජා භය අද අපේ සංස්කෘතියේ සදාචාරාත්මක රීතියක් බවට පත් වී ඇත. අප විසින් පමුණුවා ගත් මෙවැනි සදාචාරාත්මක රීති අප සමාජය සමස්තයක් ලෙස බුදු මඟට යොමු කරවන බව පැහැදිලිය. පරම්පරාවෙන් පරම්පරාවට මේ ගතිගුණ දායාද කර දීමට අපට හැකි වී ඇත්තේද එය සදාචාරාත්මක රීතියක් ලෙස සමාජ සම්මත වී තිබෙන නිසාවෙනි. අවසානයේ ජාතියක් වශයෙන් අපගේ පැවැත්ම රඳාපවත්නේද මේ සදාචාරාත්මක රීති රැක ගැනීම මතය. මේ නිසාම ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට බටහිරයෝ අද වලිකති. ආත්මාභිවර්ධණය සුභවාදීව දකින යුදෙව් ක්‍රිස්තියානි චින්තනය එය අසුභවාදීව දකින සිංහල බෞද්ධ චින්තනයට හාත්පසින්ම විරුද්ධය. ඔවුහු තම ආධිපත්‍යය උපයෝගී කර ගනිමින් ආත්මාභිවර්ධණයට හරස් කැපීම පුද්ගල නිදහස සීමා කිරීමක් බවත් එවැනි සදාචාරාත්මක රීති පවත්වාගෙන යාම මිනිස් විකසනයේ ආපස්සට යාමක් බවත් කියමින් අපේ සදාචාරාත්මක දැනුම යටපත් කරන්නට උත්සාහ කරති. නමුත් ඒ උත්සාහය පදනම් විරහිතය.

අපෙන් සැඟවුවත් බටහිර සංස්කෘතියේද මේ ආකාරයේ නමුත් මීට විරුද්ධ අදහසක් ඇති සදාචාරාත්මක රීතියක් ඇත. ඊට අනුව පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරෙන අතර ඔහු තම ආත්මාභිවර්ධණය සඳහා කටයුතු කල යුතුවේ. බටහිර සංස්කෘතිය තුල අවශ්‍යය අයෙකුට සමාජය හා බැඳී සිටීමට ඉඩක් නැත. ඔවුන් සමාජයෙන් වෙන් කරනු ලබන්නේ අප සංස්කෘතියට අනුව නම් හයක් හතරක් නොතේරෙන කුඩා අවධියේ දීමය. මෙසේ වෙන් කෙරෙන දරුවා මහලු විය දක්වාම තමාගේ පැවැත්ම උදෙසා ආත්මාභිවර්ධණය කර ගත යුතුය. මේ රීතියට එරෙහි වන්නන් බටහිර සමාජයට රුස්සන්නේ නැත. ඒ බටහිර සංස්කෘතියේ සදාචාරයය. එය මිනිස් විකසනයේ ඉදිරියට යාමක්ද ආපස්සට යාමක්ද යන්න අවශ්‍ය අයෙකුට තීරණය කල හැකි නමුත් හුදෙක් සදාචාරාත්මක රීති පැණවීම ගැන අපට එරෙහි වීමට බටහිර සංස්කෘතියට ඉඩක් නැත්තේ එම සංස්කෘතියේද එවැනි රීති ඇති නිසාය.

ඊළඟට බටහිරයන් පවසනු ඇත්තේ ආත්මාභිවර්ධණයට බාධා කිරීම තුලින් අපි පුද්ගලයින්ගේ නිදහස සීමාකරන බවය. එක් අයෙකුගේ ආත්මාභිවර්ධණය තව කෙනෙකුගේ ආත්මාභිවර්ධණයට බාධාවක් නොවේ නම් එහි ඇති වරද කුමක් දැයි ඔවුන් අසනු ඇත. එවිට අප පෙරළා ඇසිය යුත්තේ අන් අයට කිසි බලපෑමක් නොකර තම ආත්ම අභිවෘද්ධිය අරභයා සීමා රහිතව කටයුතු කර ගෙන යාමට කෙනෙකුට හැකිද කියාය. එය කල නොහැකිය. ආත්මාභිවර්ධණයට බටහිර සංස්කෘතිය තුල සදාචාරාත්මක වැට කඩොළු, එනම් ස්වයං බාධක, නැති බව සත්‍ය නමුත් කෙනෙකු එසේ කටයුතු කිරීමේදී බාහිරෙන් ඇතිවෙන බලපෑම් වලට අනිවාර්යයෙන් මුහුණ දීමට සිදුවේ. එහිදී එක්කෝ ඔහු තම කටයුතු සීමා කර ගත යුතුය නැත්නම් ඒ බාහිර බලපෑම් සමඟ ගැටුම් ඇති කර ගත යුතුය. එසේ තම කටයුතු සීමා කර ගන්නේ නම් එය පුද්ගල නිදහස සීමා වීමකි. අද බටහිර සමාජ ක්‍රමයට ජීවත්වන අප සියලු දෙනාම පාහේ යම් යම් පමණින් අපේ පුද්ගල නිදහස සීමා කරගෙන සිටින්නෙමු. නමුත් එය නිදහස සීමාවීමක් නොව ඊනියා දියුණු ජීවන රටාවක ලක්‍ෂණයක් යැයි සිතන්නට බටහිර සංස්කෘතිය විසින් අපව පුරුදු කර ඇත.

මම මා මගේය යන හැඟීම් වර්ධනය කර ගැනීම හා මම සෙසු ලෝකයෙන් වෙන් කර ගැනීම, එනම් ආත්මාභිවර්ධණය, සුභදායක බව යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ පූර්වාදර්ශයයි. බටහිර ආර්ථික-දේශපාලණ-සමාජ ක්‍රමය ගොඩනැඟී ඇත්තේ මේ පූර්වාදර්ශයේ පිහිටාය. මේ ක්‍රමය තුල ආත්මාභිවර්ධණයෙහි යෙදෙන පුද්ගලයා මැඩපවත් වන්නේ ඔහුගේ අභ්‍යන්තරයෙන් ඇතිකර ගන්නා ලැජ්ජා භය හෝ සංයමය නොව ඔහුගෙන් පිට බලවේගය. ඔහු වඩ වඩා ආත්මාභිවර්ධණයෙහි යෙදෙන විට මේ බාහිර බලවේග මඟින් ඔහුගේ නිදහස වඩා වඩා සීමා කරයි. අද මේ හිරවීම බටහිර රටවල මිනිසුන්ට පමණක් නොව කොළඹ නගරයේ වෙසෙන සාමාන්‍ය වැසියකුට පවා අත් විඳින්නට සිදුවී ඇත්තේ ඔහුද බටහිර ආරටම කල් ගෙවන නිසාවෙනි. ඔහු තම නිවසේදීත් රැකියාවේදීත් අතරමඟදීත් තමන්ට වැඩ කර ගන්නට යාමේදී පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු අපමණය. ඔහුට අනිකුන් අභිබවා තමන්හට කර ගන්නට නම් උදාහරණයක් වශයෙන් රැකියාවේ ඉහලට යන්නට අවශ්‍යය නම් පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටි ඊටත් වඩා වැඩිය. මේ සියලු දෙයින් සිදු වන්නේ ඊනියා පුද්ගලික නිදහස සාපේක්‍ෂ ලෙස සීමා වීම නමුත් ඒ බව පිළිනොගන්නේ බටහිර දැනුමේ ඇති කුහක බව නිසාය. අපි මේ බව අවබෝධ කර ගත යුතුය.
බටහිරුන් ආත්මාභිවර්ධණය සුභදායක යැයි සිතන තාක් කල් බාහිර බලපෑම් වලින් ගැලවීමක් නැත. ප්‍රජාවක් ලෙස මේ කාර්යයේ නියැලෙන විට තත්වය ඊටත් වඩා දරුනුය. එවිට ඔවුන් එම ප්‍රජාවෙන් බාහිර වූ සත්ව-මිනිස් සමාජය සමඟත් පරිසරය සමඟත් ගැටුම් ඇති කර ගනී, හැකි නම් ඒ බාහිර බලපෑම් විනාශ කිරීමට කටයුතු කරයි. බටහිරයන් පසුගිය අවුරුදු පන්සියයක් පමණ කාලයක් තිස්සේ කර ගෙන එන්නේ එයයි.
ආත්මාභිවර්ධණය පිළිබඳ ලැජ්ජා භයක් සංවරයක් ඇති කර ගැනීම, එසේත් නැත්නම් එය අභ්‍යන්තරයෙන්ම මැඩ පවත්වා ගැනීම තමාගේත් හුදු මහත් ලෝකයාගේත් හිත සුව පිණිසවේ. එය අපේ සදාචාරාත්මක දැනුමය. එයට පහර දීමට තරම් බටහිර දැනුමට ශක්තියක්වත් පදනමකවත් නැත.

2 comments:

  1. අහිංසක මීයන්ට වද දී සිදුකරන පරීක්ෂණ වලට දායක වන ඔබතුමා "සිවුපාවුන්ට මෙන්ම පරිසරයටද කරදරයක් නොවී නිවී සැනසිල්ලේ සතුටින් ජීවත් විය හැකි සමාජයක්" ගැන කතා කිරීම සාධාරණදැයි මට ගැටළුවක් ඇතිවිය. කරුණාකර මෙයට පිළිතුරක් දෙන්න. ස්තුතියි.

    ReplyDelete
  2. සත්ව ඝාතනය පවකි ඊට දායකවන මට පව් සිදුවේ එය ජීවිකාව සඳහා කිරීමට සිදුවීම කරුමයකි. නමුත් බටහිර විද්‍යාවට විරුද්ධව මා මෙහි ලියන කථා වලින් අසාධාරණයක් සිදු වන්නේ කා හටද? අසාධාරණයක් වෙතොත් වෙන්නේ මට ජීවිකාව සපයන බටහිර විද්‍යාවටය. එය මට ප්‍රශ්ණයක් නොවේ. මා දරන මත නිසා යම් බලපෑමක් ඇති වුවහොත් ඒ ඇති වන්නේ බටහිර විද්‍යාවෙන් ජීවත්වන මටත් මගේ පවුලටත් මිස වෙන කෙනෙකුට නොවේ. අද බහුතරයක් ජීවිතය ගෙන යන්නේ බටහිර සංස්කෘතියෙන් ලබාදෙන රැකියා මතය. මේ රැකියාත් ජීවන ක්‍රමත් නිවී සැනසිල්ලේ ජීවත්වීමට කිසිසේත් අදාල නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ සහ තාක්‍ෂණයේ පිහිට ලබන අපි සැවොම වක්‍රාකාරයෙන් සත්ව ඝාතනයට දායක වෙමු. බටහිර කෘෂි රසායන භාවිතයේදී හා ඉන් ලබන ඵල පරිභෝජය කිරීමේදීත් අපි වක්‍රාකාරයෙන් සත්ව ඝාතනයට දායක වෙමු. පරිසරය විනාශ කරන බටහිර තාක්‍ෂණය භාවිතා කිරීමේදීද අපි වක්‍රාකාරයෙන් සත්ව ඝාතනයට දායක වෙමු. නමුත් කිසිවෙකුට තමන්ගේ ජීවිකාව හෝ බටහිර ජීවන රටාව අතහරින්නට යැයි කියන්නට තරම් මම කුහක නොවෙමි. බහුතරයකට එය කල නොහැකිය.

    ReplyDelete