Thursday, November 24, 2016

යුදෙව් සංස්කෘතිය හැලෙයිද?

ට්‍රම්ප්ට විශාල වශයෙන් ඡන්දය ලබාදුන් ඇම. එක් ජනපදයේ දකුණේ ප්‍රාන්තවල සුදු ජාතිකයින් වැඩි දෙනෙක් අදහන්නේ ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමය. බහුතරයක් ඇමඑක් ජනපදයේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානියෝ ඉවැන්ජලිකයින් වෙති. ප්‍රොතෙස්තන්ත ඝනයට වැටුනද අනිකුත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින් අතර ඉවැන්ජලිකයින් සංස්කෘතියෙන් වඩා කිට්ටු වන්නේ කතෝලිකයින්ටය. මන්ද ඉවැන්ජලික පල්ලිය මිනිසුන් සාමූහිකත්වයට නැඹුරු කරවන බැවිනි. එය සිදුවෙන්නේ ඉවැන්ජලික පල්ලියේ පූජකවරුන් හරහාය. පූජකවරයා බැතිමතුන් තමා වටා රැස් කර ගැනීමට උත්සාහ ගනියි. ඒ අතර ඉවැන්ජලික බැතිමතුන් පූජකවරයා සංකේතයක් ලෙස සලකමින් ඔහු වටා රොක් වෙති. මේ චක්‍රීය ක්‍රියාවලිය නිසා වෙනත් ප්‍රෙතෙස්තන්ත ක්‍රිස්තියානි පල්ලි වල දැකිය නොහැකි සාමූහික බවක් ඉවැන්ජලික පල්ලියේ දැක ගත හැකිය. ඒ නිසාම සාපේක්‍ෂ වශයෙන් ඉවැන්ජලික පල්ලියේ පූජක තනතුරට හිමිවන්නේ විශේෂ තැනකි. එහි පූජකවරු බොහෝ විට මනා පෞරශවයක් ඇති දක්‍ෂ කථිකයෝද වෙති. ඇම එක් ජනපදයේ දකුණේ ප්‍රණ්ත පුරා පල්ලි වල මෙවැනි දේශකයින් දැක ගත හැකිය. වසර සියයකට ආසන්න වයසැති තවමත් ජීවතුන් අතර වෙසෙන බිලි ග්‍රැහැම් දශක ගණනාවක් තිස්සේ ඇම.එක ජනපද වැසියන්ට නොයෙකුත් මාධ්‍ය ඔස්සේ දේශනා කරමින් බිලියන ගණනක් තම ආනුගාමිකයින් බවට පත්කර ගත් මහත් ගෞරවයට පත්වූ ඉවැන්ජලික පූජකවරයෙකි.

යුදෙව්වන්ගේ දෙවියන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකිය. පොදුවේ ප්‍රොතෙස්තන්ත පල්ලිවල විශ්වාසයද එයය. ඒ නිසා එහි දෙවියන්වහන්සේ ජීවමාන කරගැනීමට උත්සාහයක් නොගැනෙයි. නමුත් ඉවැන්ජලික පල්ලියේ පූජකවරයා හරහා දෙවියන්වහන්සේ ජීවමාන කෙරෙයි. පොදුවේ ගත්විට ඇම එක් ජනපදික සුදු ජාතිකයෝ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි දෙවියන්වහන්සේ කෙනෙකුට වඩා ඉවැන්ජලික පල්ලියෙන් පූජකවරයා හරහා ප්‍රත්‍යක්‍ෂ කෙරෙන දෙවියන්වහන්සේටත් ඒ වටා ගෙතෙන සාමූහිකත්වයටත් ඇලුම් කරන බව පෙනේ. කලක සිටම ඇමඑක් ජනපද සමාජය, විශේෂයෙන්ම දකුණේ ප්‍රාන්ත මේ ආරට යමින් තිබෙනු දැකිය හැකිවිනි. බිම් මට්ටමේ ටී පාටි සංවිධාන ඔස්සේ සංවිධානය වෙමින් ට්‍රම්ප් දිනවූවේ මේ මිනිසුන්ය. 

පොදුවේ මේ මිනිස්සු විශ්වයේ ආරම්භය ගැන බටහිර විද්‍යාඥයින් කියන මහා පිපුරුමේ කථාව විශ්වාස නොකරති ඒ වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ එය දෙවියන්වහන්සේගේ නිමැවුමක් බවය. එමෙන්ම ඔවුහු බටහිර විද්‍යාඥයින් කියන ගෝලීය උණුසුම්කරන කථාවද විශ්වාස නොකරති. ට්‍රම්ප් ගෝලීය උණුසුම්කරනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානවලට ආධාර නොකරන බව පවසන්නේ ඊනියා ගෝලීය උණුසුම්කරනයක් පිළිබඳව ඔහුගේ ඡන්ද දායකයින්ට විශ්වාසයක්ද නැති බැවිනි. එය හුදෙක් ආර්ථික පදනමක් මත ගොඩනැඟෙන විරෝධත්වයක් නොවේ. මහා පිපුරුමත් ගෝලීය උණුසුම්කරනයත් බටහිර විද්‍යාවේ එන වියුක්ත කතන්දරය. ට්‍රම්ප්-ජාතිකවාදීන්ට වියුක්ත කතන්දර වල එතරම් ආකර්ශණයක් නැත. ඔවුන්ට වැදගත් ඇසට කනට පෙනෙන ඇඟට දැනෙන දේය. ඊනියා ජාත්‍යන්තරයක් ගැන විශ්වාසයක් ඔවුන්ට නැත්තේද එබැවිනි.

ට්‍රම්ප් ජාතිකවාදීන් බහුතරයක් ඉහල අධ්‍යාපනයක් නැති සාමාන්‍ය මධ්‍යම පංතික ඉවැන්ජලික සුදු ජාතිකයින්ය. ඊට සාපේක්‍ෂව ට්‍රම්ප් විරෝධියෝ පොදුවේ උසස් අධ්‍යාපනයක් ලද උගතුන්ය, ලිබරල්වාදීන්ය, නිරාගමිකයින්ය නැත්නම් අඩුතරමින් වෙනත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින්ය. පොදුවේ ඔවුහු මහා පිපුරුම ගෝලීය උණුසුම්කරන වැනි වියුක්ත කථා විශ්වාස කරති. වියුක්ත කතන්දර ගෙතීමේ සමත්තු යුදෙව්වෝය. 

ට්‍රම්ප් හිතවාදීන් සහ විරෝධීන් අතර සංස්කෘතික බෙදුම යුදෙව් සංස්කෘතියට ඇති බැඳීම සහ නොබැඳීමක් ලෙස දැකිය හැකිය. ට්‍රම්ප්ගේ ජේශ්ඨ උපදේශකයෙක් වන ස්ටීව් බැනන්ගේ මාධ්‍ය ජාලය යුදෙව් විරෝධී අදහස් වලට තැනක් දුන් බවද මෙහිදී වැදගත් ලෙස සැලකිය යුතුය. ඒ නිසා ඒ බෙදුමේ යුදෙව් දේශපාලනයද ඇති බව අමතක කල නොහැකිය. ඉන් කියැවෙන්නේ පොදුවේ ට්‍රම්ප්-ජාතිකවාදීන් යුදෙව් විරෝධීන් බව නොවේ නමුත්  ක්ලින්ටන්-ජාත්‍යන්තරවාදීන්ට යුදෙව් සංස්කෘතිය විශේෂයෙන්ම එහි දැනුම කෙරෙහි තිබි ඇලීම ට්‍රම්ප්-ජාතිකවාදීන්ට නැති බවය. ඒ අනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පෙන්නුම් කරන්නේ ඇමඑක් සමාජය යුදෙව් සංස්කෘතියෙන් ගැලවෙන්නට උත්සාහ දරමින් සිටින බව විය හැකිය. 

යුදෙව් ඊස්‍රායලයට ලොවපුරා සිය ආධිපත්‍ය පැතිරවීමට තරම් යුධමය හෝ ආර්ථිකමය ශක්තියක් නොතිබිනි. නමුත් වියුක්ත ප්‍රවාද ගෙතීම, විශ්ලේෂණය වැනි අංගයන්ගෙන් සමන්විත යුදෙව් දැනුම් පද්ධතිය ලොව පිළිගත් එකම දැනුම් පද්ධතිය බවට පත් කිරීමට හැකිවූයේ යුධමය හා ආර්ථිකමය ශක්තියක් හිමි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉංග්‍රීසීනුත් පසු කලෙක ඇමඑක් ජනපදයටත් යුදෙව් සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටි බැවිනි. ට්‍රම්ප්-ජාතිකවාදීන්  යුදෙව් සංස්කෘතියට කඩේ යතැයි සිතිය නොහැකිය. එය එසේ වුවහොත් අනාගත බටහිර සංස්කෘතියෙන් යුදෙව් සංස්කෘතික සංරචකය ලොප් වීමට ඉඩ තිබේ.

Tuesday, November 15, 2016

සාධාරන මානවයාගේ අභාවය

මෙතෙක් කල් ඇමෙරිකා එක්සත් ජනපදයේ වැසියන්ට පුරුදු කරල තිබුනෙ තමන්ට අයිති භුමි ප්‍රදේශය හෝම්ලෑන්ඩ් කියල හඳුන්වන්ඩ. මේක මාධ්‍යවල යන කෑල්ලක් විතරක් නෙවෙයි ඇමඑක් ජනපද රජයේ නිළ හඳුන්වාගැනීමක්. ලෝකෙ බොහෝ රටවල් වලට තියෙන්නේ හෝම්ලෑන්ඩ් විතරයි. ඒකට අමුතුවෙන් වචනයක් ඕනෙ නෑ තමන්ගේ රට ඒකයි. නමුත් ඇමඑක් ජනපදයට හෝම්ලෑන්ඩ් සහ වෙනත් ලෑන්ඩ් තියෙන බව අඟවන්ඩ උවමණාව තිබුනා. අඩුතරමින් ඔවුන්ගේ හමුදාව ලෝකයේ විවිධ තැන්වල ස්ථානගත කරලා තිබුනා. ඒකයි තමන් ජීවත්වුනු ප්‍රදේශයට වෙනම නමක් කියන්ඩ ඕනෙ වුනෙ. පැහැදිලිවම හෝම්ලෑන්ඩ් කියනකොට ඇමඑක් පනපදයේ අධිරාජ්‍යවාදී උවමණාවල් පැහැදිලි වෙනවා. ඒ අධිරාජ්‍යවාදයට මතවාද සපයන්නෙ ඊනියා ජාත්‍යන්තර වාදය. ඊනියා ජාත්‍යන්තරවාදය යොදාගෙන ඔක්කොම ලෑන්ඩ් හැමෝටම අයිතියි වගේ කතන්දරයක් කියන්ඩ හැදුවත් ඇත්තටම ඔක්කොම ලෑන්ඩ් එයාලගෙ ලෑන්ඩ් හැටියට තමයි වැඩ කෙරුනෙ.

ඊනියා ජාත්‍යන්තර වාදයක් වෙනුවෙන් අපේ රටේ ධනවාදීනුයි මාකස්වාදීනුයි අවස්ථාවාදීනුයි එකතු වෙනවා. මේ අය බටහිර රාජ්‍යවල අධිරාජ්‍යවාදයට ගොට්ට අල්ලනවා. මේ අය මෙච්චර කල් වැඩ කලේ වෙන වෙනම. රනිල් වික්‍රමසිංහ කලේ මේ අය එක තැනකට ගෙනෙන එක. අද චම්පක රණවකටත්, අනුර කුමාරටත් සරත් ෆොන්සේකාටත් විවිධ වර්ණවල වාමාවාදියොන්ටත් රනිල් වික්‍රමසිංහ නැතිව පැවැත්මක් නැහැ. හොරෙක් වුනත් ඒ අතින් රනිල් දක්‍ෂයි. මේ හැමෝම පෙනී හිටින්නේ ඊනියා ජාත්‍යන්තර වාදයක් වෙනුවෙන්. 

ඊනියා ජත්‍යන්තරවාදයේ පදනම යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ එන සාධාරන මානවයා. ඔවුන්ට අනුව ලෝකයේ කොතැනටත් පොදු මානවයෙක් ඉන්නවා. ඊනියා ජත්‍යන්තරවාදයේ කථාකරන්නේ මේ ඊනියා මානවයාගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම්. බටහිරුන් තමන්ගේ දේශපාලණික ශක්තිය පාවිච්චි කරලා මානව අයිතිවාසිකම් තමන්ට අදාල කරගත්තේ නෑ නමුත් ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යය පාවිච්චි කරලා වාස්ථවික අර්ථයෙන් පොදු මානවයෙක් ඉන්නවාය කියන මතවාදය තහවුරු කලා. අපේ දුප්පත් ජාත්‍යන්තරවාදියොත් පිළිපදින්නේ මේ න්‍යාය. මේ අය අද ට්‍රම්ප්ට විරුද්ධව ඇමඑක් ජනපදයේ සුළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. ජාතිකවාදය නිසා ජාතිවාදය ඇවිස්සෙනවලු. මේ අය මෙහෙම කියන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදයටත් මේක අදාල කරවන්ඩ. නමුත් මොවුන් දන්නේ නැහැ ඇමඑක් ජනපද රාජ්‍යයම පිහිටුවාගෙන තියෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යය පතුරවමින් බව. ක්ලින්ටන් ආවත් ඕකෙ වෙනසක් නැහැ.

හැබැයි බටහිර රටවල් ජාතිකවාදී වෙනකොට මේ සාධාරන මානවයාගේ පැවැත්ම බිඳවැටෙනවා. ජාතිකත්වයක් ගැන කියනකොට ඔවුන්ට කවදත් කොතැනත් ඉන්න මානවයෙක් ගැන කියන්ඩ බැහැ. ඒ වෙනුවට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ සුදු ජාතිකයෙක් ගැන කියන්ඩ වෙනවා. එතකොට අර වෙනත් ලෑන්ඩ් ගැන කථා එතරම් අදාල නැති වෙනවා. ට්‍රම්ප්ට වැදගත් ඇමඑක් ජනපදයේ දේශ සීමාව. වියුක්ත/සාධාරන මානවයගෙ සංකල්පය බිඳ වැටෙකොට ජාත්‍යන්තරවාදයට පැවැත්මක් නැහැ. අපට වැදගත් මේ කාරණයයි. බටහිර රාජ්‍ය ඉදිරියටත් අධිරාජ්‍යවාදී වෙයි. නමුත් සාධාරන මානවයා නැතිකරගැනීම හරහා ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යයේ විශාල සිදුරක් ඇතිකරගෙන ඉවරයි. මෙහෙ කට්ටිය සාධාරන මානවයෙක්ගෙ මානව අයිතිවාසිකම් ගැන කථා කරාට ඒ මානවයට පණ දෙන්ඩ ජාතිකවාදී බටහිරුන් ඉදිරියේදී ඉදිරිපත් වෙන එකක් නැහැ. එතකොට අපේ දුප්පත් ජාත්‍යන්තරවාදීන් තවත් අනාථ වෙනවා.

Saturday, November 12, 2016

වියුක්ත ප්‍රවාද වෙනුවට සංයුක්ත ප්‍රවාද

ගුරුත්වාකර්ශනය කියන්නේ මොකක්ද? වස්තු දෙකක් එක ලඟ තියලා ඒවාට නිදහසේ චලනය වෙන්ඩ ඇති බධා (ඝර්ශණය වගේ) ඉවත් කරන්ඩ පුළුවන් නම් මේ දෙක එකිනෙකා දෙසට ඇදෙනවා දැක ගන්ඩ පුළුවන්. පොල් ගෙඩි බිමට වැටෙනකොටත් වෙන්නේ මේ සිද්ධියමයි. පොල් ගෙඩිය පොළව දෙසටත් පොළව පොල් ගෙඩිය දෙසටත් ඇදෙනවා. එකම වෙනස අපි පොළවේ ඉන්න නිසා අපට පෙනෙන්නේ පොල් ගෙඩිය අප වෙත එනවා කියල විතරයි. පොල් ගෙඩියේ ඉන්න කුරුමිණියෙක්ට පොළව පොල් ගෙඩිය වෙත එනවා වගේ දැනෙන්ඩ පුළුවන්. නිව්ටන් ඕක ඔහොම වෙන්නේ ඇයි කියලා හේතුවක් හැදුවා. ඊට වඩා හොඳ හේතුවක් අයින්ස්ටයින් හැදුවා. නමුත් අයින්ස්ටයින්ට අවුරුදු සීයකටත් පස්සේ අපි තාමත් නිව්ටන්ගේ හේතුව ගැන කියවන නිසා කැවන්ඩිෂ් ගේ පරීක්‍ෂණය ගැන දැන තියෙන එක හොඳයි. 

කැවෙන්ඩිෂ් කියන්නෙ 18 වන සියවසේ එංගලන්තෙ හිටිය විද්‍යාඥයෙක්. එයා නිව්ටන්ගේ ගුරුත්වාකර්ශණ නියමය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් නිර්මාණය කලා. නිව්ටන් කිව්වෙ අර වස්තු දෙක එකිනෙකා වෙත ඇදෙන්නේ ඒ ඒ වස්තුවෙන් අනිත් වස්තුව මත ආකර්ශණ බලයක් ක්‍රියාත්මක වෙන නිසයි කියල. මේ කථාව වියුක්ත ප්‍රවාදයක් ලෙසට හඳුන්වන්ඩ පුළුවන්. කැවෙන්ඩිෂ් පරීක්‍ෂණය සකස් කරන්නේ ඔය නිව්ටන් කියන බලය මැන ගන්ඩ.

කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණය යූ ටියබ් එකෙන් බලා ගන්ඩ පුළුවන්.  කෙටියෙන් මෙහෙමයි. දිග දන්ඩක කෙලවරවල් දෙකේ බර වස්තු දෙකක් අමුණනවා. ඊට පස්සේ දන්ඩ මැද්දෙන් කඹයක් ගැට ගහලා ඒක වහලේ එල්ලනවා. දැන් මේ වස්තු දෙක සහිත දණ්ඩට ලණුවේ අක්‍ෂය වටේ නිදහසේ කැරකෙන්ඩ පුළුවන්. ඊලඟට ඊටත් වඩා බර වස්තු දෙකක් අර දන්ඩේ තියෙන වස්තු දෙක ලඟින් පොලොවේ හයි කරනවා. ඒවට හෙල වෙන්ඩ බැහැ. ටික වෙලාවක් ඔහොම තියෙනකොට හෙමින් හෙමින් දන්ඩ කැරකෙනවා දකින්ඩ ලැබෙනවා. දන්ඩේ තියෙන වස්තු ඒ ඒ ලඟ හයි කරල තියෙන ලොකු වස්තුව දිහාට ඇදෙනවා එකේ ප්‍රතිථලයක් හැටියට දන්ඩ කැරකෙනවා. දණ්ඩ කැරකෙනකොට ඒක වහලේ එල්ලලා තියෙන ලණුව ඇඹරෙනවා. ඕක තමයි අපට පෙනෙන්ඩ තියෙන්නෙ.

දැන් කැවෙන්ඩිෂ්ට පුළුවන් අර ලණුව අඹරන්ඩ (නැත්නම් දණ්ඩ කරකවන්ඩ) යෙදිය යුතු බලය ගණනය කරන්ඩ. මේ පරීක්‍ෂණයෙන් දැන ගන්ඩ පුළුවන් එකම බලය ඒක විතරයි. ලණුව මත බලයක් යෙදෙනවා කියල දැන ගත්තට අර වස්තු දෙක එකිනෙකා දෙසට ඇදෙන්නේ ඇයි කියන එක ඒකෙන් තේරුම් යන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් වස්තු එකිනෙකා දෙසට චලනය වෙනවා. ඒ චලනය වීම හේතුවෙන් අපේ උපකරණය මත යම් බලයක් යෙදෙනවා. ඒ බලය නම් මැන ගන්ඩ පුළුවන් නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ අර වස්තු දෙක එකිනෙකා දෙසට චලනය වන්නේ මොන හේතුවක් නිසාද කියල. ඒ නිසා ඒ ගැන ඕන විදිහට කතන්දරයක් හදන්ඩ පුළුවන්. 

වැදගත් කාරණය කැවෙන්ඩිෂ් මණින්නේ අර නිව්ටන් වස්තු දෙකක් අතර තියෙනවා යැයි කියපු බලය නොවෙන බවයි. කොටින්ම නිව්ටන් කියන ජාතියේ බලයක් කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණයෙන් තියා මොන පරීක්‍ෂණයකින්වත් මැන ගන්ඩ බැහැ. නිව්ටන් වස්තුවල චලනයට හේතුවක් දුන්නට ඒ හේතුව කාටවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්ඩ බැහැ. මොන ක්‍රමයකින්වත් මැන ගන්ඩ තියා හිතා ගන්ඩවත් බැරි නිව්ටන් කියන ආකර්ශණ බලය පට්ටපල් බොරුවක්. එහෙනම් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

අවසානයේ අපි නිව්ටන්ගේ සූත්‍රය යොදා ගන්නේ වස්තු දෙක අතර චලනය සම්බන්ධයෙන් පංවේන්ද්‍රියන්ට හසුවෙන දේවල් ටිකක් තවත් පංවේන්ද්‍රියන්ට හසුවෙන දේවල් ටිකක් සමඟ සම්බන්ධ කර ගන්ඩ. නැත්තම් අතර මැදියෙක් හැටියට. උදාහරණයක් හැටියට කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණයේ නම් වස්තු වල ස්කන්ධය, ඒ අතර දුර, දණ්ඩේ කරකැවීම, කඹයේ ඇඹරීම වගේ දේවල් අතර සම්බන්ධයක් ගොඩනැඟීමට. මේ සම්බන්ධකම් හරහා අපේ පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන්නේ කොහොමද කියල පුරෝකථනය කරන්ඩ පුළුවන්. මේක තමයි නිව්ටන්ගේ වියුක්ත ප්‍රවාදයෙන් නැත්නම් සූත්‍රයෙන් ගන්න වැඩේ.

හැබැයි අපිට පුරෝකථන ගැන විශ්වාසයක් ගොඩනඟා ගත හැක්කේ වස්තු එකිනෙකා දෙස ඇදෙන හේතුව ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගෙන හිටියොත් තමයි. ඒ වුනත් මෙතන කරන්ඩ වෙන්නේ පුරෝකථන හරියනවද බලලා එසේ හරියනවා නම් හේතුව ඇත්තක්ය කියල නිගමනය කරන එක. මොකද අපට නිව්ටන්හේ හේතුව ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්ඩ බැහැ. එහෙම පුරෝකථනය හරිගියත් අපිට කියන්ඩ වෙන්නේ නිව්ටන්ගේ හේතුව (වස්තු එකිනෙකා දෙසට ඇදෙන්නේ එකිනෙකින් යෙදන ආකර්ශණීය බලයක් නිසාය) වෙන්ඩ පුළුවන් හේතුවලින් එකක් කියලා මිසක් ඒක එකම හේතුව කියලා නෙවෙයි. පුරෝකථනය හරියන තව හේතුත් නැතෙයි කියල කියන්ඩත් අපට බැහැ. ප්‍රශ්ණෙ තවත් බරපතල වෙන්නේ මේ පුරෝකථන එකක්වත් ප්‍රායෝගිකව හරියටම හරියන්නේත් නැතිවීමෙනුයි. 

මේ අනුව බැලුවාම නිව්ටන් හේතුවක් ගැන කථා කරාට අපිට දැනගන්ඩ අවශ්‍යත් අපට දැනගන්ඩ පුළුවනුත් අපි විශ්වාස කරන්නෙත් පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස්වෙන ආකාරය විතරයි. පුරෝකථන හරියටම හරියන්නේ නැති නිසාත් හේතුව මැනගන්ඩවත් මවා ගන්ඩවත් බැරි නිසාත් හේතුව ඇත්තක්ද කියලත් එහෙම හේතුවක් කියල එකක් තියෙන්ඩ පුළුවන්ද කියලත් ප්‍රශ්ණයක්. ඊනියා හේතු වියුක්ත ප්‍රවාද වල පදනම නිසා මේක වියුක්ත ප්‍රවාදවලම තියෙන දුර්වලතාවක්.

අපට ඕනනම් හේතු පැත්තක දාල අපේ පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන ආකාරය ගැන විතරක් කථා කරන්ඩ පුළුවන්. මොකද අපි අවසානයේ විශ්වාස කරන්ඩ සූදානම් මේ ගැන විතරයි. හැබැයි හේතුව අයින් කරාම අපට ප්‍රවාදයක් නැතිව යනවා. ඒ කියන්නේ සූත්‍රයක් නැහැ. ඒ වගේම හේතුව අයින් කරාම අපට පොල් ගෙඩි වැටෙන එක ගැන එක කථාවකුත් ග්‍රහ වස්තු වල චලනය ගැන තව කථාවකුත් කියන්ඩ වෙනවා. ඒක අවාසියක් නමුත් අපට ඒ ඒ ප්‍රපංචයට අවස්ථාවට ගැලපෙන වඩා හොඳ කථාවක් නිර්මාණය කරගන්ඩ නිදහසක් එතන තියෙනවා. මෙහෙම කථා සංයුක්ත ප්‍රවාද කියල කියන්ඩ පුළුවන්. උදාහරණයක් හැටියට ඉහත කැවෙන්ඩිශ්ගේ පරීක්‍ෂණයේම අපට ඕනනම් වස්තුවල බර සහ ඒ අතර දුර වෙනස් වෙනකොට ලණුවේ ඇඹරීම අතර සම්බන්ධයක් අවස්ථා කිහිපයකදී මැණ ගන්ඩ පුළුවන්. මේ මැනගැනීම් පදනම් කරගෙන, වෙනස්වීම් සුමටව ඒකාකාරව වෙනස් වෙනවායැයි උපකල්පනය කරගෙන ඊලඟට අපට දී ඇති වෙනත් වස්තු දෙකක් චලනය වීමේදී ලණුවේ ඇඹරීම හෝ දණ්ඩේ කැරකීම කුමක් වේදැයි පුරෝකථනය කරන්ඩ පුළුවන්. දැන් මෙතනදී වස්තු එකිනෙකා දෙසට ඇදෙන හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම අපි කථා කරන්නේ දී ඇති එක්තරා කැවෙන්ඩිශ් උපකරණයක් ගැන මිසක් ඕනෑම එකක් නෙවෙයි. මේ නිසා අපි ගොතන්නේ සංයුක්ත ප්‍රවාදයක්.

පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන ආකාරය ගැන කතන්දර කියනවා කියන්නේ කලින් යම් යම් දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස්වුනු ආකාරය දැනගෙන අනාගතයේදී කොහොම වෙයිද කියල නිගමණය කරන එක. කැවෙන්ඩිෂ්ගේ පරීක්‍ෂණය සම්බන්ධයෙන් මේක කරදරකාරී වැඩක් වගේ පෙනුනට සමහර සරල දේවල් සම්බන්ධයෙන් මේක කරන්නේ කිිසිම ගණනය කිරීමක් නැතිව මනසින්. උදාහරණයක් හැටියට අපි පාර පනිනකොට අපට වැදගත් වෙන්නේ අපේ පිහිටීමට සාපේක්‍ෂව වාහනවල පිහිටීම වෙනස් වෙන ආකාරය ගැන විතරයි. මේක අපි මනසින් දැනගන්නචා. ඒක මනසින් කරගන්නේ කොහොමද කියල අපට කියන්ඩ බැහැ. හැබැයි කොහොමටත් මෙතනදී මනස වියුක්ත ප්‍රවාදයක් භාවිතා කරන්නේ නම් නැහැ. වියුක්ත ප්‍රවාදයක් භාවිතා කරනවට වඩා මනසින් කරන වැඩේ කාර්යක්‍ෂම වෙන්ඩත් පුළුවන්. 

ප්‍රවාද මත රඳාපවතින්නේ නැතිව යම් යම් දේවල් අතීතයේ එකිනෙකට සාපේක්‍ෂව වෙනස්වුනු ආකාරය දැනගෙන අනාගතය ගැන පුරෝකථනය කරන්ඩ පුළුවන් පරිඝනක භාවිතයෙනුත්. එතනදී කරන්නේ අතීතයේ දත්ත පරිඝනකයට කවලා එය යාන්ත්‍රිකව පුහුණු කරනවා. ඊලඟට විවිධ ක්‍රම භාවිතා කරලා යම් දී ඇති විචල්‍යයන්ට සාපේක්‍ෂව වෙනත් විචල්‍යයන් වෙනස් වන්නේ කොහොමද කියලා ගණනය කරනවා. මේ විවිධ ක්‍රම අතරේ එක ක්‍රමයක් ස්නායු ජාල ක්‍රමයක් ලෙස හඳුන්වනවා. මේක මොළේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය අනුකරණය කරමින් තනාගත්ත පරිඝනක ආකෘතියක්. බටහිර විද්‍යාව මෙතන කරන්නේ මොකක්ද? එයාලට මනසින් කරගන්ඩ බැරි දේ පරිඝනකයෙන් කරන්ඩ හදනවා. අපිට මනසින් දැන ගන්න දේ භාවිතා කරගෙන කොළඹ පාරක් පනින්ඩ පුළුවන් අනතුරක් නොවී නමුත් ස්නායු ජාල ක්‍රමයක් හෝ ප්‍රවාදයක් භාවිතා කරගෙන තීරණ ගන්නා රෝබෝවක් පාර පනින්ඩ හැදුවොත් බොහෝවිට ඒක සාර්ථක වෙන එකක් නැහැ.

පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් එකිනෙකට සාපේක්‍ෂව වෙනස් වෙන ආකාරය ගැන මනසින් දැන ගන්ඩ පුළුවන්. අපට මනස තව දියුණු කරගන්ඩ පුළුවන් නම් දැනට අපේ පංචේන්ද්‍රියන්ට හසුවෙන දේවල් වලට වඩා සියුම් දේවල් දැන ගන්ඩ පුළුවන්. එතනදී ගන්නා නිගමන වඩා නිවැරදිත් කාර්යක්‍ෂමත් වෙන්ඩ පුළුවන්. මෙතනදී වැදගත් ලෙස සලකන්නේ එකක් වෙනස් වෙනකොට අනිත්වා වෙනස් වෙන්නේ කොහොමද කියන එක විතරයි. ඇයි එහෙම වෙන්නේ කියල අපි අහන්නේ නෑ. බටහිර විද්‍යාවට ඕනෙ හේතු දැනගන්ඩ. හේතු පිටිපස්සෙ තියෙන්නෙ වාස්ථවික යථාර්තයක් ගැන විශ්වාසය. සිංහල බෞද්ධ චින්තනයේ ඒ විශ්වාසය නැහැ. අපේ ක්‍රමය විය යුත්තේ මනස දියුණු කරගනිමින් සංයුක්ත ප්‍රවාද තැනීමයි.

Monday, October 31, 2016

රැජින මැරීම

බටහිර සංස්කෘතියේ ස්වාමිත්වය හිමි වෙන්නේ ඉංග්‍රීසීන්ටයි. ඇමඑක් ජනපදය යුද ශක්තියෙන් හා ආර්ථික ශක්තියෙන් කෙතරම් අනූන වුනත් බටහිර සංස්කෘතිය මෙහෙයවන්නේ ඉංග්‍රීසීන් විසින්. ඉංග්‍රීසීන් අකමැති දෙයක් බටහිර සංස්කෘතියේ අරටුවක් ලෙස සම්මත වෙන්නේ නෑ. ඒ නිසා බටහිර සංස්කෘතිය අනුකරණය කරන අපේ වැනි සමාජ සංස්කෘතික ප්‍රමිතිය ලබා ගන්නේ ඉංග්‍රීසීන්ගෙන් මිසක් වෙන කවුරුන්ගෙන් වත් නෙවෙයි.
 
ඉංග්‍රීසීන්ට මේ අධිපතිබව පවත්වාගෙන යන්ඩ හැකිවෙලා තියෙන මූලික හේතු තමයි ඉංග්‍රීසි බාසාව ලෝකය පුරා ව්‍යාප්ත කර තිබීමත් ඒ වගේම ඉංග්‍රීසි බාසාවේ අයිතිකාරයා ඉංග්‍රීසීන් වීමත්. එතරම් යුධ ශක්තියක්වත් ආර්ථික ශක්තියක්වත් නැති ජනගහනයෙනුත් අඩු භූමියෙනුත් කුඩා රාජ්‍යයකට ලොව පුරා මේ සා බලපෑමක් කරන්ඩ හැකිවෙලා තියෙන්ඩ වෙන වැදගත් හේතුවක් තියෙනවද? වෙන කිසිම අධිරාජ්‍යවාදී ජාතියකටත් වඩා ඉංග්‍රීසීන්ට හැකිවුනා ඔවුන්ගේ බාසාව ලෝකයේ ව්‍යාප්ත කරගන්ඩ. මං හිතන්නේ ඔවුන් දැන ගෙන ඉන්ඩ ඇති බාසාවේ අධිපති බව රැක ගත්තොත් දැනුම් ආධිපත්‍යයත් සංස්කෘතික ආධිපත්‍යයත් දේශපාලන ආධිපත්‍යයත් ඒ ඔස්සේ ගලාගෙන එන බව. අද බටහිර දැනුමේ වැදගත් දේ ප්‍රකාශ වෙන්නේ ඉංග්‍රීසි බාසාවෙන්. ඉංග්‍රීසියෙන් ප්‍රකාශ නොවෙන දැනුමකට පිලිගැනීමක් ලැබෙන්නේ නැහැ.

ඉංග්‍රීසි බාසාවේ අයිතිකාරයාත් ඉංග්‍රීසින්මයි. ඒ කියන්නේ ඒ බාසාවේ කෙරෙන නිර්මාණ වල සහ එහි භාවිතයේ ප්‍රමිතිය නිර්ණය කරන්නේ ඉංග්‍රීසීන් විසින්. ඇමඑක් ජනපදයේත් තවත් රාජ්‍යවලත් රාජ්‍ය බාසාව ඉංග්‍රීසි වුනාට ඉංග්‍රීසි බාසාවේ ඉංග්‍රීසීන්ට ඇති හිමිකම වෙනත් රාජ්‍යයන්ට නෑ. ඉංග්‍රීසි බාසාව මැරුනොත් නැතිවෙන්නෙ ඉංග්‍රීසි ආධිපත්‍යය. ඉංග්‍රීසි බාසාව මැරීම රැජින මැරීමක් වෙන්නෙ ඒ අර්ථයෙනුයි.
මේ බව දන්න ඉංග්‍රීසින් තමන්ගේ පැවැත්ම සඳහා ඉතාම සූක්‍ෂම විදිහට ඉංග්‍රීසි බාසාවේ අධිපතිබව රැක ගන්ඩ කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඉංග්‍රීසි බාසාවට අධිපති බවක් අත් වෙන්ඩ ඒ බාසාවේ කිසියම් විශේෂත්වයක් නැහැ. ඒක උපක්‍රමශීලීව ආරෝපනය කරගත් එකක්. හරියට ඇමඑක් ජනපදයේ ඩොලරය ජාත්‍යන්තර මුල්‍ය ගනුදෙනු සඳහා යොදා ගන්නවා වගේ වැඩක්. යම්කිසි විදිහකින් ඒ සඳහා වීනයේ රෙන්මින්බි ආදේශ වුනොත් ඇමඑක් ජනපදයේ ආර්ථිකයට එය කෙතරම් පහරක් වේවිද? බාසාවක භාවිතයක් එතරම් පහසුවෙන් වෙනස් කරන්ඩ බැහැ. නමුත් එහෙම වෙනස් වුනොත් ඉංග්‍රීසින්ගේ රැජින මැරෙනවා.

රැජින මැරීම සඳහා ලොකු උත්සාහයක් ගන්නෙ ඇමඑක් ජනපදයේ කළු ජාතිකයො. වක්‍රාකාරයෙන් ඇමඑක් ජනපදයේ සුද්දන් හරහා තමන්වෙත එල්ල කෙරෙන ආධිපත්‍යයේ සැබෑ ස්වාමියා ඉංග්‍රීසීන් බව ඔවුන්ට දැනෙනවාද දන්නේ නැහැ. ඇමඑක් ජනපදයේ කළු ජාතිකයො හිතා මතාම රැජින මරනවා. ඔවුන් ඔවුන්ගේ සංස්කෘතියේ ඉඳගෙන නිරන්තරයෙන් ඉංග්‍රීසි බාසාවට අළුත් වචන එක් කරනවා. ඒවා පාදඩ වචන ලෙස සැලකුනත් පොදු ඇමඑක් ජනපදික සමාජය තුල යම් තරමකට ඒ වචන, වැකි, පැලපදියම් වෙනවා. ඒ සමහරවිට පොදුවේ ඇමඑක ජනපදික සමාජය ඉංග්‍රීසී සංස්කෘතියට දක්වන ප්‍රතිරෝධය නිසා වෙන්ඩත් ඇති. කළු ජාතිකයො කථා කරන ඉංග්‍රීසි එබොනික්ස් කියලත් ඔවුන් විසින්ම හඳුනාගන්නවා (එබොනි - කළු). එබොනික්ස් නම් ඇමඑක් ජනපදයේ සුද්දන් පිළිගන්නේ නැහැ. ඉංග්‍රීසීන් නම් කොහොමටත් කළු ජාතිකයින්ගේ බාසා ආක්‍රමණයට ඉඩ දෙන්නේ නැහැ. රැජින මැරුනොත් ඔක්කොම ඉවරයි.

ඉංග්‍රීසීන් තමන්ගේ බාසා අධිපතිකම රැකගන්නඩ කරන්නේ ඉංග්‍රීසී බාසාව තමන්ට ඕනෙ ආකාරයට හසුරවන අයට වරප්‍රසාද දීල ප්‍රවර්ධනය කරන එක. එංගලන්තයේ පදිංචි ධනවත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අනුව ඔහුට ඒ රටේදි දියුනු වෙන්ඩ පුළුවන් වුනේ ඔහුට සුද්දන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසි කථා කරන්ඩ පුළුවන්වුන නිසයි. ඇත්ත වෙන්ඩ ඕනෙ. නමුත් ඇමඑක් ජනපදයේ කෙනෙකුට ඒ හැකියාව තිබුන පලියට දියුණු වෙන්ඩ බැහැ. මොකද ඉංග්‍රීසි බාසාව රැක ගැනීමට ඉංග්‍රීසීන්ට තියෙන උවමණාව ඇමඑක් ජනපදයට නැහැ. නමුත් ඉංග්‍රීසි බාසාව ගැන ඇමඑක් ජනපදයට නැති ඇම්මක් ලංකාවේ අපට තියෙනවා. ඒ අපේ දීන අනුකාරකත්වය නිසා. අපට ඉංග්‍රීසියෙන් ලියන්ඩ කියවන්ඩ අදහස් හුවමාරු කරගන්ඩ දැන ගත්තට මදි. අපට ඕනෙ සුද්දටත් වඩා හොඳින් ඒක කරන්ඩ. කලකට ඉහතදී අපේ ක්‍රිකට් ක්‍රීඩකයො රූපවාහිනියෙන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් පැකිලීමක් නැතිව කථා කරනකොට මට හිතුනෙ දැන් මේ ප්‍රවණතාව වෙනස් වේගෙන යනවා කියල. නමුත් ඒක එහෙම වෙලා නෑ. වෙලා තියෙන්නෙ බොහෝ දෙනාට ඉංග්‍රීසි බාසාව හසුරුවන්ඩ පුළුවන් වෙනකොට හැකියාවේ නිර්ණායකයන් තවත් ඉහලට ගිය එක. දැන් නිකං ඉංග්‍රීසි කථා කරල බැහැ සුද්දො වගේ කථා කරන්ඩ ඕනෙ. අද අපේ විශ්ව විද්‍යාලවල අනිත් සියලු විශයන් උගන්වන එක නවත්වලා එලකියුශන් පංතියක් කලොත් බොහෝ දෙනෙක් සතුටු වේවි. 

ඉංග්‍රීසීන් ඉංග්‍රීසි බාසාවේ අධිපතිකම රැකගන්නඩ උත්සාහ කරන්නේ ඒ හරහා ඔවුන්ගේ සංස්කෘතික ස්වාමිත්වය රැකෙන නිසයි. අපිට කාගෙවත් බාසාවක් මරන්ඩ ඕනෙ කමක් නැහැ. අපිට ඕනෙ අපේ බාසාව රැක ගන්ඩ. සිංහල බාසාව මලොත් සිංහල ජාතියත් මැරිලා යාවි. සිංහල බාසාව රැක ගැනීම ගැන උපදෙස් දෙන්ඩ මට තියෙන්නේ අවම සුදුසු කමක් නමුත් රජයේ විශය නිර්දේශයට අනුච සිංහල දරුවන්ට දෙමළ බාසාව ඉගෙන ගැනීම අනිවාර්ය කිරීම සිංහල බාසාව රැක ගැනීම සඳහා දායක වෙන්නේ නැහැ. අපි සිංහල බාසාව උගන්වන විදිහකුත් හදා ගන්ඩ ඕනෙ. මහප්‍රාණෙන් කථා කරන්ඩ අකමැති ජාතියකට මහප්‍රාණෙන් සිංහල කියල දෙන්ඩ යෑම දඬුවමක් වෙන්ඩ පුළුවන්.

Saturday, October 29, 2016

බටහිර සංස්කෘතියේ ස්වාමියා කවුද?

ඇමෙරිකා එක්සත් ජනපදය බටහිර සංස්කෘතිය ලෝකයට ගෙනයන ඒජන්තයා කිව්වොත් වරදක් නැහැ. හොලිවුඩ් චිත්‍රපටි, සංගීතය, තාක්‍ෂණික මෙවලම් සහ ඒවට හරියන මෘදුකාංග හරහා බටහිර සංස්කෘතිය ලෝකය පුරා ප්‍රචලිත කරන්ඩ මූලිකත්වය ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය. ඔවුන් තමන් සතු යුධමය ශක්තියත් ආර්ථික ශක්තියත් ඒ සඳහා යොදා ගන්නවා. ඔවුන්ට මේ ආකාරයට ලෝකය මත ඇතිකල හැකි බලපෑම දිහා බැලුවහම බටහිර සංස්කෘතියේ ස්වාමියත් ඇම. එක්. ජනපදය වෙන්ඩ ඕනෙ නේද කියල හිතෙනවා. ස්ටීව් ජොබ්ස්, සකර්බර්ග් සහ බිල් ගේට්ස් යන තිදෙනා පමණක් ඇති කරන සංස්කෘතික බලපෑම සුළු පටුද? නමුත් ඇත්තටම බටහිර සංස්කෘතියේ ස්වාමියා ඇමඑක් ජනපදයද?

ඇමඑක් ජනපදයේ රූපවාහිනී සේවාවක් තියෙනවා පීබීඑස් කියල. ඒක රජයේ ආධාර ලබන, අඩු වැඩි වශයෙන් ගත්තොත් ලාභ උපයන්නේ නැති ආයතනයක්. ඒකෙන් බෙදා හරින වැඩසටහන් බොහොමයක් ප්‍රවෘත්ති හෝ අධ්‍යාපනික වැඩසටහන්. ඒ අතර ටෙලි වෘත්තාන්තත් තියෙනවා. මේවා ඇමඑක් ජනපදික සමාජය විසින් පොදුවේ ප්‍රබුද්ධයි කියල සලකන ඒවා. නමුත් වැදගත් දේ තමයි මේ ප්‍රබුද්ධයි කියන ටෙලි වෘත්තාන්ත හොලිවුඩයේ නිර්මාණය වෙන ඒව නෙවෙයි. ඒව ආනයනය කරන්නේ එංගලන්තයෙන්. එංගලන්තයට වඩා දියුණු (අඩුතරමින් තාක්‍ෂණික අතින්) චිත්‍රපට කර්මාන්තයක් ඇමඑක් ජනපදයට තිබුනත් ඔවුන් ප්‍රබුද්ධ කෘති ගෙන්න ගන්නෙ එංගලන්තයෙන්. මේ ගැන ඇමඑක් ජනපදයේ කවුරුවත් මැසිවිලි නගන්නෙත් නැහැ. ඇමඑක් ජනපදය තමන්ගේ සංස්කෘතික ස්වාමියා එංගලන්තය බව පිළිගන්නවා කියල මේකෙන් කෙලින්ම ඔප්පු වුනේ නැතත් පීබීඑස් ආයතනයේ ප්‍රතිපත්ති වලට හේතුව ඔවුන් හිත යටින් දරන එවැනි ආකල්පයක් වෙන්ඩ පුළුවන්.

ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබපු පළමුවෙනි කොලනිය ඇමඑක් ජනපදයයි. මේ නිසා හෝ වෙන හේතුවක් නිසා හෝ ඇමඑක් ජනපදිකයන් මුල සිටම ඒංගලන්තයේ ආධිපත්‍යයෙන් ගැලවෙන්ඩ කටයුතු කලා. මේ සඳහා ඇමඑක් ජනපදිකයින් හිතාමතා කරන එක දෙයක් තමයි ඉංග්‍රීසීන් ලොකුවට ගන්න දේවල් මායිම් නොකර සිටීම. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉංග්‍රීසීන් තමන්ගේ රජාට (දැන් නම් රැජිනට) දක්වන ගරු බුහුමන් ඇමඑක් ජනපදිකයින් එතරම් ගණන් ගන්නේ නැහැ. කලකට ඉහතදී ඔබාමා ඉංග්‍රීසි රැජින හමුවුනු අවස්ථාවේ ඇගේ පිටට තට්ටු කරලා යමක් කිව්වලු. සාමාන්‍යයෙන් ඉංග්‍රීසින් එහෙම කරන්නේ නැහැ. නමුත් ඇමඑක් ජනපදිකයෝ ඔබාමාට ඒ ගැන දොස් කියන්ඩ ගියේ නැහැ. ඔබාමා වගේම බොහෝ ඇමඑක් ජනපදිකයෝ ඉංග්‍රීසීන් ලොකුවට ගන්න දේවල් එතරම් ගනන් ගන්නේ නැහැ. ඉංග්‍රීසීන් ඒ ඒ වයින් වර්ග බොන්ඩ ඒ ඒ වීදුරු පාවිච්චි කරනකොට ඇමඑක් ජනපදිකයෝ හිතුනොත් ප්ලාස්ටික් කෝප්ප වලත් වයින් බොනවා. ඉංග්‍රීසීන් ටයි කෝට් ඇඳගෙන යන්ඩ ඕනෙ කියල හිතන තැනකට ඇමඑක් ජනපදිකයෝ හිතුනොත් ටී ශර්ට් ඇඳගෙන කොට කලිසම් ඇඳගෙන යනවා. නමුත් වැදගත් ඒ බව නෙවෙයි. 

වැදගත් ප්‍රශ්ණෙ ඇමඑක් ජනපදිකයින්ට ඔවුන්ගේ යම් සංස්කෘතික ලක්‍ෂණයක් ඉංග්‍රීසීන් ලවා ප්‍රබුද්ධ ලෙස සලකව ගන්ඩ පුළුවන්ද?

ඉංග්‍රීසීන් හොලිවුඩ් චිත්‍රපටි වලට ආකර්ශණය වෙනව ඇති නමුත් ඔවුන් ඇමඑක් ජනපදිකයින් අනුකරණය කරමින් ටයි කෝට් අඳින තැනට කොට කලිසම් ටී ශර්ට් ඇඳං යන්නේ නෑ. ඉංග්‍රීසීන් හොලිවුඩ් චිත්‍රපට ඔවුන්ගේ සම්භාව්‍යය කෘතිවලට ඉහලින් තියාගන්නෙත් නැහැ. එහෙම නම් සංස්කෘතික ස්වාමියා වෙන්නෙ කව්ද?

නමුත් බටහිර සංස්කෘතියේ ස්වාමියා කව්ද කියන එක ඔප්පුවෙන්නේ ඉංග්‍රීසින් සහ ඇමඑක් ජනපදිකයින් අතර කෙරෙන සංසන්ඳනයකින් පමණක් නෙවෙයි ඉංග්‍රීසිනුත් ඇමඑක් ජනපදිකයොත් නොවෙන බටහිර සංස්කෘතියේ හෝ වෙන්ඩ-බටහිර සංස්කෘතියේ ඉන්න අනිත් රටවල් ආදර්ශයට ගන්නේ කව්ද කියන එකෙනුයි. කොටින්ම බටහිර සංස්කෘතිය පස්සෙන් බඩ ගාමින් යන ලංකාවේ අපි සංස්කෘතික ස්වාමියා හැටියට සලකන්නේ ඇමඑක් ජනපදයද එංගලන්තයද? අපි වැඩියෙන් බය පක්‍ෂපාතකමක් දක්වන්නේ ටයි කෝට් අන්ඳන එංගලන්තයටද කොට කලිසම් ටී ශර්ට් අන්ඳන ඇමඑක් ජනපදයටද? 

අපි ටයි කෝට් අඳින තැනකට කොට කලිසම් ටී ශර්ට් අඳින්ඩ බය වෙන්නේ ඇයි? අපි ඉංග්‍රීසීන්ට වැඩියෙන් බය හිංද නේද? ඒ කියන්නේ අපේත් ඇමඑක් ජනපදයේත් සංස්කෘතික ස්වාමියා ඉංග්‍රීසින් කියල නේද?